Thursday, April 27, 2023

මහාචාර්‍යය විමල් වීරවංශ ගේ සුරංගනා කථා පොත



ලෝක භූ දේශපාලනය ගැන නවතම විශේසඥයා බවට මහාචාර්‍යය විමල් වීරවංශ මහතා පත්ව සිටී. ඔහු කියන පරිදි අරගලයට හේතුව ඇමෙරිකාව සහ ඉන්දියාවට ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුව වට්ටා කථානායක යටතේ නව රජයක් පිහිටුවා එම රටවල් වලට පාලනය කල හැකි පඹයෙකුගේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රියා කිරීම බවය. ඔහු මෙම අරගලය සමාන කරන්නේ මගේ කලින් පෝස්ට් එකේ පිළිතුරක සඳහන් කල පරිදි යුක්‍රේනයේ රුසියන් ගැති රජය පෙරලා ඔවුන්ට පාලනය කල හැකි  ඔබාමා, බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටියදී කල දේවල්ය. 

බැලූ බැල්මට පෙනෙන්නේ මහාචාර්‍යය විමල් විසින් විශාල සොයා ගැනීමක්  සිදුකොට  රටේ ස්වාධීනත්වයට ඇති තර්ජනයක් ගැන වැදගත් හෙලිදරව් කිරීමක් කර ඇති බවය. ඒ ගැන තීරණයක් ගැනීමට පෙර පහත කරුණු සලකා බලන්න. 

 මගේ අනුමානය නම් චීන රජයේ දේශපාලනික මාධ්‍යයක් විසින් රචනා කරන ලද මේ පොත විමල් ගේ නමින් මුදා හැර ඇති බවය. දේශපාලන සහ අනිකුත් වුවමනාවන් සඳහා මෙවන් ව්‍යාජ කරුණු  අඩංගු පොත් සහ සමහර විට වාර්ථා චිත්‍රපට නිෂ්පාදනය කොට එයට පිලිගැනීමක් දීමට ඒවා පිටුපස සිටින දේශපාලන හස්තය හංගා සමජයේ අනික් අය දන්නා හෝ පිලිගැනීමක් ඇති කෙනෙකු ගේ නමින් නිකුත් කිරීම ලෝකයේ දශක ගණනාවක් තිස්සේ කරන දෙයකි.   

බොහෝ භූ දේශපාලනික ගේම් සිදුවන්නේ රහසිගතවය. ඒවා සිදුවූ පසුව ඒවායේ  සමහර කොටස් විවිධ මාධ්‍ය හරහා සමාජයට මුදාහැරේ. ඔහුගේ පොත දොරට වැඩීමේ කථාවේ තිබුණේම  ලෝක ජන මාධ්‍යවල පසුගිය අවුරුදු 5-8 දී  ප්‍රචාරණය වී ඇති සිද්ධීන් කිහිපයක්  පිළිගත හැකි  හේතු නොදක්වා  එකිනෙකට සම්බන්ධ කොට ගොතන ලද කථාවකි.  

උදාහරණයකට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, සහ දකුණු අප්‍රිකාව ඇතුලත් වන BRICS හවුල ගැන ඔහු කී දේ බලමු. BRICS හවුල පොදු මුදල් ඒකකයක් ගැන කථා කරන බව කිසිවෙකුට රහසක් නොවේ. නමුත් ඒ ගැන අදහස් දක්වා ඇති අයගේ අදහස වන්නේ එය කවදාවත්ම නොවන දෙයක් බවයි. යුරෝපයේ යුරෝ මෙන් එක් මුදල් ඒකකයක් හඳුන්වා දීමට රටවල් අතර පොදු මහ බැංකුවකට සමාන ආයතන බිහි විය යුතුය. 1962 දී යුද්ධයකට පැටලුනු අදටත් විශාල දේශ සීමා ප්‍රශ්ණ ඇති පස මිතුරන් වන ඉන්දියාව හා චීනය කිසිදාක තමන්ගේ මුදල් පාලනය තම සතුරා සිටින ආයතන ව්‍යුහයකට භාර දෙතැයි ඔබ සිතනවාද?  එසේම දකුණු අප්‍රිකාව අප්‍රිකා මහද්වීපික නිදහස් වෙලඳ කලාපයේ (African Continental Free Trade Area)   2063 න්‍යාය පත්‍රයට (Agenda 2063) අත්සන් තබා ඇත. ඒ අනුව යුරෝපය මෙන් අප්‍රිකාව එක් වෙලඳපොලක් කිරීමට දැනමත් විශාල වැඩ කොටසක් කෙරෙමින් පවතී. එහිදීද යුරෝපයේ මෙන් එක් මුදල් ඒකකයක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ අනාගත සැලසුම් වල එක අංගයකි. එවිට BRICS හවුල හරහා ගෙන එන එක මුදල් ඒකකයකට දකුණු අප්‍රිකාවේ ඇතුලත් වීමක් අපේක්ෂා කල නොහැකිය. ඇමෙරිකානු සම්බාධක හමුවේ රුසියානු රූබලය කඩා වැටෙන විට රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීමට රූබල් වලින් මුදල් ගෙවන ලෙස රුසියාව දන්වන ලදී. එමෙන්ම චීනයද තමන්ගේ මුදල් ඒකකය වන යුවාන් වලින් ගනුදෙනු කිරීමට උත්සාහ කර ඇත. එහෙත් මහාචා‍ර්ය විමල් ට අනුව මෙය ඩොලරයේ බිඳ වැටීමේ රම්භයයි. ජාත්‍යන්තර ගණුදෙනු සඳහා මුදල් ඒකකය ලෙස ඩොලරයට තිබූ තැන යම් කිසි දුරකට අභියෝගයකට ලක්වීම දැන් වසර කිහිපයක සිට සිදුවෙමින් පවතින දෙයකි. එහෙත් එයට ඔහු ගත් උදාහරණය ඔහුගේ විශ්ලේශණයේ ඇති මතුපිටින පමණක් දුවන ස්වභාවය පෙන්වයි.         

ගෝටාභය ඉවත්වීමේදී රනිල් අගමැති ලෙස වැඩ බැලීමට පත් වීම වැලැක්විය හැකි දෙයක් නොවේ. විමල්ට අනුව ඇමෙරිකාව සහ ඉන්දියාවට අවශ්‍ය වූවේ රනිල් අගමැති කමෙන් ඉවත් කර කථානායකවරයා වැඩ බැලීමට පත් කරවා ගැනීමටය. ශ්‍රීලංකා ව්‍යවස්ථාවට අනුව වැඩ බැලීම සඳහා පත්කෙරෙන  ජනාධිපතිවරයා වෙනුවට නිස්චිත කාලසීමවකදී පාර්ලිමේතුවේ චන්දයක් මඟින් ජනාධිපතිවරයෙකු තෝරාගත යුතුය. කථානායකවරයා ඒ තනතුරට පත්කර ගැනීම ඇමෙරිකාව සහ ඉන්දියාවේ අවශ්‍යතාවය වූවේ නම් ඔවුන් ඒ සඳහා ක්‍රියාකල යුතුව තිබුණේ පාර්ලිමේතු චන්දයේදී මිස තාවකාලික ජනාධිපති පත්වන අවස්ථාවේ නොවේ.     

සාධාරණ හේතු මත රනිල් ඇමෙරිකාවට, බටහිරට සහ ඉන්දියාවට වඩා ගැති කමක් දක්වයි. අපේ නිශ්පාදන වලින් 90% කට වඩා මිලදී ගන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය. රාජපක්ෂ යුගයේ හැර මුදල් ප්‍රදාන, දීර්ඝ කාලීන අඩු පොලී සංවර්ධන ණය සපයා ඇත්තේ ඉන්දියාව සහ බටහිර රටවල්ය. රටේ ආර්ථිකය කාබසිනියා කිරීම ආරම්භ කල බණ්ඩාරණායක යුග වල අපේ නිශ්පාදන මිලදී ගන්නා අය රටවල් වලට පිටුපා  රුසියාව සහ චීනය පස්සේ යාම සිදුවුනි. රාජපක්ෂ යුගයේ මෙය වඩා තීව්‍ර වී කිසි ආදායමක් නැති ගසා කෑමට පමණක් යෙදවූ චීනයේ කෙටි කාලීන වැඩි පොලී ණය වලින් ආර්ථිකය නැතිවී ගියේය. එම නිසා අපේ රට බටහිර කඳවුරට බර කිරීම ආර්ථික වශයෙන් වාසිදායක නිසා එක්සත් ජාතික පක්ෂය සැමවිටම එම ස්ථාවරයේ සිටියේය. එසේම ඉන්දියාව අද සිටින්නේ චීනය විරුද්ධව ඇමෙරිකානු කඳවුරේය. (එහෙත් පරණ මිතුරා වන රුසියාවද ඔවුන් අමතක නොකරයි )  එසේ තිබියදී ඇමෙරිකාවට හෝ ඉන්දියාවට රනිල් මඟහැර  කථානායකවරයා වැඩ බැලීමට පත්කරවා ගැනීමට අවශ්‍ය වූවා යැයි කීම විහිළුවකි.  

