Monday, October 14, 2019

අවුරුදු 71 ක් රටකරපු අය එපා


අවුරුදු 71 ක් රටකරපු අය එපා


මෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්‍රමයේ වෙනසක් මිස පුද්ගලයින්ගේ වෙනසක් යන්න වටහා ගැනීම ඔවුන්ට අපහසුය. රට අසාර්ථක වීමට බලපාන විශාලම සාධකය හැමදේම නිකන් ලබා ගැනීමට බලා සිටින ජනතාව බව තේරුම් ගැනීම එම ජනතාවටම අපහසු වීම පුදුමයක් නොවේ. අද වනවිට රටේ විශාලම වියදම් වන්නේ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සහ රජයේ සේවය නඩත්තු කිරීම බව අය වැය ලේඛනයක් දිහා බලන අයකුට තේරුම් යනු ඇත. 

නිදහස් අධ්‍යාපනය රටේ ශාක්ෂරතාවය ඉහල දැමීමට පදනම් වූ බව ඇත්තකි. එහෙත් එසේ සියළු දෙනාටම නොමිලේ අධ්‍යාපනය ලබා දීම නිදහස් අධ්‍යාපනය යැයි වර නැගීම රට කරගත් මෝඩකමකි. අද රටේ ජනගහනයෙන් 75% කට නොමිලේ අධ්‍යාපනය ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව සුදුසු බව උපකල්පනය කළොත්, ඉතිරි 25% ටත් නොමිලේ අධ්‍යාපනය ලබා දීම සුදුසුද? ආදායම හෝ වත්කම් වලින් රටේ ඉහලම මට්ටමේ සිටින 25% න් එක් දරුවෙකුට වියදම් වෙන ප්‍රමාණය මෙන් තුන්ගුණයක පාසැල් ගාස්තු අයකර ගන්නේ නම් එම ආදායමෙන් මුළු අධ්‍යාපන වියදමම ලබා ගත හැකි නේද?