Monday, November 27, 2023

මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු

මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය


පොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ  කථාව බෙදාගන්නවා.  වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.

මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා (facilitator) ගැන වීමයි. 

කුඩා කාලයේ එක තැනක ඉඳගෙන පාඩම් කරන ගතියක් මට තිබුණේ නැහැ. පන්තියේ උගන්නන දේ තර්කානුකූලව මතක තිබීමේ ශක්තියක් ඒ කාලේ තිබ්බා. (දැන් නම් ඒක පොඩ්ඩක්වත් නැහැ ). ඒ නිසා මම කිසිම විභාගයකට පාඩම් කලේ නැහැ. ඒත් පන්තියේ විභාගවලින් 2-5 අතර ස්ථාන ගන්න එක මට සුළු දෙයක් වුණා. වත්සලා වගේම මමත් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වුනා. ඒක එතරම් ලොකු දෙයක් නොවෙන්නේ ඒ කාලයේ  5 වසර  ශිෂ්‍යත්ව විභාග ලිව්වේ ටික දෙනෙක් පමණක් වීමයි. ඒත් 7 වසර වන විට ඒක ජනප්‍රිය වෙලා පාසැලෙන් ඒකට පෙනී සිටීම අනිවාර්‍යය වුනා. ඒකෙන් සමත් වෙච්ච අතලොස්ස අතරට යන්න මට පුළුවන් වුනා. (එකල අදියර දෙකකින් පැවැත්වූ  7 වසර ශිෂ්‍යත්ව  විභාගය පසුකාලයක අහෝසි වුනා)

මගේ පාඩම් නොකර විභාග කිරීමේ ගතිය හොඳින් දත් දෙමව්පියන් 9 වසර අවසානයේදී පෙනී සිටීමට සිදුවූ (ඔව් ඒ කාලේ NCGE/HNCE කියල අලුත් ක්‍රමය නිසා එම NCGE විභාගය පැවැත්වූයේ 9 වසර අවසානයේදී ) විභාගයේ විෂයයන් දෙකක් අතර මැද තිබූ නිවාඩු දවසේ ඔවුන්ට සහභාගී වීමට තිබූ ටිකක් දුර ගමනකට මාවත් සහභාගී කරගත්තා. ඒත් ඒ විභාගයෙනුත් හොඳින් සමත් වීම මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. 

උසස් පෙලත් ඒ වගේ පාඩම් නොකර කිරීමේ ප්‍රතිඵලය වුනේ නම් හිතපු දෙයක් නෙවෙයි. ගෙම්බෝ විශාල ප්‍රමාණයකත්, කැරපොත්තන් විශාල ප්‍රමාණයකත් ජීවිත වලට වග කිව්වත් වෛද්‍ය විද්‍යාලයේ කැන්ටිමේ රස්සාවක් ගන්නවත් ඒ ප්‍රතිඵල වලින් හැකිවුණේ නැහැ. බයෝ සයන්ස් කරලා ඒ සම්බන්ධ අංශ වලට යන්න ඒ කාලයේ වෙනත් පෞද්ගලික පාඨමාලා වත්, වත්සලා ගිය විවෘත විශ්ව විද්‍යාලයවත් ඒ කාලයේ තිබුණේ නැහැ හෝ මම දැනගෙන හිටියේ නැහැ . ඉතින් යාළුවෝ ඔක්කොම කරන දේ වුන රැකියාවල් වලට ඉල්ලුම් කිරීම පටන් ගත්තා. ජාත්‍යන්තර පාසැල් බිහිවෙන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක වාසනාවකට මම ඉගෙනගත් පාසැලේ සිසුන්ට පුද්ගලික අංශයේ රැකියා වල ඉල්ලුමක් තිබ්බා. ඒකයි බුද්ධි පරීක්ෂණ තරණය කරන්න තිබ්බ සහජ හැකියාව නිසයි  පිළිගත් සමාගමක කලමණාකරණ අභ්‍යාසලාභී (Management Trainee) තනතුරකට තේරෙන්න එච්චර අමාරු වුනේ නැහැ. ඒකේ මම කැමතිම වෙච්ච දේ තමයි මාසික දීමනාව හැටියට ගෙවන ගණන සෑහෙන්න විශාල මුදලක් වීම. ඒක මගේ පියාගේ එකල වැටුපෙන් 20% ක පමණ ප්‍රමාණයක්. 

