Friday, February 6, 2026

කෘතිම බුද්ධිය 2




මීට කලින් පෝස්ට් එක  මම ලිව්වෙ AI-AGI-ASI හරහා වෙන විප්ලවය පිටින් දකින කෙනෙක් විදිහට. ඒකට කමෙන්ට් එකක් දාන මහත්මයෙක් හෝ මහත්මියක් ඒක ඇතුලෙන් අත්දැකල ලියපු එකක් තමයි මේ පලකරන්නේ. එතුම නිර්නාමිකව කමෙන්ට් කරල තියෙන්නේ. කියවල බලන්න.



ඇත්තටම ඉයන් මම මේ අවුරුදු තිහක මගේ ජීවිත අත්දැකීම් සහ දශකයක් පමණ වන වෘත්තීය ජීවිතේ දැකපු තාක්ෂණික වෙනස්කම් එක්ක බලද්දී, මේ AI විප්ලවය කියන්නේ නිකම්ම රැල්ලක් නෙවෙයි; ඒක මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවන බරපතලම තාක්ෂණික පිම්ම.

තොරතුරු තාක්ෂණය මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය ගත්තාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අංශ වල අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනයක් අරගෙන, කෝඩ් ලයින් ලක්ෂ ගාණක් ලියලා, සිස්ටම් දහස් ගණක් එක්ක ඔට්ටු වෙලා ගෙවුණු අවුරුදු ගණනාවක් දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ, අපි අද ඉන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක කියලා. ඇත්තටම පරිගණක විද්‍යාව කියන එක දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා ඉවරයි.

අපි ඉස්සර මෘදුකාංගයක් හදනවා කියන්නේ හරියට ගෙයක් ගඩොලින් ගඩොල තියලා හදනවා වගේ වැඩක්. අපි පරිගණකයට හැම දේම අතින් කටින් අල්ලලා කියලා දෙන්න ඕන වුණා. උදාහරණයක් විදියට 'A අකුර ගැහුවොත් මේක වෙන්න, B අකුර ගැහුවොත් අරක වෙන්න' කියලා අපි තමයි නීති හැදුවේ. මේකට අපි කියන්නේ 'Rule-based Programming' කියලා. හැබැයි මීට දශකයකට විතර කලින් ආපු මැෂින් ලර්නින් (Machine Learning) ආවට පස්සේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි පරිගණකයට නීති උගන්නන්නේ නෑ; අපි උගන්නන්නේ දත්ත හරහා ඉගෙන ගන්න විදිය. හරියට පොඩි ළමයෙක්ට ලෝකේ ගැන කියලා දෙනවා වගේ. අපි දත්ත කන්දරාවක් මැෂින් එකට දීලා කියනවා, 'මේ දත්ත ඇතුලේ තියෙන රටාව (Pattern) උඹම හොයාගනින්' කියලා. එතකොට ඒ මැෂින් එක ගණිතමය සමීකරණ සහ ආටිෆීෂල් ස්නායු ජාල (Neural Networks) පාවිච්චි කරලා, මනුස්සයෙක්ට කවදාවත් දකින්න බැරි සියුම් රටා හඳුනාගෙන තීරණ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරලවම මැෂින් ලර්නින් කියන්නේ.

එතකොට කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ මේ මැෂින් ලර්නින් වල ප්‍රතිඵලය. ඒක නිකම්ම ගණන් හදන කැල්කියුලේටරයක් නෙවෙයි. මීට වසර පහකට විතර පෙර ආපු AI එකක් කියන්නේ පරිසරයෙන් දත්ත අරගෙන, ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඊට අනුරූපව බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධතියක්. උදාහරණයකට ගත්තොත්, සාම්ප්‍රදායික මෘදුකාංගයකට පුළුවන් රෝග ලක්ෂණ ටිකක් දැම්මම පොතේ තියෙන විදියට ලෙඩේ නම කියන්න. හැබැයි දියුණු AI එකකට පුළුවන් එක්ස්රේ (X-ray) දහස් ගණනක් බලලා, විශේෂඥ දොස්තර කෙනෙක්ටවත් පේන්නේ නැති පිළිකා සෛලයක මුල් අවස්ථාව හඳුනාගන්න. ඒක තමයි මේකේ තියෙන සැබෑ බලය.