ඔහු පුන පුනා කියනා තව දෙයක් නම් අප රටේ පිහිටීම නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලට එය ඉතා වැදගත් බවත් ඒ නිසා මෙම ඇඟිලි පෙවීම් සිදුවන බවත්ය. මෙය අවධාරණය කරන්න ඔහු යොදා ගන්නේ  ක්‍රි.ව 1500 ගණන් වල පෘතුගීසී  හමුදා ප්‍රධානීන් අතර හුවමාරුවූ ලිපියකි. දැනට සියවස් කිහිපයකට පෙර මෙන්ම දශක කිහිපයකට පෙර මෙම තත්ත්වය සත්‍ය වන්නට පිලිවන. තවත් කරුණක් නම් ඉන්දියාවේ බලපෑමට යටත්වී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරණායක ත්‍රිකුණාමලේ සහ කටුනායක පිහිටි කඳවුරු ඉවත් කරන කාලයේ නම් බටහිරට ලංකාව වැදගත් වූ නමුත් ඒ වෙනුවට 70 දශකයේදී දියාගෝ ගාසියා හිදී ස්ථාපනය කල ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය යුධ කඳවුරෙන් පසුව බටහිරට ලංකාවේ වටිනාකම අඩුවන්නට විය.    

එමෙන්ම අද ඇති සමහර මිසයිල් කිලෝ මීටර් 5,000 කට වඩා දුර විදිහ හැකිය. ඒවායේ නිවැරදි තාවයද 1960 ගණන් වල තිබූ නිවරැදි තාවයට වඩා ඉහල මට්ටමක පවතී. ප්‍රහාරක යානා රැගෙන යන  යුධ නෞකා වලටත් එදාට වඩා විශාල දුරක් ඉන්ධන නැවත ලබා නොගෙන යාහැකි වුවත් එහි ඇති ගුවන් යනා වලට ඉන්ධන අවශ්‍ය වේ. ඒ සඳහා මුහුද මැදදී තෙල් සැපයිය හැකි තෙල් නෞකා යුධ නාවික ක්ශේත්‍රයේ දියුණු සියළුම රටවලට ඇත. එම නිසා ලංකාවේ පිහිටීම බටහිර නාවික හෝ ගුවන් හමුදා වලට ඇති වටිනාකම අද ඉතා අඩුය.

 ඇමෙරිකානු හමුදාවලට ලංකාවේ වරායවල් සහ ගුවන් තොටුපලවල් පාවිච්චි කිරීමේ අයිතිය මහින්ද රාජපක්ශ සමයේ සිටම ලබා දී තිබේ. එහෙත් ඉන්දියාව ඇමෙරිකාවේ මිතුරෙකු වූ පසුව එහි ඇති වටිනාකමේ විශාල අඩුවීමක් සිදුවිනි.  එහෙත් චීනයට ඉන්දියාවට දකුණින් ප්‍රහාරයක් එල්ල කිරීමට නම් ලංකාව වැදගත් වේ. එහෙත් විමල් කියන්නේ ඇමෙරිකාව චීන බල කේන්ද්‍රයට විරුද්ධව ලංකාවේ පිහිටීම මත වාසියක් ගැනීමට බල පෙරළි සිදු කරන බවය. මගේ අදහස නම් චීනයට ලංකාවෙන් ඇති වාසිය අඩු කිරීමට ඉංදියාව සහ බටහිර රටවල් උත්සාහ කරන බව සත්‍ය මුත් ලංකාවේ පිහිටීමෙන් බටහිර රටවල හමුදා වලට විශේෂ වාසියක් නැති බවයි. මෙයින් වන්නේ ලංකාවට වාසියක් බව මම හිතන්නේ, ලංකාවේ භූමිය පාවිච්චි කර චීනය ඉන්දියාවට ප්‍රහාර එල්ල කලහොත් ඉන්දියාවට ලංකාව දින දෙකක් ඇතුලට සහමුලින්ම විනාශ කල හැකි සන්දර්භයක් තුල චීනයට ලංකාවේ භූමිය පාවිච්චි කිරීමේ හැකියාව බැලන්ස් කරන දෙයක් ඇමෙරිකාව සහ ඉන්දියාව කරනවානම් එය මේරටේ ආරක්ෂාවට යහපතක් බවයි. 

විමල් කරන තව ප්‍රකාශයක් වන්නේ පෙබරවාරි මස ප්‍රධානියා ලංකාවට පැමිණීම සහ එහිදී රජය ඇතිකරගත් එකඟතාවයන් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමැතිය ලබා ගත් බවයි. 1995 සිටම ඇමෙරිකාව සමඟ ආරක්ෂක එකඟතාවයක් තිබී ඇත. එය 2007 දී අත්සන් කර 2017 දී දික් කරන ලද   Acquisition and Cross Services Agreement හරහා තවත් තීව්‍ර වී ඇත. 2019 සිට දැනට රටවල් 57 ක් අත්සන් කර ඇති Status of Forces Agreement  (SOFA) ගැන සාකච්චා වෙමින් පවතී. මෙහි විශේෂත්වය වන්නේ ඇමෙරිකානු හමුදා නිලධාරියෙකුට මෙම එකඟතාවය අත්සන් කර ඇති රටක වන ක්‍රියාවක් සඳහා නඩු පැවරීමට ඇති හැකියාව නැති කිරීමයි. 2019 වසරේ සිට පැවති එම සාකච්චා ගැන බොහෝ දෙනෙක් දන්නා අතර විමල්  (හෝ මේ පොතෙහි රචකයා )  කරන්නේ චීනයට අවාසි එම එකඟතාවයත් අරගලයේ කුමන්ත්‍රණයක් සිදුවූවා යැයි කියන තර්කයට ගොනු කිරීමයි. මගේ අදහස නම් සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසුව ඉන්දියාව ඇමෙරිකාවට හිතවත් රටක් ලෙස කිට්ටු වීම නිසා ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට ලංකාව භූගෝලීය වශයෙන් කලින් තරම්ම වටිනාකමක් නැතිවුනත් ඔවුන්ගේ සහායක රටක් ලෙස ලංකාව චීන ග්‍රහණයෙන් ඇත්කර තබා ගැනීමට පමණක් ඔවුන්ට අවශ්‍ය බවයි.  

1978 සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ණය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති කොන්දේසි බොහෝ විට අදාල වූයේ රටේ ආර්ථිකය හැසිරවීම ගැනයි. මෙවර ඉදිරිපත් කර ඇති කොන්දේසි වන්නේ රටේ බදු එකතු කරන ආයතන එකතු කර ආදායම් දෙපාර්තමේන්තුවක් ඇතිකිරීම, දූශණ විරෝධී පණත සම්මත කිරීම, රජයේ ව්‍යාපර ආයතන විකුණා දැමීම, සමාජයේ පහල මට්ටමේ පවුල් සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, සහ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කරණය  යන ඒවායි. එහෙත් පෙබරවාරි මාසයේදී SOFA එකඟතාවය ගැන සාකච්චා වීමට සිදුවන්නට ඇත. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය දක්වන ලද මැලිකම හා ඒ නිසා සිදුවූ ප්‍රමාදය යන කරුණ සහ කලින් සඳහන් කල පරිදි අපේ අපනයන ගන්නේත් ආධාර කරන්නේත් චීනය නොව ඇමෙරිකාව බැවිනුත් ගිවිසුම අත්සන් කිරීම රටට වාසිදායක බව මඟේ හැඟීමයි.   චීනයේ උසි ගැන්වීම මත MCC ගිවිසුමෙන් රටෙන් කොටසක් ඇමෙරිකාවට අයත වනවා යැයි ප්‍රචාරයක් ගෙනගිය මෙවන් අය බටහිර රටවල් සමඟ වන ඕනෑම ගිවිසුමක් කඩාකප්පල් කිරීම මඟින් තම හාම්පුතුන් ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සැදී පැහැදී සිටීම ගැන පුදුම විය යුතු නැත.     

