Wednesday, July 20, 2022

අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති සහ ජවිපෙ

අනුර සහ අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති



මගේ උපකල්පනය වැරදිලා කලින් බයි සමාජිකාවක් සමඟ තිබ්බ  ඔට්ටුවකිනුත් මාව පරාද කරලා රනිල් වික්‍රමසිංහ අටවන (ලද ) ජනාධිපති වුණා. රනිල් කියන දේශපාලකයාගේ හැකියාව පෙන්නන්න ඔහුට සම්පූර්ණ ධුර කාලයක් නොව අර්ධ කාලයක් තියෙනවා.

අනුර කුමාර දිසානායක ඔහුගේ කථාවේදී කිව්වා අද පාර්ලිමේන්තුව මහජන මතය නියෝජනය වෙන තැනක් නෙවෙයි කියලා. ඒක එක පැත්තකින් හරි. අද චන්දයක් තිබ්බොත් පොහොට්ටුවට 2020 ලැබිච්ච ආසන ගණන ලැබෙන්නේ නැහැ. එහෙත් අනුර අදහස් කලේ අද ජනමතය පාර්ලිමෙන්තුවේ නියෝජනය වුනානම් ඔහු දිනනවා කියලා නම් ඒක වැරදියි කියලයි මම හිතන්නේ.

එහෙම කියන්න හේතු මේවායි.

2019 ජනාධිපතිවරණයෙදී (පාස්කු ප්‍රහාරයේ වැරැද්ද යොමුවෙද්දිත් සහ එම්සීසී සහ රට පාවාදීම් වැනි චෝදනා තියෙද්දිත්  ) එජාපය ලක්ෂ 55 ක් චන්ද ගත්තා. 2020  චන්දෙ ජවිපෙට  ලබා ගත හැකිවුණේ චන්ද 450,000 ක් පමණයි.1982 ජනාධිපතිවරණෙදි රෝහණ විජේවීර ලබාගත් චන්ද 250,000 සහ එදා සිට වැඩිවී සිටින චන්ද දායකයින්ගේ ප්‍රමාණය ගත්තාම ඒක ඉතාම සුළු වැඩිවීමක්. (2020 සජබෙ සහ එජාපෙ එකතුව ගත්තේ 2019 චන්දෙ ගත්තට වඩා අඩු ප්‍රමාණයක්. ඒකට හේතුව ලෙස මා දකින්නේ එජාපය දෙකඩ වීම නිසා පාක්ෂිකයින් අතර වූ කලකිරීම කියලයි ). ඒත් ඔවුන් තවමත් එජාප/සජබෙ යන දෙක අතර රැඳී සිටින බව සහ ජවිපෙ දෙසට හැරීමට හේතුවක් නැති බව මගේ විස්වාසයයි. අනික රනිල් ජනාධිපති වී ඇති නිසා මහින්ද/මෛත්‍රී මෙන් නොව ධුර කාලයෙන් පසුව ඔහු විශ්‍රාම යනවා. එවිට එජාපෙ සහ සජබෙ එකතුවීමට ඉඩ තියෙනවා.

