Friday, February 14, 2020

රැකියාව වගකීම සහ කැක්කුම (passion)

දේවානී ජයතිලක මහත්මිය

කඩොලාන පරිසරයක් රැක ගැණීමට දේශපාලන අධිකාරිය සමඟ ගම්පහ වන ජීවී නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය  තනිවම සටන් වදින වීඩියෝවේ අන්තර්ගතය ගැන බොහෝ අදහස් ෆේස්බුක් හරහා පළවී ඇත.  මෙතුමිය ඒ ගැන කැක්කුමකින් අවේගශීලීව කථාකිරීමත් අන් බොහෝ රජයේ සේවකයින් දේශපාලන අධිකාරියේ සුවච කීකරු ගැත්තන් වීම ගැන කථා වුනත් මේ වෙනසට හේතුව කුමක් විය හැකිද යන්න ගැන කථා වී තිබුණේ අඩු වශයෙනි.

බටහිර රටවල රජයේ සේවයේ මෙවන් අභීත නිලධාරීන් එම රටවල් ජීවත් වන අය දැක තිබෙන්නට ඉඩ තිබේ. ඊට ප්‍රධානම හේතුව වන්නේ එක් එක් විෂයය පිළිබඳව ඇත්තටම කැක්කුමක් (passion) ඇති අය එම තනතුරු වලට තෝරාගැනීමත් එමෙන්ම එවන් කැක්කුමක් ඇති අය එවන් තනතුරු වලට බැඳීමට ඇති කැමැත්තත් යන හේතු දෙකයි. උදාහරණයකට වෛද්‍ය හෝ හෙද විෂයය හැදෑරීමට තෝරාගන්නේ ඒසඳහාම වූ බුද්ධි පරීක්ෂණයක් සමත්වන සමාජයේ අඩු වරප්‍රසාද සහිත අයට පිහිටවීම පිළිබඳව අත්දැකීම් සහ ඒ ගැන උනන්දුවක් දක්වා ඇති අයයි. එවන් අය වෛද්‍යවරුන් හෝ හෙදියන් වූ විට තමන්ට කැක්කුමක්  ඇති දෙයක් නිසා ලෙඩුන් වෙනුවෙන් කැපවීම සහ ආදරය දැක්වීම උත්සාහයක් හෝ මවාපෑමක් නැතිවම සිදුවේ. 

ගුරුවරුන් බඳවා ගැනීමේදීත් අධ්‍යාපනය සහ දරුවන් ගැන කැක්කුමක්, දැඩි උනන්දුවක් ඇති අයම ඒ සඳහා වන උපාධි හැදෑරීමට තෝරාගැනීම සිදුවේ. විශ්ව විද්‍යාල වලට නොතේරුණ එහෙත් දේශපාලන සම්බන්ධ කම් ඇති අය බඳවාගෙන ඔවුනට විශයයක් උගන්වා ගුරුවරුන් ලෙස සේවයේ යෙදවීමෙන් අධ්‍යාපන විෂයය ගැන කැක්කුක්මක් හෝ දරුවන්   ගැන කැක්කුමක් ඇති අය බිහි නොවේ.

රටේ ආදායමෙන් වැඩිම මුදලක් වියදම් වෙන රජයේ සේවයන් සඳහා බඳවා ගැනීමේ ක්‍රමයේ වෙනසක් තව ශතවර්ශයකට හෝ වෙනවායැයි සිතිය නොහැක.

එහෙත් අහඹු ලෙස විෂයයක් ගැන ඇත්තටම කැක්කුමක් ඇති කෙනෙක් ඒ විෂයටම අදාල රැකියාවක් කිරීමට ලැබීම සිදුවිය හැක්කකි. දේවානි ජයතිලක මහත්මිය එවැන්නියකි. ඒ දෙස බලා අන් සියළුම රාජ්‍ය සේවකයින් එසේ වෙයි යැයි බලාපොරොත්තුවීම නම් මෝඩකමයි. 

පහත වීඩියෝවේ ඇති, අතින් කටින් කුඩා දරුවන් එල්ලාගෙන, බොහෝ විට නිවාඩු දවසක රුක් රෝපනය සහ වන වගා ව්‍යාපෘතියක අය එතුමිය දිරිගන්වන හැටි බලා සිටීමට ලැබීමත් පිනකි.










මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

15 comments:

  1. ඇත්ත.

    තව පැත්තකින් බැලුවොත් ඉයන්, රජයේ ‌සේවයේ තියෙනවා කාර්යක්ෂ්මතා කඩඉම් විිභාග. ඒවයෙ සිලබස් එකේ තියෙන්නෙ අදාළ වෘත්තියට බලපාන දැනුම වර්ධනය කරගෙන තියෙනවාද කියලා මැන බැලීමට අදාළ විෂයන්. ඔය විභාග පාස් වුනේ නැත්නම් එක තැනකින් එහාට වාර්ෂික වැටුප් වැඩිවීම ලැබෙන්නෙත් නෑ. ඒ වගේම උසස්වීම් ලැබෙන්නෙත් නෑ. ඔය මගිනුත් අදාළ විෂයට ලැදියාවක් ඇති කරවනවා. ඒබව මම අත්දැකීමෙන් දන්නවා.

