Friday, February 6, 2026

කෘතිම බුද්ධිය 2




මීට කලින් පෝස්ට් එක  මම ලිව්වෙ AI-AGI-ASI හරහා වෙන විප්ලවය පිටින් දකින කෙනෙක් විදිහට. ඒකට කමෙන්ට් එකක් දාන මහත්මයෙක් හෝ මහත්මියක් ඒක ඇතුලෙන් අත්දැකල ලියපු එකක් තමයි මේ පලකරන්නේ. එතුම නිර්නාමිකව කමෙන්ට් කරල තියෙන්නේ. කියවල බලන්න.



ඇත්තටම ඉයන් මම මේ අවුරුදු තිහක මගේ ජීවිත අත්දැකීම් සහ දශකයක් පමණ වන වෘත්තීය ජීවිතේ දැකපු තාක්ෂණික වෙනස්කම් එක්ක බලද්දී, මේ AI විප්ලවය කියන්නේ නිකම්ම රැල්ලක් නෙවෙයි; ඒක මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවන බරපතලම තාක්ෂණික පිම්ම.

තොරතුරු තාක්ෂණය මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය ගත්තාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අංශ වල අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනයක් අරගෙන, කෝඩ් ලයින් ලක්ෂ ගාණක් ලියලා, සිස්ටම් දහස් ගණක් එක්ක ඔට්ටු වෙලා ගෙවුණු අවුරුදු ගණනාවක් දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ, අපි අද ඉන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක කියලා. ඇත්තටම පරිගණක විද්‍යාව කියන එක දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා ඉවරයි.

අපි ඉස්සර මෘදුකාංගයක් හදනවා කියන්නේ හරියට ගෙයක් ගඩොලින් ගඩොල තියලා හදනවා වගේ වැඩක්. අපි පරිගණකයට හැම දේම අතින් කටින් අල්ලලා කියලා දෙන්න ඕන වුණා. උදාහරණයක් විදියට 'A අකුර ගැහුවොත් මේක වෙන්න, B අකුර ගැහුවොත් අරක වෙන්න' කියලා අපි තමයි නීති හැදුවේ. මේකට අපි කියන්නේ 'Rule-based Programming' කියලා. හැබැයි මීට දශකයකට විතර කලින් ආපු මැෂින් ලර්නින් (Machine Learning) ආවට පස්සේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි පරිගණකයට නීති උගන්නන්නේ නෑ; අපි උගන්නන්නේ දත්ත හරහා ඉගෙන ගන්න විදිය. හරියට පොඩි ළමයෙක්ට ලෝකේ ගැන කියලා දෙනවා වගේ. අපි දත්ත කන්දරාවක් මැෂින් එකට දීලා කියනවා, 'මේ දත්ත ඇතුලේ තියෙන රටාව (Pattern) උඹම හොයාගනින්' කියලා. එතකොට ඒ මැෂින් එක ගණිතමය සමීකරණ සහ ආටිෆීෂල් ස්නායු ජාල (Neural Networks) පාවිච්චි කරලා, මනුස්සයෙක්ට කවදාවත් දකින්න බැරි සියුම් රටා හඳුනාගෙන තීරණ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරලවම මැෂින් ලර්නින් කියන්නේ.

එතකොට කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ මේ මැෂින් ලර්නින් වල ප්‍රතිඵලය. ඒක නිකම්ම ගණන් හදන කැල්කියුලේටරයක් නෙවෙයි. මීට වසර පහකට විතර පෙර ආපු AI එකක් කියන්නේ පරිසරයෙන් දත්ත අරගෙන, ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඊට අනුරූපව බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධතියක්. උදාහරණයකට ගත්තොත්, සාම්ප්‍රදායික මෘදුකාංගයකට පුළුවන් රෝග ලක්ෂණ ටිකක් දැම්මම පොතේ තියෙන විදියට ලෙඩේ නම කියන්න. හැබැයි දියුණු AI එකකට පුළුවන් එක්ස්රේ (X-ray) දහස් ගණනක් බලලා, විශේෂඥ දොස්තර කෙනෙක්ටවත් පේන්නේ නැති පිළිකා සෛලයක මුල් අවස්ථාව හඳුනාගන්න. ඒක තමයි මේකේ තියෙන සැබෑ බලය.