අනුර කථාවෙන් සහ රනිල් පත් වුනාම ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ අන්තරේ වසන්ත මුදලිගේ ගේ කථාව යන දෙකෙන්ම  පිළිඹිබු වෙන්නේ ඔවුන් අරගලයට ලැබුණ සහය ජවිපෙට ලැබුණ සහයක් ලෙස සිතා සිටින බවයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න. මැයි 9 ගෝඨාගෝගමට පහරදීම නිසා අරගලයේ පිරිස ඉතා වැඩි විය යුතුව තිබුණා. එහෙත් රනිල් අගමැති වුණාම පිරිස විශාල ලෙස අඩුවුණා. ඊට සති දෙකකට පසුව අන්තරේ පාගමනක් සංවිධානය කර තිබුණා. ඒ ගැන ලයිව් ප්‍රචාරයක් දුන් සටහන් රේඩියෝ වල තරිඳු උඩුවගෙදර අපේ බ්ලොග්කරුවා කීවේ ප්‍රවාහණ අපහසුතා නිසා සෙනඟ අඩුවෙන් පැමිණි බවක්. ඒත් එම පෙලපාලියෙන් සිදුවූ දෙයක් නැහැ. ඉන්පසුව තමයි ඔවුන් අනික් පක්ෂ එක්ක එලිපිටම සාකච්චා පවත්වලා ජූලි 9 සංවිධානය කලේ. එම නිසා ජූලි 9 සහභාගී වුන පිරිස සියල්ලම ගෝටාභයට විරුද්ධ වුණත් ජවිපෙට පක්ෂයි කියල හිතන්න පුළුවන්ද? ඒකට හේතුව එජාපයේ, සජබේ අයත් ගෝටාභයට විරුද්ධ නිසා සහ ඔවුනුත් ජූලි 9 ට සහභාගී වූ නිසා. එමනිසා ජවිපෙ ඉන්නේ අධි තක්සේරුවක කියලයි මට හිතෙන්නේ.

එවිට ජවිපෙට සජබෙ පරද්දන්න 2020 ගත්තා වගේ චන්ද දොලොස් ගුණයක් ගන්න වෙනවා.මෙය වෙන්න නම් ජවිපෙ වාමාංශික මතවාදයෙන් ඉවත්වී center- left මතවාදයකට ඉක්මනින්ම අනුගත වියයුතු වෙනවා. 2016 මම ලියපු ජවිපෙට අනාගතයක් ලිපියේ ඡේද මම මෙතන උපුටා දක්වනවා. 


උපුටා ගැනීම

.... මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි.  1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත්  බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා  ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා.  යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. එමෙන්ම මහින්දට පින්සිද්ධ වෙන්න දෙකට කැඩෙන ශ්‍රී ලංකා පාක්ෂිකයන්ටත් ඒ ඒ නායකයින්ගෙන් පසුව කාලයේ එය හොඳ විකල්පයක් වෙන්නට පුළුවන්.

 අවුරුදු 50 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්.  උණුත් හොරු මුණුත් හොරු එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති  පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රතිපත්තීන්ට  කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් ඉදිරි අවුරුදු 5-10 තුල බලයට ඉතා ආසන්න වීම හෝ ලබා ගැනීම නම් වලක්වන්න බැහැ.

උපුටා ගැනීම අවසන්. 

ඉඩ තිබෙනවා නම් ඉහත ලින්ක් එක හරහා මුළු ලිපියම කියවන්න ආරාධනා කරනවා

මේ අදහස ෆේස්බුක් එකේ දකින් ජවිපෙට සහයෝගය දක්වන අයට කියන්න උත්සාහ කලත් ඔවුන් හැසිරෙන්නේ ඉතාම ආක්‍රමණශීලී ලෙසයි. අන් මතයක් ඉන්න අය කියන කරුණු ගැන සලකල බලන්න ඔවුන් විවෘත නැහැ. ඔවුන් කරන්නේ මතය ප්‍රකාශ කරන අයට පහරදීමයි. ඔවුන්ට බලය ඒම අවශ්‍යනම් එම 'ත්‍රස්තවාදී' ගතිගුණ වෙනස් කරගෙන ඒම නම් 1971, 1988 මතක ඇති අයව හරවගන්න කල යුතුම වෙනසක්.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

16 comments:

  1. අපේ අදහස් හැමවිටම පෑහෙන්නේ නැති වුනත්, ඔබ සක්‍රීයව ලියන එක ගැන සතුටුයි.

