Sunday, December 17, 2023

කල දෙයින් සතුටුවීම

අන්තවාදීව හිතන / ක්‍රියාකරන සුළුතරයක් හැරුනම බොහෝ දෙනෙක් කැමතියි හොඳ දේවල් කරන්න. වැඩකරන තැන, සමාජයේදී, වගේම පවුල තුලත් හොඳ දෙයක් කරන්න බොහෝ දෙනෙක් සිතනවා සහ උත්සාහ ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හොඳ දෙයක් කලාම අපිට එන සතුටක් නිසාද? බොහෝවිට උත්තරය 'ඔව්' කියන එකයි. ඔබ ගැනම හිතා බලා මීලඟ ප්‍රශ්ණෙට උත්තරය ඔබටම දීගන්න. ඒ සතුට එන්නේ ඔබ හොඳ වැඩක් කල නිසාමද එහෙම නැත්නම් ඔබ කල හොඳ වැඩය ගැන යමෙක් ප්‍රසංශා කලොත්ද? තව විදිහකින් ඇහුවොත් ඔබ සේවය කරන තැන කල හොඳ දේ ගැන කිසිම කෙනෙක් කිසිම අගැයීමක් නොකලොත් ඔබට ඒ ගැන කණගාටුවක් ඇතිවෙනවද? එහෙම කණගාටුවක් ඇතිවෙනව නම් ඔබ සතුටුවෙන්නේ කල හොඳ වැඩේ ගැන නොව ඒ ගැන ලැබෙන අගැයීම් හෝ ප්‍රසංශා ගැන නේද?

මෙහෙම පටන්ගත්තෙ පරණ 2015 පෝස්ට් එකක් ප්‍රතිචක්‍රීකරණය කරන්න ප්‍රවේශයක්

ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. 

Monday, November 27, 2023

මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු

මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය


පොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ  කථාව බෙදාගන්නවා.  වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.

මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා (facilitator) ගැන වීමයි. 

කුඩා කාලයේ එක තැනක ඉඳගෙන පාඩම් කරන ගතියක් මට තිබුණේ නැහැ. පන්තියේ උගන්නන දේ තර්කානුකූලව මතක තිබීමේ ශක්තියක් ඒ කාලේ තිබ්බා. (දැන් නම් ඒක පොඩ්ඩක්වත් නැහැ ). ඒ නිසා මම කිසිම විභාගයකට පාඩම් කලේ නැහැ. ඒත් පන්තියේ විභාගවලින් 2-5 අතර ස්ථාන ගන්න එක මට සුළු දෙයක් වුණා. වත්සලා වගේම මමත් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වුනා. ඒක එතරම් ලොකු දෙයක් නොවෙන්නේ ඒ කාලයේ  5 වසර  ශිෂ්‍යත්ව විභාග ලිව්වේ ටික දෙනෙක් පමණක් වීමයි. ඒත් 7 වසර වන විට ඒක ජනප්‍රිය වෙලා පාසැලෙන් ඒකට පෙනී සිටීම අනිවාර්‍යය වුනා. ඒකෙන් සමත් වෙච්ච අතලොස්ස අතරට යන්න මට පුළුවන් වුනා. (එකල අදියර දෙකකින් පැවැත්වූ  7 වසර ශිෂ්‍යත්ව  විභාගය පසුකාලයක අහෝසි වුනා)

මගේ පාඩම් නොකර විභාග කිරීමේ ගතිය හොඳින් දත් දෙමව්පියන් 9 වසර අවසානයේදී පෙනී සිටීමට සිදුවූ (ඔව් ඒ කාලේ NCGE/HNCE කියල අලුත් ක්‍රමය නිසා එම NCGE විභාගය පැවැත්වූයේ 9 වසර අවසානයේදී ) විභාගයේ විෂයයන් දෙකක් අතර මැද තිබූ නිවාඩු දවසේ ඔවුන්ට සහභාගී වීමට තිබූ ටිකක් දුර ගමනකට මාවත් සහභාගී කරගත්තා. ඒත් ඒ විභාගයෙනුත් හොඳින් සමත් වීම මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. 

Sunday, November 19, 2023

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු

ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට අවසර. 

කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්.  . ඒ උනාට  අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

Monday, November 6, 2023

මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම




අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. 

මේ ගැන මගේ මතය.

පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට  25.00 දක්වා   තියෙන්නේ.

 ඇමෙරිකාවේදී අනුර කරන වැරදි වචන භාවිතය නොවන්නට බොහෝ දෙනෙක් මෙය ඔහුගේම අදහසක් බව විස්වාස කිරීමට ඉඩ තිබිණි. 

මගේ අදහස නම් මොවුනට  රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති  බවයි . මේ ලෝකයේ තව රටවල් 180 ක් පමණ ඇති නිසා අන් රටවලත් රජයෙන් කර්මාන්ත කිරීම, නිශ්පාදනයට අත ගැසීම, වැනි දේවල් කරනවාදැයි දැන ගැනීමට අවස්ථා ඇත. රජයක වගකීම නීති සම්පාදනය පමණක් බවත් රැකියා දීම. පාරවල් හැදීම, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන හැදීම, මිනිරන් පැටවීම රජයක වගකීම නොවන බවත් නොවැටහෙන දේශපාලකයිනුත් ජනතාවකුත් සිටින තෙක් මේ මෝඩ රට පස්සට යාම නැවැත්විය නොහැකිවනු ඇත.   

රජයක වගකීම නිශ්පාදනය නෙවෙයි. නිශ්පාදනය. අගය එකතුකිරීම වැනි දේවල් ගැන ප්‍රතිපත්ති තීරණ අරගෙන පෞද්ගලික අංශයට ඒ දේවල් කිරීමට අවශ්‍ය පසුබිම සහ නීති සම්පාදනය පමණයි. 

මගේ අදහස නම් අනාගත රජයක් විසින් මිනිසුන්ට ඇත්ත කථා කර කල යුතු දේවල් මේවායි.


1. විදේශ විනිමය ඉතුරු කිරීම

(අ ) අද රටෙන් විදේශ විනිමය වියදම් වෙන විදේශ අධ්‍යාපනය වෙනුවට, වසරකට අඩුම වශයෙන් සිසුන් 50,000 ක් ඇතුලත් කරගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල 25 ක් ඇරඹීම. මේ අළුත් විශ්ව විද්‍යාල රටේ ප්‍රමුඛම විශ්ව විද්‍යාල වන කොළඹ, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස අවුරුදු 10 ක කාලයට සම්බන්ධ කලයුතුය. එම පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් පෙනී සිටිය යුත්තේ එසේ අනුබද්ධ කල විශ්ව විද්‍යාලයේ විභාග වලටය. එම සිසුන්ටත් එම ප්‍රධාන විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනැමිය යුතුය. විභාග සඳහා, විද්‍යාගාර පාවිච්චිය උදෙසා, සහ සුපරීක්ෂණය උදෙසා රජයේ විශ්ව විද්‍යාලය මුදල් අය කල යුතුය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා ආචාර්‍ය වරුන්ගේ ප්‍රමිතිය, විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් එකතු කිරීම, අයකරන මුදල්, ආදිය අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය කලයුතුය. මීට අමතරව මෙම විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම බුද්ධි පරීක්ෂණ හරහා කලයුතුය. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිසුණය බැංකුවක් බවට පත්කොට එක්තරා ආදායම් (හෝ වත්කම්) මට්ටමකින් පහල අයට සිසුණය ලබා දිය යුතුය. රැකියාවක් ලැබුණු පසු අද අර්ථසාධක අරමුදලට යවන කොටස සිසුණය ගෙවීමට යොදාගත යුතුය.   

       මේ ක්‍රමයෙන් මුදල් ඇති අය විදේශ අධ්‍යාපනයට යොමු වන එක නතර නොවුනත්, ණය වී විදේශ අධ්‍යාපනයට යන අයටත්, එසේ ණයවී හෝ මුදල් හොයා ගැනීමට නොහැකි අය ත්‍රිරෝද රථ වල සහ ගෘහ සේවිකා රැකියාවලට යන එක වත් අඩු විය හැක. වසර කිහිපයකදී විදේශ සිසුන් ආකර්ශණය කර ගැනීම මඟින් අඩුම වශයෙන් වසරකට ඩොලර් බිලියනයක් වත් රට අද්දා ගැනීමට හැකිවනු ඇත. 

(ආ ) සිංගපූරුවේ මෙන් වසරකට ආනයන කල හැකි වාහන ප්‍රමාණය සීමා කලයුතුය. ඒසඳහා ආනයන බලපත් අන්තර්ජාලය හරහා වෙන්දේසි කලයුතුය. 

(ඇ) රටට ආනයන කරන දේවල් විශ්ලේශණය කර සරුංගල්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වැනි අන්‍යවශ්‍ය ආනයන තහනම් කිරීම.    

Saturday, November 4, 2023

ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි)



ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

මෙම ලිපිය 2016 නොවැම්බර් මස පල කරන ලද ලිපියක් නැවත පළ කිරීමක් බව සලකන්න.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්. 

Saturday, October 28, 2023

ශනිදා දහයට මමත් ලියන හේතුව

කස්ත්‍රෝ දියුණු කල කියුබාව


මීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව. 

ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.

මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට මහත්තය කිව්වම ලියන්න පටන් ගත්තේ එයාව හොඳින් තියා ගන්න එක ශරීර සෞඛ්‍යට හොඳ නිසා. නෑ එය දොස්තර කෙනෙක් නෙවෙයි.ඒ වුනාට හොඳින් තියාගත්තොත් අනාගතයට හොඳ නිසා.