දැන් අපි කතා කරමු මේ පෝස්ට් එකේ ලොකුම මාතෘකාව වෙලා තියෙන AGI (Artificial General Intelligence) ගැන. අද අපි දකින ChatGPT, Self-driving cars වගේ දේවල් තාම අයිති වෙන්නේ 'Narrow AI' නැත්නම් පටු බුද්ධියට. ඒ කියන්නේ ඒවා පුහුණු කරලා තියෙන්නේ එක වැඩක් හෝ වැඩ කිහිපයක් කරන්න විතරයි. හැබැයි AGI කියන්නේ මනුෂ්‍ය මොළයට සමාන හෝ ඊට එහා ගිය බුද්ධියක්. AGI මට්ටමේ සිස්ටම් එකකට පුළුවන් වෙන්න ඕන තමන් කලින් නොදන්නා අලුත්ම ගැටලුවක් ආවම, තමන්ගේ පරණ දැනුම පාවිච්චි කරලා, තර්ක කරලා (Reasoning), අලුත් විසඳුමක් හොයාගන්න. සරලවම කිව්වොත්, මනුෂ්‍යයෙක් වගේම 'හිතන්න' පුළුවන් මට්ටම තමයි AGI කියන්නේ. අපි තාම 100%ක් එතනට ඇවිල්ලා නැහැ, හැබැයි අපි එතනට යන වේගය හිතාගන්න බැරි තරම් භයානකයි සහ විස්මිතයි.

මෙතනදි අපි මගේ වෘත්තීය ක්ෂේත්‍රය වෙන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) ඇතුලේ මේක දැන් ලොකු පිපිරීමක් කරමින් යන්නේ. ඉස්සර මම දවස් ගාණක් දුක් විඳලා ලියපු සංකීර්ණ ඇල්ගොරිතම (Algorithms), අද AI එකකට තත්පර ගාණකින් ලියන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මනුස්සයා 'කෝඩර්' (Coder) කෙනෙක් කියන තැනින් මිදිලා 'නිර්මාණකරුවෙක්' (Architect) කියන තැනට පත් වෙන එක. මෘදුකාංග ඉංජිනේරුවාගේ රස්සාව දැන් කෝඩ් ලියන එක නෙවෙයි, AI එක ලවා හරියට කෝඩ් එක ලියාගන්න උපදෙස් දෙන එක සහ ඒකේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන එක බවට පත් වෙලා.

හැබැයි ඉයන්, දැනට මේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් සහ ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙක් විදියට මම දකින ලොකුම අභියෝගය තමයි මේ තාක්ෂණයේ තියෙන 'නොපෙනෙන පැත්ත' (Black Box nature). සමහර වෙලාවට AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක ඒක හදපු ඉංජිනේරුවාටවත් පැහැදිලි කරන්න බැරි අවස්ථා එනවා. අන්න එතනදී තමයි මේකේ සදාචාරාත්මක සහ ආරක්ෂක ගැටලු මතු වෙන්නේ.

කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ AI විප්ලවය නවත්වන්න කාටවත් බැහැ. වසර 30ක ජීවන අත්දැකීම් එක්ක මම කියන්නේ, අපි මේ තාක්ෂණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණොත්, අපිට පුළුවන් මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම ප්‍රශ්න වෙන ලෙඩ රෝග, දේශගුණික විපර්යාස, නවීන තාක්ෂණය ආර්ථිකය කළමණාකරණය වගේ නොයෙක් දේවල්වලට විසඳුම් හොයන්න. හැබැයි අපි මේක පාලනයකින් තොරව අතහැරියොත්, ඒකේ ප්‍රතිවිපාකත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, February 1, 2026

කෘතිම සාමාන්‍ය බුද්ධිය Artifical General Intelligence නිසා සමාජයේ මොනවගේ වෙනස් කම් වෙයිද?





කෘතිම බුද්ධිය (Artificial intelligence) ගැන වෙනත් රටවල බොහෝ සාකච්චා තිබුණත් තවම ලංකාවේ ඒ ගැන සංවාදයක් දැක්කේ නැහැ. 

ඇත්තටම තව අවුරුදු 10 ඉකින් නැත්නම් 20 කින් කෘතිම බුද්ධිය නිසා සමාජයේ මොනවගේ වෙනස් කම් වෙයිද? කෘතිම බුද්ධිය අද පවතින මට්ටමේ තිබ්බොත් ජීවිතය ගොඩක් පහසුවෙයි. අද අවශ්‍ය කරන වාර්ථාවක් වගේ එකක් ලියන එක විනාඩි ගාණක වැඩක්. දැන් අවුරුදු පහකට පෙර ඒක පැය ගාණක වැඩක්. ඒ අතින් කෘතිම බුද්ධිය ජීවිතය හිතපු නැති විදිහට පහසු කරල තියෙනවා.

ඒ වුනාට අද කෙරෙන පරීක්ෂණ අනුව නම් ඒක එතනින් නවතින පාටක් නැහැ. මේ සංවර්ධනයේ ඊලඟ කඩඉම කෘතිම සාමාන්‍ය බුද්ධියයි (Artifical General Intelligence). AGI වල නිර්වචනය සමාන්‍ය පුද්ගලයෙකුට කල හැකි ඕනැම බුද්ධිමය කාර්යයක් තේරුම් ගැනීමට, ඉගෙන ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකි පරිගණක පද්ධති කියන එකයි. මේ මට්ටමේ දී සාමාන්‍ය මිනිසෙකු කරන ඕනෑම කාර්යයක් කිරීමට එයට හැකිවෙනවා. ඒ කියන්නේ සේවා යෝජකයින්ට AI Agent (Agentic AI) කෙනෙක්  හයර් කිරීමෙන් මිනිසුන් විසින් අද රැකියා ලෙස කරන කාර්යයන් කරගත හැකි වෙනවා.

