මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය |
පොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ කථාව බෙදාගන්නවා. වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.
මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා (facilitator) ගැන වීමයි.
කුඩා කාලයේ එක තැනක ඉඳගෙන පාඩම් කරන ගතියක් මට තිබුණේ නැහැ. පන්තියේ උගන්නන දේ තර්කානුකූලව මතක තිබීමේ ශක්තියක් ඒ කාලේ තිබ්බා. (දැන් නම් ඒක පොඩ්ඩක්වත් නැහැ ). ඒ නිසා මම කිසිම විභාගයකට පාඩම් කලේ නැහැ. ඒත් පන්තියේ විභාගවලින් 2-5 අතර ස්ථාන ගන්න එක මට සුළු දෙයක් වුණා. වත්සලා වගේම මමත් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වුනා. ඒක එතරම් ලොකු දෙයක් නොවෙන්නේ ඒ කාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලිව්වේ ටික දෙනෙක් පමණක් වීමයි. ඒත් 7 වසර වන විට ඒක ජනප්‍රිය වෙලා පාසැලෙන් ඒකට පෙනී සිටීම අනිවාර්‍යය වුනා. ඒකෙන් සමත් වෙච්ච අතලොස්ස අතරට යන්න මට පුළුවන් වුනා. (එකල අදියර දෙකකින් පැවැත්වූ 7 වසර ශිෂ්‍යත්ව විභාගය පසුකාලයක අහෝසි වුනා)
මගේ පාඩම් නොකර විභාග කිරීමේ ගතිය හොඳින් දත් දෙමව්පියන් 9 වසර අවසානයේදී පෙනී සිටීමට සිදුවූ (ඔව් ඒ කාලේ NCGE/HNCE කියල අලුත් ක්‍රමය නිසා එම NCGE විභාගය පැවැත්වූයේ 9 වසර අවසානයේදී ) විභාගයේ විෂයයන් දෙකක් අතර මැද තිබූ නිවාඩු දවසේ ඔවුන්ට සහභාගී වීමට තිබූ ටිකක් දුර ගමනකට මාවත් සහභාගී කරගත්තා. ඒත් ඒ විභාගයෙනුත් හොඳින් සමත් වීම මට ප්‍රශ්ණයක් වුණේ නැහැ.
උසස් පෙලත් ඒ වගේ පාඩම් නොකර කිරීමේ ප්‍රතිඵලය වුනේ නම් හිතපු දෙයක් නෙවෙයි. ගෙම්බෝ විශාල ප්‍රමාණයකත්, කැරපොත්තන් විශාල ප්‍රමාණයකත් ජීවිත වලට වග කිව්වත් වෛද්‍ය විද්‍යාලයේ කැන්ටිමේ රස්සාවක් ගන්නවත් ඒ ප්‍රතිඵල වලින් හැකිවුණේ නැහැ. බයෝ සයන්ස් කරලා ඒ සම්බන්ධ අංශ වලට යන්න ඒ කාලයේ වෙනත් පෞද්ගලික පාඨමාලා වත්, වත්සලා ගිය විවෘත විශ්ව විද්‍යාලයවත් ඒ කාලයේ තිබුණේ නැහැ හෝ මම දැනගෙන හිටියේ නැහැ . ඉතින් යාළුවෝ ඔක්කොම කරන දේ වුන රැකියාවල් වලට ඉල්ලුම් කිරීම පටන් ගත්තා. ජාත්‍යන්තර පාසැල් බිහිවෙන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක වාසනාවකට මම ඉගෙනගත් පාසැලේ සිසුන්ට පුද්ගලික අංශයේ රැකියා වල ඉල්ලුමක් තිබ්බා. ඒකයි බුද්ධි පරීක්ෂණ තරණය කරන්න තිබ්බ සහජ හැකියාව නිසයි පිළිගත් සමාගමක කලමණාකරණ අභ්‍යාසලාභී (Management Trainee) තනතුරකට තේරෙන්න එච්චර අමාරු වුනේ නැහැ. ඒකේ මම කැමතිම වෙච්ච දේ තමයි මාසික දීමනාව හැටියට ගෙවන ගණන සෑහෙන්න විශාල මුදලක් වීම. ඒක මගේ පියාගේ එකල වැටුපෙන් 20% ක පමණ ප්‍රමාණයක්.
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ මෙතැනදි තමයි. එම සමාගමේ බඳවා ගැනීමට නිර්දේශ කිරීම (referee reports) අත්‍යාවශ්‍යයි. එවකට මගේ පියා රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක එක් අංශයක ප්‍රධානියෙක්. එම ආයතනයේම මුදල් අංශයේ ප්‍රධානියා තමයි ඔහුගේ මිතුරා. මම නිර්දේශ කරන්නා ලෙස මගේ ඉල්ලුම් පත්‍රයේ දැම්මේ ඔහුව. මාව තෝරාගෙන ඇති බවත් ඔවුන් නිර්දේශ කරන්නාගේ ලිපිය ලැබෙන තෙක් බලා සිටින බවත් එම සමාගමෙන් දුරකථනයෙන් දැන්වූවා. ඔහුගේ මිතුරාට එය යවන ලෙස මතක් කරන ලෙස මම මගේ පියාට කිව්වා. එක දිනක් ඔහුගේ මිතුරා මට ඔහුගේ කාර්‍යාලයට එන්න කියල පියා අත පණිවිඩයක් එවල තිබුණා.
ඔහු එන්න කියන්නේ මා සමඟ මගේ නිර්දේශ කිරීමේ ෆොර්ම්ස් පුරවන්න කියලා මම බලාපොරොත්තු වුනා. ඒ නිසා ඔහුව හමුවෙන්න මම ගියේ ඉතාමත් සතුටින්. ඒත් ආපහු ආවෙ නම් සතුටකින් නෙවෙයි. එතනදී සිදුවුනේ මම බලාපොරොත්තු නොවුන දෙයක්. . මම බැඳෙන්න යන සමාගම, පුහුණුව, පුහුණුවට පසුව රැකියාව, ලැබෙන දීමනාව වගේ විස්තර අහපු ඔහු මගේ නිර්දේශ ලිපිය යැවීම ප්‍රතික්ෂේප කලා. ඔහු කීවේ මම එම රැකියාවට බැඳුනොත් එහි වරප්‍රසාද නිසා ඉදිරියට ඉගෙන ගැනීමක් නොවෙන බවත්, බොහෝ විට කමින් බොමින් (වැඩිපුර බොමින්) විනෝදයට බර ජීවිතයකට යොමුවී එක්තරා විදිහකට ජීවිතය නාස්ති කර ගැනීමට ඉඩ වැඩි බවත්. අතේ මිටේ මුදල් ඇතිව පිළිගත් සමාගමක රැකියාවක් ලබාගෙන ඉතා සතුටින් ගෙවෙන කාලයක් ගැන මම මැවූ සිහින ඔක්කොම ඔහු ඒ පැය තුල විනාශ කලා.