    සහෝදරවරුන්ගේ අධිතක්සේරුව ගැන අජිතුත් ලියල තිබ්බා. ටීවී ස්ටේෂන් ඇල්ලීම සහ උඞ්ගු හැසිරීම, පාර්ලිමේන්තුව අල්ලන්න උසිගැන්වීම( සහ ඒ FB පෝස්ට් පසුව මකා දැමීම). අවංකම සහ විනිවිදභාවය කියල දෙයක්, ඔවුන් ලඟ නෑ කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයත් කියන්නකෝ, බස්සා

      Delete
    2. නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත. "If something seems too good to be true, it probably is" කියන එක තමයි, මුල් කාලෙ දැක්ක ලස්සන අරගලය ගැන කියන්න තියෙන්නෙ. අපි එච්චර සාධාරණ, විනයගරුක, අවංක සහ පරාර්ථකාමී සමාජයක් නෙමෙයි. ස්කැන්ඩිනේවියානු/ස්වීඩන් දේශපාලනයක් අපේ රටේ ඇති නොවෙන්නෙ ඒකයි. මූදු මංකොල්ලකාරයොන්ගෙ රටක, නායකයා වෙන්නෙ ඕනෙ රටේ හොර දෙටුවෙක්.

      Delete
    3. ඔව්. අරගලය පටන්ගත්තේ ගෝඨාට විරුද්ධව, සහ පසුව මයිනාට විරුද්ධව. ඒ කාලයේ ජවිපෙට ඒක නායකත්වයක් නැති අරමුණක් නැති අරගලයක්. මැයි 9 පහරදීමෙන් අරගලයේ අගය ඔවුන් තේරුම් අරගෙන එය හයිජැක් කරලා. අද ගෝටා ගෝ විතරක් මදි. අනුර කම් වෙන්නත් ඕන.

      රටේ අද නායකයා සොරදෙටුවෙක් නොවන බව මගේ මතයයි.

      Delete
    4. අනෙක් අයත් එක්ක ගත්තාම "සොරදෙටුවෙක්" කියන එක ටිකක් සැර වැඩියිද මන්දා. ඒත් රනිල්ගෙ කිල්ලෝටෙත් හුණු කිලෝ ගාණක් තියනවා. අවසානෙට, පරණ සිංදුවම තමයි, අලුත් තනුවකට වාදනය වෙන්නෙ. ණයට ගත්ත "ආතල්" ඉවරයි, රට ඔහේ වැලේ-වැල් නැතුව ඇදිලා යාවි. ටික කාලයක් යනකොට, මිනිසුන්ට ඒක හුරු වේවි. පුළුවන් අය "රට" යාවි, බැරි අය බොට්ටුවෙන් යාවි. එච්චරයි.

      Delete
    5. හ්ම්.. දිනේෂ් නේද අගමැති? ඔව්, ඉතිං රනිල් ආවෙ පොහොට්ටු චන්දෙන් නිසා, හොරු රකින්න කමිට්මන්ට් එකක් තියනවානෙ? දෙකට, තුනට නැවි, නැවි
      ව්‍යායාම කරාවි. මිනිස්සුන්ට වේල් දෙකක් කෑමේ ගුණ කියාවි. අරගල අරීවි ඇරිල්ලක්, ඇරියද කියලත් නොදැනෙන්න. යහපාලණ කාලෙ වගේ, අවසානෙ මහින්දලට එන්න පාර සුද්ද කරල දේවි.අවුලක් නෑනේ? වැලේ වැල් නැතුව හිටියෙ, දැන් ජනාධිපති, පැන්ෂන් ගත්තාමත් වේල් තුනම කතෑකි.

