Wednesday, April 1, 2020

පළවෙනි කැමැත්ත අන්තිමටම



මෙච්චර කාලයක් යමෙක් මිය යනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ලෙස හිතන්න තමයි අපේ හිත පුරුදුවෙලා තියෙන්නේ. පසුගිය සති කීපයේ වෙන රටවල සිදුවෙන දේවල් දොහා බලනකොට වැටහෙනවා මිය යනවා කියන එක එතරම් අහම්බෙන් සිදුවෙන දෙයක් නොවන බව. අපි බොහෝ දෙනෙක් අපිට කිට්ටු හෝ හිතවත් කෙනෙක් මිය ගියොත් අපි කරන දේවල් සහ අපේ වගකීම ගැන අවබෝධයක් තියෙනවා.


එතකොට අපි මිය ගියහොත්? එහෙම වුනොත් අපේ යැපෙන්නන්ට සහ අනික් අයට සාමන්‍යයෙන් කරන්න වෙන දේවල් වලට අමතර වැඩිපුර කරදර එහෙම ඉතුරු කරල යන්න වෙයිද?

ඉකොනොමැට්ටා බ්ලොග් එකේ තිබ්බ කරුණක් නිසයි මේක ලියන්න හිතුණේ.  බොහෝ බටහිර රවවල වැඩි දෙනෙක් තමන්ගේ වයස මොකක් වුනත්, තමන් හදිසියේ මියගියොත් තමන් ගේ වත්කම් බෙදී යායුතු ආකාරය අන්තිම කැමති පත්‍රයකින් ලියල තියෙනව. ඒවගේම තමන්ගේ මරණය ගතයුතු ආකාරයත් එහෙම ලියනව. මරණය ගන්න එක කෙසේ වෙතත් අන්තිම කැමති පත්‍රයක් නොතිබුණොත් වත්කම් එක්තරා ගණනකට වඩා වැඩිනම් අඹු දරුවන්ට යන්නට පෙර බූදල් නඩුවක් හරහා යායුතුයි. එය ඔබ ඔවුන්ට කරන විශාල කරදරයක්. අන්තිම කැමැත්තක් නැති අවස්ථාවල යැපෙන්නන් අතර බෙදා ගැනීමේ ප්‍රශ්ණ ආවොත් විශාල කාලයක් ඔවුන්ට නඩු කියන්න වෙනවා වගේම ඔවුන් අතර බැඳීමත් නරක් වෙනවා. ඒ නිසා එහෙම නොලියපු කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වත්කම් ප්‍රමාණය මොකක් වුනත් එහෙම ලියල තියෙන එක ජීවත් වෙලා ඉන්න අයට ලොකු සහනයක්. 

මම නීතිය ගැන එතරම් දන්නේ නැහැ. එහෙත් මම හිතන විදිහට මෙය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් නීතීඥයෙක් හරහා. අනික මිතුරන් පස් දෙනෙක් හරහා. මේක හරිද වැරදිද තව ඒ ගැන දැනගතයුතු මොනවද කියල නීතීඥ වරයෙක් හෝ වරියක් අන් අයගේ යහපත තකා ලියනවනම් හැමෝටම වැදගත්. 

තව එකක්. ඔය අන්තිම කැමැත්ත ලියල තියල තියෙන තැනින් සීල් කරපු කවරයක ඊමේල් අකවුන්ට් සහ පාස්වර්ඩ්, ෆේස්බුක්, සහ බ්ලොග් පාස්වර්ඩ් එකත් තිබ්බොත් ඔබට හදිස්සියේ යන්න වුනොත් වෙන කාට හරි ඇවිත් අපිව දන්න අයට දන්වන්නත් පුළුවන්. 

මේ කාලයේ වැඩි වුනත් ඕනම අවස්ථාවක අපිට මේ ජීවිතෙන් යන්න වෙන්න පුළුවන්. එහෙම අකල් මරණය නොවුණත් එහෙම වුනොත් ඇතිවිය හැකි කරදර අඩු කරගන්න සැලසුම් කරන එක වරදක් නැහැනෙ.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, March 29, 2020

කැකිල්ලේ රජුගේ පුරෝහිතයන් සහ වියත්මග උපදේශකයන් අතර සම්බන්ධයක් තිබේද?