ඔබ සේවකයින්ගේ සේවා ලබාගන්නා සේවායෝජකයෙක් නම් සාමාන්‍ය මිනිසෙකුගේ වේගය මෙන් කිහිප ගුණයක් වැඩියෙන් වැඩකල හැකි, පැය 24 ම සේවයකල හැකි, නිවාඩු අවශ්‍ය නොවන, වර්ජන නොකරන කෙනෙක්ගේ සේවය ලැබෙනවා නම් තවදුරටත් මිනිසුන් සේවයට ගන්නවාද? සමහර අයගේ අදහස අනුව Agentic AI කෙනෙකුට කල නොහැකි කාර්යයක් නොමැති තරම්. දොස්තර වරුන් ගේ සිට බොහෝ රැකියාවල් තව අවුරුදු කිහිපයකින් නැතිවෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. අදටත් මෘදුකාංග ඉංජිනේරු රැකියා විශාල ලෙස නැතිවෙනවා.

සමහර අය හිතනවා රැකියා නොමැති ප්‍රමාණය සමාජයේ විශාල ප්‍රතිශතයක් වුනොත් රජයයන් විසින් හැමෝටම දීමනාවක් (Universal Basic Income) ගෙවන තත්ත්වයට සමාජය වෙනස් වෙයි කියලා. මේ ගැන මගේ හිතේ පැන නැගුන ප්‍රශ්ණ මේ වගේ.

1. ලංකාව වගේ රටකට එහෙම හැමෝටම ආදායමක් දෙන්න (අස්වැසුම වගේ) රජයට ආදායම් ලැබෙන්නේ කොහොමද? හැමෝටම එකම ආදායමක ලබනකොට සමාජයේ ඉහලම තර වල අයට හැර අනික් අයට භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලුම් කරන්න බැහැ. එතකොට වාහන වලට ගහන බදු, අනෙක් භාණ්ඩ සහ සේවා වලට ගන බදු රජය නැතිවෙනවා. ආදායම් බදු විශාල ලෙස අඩුවෙනවා. එහෙම තත්ත්වෙක ජනගහණයෙක් 70-80% කට මාසික දීමනා දෙන්න රජයකට පුලුවන්ද?

2. අද විවිධ ක්ශෙත්‍ර වල උසස් අධ්‍යාපනය ලබන සහ පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් අනාගතයේ කරන්නේ මොනවාද?රැකියාවක් සොයාගෙන, ගෙයක් හදාගෙන, විවාහයක් කරගෙන දරුවන් හදන දාමයේ රැකියාවක් නොමැති වුනාම ඒ දාමය නවතිනවා නේද? ඒ කියන්නේ ගෙදරට නාකි වෙන පරම්පරාවන් ඇතිවෙයිද? මවිපියන් ගෙදරටම වෙලා ඉන්නකොට දරුවන් හැදීම තව වැඩි වෙයිද? 

3. තමන්ගේ ආහාර තමන්ම වවාගෙන මුදල් සම්බන්ධ නොවී ආහාර සහ වෙනත් දේවල් හුවමාරු කරගන්නා ආර්ථිකයක් නැවත එයිද? ඒවගේම මුදල් තියෙන ඉහල ස්ථර වල ඉන්න අයට බොහොම සුළු මුදලකට අන් අයගෙන් බැලමෙහෙවර කරගන්නා කාලයක් එයිද?

4. අනාගතයේ මෙවන් කාලයක් එනවානම් අද තියෙන මුදල් අයෝජනය කරන්නේ මොනවාගේද? අද කොටස වෙලඳපොලේ අයෝජනය කරන කෙනෙක් නම් කොටස් වෙලඳපොලේ තියෙන සමාගම් වලින් කීයක් කුඩා අදායම් ඇති අයට භාණ්ඩ සේවා සපයන ආයතනද? සුපෝඛභෝගී භාණ්ඩ නිශ්පාදනය කරන සමාගම් වැසී යයිද? එවන් කාලයක බැංකුවේ මුදල් තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් වෙයිද? එහෙම නැත්නම් ගෙවල් දොරාවල් හදන එක හොඳද? කෘශිකාර්මික ඉඩම් තබා ගැනීම හොඳද? 

මොනව වුනත් ලෝකයේ සමහර ප්‍රශ්ණ වලට නම් මේකෙන් පිලිතුරු ලැබෙනවා. ඒ තමයි මෑත කාලයේ ගොඩක් කථා වුන කාලගුණික ප්‍රශ්ණය ඒවගේම සම්පත් අධිපාරිභෝජනය වගේ ප්‍රශ්ණ නම් ඉබේම විසඳෙයි.