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ මෙතැනදි තමයි. එම සමාගමේ බඳවා ගැනීමට නිර්දේශ කිරීම  (referee reports) අත්‍යාවශ්‍යයි. එවකට මගේ පියා රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක එක් අංශයක ප්‍රධානියෙක්. එම ආයතනයේම මුදල් අංශයේ ප්‍රධානියා තමයි ඔහුගේ මිතුරා. මම නිර්දේශ කරන්නා ලෙස මගේ ඉල්ලුම් පත්‍රයේ දැම්මේ ඔහුව. මාව තෝරාගෙන ඇති බවත් ඔවුන් නිර්දේශ කරන්නාගේ ලිපිය ලැබෙන තෙක් බලා සිටින බවත් එම සමාගමෙන් දුරකථනයෙන් දැන්වූවා. ඔහුගේ මිතුරාට එය යවන ලෙස මතක් කරන ලෙස මම මගේ පියාට කිව්වා. එක දිනක් ඔහුගේ මිතුරා මට ඔහුගේ කාර්‍යාලයට එන්න කියල පියා අත පණිවිඩයක් එවල තිබුණා. 

ඔහු එන්න කියන්නේ මා සමඟ මගේ නිර්දේශ කිරීමේ ෆොර්ම්ස් පුරවන්න කියලා මම බලාපොරොත්තු වුනා. ඒ නිසා ඔහුව හමුවෙන්න මම ගියේ ඉතාමත් සතුටින්. ඒත් ආපහු ආවෙ නම් සතුටකින් නෙවෙයි.  එතනදී සිදුවුනේ මම බලාපොරොත්තු නොවුන දෙයක්. . මම බැඳෙන්න යන සමාගම, පුහුණුව, පුහුණුවට පසුව රැකියාව, ලැබෙන දීමනාව වගේ විස්තර අහපු ඔහු මගේ නිර්දේශ ලිපිය යැවීම ප්‍රතික්ෂේප කලා. ඔහු කීවේ මම එම රැකියාවට බැඳුනොත් එහි වරප්‍රසාද නිසා ඉදිරියට ඉගෙන ගැනීමක් නොවෙන බවත්, බොහෝ විට කමින් බොමින් (වැඩිපුර බොමින්) විනෝදයට බර ජීවිතයකට යොමුවී එක්තරා විදිහකට ජීවිතය නාස්ති කර ගැනීමට ඉඩ වැඩි බවත්. අතේ මිටේ මුදල් ඇතිව  පිළිගත් සමාගමක රැකියාවක් ලබාගෙන ඉතා සතුටින් ගෙවෙන කාලයක් ගැන මම මැවූ සිහින ඔක්කොම ඔහු ඒ පැය තුල විනාශ කලා. 

ඔහු මට කීවේ විදේශීය ගණකාධිකරණ ආයතනයක  සුදුසුකම් ලබා ගත හැකි  විභාග සඳහා කොළඹ පැවැත්වෙන පන්ති වල ඔහු දේශණ පවත්වන බවත්, ඒ සඳහා සහභාගී වී වෘත්තීය සුදුසුකමක් ලබා ගන්නා ලෙසත්ය. උසස් පෙලට විද්‍යා විෂයයන් හැදැරූ මට ගකාධිකරණය ඉගෙනීමට ඇති අපහසුව ගැන පුන පුනා කිව්වත් ඔහු ඒක පිළිගත්තේ නැහැ.  ඔහු කියන දේට විරුද්ධව වෙනත් නිර්දේශ කරන්නෙකු හරහා අර රැකියාවට යාමට හැකි වුනත්, ඒකට මගේ පියාගෙන් කිසිම අවසරයක් ලැබුණේ නැහැ. 

හොඳ වැටුපක් ලබාගෙන මාස ගණනකින් මෝටර් සයිකලයකුත් මිලදී ගෙන පොශ් තරුණියන් ඇසුරු කරමින් ගෙවන ජීවිතයක් වෙනුවට, කට ලඟට පිරවූ බස් වල පන්ති යමින්, දවස් 10 ක් වත් යැපීමට නොහැකි කුඩා දීමනාවක් ගෙවන  විගණන ආයතනයක පුහුණුවට යමින් ගත කරන කාලයක් ලැබීමට මම (අ)වාසනාවන්ත වුනා. උදේ පුහුණුවන රැකියාවට ගොස් හවස විෂයය පන්ති වලට ගොස් රත්‍රී 9.00 ට පමණ කොල්ලුපිටියෙන් නුගේගොඩට 112 බස් රථයක් ගැනීමම අමාරු කාරණයක්. ඒ හැම විටම මම පියාගේ මිතුරාට සිතින් ද්වේශ කලා.

