Sunday, November 9, 2025

විශ්මයජනක අයවැය

රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා



කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.

ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.

ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි. 

රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.

1. රට තුල උසස් අධ්‍යාපන අවස්ථා හෝ ආයතන මදි කමින් ඇතිවී ඇති ප්‍රශ්ණ. එනම් තාක්ෂණික උගතුන් රට තුල බිහිවීම සීමා සහිත බැවින් තාක්ෂණික ශ්‍රමය අවශ්‍ය වන අයෝජන රටට නොපැමිණීම. එම අවස්ථා නොමැති කමින් ත්‍රිරෝධ රථ ව්‍යාපාර සහ මැද පෙරදිග රැකියා වල නාස්තිවන තරුණ ජීවිත.

2. ඉහත හේතුව නිසාම වසරක් පාසා උසස් අධ්‍යාපනය සඳහා රටින් පිටවන ඩොලර් බිලියනයට අධික විදේශ විනිමය ප්‍රමාණය සහ බංග්ලදේශය වැනි කලින් නොදියුණු රටවලුත් උසස් අධ්‍යාපනට විදේශ සිසුන් ගෙන්වාගෙන විදේශ විනිමය ඉපයීම මෙහි ඇති කිරීමට  නොහැකිවීම. 

3. ඉහත ප්‍රශ්ණය නිසාම මුදල් ඇති අයගේ දරුවන් උසස් අධ්‍යාපන ලබා ගැනීම සහ දුප්පතුන්ගේ ඊලඟ පරම්පරාවත් දුප්පත් වීම. බොහෝ රටවල මෙන් අධ්‍යාපන ආයතන සහ පවුලේ ආදායම අනුව ලබා දිය හැකි සිසුණය ක්‍රමයක් යෝජනා කල හැකිව තිබුණා.

4. රජයේ වියදම් වසරින් වසර වැඩිවීම සහ රජයේ වියදම් අඩුකිරීමට සැලසුමක් හෝ අවශ්‍යතාවයක් නොමැතිකම.

5. රටේ ඇති යටිතල පහසුකම් වල අඩුපාඩුකම් නැතිකිරීමට ඒ අංශ දේශීය හා විදේශීය පුද්ගලික අයෝජනය ලබා ගැනීමට සැලසුම් නොමැතිවීම. කලින් රජයයන් මෙන්ම බොහෝ විට කොමිස් ලබා ගැනීමට සියළුම යටිතල ආයෝජන රජය මඟින්ම කිරීමට උත්සාහ කිරීම. උදාහරණයකට ලංගම බස් ගැනීමට රජයේ මුදල් වෙන්කිරීම. බස් වල අයෝජන පුද්ගලික අංශයට භාර දිය හැකි අතර, ලංගමට බස් අවශ්‍ය නම් ඔවුන්ට ඒවා ලීසින් ක්‍රමයට ලබා ගත හැක. ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන්කිරීම විහිළුවකි.

6. රජයෙන් සපයන සේවාවන් වලට සාධාරණ මුදලක් ඒව පාවිච්චි කරන අයගෙන් අයකර නොගෙන සියළුම මහජනයා වෙත බදු හෝ ණය බර පැටවීම. අධිවේගී මාර්ගවල මෙන්ම අනිකුත් මාර්ග වලටත් පාවිච්චි කිරීමේ ගාස්තු අයකිරීම (user pay) හෝ උසස් අධ්‍යාපනයට යන මුදල්වලින් කොටසක් හෝ උපාධිධාරීන් රැකියා ලබා ගත් පසු පොලී රහිතව වැටුපෙන්  කොටස් වශයෙන් අයකර ගැනීම වැනි ණය සහ බදු නොවන ක්‍රම වලින් රජයේ වියදම් පියවා ගැනීමට උත්සාහ නොකිරීම.

7. රජයේ මිලදී ගැනීම් සහ කොන්ත්‍රාත් සඳහා පරිගණකගත ක්‍රමයක් මඟින් කිරීමට නොසිතීම සහ එයින් ඇතිකල හැකි පාරදෘශ්‍ය බව සහ මහජනයාට දත්ත ලබා ගැනීමට පහසු කිරීම මඟින් සොරකම සහ කොමිස් අඩු කිරීමට සහ රජය මඟින් පාරිභෝජනය කරන වියදම් අඩුකර ගැනීමට උත්සාහ නොකිරීම.

මෙවැනි තව බොහෝ දේවල් 'උගතුන්' ගෙන් සමන්විත 'සිස්ටම් චේන්ජ්' එකෙක් සඳහා යැයි කියමින් පත්වුන රජයකට සිතා බලා මේ අයවැයෙන් රට වෙනම මාවතකට යොමු කරන්න තිබුණා. ආදායම් බදු ඉහල යාමට එක හේතුවක් වන්නේ රනිල් ගේ රජයෙන් හඳුන්වා දුන් වයස 18 වැඩි අයට බදු ලිපිගොණුවක් අනිවාර්‍ය කිරීම වැනි දේවල් නිසයි. ක්‍රමයේ දුර්වලතා හදුනා ගැනීමට මෙන්ම සමහර දෙනෙක් නොකැමති එවැනි වෙනස්කම් කිරීමට ප්‍රශ්ණය වටහා ගැනීමේ හැකියාව, පිළිතුරු සම්පාදනය කිරීමේ හැකියාව සහ වෙනස් කම් කිරීමට ශක්තිය තිබිය යුතුයි.  

එසේ නැතුව පරණ අකෘතියට අළුත් ඉල්ලකම් යොදා පැය හතරක් කියවීමෙන් හෝ අනුන්ගේ වැඩවලට ක්‍රෙඩිට් ලබා ගැනීමට බොරු කියවීමෙන් ඒක විශ්මයජනක අයවැයක් වෙන්නේ නැහැ.





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

No comments:

Post a Comment