කලින් කීවක් මෙන් යුක්‍රේනයේ රුසියන් හිතවාදී රජය බිඳ දමා බටහිර ගැති රජයක් ස්ථාපනය කලේ ඇමෙරිකාවයි. ඒ සඳහා ඇමෙරිකාවට හේතු කිහිපයක් තිබිණි. රුසියානු තෙල් සහ ගෑස් යුරෝපයට ප්‍රවාහණය කලේ යුක්‍රේනය හරහා තිබෙන නල පද්ධතියකිනි. එව තවත් නල මාර්ගයක් තැනීම පටන් ගැනීම ආසන්නයේ තිබිණි. ඇමෙරිකාවේ සිට යුරෝපයට තෙල් සහ ගෑස් ප්‍රවාහණය කිරීමට යුරෝපයට වැඩි මුදලක් වැයවේ. එමෙන්ම යුරෝපය රුසියානු ගෑස් සහ තෙල් මත යැපීම ඇමෙරිකාව නුරුස්සන්නක් විය. අනික යුක්‍රේනය යනු රුසියාවට අල්ලපු රටය. අනික කසකස්ථානය හැරුනු විට කලින් වොර්සෝ සම්මුතිය යටතේ සෝවියට් සමූහාණ්ඩුව යටතේ සිටි අනික් සියළුම රටවල් යුරෝපා සංගමයට හෝ නේටෝ සංවිධානයට බඳවාගෙන ඇත. යුක්‍රේනය යටතේ තිබූ ක්‍රිමියාව හරහා කළු මුහුද නේටෝ සංවිධානයේ පාලනයට ගත හැකිවූවේ නම් රුසියාවට කිසිදා නැවත නැඟිටීමට නොහැකි වෙනසේ යට කිරීමට ඇමෙරිකාවට හැකි වීමට ඉඩ තිබුණි. (ඉහත යුක්‍රේන කුමන්ත්‍රණයට පසුව ක්‍රිමියාව රුසියාවට ඈදා ගැනීමෙන් පූටින් විසින් මෙය යම් දුරකට වලක්වන ලදී ) . මෙවන් ඇමෙරිකාවට අති වැදගත් රටක පාලනය වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ග, යුක්‍රේනය හා සසඳන විට 1% වත් වැදගත් කමක් නැති ලංකාවේ සිදුවුණු අරගලයට සමාන කොට සංසන්ධනය කර දැක්වීමම මෙම කෘතිය පුස්තකාල වල සුරංගනා කථා ගොන්නට එකතු කිරීමට සුදුසුකම් ලබයි.    

අනෙක් කරුණ නම් රටවල් වල මැතිවරණ වල විවිධ පාර්ශව වලට  විදේශ රටවල් වලින් මුදල් සැපයීම සහ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය දෙවන ලෝක යුද්ධය අවසන් වූ සමයේ සිට අද දක්වාම ක්‍රියාත්මක වේ. 2016 මැතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කල පසුද එරට ජනප්‍රියම මාතෘකාවක් වූයේ රුසියානු ඔත්තු සේවා එම මැතිවරණයට බලපෑම් කලේද යන්නයි. ඒ අනුව ලංකාවේද මැතිවරණ වලට ඉන්දීය සහ අනිකුත් ඔත්තු සේවා වල බලපෑම් එල්ල වී තිබේ. එයින් මැතිවරණයට මුහුණ දෙන ප්‍රධාන ප්‍රතිවාදීන් දෙකොටසම වාසි අවාසි සිදුවී ඇත. ඒ අනුව අරගලයටද යම් කිසි ඔත්තු සේවාවක් හෝ ඔත්තු සේවා එකකට වැඩි ගණනකින් බලපෑම් ඇතිවී ඇත්නම් එහි පුදුමයක් නැත. එහෙත් ගෝඨාභය පාලනය බිඳ වැටීමට හේතු වූයේ එම රජයේ බදු කපා හැරීම සහ එයින් වූ පාඩුව පියවා ගැනීමට මුදල් මුද්‍රණය කර ඒ සමඟ මසකට ලැබෙමින් තිබුණ ඩොලර් මිලියන 800 ක ප්‍රේශණ ඩොලර් මිලියන 200 දක්වා පහත වැටෙනකම් ඩොලරය රුපියල් 200 ට අල්ලගෙන සිටීම වැනි කිසිවෙකුට සාධාරණීකරණය කල නොහැකි තීරණ නිසා මහජනයාට මුහුණ දීමට සිදුවූ අපහසුතා මිස ඔත්තුසේවා වල ක්‍රියාවක් නිසාම නොවන බව අපි දනිමු. 

එසේ නම් විමල් මේ ගෙනයන භූමිකාව කුමක් විය හැකිද? ලෝක දේශපාලනය සහ අනිකුත් ලෝකයේ සිදුවන දේවල් ගැන බොහෝ දෙනා තුල එතරම් දැනීමක් නැත. එමෙන්ම ලෝක ආර්ථිකය ගැන හෝ ලංකාවේ ආර්ථිකය ගැනවත් බොහෝ දෙනෙකුට දැනීමක් නැත. චන්ද්‍රිකා පාලන සමයේ ඩොලරයක වටිනාකම ඉහල නැඟි එක් අවස්ථාවක එක්තරා ඇමතිවරයෙක් කීවේ එය ඉහල දැම්මේ මැද පෙරදිග ශ්‍රමිකයන්ට වැඩි මුදලක් ලබා දීමට කියාය. ලඟදී තවත් ඇමතිවරයෙකු රූපවාහිනී සාකච්චාවකදී කීවේ කෝවිඩ් කාලයේ ලැබෙන ආධාර මුදල් රටට එන්නේ නෝට්ටු වශයෙන් නැව් හරහා බවයි. මේ කථා බහුතරයක් මහජනයා විශ්වාශ කල බව මට නම් විස්වාශය.    90 දශකයේ ජවිපෙ සමඟ සිටි එක්තරා කාලයක විමල් වීරවංශ කීවේ රටේ ණය ඩොලර් වලින් නොව රුපියල් වලින් ගෙවීමට ඔවුන්ගේ රජයක් ක්‍රියා කරන බවයි. රට සහ ලෝකය ගැන අවම වැටහීමක් වත් නැති විමල් වැනි අයකු ලෝක භූ දේශපාලනය ගැන හදාරා ඒ මත ඔහුගේම විශේශඥ මතයක් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයෙකු බවට ඔබ හිතනවාද?   

 කලින් කියා ඇති පරිදි මේ පොතේ ඇත්තේ කවුරුවත් නොදන්න රහසිගත තොරතුරු නොව, ලෝක දේශපාලනය සහ ආර්ථිකය ගැන කියවන සහ ඒ ගැන උනන්දුවක් ඇති අය දැනටමත් දන්නා අන්තර් ජාලයේ ලේසියෙන් සොයාගත හැකි දේවල් කිහිපයක් එකතු කර ගොතා ඇති සුරංගනා කථාවකි. මෙමඟින් උත්සාහ කරන්නේ ඇමෙරිකානු සහ ඉන්දියානු විරෝධයන් මහජනයා තුල වර්ධනය කර දැන් ඔවුන්ට විරුද්ධ ලෝක බලවතා වන චීනයට වාසි වෙන ලෙස ජන මතයට බලපෑමක් කිරීමටයි. මගේ උපකල්පනය අනුව එහි පසුපස සිටින්නේ චීන රජයට සම්බන්ධ පාර්ශවයකි. විමල් ගේ නම එම සුරංගනා කථා වලට එලියට පෙනී සිටින්නෙකු ලෙස යොදාගෙන ඇත. දැනට චීන රජයේ පූර්ණ මුල්‍යම සහ දේශපාලනික අනුග්‍රහය ලබන ජවිපෙ පාවිච්චි නොකොට ජවිපෙ විරෝධියෙක් ලෙස සැලකෙන විමල් මහාචාර්‍යය තුමා මේ සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ හස්තය සඟවා තබා ගැනීමට පමණි. 