ඔහු මට කීවේ විදේශීය ගණකාධිකරණ ආයතනයක සුදුසුකම් ලබා ගත හැකි විභාග සඳහා කොළඹ පැවැත්වෙන පන්ති වල ඔහු දේශණ පවත්වන බවත්, ඒ සඳහා සහභාගී වී වෘත්තීය සුදුසුකමක් ලබා ගන්නා ලෙසත්ය. උසස් පෙලට විද්‍යා විෂයයන් හැදැරූ මට ගණකාධිකරණය ඉගෙනීමට ඇති අපහසුව ගැන පුන පුනා කිව්වත් ඔහු ඒක පිළිගත්තේ නැහැ. ඔහු කියන දේට විරුද්ධව වෙනත් නිර්දේශ කරන්නෙකු හරහා අර රැකියාවට යාමට හැකි වුනත්, ඒකට මගේ පියාගෙන් කිසිම අවසරයක් ලැබුණේ නැහැ.
හොඳ වැටුපක් ලබාගෙන මාස ගණනකින් මෝටර් සයිකලයකුත් මිලදී ගෙන පොශ් තරුණියන් ඇසුරු කරමින් ගෙවන ජීවිතයක් වෙනුවට, කට ලඟට පිරවූ බස් වල පන්ති යමින්, දවස් 10 ක් වත් යැපීමට නොහැකි කුඩා දීමනාවක් ගෙවන විගණන ආයතනයක පුහුණුවට යමින් ගත කරන කාලයක් ලැබීමට මම (අ)වාසනාවන්ත වුනා. උදේ පුහුණුවන රැකියාවට ගොස් හවස විෂයය පන්ති වලට ගොස් රත්‍රී 9.00 ට පමණ කොල්ලුපිටියෙන් නුගේගොඩට 112 බස් රථයක් ගැනීමම අමාරු කාරණයක්. ඒ හැම විටම මම පියාගේ මිතුරාට සිතින් ද්වේශ කලා.
ඒ පන්ති යාමත් මම කලේ මට පුරුදු පාඩම් නොකරන ක්‍රමයටමයි. ඒකට එක හේතුවක් වුනේ හැදැරීමට තිබූ විෂයයන් වූ මුල්‍ය කලමණාකරණය, ආර්ථික විද්‍යාව වැනි දේ උසස් පෙළට බයෝ සයන්ස් කල මට ආගන්තුක වීම. ඒකේ වෙනසක් වුනේ මෙහෙමයි. පන්ති යාමට වියදම එතරම් නොවුණත් එම පාඨමාලාවේ එක මට්ටමක විභාගයකට බ්‍රිතාන්‍ය මුදලින් ගෙවිය යුතු විභාග ගාස්තු මගේ පියාගේ එක මසක වැටුපට සමාන වුනා. පලමුවෙනි විභාගයට ඇතුළුවීමේ පත්‍රිකාව විභාග දිනයට දවස් 30 කට පමණ කලින් ලැබුණාම තමයි බරපතල කම ඔළුවට ගැහුවේ. මෙයින් අසමත් වුණොත් තව මාස හයකින් නැවත එවන් මුදලක් ගෙවීමට පියාට සිදුවෙනවා. ඒ ඇති වෙච්ච කම්පනය කොතරම්ද කියනවානම් ඒ දින 30 ජීවිතයේ කවරදාකවත් නොකල පාඩම් කිරීමක් මම කලා. නිදා ගැනීමක් ඒ දවස් වල කලා කියල මතකයක් නැති තරම්. මේ කාලයේ අන්තර් ජාලය, යූටියුබ් හෝ වෙනෙකක් තබා අවශ්‍යවුන මුද්‍රිත පොත් පවා තිබුණේ නැහැ. බොහෝ විට ලැබුනේ 20-30 පාරක් ෆොටොකොපි කල පොත් වල පිටු පමණයි.
(කථාවට අදාල නොවුණත් මතක් කල යුතුම දෙයක් තියෙනවා. අද මෙන් නොව මේ කාලයේ ගණකාධිකරණය හැදෑරූ සිසුන්ගෙන් 90% ක් පමණ දමිල ජාතිකයින්. ඔවුන්ට විදේශ වල සිටින ඔවුන්ගේ නෑදෑයින්ගෙන් පොත් වල කොපි ලැබුණා. ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ඒවා සිංහල සිසුන් හා බෙදා ගත්තා. ඒ කාලයේ උතුරේ සටන් තිබුණ අවධියක්. ඒත් ඒ බෙදීම් සිසුන් අතර තිබුණේ නැහැ. හැමෝගෙම අරමුණ වුනේ එකිනෙකා අතර තරඟ කිරීමට වඩා එකට ඉන්න වලෙන් ගොඩ එන්න. එකෙකුට නොතේරෙන දෙයක් කියල දීමට අනිකා මැලිවුනේ නැහැ. පන්ති වල සිසුවියන් වැඩි හරියක්ම දමිල ජාතික අය. ඉස් ඉස්සෙල්ලාම මගේ හිත ගියෙත් ඒ පන්තිවල සිටි අති සුන්දර දමිල තරුණියකට. අනික් දමිල යාළුවන්ගෙන් බොහෝ උදව් ලැබුණත් ඒක සාර්ථක වුනේ නැහැ. ඒත් සිංහල දමිල විවාහ කීපයක්ම ඒ සිසුන් අතරින් පසු කාලයකදී වුනා.)
