Friday, May 13, 2022

මේ රනිල්ගේ අවසාන දේශපාලන පත්වීමද?

     මූට මේක කටපාඩම් ඇති 




 මාතලන්තුමාගේ බ්ලොග් එක  කවුද ටොයියෙක් හැක් කරලා කියලා ඔබ දැන් දන්නවා ඇති. හැකර් කෙනෙක් ගෝටාභයට බැනලා රනිල්ට ආවඩලා ඒකේ පෝස්ට් එකක් දාල.  කොහොමවුණත්  රනිල්  අගමැති වීම අද සාමාන්‍ය මිනිසුන් කිරිපිටි, ගෑස්, ඉන්ධන ආදිය නැතුව විඳින දුකෙන් එලියට එන්න අවස්ථාවක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ වුණත් අගමැති තනතුර භාර ගැනීම රනිල් දේශපාලන වශයෙන් සියදිවිනසා ගැනීමක් කියලත් හිතනවා. 

අරගලය දිගටම ගිහින් හෝ 21 සංශෝධනය හරහා ගෝටාභය ජනාධිපති තනතුරෙන් ඉවත්වුණොත් හොඳයි. එහෙම නැතුව රනිල් හරහා ආර්ථික ප්‍රශ්ණ ටික මඟහැරිලා ගෝටාභය දිගටම හිටියොත් ගෝටාභය බේරූ ද්‍රෝහියා ලෙස රනිල් ගේ දේශපාලනය ඉවර වෙනවා. 21 සංශෝධනයට පෙර ගෝටාභය අයින් වුණොත් රනිල් ජනාධිපති වෙලා ඊට පස්සේ දේශපාලනය ඉවර වෙනවා. ඒත් ගෝටාභය එහෙම අස්වෙන එක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.  

ඊයේ ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ ඕමල්පෙ සෝභිත ස්වාමීන් වහන්සේ සහ කාදිනල් තුමා කිව්වෙ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම වුණේ නිර්පාක්ෂික අගමැති කෙනෙක් පත්කිරීම නිසා මේ පත්කිරීම වැරදියි කියලයි. ඒ එක්කම එයා කිව්වා සජිත් ඉදිරිපත් වෙලා ඉන්න නිසා එයාට දිය යුතුයි කියලා. මේක නිකන් හතර බීරී කථාවක් වගේ. සජිත්ට දීම මහානායක වරුන්ගේ ඉල්ලීමට එකඟ වෙන්නේ කොහොමද? ඔහු නිර්පාක්ෂිකද? අනික් එක තමයි සෝභිත හාමුදුරුවෝ අනුර එක්ක ඇවිත් මේ පත්වීම හෙලා දැක්කා. එතකොට අනුරත් අගමැති කම භාරගන්න එකඟ වුණා නේද?. එතකොට එයා නිර්පාක්ෂිකද?

Thursday, May 12, 2022

මොනවද මේ වෙන්නේ ?


රාජපක්ශවරුන් රට කලදේ පිලිඹිබු වන පෙර සහ පසු චායාරූප 


බොහෝ දේවල් සිදුවුණ සතියක් ගතවෙන වෙලාවෙ මගේ සත දෙක.