අර කියුබාවේ විප්ලවේ වෙලාවෙ වෙච්ච දේවල් දන්න නිසා තමයි එහෙම කිව්වේ. 1953 දි පටන්ගත්ත විප්ලවය ඉවරවුනේ 1959 ජනවාරි 1. ෆිඩෙල් කස්ත්‍රෝට බලය ගන්න හැකියාව ලැබුණ එක විශේශ හේතුවක් තමයි බැටිස්ටා පාලනයේ තිබ්බ ගසා කෑම්. අද රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්ණෙට, තාක්ෂනික උගතුන් අඩු නිසා තාක්ෂණික අයෝජන නොඑන එකට 1979 ඉඳන් ජවිපෙ ගෙනගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න නොදීම බලපෑවට ඒව හංගගෙන රැස්වීම් 25,000 ක විතර කථා කරන්න සෑහෙන හොරකම් සහ නාස්ති රාජපක්ෂල කරල තියෙනවනෙ. ඉතින් ඕව කිය කිය ඉන්නව ඇර ජවිපෙ බලය අරගෙන රැකියා ඇති කරන විදිහ වත් විදේශ විනිමය හොයන විදිහ වත් ගැන කට හොල්ලන්නෙ නැහැනෙ. 

කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි.  එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය  හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය.  අවුරුදු 73 කට පස්සෙත් රට එතනමයි එහෙ තාම පාවිච්චි කරන්නෙත් 1959 ඉස්සෙල්ල ගෙන්නපු වාහන. ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. ඒ අයට ඕනනම් ජවිපෙ කියන නිෂ්පාදන ආර්ථිකය වගේ කල සීනි හරි වෙන දෙයක් හදල වෙන ඕනම රටකට අරින්න පුලුවන්. කොහොම හරි කස්තෝගෙ නිෂ්පාදන ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු නම් පෝලිමක ගිහිල්ල දෙන දෙයක් කාල ඉන්නව.

ඒ වගේ කස්ත්‍රෝ ආපු ගමන් කරපු එක දෙයක් තමයි ඇමෙරිකානු ආයෝජන ඔක්කොම ජනසතු කරපු එක. එහෙම කරල කියනව ඇමෙරිකානු සමාගම් වලට කියුබාව එක්ක ගනු දෙනු කරන්න බැරිවෙන්න සම්බාධක දාපු එක නිසාලු ඒගොල්ලො එක තැන.

 ජවිපෙ ඇවිල්ලත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩම් වල වවන්න කොලඹ ඉන්න විප්ලවේට විරුද්ධ අය තමයි යවනව කියන්නෙ. ජවිපෙ බලයට ආවම ඒ ගොල්ලන්ගෙ බොරු ගැනම පෝස්ට් ලියන එකෙක් විදිහට මාවත් ගාල් කඳවුරකට Concentration camp) අරිනවම තමයි.

ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මට තට්ට මහත්තයාගේ සපෝට් එකක් ඕන වෙන්නේ. යාළු කමට ගාල් කඳවුරෙන් පැනගන්න උදව්වක් නොකර ඉන්න එක නැහැ. 

ඒ නිසා හැම සෙනසුරාදම පෝස්ට් එකක් දානව. 






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Saturday, October 21, 2023

තට්ට මහත්තයාගේ ජැකා




තට්ට මහත්තයාගෙ ශනිදා පෝස්ට් අදහස නම් මරු. බ්ලොග් නැවත සක්‍රිය කරවීමට විවිධ උත්සාහයන් මෑත කාලයේ සිදුවුණත් දවසක් සහ වෙලාවක් දීල කරපු දේ නම් හරිම නිර්මානාත්මකයි. ඒවගේම මේවගේ දෙයක් සාර්ථක වෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒක එහෙම වුනාට සුමානෙට සැරයක් ලියන්න අදහස් එන්නත් ඕනනේ. මට අද ලියන්න අදහසක් එන්නේ නැහැ.

 ඒ නිසා මම තට්ට මහත්මයා ලියල තියෙන ජැක්සන් ඇත්නනී ගේ අනතුර මිය යාම ගැන මගේ අදහස ලියන්න හිතුවා. සත්ත්ව ලෝකයේ තමන්ගේ ඇත්ත හැඟීම හංගාගෙන වෙන දෙයක් පෙන්නන්න හැකියාව තියෙන්නේ මනුස්සයන්ට විතරයිනේ. ඒ කියන්නේ තමන්ගේ වරිගයේ අන් සතෙක්ව නොමඟ යවන එක කරන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපිට දැනගන්න අහන්න ලැබෙන අය ගැන ඒ අය කියන කරන දෙයින් ඒ අය ගැන යම්කිසි අදහසක් අපි ඇතිකරගන්නවා. ඒ පුද්ගලයා ගැන ඊට පස්සේ අහන්න දකින්න ලැබෙන දේවලින් අර පළමුවෙන්ම ඇතිකරගත්ත අදහස තව දුරටත් තීව්‍ර වෙනවා එහෙම නැත්නම් වෙනස් වෙනවා. මෙහෙම අදහස් වෙනස් වීමක් නොවෙන්නේ තමන්ගේම මව්පියන් සහෝදර සහෝදරයින් සහ දරුවන් ගැන පමණයි. ඒකට හේතුව ඔවුන් හෝ අපි උපන් දවසේ සිටම ඔවුන්ව ලඟින්ම ඇසුරු කරන නිසා පමණක් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ට වාසියක් හෝ අවාසියක් නැති අවස්ථා වලදීත් ඔවුන් සමඟ ඇසුරු කර තිබීම. අන් අය ඒ කියන්නේ තමන් විවාහ වෙන කෙනා, ජීවිතයේ හමුවන යහළුවන්, රැකියා වලදී හමුවන අය, අපි බැඳෙන කලා කරුවන් වගේ සහ ක්‍රීඩකයින් වැනි අය ඔවුන්ගේ මුල් හැසිරීම අනුව තමයි අපි බැඳෙන්නේ. ඒ වගේ අය හා අපි බැඳෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු, හැබෑම ස්වරූපය, ගැන අඩු දැනීමක් එක්ක. මේ වගේ බැඳෙන අය ගැන ඇති අපේ අදහස සමහර විට විවිධ ස්වරූපයෙන් ආදරයක් බවට පත්වෙනවා. එහෙම ආදරයෙන් බැඳෙන අයගෙන් අපි සාධාරණ යැයි නොපිලිගන්නා දෙයක් සිදුවුණොත් ඒක වෛරයක් දක්වාම යන්න පුළුවන්. 

මගේ ජීවිතයේ එහෙම සිදුවුණ දේවල් නම් මගේ කලින් බිරිඳ, නීලා වික්‍රමසිංහ, සහ ජැක්සන් ඇත්නනී. මෙතනින් නීලා ගැන කිව්වොත් වියෝගී ගීතයෙන් පටන් ගෙන ඇය අහිංසක කලාකාරියකගේ භූමිකාවක් රඟපෑවා. ඇය කිවූ ගී වල අදහස සහ ආදරණීය බව නිසා මම ඇය හා බැඳුණා. ඇය ගයන්නේ ඇගේ අදහස් නොව ගීත රචකයයෙකුගේ අදහස් පමණයි කියල දැනගෙන හිටියත් ඒ ගීත නිසා මගේ හිතේ මැවුණ අහිංසක ආදරවන්තියකගේ චරිතය නොදැනුවත්ම ඇගේ චරිතය හැටියට මට හිතෙන්න ඇති. මම මෙහෙම බැඳිච්ච කෙනෙක් 2015 චන්දෙ අවසානයේදී 'ගහල හරි ගන්න තිබ්බනේ' කියපු ක්ලිප් එකෙන් මෙගේ හිතේ ඇය ගැන තිබ්බ ප්‍රතිරූපය කඩාගෙන වැටුනා. 

Monday, October 16, 2023

යුක්‍රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු





හැමෝම පෝස්ට් දාන්න පටන් ගෙන නිසා මගෙනුත් එකක්.

මාස ගණනක් ඇදී යන රුසියානු-යුක්‍රේන් යුද්ධය ගැන මගේ අදහස. ලෝකෙ වෙන දේවල් ගැන තියා ඒ රටවල් කොහේ තියෙනවාද කියාවත් නොදන්නා එහෙත් මාධ්‍ය වලින් පමණක් ලෝකය දකින ඇතැම් බටහිර රටවල් වල අයට නම් බටහිර ලෝකයේ අධාර ඇතිව සාර්ථකව යුක්‍රේනය රුසියාව පරදවමින් සිටිනවා. ඒ ගැන විරුද්ධ අදහස් දරන අයගේ මතය නම් යුක්‍රේනය ඔවුන්ගේ පිරිමි ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මේ යුද්ධය බිලිදී ඇති බවත් රුසියානු හමුදා ඇතිකර ඇති වට කිහිපයක ආරක්ෂක වලල්ල බිඳ දැමීමට හැකිවී නැති බවත්,  බිලියන සිය ගණන් බටහිර යුධ උපකරණ සහ ඇමෙරිකාවෙන් ගෙවන යුක්‍රේන් හමුදා පඩි සමඟවත් යුක්‍රේනයට මේ යුද්ධය දිනීමට කිසිම හැකියාවක් නැති බවත්ය.