ඒක ගොඩක් විස්තර ලිවිය හැකි විශාල මාතෘකාවක්. එහෙම ලියන්න මට මේ ගැන ගැඹුරු දැනීමක් වත් එහෙම ලියන්න ඉවසීමකුත් නැකැ. මේ සාරාංශය ඒ ගැන විස්තර ඔබම හොයාගෙන ඒ ගැන ඔබගේම අදහසක් ඇතිකර ගැනීමට කෙනෙරන පිටිවහලක් පමණයි.

ඔබ මේ ගැන දැනුවත් නැත්නම් යූටියුබ් මඟින් Articial General Intelligence  ගැන තියෙන සාකච්චා, පොඩ්කාස්ට් එහෙම අහලා ඔබගේ ක්ශෙත්‍රයට සහ පොදුවේ සමාජයට විය හැකි දේවල් ගැන දැනුවත් වෙන්නයි ආරාධනය.

මේ 'දියුණුවේ' ඊලඟ මට්ටම කෘතිම සුපිරි බුද්ධිය (Artifical Super Intelligence) කියල කියනවා. ඒ ගැන කියන දේවල් බොහොම භයානකයි. එම පරිගණක වල පැවැත්ම සඳහා මිනිස් වර්ගයා විනාශ කිරීමට තරම් බුද්ධියක් සහ හැකියාවක් තියෙන මට්ටමක් තමයි ඒ . ඒත් ඒ ගැන දැන ගැනෙම පසුවට තබා Artifcial General Intelligence ගැන වත් දැනුවත් වෙන එක හොඳයි.



   

    









මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Tuesday, December 30, 2025

හිමිකාරිත්වය සහ මෙහෙයුම් වෙන් කිරීම පොදු බස් ප්‍රවාහන පද්ධතිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇත




රට තවමත් සංවර්ධිත රටවල මට්ටමට ළඟා වී නොමැති ක්ෂේත්‍රවලින් එකක් වන්නේ පොදු ප්‍රවාහන පද්ධතියයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එහි ව්‍යුහයේ මූලික දෝෂය සැලසුම්කරුවන් විසින් හඳුනාගෙන නොමැති වීමයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් රථ හිමියන් 10,000ක් සිටින අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) ද පවතී. පුද්ගලික අංශයට අයත් බස් රථ 16,000ක් ඇති අතර, CTB සතු බස් රථ 3,000–4,000ක් පමණ ඇත. CTB සහ පුද්ගලික හිමියන් දෙපාර්ශ්වයම බස් සේවා මෙහෙයවයි.

මෙම ගැටලු සඳහා විසඳුම වන්නේ අයිතිය (ownership) සහ මෙහෙයුම් වගකීම (operation) වෙන් කිරීමයි. එහිදී එක් භූගෝලීය ප්‍රදේශයකට එක් මෙහෙයුම්කරුවෙකු පත් කළ යුතුය. එම මෙහෙයුම්කරුවන් බොහෝ දුරට පළාත් මට්ටමේ ආයතන වනු ඇත. රට පුරා මෙහෙයුම්කරුවන් නවයක් සිටින අතර, එක් එක් පළාත තුළ බස් ප්‍රවාහනයට ඔවුන් වගකිව යුතුය. දසවන මෙහෙයුම්කරුවෙකු අන්තර් පළාත් මාර්ග සඳහා වගකිව යුතුය. මෙම සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන් (මෙහෙයුම්කරුවන්) පළාත් සභා යටතේ ක්‍රියාත්මක විය යුතුය.

උදාහරණයක් ලෙස, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය (හෝ WPC සතු සමාගමක්) බස්නාහිර පළාතේ බස් සේවා සඳහා වගකිව යුතු මෙහෙයුම්කරුවා වේ. මෙම මෙහෙයුම්කරුවා ඉල්ලුම් (demand) කාලවල ගමන් අවශ්‍යතා මත පදනම්ව කාලසටහන් සකස් කරනු ඇති අතර, වහාම ලාභ නොලැබුණද ගමන් වාර ක්‍රියාත්මක වන බව සහතික කරනු ඇත. (උදාහරණයක් ලෙස, 176 මාර්ගයේ උච්ච කාලවල (peak time) මිනිත්තු 5කට වරක්, සාමාන්‍ය කාලවල මිනිත්තු 20කට වරක්, මධ්‍යම රාත්‍රී සිට පෙ.ව. 5 දක්වා මිනිත්තු 40කට වරක් බස් රථ ධාවනය කළ හැක.) ඉල්ලුම අනුව මෙම කාලසටහන් ක්‍රමයෙන් වෙනස් කළ හැක.