ඒ පන්ති යාමත් මම කලේ මට පුරුදු පාඩම් නොකරන ක්‍රමයටමයි. ඒකට එක හේතුවක් වුනේ හැදැරීමට තිබූ විෂයයන් වූ මුල්‍ය කලමණාකරණය, ආර්ථික විද්‍යාව වැනි දේ උසස් පෙළට බයෝ සයන්ස් කල මට ආගන්තුක වීම. ඒකේ වෙනසක් වුනේ මෙහෙමයි. පන්ති යාමට වියදම එතරම් නොවුණත් එම පාඨමාලාවේ එක මට්ටමක විභාගයකට බ්‍රිතාන්‍ය මුදලින් ගෙවිය යුතු විභාග ගාස්තු මගේ පියාගේ එක මසක වැටුපට සමාන වුනා.  පලමුවෙනි විභාගයට ඇතුළුවීමේ පත්‍රිකාව විභාග දිනයට දවස් 30 කට පමණ කලින් ලැබුණාම තමයි බරපතල කම ඔළුවට ගැහුවේ. මෙයින් අසමත් වුණොත් තව මාස හයකින් නැවත එවන් මුදලක් ගෙවීමට පියාට සිදුවෙනවා. ඒ ඇති වෙච්ච කම්පනය කොතරම්ද කියනවානම් ඒ දින 30 ජීවිතයේ කවරදාකවත් නොකල පාඩම් කිරීමක් මම කලා.  නිදා ගැනීමක් ඒ දවස් වල කලා කියල මතකයක් නැති තරම්. මේ කාලයේ අන්තර් ජාලය, යූටියුබ් හෝ වෙනෙකක් තබා අවශ්‍යවුන මුද්‍රිත පොත් පවා තිබුණේ නැහැ. බොහෝ විට ලැබුනේ 20-30 පාරක් ෆොටොකොපි කල පොත් වල පිටු පමණයි. 

(කථාවට අදාල නොවුණත් මතක් කල යුතුම දෙයක් තියෙනවා. අද මෙන් නොව මේ කාලයේ ගණකාධිකරණය හැදෑරූ සිසුන්ගෙන් 90% ක් පමණ දමිල ජාතිකයින්. ඔවුන්ට විදේශ වල සිටින ඔවුන්ගේ නෑදෑයින්ගෙන් පොත් වල කොපි ලැබුණා. ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ඒවා සිංහල සිසුන් හා බෙදා ගත්තා. ඒ කාලයේ උතුරේ සටන් තිබුණ අවධියක්. ඒත් ඒ බෙදීම් සිසුන් අතර තිබුණේ නැහැ. හැමෝගෙම අරමුණ වුනේ එකිනෙකා අතර තරඟ කිරීමට වඩා එකට ඉන්න වලෙන් ගොඩ එන්න. එකෙකුට නොතේරෙන දෙයක් කියල දීමට අනිකා මැලිවුනේ නැහැ. පන්ති වල සිසුවියන් වැඩි හරියක්ම දමිල ජාතික අය. ඉස් ඉස්සෙල්ලාම මගේ හිත ගියෙත් ඒ පන්තිවල සිටි අති සුන්දර දමිල තරුණියකට. අනික් දමිල යාළුවන්ගෙන් බොහෝ උදව් ලැබුණත් ඒක සාර්ථක වුනේ නැහැ. ඒත් සිංහල දමිල විවාහ කීපයක්ම ඒ සිසුන් අතරින් පසු කාලයකදී වුනා.)  