මට පෙනෙන්නේත් මේ දෙවැනි මතය නිවැරදි බවයි. රුසියාවෙන් ණයට ගෑස් සහ නොයෙකුත් වරදාන ලබමින් සැපසේ ජීවත් වූ යුක්‍රේනය ඩොලර් බිලියන 5 ක වියදමින් ඇමෙරිකාව 2014 දී ඇතිකල මයිදාන් අරගලය සහ මයිදාන් ඝාතනය හරහා ඔවුන්ට හිතවත් එහෙත්  රුසියාවට විරුද්ධ පාලනයක් ඇතිකර දැන් එය තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන තත්ත්වයට ආසන්න වෙමින් තිබේ. 2019 ශ්‍රී ලංකාවේ සිදුවුනාක් මෙන් වෘත්තියෙන් කොමඩි නළුවෙකු ජනාධිපති කරගත් යුක්‍රේනය අද බොහෝ ලෙස විනාස වී ඇත්තේ ඇමෙරිකාවට ඇති බල තන්හාව නිසා බව සමහරුන්ගේ මතයයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙන් සතුරු රටක් විනාස කිරීමට එම රටට ඇති දුර අදට අදාල නොවේ. එකල තිබූ මිසයිල වල දුර සීමාව අනුව 1962 කියුබාවේ මිසයිල් ස්ථාන ගතකිරීමට සෝවියට් දේශය කල උත්සාහයට යම්කිසි හේතුවක් තිබුණ මුත්, වොර්සෝ සම්මුතිය බිඳ වැටී ඇති විටක සහ දුර විදින මිසයිල වල ගමන් කල හැකි දුර ඉතා විශාල ලෙස වැඩි වී ඇති කාලයක නේටෝට තව දුරටත් ව්‍යාප්ත කර රුසියානු අසැල්වැසි යුක්‍රේනයත් නේටෝවට ඈඳාගෙන්න උත්සාහ කලේ මොන කෙන්ගෙඩියට දැයි මට නම් ප්‍රෙහේලිකාවකි.

මේවන විට ඇමෙරිකාවෙන් පමණක් ඩොලර් බිලියන 190 ක් පමණ වටිනා මුදල් සහ යුධ උපකරණ ලබා ගැනීමට යුක්‍රේනය සමත් වී ඇත. ඉතා දූශිත දේශයක් ලෙස ප්‍රකට යුක්‍රේන පාලකයන්ට නම් මෙය හොඳ පල්ලමකි. එමෙන්ම ඇමෙරිකාවේ චන්ද වලට වැඩි පුරම වියදම් කරන යුධ උපකරණ නිශ්පාදනය කරන සමාගම් වලටත් මෙය ඉතාමත් වාසිදායි යුද්ධයකි. කැලෑවල ගුවන් තොටුපලවල්, වරායවල්, විශාල සම්මන්ත්‍රණ ශාලා, අඩි සීයේ පාරවල්, වැනි දේ දැක පුරුදු අපිට ඇමෙරිකානු ආරක්ෂාවට කිසිම වාසියක් නොවන මෙවන් ක්‍රියාදාමයකට ඇමෙරිකාව අවතීර්ණ වුනේ ඇයිදැයි සිතාගත හැක. 

Wednesday, July 5, 2023

අස්වැසුමෙන් අස්වැසීම




1989 සිට ,කෙරෙන දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ජනසවිය, සමෘද්ධි, යන නම් වලින් සහ දැන් අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙනවා. අතිශයින් දේශපාලනකරණීය වෙච්ච මේ වැඩසටහනින් කීදෙනෙක් දිලිඳු කමින් මිදුනාද යන්න ගැන දත්ත මම දැකල නැහැ. මගේ නම් අනුමානය වෙනත් හේතු නිසා මෙම සහනාධාර ක්‍රමයෙන් අයින් වුන අය ඉන්නවා නම් හැර මෙම වැඩසටහන නිසාම එහෙම මිදුන කෙනෙක් නම් ඉන්න බැහැ. ඒකට ප්‍රධානම හේතුව යම් මුදලක් දීම හැර එහෙම දිලිඳු කමින් මිදෙන්න තිබ්බ කොටසවල් හරියට ක්‍රියාත්මක නොවීමයි සහ ඒම කොටසවල් වල තිබ්බ අසම්පූර්ණ බවයි.

මේ වැඩසටහනේ තිබ්බ අනෙක් විශාලතම දුර්වල කමක් තමයි මේ අධාර ලැබිය යුතු සමහර අයට ඒවා නොලැබීමත්, ලැබිය නොයුතු අය දැනහැඳුනුම් කම් හෝ දේශපාලන සම්බන්ධකම් මත ඒවා ලබාගැනීමත්.

අස්වැසුම පටන් ගැනීමට පෙර ඒවා ලැබෙන අය තෝරාගැනීම භාර වුන සමෘද්ධි නිලධාරීන් වැරදි දත්ත සහ නිර්දේශ කිරීම වලට දඬුවම් ලැබෙන ක්‍රමයට විරුද්ධ වුනා කියල දැනගන්නට ලැබුණා.

මේ වගේ සහනාධාර ක්‍රමයයන් දියුණු යැයි සම්මත රටවලත් තියෙනවා. ඒවා ඇසුරෙන් වෙනස්කම් කිහිපයක් කිරීමෙන් මේ ක්‍රමයේ තිබෙන සමහට අඩුපාඩු අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා කලයුතු වෙනස්කම් නම්:

1. සහනාධාර ලාභීන්ට ඔවුන්ගේ ආදායම සහ වත්කම් පිලිබඳව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලැස්වීම. එම දිවුරුම් පෙත්සම අනුව එක්තරා වත්කම් ප්‍රමාණයකට වඩා අඩු ඒවගේම එක්තරා ආදායම් ප්‍රමාණයකට වඩා අඩු අයට පමණක් ඒ අධාර දීම. 

2. අතිරික්ත රජයේ සේවකයින් පූණුවකින් පසුව යොදවාගෙන සාදන කමිටු මඟින් අහඹු ලෙස තෝරාගන්නා ලාභීන් ප්‍රමාණයකගේ සැබෑ වත්කම් සහ ආදායම් විගණනය කිරීම.

3. සාවද්‍ය දත්ත ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන හසු වන අයට එසේ සාවාද්‍ය ලෙස ලබා ගත් ප්‍රතිලාභ මෙන් දෙගුණයක හෝ තුන්ගුණයක දඩයක් නියම කිරීම. එය ගෙවිය නොහැකිනම් වත්කම් ප්‍රමාණයක් රජයට පවරාගෙන විකිණිමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම. එසේ සාවද්‍ය ලෙස ප්‍රතිලාභ ලබා ගන්නා අය පිලිබඳව ඔවුන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව තොරතුරු දෙන අයට එම දඩයෙන් 1/3 (එනම් ව්‍යාජ ලෙස ලබා ගත් මුදලට සමාන ප්‍රමාණයක්) ත්‍යාගයක් ලෙස ගෙවීම. එලෙස විගණනය කරන බව සහ විගණනයන්ගෙන් අසුවූ අයට දුන් දඬුවම් සහ දඩයන් ගැන පුළුල් ප්‍රචාරයන් ලබා දීම.

මීට අමතරව 'අස්වැසුම ප්ලස්' යන නමින් මෙවන් ක්‍රමයක් හඳුන්වා දීම හොඳ යැයි මම හිතනවා.

1. මසකට රුපියල් 10,000 ක් හෝ 15,000 ක් පරිත්‍යාග කල හැකි සහ දුප්පත් පවුලක් වෙනුවෙන් මසකට පැය කිහිපයක් ගත කල හැකි අයගෙන් අයදුම් පත් කැඳවා තෝරාගැනීම. මෙලෙස අනුග්‍රාහකත්ව ලබාදීමට සඳහා කුඩා හා විශාල පෞද්ගලික ආයතන, සමිති සමාගම්, විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ආදිය උනන්දු කිරීම. සමහර ධනවතුන් හෝ විශාල සමාගම් දුප්පත් පවුල් කිහිපයකටම අනුග්‍රහය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇත.

2. විශේෂයෙන් තෝරාගන්න දුප්පත්ම පවුලක් බැගින් එම අයදුම්කරුවන්ට අනුයුක්ත කිරීම. එම අනුග්‍රාහකින් මසකට ගෙවිය යුතු මුදල අස්වැසුම ගිණුමකට ලබා ගෙන අදාල දුප්පත් පවුලේ ගිණුමට බැර කිරීම.

Tuesday, June 27, 2023

කල යුතුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජවිපෙ ඒ ගැන කියන බොරු

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ සුමානේ අන්තිමට වෙන බවත් ඒ සඳහා බැංකු සහ කොටස් වෙලඳපොල දවස් 5 ක් වසා තමන බවත් නිවේදනය කරල තියෙනවා. ජවිපෙ මේ ගැන ප්‍රවෘත්ති සාකච්චාවක් තියල කියන්නේ මේකෙන් බැංකුවල තැන්පත් කරුවන්ගේ තැන්පත් වලට හානියක වෙන බවත්, අර්ථසාධක අරමුදලෙන් රජය ගෙන තියෙන ණය කපා හැරීමෙන් සේවකයන් එහි තැන්පත් කර ඇති මුදල් නැවත ගැනීමේදී පාඩුවක් සිදුවෙන බවත්. මේ ගැන තව සාකච්චාවක් තියපු පාඨලී චම්පික රණවක මහත්මයත් රජයේ මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රජයේ වියදම් දල දේශීය නිශ්පාදනයෙන් 13% කට සීමා කලයුතු බවත් කියනවා. මේ වීඩියෝ දෙක පහල.