Wednesday, November 26, 2025

කාඩ් මඟින් බස් ගාස්තු ගෙවන ක්‍රමය තව ඉදිරියට ගෙනියමු

POS terminal Use



බස් ගාස්තු ගෙවීමට කාඩ් හඳුන්වා දීම තාක්ෂණිකව බොහෝ පිටුපසින් සිටින රටේ ගමනා ගමන ක්ශේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් බව මගේ අදහසයි. මේ සමඟම තවත් පහසු තවත් පියවර කිහිපයක් ගැන සටහනක් තමයි මේ.

මේ ක්‍රමය ඉතාම ලේසියෙන් දුම්රිය සේවයට සහ රථ ත්‍රිරෝද සේවාවලට ව්‍යාප්ත කල හැකියි. 

ඒවගේම කාඩ් පත් භාවිතයෙන් ලැබෙන දත්ත යොදා ගැනීමෙන් ගමනාගමන සේවා සඳහා වන ඉල්ලුම ගැන පහසුවෙන් අධ්‍යනය කිරීමෙන් සේවා දියුණු කිරීමට යොදාගත හැකියි. එමෙන්ම බස් හිමියන්ගේ අදායම තක්සේරු කිරීමට සහ බදු සඳහා ඒ දත්ත යොදාගත හැකියි. එය තව දුරටත් දියුණු කිරීමෙන් පාරිභෝගික ද්වාර (customer portal) ක්‍රමයක් හඳුන්වා දී එමඟින් බස් වල ආසන වෙන්කරවා ගැනීමට, දුමිරිය ටිකට් පත් සහ ආසන කලින් වෙන් කරවාගැනීමට ගැනීමට යොදාගත හැකියි. දුම්රිය ස්ථාන වල පිටවෙන දොරටු වලදී මෙම කාඩ් ක්‍රමයම යොදාගෙන ටිකට් නොමැතිව ගමන් කරන්නන් අඩු කරගැනීමට ක්‍රියා කල හැකියි.

ඒ සමඟම කාඩ් භාවිතය සඳහා බස් වලට ලබාදෙන විකුණුම් පර්යන්තයට (POS terminal) ඇති චිප් එක යොදාගෙන බස් ධාවනය කරන වේගය ගැන විස්තර ලබාගෙන අපරීක්ශාකාරීව රිය පැදවීම් ගැන දත්ත මත එවැනි ධාවන අවස්ථා සියල්ලටම දඩ නියම කිරීම කල හැකියි. මෙමගින් අපරීක්ෂාකාරී ධාවනය පැය විසි හතරෙන් නැති කල හැකියි.  නිතර එසේ ධාවනය කන වාහන වල බලපත්‍ර අහෝසි කිරීමට යොදා ගත හැකියි. අනතුරකදී රථය ධාවනය වූ වේගය වැනි තොරතුරු පොලිසියට ලබා ගත හැකියි. මෙම දත්තම යොදාගෙන බස් නැවතුම් සථාන වල ස්ථාපනය කරන ඩිස්ප්ලේ මඟින් මීලඟ බසය පැමිනීමට ඇති වේලාව ප්‍රදර්ශණය කල හැකියි.  බසය කොයි වේලාවේ පැමිනේවිදැයි ආතතියයකින් පසුවන මඟීන්ට මෙය විශාල මානසික සහනයකි. බොහෝ රටවල් මෙම ක්‍රමය දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ. 

මෙම ක්‍රමය ගැන තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය මෙන්ම ඩිජිටල් අමාත්‍යාංශයත් වැඩි උනන්දුවක් දැක්වුවහොත් තව වෙනත් කාර්‍යයන් සඳහා මේ ප්‍රවේශය යොදාගත හැකිවනු ඇත.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 16, 2025

ඉල් (ill) මහ විරුවන්

පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා



පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන්  මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.

එහි දැමූ මගේ කමෙන්ට් එක 

Sunday, November 9, 2025

විශ්මයජනක අයවැය

රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා



කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.

ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.

ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි. 

රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.

Friday, November 7, 2025

ජනාධිපතිතුමා රටට කර ඇති සේවය




අද අය වැය කථාවෙදී මුදල් ඇමති සහ ජනාධිපති තුමා කියා සිටියා බංකොලොත් රටක් ගොඩ ගැනීමට අඩුම වශයෙන් වසර 10 ක් ගත වෙන බවත් එහෙත් ඔහුට එය මාස දොලහකින් කල හැකි වූ බවත්. මේ අදහස ගැන ෆේස්බුක් එකේ කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනා. ඒවායින්  කීප දෙනෙක්ම කියා තිබුනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ දියුණුවට විශාල වැඩ කොටසක් කර ඇති බවත්, එයින් රට බංකොලොත් බාවයෙන් මුදා ගැනීම ගැන පමණක් සඳහන් කිරීම ඔහුගේ නිහතමානිත්වය පිලිඹිබු කරන බවත්ය. ඔවුන් එම පෝස්ට් වල දක්වා ඇති පරිදි ගරු අනුර කුමාර ජනාධිපති තුමා රටට කර ඇති කාර්‍යභාර්ය අඩංගු ලැයිස්තුව මෙහෙමලු.


