Showing posts with label රට නගන මඟ. Show all posts
Showing posts with label රට නගන මඟ. Show all posts

Tuesday, December 30, 2025

හිමිකාරිත්වය සහ මෙහෙයුම් වෙන් කිරීම පොදු බස් ප්‍රවාහන පද්ධතිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇත




රට තවමත් සංවර්ධිත රටවල මට්ටමට ළඟා වී නොමැති ක්ෂේත්‍රවලින් එකක් වන්නේ පොදු ප්‍රවාහන පද්ධතියයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එහි ව්‍යුහයේ මූලික දෝෂය සැලසුම්කරුවන් විසින් හඳුනාගෙන නොමැති වීමයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් රථ හිමියන් 10,000ක් සිටින අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) ද පවතී. පුද්ගලික අංශයට අයත් බස් රථ 16,000ක් ඇති අතර, CTB සතු බස් රථ 3,000–4,000ක් පමණ ඇත. CTB සහ පුද්ගලික හිමියන් දෙපාර්ශ්වයම බස් සේවා මෙහෙයවයි.

මෙම ගැටලු සඳහා විසඳුම වන්නේ අයිතිය (ownership) සහ මෙහෙයුම් වගකීම (operation) වෙන් කිරීමයි. එහිදී එක් භූගෝලීය ප්‍රදේශයකට එක් මෙහෙයුම්කරුවෙකු පත් කළ යුතුය. එම මෙහෙයුම්කරුවන් බොහෝ දුරට පළාත් මට්ටමේ ආයතන වනු ඇත. රට පුරා මෙහෙයුම්කරුවන් නවයක් සිටින අතර, එක් එක් පළාත තුළ බස් ප්‍රවාහනයට ඔවුන් වගකිව යුතුය. දසවන මෙහෙයුම්කරුවෙකු අන්තර් පළාත් මාර්ග සඳහා වගකිව යුතුය. මෙම සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන් (මෙහෙයුම්කරුවන්) පළාත් සභා යටතේ ක්‍රියාත්මක විය යුතුය.

උදාහරණයක් ලෙස, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය (හෝ WPC සතු සමාගමක්) බස්නාහිර පළාතේ බස් සේවා සඳහා වගකිව යුතු මෙහෙයුම්කරුවා වේ. මෙම මෙහෙයුම්කරුවා ඉල්ලුම් (demand) කාලවල ගමන් අවශ්‍යතා මත පදනම්ව කාලසටහන් සකස් කරනු ඇති අතර, වහාම ලාභ නොලැබුණද ගමන් වාර ක්‍රියාත්මක වන බව සහතික කරනු ඇත. (උදාහරණයක් ලෙස, 176 මාර්ගයේ උච්ච කාලවල (peak time) මිනිත්තු 5කට වරක්, සාමාන්‍ය කාලවල මිනිත්තු 20කට වරක්, මධ්‍යම රාත්‍රී සිට පෙ.ව. 5 දක්වා මිනිත්තු 40කට වරක් බස් රථ ධාවනය කළ හැක.) ඉල්ලුම අනුව මෙම කාලසටහන් ක්‍රමයෙන් වෙනස් කළ හැක.

Wednesday, November 26, 2025

කාඩ් මඟින් බස් ගාස්තු ගෙවන ක්‍රමය තව ඉදිරියට ගෙනියමු

POS terminal Use



බස් ගාස්තු ගෙවීමට කාඩ් හඳුන්වා දීම තාක්ෂණිකව බොහෝ පිටුපසින් සිටින රටේ ගමනා ගමන ක්ශේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් බව මගේ අදහසයි. මේ සමඟම තවත් පහසු තවත් පියවර කිහිපයක් ගැන සටහනක් තමයි මේ.

මේ ක්‍රමය ඉතාම ලේසියෙන් දුම්රිය සේවයට සහ රථ ත්‍රිරෝද සේවාවලට ව්‍යාප්ත කල හැකියි. 