මට හිතෙන්නේ ජවිපෙ නම් කරන්නේ මහජනයා මුලා කිරීමක්. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලො කියන දේවල් විස්වාස කරල තැන්පත් කරුවන් ඔවුන්ගේ මුදල් එකවර බැංකු වලින් අයින් කරගන්න උත්සාහ කලොත් ඒ බැංකු ද්‍රවශීලතාව නැතුව කඩා වැටෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඒගොල්ලන්ට චන්දෙකදි වාසියක් ගන්න බලාගෙන එහෙම බොරුවල් කියනව වුනත් මම නම් හිතන්නේ මේ වගේ බොරු වලින් මුල්‍ය පද්ධතිය කඩා වට්ටන්න උත්සාහ කිරීම දඬුවම් දිය යුතු වරදක් කියලයි.


මේ ගැන අදට දන්නා පරිදි ඇත්ත තත්වය මේකයි.

1. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන් කරන්නට යන එක දෙයක් තමයි බැඳුම්කර (එනම් මාස් 12 කට එහා කාලයකදී කල් පිරෙන තැන්පත් ), වල කල් පිරෙන දිනය දීර්ඝ කිරීම. මේකෙන් සහ පහත (2) දක්වන් දෙයින් එම බැඳුම්කර වල අද වටිනාකමේ අගය වෙනස්වුණත්, නව කල් පිරෙන දිනයේදී සම්පූර්ණ මුදලම ලැබෙනවා.

2. ඉහත කල් පිරීම කල් දාපු බැඳුම් කර වලට ගෙවන පොලී අනුපාතය අඩුකිරීම. මෙහිදී එම බැඳුම්කර වල තැන්පත් කරුවන්ට (බොහෝ විට විශාල මුල්‍ය ආයතන ) වලට ඉදිරියේදී ලැබෙන ආදායමේ අඩුවක් වෙන්න පුළුවන්. ඒ වුනාට බොහෝ විට මුල්‍ය ආයතන එම බැඳුම්කර වල තැන්පත් කරල තියෙන්නේ අඩු වියදම් තැන්පතු (එනම් ජංගම ගිණුම් සහ ඉතිරිකිරීමේ ගිණුම් වල ඇති මුදල් ) වලින් කොටසක් නිසා ශුද්ධ පොලී ආදායමේ අඩුවීමක් මිසක් එයින් පොලී පාඩුවක් වෙන්නේ නැහැ.

3. මෙහිදී නොකෙරෙන දෙයක් ලෙස මම අනුමාන කරන්නේ බැඳුම්කර වටිනාකමෙන් යම් කොටසක් කපා හැරීම (Hair cut) . මෙය සිදුවුණොත් කෙලින්ම පාඩුවක් වෙනවා. එහිදී එම කපා හැරීමේ වටිනාකම බැංකුවක මුළු ප්‍රාග්ධනයට වඩා වැඩි වුණොත් විතරයි බැංකුව කඩා වැටෙන්නේ. ඒ මෙහෙම කපා හැරීමක් නොකරන බව තමයි දැනගන්න තියෙන්නේ.

4. මාස 12 ට අඩු භාණ්ඩාගාර බිල්පත් වලින් මහ බැංකුව සතු බිල්පත් වලින් යම් කොටසක් කපා හරින්න යනවා. ඒවුනාට මුල්‍ය ආයතන හෝ අනික් තැන්පත් කරුවන් ට අයිති භාණ්ඩාගාර බිල්පත් වලින් කපා හැරීමක් සිදුවන්නේ නැහැ.          

5. ඉහත කරුණු අනුව ලංකාවේ බැංකු වලින් එකක්වත් බංකොලොත් වීමට ඉඩක් නැහැ. මගේ නම් අනුමානය බැංකු වල මේ අවුරුද්දේ ප්‍රකාශිත ලාභය වැඩි වීමක් දක්වන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව බොහෝ බැංකු ණය කපා හැරීමකට සූදානම්ව එයට පසුගිය අවුරුද්දේ ප්‍රතිපාදන (provisions) සලසා තිබීම. එම ප්‍රතිපාදන අවශ්‍ය නොවන නිසා ඒවා ආපසු ලාභයට එකතු වෙන්න ඉඩ තියෙනවා. එම නිසා ජවිපෙ කියන බොරුව එක්කෝ නොදැනුවත් කම හෝ බොහෝ විට මහජනතාව නොමඟ යවා බැංකු පද්ධතිය කඩා වට්ටන්න කරන උත්සාහයක්.

Thursday, June 1, 2023

ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?




කලින් ලියපු  බුද්ධාගම රැකගන්න වරෙල්ලා  පෝස්ට් එකට මා මිත්‍ර  අජිත් ධර්මකීර්ති ප්‍රශ්ණ කීපයක් අසමින් කමෙන්ට් කරලා තිබ්බා. දිග උත්තරයක් දෙන්න වෙන නිසා සහ සංවාදය අනික් අයටත් විවෘත කරන්න ඔහුගේ අවසරය ඇතිව ඒ කමෙන්ට් එකට පිළිතුර පෝස්ට් එකක් වශයෙන් දානවා. 


අජිත් ධර්මකීර්ති මිතුරා කියා තිබ්බේ මෙහෙම

ඉයන් මම මේ ලියන දේට තරහ නොවේවි කියල හිතනවා.කොහොමත් ෆේස්බුක් එකේ නැති නිසා බ්ලොග් වලින් අයින් කරන එක විතරනේ ඉතුරු වෙන්නේ. 😀මට ඔයා ලියන දේවල් ටිකක් පරස්පර විරෝධියි. මම නතාෂාගේ වීඩියෝ එක බැලුව. ඇත්තටම ලන්ඩන් අපට ඒක අවුලක් නැහැ. මහා ලොකු දෙයක් කියන්නේ නැහැ. කොටින් ම දැනට මුදල් හදල් ඇතිව හොඳ ජිවිතයක් ගෙවන ඔයා, පිටරට සිටින බස්සා හෝ මම වගේ අයට මේවා පත්තියන්. ප්‍රශ්නය එහෙම නැති අය ගැන. ඒ අයට තමා තරහ යන්නේ. ඇයි ? ඇයි එංගලන්තේ මිනිස්සු සාමාන්‍ය අපි දන්නා බෞද්ධයන්ට වඩා හොඳ? හැමදේම ලැබිල හෝ ලොකු තරඟයක් ජිවත් වෙන්න නැති කොට ඉබේම දාන පාරමිතා පහල වෙනවා. මගේ ජර්මන් බිරිඳ පන්සල් යනවා. මම යන්නේ නැහැ. එයා යනව. මම එයාට මේ නතාෂා ගේ කතාව කීවම - එයා ඇහුව ඒ ගෑනිට පිස්සුද ඕක ලංකාවේ කියන්න කියල. මම කිව්ව එයාට නැත්ෂා කීවේ එයාගේ කට්ටියකට. අප්‍රේල් මාසේ. මේ මාසේ ඕක උස්සල උලුප්පල දැම්මේ වෙන කෙනෙක්? ඒ කවුද?මෙන්න මේ සන්දර්භය මත තමා මම මගේ ඇමෙරිකානු සම්බන්ධය ගැන ඉඟියක් දීල ලිපිය ලියන්නේ. දැන් මාව විමල් විරවංශ ගේ ගානට දාන්න එපා ප්ලීස්. ඔයාගේ සමහර ලිපි වල කියනවනේ ධනවාදයේ දියුණුව සහ අමෙරිකාවෙන් අපි ආධාර ලබා ගත යුතු බව. එකඟයි. කියුබාව වගේ නොවන්න නම් ලංකාව එතනට යන්න ඕනේ.

හැබැයි මේ ලිපියේ කියනව අර අල්පේච්ච තාවය . අත හැරිම ගැන. ඔය දෙක පරස්පර විරෝධී නැත්ද?
අරගල කරන්න, අලෙප්ච්ච තාවය සහ ලද දෙයින් සතුටුවීම සහ ධර්මයේ හැසිරීම ඕව ඔක්කොම එකට කරන්න බැහැ.

//සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.

ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.// 

Monday, May 29, 2023

බුද්ධාගම රැකගන්න වරෙල්ලා



කලින් වෙන ආගමක් අදහන්නෙක් ලෙස ඉඳලා මෑත කාලෙක සිට බුදු දහම ඉගෙන ගන්න මට නම් හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක වචනයකින්වත් ප්‍රයෝජන ගන්න අය උපතින් බෞද්ධයන් අතර විරලයි කියලයි. 

සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා  උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි. 

ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.

බුදු දහමේ තියෙන්නේ පරම සත්‍යය. ඒක කාගෙවත් බූදලයක් නෙවෙයි. ඒක ගෞතම බුදුහාමුදුරුවන්ගේ බූදලයකුත් නෙවෙයි. අවිද්‍යාවෙන් වැහිල තියෙන සත්‍යය පෘතග්ජන අයට පෙනෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ උදව්වක් හෝ මඟ පෙන්වීමක් නැතිව ඒක හොයාගන්න පුළුවන් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට පමණයි.  එහෙම හොයාගත්තත් බුදු කෙනෙක් කරන්නේ තියෙන එහෙත් අන් අයට නොපෙනෙන දෙයක් හොයාගෙන අනික් අයට දේශණා කරන එක විත්‍රයි. ඒ වගේම අද වෙනකොට බුදු වරු 512,028 ක් පහල වෙලා තියෙනවා. බුද්ධ ධර්මය බුදු කෙනෙකුට අයිති නම් ඒක අයිති ඔය බුදුවරුන්ගෙන් කාටද? 