1) ලංකාවට නිදහස ලබා දුන්නේ මෙතුමා.
2) විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙත් මෙතුමා
3) නිදහස් අධ්‍යාපනය ලබා දුන්නේත් මෙතුමා
4) නිදහස් සෞඛ්‍ය සේවා ලබා දුන්නේත් මෙතුමා
5) වෘත්තීය කාර්මික විද්‍යාල හඳුන්වා දුන්නේ මෙතුමා.
6) අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩිකර දුන්නේ මෙතුමා.
7) පිරිවෙන අධ්‍යාපනය ක්‍රමය හඳුන්වා දුන්නේ මෙතුමා.
😎 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කිරීම මේතුමා.
9) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කරේ මෙතුමා.
10) කොළඹ සහ මත්තල වරාය නිර්මාණය කිරීම මේතුමා.
11). සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිර්මාණය කළේ මෙතුමා.
12) මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන නිර්මාණය කෙරෙ මෙතුමා.
13) STF ( පොලිස් විශේෂ බලකාය) නිර්මාණය කළේත් මෙතුමා.
14) විවෘත විශ්වවිද්‍යාලය නිර්මාණය කළේත් මෙතුමා.
15) මහවැලි ව්‍යාපාරය නිර්මාණය කිරීම මෙතුමා .
16) ගල්ඔය ව්‍යාපාරය නිර්මාණය කළෙත් මෙතුමා.
17) වික්ටෝරියා / මහවැලි/ රන්දෙණිගල/ රන්ටැඹේ/ උඩවලව/වෙහෙරගල/ මොරගහකන්ද/ සේනානායක සමුද්‍රය/ වැනි මහා ජලාශ ව්‍යාපෘති නිර්මාණය කරේ මෙතුමා.
18) 30 අවුරුදු කිරුළු යුද්ධය නිමා කෙරෙත් මෙතුමා.
19) අධිවේග නිර්මාණ මෙතුමාගේමයි.
20) ත්‍රිපිටකය ලෝක උරුමයක් කෙරේ මෙතුමා.
21) සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් කෙරේ මෙතුමා.
22). 1818 ජාතික නිදහස් සටනේ අපගේ මුතුන් මිත්තන් ජාතික වීරයන් වශයෙන් ගැසට් පත්‍රයකින් නම් කෙරේ මෙතුමා.

Saturday, November 1, 2025

පක්ෂ වාසි නොතකා මත්ද්‍රව්‍ය භාවිතය අඩුකරමු





රටින් මත්ද්‍රව්‍ය නැති කිරීමට අළුත් වැඩ පිළිවෙලක් ගැන අසන්නට ලැබෙයි. බොහෝ රටවල මෙන්ම වැඩි කථාවක් යොමුවන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සහ බෙදා හරින්නන් ගැනය. වසර කීපයකට පෙර පිලිපීනයේ ගෙන්වන්නන් සහ පාවිච්චි කරන්නන් ඝාතනය කිරීමෙන් මෙම උවදුර නැති කිරීමට උත්සාහයක් ගන්න ලදී. එමෙන්ම සෑම දියුණු නොදියුණු රටකම මෙම උවදුර නැතිකිරීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම භාවිතා කරමින් පැවතුනත් ඒ කිසිම රටක එම උවදුර  සාර්ථක ලෙස පාලනය වීමක් දකින්නට නොලැබෙයි.

මගේ අදහස නම් මෙම උවදුර දීර්ඝ කාලීනව නැතිකිරීමට සාර්ථක ක්‍රමයක් තවමත් කිසිම රටක ක්‍රියාත්මක වී නොමැති බවය. බොහෝ රටවල මෙන් ලංකාවේද අද කථා කරන ක්‍රමයේ පාලක පක්ශයට ලකුණු දමා ගැනීම හැර විශාල වශයෙන් භාවිතය අඩු කිරීමක් ගැන උපායමාර්ගීක අධ්‍යයනයක් නැති බව මගේ හැඟීමයි.

එය පාලනය කිරීමට අවංක උවමනාවක් ඇත්නම් අවධානය යොමු කලයුතු වන්නේ සමාජයේ කොටස් දෙකක් එරෙහිය.

වඩාත් වැදගත් කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත නොකරන එහෙත් අනාගතයේ ඒවාට ගොදුරු විය හැකි අය වෙතයි. වයස 12-15 කාලයේ පාසැල් තුලදීම ඒ පිලිබඳව දැනුම ලබා දීම ඉතා පහසුවෙන් කල හැක. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනීම සහ දක්ශතා කිසිවක්ම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වීම එක ක්‍රමයකි. අනික නම සිසුන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය වලට පෙලඹීමට වැඩි ඉඩක් ඇති ඉගෙනීමට නොහැකියාව ඇති ලමුන්, දෙමව්පියන් ගෙන් අවශ්‍ය ආදරය නොලැබෙන ලමුන්, මානසික රෝග ලක්ෂණ පෙන්වන ලමුන් හදුනාගෙන සහ ඔවුන්ට අවශ්‍ය චිකිත්සාවන් ලබා දීමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය වලට පමණක් නොව අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවම කරගත හැක.