මේ සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇති බව මමත් පිළිගනිමි. එහෙත් කුමන්ත්‍රණය ඇත්තේ විමල් කියන පරිදි අරගලය පිටුපස නොව ව්‍යාජ තොරතුරු ඇතුලත් පොතක් එලිදැක්වීම තුලය. 



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

30 comments:

  1. අජිත් ධර්මකිර්තිපාලApril 27, 2023 at 6:38 PM

    මම නං ඔය පොත තවම කියෙව්වේ නැහැ. ඒ නිසා අදහසක් දක්වන්න අමාරුයි. ඉයන් පොත කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. අප මුල සිටම මුදලට බ්ලොග් ලියනා අය ගැන කියූ කාරනා ඇත්ත බව විමල් වීරවංශ මහතා රචිත 'නවය; සැඟවුණු කතාව' පොතෙන් දැන් හෙළිවී ඇත. අජිත් ධර්ම මහතා දැන් මොකද ඒ ගැන කියන්නේ.

      පහත කරුණු හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලි‌මේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගෙන් උපුටා ගන්නා ලදී.

      මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න‘ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්ත්වයකට පත් කරගන්න විය හැකියි.

      කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කථානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න‘ කියා. එතකොට කථානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. මම කථානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.‘ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ. අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න‘ කියලයි.

      රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.‘ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපාය උපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි.

      ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ.

      සම්පුර්ණ ලිපිය මෙතනින්

      Delete
    2. ගෝටාභය ඉවත්වීමේදී රනිල් අගමැති ලෙස වැඩ බැලීමට පත් වීම වැලැක්විය හැකි දෙයක් නොවේ. විමල්ට අනුව ඇමෙරිකාව සහ ඉන්දියාවට අවශ්‍ය වූවේ රනිල් අගමැති කමෙන් ඉවත් කර කථානායකවරයා වැඩ බැලීමට පත් කරවා ගැනීමටය. ශ්‍රීලංකා ව්‍යවස්ථාවට අනුව වැඩ බැලීම සඳහා පත්කෙරෙන ජනාධිපතිවරයා වෙනුවට නිස්චිත කාලසීමවකදී පාර්ලිමේතුවේ චන්දයක් මඟින් ජනාධිපතිවරයෙකු තෝරාගත යුතුය. කථානායකවරයා ඒ තනතුරට පත්කර ගැනීම ඇමෙරිකාව සහ ඉන්දියාවේ අවශ්‍යතාවය වූවේ නම් ඔවුන් ඒ සඳහා ක්‍රියාකල යුතුව තිබුණේ පාර්ලිමේතු චන්දයේදී මිස තාවකාලික ජනාධිපති පත්වන අවස්ථාවේ නොවේ.

      Delete
  2. ඇමරිකාවෙ ඒලියන්ස්ල/ඒරියා 51 කොන්ස්පිරසි තියරිකාරයෝ ඉන්නවා.
    මෙහෙ ඇමරිකන් කොන්ස්පිරසි තියරිකාරයෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. This is something beyond a mere conspiracy theory. This is to create a false narrative.

      Delete
  3. පංචායුධ පචායුධ වුන හැටි මතකයි
    මැරෙන්න ගිය උපවාසයෙ හැටි මතකයි
    මිනිහ මුඛරියා ඇට නැති දිව ලෙළවයි
    මට සිහි වුණේ බලු පස්සේ බැඳි මීයයි!

    ReplyDelete
    Replies
    1. නිදී බොහොම ස්තූතියි

      Delete
  4. කාලෙන් කාලෙට මොනාහරි කරලා කලඑළි බහින්ට එපෑ. නැහ්නං මිනිස්සුන්ට තමන්ව අමතක වෙනබව... මුන්දල හොඳටම දන්නව.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. මේකෙන් මිනිහ සෑහෙන්න ලකුණු දාගන්නවා.

      Delete
  5. කොරෝනා චීනාට සහ විමල්ට මගේ ඇති අකමැත්ත යටපත් කොට කියන්නට වෙන්නේ, ඇමරිකාව සාන්තුවරයෙකු නොවන බවයි. ඒත් චීනා මැදපෙරදිග සාමයට ගැසූ කරණම නම් උත්කර්ෂයි. හැමෝම දන්නා පරිදි ඇමරිකාව එතෙක් කලේ සවුදියට ආයුධ විකුණා, ගින්නට පිදුරු දැමීමයි.

    ඉයන් ඉදිරිපත් කරන සමහර තර්ක සමඟ එකඟ වන අතර, අපි කාගේත් අතින් කියවෙන්නේ (අපි කැමති) අර්ධ සත්‍යය බව සිතීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මේක දිග වැඩි නිසා ලිපියේ අරමුණ හරියට සංනිවේදනය නොවෙනව ඇති. මම කියන්නේ විමල් ගේ පොත අරගලය චීනයට විරුද්ධව ඇමෙරිකාව සහ බටහිර රටවල් ඇති කල එකක් කියා කියන එක ප්‍රබන්ධයක් කියලයි. ඒකට හේතුව ලෝකේ වෙන හේතු නිසා ඇතිවෙච්ච සිද්ධි මේකට ගලපන්න උත්සාහ කිරීමයි. පහුගිය අවුරුදු 8 ක් තුල ඇතිවෙච්ච භූ දේශපාලනික සිද්ධි සහ අරගලයේ පැහැදිලි වෙනසක් තිබුණා. ඒක ඇති වුනේ වෙන හේතු නිසා. මමත් ඇමෙරිකාවට සුදු හුණු ගානව නෙවෙයි. කලින් පෝස්ට් එකේ ඔබට පිලිතුරක් විදිහට මම කිව්ව ඇමෙරිකාව යුක්‍රේන් අර්බුධය ඇති කල හැටි. වැඩි දෙනෙක් දකින්නේ යුක්‍රේන් අර්බුධය පූටින් ගේ වරදක් හැටියට. නමුත් ඇත්ත තත්ත්වය ඇමෙරිකාව පූටින් එම තත්ත්වයට තල්ලු කලා.

      Delete
    2. This is what I said as a comment in the previous post.ඔබ දක්වා ඇති පරිවර්ථනයේ ට්‍රම්ප් කියන දේට මම එකඟයි. යුක්‍රේන් යුද්ධය ඇතිකලේ ඩිමොක්‍රටික් පක්ෂය සහ යුක්‍රේනයේ ජනාධිපති වන විහිළු කාරයා. යුක්‍රේනයේ තිබ්බේ රුසියානු හිතවාදී රජයක්. ඔබාමා ඩොලර් බිලියන 5 ක් වියදම් කොට එහි කලබල ඇති කර එම ආණ්ඩුව වැට්ටුවා. බයිඩන් කලේ අර විහිළු කාරයා හරහා යුක්‍රේනය නේටෝ සංවිධානයට බඳවා ගැනීමට ක්‍රියා කිරීම. සීතල යුද්ධය අවසන් වූ විට වොර්සෝ එකඟතාවයේ රටවල් කැඩී ගිය පසු නේටෝ සංවිධානය තවදුරටත් පැවතීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒත් ඇමෙරිකාව කලේ එය තවත් ප්‍රසාරණය කිරීමයි. ඒ සඳහා කලින් වෝර්සෝ එකඟතාවයේ රටවල් බඳවා ගත්තා. රුසියාවේ අවසාන ඉල්ලීම වුනේ ඔවුන්ගේ අල්ලපු රට වන යුක්‍රේනය එයට බඳවා නොගන්න ලෙසයි. යුක්‍රේනය බඳවා ගැනීම අවසන් වූවානම් රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට බැරිවෙනවා. ඒ එක නේටෝ රටක් යුද්ධයකට පැටළුනොත් සියළුම නේටෝ රටවල් ඒ රට එක්ක යුද්ධයට අවතීර්ණය වෙන නිසා. ඒ නිසයි කලින් රුසියාවේ කොටසක්ව තිබූ ක්‍රිමියාව ඈඳාගෙන පසුව ඔවුන් යුක්‍රේනය ආක්‍රමණය කලේ. මේ යුද්ධය නිසා බලශක්ති අර්බුධය සහ තෙල් මිල ඉහලයාම සහා ඒ හා අනුබද්ධ ආර්ථික අවපාතයකට මුළු ලෝකයම ගොදුරු වුනා. මේකට වගකිව යුත්තේ ඔබාමා සහ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය තමයි. ට්‍රම්ප් බලයේ සිටියා නම් මෙය වෙන්නේ නැහැ. කබ්‍රාල් මුදල් අච්චු ගහන ගමන් ඩොලර් එක 200 ට අල්ලා සිටීම නිසා ශ්‍රමික ප්‍රේශණ නොලැබීම වෙලා ඩොලර් හිඟ වෙනකොටම තමයි යුක්‍රේන් යුද්ධය ඇතිවෙලා තෙල් මිල ඉහල ගියේ. ඒ දෙකම එක වෙලාවේ සිදුවීම තමයි එක්තරා විදිහකට ලංකාව අනාථ වුනේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අරගලය චීනයට විරුද්ධව ඇමෙරිකාව සහ බටහිර රටවල් ඇති කල එකක් කියා කියන එක වගේම ඇමරිකන් තානාපතිනිය හා අන්‍රයියා අතර සතර කන් මන්ත්‍රණයත්, මට නං තාමත් අභිරහසක්. එක දේසපාලුවෙක් කියා තිබුනා, අරගලයේ පිස්සො දිවිනසා ගන්නවය,ගෝල්ෆේස් කූඩාරම්වල පිලිසිඳගත්ත දරුවො මඟ දාලා යනවය වගේ කුප්ප කතාවක්. අරගලයෙ , නිර්නායක -නිර්පාක්ෂික අවංක මුල් ආරම්භකයො ගැන මගේ ගෞරවය තාම තියනවා. ඒත් පස්සෙ අරගලයට "නායකත්වය" දෙන්න ආපු සහෝදරවරු, අරගලය අල කල බව, මගේ 100% පක්ෂග්‍රාහී,පෞද්ගලික මතයයි.