එතකොට ඒ විදිහට සත්‍යය හොයාගෙන දේශනා කරපු අයගෙන් එක් කෙනෙක් පමණක් වෙන ගෞතම බුදුන්ගේ උපත ගැන හාස්‍යයට යමක් කීවම ඒක බුදු දහමට අගෞරවයක් වෙන්නේ කොහොමද? ඒක කියපු කෙනාගෙ දැනීම අනුව එහෙම එකක් කිව්වා කියලා සත්‍යය කියන එක වෙනස් වෙන්නේ නැහැ. අනික ධර්මය කියන්නේ අපිට එතෙර වෙන්න තියෙන පාරුවක් විතරයි. රහත් වෙනකොට ඒ ධර්ම රාගයත් නැතිවෙනවා. එහෙව් එකේ ධර්මයට නොව එය මේ කාලයේ දේශනා කරපු කෙනා ගැන මොනවහරි හරි හෝ වැරදි දෙයක් කිව්වා කියලා අනික් අය කලබල වෙන්නේ මොන පදනමක් උඩද?

ගෞතම බුදුන් වැඩ ඉන්න කාලෙත් දහමට මෙන්ම ගෞතම බුදුන්ටත් අපහාස කරපු අය හිටිය බව දන්නවනේ. ඒ කාලේ රටේ රජවරු කීපදෙනෙක්ම  ගෞතම බුදුන්ගෙ ලඟම හිතවතුන් හෝ දායකයින්. බුදුන් කවදාවත් ඒ සම්බන්ධකම් යොදාගෙන අපහාස කරන අය හිරේ දාන්න ගියේ නැහැ. ඒකට හේතුව එතුමා බුදු බව ලබාගත්තේ ද්වේශය සහමුලින්ම නැති කරල නිසා. 

උන්වහන්සේ කියල තියෙන්නේ අපිට අන් අය කියන, කරන හෝ නොකරන දේවල් ගැන ද්වේශයක් ගන්න එපා කියලයි. එහෙම කිව්වෙ ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පාපයක් නිසා සහ නියත වශයෙන්ම අපායට ඇදගෙන යන්න පුලුවන් නිසා. 

එතකොට උන්වහන්සේගෙ පියා සහ උන්වහන්සේ සම්බන්ධ කරගෙන කියපු දෙයක් නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් යැයි කියාගන්නා සමහර ගිහියන් සහ පැවැදි අය සමාජයෙත් සමාජ මාධ්‍යවලත් වලත් ද්වේශයෙන් පුපුර පුපුරා අන් අයටත් ද්වේශය වපුරනවා කියල දැක්කනම් ගෞතම බුදුහාමුදුරුවෝ මොනව හිතයිද? කියපු සහ හිනා වෙච්ච මිනිස්සු අත් අඩංගුවට ගන්න, හිරේ දාන්න, කථා කරන අය උන්වහන්සේගේ අනුගාමිකයො කියල උන්වහන්සේ පිලිගනීද? මගේ අදහස මේ වගේ දේවල් දිහා බලල අහල ද්වේශයක් නොගෙන මෛත්‍රී කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ බෞද්ධයා. මේ ධර්මයේ අයිතියත් පිහිටත් එයාට පමණයි, අනික් අයට ඒගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ. 



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Monday, May 15, 2023

ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය - සජිත් ප්‍රේමදාස

(ලංකා ඊ නිව්ස් -2023.මැයි.14, ප.ව.8.45) අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව සහ විපක්ෂය එක්ව යහපත් වැඩ පිළිවෙලක් දියත් කර තිබේ. විපක්ෂ නායකවරයා එය හැඳින්වූයේ ලෝකයේ ප්‍රශස්තම වැඩක් ලෙසයි. එය නම් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගී වී තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි. මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 - 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසක් ඊයේ (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති වැඩමුළුවක් සඳහා ආරාධනා කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන අය සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරී පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද එහිදී අදහස් දැක්වූහ. 

 පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කරන බව කියති. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් ප්‍රකාශ කෙළේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම සුවිශේෂී පියවරක් බවත් එය මෙතෙක් ලොව කිසිදු රටක සිදු නොවුවක් බවයි. වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක වන්නේ. පාර්ලිමේන්තු කොමිටියකට, ඇමරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගිවිය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාව සැලසී තිබෙනවා.

Thursday, May 11, 2023

සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ



සමරිසි මිනිසුන්ට විරුද්ධව සමාජයේ එක්තරා කොටසකුත් පොලිසියත් දශක ගනනාවකට සිටම ක්‍රියාකරනවා. ඒකෙන් වෙන අසාධාරණය ගැන සහ ඒ ගැන කලකට පෙර මම ලිවූ ගීතයක් සමඟ 2016 ලියපු ලිපියක් තමයි මේ බ්ලොග් එකේ දෙවෙනියට වැඩිපුරම කියවල තියෙන ලිපිය. 

මගේ තර්කය වුනේ ඕනකමින්ම හදා නොගන්නා තත්ත්වයක් සහ ඕන නම් වෙනස් කරගන්න බැරි තත්ත්වයක් වන ලිංගික විෂමතා මත අන් අයට වෙනස් කම් කරන එක, දඬුවම් කරන එක සහ එලෙස සමරිසි අය සාමන්‍ය විවාහ (විරුද්ධ ලිංගිකයන් අතර වෙන විවාහ ) වලට තල්ලු කරන එක කොතරම් අසාධාරණද කියන එක.

අපිට වඩා වෙනස් ලිංගික නැඹුරුවක් තියෙන අයට වෙන අසාධාරණයට විරුද්ධ අයට හොඳ ආරංචියක් ලඟදී අහන්න ලැබුණා. ඒ මන්ත්‍රී ප්‍රෙම්නාත් දොලවත්ත මඟින් සමරිසි සහ ඒවගේ විෂමතා ඇති අයට විරුද්ධව ඇති නීතිය වෙනස් කරන්න පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒවගේම එම යෝජිත පණත ගැන සලකා බැලූ ශ්‍රේශ්ඨාධිකරණය එම පණතට අනුමැතිය දීම.

බොහෝ විට පසුගාමී දේවල් වෙන රටේ මෙවැනි ඉදිරිගාමී දෙයක් වෙනවා දැකීම සතුටට කරුණක්.ඒ තීරණය සැමරීමට මගේ 2016 ලිපිය නැවත පළ කරන්න හිතුණා.


ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +

April 22, 2016

මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක නුවර කුමාරිගේ  පෝස්ට් එකක්. ඒක මම කථාකරන්න අදහස් කරන මාතෘකාවට පොඩ්ඩක් වෙනස්. එකේ කියවුනේ කුඩා කාලයෙදී තාවකාලිකව ඇතිවන සමලිංගික ආකර්ෂණයන් ගැන. හැමෝටම ඒවගේ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙකුට ඒවා පාසිං එපිසෝඩ්ස් විතරයි. ඒ වුණාට කුඩා ප්‍රතිශතයක් වැඩිහිටි වයසේදීත් සමලිංගික වෙනවා. මේ වගේ Sexual orientation එකෙන් ඔයගොල්ලනට වඩා වෙනස් වන අය ගැය ඔබගේ ආකල්පය කුමක්ද කියා සිතන්න සහ අවශ්‍යනම් නැවත සලකා බලන්න පෙලඹවීමක් තමයි මෙම පෝස්ට් එකේ අරමුණ.

බොහෝ බටහිර රටවල සමලිංගික අයට හැංගිලා ඉන්න ඕන නැහැ.  මොකද ඒක ලෙඩක් හෝ බිය විය යුතු හෝ සමාජයෙන් කොන් කල යුතු කොට්ඨාශයක් කියල හිතන අය ඒ රටවල අඩුයි. ගොඩක් නොදියුණු රටවල් වල සමාජ වල ගෝත්‍රික මනස් ඇති අයගේ ඊගෝ එක සතප්පවන්න  එල්ලෙන්න මොනව හරි වැල් ඕන නිසා ආගම, ජාතිය වගේ දේවල එල්ලෙනවා.  ඒ වගේම එවන් අය සමලිංගික සහ අනිකුත් වෙනස් ලිංගික හැසිරීම් ඇති අය කොන් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකරන්නත්  ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. මෙවන් ක්‍රියා හීනමානයෙන් පෙලන අයට  "අනික් වුන්ට වඩා මම හොඳයි හෝ මම උසස්" කියන හැඟීමට  හොඳ තල්ලුවක් (boost) නැත්නම් සහයක් දෙනවා. ඇමෙරිකාව වගේ දියුණු යැයි අන් අය සිතන සමාජ වලත් සමහරුන් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව විශාල සටනක් ගෙනියනවා. තමන් හරි යැයි සිතන දේ අනෙක් අයත් හරියැයි සිතිය යුතු බව පිළිගන්නා ගෝත්‍රික ගතිය බොහෝ දෙනෙක් තුල අවාසනාවකට තවමත් තියෙනවා. මේ අතින් යුරෝපයේ රටවල් බොහෝ ඉදිරියෙන් .

Thursday, April 27, 2023

මහාචාර්‍යය විමල් වීරවංශ ගේ සුරංගනා කථා පොත



ලෝක භූ දේශපාලනය ගැන නවතම විශේසඥයා බවට මහාචාර්‍යය විමල් වීරවංශ මහතා පත්ව සිටී. ඔහු කියන පරිදි අරගලයට හේතුව ඇමෙරිකාව සහ ඉන්දියාවට ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුව වට්ටා කථානායක යටතේ නව රජයක් පිහිටුවා එම රටවල් වලට පාලනය කල හැකි පඹයෙකුගේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රියා කිරීම බවය. ඔහු මෙම අරගලය සමාන කරන්නේ මගේ කලින් පෝස්ට් එකේ පිළිතුරක සඳහන් කල පරිදි යුක්‍රේනයේ රුසියන් ගැති රජය පෙරලා ඔවුන්ට පාලනය කල හැකි  ඔබාමා, බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටියදී කල දේවල්ය. 