    විෂයට ලැදියාව වගේම ආකල්පත් අවශ්‍යයි ‌දේශපාලනයට ‌නොනැමී වැඩ කරන්න. ඒ වගේම තමන්ගෙ ඉහළ නිලධාරියා නැමෙනවානම්, ඒකත් ධනාත්මකව සහ සෘණාත්මකව බලපානවා.

    ReplyDelete
  2. අඩේ මං ‌මේකෙත් එක ‌වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. නයා ‌ෙකොහෙ එන්ඩද? ඌ අන්න අරෙහෙ ‌ටෝච් බැටරි ‌හොය ‌හොයා ඇවිදිනව.

      Delete
  3. මේ වැඩේ කරන්ඩ බෑ ඉයන්... මං ආපහු ‌හෙට එන්නං

    ReplyDelete
    Replies
    1. කෝ මේ දෙමල නයන්නා..
      නයාට කොරොනා හැදිලාද නැත්නම් චිනෙක් අල්ලාගෙන ගිහිල්ලාද

      Delete
    2. නයා උනත් හැපින්නට යටයි. අද ‌‌පෙබරවාරි 14...

      Delete
  4. ආ... ඒකියන්නේ ඇයගේ මේ ආවේගය බොක්කෙන්ම එන එකක්.. මම දැක්කා සමහර වාහෙලා කියලා තියනවා මේක මේ ඩ්‍රාමා එකක් කියලා...

    ReplyDelete
  5. මෙතෙක් ජීවිත කාලය මුළුල්ලේම රාජ්‍ය ආයතනවලට ගිය අවස්ථා බැලුවොත් 99%කම දැක්කේ ඉතාම අකාර්යක්ෂම, අවිනීත, අකාරුණික සැලකීම්. පහුගිය අවුරුදු දෙකේදී ලද එවැනි අත්දැකීමක් අකුරු කරන්නට කරුණු එකතු කරමින් ඉන්නේ.

    එහෙම කාලයක මේ තරුණ නිලධාරිනිය- දේවානිගේ පෞරුෂය - අදීනකම - දැනුවත්කම දැක්කාම සතුටු කඳුළු වැටුණා. අනේ මෙහෙම අය දාහක් අපේ රටට ඉන්නවා නම්!

    ReplyDelete
  6. මම ඉයන් ගේ කථාවට එකගයි. මේ රටවල මිනිස්සු බහුතරයක් ආසාවන් අනුව රැකියා වලට යන නිසාත් දේශපාලකයින්ට අනුව නීති වෙනස් නොකර තදින් ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා පරිසරය රකින්න ලේසියි. අනික් කාරණය තමයි තරගකාරී විභාග රටාව අස්සේ ළමයින්ටත්, මොනව කරලා හරි සල්ලි හොයන ලොකු අයටත් පරිසරය ගැන හැගීමක් නැතිකම. හැබැයි මම සුබවාදීව දකින දේ මිනිස්සු නරකයි කිය කිය හප කරන සමාජ මාධ්‍ය හරහා මේ වගේ දේ ජනප්‍රිය වෙනකොට මිනිස්සු නින්දෙන් නැගිටලා ආකල්ප හදා ගන්න එක.

    ReplyDelete
  7. අප ඉගෙන ගැනීමට පෙර ඉගෙන ගන්නා සැටි ඉගෙනගත හොත් සමාජයේ බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබෙනු ඇත .

    දේශපාලකයන් යනු ක්ෂුද්‍ර කුලකයකි .

    ReplyDelete
  8. ඉයන් ගේ ලිපියටත් මිලී ඇරෙන්න :) අනිත් අයගේ අදහස් වලටත් එකනගයි . මේ ඉන්නේ හොඳ රජයේ සේවිකාවක්. හැබැයි හැම තැනම හැම කෙනාම එහෙම නැහැ. නමුත් මේ වගේ අය රැක ගන්න එක වටිනවා.

    ReplyDelete
  9. "විශ්ව විද්‍යාල වලට නොතේරුණ එහෙත් දේශපාලන සම්බන්ධ කම් ඇති අය බඳවාගෙන ඔවුනට විශයයක් උගන්වා ගුරුවරුන් ලෙස සේවයේ යෙදවීමෙන් අධ්‍යාපන විෂයය ගැන කැක්කුක්මක් හෝ දරුවන් ගැන කැක්කුමක් ඇති අය බිහි නොවේ."

    මේ කතාව නම් ඇත්තම ඇත්ත .

    ReplyDelete
  10. අගය කලයුතු කෙනෙක් ඇය...

    ReplyDelete