ඒවගේම කාඩ් පත් භාවිතයෙන් ලැබෙන දත්ත යොදා ගැනීමෙන් ගමනාගමන සේවා සඳහා වන ඉල්ලුම ගැන පහසුවෙන් අධ්‍යනය කිරීමෙන් සේවා දියුණු කිරීමට යොදාගත හැකියි. එමෙන්ම බස් හිමියන්ගේ අදායම තක්සේරු කිරීමට සහ බදු සඳහා ඒ දත්ත යොදාගත හැකියි. එය තව දුරටත් දියුණු කිරීමෙන් පාරිභෝගික ද්වාර (customer portal) ක්‍රමයක් හඳුන්වා දී එමඟින් බස් වල ආසන වෙන්කරවා ගැනීමට, දුමිරිය ටිකට් පත් සහ ආසන කලින් වෙන් කරවාගැනීමට ගැනීමට යොදාගත හැකියි. දුම්රිය ස්ථාන වල පිටවෙන දොරටු වලදී මෙම කාඩ් ක්‍රමයම යොදාගෙන ටිකට් නොමැතිව ගමන් කරන්නන් අඩු කරගැනීමට ක්‍රියා කල හැකියි.

ඒ සමඟම කාඩ් භාවිතය සඳහා බස් වලට ලබාදෙන විකුණුම් පර්යන්තයට (POS terminal) ඇති චිප් එක යොදාගෙන බස් ධාවනය කරන වේගය ගැන විස්තර ලබාගෙන අපරීක්ශාකාරීව රිය පැදවීම් ගැන දත්ත මත එවැනි ධාවන අවස්ථා සියල්ලටම දඩ නියම කිරීම කල හැකියි. මෙමගින් අපරීක්ෂාකාරී ධාවනය පැය විසි හතරෙන් නැති කල හැකියි.  නිතර එසේ ධාවනය කන වාහන වල බලපත්‍ර අහෝසි කිරීමට යොදා ගත හැකියි. අනතුරකදී රථය ධාවනය වූ වේගය වැනි තොරතුරු පොලිසියට ලබා ගත හැකියි. මෙම දත්තම යොදාගෙන බස් නැවතුම් සථාන වල ස්ථාපනය කරන ඩිස්ප්ලේ මඟින් මීලඟ බසය පැමිනීමට ඇති වේලාව ප්‍රදර්ශණය කල හැකියි.  බසය කොයි වේලාවේ පැමිනේවිදැයි ආතතියයකින් පසුවන මඟීන්ට මෙය විශාල මානසික සහනයකි. බොහෝ රටවල් මෙම ක්‍රමය දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ. 

මෙම ක්‍රමය ගැන තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය මෙන්ම ඩිජිටල් අමාත්‍යාංශයත් වැඩි උනන්දුවක් දැක්වුවහොත් තව වෙනත් කාර්‍යයන් සඳහා මේ ප්‍රවේශය යොදාගත හැකිවනු ඇත.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 9, 2025

විශ්මයජනක අයවැය

රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා



කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.

ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.

ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි. 

රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.

Wednesday, July 5, 2023

අස්වැසුමෙන් අස්වැසීම




1989 සිට ,කෙරෙන දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ජනසවිය, සමෘද්ධි, යන නම් වලින් සහ දැන් අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙනවා. අතිශයින් දේශපාලනකරණීය වෙච්ච මේ වැඩසටහනින් කීදෙනෙක් දිලිඳු කමින් මිදුනාද යන්න ගැන දත්ත මම දැකල නැහැ. මගේ නම් අනුමානය වෙනත් හේතු නිසා මෙම සහනාධාර ක්‍රමයෙන් අයින් වුන අය ඉන්නවා නම් හැර මෙම වැඩසටහන නිසාම එහෙම මිදුන කෙනෙක් නම් ඉන්න බැහැ. ඒකට ප්‍රධානම හේතුව යම් මුදලක් දීම හැර එහෙම දිලිඳු කමින් මිදෙන්න තිබ්බ කොටසවල් හරියට ක්‍රියාත්මක නොවීමයි සහ ඒම කොටසවල් වල තිබ්බ අසම්පූර්ණ බවයි.

මේ වැඩසටහනේ තිබ්බ අනෙක් විශාලතම දුර්වල කමක් තමයි මේ අධාර ලැබිය යුතු සමහර අයට ඒවා නොලැබීමත්, ලැබිය නොයුතු අය දැනහැඳුනුම් කම් හෝ දේශපාලන සම්බන්ධකම් මත ඒවා ලබාගැනීමත්.

අස්වැසුම පටන් ගැනීමට පෙර ඒවා ලැබෙන අය තෝරාගැනීම භාර වුන සමෘද්ධි නිලධාරීන් වැරදි දත්ත සහ නිර්දේශ කිරීම වලට දඬුවම් ලැබෙන ක්‍රමයට විරුද්ධ වුනා කියල දැනගන්නට ලැබුණා.