      බොහෝ දේවල් ගැන, බොහෝ විට අපට ඇත්තේ "educated guess" සහ "පෞද්ගලික මත" බව මගේ අදහසයි. එය වරදක් ලෙස මම දකින්නේ නෑ, අවශ්‍ය වන්නේ, ඒ බව දැණ සිටීම පමණයි.

      Delete
  6. සල්ලි දීලා ඔය පොත ගත්තා ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. කියල තියෙන බොරු ගැන දැනගන්නත් ඕනනෙ. tk u Rasika

      Delete
  7. මේ සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇති බව මමත් පිළිගනිමි. එහෙත් කුමන්ත්‍රණය ඇත්තේ විමල් කියන පරිදි අරගලය පිටුපස නොව ව්‍යාජ තොරතුරු ඇතුලත් පොතක් එලිදැක්වීම තුලය.
    //
    සහතික ඇත්ත .
    මේ පොත ගැන ලංකාවේ ඇමරිකන් තානාපති කර්යලයෙන් ප්‍රකාශ කල නේද

    ReplyDelete
  8. ඉයන් මහා බ්‍රිතාන්‍යය/ එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ සෑහෙන ඉහළින්. පසුගිය 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට මූලික උපාධිය සඳහා ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 593,000 ක් ඇවිත් තිබෙනවා.

    මෙහිදී නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.

    නමුත් Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8,900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්. එතෙක් මෙතෙක් යූකේ වලට ලංකාවෙන් ආපු ඉහළම ගණනයි මේ වාර්තාගත ලෙස වැඩි වූ පිරිස...

    මීට අමතරව ඒ වගේම සැලකිය යුතු විශාල පිරිසක්ද වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය සිටින අතර ඒ අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.

    පේන විදියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්. (The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.

    මමත් පුද්ගලිකවම දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.

    ReplyDelete
    Replies
    1. මෙහිදී සිදුවන්නේ brain drain බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන සුවිශේෂී අවස්ථා යූකේවලදී ඒවාට හිමිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන සුළු සුළු රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.

      මෙලෙස ලංකාවේ සිදුවන විදෙස්ගතවීම්වලින් බුද්ධි ගලනයක් කෙසේවෙතත් අතිවිශාල ලෙස විදෙස් විනිමය ගලනයක් නම් සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන විට 8,900 ක් ඇවිත් තිබුණත් 2023 ජනවාරි සහ පෙබරවාරි Intake එක සමග ශ්‍රී ලාංකිකයන් තවත් අති විශාල පිරිසක් UK වෙත පැමිණ ඇති බව අනුමාන කරන්න පුළුවන්.

      සරල උදාහරණයකට IMF එකෙන් ලංකාවට හිමිවෙන්න යන ණය මුදල ඩොලර් බිලියන 2.9 ක්. ඩොලරය රුපියල් 300 ක් ලෙස සෑකුවොත් එය රුපියල් කෝටි 8,700 ක්. පෙරකී පරිදි ලංකාවෙන් සිසුන් 8,900 ක් සිය දරු පවුල් සමග UK වෙත පැමිණ තිබේ නම් එක් අයෙකු අඩුම රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම් එහි වටිනාකම රුපියල් කෝටි 8,900 ක්.!!!!

      ඊට අමතරව මේ කාලය තුළ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය සහ වෙනත් යුරෝපීය රටවලටත් ශ්‍රී ලාංකික සිසුන් අතිවිශාල පිරිසක් ගොස් සිටිනවා.

      මෙතරම් ආර්ථික අර්බුදයක් පවතිද්දී මේ අන්දමින් රටට අහිමිව ඇත්තේ විශාල ධනස්කන්ධයක්. මෙලෙස එන අය පසුව හම්බු කරන එකත් රටට එවීමට වඩා වැය කරන්නේ මේ රටවල දිවි ගැටගහ ගැනීමටයි. ගෙවල් වල අයගෙන් තවත් මුදල් ඉල්ලා සිටින බව ද පේනවා.

      නමුදු ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය නොවේ. වැඩ ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා සඳහා අවස්ථා වැඩිකර දී ඉන් බිහිකරන්නන් ස්කිල් වීසා යටතේ රටවලට පිටත් කර හැරීමයි. විදෙස් රටවලට ඇදී යන මේ මුදල්වලින්ම මේ සඳහා විශ්ව විද්‍යාල ඇරඹීමේ හැකියාවක් තිබෙනවා. එය රාජ්‍යයද පෞද්ගලිකද යන්න වෙනම විසඳාගත යුත්තක්.

      බොහො සංවර්ධිත රටවල හෙද, මිඩ් වයිෆ්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සූපවේදය වැනි ක්ෂේත්‍රවලත් ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක්ද ලංකාවේ තිබෙනවා.

      ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ වල දේශපාලකයන් මේ ප්‍රශ්න කිසිසේත්ම නොතේරුම් ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩ් පිළිවෙතක සිටියද රටෙන් පිටවෙමින් තිබෙන විශාල විදෙස් විනිමය ගැන මේ වෙලාවේ ඇසුවාම උත්තර නැතුව නොඇසූ කන්ව ගොළු පිළිවෙත් අනුගමනය කරනබව පෙනෙනවා.

      විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූවද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට බිස්නස් එකක් පමණයි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි අපේ රටේ අපි වැටිලා ඉද්දි තියෙන විදෙස් විනිමය ටිකත් පිටට දීමක් මේ කරන්නේ.

      අපේ රටේ ඉතා අඩු වියදමකින් ලෝකෙටම වටින උගතුන් බිහිකර විදෙස්ගත කළ හැකිව තිබියදී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි.

      Delete
  9. විමල් වගේ එකෙක් ගැන ලියන්න වැය කරන ඩේටා අපරාදෙ ඉයන්... හැබැයි ඉතිං ලංකාවෙ බහුතර චන්දදායක ලොන්තයෝ ඔය ලණු කන්නෙ කඹ අඹරගෙන...

    ReplyDelete
    Replies
    1. කරන බොරුව පෙන්නන්නත් ඕනනෙ. ස්තූතියි ගොඩයා

      Delete
  10. /කියුබාවේ මැයි රැලි තහනම සමාජවාදයේ ප්‍රශ්නයක් බවට රනිල් රාජපක්ෂ හොරරැලට කඩේ යන ගවයන් වගේම සජබයි මීහරකුන්ද මේ දවස්වල තප්පු ලන කාරණයක් මේ ගැන ශාන්ත ජයරත්න සහෝදරයා මනා ලෙස පැහැදිලිව ලියා තිබෙන උත්තරයක් මේක හැමෝටම ෂෙයාර් කරන්න

    //ඉතිහාසයේ ප්‍රථම වතාවට කියුබාවේ මැයි රැලි තහනම් කරපු එක තමයි ලංකාවේ සමහරක්ට මේ දවස් වල තියෙන ලොකුම thrill (ත්‍රිල්) එක. ඒකටත් හේතුව සමාජවාදය ලු !!

