Monday, November 27, 2023

මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු

මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය


පොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ  කථාව බෙදාගන්නවා.  වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.

මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා (facilitator) ගැන වීමයි. 

කුඩා කාලයේ එක තැනක ඉඳගෙන පාඩම් කරන ගතියක් මට තිබුණේ නැහැ. පන්තියේ උගන්නන දේ තර්කානුකූලව මතක තිබීමේ ශක්තියක් ඒ කාලේ තිබ්බා. (දැන් නම් ඒක පොඩ්ඩක්වත් නැහැ ). ඒ නිසා මම කිසිම විභාගයකට පාඩම් කලේ නැහැ. ඒත් පන්තියේ විභාගවලින් 2-5 අතර ස්ථාන ගන්න එක මට සුළු දෙයක් වුණා. වත්සලා වගේම මමත් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වුනා. ඒක එතරම් ලොකු දෙයක් නොවෙන්නේ ඒ කාලයේ  5 වසර  ශිෂ්‍යත්ව විභාග ලිව්වේ ටික දෙනෙක් පමණක් වීමයි. ඒත් 7 වසර වන විට ඒක ජනප්‍රිය වෙලා පාසැලෙන් ඒකට පෙනී සිටීම අනිවාර්‍යය වුනා. ඒකෙන් සමත් වෙච්ච අතලොස්ස අතරට යන්න මට පුළුවන් වුනා. (එකල අදියර දෙකකින් පැවැත්වූ  7 වසර ශිෂ්‍යත්ව  විභාගය පසුකාලයක අහෝසි වුනා)

මගේ පාඩම් නොකර විභාග කිරීමේ ගතිය හොඳින් දත් දෙමව්පියන් 9 වසර අවසානයේදී පෙනී සිටීමට සිදුවූ (ඔව් ඒ කාලේ NCGE/HNCE කියල අලුත් ක්‍රමය නිසා එම NCGE විභාගය පැවැත්වූයේ 9 වසර අවසානයේදී ) විභාගයේ විෂයයන් දෙකක් අතර මැද තිබූ නිවාඩු දවසේ ඔවුන්ට සහභාගී වීමට තිබූ ටිකක් දුර ගමනකට මාවත් සහභාගී කරගත්තා. ඒත් ඒ විභාගයෙනුත් හොඳින් සමත් වීම මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. 

Sunday, November 19, 2023

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු

ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට අවසර. 

කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්.  . ඒ උනාට  අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

Monday, November 6, 2023

මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම




අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. 

මේ ගැන මගේ මතය.

පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට  25.00 දක්වා   තියෙන්නේ.

 ඇමෙරිකාවේදී අනුර කරන වැරදි වචන භාවිතය නොවන්නට බොහෝ දෙනෙක් මෙය ඔහුගේම අදහසක් බව විස්වාස කිරීමට ඉඩ තිබිණි. 

මගේ අදහස නම් මොවුනට  රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති  බවයි . මේ ලෝකයේ තව රටවල් 180 ක් පමණ ඇති නිසා අන් රටවලත් රජයෙන් කර්මාන්ත කිරීම, නිශ්පාදනයට අත ගැසීම, වැනි දේවල් කරනවාදැයි දැන ගැනීමට අවස්ථා ඇත. රජයක වගකීම නීති සම්පාදනය පමණක් බවත් රැකියා දීම. පාරවල් හැදීම, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන හැදීම, මිනිරන් පැටවීම රජයක වගකීම නොවන බවත් නොවැටහෙන දේශපාලකයිනුත් ජනතාවකුත් සිටින තෙක් මේ මෝඩ රට පස්සට යාම නැවැත්විය නොහැකිවනු ඇත.   

රජයක වගකීම නිශ්පාදනය නෙවෙයි. නිශ්පාදනය. අගය එකතුකිරීම වැනි දේවල් ගැන ප්‍රතිපත්ති තීරණ අරගෙන පෞද්ගලික අංශයට ඒ දේවල් කිරීමට අවශ්‍ය පසුබිම සහ නීති සම්පාදනය පමණයි. 

මගේ අදහස නම් අනාගත රජයක් විසින් මිනිසුන්ට ඇත්ත කථා කර කල යුතු දේවල් මේවායි.


1. විදේශ විනිමය ඉතුරු කිරීම

(අ ) අද රටෙන් විදේශ විනිමය වියදම් වෙන විදේශ අධ්‍යාපනය වෙනුවට, වසරකට අඩුම වශයෙන් සිසුන් 50,000 ක් ඇතුලත් කරගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල 25 ක් ඇරඹීම. මේ අළුත් විශ්ව විද්‍යාල රටේ ප්‍රමුඛම විශ්ව විද්‍යාල වන කොළඹ, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස අවුරුදු 10 ක කාලයට සම්බන්ධ කලයුතුය. එම පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් පෙනී සිටිය යුත්තේ එසේ අනුබද්ධ කල විශ්ව විද්‍යාලයේ විභාග වලටය. එම සිසුන්ටත් එම ප්‍රධාන විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනැමිය යුතුය. විභාග සඳහා, විද්‍යාගාර පාවිච්චිය උදෙසා, සහ සුපරීක්ෂණය උදෙසා රජයේ විශ්ව විද්‍යාලය මුදල් අය කල යුතුය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා ආචාර්‍ය වරුන්ගේ ප්‍රමිතිය, විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් එකතු කිරීම, අයකරන මුදල්, ආදිය අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය කලයුතුය. මීට අමතරව මෙම විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම බුද්ධි පරීක්ෂණ හරහා කලයුතුය. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිසුණය බැංකුවක් බවට පත්කොට එක්තරා ආදායම් (හෝ වත්කම්) මට්ටමකින් පහල අයට සිසුණය ලබා දිය යුතුය. රැකියාවක් ලැබුණු පසු අද අර්ථසාධක අරමුදලට යවන කොටස සිසුණය ගෙවීමට යොදාගත යුතුය.   

       මේ ක්‍රමයෙන් මුදල් ඇති අය විදේශ අධ්‍යාපනයට යොමු වන එක නතර නොවුනත්, ණය වී විදේශ අධ්‍යාපනයට යන අයටත්, එසේ ණයවී හෝ මුදල් හොයා ගැනීමට නොහැකි අය ත්‍රිරෝද රථ වල සහ ගෘහ සේවිකා රැකියාවලට යන එක වත් අඩු විය හැක. වසර කිහිපයකදී විදේශ සිසුන් ආකර්ශණය කර ගැනීම මඟින් අඩුම වශයෙන් වසරකට ඩොලර් බිලියනයක් වත් රට අද්දා ගැනීමට හැකිවනු ඇත. 

(ආ ) සිංගපූරුවේ මෙන් වසරකට ආනයන කල හැකි වාහන ප්‍රමාණය සීමා කලයුතුය. ඒසඳහා ආනයන බලපත් අන්තර්ජාලය හරහා වෙන්දේසි කලයුතුය. 

(ඇ) රටට ආනයන කරන දේවල් විශ්ලේශණය කර සරුංගල්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වැනි අන්‍යවශ්‍ය ආනයන තහනම් කිරීම.    

Saturday, November 4, 2023

ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි)



ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

මෙම ලිපිය 2016 නොවැම්බර් මස පල කරන ලද ලිපියක් නැවත පළ කිරීමක් බව සලකන්න.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්.