Tuesday, June 27, 2023

කල යුතුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජවිපෙ ඒ ගැන කියන බොරු

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ සුමානේ අන්තිමට වෙන බවත් ඒ සඳහා බැංකු සහ කොටස් වෙලඳපොල දවස් 5 ක් වසා තමන බවත් නිවේදනය කරල තියෙනවා. ජවිපෙ මේ ගැන ප්‍රවෘත්ති සාකච්චාවක් තියල කියන්නේ මේකෙන් බැංකුවල තැන්පත් කරුවන්ගේ තැන්පත් වලට හානියක වෙන බවත්, අර්ථසාධක අරමුදලෙන් රජය ගෙන තියෙන ණය කපා හැරීමෙන් සේවකයන් එහි තැන්පත් කර ඇති මුදල් නැවත ගැනීමේදී පාඩුවක් සිදුවෙන බවත්. මේ ගැන තව සාකච්චාවක් තියපු පාඨලී චම්පික රණවක මහත්මයත් රජයේ මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රජයේ වියදම් දල දේශීය නිශ්පාදනයෙන් 13% කට සීමා කලයුතු බවත් කියනවා. මේ වීඩියෝ දෙක පහල.








මට හිතෙන්නේ ජවිපෙ නම් කරන්නේ මහජනයා මුලා කිරීමක්. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලො කියන දේවල් විස්වාස කරල තැන්පත් කරුවන් ඔවුන්ගේ මුදල් එකවර බැංකු වලින් අයින් කරගන්න උත්සාහ කලොත් ඒ බැංකු ද්‍රවශීලතාව නැතුව කඩා වැටෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඒගොල්ලන්ට චන්දෙකදි වාසියක් ගන්න බලාගෙන එහෙම බොරුවල් කියනව වුනත් මම නම් හිතන්නේ මේ වගේ බොරු වලින් මුල්‍ය පද්ධතිය කඩා වට්ටන්න උත්සාහ කිරීම දඬුවම් දිය යුතු වරදක් කියලයි.


මේ ගැන අදට දන්නා පරිදි ඇත්ත තත්වය මේකයි.

1. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන් කරන්නට යන එක දෙයක් තමයි බැඳුම්කර (එනම් මාස් 12 කට එහා කාලයකදී කල් පිරෙන තැන්පත් ), වල කල් පිරෙන දිනය දීර්ඝ කිරීම. මේකෙන් සහ පහත (2) දක්වන් දෙයින් එම බැඳුම්කර වල අද වටිනාකමේ අගය වෙනස්වුණත්, නව කල් පිරෙන දිනයේදී සම්පූර්ණ මුදලම ලැබෙනවා.

2. ඉහත කල් පිරීම කල් දාපු බැඳුම් කර වලට ගෙවන පොලී අනුපාතය අඩුකිරීම. මෙහිදී එම බැඳුම්කර වල තැන්පත් කරුවන්ට (බොහෝ විට විශාල මුල්‍ය ආයතන ) වලට ඉදිරියේදී ලැබෙන ආදායමේ අඩුවක් වෙන්න පුළුවන්. ඒ වුනාට බොහෝ විට මුල්‍ය ආයතන එම බැඳුම්කර වල තැන්පත් කරල තියෙන්නේ අඩු වියදම් තැන්පතු (එනම් ජංගම ගිණුම් සහ ඉතිරිකිරීමේ ගිණුම් වල ඇති මුදල් ) වලින් කොටසක් නිසා ශුද්ධ පොලී ආදායමේ අඩුවීමක් මිසක් එයින් පොලී පාඩුවක් වෙන්නේ නැහැ.

3. මෙහිදී නොකෙරෙන දෙයක් ලෙස මම අනුමාන කරන්නේ බැඳුම්කර වටිනාකමෙන් යම් කොටසක් කපා හැරීම (Hair cut) . මෙය සිදුවුණොත් කෙලින්ම පාඩුවක් වෙනවා. එහිදී එම කපා හැරීමේ වටිනාකම බැංකුවක මුළු ප්‍රාග්ධනයට වඩා වැඩි වුණොත් විතරයි බැංකුව කඩා වැටෙන්නේ. ඒ මෙහෙම කපා හැරීමක් නොකරන බව තමයි දැනගන්න තියෙන්නේ.

4. මාස 12 ට අඩු භාණ්ඩාගාර බිල්පත් වලින් මහ බැංකුව සතු බිල්පත් වලින් යම් කොටසක් කපා හරින්න යනවා. ඒවුනාට මුල්‍ය ආයතන හෝ අනික් තැන්පත් කරුවන් ට අයිති භාණ්ඩාගාර බිල්පත් වලින් කපා හැරීමක් සිදුවන්නේ නැහැ.          

