Sunday, December 17, 2023

කල දෙයින් සතුටුවීම

අන්තවාදීව හිතන / ක්‍රියාකරන සුළුතරයක් හැරුනම බොහෝ දෙනෙක් කැමතියි හොඳ දේවල් කරන්න. වැඩකරන තැන, සමාජයේදී, වගේම පවුල තුලත් හොඳ දෙයක් කරන්න බොහෝ දෙනෙක් සිතනවා සහ උත්සාහ ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හොඳ දෙයක් කලාම අපිට එන සතුටක් නිසාද? බොහෝවිට උත්තරය 'ඔව්' කියන එකයි. ඔබ ගැනම හිතා බලා මීලඟ ප්‍රශ්ණෙට උත්තරය ඔබටම දීගන්න. ඒ සතුට එන්නේ ඔබ හොඳ වැඩක් කල නිසාමද එහෙම නැත්නම් ඔබ කල හොඳ වැඩය ගැන යමෙක් ප්‍රසංශා කලොත්ද? තව විදිහකින් ඇහුවොත් ඔබ සේවය කරන තැන කල හොඳ දේ ගැන කිසිම කෙනෙක් කිසිම අගැයීමක් නොකලොත් ඔබට ඒ ගැන කණගාටුවක් ඇතිවෙනවද? එහෙම කණගාටුවක් ඇතිවෙනව නම් ඔබ සතුටුවෙන්නේ කල හොඳ වැඩේ ගැන නොව ඒ ගැන ලැබෙන අගැයීම් හෝ ප්‍රසංශා ගැන නේද?

මෙහෙම පටන්ගත්තෙ පරණ 2015 පෝස්ට් එකක් ප්‍රතිචක්‍රීකරණය කරන්න ප්‍රවේශයක්

ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම.