Monday, September 21, 2020

නව පණත් තුන නිසා ඉන්දියාව ඉක්මනින්ම දියුණු රටක් වෙයිද?




ශ්‍රීලංකාවේ රජය ඔවුන්ගේ බහුතරය යොදාගෙන රටට 'අත්‍යාවශ්‍යම' 20 වන සංශෝධනය ගෙන එන අතරේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ රජයත් ඉන්දියානු සමාජය සහ ආර්ථිකය විශාල දියුණුවකට පත්කල හැකි පණත් කීපයක් ඊයේ සම්මත කරගන්නා ලදී.

දියුණු රටවල කෘෂිකාර්මික ක්ශෙත්‍රයේ යෙදෙන ගොවියන් එමරටවල වැඩිම ආදායම් ලබන්නන් බව බොහෝ දෙනෙක් දනිත්. එහෙත් තුන්වන ලෝකයේ ගොවියන් අගහිඟ කම්වලින් සහ ණය බරින් පීඩිතව සියදිවි හාණිකරගන්නන් බවත් අපි දනිමු. ඉන්දියාවේ මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේ කෘෂිකාර්මික නිශ්පාදන විකිණිය හැක්කේ අදාල ප්‍රදේශයේ ඇති කෘෂි නිෂ්පාදන විකිණීමේ කොමිටියට පමණක් වීමයි. එම කොමිටියෙන් පත්කල මැන්ඩි (ශබ්ධ කිරීම වැරදි වන්නට පුළුවන ) mandi වරයෙකුට පමණ අදාල ගොවියා විසින් තම නිෂ්පාදන අලෙවි කල යුතුය. ගොවියාට මුදල් අඩුවූ වි මෙම මැන්ඩි වරයාගෙන් ණය ලබා ගන්නා අතර ඒවාද අධික පොලී සහිතව ගොවියාට කරන ගෙවීමෙන් අයකරගනී.

මෙම අතරමැදියන් ගොවීන් සූරාකෑමට යොදාගන්නා තව ක්‍රමයක් වන්නේ ගොවියා සැතපුම් සිය ගණනක් ගෙවා මැන්ඩි වරයා හරහා පාලනය වන ස්ථානයට තම නිෂ්පාදන රැගෙන ආ පසු ඔවුන්ගේ බඩු ගැණීම දීර්ඝ ලෙස ප්‍රමාද කිරීමය. එම නිෂ්පාදන නැවත රැගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොවන බැවින් මැන්ඩි වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන පිරිස් එම නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැණීම සිදුවේ.

සංවෘත  ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කල  රාජ්‍යයක් වූ ඉන්දියාව නිෂ්පාදනය සහ විකිණීම සඳහා වූ බලපත්‍ර ක්‍රම 1991 දී අහෝසි කර නිදහස් වෙලඳපොළක් හඳුන්වා දුන්නද, කෘෂිකාර්මික භෝග සඳහා පමණක් මෙම කොමියුනිස්ට් ක්‍රමය අද වෙනතුරු භාවිතා කිරීම 52% වූ ගොවියන් ඉතා පහත් ජීවන මට්ටමක තැබීමට හේතු වී ඇත.

ඊයේ ඉන්දියානු රාජ්‍ය සභාව අනුමත කල ගොවි නිෂ්පාදන වෙලඳ සහ වානිජ අඥාපණත 2020 , මිල සහතික කිරීම සහ ගොවිපල සේවා පිළිබඳ අඥාපණත 2020, අත්‍යාවශ්‍ය සේවා අඥාපනතට කරන ලද සංශෝධන යන පණත් ත්‍රිත්වය හරහා ගොවියන් මෙතෙක් බැඳ තිබූ බැමි සියල්ල එක් දිනකින් කඩා බිඳ දමා ඇත.

මෙම පණත් නිසා ගොවියාට තම කැමති ගැණුම්කරුවෙකුට සහ ඕනෑම ප්‍රාන්තයකට තම කෘෂි නිශ්පාදන අලෙවි කිරීමට හැකිවේ. එමෙන්ම ආහාර නිශ්පාදන සමාගම් හෝ සුපිරි වෙලඳ පළවල් අයත් සමාගම් සඳහා කොන්ත්‍රාත් ක්‍රමය ඔවුන්ට අවශ්‍ය බෝග වගාකර සපයා දීමටද දැන් හැකිවේ. 

