Saturday, October 28, 2023

ශනිදා දහයට මමත් ලියන හේතුව

කස්ත්‍රෝ දියුණු කල කියුබාව


මීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව. 

ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.

මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට මහත්තය කිව්වම ලියන්න පටන් ගත්තේ එයාව හොඳින් තියා ගන්න එක ශරීර සෞඛ්‍යට හොඳ නිසා. නෑ එය දොස්තර කෙනෙක් නෙවෙයි.ඒ වුනාට හොඳින් තියාගත්තොත් අනාගතයට හොඳ නිසා.

අර කියුබාවේ විප්ලවේ වෙලාවෙ වෙච්ච දේවල් දන්න නිසා තමයි එහෙම කිව්වේ. 1953 දි පටන්ගත්ත විප්ලවය ඉවරවුනේ 1959 ජනවාරි 1. ෆිඩෙල් කස්ත්‍රෝට බලය ගන්න හැකියාව ලැබුණ එක විශේශ හේතුවක් තමයි බැටිස්ටා පාලනයේ තිබ්බ ගසා කෑම්. අද රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්ණෙට, තාක්ෂනික උගතුන් අඩු නිසා තාක්ෂණික අයෝජන නොඑන එකට 1979 ඉඳන් ජවිපෙ ගෙනගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න නොදීම බලපෑවට ඒව හංගගෙන රැස්වීම් 25,000 ක විතර කථා කරන්න සෑහෙන හොරකම් සහ නාස්ති රාජපක්ෂල කරල තියෙනවනෙ. ඉතින් ඕව කිය කිය ඉන්නව ඇර ජවිපෙ බලය අරගෙන රැකියා ඇති කරන විදිහ වත් විදේශ විනිමය හොයන විදිහ වත් ගැන කට හොල්ලන්නෙ නැහැනෙ. 

කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි.  එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය  හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය.  අවුරුදු 73 කට පස්සෙත් රට එතනමයි එහෙ තාම පාවිච්චි කරන්නෙත් 1959 ඉස්සෙල්ල ගෙන්නපු වාහන. ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. ඒ අයට ඕනනම් ජවිපෙ කියන නිෂ්පාදන ආර්ථිකය වගේ කල සීනි හරි වෙන දෙයක් හදල වෙන ඕනම රටකට අරින්න පුලුවන්. කොහොම හරි කස්තෝගෙ නිෂ්පාදන ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු නම් පෝලිමක ගිහිල්ල දෙන දෙයක් කාල ඉන්නව.

ඒ වගේ කස්ත්‍රෝ ආපු ගමන් කරපු එක දෙයක් තමයි ඇමෙරිකානු ආයෝජන ඔක්කොම ජනසතු කරපු එක. එහෙම කරල කියනව ඇමෙරිකානු සමාගම් වලට කියුබාව එක්ක ගනු දෙනු කරන්න බැරිවෙන්න සම්බාධක දාපු එක නිසාලු ඒගොල්ලො එක තැන.

 ජවිපෙ ඇවිල්ලත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩම් වල වවන්න කොලඹ ඉන්න විප්ලවේට විරුද්ධ අය තමයි යවනව කියන්නෙ. ජවිපෙ බලයට ආවම ඒ ගොල්ලන්ගෙ බොරු ගැනම පෝස්ට් ලියන එකෙක් විදිහට මාවත් ගාල් කඳවුරකට Concentration camp) අරිනවම තමයි.

ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මට තට්ට මහත්තයාගේ සපෝට් එකක් ඕන වෙන්නේ. යාළු කමට ගාල් කඳවුරෙන් පැනගන්න උදව්වක් නොකර ඉන්න එක නැහැ. 

ඒ නිසා හැම සෙනසුරාදම පෝස්ට් එකක් දානව. 






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Saturday, October 21, 2023

තට්ට මහත්තයාගේ ජැකා




තට්ට මහත්තයාගෙ ශනිදා පෝස්ට් අදහස නම් මරු. බ්ලොග් නැවත සක්‍රිය කරවීමට විවිධ උත්සාහයන් මෑත කාලයේ සිදුවුණත් දවසක් සහ වෙලාවක් දීල කරපු දේ නම් හරිම නිර්මානාත්මකයි. ඒවගේම මේවගේ දෙයක් සාර්ථක වෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒක එහෙම වුනාට සුමානෙට සැරයක් ලියන්න අදහස් එන්නත් ඕනනේ. මට අද ලියන්න අදහසක් එන්නේ නැහැ.