මේ වගේ සහනාධාර ක්‍රමයයන් දියුණු යැයි සම්මත රටවලත් තියෙනවා. ඒවා ඇසුරෙන් වෙනස්කම් කිහිපයක් කිරීමෙන් මේ ක්‍රමයේ තිබෙන සමහට අඩුපාඩු අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා කලයුතු වෙනස්කම් නම්:

1. සහනාධාර ලාභීන්ට ඔවුන්ගේ ආදායම සහ වත්කම් පිලිබඳව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලැස්වීම. එම දිවුරුම් පෙත්සම අනුව එක්තරා වත්කම් ප්‍රමාණයකට වඩා අඩු ඒවගේම එක්තරා ආදායම් ප්‍රමාණයකට වඩා අඩු අයට පමණක් ඒ අධාර දීම. 

2. අතිරික්ත රජයේ සේවකයින් පූණුවකින් පසුව යොදවාගෙන සාදන කමිටු මඟින් අහඹු ලෙස තෝරාගන්නා ලාභීන් ප්‍රමාණයකගේ සැබෑ වත්කම් සහ ආදායම් විගණනය කිරීම.

3. සාවද්‍ය දත්ත ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන හසු වන අයට එසේ සාවාද්‍ය ලෙස ලබා ගත් ප්‍රතිලාභ මෙන් දෙගුණයක හෝ තුන්ගුණයක දඩයක් නියම කිරීම. එය ගෙවිය නොහැකිනම් වත්කම් ප්‍රමාණයක් රජයට පවරාගෙන විකිණිමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම. එසේ සාවද්‍ය ලෙස ප්‍රතිලාභ ලබා ගන්නා අය පිලිබඳව ඔවුන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව තොරතුරු දෙන අයට එම දඩයෙන් 1/3 (එනම් ව්‍යාජ ලෙස ලබා ගත් මුදලට සමාන ප්‍රමාණයක්) ත්‍යාගයක් ලෙස ගෙවීම. එලෙස විගණනය කරන බව සහ විගණනයන්ගෙන් අසුවූ අයට දුන් දඬුවම් සහ දඩයන් ගැන පුළුල් ප්‍රචාරයන් ලබා දීම.

මීට අමතරව 'අස්වැසුම ප්ලස්' යන නමින් මෙවන් ක්‍රමයක් හඳුන්වා දීම හොඳ යැයි මම හිතනවා.

1. මසකට රුපියල් 10,000 ක් හෝ 15,000 ක් පරිත්‍යාග කල හැකි සහ දුප්පත් පවුලක් වෙනුවෙන් මසකට පැය කිහිපයක් ගත කල හැකි අයගෙන් අයදුම් පත් කැඳවා තෝරාගැනීම. මෙලෙස අනුග්‍රාහකත්ව ලබාදීමට සඳහා කුඩා හා විශාල පෞද්ගලික ආයතන, සමිති සමාගම්, විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ආදිය උනන්දු කිරීම. සමහර ධනවතුන් හෝ විශාල සමාගම් දුප්පත් පවුල් කිහිපයකටම අනුග්‍රහය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇත.

2. විශේෂයෙන් තෝරාගන්න දුප්පත්ම පවුලක් බැගින් එම අයදුම්කරුවන්ට අනුයුක්ත කිරීම. එම අනුග්‍රාහකින් මසකට ගෙවිය යුතු මුදල අස්වැසුම ගිණුමකට ලබා ගෙන අදාල දුප්පත් පවුලේ ගිණුමට බැර කිරීම.

Monday, July 25, 2022

බස් ගමනාගමනය ප්‍රතිව්‍යුහගත කිරීම.

රජයේ සහ පෞද්ගලික බස් රථ

අද පවතින බස් ගමනාගමන ක්‍රමයේ විශාල ගැටළු කිහිපයක් ඇත. එනම් සමහර මාර්ගවල විශාල පුද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනය වන විට සමහර මාර්ග වල අඩුප්‍රමාණයක් ධාවනය වීම. රජයේ සහ පුද්ගලික බස් අතර සහ පුද්ගලික බස් දෙකක් අතර තරඟය. අධිවේගයෙන් ධාවනය කිරීම, පුහුණුව නොලත් රියැදුරන්, සහ කාලයකට පෙර නිර්ණය කරන ලද ධාවන මාර්ග, පුද්ගලික බසයක් කාර්මික දෝශයකට ලක්වුණොත් ඇතිවන සංකූලතා ආදියයි. 