    කියුබාවේ දැන් මාසයකට ආසන්න කාලයක් ඉන්ධන හිඟයක් තිබුණා . හැබැයි ලංකාවේ මෝඩ ටොබයියෝ ඒක දැනගත්තේ කියුබානු රජය එහේ අගනුවර මැයි දින පෙලපාලී නැවත් වූ බව මාධ්‍ය වාර්තා කලාට පස්සේ . හැබැයි එහේ මිනිස්සු පෙපෙලපාලි නැවත්තුවයි කියලා කෑ ගැහුවේ නැහැ. ඒ අයට පුළුවන් විදිහට පෞද්ගලිකවම මැදිහත්වී ඉතාම හොඳින් ඒවා සියල්ලම කලා.

    මට තේරෙන්නේ නැහැ පහුගිය කාලේ ලංකාවේ තෙල් පෝලිම් තිබුනේ මොනවාදය නිසාද කියලා. අන්ත දූෂිත අමන චෞර පාලකයන්ගේ බඩ ගෝස්තර වාදය නිසාද? එසේ කිව හැකියි.

    කියුබානු ඉතිහාසයේ මෙතරම් දරුණු ඉන්ධන හිඟයක් මීට ප්‍රථම කවදාවත් ඇති වී නැහැ. මේ දිනවල ජනතාවාදී කියුබානු රජය විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන නිසා තාවකාලිකව ඉන්ධන පිරවුම් හල් වල දිගු පෝලිම් තිබෙන බව ඇත්තක් තමයි නමුත් එය ඉල්ලුම හා සැපැයුම අතර තිබෙන ප්‍රශ්නයක් මිස සමාජවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි.

    අනෙක අන්ත දූෂිත අශීලාචාර පාලකයන් විසින්ම වනසා ඇති රටක් වන ලංකාව තුල බොහෝ අය වර්තමාන කියුබාව පිළිබඳ කිසියම් කියවා ගැනීමක් අවශ්‍යයි කියලත් මට හිතෙනවා. එහි මෑතක ඇති වී තිබෙන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතාම දුර්වල අනවබෝධයක් ඔවුන්ට තිබෙන බවක් පේනවා.

    කියුබාවේ තෙල් පෝලිම් හැදුනේ අපේ රටේ වගේ පාලකයෝ රටේ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනින්කො මංකොල්ල කාල රට බංකොලොත් කරලා එහෙම නොවෙයි. හැබැයි ලංකාවේ වගේ "බොරු ෂෝ" නම් එහේ නැහැ. ඔවුන්ට අමෙරිකානු සම්බාධක නිසා යම් සුළු ආර්ථික ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුව ඇතත් අපේ වගේ හොර පාලකයන් එහේ නැහැ.

    කියුබාවේ ඒක පුද්ගල ආදායම අඩු වුවත්, රජය විසින් ජනයාට අවශ්‍ය පොදු සේවාවන් සියල්ලම එක ලෙස ඉතාමත්ම සාර්ථක ලෙස සියලුදෙනාටම සමානව හොඳම තත්ත්වයකින් සපයනවා. කියුබාව අල්ලස, දූෂණය , වංචාව , සම්පත් අවභාවිතය නොමැති රටක්. ඒ සම්බන්ධව අප සතුටු විය යුතු නොවේද ?

    කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කේනල් (Miguel Diaz-Canel) පසුගිය දා රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ ඔවුන් ඉන්ධන ආනයන කොන්ත්‍රාත්තු ලබා දී තිබෙන රටවල් නියමිත පරිදි සැපැයුම් සිදු නොකිරීම මෙම හිඟයට හේතුව බවයි.

    කියුබාවට ප්‍රධාන වශයෙන්ම ඉන්ධන සපයන්නේ වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගම වන PDVSA. කියුබාව ඔවුන් සමග දිගුකාලීන ගිවිසුම් අත්සන් කොට තිබෙන්නේ 2000 දී. කියුබාවට දිනක අවශ්‍යතාව ඉන්ධන මෙ. ටොන් 500 -600 ත් අතර ප්‍රමාණයක්. එහෙත් මේ වන විට නිකුත් කරන්නේ දිනකට ටොන් 400 ක්. මෙම පෝලිම් ඇති වීමට හේතුව එය බවයි ජනාධිපති වරයා නිල වශයෙන්ම ප්‍රකාශ කොට තිබෙන්නේ.

    PDVSA මීට පෙර දිනකට බොරතෙල් බැරල් 100,000 ක් කියුබාවට සපයා තිබෙනවා. එහෙත් මේ වර්ෂයේ සිට ඔවුන්ගේ සැපැයුම සීමා කොට තිබෙනවා. ජනවාරි මස දිනකට බොරතෙල් බැරල් 40,000 කුත්, පෙබරවාරි බැරල් 52,000 කුත්, මාර්තු 76,000 කුත් සපයා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එයට හේතුව වී තිබෙන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම බව වෙනිසියුලානු රජය ප්‍රකාශ කරනවා. https://www.reuters.com

    කියුබාව ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරගන්නා අතර ඉතිරිය ඔවුන් ආනයනය කරනවා. ඔවුන්ගේ රටේ ළිංවලින්ර ලැබූ බොර තෙල් ගුණාත්මක භාවයෙන් අඩු නිසා ඔවුන්ට වාහන සඳහා යම් සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් වෙනත් රටවලින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. ඒ අතරම කියුබාවේ තිබෙන තෙල් පිරිපහදු වල ඇති වී තිබෙන යම් තාක්ෂණික ප්‍රශ්නත් මෙම හිඟයට බලපා ඇති බව කියනවා. එම පිරිපහදු 1957 වැනි කාලයේ අධිරාජ්‍යවාදීන් විසින් එකල
    ඉදිකළ ඒවා බව සඳහන්. ඒවාට අවශ්‍ය කරන අමතර කොටස් හිඟවීම වගේම මෙම සැපැයුම් ජාල සීමා වීමටත් බරපතල අමෙරිකානු සම්බාධක හේතු වී තිබෙනවා. https://www.apnews.com

    මෙම හිඟය සමාජවාදයේ ප්‍රශ්නයක් නොව සැපැයුම් ජාල වල පවතින බිඳවැටීමක් නිසා හටගත් ප්‍රශ්නයක් බව කියුබා රජය පවසන කරුණු සත්‍යබව මෙයින් පැහැදිලි යි. අනෙක මේ වන විට පූර්ණ සමාජවාදී හෝ ධනවාදී ආර්ථික තිබෙන රටවල් ලෝකයේ කොහේ වත් නැහැ. එසේ තිබේ නම් ඕනෑම අයෙකුට පෙන්වා දිය හැකියි.//

    ReplyDelete
    Replies
    1. //කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ (2008-2018) හදුන්වා දූන් ආර්ථික ප්‍රතිසංස්කරණ සමග කියුබාවේ එතෙක් පැවති බොහෝ සීමාවන් ඉවත් වුනා. රජය විසින් අත්‍යාවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය, අධ්‍යාපනය , පොදු ප්‍රවාහනය වැනි දෑ සපයන අතර, කර්මාන්ත, මූල්‍ය සේවා , සංචාරක , ආනයන අපනයන ව්‍යාපාර , යනාදිය කෙමෙන් ඉදිරියට ගෙන යාම පෞද්ගලික අංශය මගින් කිරීමට ඉඩකඩලබාදී තියෙනවා. එමෙන්ම සෘජු විදේශ ආයෝජන කැඳවීම සඳහා අවශ්‍ය නීති අන පනත් ගෙන ඒමට එකල ඔවුන් කටයුතු කොට තිබෙනවා . එම නිසා ලංකාවේ බොහෝ අය හිතාගෙන ඉන්න කියුබාව නොවෙයි අද තිබෙන්නේ කියා ප්‍රකාශ කිරීමට කැමතියි. https://www.investopedia.com

      කාල් මාක්ස් , ලෙනින් , ෆෙඩ්‍ර්ක් ඒංගල්ස්, විජේවීර වැනි අයගේ ඡායාරූප දකිනකොට සමාජවාදය මතක් වෙන සමහර ලාංකිකයන් කොමියුනිස්ට් යැයි කියන චීනය දෙන ණය ගැනීමට විරුද්ධ නොවෙයි. ඔවුන්ගේ හාල්, බෙහෙත් , පාසැල් නිළ ඇඳුම්, වෙනත් පරිත්‍යාග කැමැත්තෙන් භාර ගනී. හැබැයි කොමිනිස්වාදය අකැපයි .