මගේ පලමුවෙනි සීරියස් පාඩම් කිරීමේ ප්‍රතිඵලය නම් හොඳ දෙයක්  වුනා. ඒකේ ප්‍රතිඵලය වුනේ ඒ ලෙවල් විභාගයේ නොදැකපු 'ඒ' සාමාර්ථ කීපයක්ම ලැබීම. ඒකත් එක්ක නැවත ලැබුණු පවුල තුල පිළිගැනීම, පාඨමාලාව කරන අය අතර ලැබුණු  පිලිගැනීම ආදිය මඟින් මම තවත් දිරිමත් වුනා. අන්තිම ප්‍රතිඵලය වුනේ  අවුරුදු 22 වෙන විට පූර්ණ සුදුසුකම් ලැබීමට කලයුතු වූ විභාග 5 ම ඉවර කරන්නට හැකිවීම. ඒ කාලය ගණකාධිකාරීන්ට ඉහල ඉල්ලුමක් තිබ්බ නිසාත්, සුදුසුකම් ලත් ගණකාධිකාරීන් අඩු ප්‍රමාණයක් සිටි කාලයක් නිසාත් අවුරුදු 24 වෙනකොට මම හීන දැකපු මෝටර් සයිකලය වෙනුවට රැකියා ස්ථානයෙන් ලබා දෙන වාහනයක් සහිත රැකියාවක් ලබා ගන්නත්  හැකිවුණා. 

මගේ පාසැලේ ලඟම යහළුවන් කීප දෙනෙක්ම වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒකාලයේ ජවිපෙ ගෙනගිය විශ්ව විද්‍යාල වර්ජනය නිසා ඒ අය වෛද්‍යවරු වුනේ අවුරුදු 29 දී. වෛද්‍ය විද්‍යාලයේ කැන්ටිමට යාමට වත් උසස් පෙලින්  සුදුසුකම් නොලැබූ මම ඔවුන්ට අවුරුදු 7 කට කලින් වෙන වෘත්තීය  අංශයක සුදුසුකම් ලැබුවා. ඒ කාලයේ පාසැල් මිතුරන් සමඟ විනෝද චාරිකා යන විට ඒවාට වියදම් කිරීමට හැකියාව තිබුණු  චාරිකා යාමට වාහනයක් තිබුණු අතලොස්සෙන් කෙනෙක් වීමට මට හැකිවුණා. 

පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බොක්කෙන්ම පතන ඒ ගැන ලියන කෙනෙක් වීමට මගේ මේ අත්දැකීම් බල පෑවා. මට තිබුන එක වාසියක් වුනේ අධික වියදම් සහිත මාර්ගයක යන්න මගේ පියාට  වෙනත් වියදම් කල් දමා හෝ සමහර විට සුළු වශයෙන් ණයවී හෝ  වියදම් කිරීමට හැකිවීම. ලංකාවේත් අන් රටවල වගේ පුද්ගලික විශ්වවිද්‍යාල සහ සිසුණය ක්‍රමය තිබෙනවා නම් වෙනත් වෘත්තීමය නොවන රැකියා කරන කොතරම් දෙනෙක්ට සුදුසුකම් ලබා ගන්න හැකිවෙනවා දැයි යන්න මගේ හිතට තදින්ම කාවැදුනා.

මේ කථාවේ වීරයා මම නෙවෙයි. විනාඩි කීපයක් යොදවා නිර්දේශ ෆෝරමය නොපුරවා පැයක පමණ කාලයක් තරහින් පිපිරෙමින් සිටි ඔහුගේ මිතුරාගේ  අකෘතඥ ලෙස හැසිරෙන දරුවා ඔහු හරි යැයි හිතන මාර්ගයට (බලෙන් මෙන්) යොමු කල නැසීගිය එස් ලෝගනාදන් මැතිතුමා තමයි මගේ ජීවිත කථාවේ වීරයා. කියන දේ කරන්න බැරිනම් ඕන දෙයක් කරගනින් කියා මා එලවා නොගනිමින් ඔහු කියන පාරට මාව දැමීමට ඔහුට පරිණත කමකුත්, ඉවසීමකුත් මගේ අනාගතය ගැන කැක්කුමකුත් ඔහුට තිබුණා. 

එතුමා මියයන තෙක්ම ඔහු මට කල උදව්ව හමු වෙන හැම විටකදීම මම ඔහුට මතක් කලා. කෙලින්ම ඔහුගෙන් මා ඉගෙන ගත්තේ මුල්‍ය කලමනාකරණ විෂයය පමණක් වුනත් ඔහු හමුවුන සාද වලදී ඔහු මාව අන් අයට හඳුන්වා දුන්නේ ඔහුගේ හොඳම ගෝලයා හැටියටයි. ඔහුගේ අන් ගෝලයන් වූ මගේ සමහර දමිල ජාතික ගණකාධිකාරී මිතුරන්ට එය නොරුස්සන දෙයක් වුනා. ඔහු පෙන්වූ මාර්ගයේ ගොස් මා සාර්ථකවීම ගැන ඔහු ඇත්තටම සතුටු වුනා.  