5. ඉහත කරුණු අනුව ලංකාවේ බැංකු වලින් එකක්වත් බංකොලොත් වීමට ඉඩක් නැහැ. මගේ නම් අනුමානය බැංකු වල මේ අවුරුද්දේ ප්‍රකාශිත ලාභය වැඩි වීමක් දක්වන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව බොහෝ බැංකු ණය කපා හැරීමකට සූදානම්ව එයට පසුගිය අවුරුද්දේ ප්‍රතිපාදන (provisions) සලසා තිබීම. එම ප්‍රතිපාදන අවශ්‍ය නොවන නිසා ඒවා ආපසු ලාභයට එකතු වෙන්න ඉඩ තියෙනවා. එම නිසා ජවිපෙ කියන බොරුව එක්කෝ නොදැනුවත් කම හෝ බොහෝ විට මහජනතාව නොමඟ යවා බැංකු පද්ධතිය කඩා වට්ටන්න කරන උත්සාහයක්.

Thursday, June 1, 2023

ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?




කලින් ලියපු  බුද්ධාගම රැකගන්න වරෙල්ලා  පෝස්ට් එකට මා මිත්‍ර  අජිත් ධර්මකීර්ති ප්‍රශ්ණ කීපයක් අසමින් කමෙන්ට් කරලා තිබ්බා. දිග උත්තරයක් දෙන්න වෙන නිසා සහ සංවාදය අනික් අයටත් විවෘත කරන්න ඔහුගේ අවසරය ඇතිව ඒ කමෙන්ට් එකට පිළිතුර පෝස්ට් එකක් වශයෙන් දානවා. 


අජිත් ධර්මකීර්ති මිතුරා කියා තිබ්බේ මෙහෙම

ඉයන් මම මේ ලියන දේට තරහ නොවේවි කියල හිතනවා.කොහොමත් ෆේස්බුක් එකේ නැති නිසා බ්ලොග් වලින් අයින් කරන එක විතරනේ ඉතුරු වෙන්නේ. 😀මට ඔයා ලියන දේවල් ටිකක් පරස්පර විරෝධියි. මම නතාෂාගේ වීඩියෝ එක බැලුව. ඇත්තටම ලන්ඩන් අපට ඒක අවුලක් නැහැ. මහා ලොකු දෙයක් කියන්නේ නැහැ. කොටින් ම දැනට මුදල් හදල් ඇතිව හොඳ ජිවිතයක් ගෙවන ඔයා, පිටරට සිටින බස්සා හෝ මම වගේ අයට මේවා පත්තියන්. ප්‍රශ්නය එහෙම නැති අය ගැන. ඒ අයට තමා තරහ යන්නේ. ඇයි ? ඇයි එංගලන්තේ මිනිස්සු සාමාන්‍ය අපි දන්නා බෞද්ධයන්ට වඩා හොඳ? හැමදේම ලැබිල හෝ ලොකු තරඟයක් ජිවත් වෙන්න නැති කොට ඉබේම දාන පාරමිතා පහල වෙනවා. මගේ ජර්මන් බිරිඳ පන්සල් යනවා. මම යන්නේ නැහැ. එයා යනව. මම එයාට මේ නතාෂා ගේ කතාව කීවම - එයා ඇහුව ඒ ගෑනිට පිස්සුද ඕක ලංකාවේ කියන්න කියල. මම කිව්ව එයාට නැත්ෂා කීවේ එයාගේ කට්ටියකට. අප්‍රේල් මාසේ. මේ මාසේ ඕක උස්සල උලුප්පල දැම්මේ වෙන කෙනෙක්? ඒ කවුද?මෙන්න මේ සන්දර්භය මත තමා මම මගේ ඇමෙරිකානු සම්බන්ධය ගැන ඉඟියක් දීල ලිපිය ලියන්නේ. දැන් මාව විමල් විරවංශ ගේ ගානට දාන්න එපා ප්ලීස්. ඔයාගේ සමහර ලිපි වල කියනවනේ ධනවාදයේ දියුණුව සහ අමෙරිකාවෙන් අපි ආධාර ලබා ගත යුතු බව. එකඟයි. කියුබාව වගේ නොවන්න නම් ලංකාව එතනට යන්න ඕනේ.

හැබැයි මේ ලිපියේ කියනව අර අල්පේච්ච තාවය . අත හැරිම ගැන. ඔය දෙක පරස්පර විරෝධී නැත්ද?
අරගල කරන්න, අලෙප්ච්ච තාවය සහ ලද දෙයින් සතුටුවීම සහ ධර්මයේ හැසිරීම ඕව ඔක්කොම එකට කරන්න බැහැ.

//සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.

ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.//