      එකල කියුබාව ලංකාවේ රෝහල් වලට නොමිලයේ වෛද්‍යවරු සපයන විට ඒවා ලබා ගැනීම හොඳයි. කියුබාව අදටත් ලංකාවේ මිතුරු රටක් හැටියට ජාත්‍යන්තර සංවිධාන වල පෙනී සිටින විට ඔවුන් හොඳයි. එහෙත් සමාජවාදය අකැපයි.

      ලංකාවේ ජනයාට බිත්තර නිෂ්පාදක මාෆියාව බිත්තර සඟවා මිල වැඩි කරන කොට රජය අවශ්‍ය යි. මෝල් කරුවන් වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කොට මිල ඉහළ දානකොට ආණ්ඩුව අවශ්‍යයි, බස් ගාස්තු , ටැක්සි ගාස්තු වැඩි කරනකොට රජය අවශ්‍යයි , අධ්‍යාපනය විකුණනකොට රජය අවශ්‍යයි. හැබැයි සමාජවාදය අකැපයි.

      මින් අදහස් වන්නේ කුමක්ද ? අපේ රටේ සමහරක් මිනිසුන් සමාජවාදය දන්නෙත් නැහැ, ධනවාදය දන්නෙත් නැහැ , කොමියුනිස්ට් වාදය දන්නෙත් නැහැ හැබැයි කතා කලොත් නොදන්න දේකුත් නැහැ.

      "Jack of all trades, master of none."

      ශාන්ත ජයරත්න
      ජවිපෙ ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක//

      Delete
  11. ඉයන් ඔබ මේ කතාවට එකඟයි ද?

    //හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ලංකාවේ පැවති ගෝල්ෆෙස් අරගලය පිළිබඳව ග්‍රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. තවත් කිහිප දෙනකු අරගලය නමින් ක්‍රියාත්මක වූ බව කියන සැබෑ සිදුවීම් පිළිබඳ කෘති ගණනාවක්ම රචනා කර ඇති බව කියවෙන නමුදු තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නැත. ඉදිරියේදී එම කෘති නිකුතුව සමග මේ ගැන වඩාත් පුළුල් සමාජ දේශපාලන කතිකාවතක් ඇරඹෙනු ඇත.

    වීරවංශයන්ගේ කෘතිය ප්‍රකාශයට පත් වී දින කිහිපයකට පසු ඒ පිළිබඳව විවිධාකාරයේ ප්‍රතිචාර ඉදිරිපත් වූ අතර, ඒ තුළින් පැහැදිලි වන්නේ මේ වන විටත් මෙම කෘතිය ලංකාවේ සමාජයේ බොහෝ දෙනකුගේ දැඩි අවාධානයට ලක් වී ඇති බවයි.

    මුලින්ම මෙම පොත සඳහා ප්‍රතිචාර ලැබුණේ රජයේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. ජුලි 9වැනි දින අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුල්වන අවස්ථාවේ එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉන්දියාවට ගොස් සිටීම සැක සහිත යැයි වීරවංශයන් කර ඇති ප්‍රකාශය වැරදි බවත් ඔහු ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය විය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙය තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

    මේ අතරම මෙයට එරෙහිව කතා කළ ශ්‍රී ලංකාවේ අමෙරිකා තනාපති ජුලි චන්ග් මහත්මිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වීරවංශගේ කෘතිය ප්‍රබන්ධයක් බව සඳහන් කර ඇත. සරත් ‍ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් ‘අපේ සපත්තු ලෙව කෑ කැහැටුවංශ හමුදාපතිවරුන්ට මෙම පොත මගින් මඩ ගසන බව‘ ප්‍රකාශ කළේය.

    තවත් බටහිර හිතවාදී ස්ථාවරයක සිටින ලාකික සති අන්ත පුවත්පතක් සඳහන් කර තිබු‍ණේ ‘චීනය ඉදිරියේ තබා ගෙන අමෙරිකාවට බනින වීරවංශගෙන් තවත් පච පොතක්’ වශයෙනි. එම ප්‍රතිචාර දැක්වූ පුද්ගලයන් සහ ඔවුන් දරන තනතුරු මෙන්ම ප්‍රතිචාර පළ වූ පුවත්පත් දෙස ද බලන විට පැහැදිලි වන්නේ පොත පිළිබඳව දැනටමත් ඔවුන්ට මහත් හිසරදයක් ඇති කරමින් ලාංකික සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

    මෙම කෘතියේ අඩංගු වන කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මම කිසිවක් ප්‍රකාශ නොකරමි. ඊට හේතුව ඒවා කොතෙක් දුරට ඔප්පු කර හැකි සාක්ෂි මත ගොඩ නැගී තිබේ ද යන්න මා නොදන්නා බැවිනි.

    එසේ වුවද රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකට නායකත්වය ලබා දෙන පක්ෂයක නායකයා වශයෙන් ද රටේ ඇමති ධුර ඇතුළු විවිධ තනතුරු හොබවා ඇති අත්දැකීම් සහිත නායකයකු ද වන වීරවංශයන් හෙළි කර ඇති තොරතුරුවලින් එම තීරණාත්මක මොහොතේ දී අද ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව හඳුනා ගැනීමට ලැබෙන බැවින් ඒ සඳහා වීරවංශයන් විසින් ආධාර කර ගෙන ඇති තොරතුරු පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයකට යාමට ඇති හැකියාව පිළිබඳව මම උනන්දු වූයෙමි. මේ හුදෙක් මෙම කෘතියේ පළ කර ඇති සිදුවීම්, අදහස් හා මතවාද පිළිබඳව විමසුමක් පමණි.

    වීරවංශයන් අරගලයේ විකාශය පිළිබඳව කර ඇති විස්තරය මේ ආකාරයට ලු‍හු කර දැක්විය හැකිය.

    ReplyDelete
    Replies
    1. "අරගලය යනු බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකාවේ වුවමනාව මත ක්‍රියාත්මක වූවකි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් එහිදී විශේෂ භූමිකාවක් ඉටු කළාය.

      ගෝඨාභය මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන විට ඉන්දියාව අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරන ලෙස ද ඉල්ලීමක් කළ නමුදු ගෝඨාභය එය නොපිළිගත් නිසා ඔහු සමග අමනාප විය. මුලින් ගෝඨාභයට රටින් පිට වීමට ගුවන් යානයක් ලබා දෙන බවට ඉන්දියාව පොරොන්දු වූ නමුදු එම සිදු වීමෙන් පසු ගුවන්යානයක් ලබා නොදුන්නේය. ගෝඨාභය රාජපක්ෂයන්ට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය සමග රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ද අත්සන් තබන ලෙස බලපෑම් එල්ල වූ නමුත් ගෝඨාභය මහතා ඊට එකඟ වූයේ නැත.

      ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අස්වීමේ ලිපිය සහ අගමැති පහ කිරීමේ ලිපියත් ගෝඨාභයට යැවුව ද අත්සන් කරන ලද්දේ අස්වීමේ ලිපිය පමණි. ගෝඨාභය අස්වීමෙන් පසු රාජ්‍ය නායකත්වයේ වගකීම භාර ගන්නා ලෙස ජුලි වන්ග් ඉන්පසු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ සඳහා කිසිදු ඉඩක් නොමැති බව කථානායකවරයා ජුලි චන්ග්ට දන්වා ඇත.

      අනපේක්ෂිතව තම නිල නිවසට පැමිණි ජුලි චන්ග් පිටව යාමෙන් පසු නිල නිවසේ රැඳී සිටීම අනතුරු දායක බව අවබෝධ කර ගත් කථානායකවරයා රනිල් වික්‍රමසිංහට කතා කර එම තත්ත්වය දැනුම් දීමෙන් පසු අගමැතිවරයා සිටි හමුදා කඳවුරට පැමිණෙන ලෙස දන්වා ඇත. ඔහු එහි යන විට අගමැතිවරයා විඩියෝ දර්ශන මගින් තමන්ගේ නිවස ගිනි ගන්නා අයුරු බලා සිටියේය.