ප්‍රශ්ණ විසඳීමට හාස්‍යජනක විසඳුම් සහ තීන්දු තීරණ දුන් කැකිල්ලේ රජු ගැන පුරාවෘත්ත අපි අසා ඇත්තෙමු. එම ගණයටම වැටෙන  කැකිල්ලේ රජ්ජුරුවන් සහ උපදෙස් දෙන්නන් අදත් ඇති බවට කොරෝනා වසංගතය පාලනය කිරීමට සැපයෙන 'වියත්මග' විසඳුම් ගැන සිතා බැලීමෙන් පැහැදිලිවේ. ප්‍රශ්ණයකට විසඳුම් දිය යුත්තේ එම විසඳුමෙන් ඊට වඩා බැරැරුම් ප්‍රශ්ණයක් ඇතිකරවන ලෙස නොවන බව ඔබට මට තේරුණාට ඔවුන්ට එය එසේ නොවේ.

පහුගිය දින වල අසන්නට ලැබුණු වියත් තීරණ දෙකක් ගැන සලකා බලමු.

ප්‍රශ්ණය 1 - බෙහෙත් ගැනීමට ලබාගත් බෙහෙත් තුන්ඩු භාවිතා කරමින් තරුණයන් ඇඳිරි නීතිය කඩයි. 

විසඳුම - අන්තර්ජාලය හරහා පෝරමයක් පුරවා මුදණය කිරීමෙන් හෝ මාර්ග බාධක වලදී බෙහෙත් ගැනීමට යන අයගේ සියළුම විස්තර පෝරමයකට ලබාගෙන ඉන් කොටසකගේ හෝ දී ඇති දත්ත පරීක්ෂා කොට බොරු විස්තර දී ඇති අයට රුපියල් ලක්ෂයක දඩයක් සහ අවුරුද්දක සිර දඬුවමක් නියම කරන බවට ප්‍රචාරය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම.

එම විසඳුමේ වාසිය - ඇත්තටම අසනීප අයට බෙහෙත් ලබා ගැනීමට හැකිවීම සහ කොරෝනා වලින් බේරී වෙන අසාධ්‍ය ලෙඩ වලින් ලෙඩුන් අපහසුතාවය පත්වීම හෝ මිය යෑම නොවීම.

වියත්මග විසඳුම - ඔසු සැල් හැර සියළුම ෆාමසි වසා දමා බෙහෙත් තුන්ඩුව ෆැක්ස් ඊමේල් මඟින් එවූ විට බෙහෙත් ගෙදරට එවීම. 


Tuesday, March 24, 2020

නොදැනුවත් පාලකයන්ගේ තීරණ නිසා දුක්විඳිනා මහජනයා Lockdown Vs Curfew

Lockdown Vs Curfew


වේගයෙන් පැතිරෙන වසංගත රෝග වැලැක්වීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාලනය වැනි හේතු නිසා ප්‍රාන්ත ආණ්ඩු හෝ මධ්‍යම ආණ්ඩු Lockdown ක්‍රමය භාවිතා කරයි. එහි බොහෝ විට 1- 4 දක්වා මට්ටම පවතී.

ලංකාවේ රජය හෝ එයට උපදෙස් දෙන වියතුන්ට මේ ක්‍රමය ගැන වැටහීමක් තියෙනවාදැයි සැකයක් උපදී. එමනිසා ඔවුන් ක්‍රියාත්මක කලේ ඔවුන්ට පුරුදු ඇඳිරි නීති ක්‍රමයයි. Lockdown ක්‍රමයේදී අද සිදුවුනා වැනි විශාල පිරිසක් ආහාර මිලදී ගැනීමට පොරකන්නේ හෝ පෝලිම් ඇතිවන්නේ නැත.  