මගේ පලමුවෙනි සීරියස් පාඩම් කිරීමේ ප්‍රතිඵලය නම් හොඳ දෙයක් වුනා. ඒකේ ප්‍රතිඵලය වුනේ ඒ ලෙවල් විභාගයේ නොදැකපු 'ඒ' සාමාර්ථ කීපයක්ම ලැබීම. ඒකත් එක්ක නැවත ලැබුණු පවුල තුල පිළිගැනීම, පාඨමාලාව කරන අය අතර ලැබුණු පිලිගැනීම ආදිය මඟින් මම තවත් දිරිමත් වුනා. අන්තිම ප්‍රතිඵලය වුනේ අවුරුදු 22 වෙන විට පූර්ණ සුදුසුකම් ලැබීමට කලයුතු වූ විභාග 5 ම ඉවර කරන්නට හැකිවීම. ඒ කාලය ගණකාධිකාරීන්ට ඉහල ඉල්ලුමක් තිබ්බ නිසාත්, සුදුසුකම් ලත් ගණකාධිකාරීන් අඩු ප්‍රමාණයක් සිටි කාලයක් නිසාත් අවුරුදු 24 වෙනකොට මම හීන දැකපු මෝටර් සයිකලය වෙනුවට රැකියා ස්ථානයෙන් ලබා දෙන වාහනයක් සහිත රැකියාවක් ලබා ගන්නත් හැකිවුණා.
මගේ පාසැලේ ලඟම යහළුවන් කීප දෙනෙක්ම වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒකාලයේ ජවිපෙ ගෙනගිය විශ්ව විද්‍යාල වර්ජනය නිසා ඒ අය වෛද්‍යවරු වුනේ අවුරුදු 29 දී. වෛද්‍ය විද්‍යාලයේ කැන්ටිමට යාමට වත් උසස් පෙලින් සුදුසුකම් නොලැබූ මම ඔවුන්ට අවුරුදු 7 කට කලින් වෙන වෘත්තීය අංශයක සුදුසුකම් ලැබුවා. ඒ කාලයේ පාසැල් මිතුරන් සමඟ විනෝද චාරිකා යන විට ඒවාට වියදම් කිරීමට හැකියාව තිබුණු චාරිකා යාමට වාහනයක් තිබුණු අතලොස්සෙන් කෙනෙක් වීමට මට හැකිවුණා.
පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බොක්කෙන්ම පතන ඒ ගැන ලියන කෙනෙක් වීමට මගේ මේ අත්දැකීම් බල පෑවා. මට තිබුන එක වාසියක් වුනේ අධික වියදම් සහිත මාර්ගයක යන්න මගේ පියාට වෙනත් වියදම් කල් දමා හෝ සමහර විට සුළු වශයෙන් ණයවී හෝ වියදම් කිරීමට හැකිවීම. ලංකාවේත් අන් රටවල වගේ පුද්ගලික විශ්වවිද්‍යාල සහ සිසුණය ක්‍රමය තිබෙනවා නම් වෙනත් වෘත්තීමය නොවන රැකියා කරන කොතරම් දෙනෙක්ට සුදුසුකම් ලබා ගන්න හැකිවෙනවා දැයි යන්න මගේ හිතට තදින්ම කාවැදුනා.
මේ කථාවේ වීරයා මම නෙවෙයි. විනාඩි කීපයක් යොදවා නිර්දේශ ෆෝරමය නොපුරවා පැයක පමණ කාලයක් තරහින් පිපිරෙමින් සිටි ඔහුගේ මිතුරාගේ අකෘතඥ ලෙස හැසිරෙන දරුවා ඔහු හරි යැයි හිතන මාර්ගයට (බලෙන් මෙන්) යොමු කල නැසීගිය එස් ලෝගනාදන් මැතිතුමා තමයි මගේ ජීවිත කථාවේ වීරයා. කියන දේ කරන්න බැරිනම් ඕන දෙයක් කරගනින් කියා මා එලවා නොගනිමින් ඔහු කියන පාරට මාව දැමීමට ඔහුට පරිණත කමකුත්, ඉවසීමකුත් මගේ අනාගතය ගැන කැක්කුමකුත් ඔහුට තිබුණා.
එතුමා මියයන තෙක්ම ඔහු මට කල උදව්ව හමු වෙන හැම විටකදීම මම ඔහුට මතක් කලා. කෙලින්ම ඔහුගෙන් මා ඉගෙන ගත්තේ මුල්‍ය කලමනාකරණ විෂයය පමණක් වුනත් ඔහු හමුවුන සාද වලදී ඔහු මාව අන් අයට හඳුන්වා දුන්නේ ඔහුගේ හොඳම ගෝලයා හැටියටයි. ඔහුගේ අන් ගෝලයන් වූ මගේ සමහර දමිල ජාතික ගණකාධිකාරී මිතුරන්ට එය නොරුස්සන දෙයක් වුනා. ඔහු පෙන්වූ මාර්ගයේ ගොස් මා සාර්ථකවීම ගැන ඔහු ඇත්තටම සතුටු වුනා.
හැම වසරකම සුභ පැතුම් පතක් සමඟ මම ඒ වනවිට කරමින් සිටි රැකියාවේ වැඩ ගැන ඔහුව දැනුවත් කලා. දුරකථන බහුල වූ පසු කාලයක එවකට විශ්‍රාම ගොස් සිටි ඔහුට නිතර කථා කලා. වෛද්‍යවරියක් වූ ඔහුගේ දියණියගේ වෘත්තීමය අවශ්‍යතාවයකදී සාපේක්ෂව ඉතාම සුළු උදව්වක් කරන්න මට හැකිවුණා. මම කල උපකාරයට ස්තූතියි කිරීමට දිනක් මගේ කාර්‍යාලයට පැමිණි ඇය සහ ඇගේ සැමියාට ඇයගේ පියාගේ කාර්‍යාල කාමරයේ සිදුවූ දේ සහ එහි ප්‍රතිඵලය ගැන කියා දුන්නා.
මැතකදී ජයරත්න මල් ශාලාවේ ඔහුගේ දේහය බැලීමට ගිය විට කාලයකට පසුව හමුවූ ඔහුගේ වයස්ගත බිරිඳ මට කිව්වේ ඇයගේ සැමියා මට මෙන් බොහෝ දෙනෙකුට එලෙස උදව් කර ඇති බවත්, ඔහු කල උදව් අවුරුදු 30 ක් තිස්සේ මතක තිබ්බේ මට පමණක් බව ඔහු නිතර ඇයට කී බවයි. ඔහු වෙනුවෙන් පලකල සිහිවටනයකට මගේ අත්දැකීම ලියන ලෙස ඔහුගේ දියණිය කල ආරාධනාවත් මම පිලිගත්තා.
