Friday, February 14, 2020

රැකියාව වගකීම සහ කැක්කුම (passion)

දේවානී ජයතිලක මහත්මිය

කඩොලාන පරිසරයක් රැක ගැණීමට දේශපාලන අධිකාරිය සමඟ ගම්පහ වන ජීවී නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය  තනිවම සටන් වදින වීඩියෝවේ අන්තර්ගතය ගැන බොහෝ අදහස් ෆේස්බුක් හරහා පළවී ඇත.  මෙතුමිය ඒ ගැන කැක්කුමකින් අවේගශීලීව කථාකිරීමත් අන් බොහෝ රජයේ සේවකයින් දේශපාලන අධිකාරියේ සුවච කීකරු ගැත්තන් වීම ගැන කථා වුනත් මේ වෙනසට හේතුව කුමක් විය හැකිද යන්න ගැන කථා වී තිබුණේ අඩු වශයෙනි.

බටහිර රටවල රජයේ සේවයේ මෙවන් අභීත නිලධාරීන් එම රටවල් ජීවත් වන අය දැක තිබෙන්නට ඉඩ තිබේ. ඊට ප්‍රධානම හේතුව වන්නේ එක් එක් විෂයය පිළිබඳව ඇත්තටම කැක්කුමක් (passion) ඇති අය එම තනතුරු වලට තෝරාගැනීමත් එමෙන්ම එවන් කැක්කුමක් ඇති අය එවන් තනතුරු වලට බැඳීමට ඇති කැමැත්තත් යන හේතු දෙකයි. උදාහරණයකට වෛද්‍ය හෝ හෙද විෂයය හැදෑරීමට තෝරාගන්නේ ඒසඳහාම වූ බුද්ධි පරීක්ෂණයක් සමත්වන සමාජයේ අඩු වරප්‍රසාද සහිත අයට පිහිටවීම පිළිබඳව අත්දැකීම් සහ ඒ ගැන උනන්දුවක් දක්වා ඇති අයයි. එවන් අය වෛද්‍යවරුන් හෝ හෙදියන් වූ විට තමන්ට කැක්කුමක්  ඇති දෙයක් නිසා ලෙඩුන් වෙනුවෙන් කැපවීම සහ ආදරය දැක්වීම උත්සාහයක් හෝ මවාපෑමක් නැතිවම සිදුවේ.