Thursday, April 10, 2025

ට්‍රම්ප් රිවර්ස් වුනේ ඇයි?

ඇමෙරිකාව පැනවූ තීරු බදු දින 90 කට අත්හිටුවා තියෙනවා. ඒ වුනාට ඉතා දැඩි ස්ථාවරයක සිටි ට්‍රම්ප් ගේ හදිස්සි වෙනස් වීම නම් පුදුමයි. සමහර අය කියනවා ඒ වෙනස්  වීමට හේතුව බැඳුම්කර වෙලඳ පොල කඩා වැටීමක් නිසා කියල. තීරුබදු වැඩි කල ගමන්ම ඇමෙරිකානු කොටස් වෙලඳ පොල කඩා වැටුනා. සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොලින් මුදල් ඉවත් වෙනවිට බැඳුම්කර වලට ඇති ඉල්ලුම වැඩි වෙන බවත්, එහෙත් මේ අවස්ථාවේදී එහෙම නොවී බැඳුම්කර ඉල්ලුම විශාල ලෙස අඩුවී ගෙන ගිය බවයි ඔවුන් කියා තිබුනේ. එහෙම ඉල්ලුම විශාල ලෙස අඩු වුනානම් ඒ රටේ අදායම් සහ වියදම් අතර හිඟය පියවා ගන්නට භාන්ඩාගාරය අලුතින් නිකුත් කරන්න නියමිත බැඳුම්කර නොවිකිණී මුදල් සොයා ගැනීම අපහසු වීම ගැන ට්‍රම්ප්ව දැනුවත් කල පසු ඔහු අඩියක් පස්සට ගත්තා කියල යමෙක් කියා තිබුණා. ඒක ඇත්තනම් මගේ නම් අනුමානය ඒ තීරුබදු දින 90 කින් නැවත එන එකක් නැහැ කියලයි.

මේ තීරුබදු දැමීමේ අරමුණ ලෙස ට්‍රම්ප් කියා තිබුණේ ඇමෙරිකාවේ අඩු තීරුබදු නිසා අනික් රටවල් ඇමෙරිකාවට අපනයනය කර උපයා ගන්නා අදායම් අනික් රටවල් ඇමෙරිකානු භාණ්ඩ ආනයන කරන ප්‍රමාණයට වඩා අඩු නිසා කියලයි. මගේ පෞද්ගලික මතය නම් ඇමෙරිකානු සමාජය නාස්තිකාර පරිභෝජනයක් කරන නිසා ඔවුන්ගේ ආනයන වැඩියි කියලයි.

Thursday, April 3, 2025

ට්‍රම්ප් ගේ තීරු බදු ගැන ඉරේෂාන් සිරිවර්ධනගේ අදහස්

මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.
එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්.
ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.
ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.
ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්.
ට්‍රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.
ජනපති ට්‍රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.

Wednesday, November 27, 2024

රුපියල් 5,000 නෝට්ටු අවලංගු කිරීමට නව පාලනය ක්‍රියා කලයුතුයි



හොරකම් නැවැත්වීම සහ නීති විරෝධී වෙනත් කටයුතු තුරන් කිරීම නව පාලනයේ ප්‍රධාන පරමාර්ථයක් බව පුන පුනා කියනු අසන්නට ලැබෙයි. ඒවා වචන වලට සීමා නොකර ප්‍රායෝගිකව කල හැකි එක් ආකාරයක් තිබේ. එනම් රු 5,000 නෝට්ටු අවලංගු කොට නව නෝට්ටු නිකුත් කිරීමයි. 2015 පත් වූ යහපාලන රයට මෙය කරන ලෙස සමහර අය උපදෙස් දුන්නද එය ක්‍රියාත්මක නොවිනි. එයට හේතුව ලෙස මා දකින්නේ එවකට ඇමති දුර දැරූ කිහිපදෙනෙක් සතුවද බදු නෙගෙවූ මුදල් තිබූ නිසා ලෙසයි.

නව පාලනය එසේ මුදල් පොට්ටනි ගසා නැති බව ඔප්පු කිරීමටත් මෙය හොඳ අවස්ථාවකි. එනෙම්න්ම දේශපාලනයේ සිටි සහ එසේ නොමැතිව අත යට මුදල් සොයන්නන් සහ නීති විරෝධී කර්මාන්ත වලින් මුදල් සොයන්නන් බොහෝ විට එම මුදල් නෝට්ටු වලින් ගොඩ ගසා ගෙන සිටිනවා විය හැකිය.සමහර අයනම් ඒවා විදේශ මුදල් වලට හරවාගෙන හවාලා ක්‍රමයෙන් පිට කරත්, බොහෝ දෙනෙක් නෝට්ටු ලෙස ගබඩා කරගෙන සිටින බව මගේ මතයයි.