ඔහු මට කල උදව්ව ඉදිරියට ගෙනයාමට (to pay it forward) ආර්ථික ශක්තිය අඩු මගේ මිතුරන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙක් අද සුදුසුකම් ලත් ගණකාධීකාරිනියක් සහ ඉංජිනේරුවෙක් කරන්න මට හැකිවුනා. තව බොහෝ දෙනෙකුට ඉහල අධ්‍යාපනය මාර්ග ගැන මඟ පෙන්වන්නත් මට හැකිවුණා. ඒ හැම දේකම පින මගේ කථාවේ වීරයා වූ ලෝගනාදන් මැතිතුමාටයි.
වත්සලාගේ කථාවේ ඇය තරුණ අයට ඇයගේ අත්දැකීමෙන් ඉගෙන ගත හැකි දේවල් ගැන කියා තිබුණා. මට බෙදා ගත හැකි පණිවිඩය නම් ජීවිතයේ අත්දැකීම් ඇති අය පෙන්වන අමාරු පාරවල් වල ගමන් කිරීම පහසු පාරවල් වල යාමට වඩා දීර්ඝ කාලීනව වඩා හොඳ විය හැකි බවයි.
(80 දශකයේ අමාත්‍යාංශ ලේකම් වැනි ඉහල තනතුරු දැරුවත් එස් ලෝගනාදන් මැතිතුමාගේ පින්තූරයක් වත් අන්තර් ජාලයේ නැහැ. ඒ නිසා එවැන්නක් මේ කථාවට එකතු කරන්න විදිහක් නැහැ)
මගේ ඉහල නිළධරයෙක් මට කියපු කථාවක් මාහට මේ මොහොතේ සිතට නැගේ!
ReplyDelete"ඔබ අන් අයගේ දරුවන් හදන්න! දෙවියන් ඔබගේ දරුවන් හදනවා ඇති!!" මා සැමදා විශ්වාස කල හා පිළිපදිනා ක්‍රියාවලියක්.
මෙහි "දෙවියන්" යනු නොපෙනෙන බලවේගයක් යැයි සිතනවාට වඩා "යහපත් සමාජයක්", "තමාගේ දරුවාට යහපත් මිතුරු පරිසරයක්" කියාලයි මම නම් හිතන්නේ!
මංජුල ඔබට ඒ දේ කිව් ප්‍රධානියා ප්‍රඥාවන්තයෙක්. තමන් ගැන තමන්හේම දරුවන් ගැන කිසිවෙක් මඟ පෙන්විය යුතු නැහැ. එයිට එහා සිතා බලා අන් අයගේ දරුවන් ගැන ඔහු කියූ දේ ඇත්තටම දාර්ශනිකයි. ගුරු වෘත්තියට යොමුවෙන කෙනෙක්ටත් එය හොඳ ආදර්ශ පාඨයක්. බොහොම ස්තූතියි.
Deleteසාගල රත්නායක පොන්නයා මේ සැරේ රනිලාගේ ඉරණම තීන්දු කරයි වගේ නේද
ReplyDeleteඇනෝ මචන්, මේ වගේ ජාතිවාදය නැති ඉතාම සංවේදී පෝස්ට් එකකට ඔය වගේ පහත් දේශපාලනය ගැන ගාවාගන්න දේවල් එකතු කරන්න එපා. ඇත්තටම මමත් ජවිපෙ කෙසේ වෙතත් හරිනු වගේ ජාතික ජන බලවේගයේ ඉන්න සමහර social Democrats අයගැන තරමක විස්වාසයක් තියෙන කෙනෙක් විදියට මේක කියන්නේ මඩින් නෙවෙයි ගොඩින් එන්න හරිද?
Deleteඅපි නොසිතන වෙලාවක නොසිතන පුද්ගලයෙක් වුවත් ජීවිතයට හරි පාර කියන්න එනවා.
ReplyDeleteඑය වටහාගැනීම අප විසින් හරියාකාරව කල යුතුයි...
ජයවේවා !!!
ඔව් දුමින්ද, ඒ වගේම බොහෝ අය උදව් කරන්නේ මඟ පෙන්වන්නේ තමන්ගේම ළමයින්ට, ඥාතීන්ට, තමන්ගේ ජාතියේ අයට. මගේ වීරයා දෙමල සිංහල විරසකයක් පැවැති කාලයක ජීවත් වූ උතුම් දමිලයෙක්. ඔහුට මගේ පියා සමඟ වූ මිත්‍රත්වය ජාතියකට එහා ගිය එකක්. ඔහු පෙන්වා දුන් පාරේ මට තවත් අනගි දමිල මිතුරන් විශාල ප්‍රමාණයක් ඇසුරු කරන්න ලැබුණා.
Delete//බොහෝ අය උදව් කරන්නේ මඟ පෙන්වන්නේ තමන්ගේම ළමයින්ට, ඥාතීන්ට//
Deleteඔව්. ඒක හරි. ඒත් මට කිහිප වතාවක්ම් මුණ ගැහිලා තියෙන්නේ තමන්ගෙ නොවන පිට කෙනෙක්ට හදවතින්ම දියුණු වෙන්න උදව් කරන පිරිස්. ඒක ඔවුන් අවංකවම දරන උත්සාහයක්. ඒ වගේ කෙනෙක්ගේ උපදෙස් පිළිපදින්න අපි වටහාගෙන ඉන්න ඕන. නැත්තන් ඒ වටිනා අවස්තාව මග හැරෙනවා.
ජයවේවා
ඒ වගේ අය බහුලව හමුවෙන්න දුමින්ද පින් කරල ඇති. මට නම් හමුවුනේ සුළුවෙන්. ඒත් ඒ සුළු පිරිස කරපු උපකාර නම් අති විශාලයි.
Deleteනිවාඩු වෙලාවක බ්ලොග් එක පැත්තේත් ඇවිත් යන්න...
Deleteදුමී මම ඒ බ්ලොග් එක ෆලෝ කරනවා. ඒත් මගේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නෙ නැහැ. මොකක් හරි ප්‍රශ්ණයක්
Deleteපොකුරු වැහි ලියපු ඒ ලිපිය කියෙව්වම මටත් ඒ වගේ හැරවුම් ලක්ශයක් මතක් උනා. ඒක ලියන්න ඕනේ කියලා මමත් හිතා ගත්තා.
