Tuesday, November 12, 2019

අන්ද්‍රා ප්‍රදේශ් ඉංගිරිස්

YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා 



අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති ලෙස පත්වූ YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා එම ප්‍රාන්තයේ පාසැල්වල උගන්වන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දීමට යෝජනා කර ඇත. පළමුව එම ප්‍රාන්තයේ ඇති පාසැල් 15,000 ක එක වසරේ සිට හය වසර දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම පටන් ගැනීමට යෝජනා කර ඇති අතර ආවුරුදු තුනකින් ඉතිරි වසර පන්ති වලටත් එය හඳුන්වා දීමට යෝජනා කර ඇත.

ලංකාවේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ආකාරයට ගණිතය වැනි තවත් විෂයයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමෙන් කෙදිනකවත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට සිසුන්ට හැකි නොවන බවත්, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයයන් කිහිපයක් හෝ ඉගැන්වීමෙන් භාවිතාවට අවශ්‍ය පුහුණුව ලැබෙන බවත් නැවත කිව යුතු නැත. අදටත් ලංකාවේ සමහර පාසැල් වල සියළුම විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන පංති ඇති පාසැල් ඇතත්, සියළුම සිසුන්ට විශයයන් දෙකතුනක් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන ක්‍රමයක් නැත. මුදල් යහමින් ඇති අයට ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසැල් වලට යොමු කල හැකි නිසා භාවිතාමය ඉංග්‍රීසි දැනීම නැති කමින් අවාසියක් වන්නේ එසේ ඉංග්‍රීසි මාධ්‍ය වලට මුදල් ගෙවා තම දරුවන් යොමුකල නොහැකි අයටය.