 ඒ නිසා මම තට්ට මහත්මයා ලියල තියෙන ජැක්සන් ඇත්නනී ගේ අනතුර මිය යාම ගැන මගේ අදහස ලියන්න හිතුවා. සත්ත්ව ලෝකයේ තමන්ගේ ඇත්ත හැඟීම හංගාගෙන වෙන දෙයක් පෙන්නන්න හැකියාව තියෙන්නේ මනුස්සයන්ට විතරයිනේ. ඒ කියන්නේ තමන්ගේ වරිගයේ අන් සතෙක්ව නොමඟ යවන එක කරන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපිට දැනගන්න අහන්න ලැබෙන අය ගැන ඒ අය කියන කරන දෙයින් ඒ අය ගැන යම්කිසි අදහසක් අපි ඇතිකරගන්නවා. ඒ පුද්ගලයා ගැන ඊට පස්සේ අහන්න දකින්න ලැබෙන දේවලින් අර පළමුවෙන්ම ඇතිකරගත්ත අදහස තව දුරටත් තීව්‍ර වෙනවා එහෙම නැත්නම් වෙනස් වෙනවා. මෙහෙම අදහස් වෙනස් වීමක් නොවෙන්නේ තමන්ගේම මව්පියන් සහෝදර සහෝදරයින් සහ දරුවන් ගැන පමණයි. ඒකට හේතුව ඔවුන් හෝ අපි උපන් දවසේ සිටම ඔවුන්ව ලඟින්ම ඇසුරු කරන නිසා පමණක් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ට වාසියක් හෝ අවාසියක් නැති අවස්ථා වලදීත් ඔවුන් සමඟ ඇසුරු කර තිබීම. අන් අය ඒ කියන්නේ තමන් විවාහ වෙන කෙනා, ජීවිතයේ හමුවන යහළුවන්, රැකියා වලදී හමුවන අය, අපි බැඳෙන කලා කරුවන් වගේ සහ ක්‍රීඩකයින් වැනි අය ඔවුන්ගේ මුල් හැසිරීම අනුව තමයි අපි බැඳෙන්නේ. ඒ වගේ අය හා අපි බැඳෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු, හැබෑම ස්වරූපය, ගැන අඩු දැනීමක් එක්ක. මේ වගේ බැඳෙන අය ගැන ඇති අපේ අදහස සමහර විට විවිධ ස්වරූපයෙන් ආදරයක් බවට පත්වෙනවා. එහෙම ආදරයෙන් බැඳෙන අයගෙන් අපි සාධාරණ යැයි නොපිලිගන්නා දෙයක් සිදුවුණොත් ඒක වෛරයක් දක්වාම යන්න පුළුවන්. 

මගේ ජීවිතයේ එහෙම සිදුවුණ දේවල් නම් මගේ කලින් බිරිඳ, නීලා වික්‍රමසිංහ, සහ ජැක්සන් ඇත්නනී. මෙතනින් නීලා ගැන කිව්වොත් වියෝගී ගීතයෙන් පටන් ගෙන ඇය අහිංසක කලාකාරියකගේ භූමිකාවක් රඟපෑවා. ඇය කිවූ ගී වල අදහස සහ ආදරණීය බව නිසා මම ඇය හා බැඳුණා. ඇය ගයන්නේ ඇගේ අදහස් නොව ගීත රචකයයෙකුගේ අදහස් පමණයි කියල දැනගෙන හිටියත් ඒ ගීත නිසා මගේ හිතේ මැවුණ අහිංසක ආදරවන්තියකගේ චරිතය නොදැනුවත්ම ඇගේ චරිතය හැටියට මට හිතෙන්න ඇති. මම මෙහෙම බැඳිච්ච කෙනෙක් 2015 චන්දෙ අවසානයේදී 'ගහල හරි ගන්න තිබ්බනේ' කියපු ක්ලිප් එකෙන් මෙගේ හිතේ ඇය ගැන තිබ්බ ප්‍රතිරූපය කඩාගෙන වැටුනා. 

Monday, October 16, 2023

යුක්‍රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු





හැමෝම පෝස්ට් දාන්න පටන් ගෙන නිසා මගෙනුත් එකක්.