ReplyDeleteමං දැකලා තියෙන විදිහට සාමාන්‍යයෙන් වයසක දෙමල දෙමව්පියයන් වැඩි විච්චූර්ණ වැඩ වලට වැඩිය කැමති නෑ. ඒ වෙනුවට ඔවුන් ඉගෙනීම වඩා ඉහලින් සලකලනවා. ලෝගනාදන් මහත්මයගේ මේ යෝජනාවට මේ හැගීමත් බලපාන්න ඇති කියලා මට හිතෙනවා. - Mayya
ඔව් මයියා ඇත්තටම. මට පෙනුනේ ලඟම ඇති වාසිය. ඔහු මට ඈත ඇති විශාල වාසිය සඳහා අමාරු පාර පෙන්වුවා. ඔහු කී දේ විස්වාස කල මගේ පියා නොවන්නට මම වරදි පාරේ යනවා.
Deleteහරිම අපූරු මතක සටහනක්. මට සතුටුයි මගේ ලිපිය නිසා ඔබේ ජීවිතයේ ඉතා වටිනාම හැරවුම් ලක්ෂයක් මේ ලෝකෙත් එක්ක බෙදා ගත්තට. අපේ රටේ දරු පැටව් අතරමං වෙලා ඉන්න මේ වෙලාවේ, මෙහෙම අත්දැකීම් වලින් මේ කියවන එක්කෙනෙක් හරි දෙයක් ඉගන ගනීවී. ඕපන් යුනිවර්සිටි ආරම්භ කරලා තියෙන්නෙ 1980 දි. ඔබ ඔය කියන කාලෙදි වගේමයි මා හිතන්නෙ. සාමාන්‍ය විශ්ව විද්‍යාලයක උපාධිය කරන්න යන කාලයයි, පෞද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාවය ගැනයි ඔබ මතු කරපු කරුණු ඉතාම වැදගත්. මේ වෙද්දි පෞද්ගලිකව උපාධි කරගන්න පුළුවන් ආයතන කිහිපයක් ලංකාවේ තියනවා මං දන්නා විදියට. මේ රටවල් වල බහුතරයක් දරුවො ඉගන ගන්නෙ සිසු ණය පදනමේ. ලංකාවේ එහෙම වැඩසටහන් තියනවද? (පොකුරුවැහි)
ReplyDeleteබොහොම ස්තූතියි වත්සලා අදහස සැපයූවාට. ඇත්තටම මගේ ජීවිතයේ වීරයා ගැන ලිවීම මට ඉතාම කෘතඥතාපූර්වක සතුටක් ගෙන දුන්නා. ඒකට ස්තූතියි.
Deleteනියමයි ඉයන්. අවසාන කොටසේ සමාජවාදී ඉයන් මතු වෙන්ව. ඒ කියන්නේ තව දරුවන් දෙදෙනෙකුට උදව් කල අයෙකු ලෙස.
ReplyDeleteහෙහ් හෙහ්. ස්තූතියි අජිත්, ඇත්තටම ලෝගනාදන් මහතා මට කල උපකාරය මට අන් අයට සුළුවෙන් හෝ උදව් කිරීමට ආර්ථික හැකියාව ලබා දුන්නා. එවකට ටිකක් හෝ ආර්ථමාර්ථකාමී කෙනෙකු වූ මට ඔහුට මට කල උපකාරය පරාර්ථකාමීම සිතන්න විශාල ලෙස බලපෑවා.
Deleteලොකු දෝණියැන්දත් සෑහෙන්න ඉම්ප්‍රෙස් වෙලා ඉන්නේ ඉයන් ගේ ආර්ථික විද්‍යා දැනුම සහ Financial acumen එක ගැන. එය තොර ගත්ත කෝස් එක ගැන එයාටම ආඩම්බරයි.
Deleteඒ ඇගේ නිහතමානීකම. ඇයව ආදරයෙන් මතක් කල බව කියන්න.
Deleteඉයන් , මල්ලිගේ පුතා ට ඒ 7 තියනවා. ඕන ස්ට්‍රීම් එකකට ගිය හැකිනේ. බයෝ, ඉංජිනියරින් හෙම. අපේ කෙල්ලෝ කියන්නේ එකොනොමික්ස් එක්ක එකවුන්ට්ස් කරන්න කියල මෑන්ට. හැබැයි මිනිහ පාඩම් කරන්න කැමතිම නැහැ. මිනිහ කියන්නේ ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යනවා කියල. ඒ ලෙවල් කරන්න බැහැලු . විශ්ව විද්‍යාල වලට ගිහින් පාඩම් කරන්නත් බැහැලු. මම ඔය ටෙක් කොලේජ් දෙක ගැන දන්නේ නැහැ. අදහසක් දෙන්න පුලුවන්ද? (අනිත් දන්නා අයත් )
Deleteජර්මන් ටෙක් යාම නම හොඳයි. හැබැයි ඉස්සර වගේ නොව වෙන පාඨමාලාත් ඒකේ තියෙනවාද කොහෙද. ඒව නැතුව ඩීසල් මෝටර් කාර්මික විද්‍යාව ඉගෙනීම හොඳයි. තව ටික කලකින් විදුලි කාර් වල බොරුව එලිවුනාම ඩීසල් මිකැනික් අවස්ථා ලෝකෙම තියෙයි. ඉංග්‍රීසිත් ඒ සමඟම හදාගත්තොත් ටෙක් ඉවර කරල අවුරුදු 2-3 කින් මයිග්‍රේට් ක්‍රරන්න පුළුවන්.
Deleteඅනික අපේ කාලේ තමයි හැම දේකටම ඒ ලෙවල් ඕන වුනේ. අද ඕ ලෙවල් වලඉ කරලා වරලත් ගණකාධිකරණය දෙවෙනි කොටස දක්වා එක්සෙම්ශන් ගන්න පුලුවන්.