බැලූ බැල්මට පෙනෙන්නේ මහාචාර්‍යය විමල් විසින් විශාල සොයා ගැනීමක්  සිදුකොට  රටේ ස්වාධීනත්වයට ඇති තර්ජනයක් ගැන වැදගත් හෙලිදරව් කිරීමක් කර ඇති බවය. ඒ ගැන තීරණයක් ගැනීමට පෙර පහත කරුණු සලකා බලන්න. 

 මගේ අනුමානය නම් චීන රජයේ දේශපාලනික මාධ්‍යයක් විසින් රචනා කරන ලද මේ පොත විමල් ගේ නමින් මුදා හැර ඇති බවය. දේශපාලන සහ අනිකුත් වුවමනාවන් සඳහා මෙවන් ව්‍යාජ කරුණු  අඩංගු පොත් සහ සමහර විට වාර්ථා චිත්‍රපට නිෂ්පාදනය කොට එයට පිලිගැනීමක් දීමට ඒවා පිටුපස සිටින දේශපාලන හස්තය හංගා සමජයේ අනික් අය දන්නා හෝ පිලිගැනීමක් ඇති කෙනෙකු ගේ නමින් නිකුත් කිරීම ලෝකයේ දශක ගණනාවක් තිස්සේ කරන දෙයකි.   

බොහෝ භූ දේශපාලනික ගේම් සිදුවන්නේ රහසිගතවය. ඒවා සිදුවූ පසුව ඒවායේ  සමහර කොටස් විවිධ මාධ්‍ය හරහා සමාජයට මුදාහැරේ. ඔහුගේ පොත දොරට වැඩීමේ කථාවේ තිබුණේම  ලෝක ජන මාධ්‍යවල පසුගිය අවුරුදු 5-8 දී  ප්‍රචාරණය වී ඇති සිද්ධීන් කිහිපයක්  පිළිගත හැකි  හේතු නොදක්වා  එකිනෙකට සම්බන්ධ කොට ගොතන ලද කථාවකි.  

Friday, April 14, 2023

ජවිපෙ /මාලිමාවේ සිහින නිෂ්පාදන ආර්ථිකය

මීලඟ ජනපති අනුර කුමාර


මාලිමාව වෙසින් එන ජවිපෙ දැන් කියන එකක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියන එක. ඊට අමතරව ණය ගන්නෙත් නිෂ්පාදනයන් කරන්න කියන එක. මහින්ද වගේ කිසිම වැඩක් නැති ව්‍යාපෘති වලට ණය නොගන්නව කියන්න එක අතකින් හොඳයි.

ඒත් ඒ අයට නොතේරෙන එහෙම නැත්නම් තේරිලා වුනාට මෝඩ චන්දදායකයින්ව මුලා කරන කරුන නම් ලංකාව වගේ ඉතා කුඩා ජනගහණයක් ඉන්න රටවලට අපනයනය පදනම් වෙච්ච නිෂ්පාදන ආර්ථිකයක් සාර්ථකව හදන්න බැහැ කියන එක. රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න පුළුවන් වුනත් රටේ අවශ්‍යතාවය කුඩා නිසා ඒකට ගැලපෙන ප්‍රමාණයක් හැදීමෙන් අවශ්‍ය කරන පරිමාණ වාසියක් (economies of scale) ගන්න බැරි එක මුන්ට තේරෙන්නෙ නැහැ. මේවගේ ක්‍රමයක් තමයි 1970-77 දක්වා රටේ තිබුණෙ. ඒවුනාට ඒකාලෙ ලංකාවේ හදපු කිසිම දෙයක් (තේ පොල් රබර් හැර ) අපනයන කරන්න බැරි වුනා. මේවගේ නිෂ්පාදන ආර්ථික ගැලපෙන්නේ විශාල ජනහහණයක් (දේශීය වෙලඳපොලක්)  සිටින රටවලට. ඒ රටවල දේශීය වෙලඳ පොලට අවශ්‍ය ප්‍රමාණය හැදුවත් ඒ ප්‍රමාණය විශාල නිසා අඩු ඒකක නිශ්පාදන වියදමක් ගන්න  ගන්න පුළුවන්. රට තුල පරිභෝජනයෙන් ස්ථාවර වියදම් පියවා ගන්න පුළුවන් නිසා තරඟකාරී මිලකට අපනයනය කරන්න පුළුවන්. කොහොම හරි විදේශ මුදල් ලැබෙන  ප්‍රමාණයට අඩු ගණනක් තෙල් සහ අනික් ආනයන සහ පිටරට අධ්‍යාපනයට වියදම් වෙන්න ඕන. එහෙම අතිරික්තයක් ලබාගත්තොත් විතරයි වසරක් පාසා ඉහල යන විදේශ ණය අඩු වෙන්න පටන් ගන්නේ.

අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කරනවානම් එය සිදුවන්නේ එම රටවල වෙලඳ පොලට සපයන විදේශ ආයතන මේ රටේ ආයෝජනය කිරීමෙන්. එවැනි විශාල අයෝජන අද කාලයේ ලංකාවට එන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා.

1. 1970-80 දශක මෙන් නොව අද එවන් අයෝජන ලබා ගැනීමට උත්සාහ කරන රටවල් විශාල ප්‍රමාණයක් තිබීම සහ ලංකාවේ කම්කරු නීති ආදිය නිසා ලංකාව අයෝජකයින්ට ආකර්ශණීය තැනක් නොවීම. 1977 නිදහස් වෙලඳ කලාප හැදුවේ රටේ කම්කරු නීති බල නොපාන විදිහට. ඒත් 1994 පත් වෙච්ච චන්දිරිකා ආණ්ඩුව ඒක වෙනස කලා.

2. ලංකාවේ ශ්‍රම වියදම එම ආයෝජන ගන්නා අනික් තරඟකාරී රටවලට වඩා වැඩිවීම. උදාහරණයකට බංග්ලා දේශයේ වැටුප් ලංකාවට වඩා ඉතා අඩුයි. ඒ නිසා නුපුහුණු ශ්‍රමය අවශ්‍ය අය යන්නේ ඒ රටවලට.

Friday, March 31, 2023

සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ)

මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත.

ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ අප සිටියේ 127 වැනි ස්ථානයේ ය. ඉතිං, ගත වූ වසර තුළ සිටියාට වඩා යම් ප්‍රගතියක් අප අත්කරගෙන ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක.

 

ගෝඨාභය රාජපක්ෂ ඇති කළ විනාශය සුළුපටු නැත. රටේ සෑම අංශයක්ම ඔහු යටතේ නන්නත්තාර විය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සිටින සියලු පාර්ශ්වකරුවන් ඒ විනාශයේ හවුල්කරුවන් ය. එසේම, දශක ගණනක් තිස්සේ රාජපක්ෂලාගේ සියලු ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති අනුමත කළ සහ යුක්ති සහගත කළ, අද රාජපක්ෂ කඳවුරට එරෙහිව පාරට බැස සිටිතැයි රටට පෙන්වන වීරවංශ-ගම්මන්පිල ප්‍රවර්ගයේ ඊනියා ගැලවුම්කරුවන්ද ඒ විනාශයේ සෘජු හවුල්කරුවන් ය. (හෙට වන විට මේ පිරිස යළි මැදමුලනට ගොඩවුණොත් පුදුම නොවන්න).

 

අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ ඔවුන් අතිනි. රනිල් වික්‍රමසිංහ සියල්ල විකුණන් කතියි මොවුහූ කියති. ‘වික්කම සිංහ’ යනුවෙන් ඔහුට නම් පටබැඳ තිබේ. තමන් සන්තකයේ ඇති පිච්චිය පවා විකුණන් කෑමට වැඩ සැලැස්වූයේ, තමන්ද කොටස්කරුවන් වූ රාජපක්ෂලාගේ රාජ්‍ය පාලනය විසින් ය යන්න ඔවුන්ට අමතක ය. ණයගැති වීම, සැමරීමට තරම් කාරණයක්දැයි ඔවුහූ අසති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලංකාවට ලැබීම නිමිත්තෙන් රටේ ඇතැම් තැන්වල රතිඤ්ඤා පත්තු කිරීම සහ කිරිබත් කෑම ගැන මේ පිරිස් විස්සෝප වී සිටිති.

PHOTO 2023 03 31 10 14 52

තවත් ඩොලර් බිලියන 2.9 ක ණයකාරයෙකු බවට රටක් පත්වීම කිරිබත් කෑමට තරම් මංගල කාරණයක් නොවන බව ඇත්ත. එහෙත්, රතිඤ්ඤා පත්තු කිරීමට සහ කිරිබත් කෑමට විරුද්ධව අද කෑගහන සහ උපහාසයෙන් සිනාසෙන මේ පිරිස්ම මීට පෙර පාරවල් ගානේ කිරිබත් කෑ හැටි සහ රතිඤ්ඤා පත්තු කළ සැටි රටට අමතක නැත.

 

Sri Lankan ruling party supporters celebrate near chief justice Shirani Bandaranayake's house outside Colombo on January, 11 2013 as they celebrate the parliamentary vote on the removal of the lady chief justice Shirani Bandaranayake from office. The impeachment was approved with 155 voting for and 49 against in the 225 member assembly. AFP PHOTO/ Ishara S.KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

 

හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කළ දවසේ ඇගේ නිවස ඉදිරිපිට මහපාරේ මිනිස්සු ලිප් මොළවාගෙන කිරිබත් ඉවූහ. ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ පුරවැසි භාවයක් නැතැයි කියමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් වීසි කර දැමූ දා රට්ටු රතිඤ්ඤා පත්තු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මුළු රටම විනාශ කර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන් අවුරුදු තුනක් ඇවෑමෙන් ජනාධිපති ධුරයෙන් ඔහු පන්නා දැමුණු දවසේත් අර ජනතාවම නැවතත් කිරිබත් කෑහ. රතිඤ්ඤා පත්තු කළහ.

 

Wednesday, March 29, 2023

ලංකාවේ තෙල් කර්මාන්තය නැතිකල සිරිමාගේ සමාජවාදය





රොහාන් මාසකෝරාළ

1961 අංක 28 දරන විධිවිධාන යටතේ සිරිමා බණ්ඩාරනායක රජය විසින් තෙල් සමාගම් සියල්ලම වන්දි ලබා නොදී ජනසතු කළේය. වන්දි ගෙවීමකින් තොරව පවරාගත් අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන හල් ගණන 83ක් විය. මෙලෙස වන්දි නොගෙවීම නිසා 1964 දී ක්රියාත්මක වූ හිකන්ලුපර් සංශෝධනයට (විදේශ සහයෝගීතා පනතට) අනුව ලංකාවට එරෙහිව එය සම්මත වූ වසරේදීම ක්රියාත්මක කළේය. එය ක්රියාත්මක වූ පළමු හා අවසන් රට ද ලංකාව විය. මෙනිසා අමෙරිකානු රජය එවකට ලංකාවට දෙනු ලැබූ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාවද නතර කළේය.
1961 දී ලංකාව විදේශීය තෙල් සමාගම් වන ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් මෙරටින් පන්නා දැමූ අවස්ථාවේ සිංගප්පූරුව රටට පැමිණෙන්නැයි ඒ සමාගම්වලට ආරාධනා කළේය. සිංගප්පූරුව තම පළමුවැනි තෙල් පිරිපහදුව ෂෙල් සමාගම සමග පටන් ගත්තේ 1961 ජූලි 26 වැනිදාය. මොබිල් සමාගමේ ලොකුම පිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේය. මොබිල් සමාගමේ දෙවැනි ලොකුම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ පවතින ඒ තත්වය නිසා එරට අද ලෝකයේ බලශක්ති කේන්ද්රයකි. සිංගප්පූරුව පිහිටා තිබෙන්නේද ලංකාව වැනි හොඳ නැව් මාර්ගයකය. නැව්වලට පහසුකම් සහ සේවා සැලසීම අතින් ලොව ඉහළින්ම සිටින රට සිංගප්පූරුවයි. සිංගප්පූරුව තමන්ට අවශ්ය බොරල්තෙල් ගෙන්වන්නේ මැදපෙරදිග රටවලිනි. දවසකට නැව් 300 ක් ලංකාව පසුකරගෙන යන බවට අපේ මිනිස්සු කයිවාරු ගසති.එහෙත් ඒ නැව් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ සිංගප්පූරුවේ තරම් විශාල ව්යාපෘති සඳහා වන ආයෝජකයන් ලංකාවට නොපැමිණෙන නිසාය. ලංකාව පසුකරගෙන දවසකට යන නැව් 300 න් සියයට 60 ක් පමණම ඉන්ධන සහ ඉන්ධනවලින් කළ නිෂ්පාදන ප්රවාහනය කරන නැව්ය. ඇමෙරිකාවට අයිති දෙවැනි විශාලතම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පුරුවේය. නැව්වලට තෙල් සැපයීමෙන් ලොව පළමු තැන හිමිකරගෙන සිටින්නේද සිංගප්පූරුවයි. ගුවන් යානාවලට අවශ්ය තෙල් ද සිරගප්පූරුවේ නිෂ්පාදනය කරයි.ඒ රට වටා පිහිටි එරටට අයිති දුපත්වල තිබෙන පිරිපහදු ගුවනටත් කදිමට දිස්වෙයි.

Monday, March 20, 2023

අවුරුදු 75 විනාසය කල අයම රට ගලවාගන්න ඒම


සමාජවාදී වෙනුසුවෙලාවේ අද තත්ත්වය

හැත්තෑ පස් වසරක් සිටි දේශපාලකයින් අසමත් වූ නිසා ජවිපෙට බලය දෙමු යන්න අද ඇසෙන තර්කයක්. පහුගිය හැත්තෑ පස් වසරේ මොකද වුණේ කියන එක නොසිතා 2019 වුනා වගේ රැල්ලට ආවඩන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. පහුගිය හැත්තෑ පස් වසරේ වුන ප්‍රධාන ආර්ථික සහ සමාජීය හානි සහ එය වුන ආකාරය ගැනයි මේ සටහන. 

1948 නිදහස ලැබීමෙන් පස්සේ ලංකාව කියන්නේ බොහෝ ආසියානු රටවලට වඩා දියුණු රටක්. ඒක වෙනස්වෙන්න බලපාපු දේවල් බොහොමයක ආරම්භය 1951 සහ 1956 කියන්න පුළුවන්.

1. 1951 බණ්ඩාරණායක ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනකම් අපේ රටේ භාෂාව සහ ජාතිය පදනම් වූ දේශපාලන පක්ෂ තිබුණෙ නැහැ. එවකට තිබුණේ දේශපාලන ක්‍රම මත පදනම් වූ දේශපාලන පක්ෂ. එක්සත් ජාතික පක්ෂය ධනවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කල අතර සමසමාජ පක්ෂය වාමාංශික ආර්ථික ක්‍රමයක් විස්වාශ කලා. මෙවන් බෙදීමක් තමයි ලෝකයේ අනික් රටවලත් තිබුණෙ. නායකත්වය ප්‍රශ්ණයක් මත එජාපයෙන් වෙන්වුන බණ්ඩාරණායක වාමාංශික වුනා පමණක් නෙවෙයි ඒමඟින් පමණක් බලය ගන්න බැරි නිසා මහ ජාතිය වූ සිංහලයන් ගේ ජාතිකත්වය අවුස්සන දේවල් කලා. පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුව ආදිය නිසා රටේ සිටි අනිකුත් ජාතිකයන් වූ දෙමල සහ බර්ගර් ජාතිකයින් කොන් වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුනා. ඒවගේ සිංහලය විකුණල බලයට ආවම ජාතිවාදී දේවල් මෙන්ම ආර්ථිකයට විනාශ කාරී දේවල් එනම් වරාය, ප්‍රවාහණය ආදී දේවල් ජනසතු කිරීමටත් පටන් ගත්තා.

2. දෙවන හානිය වුනෙත් මේකාලෙම තමයි. 1947 නිදහස ලබපු ඉන්දියාව වාමාංශික ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කලත් ලංකාවේ තිබුණේ ධනවාදී ක්‍රමය. 1956 බලය ගත්ත බණ්ඩාරනායක ඉන්දියාවේ ඉල්ලීමට එංගලන්තය සමඟ තිබූ ආරක්ෂණ එකඟතාවය අහෝසිකලා. එම එකඟතාවය අනුව ලංකාවට ආක්‍රමණයක් ආවොත් එංගලන්තය ලංකාව ආරක්ෂාවට හමුදා යෙදවිය හැකි ක්‍රමය අයින් කලා. එමඟින් ඉන්දියාට කලාපේ බලය බන්දේසියක තබල බාර දෙන්න බණ්ඩාරණායක ක්‍රියා කලා. ඒවගේම කටුණායක තිබුණු ඇමෙරිකානු ගුවන් හමුදා ඛන්ඩයත් පිටමන් කලා. මෙය නොවන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවය නිර්මාණය කල දෙමල ත්‍රස්තවාදය රටට මෙතරම් හානියක් වෙන නොවන තත්ත්වයකට පාලනය කරන්න හැකිවෙනවා.  

