Saturday, January 6, 2024

18 ට වැඩි අයට බදු අංක (TIN) අනිවාර්‍ය කිරීම හෙලා දකිමු




අවුරුදු 18 ට වැඩි සියළු දෙනාටම Taxpayer Identification Number (TIN) අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ගැන චෝදනා කරන කථා සහ පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.බොහෝ විට දැක්කේ නොමඟ යැවීම්. බදු කියන්නේ වයස මත පදනම් වන දෙයක් නෙවෙයි. TIN අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ඔවුන්ට බදු ගෙවීම අනිවාර්‍යය කිරීමක් නොවේ. එසේ TIN අංකයක් ලබා ගන්නාවුන් බදු ගෙවීමකට යටත් වන්නේ ඔවුන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවූවොත් පමණමයි.

එහෙත් බැංකු ගිණුමක් විවෘත කිරීමකදී හෝ ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමකදී TIN අංකය ලබා දීම අනිවාර්‍යය වෙනවා. එලෙස එම අංකය ලබා ගත්තත් එම මිලදී ගැනීම කර ඇත්තේ බදු ගෙවූ අදායමකින් ලබා ගත් මුදලකින්ද ආදිය සොයා බැලීමට ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවෙනවා. 

තව ටික දිනකින් අදට විවෘතව ඇති බැංකු ගිණුම් වලටත් අයිති කරුවන්ගේ TIN අංකය ලබා දෙන ලෙසත් ඉල්ලාවි. වාහනවලට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී අංකය අනිවාර්‍යය වන බැවින් සියළුම වාහන හිමිකරුවන්ගේ වාහන අංකයක් සමඟ සම්බන්ධ කරාවි. ඉඩම් වල හිමි කරුවන්ටත් එසේ අංක ලබාදෙන ලෙස ඉල්ලීමට ඉඩ තියෙනවා. රජයේ අස්වැසුම/සමුර්ධි සහනාධාර ලබන අයගෙ අංකත් ලබාගෙන ඒවා බැංකු ශේශය සහ ඉඩම් අයිතිය වගේ එක්ක සැසඳුවම සහනාධාර හොරුත් අහුවෙයි. එසේ  වූවිට බදු පැහැර හරින /  සහනාධාර හොරාකන කෙනෙකුට කල හැකිවන්නේ එම මුදල් ගෙදර තියාගෙන වාහන සහ ඉඩම් හැර අන් දේවල් අත්පිට මුදලට පමණක් ලබා ගැනීමයි. 

ඊට පසු 1973 පමණ ලංකාවේ සහ 2015 ඉන්දියාවේ සිදුවුනාක් මෙන් අද භාවිතයේ ඇති නෝට්ටු අවලංගු කර නව නෝට්ටු වලට හුව මාරු කරගැනීමට සැලස්වූවොත් හංගගගෙන් සිටි මුදල් වලට වටිනාකමක් නැතිවේවි. ඒත් බය වෙන්න එපා. ගොඩක් හොර දේශපාලකයන්ගේ සල්ලිත් තියෙන්නේ සමහර විට නෝට්ටු වලින්. ඒ නිසා ඒක වෙන එකක් නැහැ. 

මෙම බදු අංක ක්‍රමය බොහෝ දියුණු රටවල තිබෙනවා. ඒ රටවල රැකියාවක් ලබා ගැනීමට, සිසුණයක් ලබා ගැනීමකට, ආදී සියල්ලන්ටම මෙම අංකය අවශ්‍යයි.

ගණනය කිරීම අනුව ලංකාවේ අවුරුදු 18 ට වඩා වයස ජනගහණයෙන් බදු ලිපිගොනුවක් තියෙන්නේ 2.5% ප්‍රමාණයකට. එතකොට ලංකාවේ තිබෙන පුද්ගලික වාහන සහ පුද්ගලික ඉඩම් සහ ගෙවල් අයිතිය ඇති ප්‍රමාණය ඒ 18 ට වැඩි ජනගහණයෙන් 2.5% ක් පමණක් සහ බදු රහිත ආදයම් ලබන හෝ ලැබූ රජයේ සේවකයන්ට  පමණක්ද?

නැහැ. එයින් පෙනෙන්නේ පුද්ගලික අංශයේ ලක්ෂ 12 ට වඩා පඩි ගන්නා අය සහ ව්‍යාපාර කර බදු ගෙවන අය 2.5% ක් හැර වත්කම් අයිති අන් සියළු දෙනාම ඔවුන්ගේ ආදායමට බදු නොගෙවන බව නොවේද? අන් රටවලත් බොහෝ කාලයකට පෙර සිට ක්‍රියාත්මක වෙන මෙම ක්‍රමයෙන් බදු ගෙවිය යුතු එහෙත් පැහැර හරින අය බදු දැලට හසු කරගැනීමෙන් අද වැඩි ප්‍රමාණයක් බදු ගෙවීමට සිදුවී ඇති අයගේ බර අඩුවීම නේද? 

ඒ නිසා එන්න අපි ඔක්කොම මේ 18 ට වැඩි අයට අංක අනිවාර්‍යය කිරීමට විරුද්ධ වෙමු. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.