      Delete
    6. බස්සා. දිනේශ් අගමැති වීම නම් කිසිම වැඩක් නැහැ. ඒක ගැන එකඟයි. රනිල් කවදාවත් බලතල සහිත රාජ්‍යනායකයා වෙලා නැහැ. එක්කෝ චන්ද්‍රිකා යටතේ අගමැති, හෝ මෛත්‍රී යටතේ. එක්කෙනෙක් රජය පවරගත්තා සහ අනෙකා කකුලෙන් ඇද්දා. අද ඉන්නේ අමාරුම අවස්ථාවක. එලියට එන විදිහ මටනම් හිතාගන්න බැහැ. පොහොට්ටු චන්දෙන් පච්වෙච්ච එක අවාසියි. ඔහුට ඕන ඇමති මණ්ඩලයක් පත් කරගන්න බැහැ. අනික අනික් ජනපතිවරුන්ට වගේ නැතුව අවුරුදු 2 යි තියෙන්නේ. ඒ අවාසි ඔක්කොම එක්ක රට මෙතනින් ගොඩ දාන බව නම් මට විශ්වාසයි. හැබැයි ගෝටා එන්න ඉස්සෙල්ල තිබ්බ තත්ත්වෙටම ගැනීම ගැන නම් බලාපොරොත්තු තියා ගන්න බැහැ. එකක් දන්නවා. ඒනම් කිසිම වැඩක් නොකර ඔහේ සිටි චන්ඩ්‍රිකා, මල්ලිලට සහ ළමයින්ට දුවන්න දීල ඔහේ සිටි මහින්ද, රනිල් කරන දේවල් වල ක්‍රෙඩිට් එක ගැනීම හැර කිසිවක් නොකල මෛත්‍රී, සහ කිසිම දෙයක් කරන්න මොලයක් නැති ගෝඨාභට වඩා විශාල දෙයක් ඔහු කරයි.

      Delete
    7. ඉහත කරුණුත් එක්ක එකඟයි.
      ඒත් රනිල්ට කවදාවත් ආර්ථික සැලැස්මක් තිබ්බෙ නෑ, අදටත් නෑ. වැල යන අතට මැස්ස ගහන, එදාවේල-ටුවර්ස් තමයි , සැලස්ම. ඒත් ලොකු ඊගෝ එකක් නං තියනවා(ගෝටාටත් තිබ්බා). මම නරුම(Cynic) බකමූණා, මගේ නං බලාපොරොත්තු අවමයි.

      Delete
  2. ජවිපෙට සහයෝගය දක්වන අය අන් මතයක් ඉන්න අය කියන කරුණු ගැන සලකල බලන්න ඔවුන් විවෘත නැහැ// ekagayi.......Agreed.

    ReplyDelete
  3. මං හුඟක් ලිව්ව මේකෙ
    https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_21.html?sc=1658375650552#c2661478158313758045
    මාස ගාණකට ඇති

    ReplyDelete
    Replies
    1. //මාස ගාණකට ඇති//
      වැටක් උඩ හිටිය, විය සිදුඅරකින් අහස බලපු කණ කැස්බෑවෙක් "ආයෙ අහලා?" කියල කිව්වලු.😂

      Delete
    2. කැස්බෑවො ගොඩ ආවාම ලිස්සල තමයි යන්නෙ

      Delete
    3. වැටක් උඩ හිටිය, විය සිදුඅරකින් අහස බලපු කණ කැස්බෑවෙක් "ආයෙ අහලා?" කියල කිව්වලු.😂
      කණ කැස්බෑවන් ඉන්නේ මුහුදේ :))))

      Delete
    4. ජවිපෙට ඔය කතාව අපි හැමෝම වගේ කීව . කියමින් සිටිනවා. වැඩක් නැහැ ඉතින්. වසන්ත මුදලිගේ පෙරටුගාමී එකේ. දෙගොල්ල විරුද්ධයි එකිනෙකාට

      Delete
    5. බල අරගලය සහ බල තණ්හාව. ඒ එක්කම එන අධිතක්සේරුව සහ ඊගෝ එක. දැක්ක නේද "සන්නද්ධ කාඩර්වරු" දලා තිබ්බ කෙමෙන්ට්ස්. ජෙප්පො කලේ, FB එකෙන් උසිගන්නලා, පස්සෙ ඒ පෝස්ට් මකපු එකයි.

      Delete