මාස ගණනක් ඇදී යන රුසියානු-යුක්‍රේන් යුද්ධය ගැන මගේ අදහස. ලෝකෙ වෙන දේවල් ගැන තියා ඒ රටවල් කොහේ තියෙනවාද කියාවත් නොදන්නා එහෙත් මාධ්‍ය වලින් පමණක් ලෝකය දකින ඇතැම් බටහිර රටවල් වල අයට නම් බටහිර ලෝකයේ අධාර ඇතිව සාර්ථකව යුක්‍රේනය රුසියාව පරදවමින් සිටිනවා. ඒ ගැන විරුද්ධ අදහස් දරන අයගේ මතය නම් යුක්‍රේනය ඔවුන්ගේ පිරිමි ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මේ යුද්ධය බිලිදී ඇති බවත් රුසියානු හමුදා ඇතිකර ඇති වට කිහිපයක ආරක්ෂක වලල්ල බිඳ දැමීමට හැකිවී නැති බවත්,  බිලියන සිය ගණන් බටහිර යුධ උපකරණ සහ ඇමෙරිකාවෙන් ගෙවන යුක්‍රේන් හමුදා පඩි සමඟවත් යුක්‍රේනයට මේ යුද්ධය දිනීමට කිසිම හැකියාවක් නැති බවත්ය.

මට පෙනෙන්නේත් මේ දෙවැනි මතය නිවැරදි බවයි. රුසියාවෙන් ණයට ගෑස් සහ නොයෙකුත් වරදාන ලබමින් සැපසේ ජීවත් වූ යුක්‍රේනය ඩොලර් බිලියන 5 ක වියදමින් ඇමෙරිකාව 2014 දී ඇතිකල මයිදාන් අරගලය සහ මයිදාන් ඝාතනය හරහා ඔවුන්ට හිතවත් එහෙත්  රුසියාවට විරුද්ධ පාලනයක් ඇතිකර දැන් එය තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන තත්ත්වයට ආසන්න වෙමින් තිබේ. 2019 ශ්‍රී ලංකාවේ සිදුවුනාක් මෙන් වෘත්තියෙන් කොමඩි නළුවෙකු ජනාධිපති කරගත් යුක්‍රේනය අද බොහෝ ලෙස විනාස වී ඇත්තේ ඇමෙරිකාවට ඇති බල තන්හාව නිසා බව සමහරුන්ගේ මතයයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙන් සතුරු රටක් විනාස කිරීමට එම රටට ඇති දුර අදට අදාල නොවේ. එකල තිබූ මිසයිල වල දුර සීමාව අනුව 1962 කියුබාවේ මිසයිල් ස්ථාන ගතකිරීමට සෝවියට් දේශය කල උත්සාහයට යම්කිසි හේතුවක් තිබුණ මුත්, වොර්සෝ සම්මුතිය බිඳ වැටී ඇති විටක සහ දුර විදින මිසයිල වල ගමන් කල හැකි දුර ඉතා විශාල ලෙස වැඩි වී ඇති කාලයක නේටෝට තව දුරටත් ව්‍යාප්ත කර රුසියානු අසැල්වැසි යුක්‍රේනයත් නේටෝවට ඈඳාගෙන්න උත්සාහ කලේ මොන කෙන්ගෙඩියට දැයි මට නම් ප්‍රෙහේලිකාවකි.

මේවන විට ඇමෙරිකාවෙන් පමණක් ඩොලර් බිලියන 190 ක් පමණ වටිනා මුදල් සහ යුධ උපකරණ ලබා ගැනීමට යුක්‍රේනය සමත් වී ඇත. ඉතා දූශිත දේශයක් ලෙස ප්‍රකට යුක්‍රේන පාලකයන්ට නම් මෙය හොඳ පල්ලමකි. එමෙන්ම ඇමෙරිකාවේ චන්ද වලට වැඩි පුරම වියදම් කරන යුධ උපකරණ නිශ්පාදනය කරන සමාගම් වලටත් මෙය ඉතාමත් වාසිදායි යුද්ධයකි. කැලෑවල ගුවන් තොටුපලවල්, වරායවල්, විශාල සම්මන්ත්‍රණ ශාලා, අඩි සීයේ පාරවල්, වැනි දේ දැක පුරුදු අපිට ඇමෙරිකානු ආරක්ෂාවට කිසිම වාසියක් නොවන මෙවන් ක්‍රියාදාමයකට ඇමෙරිකාව අවතීර්ණ වුනේ ඇයිදැයි සිතාගත හැක.