      එය නවත්වන ලෙස ඊට පෙර හමුදා නිලධාරීන්ට දුන් නියෝග නොපිළිගෙන ඇති බව දැනගෙන අගමැතිවරයා එම ස්ථානයෙන් පිට වී ගියේය. කථානායකවරයාට තවත් හමුදා කඳවුරක නවාතැන් ලැබුණු අතර, එහිදී හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායක එය ප්‍රතික්ෂේප කළේය.

      රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව වැටලීමට ජනතා විමුක්ති පෙරමුණ සහ සමහර අරගලකරුවන් උත්සාහ කළ ද රනිල් එය මර්දනය කළේය. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ද මුදා ගනු ලැබීය. ජුලි චන්ග් මේ සෑම අවස්ථාවක දීම ඒවාට එරෙහි විය. ප්‍රකාශ නිකුත් කළේය. එහෙත් රනිල් අගමැති ධුරයෙන් පහ කිරීමට හෝ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට ඇයට නොහැකි විය.

      ඒ තුළින් Plan A අසාර්ථක වූ අතර ශ්‍රී ලංකාව අන්ත අසරණ සහ අස්ථාවර රටක් බවට පත් කිරීමේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ විසින් අක්‍රීය කරනු ලැබීය. ඉන්පසු IMF ආධාර ලබා දීමේ පොරොන්දුව මත රනිල් ඇමෙරිකානු ග්‍රහණයට නතු කර ගෙන විවිධ පොරොන්දු ඔහු ලවා ලබා ගනිමින් රට තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටි.

      ලිබියාව සහ ඉරාකය මෙන් හෝ මයිදාන් මෙහෙයුම ඔස්සේ යුක්‍රේනයේ ඇති කළ ආකාරයට අරගලය ඔස්සේ ශ්‍රී ලංකාව විනාශ කිරීමට නොහැකි වූයේ පුද්ගලයන් තිදෙනකුගේ ක්‍රියාකලාපය හේතුවෙනි. ගෝඨාභය, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කිසිසේත්ම එකඟ වුයේ නැත. මහින්ද යාපා ක්‍රමන්ත්‍රණකරුවන් විසින් බිහි කිරීමට බලාපොරොත්තු වූ රජයක ප්‍රධානියා වීම ප්‍රතික්ෂේප කළේය.

      රනිල් අරගලකරුවන්ගේ සහ ජුලි චන්ග්ගේ විරෝධතා නොතකා වැඩබලන ජනාධිපති ධුරයත්, ජනාධිපති ධුරයත් භාර ගත්තේය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ නොදී ඒ වන විට අල්ලා ගෙන සිටි ස්ථානවලින් අරගලකරුවන් ඉවත් කළේය. එසේ නොවන්නට අද ශ්‍රී ලංකාව ලෙබනනය හෝ යුක්‍රේනය මෙන් විනාශයට පත් වනු ඇත."

      වීරවංශයන් විසින් තම කෘතිය තුළින් හෙළි කර ඇති තොරතුරුවල සාරාංශය එය වේ.

      Delete
    2. කෙසේ වුවද වීරවංශ සමහර දේවල් තම කෘතියට ඇතුළත් කර නැත. ඇමෙරිකන් තානාපතිනිය දිගින් දිගටම අරගලයට පක්ෂපාති වන අයුරින් සහ එය මර්දනය කිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරද්දී රනිල් වික්‍රමසිංහ ඉතා තද ප්‍රකාශයක් නිකුත් කළ බව ඉන් එකකි. ඔහු තනාපතිවරුන් ද සිටින රැස්වීමක දී ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජයේ කැපිටල් ගොඩනැගිල්ල විරෝධතාකරුවන් විසින් අල්ලා ගෙන සිටිය දී ඔවුන් බැහැර කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කළ ආකාරයෙන්ම තමන් ද රජයේ ගොඩනැගිලි වලින් අරගලකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

      සාහසිකයන් විසින් තමන්ගේ නිවස ගිනි තබද්දී ඒ පිළිබඳ නිවේදන කිසිවක් නිකුත් නොකළ ඇමෙරිකන් තානාපතිවරිය අරගලකරුවන්ට එරෙහිව කුඩා පියවරක් ගැනීමේ දී පවා නිවේදන නිකුත් කිරීම පිළිබඳ ඔහු විමතිය ප්‍රකාශ කළේය. ඉතිහාසය පරීක්ෂා කරන විට රනිල්ගේ එම තද ප්‍රකාශයෙන් පසු ජුලි චන්ග් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළැකී සිටි ආකාරය පැහැදිලි වනු ඇත.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස්කරුවා ඇමෙරිකාව බව සැබෑවකි. එහෙත් එහි දෙවැනි සහ තුන්වැනි ප්‍රධාන කොටස්කරුවන් වන්නේ ජපානය සහ චීනයයි. සාමාජික රටවල් සෑම එකකටම IMF කොටස් හිමිකම ලැබී තිබේ. එබැවින් ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට එය දේශපාලනය සඳහා භාවිත කළ නොහැකිය.

      2010 යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ රජය IMF ණය ඉල්ලා සිටි විට ඇමෙරිකාව එය වැළැක්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් IMF වලින් ණය ලබාගෙන ඇත. ඒ එකදු අවස්ථාවකවත් ඇමෙරිකාවට යටත්කර ගැනීමට හැකි වූයේ නැත.

      IMF ණය ගිවිසුමේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ කිසිදු කොන්දේසියක් නැත. මැතිවරණ පැවැත්වීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුද අපරාධ පරීක්ෂා කිරීම ආදිය සම්බන්ධ කොන්දේසි ඇතුළත් කිරීමක් සිදුව නැත. ඇමෙරිකාව IMF හරහා ශ්‍රී ලංකාව තමන්ට ඕනෑ කරන ආකාරයට පාලනය කිරීමට කටයුතු කළේ නම් එවැනි කොන්දේසි බොහොමයක් ඊට ඇතුළත් කරනු ඇත.

      වීරවංශ තම කෘතියෙන් ඉදිරිපත් කර ඇති කරුණු තහවුරු කිරීමට තවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත. හමුදාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු ආරක්ෂක ප්‍රධානියකු කටයුතු කළ ආකාරය පරීක්ෂා කිරීමට බලතල ඇති කොමිසමක් පත් කරන ලෙස ඔහු එම කෘතියේ ඉල්ලා ඇත.

      එසේම කථානායකවරයා පිළිබඳව ඔහු සඳහන් කර ඇති කරුණු එසේ නොවන බවට කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ද වීරවංශයන් සඳහන් කර ඇතත් මේ වන තුරු කථානායකවරයාගෙන් එවැනි නිවේදනයක් නිකුත් වී නැත. එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි වන්නේ වීරවංශ විසින් ප්‍රකාශ කර ඇති අරගලය පිළිබඳ විකාශය සහ එහි අවසානය වීරවංශ විසින් පවසා ඇති ආකාරයටම සිදු නොවුණ ද ඒ අනුසාරයෙන් සිදු වන්නට ඇතැයි යන්නයි.

      මෙම කෘතිය විමර්ශනාත්මකව කියවන කෙනකුට පැහැදිලි වන්නේ ගෝඨාභය නික්ම යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ පිළිවෙත නොවන්නට ශ්‍රී ලංකාව ද ඉරාකය, ලිබියාව වැනි අරාබි වසන්තයට අසු වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු බවය. විමල් සමහර තොරතුරු ඇතුළත් නොකිරීමෙන් ද සමහර ක්‍රියාකාරකම් හෙළි නොකිරීමෙන්ද රනිල්ගේ එම භූමිකාව අඩු තක්සේරුවකට ලක් කිරීමට උත්සාහ කර ඇතත් ඔහුගේ කෘතිය තුළින් ඔහුටත් නොදැනීම එය ඉහළින්ම ඇගයීමට ලත් වී ඇතැයි සිතමි.

      මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
      – Lankadeepa

      Delete
  12. මේ හිරිකොතේ ලැට් එකේ ලැගන් ඉන්න එකෙක් කරන බ්ලොග් එකක් ද

    ReplyDelete