දැන් අපි කතා කරමු මේ පෝස්ට් එකේ ලොකුම මාතෘකාව වෙලා තියෙන AGI (Artificial General Intelligence) ගැන. අද අපි දකින ChatGPT, Self-driving cars වගේ දේවල් තාම අයිති වෙන්නේ 'Narrow AI' නැත්නම් පටු බුද්ධියට. ඒ කියන්නේ ඒවා පුහුණු කරලා තියෙන්නේ එක වැඩක් හෝ වැඩ කිහිපයක් කරන්න විතරයි. හැබැයි AGI කියන්නේ මනුෂ්‍ය මොළයට සමාන හෝ ඊට එහා ගිය බුද්ධියක්. AGI මට්ටමේ සිස්ටම් එකකට පුළුවන් වෙන්න ඕන තමන් කලින් නොදන්නා අලුත්ම ගැටලුවක් ආවම, තමන්ගේ පරණ දැනුම පාවිච්චි කරලා, තර්ක කරලා (Reasoning), අලුත් විසඳුමක් හොයාගන්න. සරලවම කිව්වොත්, මනුෂ්‍යයෙක් වගේම 'හිතන්න' පුළුවන් මට්ටම තමයි AGI කියන්නේ. අපි තාම 100%ක් එතනට ඇවිල්ලා නැහැ, හැබැයි අපි එතනට යන වේගය හිතාගන්න බැරි තරම් භයානකයි සහ විස්මිතයි.

මෙතනදි අපි මගේ වෘත්තීය ක්ෂේත්‍රය වෙන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) ඇතුලේ මේක දැන් ලොකු පිපිරීමක් කරමින් යන්නේ. ඉස්සර මම දවස් ගාණක් දුක් විඳලා ලියපු සංකීර්ණ ඇල්ගොරිතම (Algorithms), අද AI එකකට තත්පර ගාණකින් ලියන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මනුස්සයා 'කෝඩර්' (Coder) කෙනෙක් කියන තැනින් මිදිලා 'නිර්මාණකරුවෙක්' (Architect) කියන තැනට පත් වෙන එක. මෘදුකාංග ඉංජිනේරුවාගේ රස්සාව දැන් කෝඩ් ලියන එක නෙවෙයි, AI එක ලවා හරියට කෝඩ් එක ලියාගන්න උපදෙස් දෙන එක සහ ඒකේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන එක බවට පත් වෙලා.

හැබැයි ඉයන්, දැනට මේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් සහ ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙක් විදියට මම දකින ලොකුම අභියෝගය තමයි මේ තාක්ෂණයේ තියෙන 'නොපෙනෙන පැත්ත' (Black Box nature). සමහර වෙලාවට AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක ඒක හදපු ඉංජිනේරුවාටවත් පැහැදිලි කරන්න බැරි අවස්ථා එනවා. අන්න එතනදී තමයි මේකේ සදාචාරාත්මක සහ ආරක්ෂක ගැටලු මතු වෙන්නේ.

කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ AI විප්ලවය නවත්වන්න කාටවත් බැහැ. වසර 30ක ජීවන අත්දැකීම් එක්ක මම කියන්නේ, අපි මේ තාක්ෂණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණොත්, අපිට පුළුවන් මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම ප්‍රශ්න වෙන ලෙඩ රෝග, දේශගුණික විපර්යාස, නවීන තාක්ෂණය ආර්ථිකය කළමණාකරණය වගේ නොයෙක් දේවල්වලට විසඳුම් හොයන්න. හැබැයි අපි මේක පාලනයකින් තොරව අතහැරියොත්, ඒකේ ප්‍රතිවිපාකත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

No comments:

Post a Comment