Wednesday, July 5, 2023

අස්වැසුමෙන් අස්වැසීම




1989 සිට ,කෙරෙන දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ජනසවිය, සමෘද්ධි, යන නම් වලින් සහ දැන් අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙනවා. අතිශයින් දේශපාලනකරණීය වෙච්ච මේ වැඩසටහනින් කීදෙනෙක් දිලිඳු කමින් මිදුනාද යන්න ගැන දත්ත මම දැකල නැහැ. මගේ නම් අනුමානය වෙනත් හේතු නිසා මෙම සහනාධාර ක්‍රමයෙන් අයින් වුන අය ඉන්නවා නම් හැර මෙම වැඩසටහන නිසාම එහෙම මිදුන කෙනෙක් නම් ඉන්න බැහැ. ඒකට ප්‍රධානම හේතුව යම් මුදලක් දීම හැර එහෙම දිලිඳු කමින් මිදෙන්න තිබ්බ කොටසවල් හරියට ක්‍රියාත්මක නොවීමයි සහ ඒම කොටසවල් වල තිබ්බ අසම්පූර්ණ බවයි.

මේ වැඩසටහනේ තිබ්බ අනෙක් විශාලතම දුර්වල කමක් තමයි මේ අධාර ලැබිය යුතු සමහර අයට ඒවා නොලැබීමත්, ලැබිය නොයුතු අය දැනහැඳුනුම් කම් හෝ දේශපාලන සම්බන්ධකම් මත ඒවා ලබාගැනීමත්.

අස්වැසුම පටන් ගැනීමට පෙර ඒවා ලැබෙන අය තෝරාගැනීම භාර වුන සමෘද්ධි නිලධාරීන් වැරදි දත්ත සහ නිර්දේශ කිරීම වලට දඬුවම් ලැබෙන ක්‍රමයට විරුද්ධ වුනා කියල දැනගන්නට ලැබුණා.

මේ වගේ සහනාධාර ක්‍රමයයන් දියුණු යැයි සම්මත රටවලත් තියෙනවා. ඒවා ඇසුරෙන් වෙනස්කම් කිහිපයක් කිරීමෙන් මේ ක්‍රමයේ තිබෙන සමහට අඩුපාඩු අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා කලයුතු වෙනස්කම් නම්:

1. සහනාධාර ලාභීන්ට ඔවුන්ගේ ආදායම සහ වත්කම් පිලිබඳව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලැස්වීම. එම දිවුරුම් පෙත්සම අනුව එක්තරා වත්කම් ප්‍රමාණයකට වඩා අඩු ඒවගේම එක්තරා ආදායම් ප්‍රමාණයකට වඩා අඩු අයට පමණක් ඒ අධාර දීම. 

2. අතිරික්ත රජයේ සේවකයින් පූණුවකින් පසුව යොදවාගෙන සාදන කමිටු මඟින් අහඹු ලෙස තෝරාගන්නා ලාභීන් ප්‍රමාණයකගේ සැබෑ වත්කම් සහ ආදායම් විගණනය කිරීම.

3. සාවද්‍ය දත්ත ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන හසු වන අයට එසේ සාවාද්‍ය ලෙස ලබා ගත් ප්‍රතිලාභ මෙන් දෙගුණයක හෝ තුන්ගුණයක දඩයක් නියම කිරීම. එය ගෙවිය නොහැකිනම් වත්කම් ප්‍රමාණයක් රජයට පවරාගෙන විකිණිමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම. එසේ සාවද්‍ය ලෙස ප්‍රතිලාභ ලබා ගන්නා අය පිලිබඳව ඔවුන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව තොරතුරු දෙන අයට එම දඩයෙන් 1/3 (එනම් ව්‍යාජ ලෙස ලබා ගත් මුදලට සමාන ප්‍රමාණයක්) ත්‍යාගයක් ලෙස ගෙවීම. එලෙස විගණනය කරන බව සහ විගණනයන්ගෙන් අසුවූ අයට දුන් දඬුවම් සහ දඩයන් ගැන පුළුල් ප්‍රචාරයන් ලබා දීම.

මීට අමතරව 'අස්වැසුම ප්ලස්' යන නමින් මෙවන් ක්‍රමයක් හඳුන්වා දීම හොඳ යැයි මම හිතනවා.

1. මසකට රුපියල් 10,000 ක් හෝ 15,000 ක් පරිත්‍යාග කල හැකි සහ දුප්පත් පවුලක් වෙනුවෙන් මසකට පැය කිහිපයක් ගත කල හැකි අයගෙන් අයදුම් පත් කැඳවා තෝරාගැනීම. මෙලෙස අනුග්‍රාහකත්ව ලබාදීමට සඳහා කුඩා හා විශාල පෞද්ගලික ආයතන, සමිති සමාගම්, විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ආදිය උනන්දු කිරීම. සමහර ධනවතුන් හෝ විශාල සමාගම් දුප්පත් පවුල් කිහිපයකටම අනුග්‍රහය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇත.

2. විශේෂයෙන් තෝරාගන්න දුප්පත්ම පවුලක් බැගින් එම අයදුම්කරුවන්ට අනුයුක්ත කිරීම. එම අනුග්‍රාහකින් මසකට ගෙවිය යුතු මුදල අස්වැසුම ගිණුමකට ලබා ගෙන අදාල දුප්පත් පවුලේ ගිණුමට බැර කිරීම.