Deleteවිදුලි කාර් අවුල් ටිකක්. දුර යන්න අමාරුයි. පෝලිමේ ඉන්න ඕනේ චාජ් කරන්න. නමුත් ඩිසල් වාහන දැන් බැහැ ලන්ඩන් වල. ඉනෙස් හේ ඩිසල් එකත් අඩු ගානට විකුණලා පෙට්රෝල් එකක් ගන්න වුනා. ඔටෝ මොබයිල් තමා මිනිහගේ ඔලුවේ තියෙන්නෙත්
Deleteතෑන්ක්ස්
Deleteපරණ කාර් කැඩුණාම හදන එකට වඩා අලුතෙන් කාර් එන්ජින් සැලසුම් කිරීම, නිමාව නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම හොඳ බව ඔහුට පවසන්න.
Deleteරසික ඔව් ඒක වඩා හොඳයි. ඒ වුනාට නව එන්ජින් සැලසුම් කිරීමේ රැකියා අවස්ථා ප්‍රමාණය අඩුයි. අනික ඒවා ඇතිවන්නේ චීනයේ සහ බටහිර රටවල නිසා ලංකාවේ කෙනෙකුට ඒවා ලබා ගන්නත් අපහසුයි. ඒ වගේම මම අහල තියෙන විදිහට නව එන්ජින් නිර්මාණයට ඉහල මට්ටමේ වාහන ඉංජිනේරු දැනීමක් වගේම නිර්මාණශීලිත්වය වගේ සොෆ්ට් ස්කිල්ස් ගොඩක් අවශ්‍යයි. ඒ නිසයි රැකියා තවමත් බහුල පැත්ත ගැන කිව්වේ. හැකියාව තියෙනවනම් ඔබ කියන මාර්ගය වඩා හොඳයි.
Delete"තව ටික කලකින් විදුලි කාර් වල බොරුව එලිවුනාම" Can you please expand on this Ian
Delete//හොඳ වැටුපක් ලබාගෙන මාස ගණනකින් මෝටර් සයිකලයකුත් මිලදී ගෙන පොශ් තරුණියන් ඇසුරු කරමින් ගෙවන ජීවිතයක් වෙනුවට, කට ලඟට පිරවූ බස් වල පන්ති යමින්, දවස් 10 ක් වත් යැපීමට නොහැකි කුඩා දීමනාවක් ගෙවන විගණන ආයතනයක පුහුණුවට යමින් ගත කරන කාලයක් ලැබීමට මම (අ)වාසනාවන්ත වුනා.// මට වෙලාවකට හිතෙනවා මට යන්න අවස්තවක් ලැබුනෙත් මේකට මද කියල. මගේ තරඟ විභාගය තිබුනේ කොටුවේ බ්‍රිස්ටල් ගොඩනැගිල්ල හරි ඒ වගේ තැනක. හරියට මතක නැහැ. මම පාස් . මාව පාඨමාලාවට ගත්තට සෝවියට් යන නිසා මම ගියේ නැහැ. මට කතා කරපු මහත්මය දමිළ අයෙක්. ඔහු දෙපාරක්ම කීව යන්න එපා මේ පාඨමාලාව ඊට වඩා හොඳයි කියල ඇහුවේ නෑ ඉතින්.
ReplyDeleteඔව් සමහර විට. ඒත් එහෙ නොගියනන් අර ලස්සන රුසියන් කෙල්ලො ටික හම්බුවෙන්නෙ නැහැනෙ. ඒ අතින් අජිත් ගොඩක් පින් කරල තියෙනව , හෙහ් හෙහ්
Deleteපින් කරලද පව් කරලද
Deleteඅර දාපු පින්තූර වල අජිත් එක්ක හිටපු ලස්සන රුසියන් තරුණියන් දැක්කම නම් හිතුනෙ සෑහෙන්න පින් කරල කියලයි.
Deleteවටිනා කතාවක්..ඇත්තටම අපිට විශාල කරදරයක් වදයක් කියල ඒ මොහොතෙ හිතෙන දේවල් පස්සෙ කාලෙක ජීවිතේට ආදර්ශයක් වටිනා කමක් බලාපොරොත්තුවක් ආදී විවිධ විදියට බලපානවා තමයි.
ReplyDeleteThank you SS.ඔව් ඇත්තටම. තරුණ හිත් හිතුවක්කාරයි. ලඟ තියෙන වාසිය හෝ පහසුව තමයි පෙනෙන්නේ. ඔහු කියන දේ ප්‍රතික්ෂේප කරන මාව "ඕන එකක් කරගත්තාවෙ" කියල අතහරින්න ඔහුට හැකියාව තිබ්බා. එත් මා ලවා හරිදේ කරවන්න ඔහුට ලොකු කැක්කුමක් තිබ්බා. හරිදේට යොමුකිරීමට අමතරව ඔහු තුල තිබ්බ පරාර්ථකාමීත්වය පුදුම සහගතයි.
Deleteඅදහන්න බැරි තරම් සිදු වීම් ගහන අතිශයින් රසවත් ජීවිත කතාවක්.තමන්ගෙ ජීවිතය හැඩ ගසාගන්න අවශ්‍ය කරන ඔනෑම කෙනෙකුට මේ කතාව මහගු අත් වැලක්,අත් පොතක් වේවි කියල මම හිතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි සරත්. පරිණත වුනාම මෙහෙම හිතුවත්, තරුණ කාලේ හිතුවක්කාරම එක්ක අමාරු වැඩක්. කාට හෝ ප්‍රයෝජනයක් වුණොත් නම් ලොකු දෙයක්.
Deleteඋඹේ කතාවත් ලියපන් ලියපන් කියලා පපුවට අනින පෝස්ට් දෙකක් කියෙව්වා එක පිට.. ස්තූතියි වත්සලා සහ ඉයන්.. ඕනිම කාලේ මග පෙන්නන්න ලෝගනාදන් මහත්තයෙක්වත් වියදම් කරන්න පුලුවන් තාත්තෙක්වත් නොහිටිය මගේ කතාව මීට වැඩිය ගොඩක් කටුකයි..
ReplyDeleteමෙන්න ඇවිත් කමී
Deleteදන්නවාද දුමී...
ගොඩක් කාලෙකින් කමියා...
ජයවේවා
ස්තූතියි කමියා. ඔබේ කථාවත් කියවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Deleteඅන්න පොරවල්...මැත්ස් කරලා ගණකාධිවරු වෙන්න හැමෝටම බෑ..මම al වල්ට කොමර්ස් කලේ. රැල්ලට ගිහිල්ලා චාර්ටඩ් අකවුන්ටින් කරන්නත් ගියා මතකයි.. කොහොම හරි පස්සෙ ඒක මග හැරුනා.. ඒ ගැන මම අද සතුටුයි.. ඉලක්කම් එක්ක කරණ හරඹ මට අප්පිරියයි...