මේ සඳහා විසඳුම නම් බස් ධාවනය සහ බස් අයිතිය වෙන්  කිරීමයි. එනම් රටේ හෝ පළාතක බස් ප්‍රවාහණ පහසුකම් සැපයීම රජයේ ආයතනයකට පැවරීමයි. බස් හිමියන් එනම් පුද්ගලික බස් හිමියන් සහ ගමනාගමන මණ්ඩලය එම ආයතනයට බස් කුලියට දීමක් කරනු ලබයි. අයිති කරුවන් බස් රථය සහ රියැදුරා මෙම ආයතනයට සපයනු ලබන අතර, දෛනික දීමනාවක් සහ ධාවනය වන දුර මත පදනම් වූ ගෙවීමක් බස් හිමියන්ට ලැබේ. බස් හිමියන්ට අසාධාරණයක් නොවන ලෙස පරිගණක පද්ධතියක් මඟින් ඊලඟ දිවීම සඳහා බස් තෝරාගත හැක, එසේම බස් වල සවිකරන ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් ධාවනය වන වේගය ආදිය ලබා දී ඇති කාල වලට සිදුවන බවට තහවුරු කල හැක. එවිට වැඩිපුර ධාවනය ලබා ගැනීමට වේගයෙන් ධාවනය කිරීමට නොහැකිවේ. එමෙන්ම එම ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් නැවතුමේ සිටින අයට බස් රථය කොතරම් දුරකින් පවතින්නේ ද යන්න බලා ගත හැකිවනු ඇත, ප්‍රවාහණය මෙහෙයවන්නේ එක ආයතනයක් බැවින් එකම රීලෝඩ් කල හැකි ඉලෙක්ට්‍රොනික් පාස් එකක් හරහා මහජනයාට ඕනෑම රථයක ගමන් කල හැකි වනු ඇත. 

බස් රථ ලබාගන්නේ ප්‍රවාහන ආයතනය විසින් බැවින් විටින් විට රෝද වල තත්ත්වය සහ කාර්මික තත්ත්වය පරීක්ෂා කිරීමටත් රියැදුරන්ගේ බලපත් සහ පුහුණුව පරීක්ෂාකර අනුමත කිරීමට ඔවුන්ට හැකිය.   

මේ ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් ඉල්ලුම අනුව බස් රථ එකම දිනයකදිත් විවිධ මාර්ග වල ධාවනයට යෙදීමට ප්‍රවාහන අධිකාරියට හැකිවේ. දැනට ගමනා ගමන මණ්ඩලය අනුයුක්ත කර ඇති ආකාරයට හෝ රූට් පර්මිට් අනුව මිස බස් ධාවනය කල නොහැක. ඉල්ලුම පාලනය කිරීමට මහජනයා වෙත ඇප් එකක් ලබාදී එයින් ඔවුන් බස් නැවතුමට එන වේලාව සහ ගමනාන්තය   ලබා ගත හැකිවේ. එම දත්ත යොදාගෙන පරිගණකය මඟින් ඊලඟට පැමිණෙන බස් රථය සහ එහි ඇති ඉන්ධන ප්‍රමාණය ආදිය සලකා බලා ඉහල ඉල්ලුමක් ඇති මාර්ග සඳහා ඊලඟ ධාවනයට අනුයුක්ත කල හැක.

එමෙන්ම ඒ වෙලාවකට පසුව ධාවනය පාඩු නිසා පුද්ගලික බස් ධාවනය නවත්වන එක වෙනුවට ප්‍රවාහණ අධිකාරියට එම මාර්ග වල පැයකට සැරයක් බසයක් ධාවනය කල හැක. ටික කාලයක් ගතවන විට එම කාලයේ එකතු වූ දත්ත යොදාගෙන පරිගණකට සති කිහිපයකට එහාට ඉල්ලුම පිළිබඳව අනාවැකි (predict) ලබා ගෙන ධාවන කාල සටහන් නිර්ණය කිරීමත් ඒ අනුව ප්‍රවාහණ ආයතනයට ඉල්ලුම අනුව කුලියට ගන්නා බස් රථ සංඛ්‍යාව එහෙ මෙහෙ කිරීමටත් හැකිවනු ඇත.

මෙවන් ක්‍රමයක කාර්යක්ෂමතාවය ඉහල අගයක් ගනු ඇත. එමෙන්ම විශ්වාසය තැබිය හැකි සේවයක් ලැබීම නිසා වැඩි දෙනෙක් බස් ප්‍රවාහණය ලබා ගැනීමට උනන්දු වනු ඇත. අවශ්‍යනම් මෙය බසයෙන් බසින තැන සිට මඟියා යායුතු ස්ථානයට කුඩා වාහන වලින් ප්‍රවාහණය සැපයීම දක්වා වැඩි දියුණු කල හැක.











මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Wednesday, July 20, 2022

අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති සහ ජවිපෙ

අනුර සහ අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති



මගේ උපකල්පනය වැරදිලා කලින් බයි සමාජිකාවක් සමඟ තිබ්බ  ඔට්ටුවකිනුත් මාව පරාද කරලා රනිල් වික්‍රමසිංහ අටවන (ලද ) ජනාධිපති වුණා. රනිල් කියන දේශපාලකයාගේ හැකියාව පෙන්නන්න ඔහුට සම්පූර්ණ ධුර කාලයක් නොව අර්ධ කාලයක් තියෙනවා.

අනුර කුමාර දිසානායක ඔහුගේ කථාවේදී කිව්වා අද පාර්ලිමේන්තුව මහජන මතය නියෝජනය වෙන තැනක් නෙවෙයි කියලා. ඒක එක පැත්තකින් හරි. අද චන්දයක් තිබ්බොත් පොහොට්ටුවට 2020 ලැබිච්ච ආසන ගණන ලැබෙන්නේ නැහැ. එහෙත් අනුර අදහස් කලේ අද ජනමතය පාර්ලිමෙන්තුවේ නියෝජනය වුනානම් ඔහු දිනනවා කියලා නම් ඒක වැරදියි කියලයි මම හිතන්නේ.

එහෙම කියන්න හේතු මේවායි.

2019 ජනාධිපතිවරණයෙදී (පාස්කු ප්‍රහාරයේ වැරැද්ද යොමුවෙද්දිත් සහ එම්සීසී සහ රට පාවාදීම් වැනි චෝදනා තියෙද්දිත්  ) එජාපය ලක්ෂ 55 ක් චන්ද ගත්තා. 2020  චන්දෙ ජවිපෙට  ලබා ගත හැකිවුණේ චන්ද 450,000 ක් පමණයි.1982 ජනාධිපතිවරණෙදි රෝහණ විජේවීර ලබාගත් චන්ද 250,000 සහ එදා සිට වැඩිවී සිටින චන්ද දායකයින්ගේ ප්‍රමාණය ගත්තාම ඒක ඉතාම සුළු වැඩිවීමක්. (2020 සජබෙ සහ එජාපෙ එකතුව ගත්තේ 2019 චන්දෙ ගත්තට වඩා අඩු ප්‍රමාණයක්. ඒකට හේතුව ලෙස මා දකින්නේ එජාපය දෙකඩ වීම නිසා පාක්ෂිකයින් අතර වූ කලකිරීම කියලයි ). ඒත් ඔවුන් තවමත් එජාප/සජබෙ යන දෙක අතර රැඳී සිටින බව සහ ජවිපෙ දෙසට හැරීමට හේතුවක් නැති බව මගේ විස්වාසයයි. අනික රනිල් ජනාධිපති වී ඇති නිසා මහින්ද/මෛත්‍රී මෙන් නොව ධුර කාලයෙන් පසුව ඔහු විශ්‍රාම යනවා. එවිට එජාපෙ සහ සජබෙ එකතුවීමට ඉඩ තියෙනවා.

Tuesday, July 12, 2022

අරගලයෙන් රට පරදියිද?




අරගලයත් ජයග්‍රහණය කරල රාජපක්ෂ පාලනයට විරුද්ධ අය බොහොම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේකේ ප්‍රතිඵලයක් හැටියට විනිවිදභාවයකින් යුක්ත, සාධාරණ මැතිවරණ පවත්වන, නීතිය හැමෝටම සමානව අදාල වෙන රටක් හැදෙනවනම් ඒක ඇත්තටම හොඳයි. ඒ ඇරුනම ආර්ඨික ක්‍රමය වෙනස් වෙන ලෝකෙම ප්‍රතික්ෂේප වුන වාමාංශික ක්‍රමයකට අනුගත වෙන්න අරගලය යොදාගන්න පෙරටුගාමී හෝ ජවිපෙ උත්සාහයක් ගන්නවනම් ඒක නම් රටට සහ මිනිසුන්ට හොඳක් වෙන දෙයක් නෙවෙයි කියලයි මගේ මතය.  