හැම වසරකම සුභ පැතුම් පතක් සමඟ මම ඒ වනවිට කරමින් සිටි රැකියාවේ වැඩ ගැන ඔහුව දැනුවත් කලා. දුරකථන බහුල වූ  පසු කාලයක එවකට විශ්‍රාම ගොස් සිටි ඔහුට නිතර කථා කලා. වෛද්‍යවරියක් වූ  ඔහුගේ දියණියගේ වෘත්තීමය අවශ්‍යතාවයකදී සාපේක්ෂව ඉතාම සුළු උදව්වක් කරන්න මට හැකිවුණා. මම කල උපකාරයට ස්තූතියි කිරීමට දිනක් මගේ කාර්‍යාලයට පැමිණි ඇය සහ ඇගේ සැමියාට ඇයගේ පියාගේ කාර්‍යාල කාමරයේ සිදුවූ දේ සහ එහි ප්‍රතිඵලය ගැන කියා දුන්නා.  

මැතකදී ජයරත්න මල් ශාලාවේ ඔහුගේ දේහය බැලීමට ගිය විට කාලයකට පසුව හමුවූ ඔහුගේ වයස්ගත බිරිඳ මට කිව්වේ ඇයගේ සැමියා මට මෙන් බොහෝ දෙනෙකුට එලෙස උදව් කර ඇති බවත්, ඔහු කල උදව් අවුරුදු 30 ක් තිස්සේ මතක තිබ්බේ මට පමණක් බව ඔහු නිතර ඇයට කී බවයි. ඔහු වෙනුවෙන් පලකල සිහිවටනයකට මගේ අත්දැකීම ලියන ලෙස ඔහුගේ දියණිය කල ආරාධනාවත් මම පිලිගත්තා.

ඔහු මට කල උදව්ව ඉදිරියට ගෙනයාමට (to pay it forward) ආර්ථික ශක්තිය අඩු මගේ මිතුරන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙක් අද සුදුසුකම් ලත් ගණකාධීකාරිනියක් සහ ඉංජිනේරුවෙක් කරන්න මට හැකිවුනා. තව බොහෝ දෙනෙකුට ඉහල අධ්‍යාපනය මාර්ග ගැන මඟ පෙන්වන්නත් මට හැකිවුණා. ඒ හැම දේකම පින මගේ  කථාවේ වීරයා වූ ලෝගනාදන් මැතිතුමාටයි.

වත්සලාගේ කථාවේ ඇය තරුණ අයට ඇයගේ අත්දැකීමෙන් ඉගෙන ගත හැකි දේවල් ගැන කියා තිබුණා. මට බෙදා ගත හැකි පණිවිඩය නම් ජීවිතයේ අත්දැකීම් ඇති අය පෙන්වන අමාරු පාරවල් වල ගමන් කිරීම පහසු පාරවල් වල යාමට වඩා දීර්ඝ කාලීනව වඩා හොඳ විය හැකි බවයි.  

(80 දශකයේ අමාත්‍යාංශ ලේකම් වැනි ඉහල තනතුරු දැරුවත් එස් ලෝගනාදන් මැතිතුමාගේ පින්තූරයක් වත් අන්තර් ජාලයේ නැහැ. ඒ නිසා එවැන්නක් මේ කථාවට එකතු කරන්න විදිහක් නැහැ)

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 19, 2023

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු

ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට අවසර. 

කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්.  . ඒ උනාට  අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

Monday, November 6, 2023

මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම




අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. 

මේ ගැන මගේ මතය.

පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට  25.00 දක්වා   තියෙන්නේ.

 ඇමෙරිකාවේදී අනුර කරන වැරදි වචන භාවිතය නොවන්නට බොහෝ දෙනෙක් මෙය ඔහුගේම අදහසක් බව විස්වාස කිරීමට ඉඩ තිබිණි. 