ඉන්දියාවේ ගොවියාට කෘෂි නිෂ්පාදනයක් සඳහා ලැබෙන මිල මෙන් කිහිප ගුණයක් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබයි. ඒඅතර විශාල අතර මැදියන් ප්‍රමාණයක් ඇති අතර ඔවුන් මඟ හැර වෙන අයකුට විකිණීම මෙතෙක් තිබූ නීතිය අනුව නීති විරෝධී විය.

2019 මහා මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂයත් ගොවියන් යටකර ගෙන සිටි පැරණි අණපනත් අහෝසිකරන බවට මැතිවරණ පොරොන්දුවක් දී තිබිණි. මෙම වෙනස් කම් භාරතීය ජනතා පක්ෂ රජයක් විසින් ගෙන එන විට ඊට විරෝධය දැක්වීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ කොන්ග්‍රස් පක්ෂයයි.

ඊට අමතර විශාල ආහාර නිෂ්පාදන ප්‍රාන්ත වන හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුද මෙම වෙනසට විරුද්ධව වීථි බැස ඇත. එයට හේතුව නම් අද වන තෙක් මෙම ප්‍රාන්ත වලින් නිෂ්පාදනය කරන ආහාර තොග රජයේ සංචිත ලෙස යොදා ගැනීම නිසා එමඟින් ඉන්දියානු රුපියල් බිලියන ගණනක් එම ප්‍රාන්ත වලට ලැබීමයි. ඊයේ අනුමත වූ එක් අඥාපණතක රජයේ සංචිත ක්‍රමය යුද්ධ අවස්ථාවලට පමණක් සීමා වීමත්, ගොවියන්ට ප්‍රාන්ත වල ගොවි නිෂ්පාදන මිලදී ගැණීමේ කොමිටියෙන් බාහිරව නිෂ්පාදනය විකිණීමට අවසර ලැබීම නිසාත් විශාල මුදලක් ප්‍රාන්ත රාජ්‍ය වලට නොලැබී යාමත්ය.

මට හැඟෙන ආකාරයට 1991 දී වෙලඳපොල ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඉන්දියාවේ සිදුකෙරුනු විශාලතම සමාජ පෙරළිය මෙයයි. 

ඉන්දියාවේ ජනගහනයෙන් 52% ක ප්‍රමාණයක් කෘෂිකර්මයෙන් යැපෙන නිසා ඔවුන් සිටින්නේ පහල ආදායම් මට්ටමේය. මගේ උපකල්පනය නම් මෙම නව පණත් නිසා ඔවුන්ගේ ආදායම විශාල වශයෙන් ඉහල යන බවය. තවද ඉල්ලුම සැපයුම වෙනස්වීම වැනි  හේතු නිසා මිල ගණන් වෙනස් වීමකදී මෙන් එය කුඩා කාල සීමාවකට සීමා නොවූ ආදායම් ඉහල යාමක් වෙයි. එම නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය විශාල වශයෙන් ඉහල යාම සිදුවේ. එවිට ඔවුන් ඇති කරන අතිරේක ඉල්ලුම මඟින් වෙනත් භාණ්ඩ වල ඉල්ලුම ඉහල යයි. එමඟින් නව රැකියා ඇතිවීම නිෂ්පාදන ඉහල යාම, ලාභ වැඩිවීම නිසා කෘෂි නිෂ්පාදනය ඉහලයාමෙන් ආහාර ආනයනය පහල යාම වැනි ආර්ථිකයට විශාල තල්ලුවක් ලැබේ. එය තල්ලුවක් නොව අති විශාල පිම්මක් ලෙස හැඳිවීම වඩා යෝග්‍ය වේ.

ඉන්දියාව දුප්පත් රටක්ව සිට 1991 න් පසුව විශාල දියුණුවක් ලඟාකරගෙන ඇත. ගොවියන් අවුරුදු 70 ගණනක් බැඳ තැබූ බැමි ලිහා දැමීම නිසා තව දශක සුළු ගණනකින් ඉන්දියාව ලොව දුයුණු රටවලින් එකක් වන බව මගේ අනුමානයයි.

ලංකාවද 20 සංශෝධනයෙන් දියුණු රටක් වීමට ඉඩ ඇති බව සමහරක් ගේ මතයයි.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.