Tuesday, May 28, 2019

ගෙදර එනතුරු





පාවී දුරක සිට ඉර අවරට යන්නා
රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා 
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා

ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා 
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා 
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා 
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා 



 මේ කවි පේලියේ තව කවි හතර පහක් තියෙනව. සත්වයකුගේ සිතිවිලි හරිම තාත්ත්වික විදිහට ලියපු කවි පේලියක්. ලියල තියෙන්නේ දෙව්ලින්දි බ්ලොග් එකේ. Winnie the Pooh ගේ ලඟම ඥාතියෙක් වෙන,  විනීත පු නමින් කමෙන්ට් දාන කෙනා.   



 මෙතනින් ගිහින් බලන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Friday, May 10, 2019

ඇත්තටම දැක්කද? 2

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


ඇත්තටම දැක්කද? 1

කලින් ලියපු 'ඇත්තටම දැක්කද?' පෝස්ට් එක මතකනෙ. මතක නැත්තම් ලින්ක් එක උඩ තියෙනවා.  අද දෙවෙනි කොටස.

අපි හැමෝම දකින රූප වලට ආසා කරනවා ඒ වගේම සමහර දකින රූප වලට තදින් බැඳෙනවා. තවත් රූප වලට අපි අකමැතියි. ඒ නිසා ද්වේශ කරණවා. ඒ වුණාට, අපි කවදාවත්ම අපේ ශරීරයට පිටින් තියෙන රූපයක් හෝ පිටින් ඇහෙන සද්දයක් හෝ කන දෙයක රසක් දැනිල නෑ කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද?

ඒක තමයි ඇත්ත කියල මේක කියෙව්වොත් ඔබත් පිළිගනියි. පේනවා යැයි අපි හිතන දේවල් ගත්තොත්, අපේ ඇහැට 'පෙනෙන්නේ' නැහැ. ඒකේ තියෙන්නේ කැමරාවක වගේ කාචයක් විතරයි. ආලෝකය තිබෙන වෙලාවට රූපය මත පතිත වන ආලෝක කදම්බයක් ඇහැට වදිනවා. හැබැයි ඒ එන කදම්බයේ රූපයක් නැහැ. ඇහැට වැටෙන්නේ පාට කීපයක් එහෙම නැත්නම් වර්ණ සටහනක් පමණයි. ඒ වර්ණ සටහන නිසා ඇහේ තිබෙන ස්නායු වලින් සිග්නල් එකක් යවනවා හිතට. ඒක තමයි වෙන්නේ.

අපි උපකල්පනය කළොත් හිත තිබෙන්නේ මොළයේ කියලා, එහෙමනම් මොළයේ කොටස් දෙකක් තියෙනවා. ටිකක් කම්පියුටරේ හාඩ් ඩිස්ක් එක සහ RAM එක වගේ. හාඩ් ඩිස්ක් එකේ තියෙන්නේ පරණ මතක කියලත් RAM එකේ තියෙන්නේ අර ඇහෙන් දැකපු වර්ණ සටහන නිසා ආපු සිග්නල් එකත් විතරයි කියා හිතන්න.

එතකොට වෙන්නේ RAM එක හාඩ් ඩිස්ක් එකේ තිබෙන මතකයෙන් විමසලා බලනවා. ඒකේ තියෙනවා ඔය වගේ හැඩයට ඉන්නේ ගැහැණු කෙනෙක්, ඔළුව උඩ තියෙන්නේ කොණ්ඩේ. එයා ඇඳගෙන ඉන්නේ කහපාට ගවුමක් ආදී වශයෙන්. ඒවා උපන්දා ඉඳන් අපි එකතු කරගත්තු දැනීම සහ මතක. එම මතක යොදාගෙන අර ඇහැ හරහා ආපු සිග්නල් එක යොදාගෙන රූපය හදන්නේ සිතේ. ඒ හැදෙන රූපය හැදුනේ අර ආලෝක කදම්බය ආපු තැන කියලා අපි රැවටෙනවා. ඒ අනුව තමයි අපිට ඉදිරියෙන් රූපයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ. 

ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් බයියෙකුයියි ටොයියෙකුයි එකට ගමනක් යනකොට රටේ අගමැතිතුමයි, විපක්ෂ නායක තුමයි දෙදෙනාම ඇවිදගෙන එනව දැක්ක කියල හිතන්න. එතකොට බයිය විපක්ශ නායක තුමා දැකල සතුටකුත්, අගමැති තුමා දැකල අසතුටකුත් ඇතිකරගන්නවා. ඒ වුණාට මේදෙනාගේම ඇස් වලට වදින්නේ එකම වර්ණ සටහන. අර පරණ මතක දැනීම ආදිය තමයි හිතට වෙනස් අදහස් දෙන්නේ. ඒවගේම ඒ රූප හන්දුණා ගන්නේත් පරණ මතක වලින්.  

ඇසීම හරහා මේක විස්තර කළොත් වඩා පැහැදිලි වෙයි. අපි ඉන්න තැනට මීටර 25 ක් ඉදිරියෙන් කෙනෙක් ගැට බෙරයක් ගහනවා කියලා හිතන්න. අපිට වැටහෙන්නේ ඒ කෙනා ගැටබෙරේ ගහනකොට එතන බෙර සද්දයක් ඇතිවෙලා ඒ සද්දේ ඇවිල්ලා කනෙන් අපිට ඇහෙනවා කියලයි. ඒත් ඇත්තටම වෙන්නේ එයා බෙරේ හමට තලනකොට හම ගැස්සීම නිසා තරංගයක් නිර්මාණය වෙන එක. ඒ තරංගයේ ශබ්දය නැහැ. නමුත් ඒ තරංගය අවකාශය දිගේ ඇවිත් අපේ කන් බෙරේ වදිනවා. එතකොට කන්බෙරේ ගැස්සෙන ආකාරයට සිග්නල් එකක් නිර්මාණය ස්නායුවක් හරහා හිතට යනවා. ඒත් හිත මේ මොකද්ද කියල දන්නේ නැහැ. හිත කලින් විදිහටම මතකයෙන් එකේ තිබෙන පරණ දැනීම සහ මතක පාවිච්චි කරලා ඒ ගහන්නේ බෙරයක්, ඒක ගැට බෙරයක්, ඒකේ තාලේ මේකයි, ආදී වශයෙන් තීරණය කරණවා. අපිට බෙර සද්දයක් ඇහෙන්නේ එතකොටයි. 

එහෙම නැතිව කනට ශබ්දයක් ඇහෙන්න හෝ එය හඳුණාගන්න හැකියාවක් නැහැ. වෙන විදිහකින් කිව්වොත් කනට මොළයක් නැහැ. ඒක ඇහේ කාචය අර වර්ණ සටහන සිග්නල් එකක් විදිහට ස්නායු හරහා හිතට ඇරියා වගේ අර තරංගය කෝඩ් කරලා හිතට යවන්නේ කන සහ කන් බෙරය. 

අපිට ඇස් දෙකක් හෝ කන් දෙකක් තියෙන නිසා ඇස් දෙකට වර්ණ සටහන් දෙකක් සහ කන් දෙකට තරංග දෙකක් එනවා. ඒ දෙක සුළු වශයෙන් එකිනෙකට වෙනස්. ඒ වෙනස තමයි එම රූපය තිබෙනවායැයි අපි හිතන  දිසාව හෝ ශබ්දය එනවා යැයි අපි හිතන දිසාව තීරණය වෙන්නේ. මේ ගැන හොඳට හිතුවොත් අපි කවදාකවත් බාහිරව රූපයක් දැකල නැහැ කියල සහ බාහිරින් ශබ්දයක් ඇහිල නැහැ කියල වැටහෙයි. රස, සුවඳ වගේ දේවළුත් මේවගේම තමයි. 

මේක තේරුණොත් අපිට තේරෙයි පරණ මතක යොදාගෙන හිතේ හදාගන්න දේවල් එක්ක තමයි අපි බැඳෙන්නේ හෝ ගැටෙන්නේ කියලා.

මේ විග්‍රහය මගේ එකක් නෙවෙයි. මේක කිව්වෙ දැනට අවුරුදු 2500 කට විතර හිටපු බුදු හිමියන්. එයා කිව්වේ ඔය වගේ නොදැකපු නො අහපු දේවල් වලට ඇලිල හෝ ගැටිල සසර දික්කරගන්න එපා කියල.






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Monday, May 6, 2019

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?


නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි

පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම් ;

1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.


ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.