ReplyDeleteමචන් සෙන්නා, ගණකාධිකරණය කියන එක ගණන් හැදීමක් වගේ පෙනුනට, ඒක ගණන්ම නෙවෙයි. Accounting කියන්නේ නම් ඉලක්කම් එක්ක කරන එකක්. ඒත් ගණකාධිකරණ පාඨමාලාවක Accounting තියෙන්නේ විෂයයන් 18 කින් 3 ක් පමණයි. මුල්‍ය කළමණාකරණය කියන්නේ Accounting වලට වඩා වෙනස් දෙයක්, විකුණුම් කලමණාකරණය, පිරිවැය ගිණුම්කරණය, විකුණුම් සංනිවේදනය, පිරිස් කලමණාකරණය, ව්‍යාපාර නීතිය, ආර්ථික විද්‍යාව, ප්‍රමාණාත්ම විශ්ලේශණය (quantitativa analysis) , වගේ පුළුල් විෂයන් එහි තිබෙනවා.
Delete++++
Deleteනියමයි. ලස්සනට ලියලා තියනවා. පොකුරු වැහි පෝස්ට් එකත් බැලුවා. 👌👍
ReplyDeleteThank you, Bassa. I was a bit emotional while writing this.
DeleteOne of the best posts by you!!
ReplyDeleteThabnk you Pra. Nice of you to say that.
Deleteහරිම ලස්සනට ලියල තියෙන පෝස්ට් එකක් ඉයන්, මේක බලල මගේ දැඩි හිතත් ටිකක් විතර සංවේදී වුණා, මගේ ජීවිතේත් මේ වගේ හැරවුම් ලක්ෂයක් ගැන ලියන්න හිතාගෙන ඉන්නේ බ්ලෝග් නොලියන කෙනෙක් නිසා කමෙන්ට් එකක් විදියට දාන්නම් වෙලාව තිබ්බොත් මම මේ දවස්වල හරිම කාර්යබහුලයි දෙසැම්බර මාසයේ මැද ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ බලමු ඉතින් විවේකයක් ලැබුණෝත්
ReplyDeleteලියල එවනවනම් ඔබේ කතාව මේ බ්ලොග් එකේ දාන්නම්.
Deleteඉයන්ගේ මේ කතාව නැවත කියවන්නත් හරිම ප්‍රසන්නයි. කෙනෙක්, විශේෂයෙන් තර්ඩ් පාටි, සන්තෝස කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ස්තුතියි ඔබට.
ReplyDeleteඇත්තටම ලෝගනාදන් මහත්තය වගේ අය විරලයි, වැඩේ අතාරින්නෙම නැතුව අන්තිම මොහොත දක්වාම නිවැරදි දේ පෙන්වාදීම. ඉයන් දන්නවනේ ඔය කාලේ අපි හරිම මුරණ්ඩුයි. My way or highway වගේම සල්ලි හම්බුකරන්න තමා හිත.
අනිත් ලොකුම කාරණේ තමා තමන්ගේ ලැබීම. මගේ ජීවිතෙත් ආපස්සට බලාගෙන යනකොට තිබෙනවා හැරවුම් ලක්ෂ්‍ය කීපයක්ම. ඒවායින් ගියානම් අද කියල වැඩක් නෑ නමුත් අද ජිවිතේ ගැන රිග්‍රෙට් එකක් නම් නෑ.
ඒක නෙවේ junior එකේ grade 6,7 කොයි කාලේද හිටියේ?
ජයවේවා
Myself Hattor
හැට්ටර් මචන් බොහොම ස්තූතියි. මමත් හිතනවා පෙර භවයක කල හොඳ දෙයක විපාකයක් බලපෑවා කියල. ලෝගනාදන් මහතා නිර්දේශ කිරීමට නොදා වෙන කෙනෙක් දැම්මනම් මට මේ හැරවුම සිදුවන්නේ නැහැ.ඒ මාර්ගයේ යාමට අමාරුවෙන් හෝ වියදම් කිරීමට හැකි පවුලේ ආදායමක් නොතිබුණානම් ඒ වෙන්නෙත් නැහැ. මචං ඔබත් ඒ පාසැලේද? මම කලින් ගියේ කොලඹ තිබෙන කතෝලික පාසැලකට. ඒ පාසැලට ආවේ වයස 15 දි උසස් පෙලට. HNCE සහ GCE AL අතර සිදුවූ පාඨමාල වෙනස් වීම නිසා උසස් පෙල අවුරුදු 3 ක් එහි හිටියා. ඊමේල් එක දියන් හරියටම අවුරුදු කියන්න
Deleteඑළ!. hattorvittor@gmail.com
DeleteA/L වෙනකොට මම කොලේජ් එකේ නෑ.
නොම්මරේ එවපන් මචං. මං text එකක් දාල කථාකරන්නං.
ජයවේවා!
වියදම් දන්න හැකි වෙන එකයි, හොඳ පවුල් පරිසරයක හැදිලා වැඩෙන එකයිත් මාරම වැදගත් ජීවිතේට..
ReplyDeleteබොහොම ස්තූතියි නවීන්. වියදම් දරන්න හැකියාව තමයි බලපාන්නේ. අදත් විදේශ විද්‍යාල වලට යන්න මුදල් තමයි ප්‍රධානතම සාධකය. මුදල් නැති පවුල් වල ඊට වඩා බුද්ධිමත් අය හිටියත් ලංකාවේ නොමිලේ උගන්නන ආයතනයකට යන්න බැරිවුනොත් කුඩා රැකියා වලට යන්න වෙනවා.
Delete1. ලෝගනාදන් කර ඇත්තේ තමන්ගේ වෘත්තියට තවත් හොඳ මිනිහෙකු බඳවා ගැනීමයි.