නයාට ගසා වරද්දා ගත් පොල්ල

ගොඩ දෙනෙක් කියල තිබුණ ගෝටාගෝගම කියන්නේ ටෙන්ට් ටිකක් නෙවෙයි ඒක රටේ බහුතරයකගේ පැතුම පිළිඹිබු කරන තැනක් කියන එක. මේක දශක ගණනාවක් දේශපාලනයේ සිටින බුද්ධි අංශ සපයන වාර්ථා දකින අය කීප දෙනෙක් වැරදියට අර්ථ කථනය කලේ කොහොමද කියන එක මටත් ප්‍රශ්ණයක්. ඉන්ධන, පොහොර, ගෑස්, කිරිපිටි, සිමෙන්ති, ආදී දේවල් වල හිඟයෙන් සහ මිල විශාල ලෙස ඉහල යාමෙන් බහුතරයක් ජනයා පෙර නොවූ ලෙස අපහසුතාවන්ට පත්වී තිබුණත් පාරක් වසා දැමීම වැනි ඔබ්බට යමක් කිරීමට සාමාන්‍ය ජනයාට හැකියාවක් (ගටක්) හෝ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කලේ හැකි නම් ගෝටාගෝ උද්ගෝශණ වලට ඉඳ හිට එකතු වීම හෝ ගෙවල් වල සිටම තමන්ට කීමට ඇති දේ කියන එම අරගල කරුවන්ට හිතින් සහය වීමයි. ඒ නිසාම ඔවුන් හදවතින් අරගල කරුවෝ වුණා. ඔවුන්ගේ අරගලයේ සංඛේතාත්මක දේවල් වූ ටෙන්ට් වලට සහ අරගල කරුවන්ට එල්ල කල ප්‍රහාරය පෞද්ගලිකව තමන්ට එල්ල කල ප්‍රහාරයක් ලෙස බොහෝ දෙනෙකුට සිතීමට එමනිසා ඔවුන් පෙලඹුනා. එම පහරදීම සිදුවෙනවිටදීම කොළඹ කාර්යාල වල සහ රෝහල් වල සේවය කරන අය වැඩ කරන තැන් වලින් එළියට බහින්නත් අවේගශීලීව ගෝටාගෝගමට පෙලපාලි වලින් යන්නත් පටන් ගැනීම මමත් දැක්කා. පිටපළාත් වල අයත් සේවය අතරමැද කොළඹට ඒමට නොහැකිවුණත් සේවා ස්ථාන වලින් එළියට එන්න පෙළඹුණා. පහරදීම ඇතිකල ආවේගයන් ලංකාවේ පළමුවරට පාලක පක්ෂයේ අයගේ දේපල විනාශ කිරීම දක්වා දුර ගියා. 1977 සහ ඊට පෙර මැතිවරණයකින් පසුව ජයගත් කණ්ඩායම පරාජිතයන්ගේ ගෙවල් ගිණිබත් කිරීම ලංකාවේ දේශපාලනයේ අංගයක් වී තිබුණත්, බලයේ සිටින පක්ෂයක ආධාරකරුවන්ගේ දේපල විනාශයක් සිදුවුණ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. කොහොම වුණත් මහින්දගේ තනතුර රැක ගැනීමේ හෝ රැක දීමේ අරමුණින් පටන් ගත් දේ පැය දෙක තුණක් තුල ඔහුට ඉල්ලා අස්වෙන්න සිදුකරමින් තමයි ඉදිරියට ගියේ. අන්තිමට කොරෝන වලට රට වැසීම ප්‍රමාද කිරීමේ තීරණය, පොහොර තීරණය, ඩොලරය 202 හිර කිරීමේ තීරණය, වැනි ආණ්ඩුවේ හිස මත කඩා වැටුණ විනාසකාරී තීරණ ගොන්නට ගෝටාගෝගම කඩා දැමීමේ තීරණයත් එකතුවුණා.          


ඊලඟ අගමැති සහ ආණ්ඩුව

ජාතික ජනබලවේගයේ යෝජනාව වුනේ අනුර අගමැති වෙනවා නම් ඔවුන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එනවා. එහෙම නැත්නම් ඔවුන් විපක්ෂයේ සිටිනවා යන්නයි. තමන් අගමැති වෙනව නම් අනික් පක්ෂවල සහය ඕන ඒ වුණාට වෙන අගමැති කෙනෙක් යටතේ තමන් සම්බන්ධ වෙන්නෙ නැහැ කියල තමයි එයා කියන්නේ.   සජබෙ සහ එජාපෙ කලින් කියා සිටියේ වත්මන් ජනපති ඉවත්වුණොත් ඔවුන් ආණ්ඩුවට සහභාගී වෙනවා කියලයි. දැන් ඒක වෙනස් වෙමින් දැන් රනිල් සහ සජිත් අගමැති කම ගන්න සූදානම් කියල ඇහුණා. කොහොම වුණත් මේ අන්තර් කාලීන ආණ්ඩුවෙන් වෙන්නේ පොහොට්ටුවට ඔක්සිජන් දීමක්ම පමණයි. 

කවුරු ගත්තත් ඒ ආණ්ඩුව 'ගෙදර ගියොත් අඹු නසී.....' පන්නයේ ආණ්ඩුවක් වෙනවා. යම්කිසි විදියකින් අළුත් අගමැති කොහෙන් හරි විදේශ මුදල් හොයාගෙන සහ බදු වැඩි කිරීම මඟින් යම් කිසි ස්ථාවරත්වයක් රටෙ ඇති කලොත් ඊට පසු අගමැති කම නැවත පවරාගෙන තවමත් මන්ත්‍රී කෙනෙක් වන මහින්දට ආයිමත් අගමැති කම දෙන්න පුළුවන්. අළුත් අගමැති සහ ආණ්ඩුව රට යථා තත්ත්වයට පත්කිරීමට අපොහොසත් වුණොත් ඒත් එම හේතුව දක්වලා ආණ්ඩුව පවරගන්න පුළුවන්. ඒ කියන්නේ මොන පැත්තට ගියත් එකම දේ වෙන්නේ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව අනාථ වෙනවා. එහෙත් වෙන කට්ටියක් ටික කාලයක් හරි ආණ්ඩුව කරනකොට වෙච්ච ඔක්කොම වැරදි ඒ අයට පටවල පොහොට්ටුවට ආයිමත් ගොඩ එන්න පුළුවන්. එහෙම නොවන්න පොහොට්ටුවෝ කවදාවත්ම වෙන අයට ආණ්ඩු කරන්න දෙන අය නෙවෙයි.