Saturday, February 25, 2023

1956 කල වැරද්දම ආ‌පසු කිරීම

Kapila Gunasekera

දේශයක අවි ගත් හෝ අවි රහිත විප්ලවයක් කිරීම යනු පස් මහ බැළුම් බලා කල යුතු කාර්යයකි. සාර්ථක විප්ලවයක් සඳහා ඉටු විය යුතු පළමු කරුණ වන්නේ.
1. සාමූහික අරගල සඳහා හේතුවන පාට පක්ෂ බේදයකින් තො‌රව සාමාන්ය මහජන කලකිරීම
ජවිපෙ යන උද්දච්ච අඥාණ හීන මානයෙන් පිරි සංවිධානය 71 සහ 88/89 යන අරගල දෙකම කලේ මහජන කල කිරීමක් මත ඇතිවූ අරගල පැවති දේශයක නොවන බව රහසක් නොවේ. එම මන්දබුද්ධික උත්සහයන් දෙක අප දේශයට ගෙන ආ විනාශය අති මහත්ය. සති දෙකක අතීතයක් මත අබුද්ධික තීරණ ගන්න බහුතරයක් ඉන්න දේශයක මිනිසුන් හට එය අමතකව ගොසිනි. මෙම වියමන අකුරු කරන අප මහින්ද ප්රමුඛ පොහොට්ටුව සහ අකුදි ප්රමුඛ ජවිපෙ අතර වෙනසක් නොදකින්නේ එබැවිනි. මහින්ද බලය ඇතිව අප දේශය විනාශයට ගෙන ගිය අතර ජවිපෙ බල නැතිව අප දේශය විනාශයට ගෙන ගියෝය. අතීතයේ වැරදි කල මිනිසුන්හට නිවැරදි දේශපාලන ප්රවේශයකට ඉඩ ප්රස්ථා ලබා දිය යුතු නම් එය මහින්දට සහ අකුදි යන දෙදෙනාටම ඇති අයිතියකි.
මහින්ද බලයට දැඩි ලෙස කෑදර දේශපාලකයෙක් බව දැන සිටි ජවිපෙ 2005 දී මහින්දට බලය ලබා දීමට කට යුතු කරන්නේ අප දේශයට තිබූ ආදරය නිසා නොව තම කණ්ඩායමට බලය ලබා ගැනීමට නම් රාජ්ය පාලනයේදී අසමත්වීමට වැඩි සම්බාවිතාවක් ඇති අයෙක්ට සහ කණ්ඩායමක්ට බලය ලබා දීම සඳහා ඇවැසි සහය ලබාදීම තම කණ්ඩායමට බලය ලබා ගැනීමට ඇති එකම උපාය මාර්ගික ක්රමය බව විශ්වාස කල හෙයිනි. 2004දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මංගල සමග එක්ව චන්ද්රිකාව පෙළඹවා ගැනීම ජවිපෙ කල පලමු ආයුධ රහිත විප්ලවයයි.
2001 වනවිට තම මාමණ්ඩිය සමග එක්ව ආරක්ෂක හමුදා ඉතාමත්ම අසරණ අඩියකට ඇදදැමූ චන්ද්රිකා 94 වසර ආරම්බයේදී 5.8 ක්වූ අප දේශයේ ආර්ථික වර්ධන වේගය -1.5 ක් වූ තැනකට ගෙන එන ලදි. 2001 මහ මැතිවරණය එජාපය ජය නොගත්තේ නම් 2022 අප දුටු පෝලිම් අපට දැක ගත හැකිව තිබුණේ 2001/2002 යන වසර වලදීය. 2004 වන විට රනිල්ගේ රජය නැවතත් ආර්ථික වර්ධන වේගය 5.8 ගෙන් ආ අතර අප ආරක්ෂක හමුදාවනට ඉතාමත්ම හොඳ ප්රතිසංවිධානයකට අවැසි කාලය සහ අනෙකුත් අව්ශ්යතා ලබා දෙනු ලැබීය. මේ සියල්ලම හොඳින් දැන සිටි මංගල සහ ජවිපෙ රනිල් හට වසර 5 අවසන් කිරීමට ඉඩ දෙනු ලැබුවහොත් තමනට දිගු කාලයකට බලයට ඒමට අවස්ථාවක් නොලැබෙන බව දැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට චන්ද්රිකාව පෙළඹවා ගත්තෝය. සමාජ ආර්ථික සහ දේශපාලන සිතුවම නිවැරදි ලෙස කියවීමට නොහැකි මිනිසුන් අද වන විට ජවිපෙ කර තබා ගෙන දිව යෑම පිළිඹඳ අප පුදුම විය යුතු නැහැ. මොකද තමන් නොදන්නා බව නොදන්නා මිනිසුන් දේශපාලන ඔස්තාර්ලා වූ රටක සාමාන්යයෙන් සිදුවන්නේ එවැනි විපරීත සිදුවීම්ය.
2005 දී රනිල්ව පරාජය කිරීමට මහින්ද සමග දකුණේත් මහින්ද සහ LTTE සංවිධානය අතර වූ එකඟ තාවයට ආශිර්වාද කරමින් උතුරේත් චන්ද පදනම් වෙත ව්කෘති බල පෑමක් කල ජවිපෙ අද මැතිවරණය සහ ප්රජාතන්ත්රවාදය පිළිඹඳ හැඬ නැගීම දෛවය ඔවුන්ට උරුම කර දුන් කදිම සරදමකි. 2005දී ජවිපෙ සිදු කලේ අවි රහිත දෙවන විප්ලවයයි. සති දෙකකට ඉහත අතීතයක් පමණක් මතක මිනිසුන්හට ඈත සහ මෑත ඉතිහාසයන් පිළිඹඳ කියවීමක් නොමැති වීම අරුමයක් නොවන බැවින් ඔවුන් මෙවර ජවිපෙ කර තබා ගෙන යන රැල්ලක් නිර්මාණය කරමින් සිටින්නෝය.
මහින්දට බලය රැකගැනීමට ඇති හැකියාව අවතක්සේරු කල මංගල දේශපාලන පිටුවහල් කිරීමකට ලක්වූ අතර ජවිපෙ නතර වූයේ 3%ක්වූ ඉතාමත්ම අන්ත අසරණ තැනකය. දේශයක් තම අතීශයින් අවස්ථාවාදී අබුද්ධික දේශපාලන දැක්ම මත විනාශය කරා ගෙන ගිය කණ්ඩායමකට හිමි විය යුතු සුදුසුම තැන එයයි. මංගල ඉතාමත් ඉක්මණින්ම තම දේශපාලන අවස්ථාවාදය අත්හැර දැමූ නමුත් ජවිපෙ සහ ජජබයියන් අදටත් එම දේශපාලන අවස්ථාවාදයෙන්ම අන්ධ වී සිටිති.

2010 දෙශයේ අවසන් බලපො‌රො‌ත්තුව වශයෙන් බ්රෑන්ඩ් කලේ මහිනදව. 2015ත් දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් මහින්දව බ්රෑන්ඩ් කල අතර මහින්දගෙන රට බේර ගන්න සිරිසේනව බ්රෑන්ඩ් කලේය.
සිරිසේන හීනමානයෙන් පෙලෙන හෙයින් කලේම ගො‌බ්බ වැඩය. එබැවින් 2019 ගේඨාභය දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් බ්රෑන්ඩ් කිරීම ඉතාමත්ම පහසු විය. ඊට පස්සෙ ගො‌ඨාභයගෙන් දේශය බේර ගන්න ජනතාව පාරට බැස්ස නමුත් එම පෙල ගැසීම ජවිපෙ සහ පෙරෙට්ටන් තම කණ්ඩායම් හී දේශපාලන සිතියම වෙනස් කර ගැනීමේ අරමුණින් අවස්ථාවාදී ලෙස පැහැර ගත්තෝ‌ය.
වර්ථමානයේ දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් අකුදිව බ්රෑන්ඩ් කරමින් සිටිති. තවත් සම(හරක්) ආ‌සයිබයයි සමග ඔහුගේ කැඳ හැලිය වන සජබයි කණ්ඩායම බ්රෑන්ඩ් කරමින් සිටිති. අපට වැරදුණු තැන මේ බ්රෑන්ඩ් කිරීම බව වටහා ගැනීමට අති බහුතරයකට හැකියාවක් නැත. එය බො‌හේ කඩා වැටුණු දේශයන්හී බහුතරයකගේ ලක්ෂණයකි.
තමන් නො‌දන්නා බව නො‌දන්නා නමුත් සියල්ල දත් චරිත රඟපාන මිනිසුන් අති බහුතරයක් වු රටක දේශපාලන හැසිරීම එසේ වීම අරුමයක් නො‌වේ.
මෙම අවස්ථාව දේශයක් ලෙස නැගී සිටින්නට ලැබුණු මහඟු අවස්ථාවක් වුවත් එය දකින්නට නො‌හැකි වූ මිනිසුන් සො‌යනුයේ කරේ තබා ගෙන යාමට එකෙකි. කර උඩ එකෙක් නො‌සිටියො‌ත් උන් හට එය ලො‌කු අවුලකි.
රැලි සාදා එම රැලි වලට හසුවී හැඳ සිටි ඇ‌ඳිවතත් නැනිවූ මිනිසුන් නැවත නැවතත් සාදන්නේ රැලිමය.
අප දේශය දිගු ගමනකින් පසු පැමිණ ඇ‌ත්තේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ඉසව්වක සිට පිළිතුරු සෙවීම කල යුතු තැනකටය. එය දකින්නට නො‌හැකි බහුතරයක් අතරින් සමහරක් මුන්ටවත් දීල බලමු යන සිතුවිල්ල මත අප දේශයේ එරී තිබෙන නාරා වලේම තබා ගැනීමට සැරසෙන බව එම මිනිසුන්හට වැටහෙන්නේ නැත.
රැල්ලක් නො‌මැතිව ජීවතයක් නැති කර උඩ එකෙක් නැතිව අවුල් කො‌ටසක් මේ සැරසෙන්නෙ ඉතිහාසයේ 1956 කල වැරද්දම ආ‌පසු කිරීමටය. ඉතිහාසයේ එකම වැරැද්ද නැවත නැවත කරන බව බහුතරයකට වැටහෙන්නේ වැරද්ද කල පසු වීම අභාග්යකි.
සමහරෙක් දෛවයක් ඇ‌ති බව විශ්වාස කරන අතරම දෛවය වෙනස් කිරීමට හැකි බවද විශ්වාස කරති. කණගාටුව නම් එවැනි මිනිසුන් සිටින්නේ ඉතාමත්ම අතලො‌ස්සක් වීමය.
දේශයක් වශයෙන් යලි හිස ඔසවන්නට ලැබුණු පළමු අවස්ථාවේම දේශපාලනය පසෙක තැබූ ජපානය ආ‌දර්ශයක් කර ගෙන දේශපාලනය පසෙකට ලා හිස ඔසවන්නට ලැබුණු මහඟු අවස්ථව පසෙකට ලා අකුදි සහ අකුදිගේ කණ්ඩායම කර තබා ගැනීම විසඳුම වශයෙන් දකින වහල් මනස් ඇ‌ති මිනිසුන් සිටින රටකට හිස එසවීම යනු ඉතාමත්ම අසීරු කරුණක් වීම අරුමයක් නො‌වේ.
චිරං ජයතු ශ්රී ලංකා