Lockdown ක්‍රමයේදී සිදුවන්නේ එක්තරා ප්‍රදේශයකට ජනයා සීමා කිරීමයි. තමා ජීවත් වන ප්‍රදේශයෙන් ඉවත්වීමට හෝ එලියට ඒමට ඉඩ නොදේ. එහිදීත් සියළුම පාසැල් වසා දැමේ. වියලි ආහාර සැපයීම, ආහාර බෙදා හැරීම, ඖෂධ සැපයීම, සෞඛ්‍ය සේවා, විදුලිය ගෑස් ඉන්ධන වැනි බලශක්ති සේවා හැර අන් සියළුම ස්ථාන වසා දැමේ.  අත්‍යවශ්‍ය සේවාවන් නොවන සේවා ආයතන work from home ක්‍රමය භාවිතා කලයුතු අතර ගෙදර සිට කල නොහැකි ඒවා කරන ඉතා සුළු සේවක ප්‍රමාණයකට සේවයට පැමිණීමට හැකිවේ. තමන්ට පහසු අවස්ථාවක ආහාර, ඖෂධ, ඉන්ධන ආදිය මිලදී ගැනීමට යා හැකිවුවත් අන් අය සමඟ කිට්ටුවී පොකුරු වශයෙන් කථා කර කර සිටීම තහනම්වේ. ඇවිදීම වැනි දේවල් කල හැකි මුත් එක් එක්කෙනා වශයෙන් ඇවිදිය යුතුය. පිරිස් එකතුවෙන සුහද හමු, රැස්වීම්, දේවස්ථාන පූජා ආදිය පැවැත්වීම තහනම් වේ.    

Friday, February 14, 2020

රැකියාව වගකීම සහ කැක්කුම (passion)

දේවානී ජයතිලක මහත්මිය

කඩොලාන පරිසරයක් රැක ගැණීමට දේශපාලන අධිකාරිය සමඟ ගම්පහ වන ජීවී නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය  තනිවම සටන් වදින වීඩියෝවේ අන්තර්ගතය ගැන බොහෝ අදහස් ෆේස්බුක් හරහා පළවී ඇත.  මෙතුමිය ඒ ගැන කැක්කුමකින් අවේගශීලීව කථාකිරීමත් අන් බොහෝ රජයේ සේවකයින් දේශපාලන අධිකාරියේ සුවච කීකරු ගැත්තන් වීම ගැන කථා වුනත් මේ වෙනසට හේතුව කුමක් විය හැකිද යන්න ගැන කථා වී තිබුණේ අඩු වශයෙනි.

බටහිර රටවල රජයේ සේවයේ මෙවන් අභීත නිලධාරීන් එම රටවල් ජීවත් වන අය දැක තිබෙන්නට ඉඩ තිබේ. ඊට ප්‍රධානම හේතුව වන්නේ එක් එක් විෂයය පිළිබඳව ඇත්තටම කැක්කුමක් (passion) ඇති අය එම තනතුරු වලට තෝරාගැනීමත් එමෙන්ම එවන් කැක්කුමක් ඇති අය එවන් තනතුරු වලට බැඳීමට ඇති කැමැත්තත් යන හේතු දෙකයි. උදාහරණයකට වෛද්‍ය හෝ හෙද විෂයය හැදෑරීමට තෝරාගන්නේ ඒසඳහාම වූ බුද්ධි පරීක්ෂණයක් සමත්වන සමාජයේ අඩු වරප්‍රසාද සහිත අයට පිහිටවීම පිළිබඳව අත්දැකීම් සහ ඒ ගැන උනන්දුවක් දක්වා ඇති අයයි. එවන් අය වෛද්‍යවරුන් හෝ හෙදියන් වූ විට තමන්ට කැක්කුමක්  ඇති දෙයක් නිසා ලෙඩුන් වෙනුවෙන් කැපවීම සහ ආදරය දැක්වීම උත්සාහයක් හෝ මවාපෑමක් නැතිවම සිදුවේ.