ජූලි 9 අරගලයට සහභාගී වුන හැමෝටම ජවිපෙ ප්‍රමුඛ රජයක් අවශ්‍යයි කියල අනුමාන කරන්න පුළුවන්ද? මැයි 9 සිද්ධියෙන් පස්සේ ගෝටාගම ජවිපෙ සහ පෙරටුගාමී සාමාජිකයින් අත්පත් කරගත්ත කියන එක රහසක් නෙවෙයි. ඒකෙන් වුනේ සහභාගී වෙමින් සිටි ජවිපෙ හෝ වාමාංශික නොවන අය එයින් ඉවත්වීමයි. ඊට පසුව රටේ ගෑස්, කිරිපිටි, ඉන්ධන ආදී ප්‍රශ්ණ තවත් උග්‍රවුනත් ගෝටාගෝගම මැරීයමින් පැවතුනේ. ඒ අතර සති දෙකකට විතර පෙර අන්තරය පෙලපාලියක් පැවැත්වුවා. ඒකෙන් වෙච්ච දෙයකුත් නැහැ. ඊට පසුව තමයි අරගලය නියෝජිතයන් ශ්‍රිලනිප, සජබෙ, 43 සේනාංකය වගේ අය සමඟ සාකච්චා කරල ජූලි 9 සංවිධානය කලේ. විවිධ පක්ෂ නායකයින් සහ පුරවැසි සංවිධාන ජූලි 9 ට සහභාගී වෙන්න මහජනයා උනන්දු කලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශාල ජනතාවක් සහභාගී වීම තමයි එහි සාර්ථකත්වයට එකම හේතුව. එහෙම ප්‍රයත්නයකින් ප්‍රධාන අරමුණ මුදුන්පත් කරගෙන ඊට පස්සේ ඒක රට වාමාංශික පැත්තට ගෙනියන්න හෝ පෙරටුගාමී හෝ ජවිපෙ පෙනී සිටින අදහස් ක්‍රියාත්මක කරන්න යොදා ගන්නවානම් ඒක විශා  රැවටීමක්.

Wednesday, May 17, 2017

යහපාලන ආර්ථික දර්ශණය


(2018 මැයි 8 ලංකාදීප) “අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.
ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.

Tuesday, May 16, 2017

රට නගන මඟ 1 - උසස් අධ්‍යාපනය සහ සිසුණය ක්‍රමය


දියුණු රටවල් වල මෙන් ලෝක පිලිගැනීමක් ඇති ගුවන් යානා හෝ මෝටර් රථ නිශ්පාදනය කිරීමට අපට නොහැකි වී ඇත. තේ සහ ඇඟළුම් හැරුණු විට චීනය වැනි නිශ්පාදන පිරිවැය අඩු රටවල් කරන අපනයනයන් අපට නිශ්පාදනය කිරීමට නොහැකි වී ඇත. අපට තවම තෙල් සොයා ගැනීමට නොහැකිවී ඇත. එහෙත් සිසුන් විශාල ප්‍රමාණයකට තාක්ෂණික විෂයයන් කියා දීමට හැකි උගතුන් අපට සිටියත් එක සාක්ෂාත් කරගැනීමට හැකිවෙලත් නැහැ . ඒ සඳහා අවශ්‍ය වන්නේ  සියළු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීමට ක්‍රමයක්, අදාල ගොඩනැඟිලි, සුදුසුකම් වලට සහතිකයක් ලබා දීමට බලය ඇති විශ්ව විද්‍යාල වැනි ආයතන පමණයි. මේ සඳහා කළ යුත්තේ උසස් අධ්‍යාපන නියාමන කොමිසමක් හරහා විශාල පිළිගත් පෞද්ගලික ආයතන වලින් ආයෝජන ලබා ගෙන එක දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එකක් හෝ වන සේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමයි. කාලයක් යනවිට මාලදිවයින වැනි ලඟ පාත රටවල සිසුන්ටත් උසස් අධ්‍යාපනය සපයන කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත්වනු ඇත. අළුතින් බිහිවන විශ්ව විද්‍යාල වලට ජාත්‍යන්තර පිළිගැනීම් ලැබීමෙන් අන් රටවල් වල අයද අධ්‍යාපනය සඳහා පැමිණීමෙන් අද අධ්‍යාපනය දීමට අපෙන්  මුදල් ලබා ගන්නා චීනය, බංග්ලාදේශය , බෙලරුස් මෙන් අපද අන් රටවලින් මුදල් සොයා ගන්නා රටක් බවට පත්වනු ඇත