මගේ අදහස නම් මොවුනට  රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති  බවයි . මේ ලෝකයේ තව රටවල් 180 ක් පමණ ඇති නිසා අන් රටවලත් රජයෙන් කර්මාන්ත කිරීම, නිශ්පාදනයට අත ගැසීම, වැනි දේවල් කරනවාදැයි දැන ගැනීමට අවස්ථා ඇත. රජයක වගකීම නීති සම්පාදනය පමණක් බවත් රැකියා දීම. පාරවල් හැදීම, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන හැදීම, මිනිරන් පැටවීම රජයක වගකීම නොවන බවත් නොවැටහෙන දේශපාලකයිනුත් ජනතාවකුත් සිටින තෙක් මේ මෝඩ රට පස්සට යාම නැවැත්විය නොහැකිවනු ඇත.   

රජයක වගකීම නිශ්පාදනය නෙවෙයි. නිශ්පාදනය. අගය එකතුකිරීම වැනි දේවල් ගැන ප්‍රතිපත්ති තීරණ අරගෙන පෞද්ගලික අංශයට ඒ දේවල් කිරීමට අවශ්‍ය පසුබිම සහ නීති සම්පාදනය පමණයි. 

මගේ අදහස නම් අනාගත රජයක් විසින් මිනිසුන්ට ඇත්ත කථා කර කල යුතු දේවල් මේවායි.


1. විදේශ විනිමය ඉතුරු කිරීම

(අ ) අද රටෙන් විදේශ විනිමය වියදම් වෙන විදේශ අධ්‍යාපනය වෙනුවට, වසරකට අඩුම වශයෙන් සිසුන් 50,000 ක් ඇතුලත් කරගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල 25 ක් ඇරඹීම. මේ අළුත් විශ්ව විද්‍යාල රටේ ප්‍රමුඛම විශ්ව විද්‍යාල වන කොළඹ, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස අවුරුදු 10 ක කාලයට සම්බන්ධ කලයුතුය. එම පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් පෙනී සිටිය යුත්තේ එසේ අනුබද්ධ කල විශ්ව විද්‍යාලයේ විභාග වලටය. එම සිසුන්ටත් එම ප්‍රධාන විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනැමිය යුතුය. විභාග සඳහා, විද්‍යාගාර පාවිච්චිය උදෙසා, සහ සුපරීක්ෂණය උදෙසා රජයේ විශ්ව විද්‍යාලය මුදල් අය කල යුතුය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා ආචාර්‍ය වරුන්ගේ ප්‍රමිතිය, විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් එකතු කිරීම, අයකරන මුදල්, ආදිය අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය කලයුතුය. මීට අමතරව මෙම විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම බුද්ධි පරීක්ෂණ හරහා කලයුතුය. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිසුණය බැංකුවක් බවට පත්කොට එක්තරා ආදායම් (හෝ වත්කම්) මට්ටමකින් පහල අයට සිසුණය ලබා දිය යුතුය. රැකියාවක් ලැබුණු පසු අද අර්ථසාධක අරමුදලට යවන කොටස සිසුණය ගෙවීමට යොදාගත යුතුය.   

       මේ ක්‍රමයෙන් මුදල් ඇති අය විදේශ අධ්‍යාපනයට යොමු වන එක නතර නොවුනත්, ණය වී විදේශ අධ්‍යාපනයට යන අයටත්, එසේ ණයවී හෝ මුදල් හොයා ගැනීමට නොහැකි අය ත්‍රිරෝද රථ වල සහ ගෘහ සේවිකා රැකියාවලට යන එක වත් අඩු විය හැක. වසර කිහිපයකදී විදේශ සිසුන් ආකර්ශණය කර ගැනීම මඟින් අඩුම වශයෙන් වසරකට ඩොලර් බිලියනයක් වත් රට අද්දා ගැනීමට හැකිවනු ඇත. 

(ආ ) සිංගපූරුවේ මෙන් වසරකට ආනයන කල හැකි වාහන ප්‍රමාණය සීමා කලයුතුය. ඒසඳහා ආනයන බලපත් අන්තර්ජාලය හරහා වෙන්දේසි කලයුතුය. 

(ඇ) රටට ආනයන කරන දේවල් විශ්ලේශණය කර සරුංගල්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වැනි අන්‍යවශ්‍ය ආනයන තහනම් කිරීම.