ReplyDelete2. මගේ බැච්මේට් කෙනෙක් සිමා කළා (ඒ දවස්වල ICMA නේද?). මෑන් කිසිදා සිවිල් ඉංජෙකු ලෙස වැඩ කළා යැයි මා සිතන්නේ නෑ. ලංකාවෙන් පසුව ADB ගියා. පාසලේ එකම පන්තියේ සිටි මිතුරෙකු ද කරා. ලංකාවේ සහ අප්‍රිකා රටක සේවය කළත් දැන්නම් වෙනත් රටක සංක්‍රමණික ඒජන්ට් කෙනෙකු ලෙස වැඩ කරනවා.
3. මගේ පන්තියේ සිටි මිතුරෙකු පසුව ශිෂ්‍යනායකයෙකු වී ප්‍රිෆෙක්ට් රූම් එකේ කාලේ නාස්ති කරමින් සිටියා. විභාගේ හොඳින් සමත් වුණේ නැති වුණත් ඔය කොළඹ සමාගමක trainee යන්න හැකිවුණා ප්‍රිෆෙක්ට්කම නිසා මං හිතන්නේ.
රසික බොහොම ස්තූතියි. ඔව් ඒ කාලයේ ඔහුගේ වෘත්තියට තිබ්බ ඉල්ලුම ඔහු දැනගෙන හිටිය නිසා ඔහු මටත් ඒ පාර පෙන්නුවා. පියාගේ ආයතනයේ උත්සව කීපයකදී ඔහුට දෙවරක් පමණ විනාඩි කීපයකට කථා කර තිබ්බත් ඔහු මගේ හැකියාවන් නොහැකියාවන් ගැන එතරම් දැන සිටියේ නැහැ. මම හිතන්නේ ඔහු කලේ මගේ පියාට කරන උදව්වක් වශයෙන් කියලයි.
Deleteඔව් ඒ කාලයේ එය හැඳිවූයේ ICMA කියලයි. එයින් සුදුස්කම් ගත් බොහෝ දෙනෙක් අප්‍රිකානු රටවල රැකියාවලට ගියා. සමහරක් බ්‍රිතාන්‍යට සහ ඔස්ට්‍රේලියාවට ගියා. ලංකාවේ ගණකාධීකාරී වරු අඩුවෙන්න ඒකත්, වරලත් ගණකාධීකාරී ආයතනය වසරකට සමත් කලේ සුළු ප්‍රමාණයක් වීමත් බලපෑවා. අප්‍රිකා රටවලට ගිය බොහෝ දෙනෙක් පසුව ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ගියා.
ඔව් අභ්‍යාසලාභී තනතුරු වල හොඳ පුහුණුවන කාලය අවසන් වූ විට එහි රැකියාව ලැබීම. මෑතක් වන තුරු ඉහලම පෙලේ පුද්ගලික ආයතන වල සමාගම තුලම විවිධ ක්ශෙත්‍ර වල වැඩ කරන්නත් කීප දෙනෙකුට ජේෂ්ඨ කළමණාකරණයට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වෙන්නත් ලැබුණා. ඒ සමාගම් වලට ඇතුළුවිය හැකි එකම අවස්ථාව කලමණාකරණ අභ්‍යාසලාභී මට්ටම තමයි.
ඔබගේ බැචා මෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් බොහෝ දෙනෙකුත් එකල ICMA කලා. සමහර විට විශ්ව විද්‍යාල වසා තිබීමත් හේතු වෙන්න ඇති.
Deleteඅද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.
ReplyDeleteඋදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..
මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.
කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.
මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?
විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.
මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...
මහත්තයා කොහේද? මම රත්නපුරේ
ආ මැණික් පුරේ...
මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.
මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..
මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!
මී කතාව සමග කෙලින්ම සම්බන්ධ නොවුනත් ,පලවෙනි බොසා අනුව තමා අපේ වෘත්තීය ජීවිතේ ඉස්සරහට යන විදිහ තීරණේ වෙන්නේ කියන එක මම අත්දැකපු දෙයක්
ReplyDeleteඔව් ඉවාන්. එහෙම වෙච්ච අවස්ථා ගැන අසා තිබෙනවා. ඔබගේ අත්දැකීමත් ලියන්න.
Deleteනිවැරදි කාලයේදි නිවැරදි මගපෙන්වීමක් ලැබෙන එක ඇත්තටම වාසනාවක්....
ReplyDeleteඇත්තටම ඔව් තිලින. බොහොම ස්තූතියි
Deleteපෙන්වා මඟ නොමඟ නොවැටී යන තාලේ
ReplyDeleteඋපදෙස් ලද නිසා ඔබ අද උඩු මාලේ
නාදන් මැතිතුමා වැන්නන් ඒ කාලේ
හිටියා, ඔවුන් ගෙල පළඳමි 'කවි මාලේ'
නාදන් මැතිතුමා වැන්නන් ඒ කාලේ
Deleteහිටියා, ඔවුන් ගෙල පළඳමි 'කවි මාලේ'. ......... ස්තූතියි නිදී
අපිට හමුවෙන මිනිස්සු දෙකොට්ටාශයක් අපේ ජීවිත දෙවිදියකට වෙනස් කරනවා ඉයන්.. සමහරු අපිව හොඳ පාරට තල්ලු කරනවා.. සමහරු අපේ කකුලෙන් ඇදලා කකුල් මාට්ටු දාලා අපි යන නරක පාරෙන් හොඳ පාරට විසික් වෙන්න පයින් අනිනවා...
ReplyDelete-අම්බලන්ගොඩයා-
Delete//සමහරු අපේ කකුලෙන් ඇදලා කකුල් මාට්ටු දාලා අපි යන නරක පාරෙන් හොඳ පාරට විසික් වෙන්න පයින් අනිනවා...//මට වෙච්ච දේ විස්තර කල හැකි හොඳම විදිහ ඒකයි. ස්තූතියි ගොඩයා.
Deleteමේක කියවලා ටිකක් දවස්. කමෙන්ට් කරන්න බැරි වෙලා.
ReplyDeleteමගෙත් මේ විදිහට ම ජීවිතය වෙනස් කරපු කීප දෙනෙක් ඉන්නව.
ලෝගනාදන් මහතා කරපු බලපෑම නරක අතට ගිහින් නෑ කියලා, ඉයන් දැන් දැක්ක ම කියන්න පුළුවන්. දුර බැලීම ඉතා වැදගත්...
සාපේක්ෂව පහසු ජීවිතයක එතුමා නිසා ලැබුණා. ස්තූතියි ඩ්‍රැකී
Delete