සාමාන්‍යයෙන් එලෙස මුදල් නෝට්ටු අවලංගු කරන්නේ නව නෝට්ටු මුද්‍රණය කර සූදානම් කරගත් පසුවයි. එය බොහෝ විට ලීක් වීමට ඉඩ ඇති නිසා මගේ අදහස නම් රු 5,000 නෝට්ටු අවලංගු කර ඒවා වෙනුවට බැංකු මඟින් රු 1,000 නෝට්ටු ලබා දීමයි. අවලංගු කිරීම නිවේදනය කල පසුව නව රු 5,000 නෝට්ටු මුද්‍රණය කල හැක.

මීට කලින් ලංකාවේ රු 100 සහ රු 50 (එවකට විශාලතම වටිනාකම තිබූ නෝට්ටු ) අවලංගු කිරීමක් 1970 ගණන් වල මුදල් ඇමති එන් එම් පෙරේරා විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙවන් අවස්ථාවල විශාල ලෙස මුදල් හංගා ගෙන සිටින අය කරන්නේ අන් පුද්ගලයින් විශාල පිරිසක් හරහා එම මුදල් එක්වරකට සුළු ප්‍රමාණ වලින් බැංකු වලින් මාරු කර එම අයගේ ශ්‍රමයට ගෙවීමයි. එය තරමක් හෝ අඩුකර ගැනීමට ඉන්ධන බෙදා හැරීමට උපයෝගී කරගත් QR කෝඩ් ක්‍රමය යොදාගත හැකිය. එක් අයකුට ලබා දෙන කෝඩ් එකකට රුපියල් 10,000 ක් පමණක් මාරු කර ගැනීමට සීමා කල හැක. 

නිසියාකාරව බදු ගෙවන පුද්ගලයින් සහ සමාගම් ගනු දෙනු කරන්නේ චෙක් පත් හෝ ඔන්ලයින් ක්‍රමයටය. එම නිසා එම කාර්‍යයන්ට මෙසේ අවලංගු කිරීමෙන් කරදරයක් නොවේ. එමෙන්ම රජයේ විශ්‍රාම වැටුප් සහ වෙනත් සහනාධාර ගෙවීම් බැංකු ගිණුම් හරහා සිදුවන බව මගේ මතයයි. ඔවුන් සඳහා මුදල් මාරු කරගැනීම මසක ගෙවීමේ ප්‍රමාණයට සීමා කල හැක.

මෙමඟින් මහජනයාට අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවට සැකයක් නැත. එහෙත් එසේ කිරීමට හේතුව මහජනයාට පැහැදිලි කලහොත් එමඟින් සිදුවිය හැකි ආණ්ඩුව පිලිබඳ අප්‍රසාදය අඩු කර ගත හැකි වනු ඇත. එමෙන්ම ආර්ථීකය තාවකාලික සංකෝචනය වීමක්ද මෙමඟින් සිදුවිය හැක.

නව පාලනය මෙය වහාම නොකරන්නේ නම් එයින් පෙනෙන්නේ ඔවුන් සමහරක් ලඟත් එවන් ප්‍රකාශ නොකරන ලද මුදල් තිබෙන බවයි.





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Friday, September 20, 2024

ඉන්ටවල් ඉවරයි

අපායේ ඉන්ටවල් එක ඉවර වීමට නියමිතයි.

Thursday, July 18, 2024

දෙවෙනි මනාපෙ දිනයිද?

Anura, Ranil & Sajith



ජනමත සමීක්ෂණ (opnion polls) ලංකාවේ එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඇමෙරිකාවේ සහ අනික් රටවල නම් මේවා දවස ගානේ වගේ වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ප්‍රසිද්ධ වෙනවා. Institute for Health Policy විසින් පවත්වන ලද එවන් ජන මත විචාරණයක් අනුව අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් චන්ද බෙදී යන්නේ පහත දැක්වෙන ප්‍රතිශත අනුව.

අනුර කුමාර දිසානායක 39%
සජිත් ප්‍රේමදාස             38%
රනිල් වික්‍රමසිංහ          15%
පොහොට්ටුව                7%

මෙසේ චන්ද බෙදී ගිහින් කිසිම කෙනෙක් 50% කට වඩා චන්ද ලබා නොගතහොත් බොහෝ රටවල දෙවෙනි වටයක් පවත්වනවා. එහිදී වැඩිම චන්ද ගන්න දෙදෙනා අතර තරඟයක්. ලංකාවේ බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකක් අතර තිබුණු තරඟය නිසා එවැනි දෙවන වටයක් ගැන නීතියේ නැහැ. ලංකාවේ තියෙන්නේ දෙවෙනි මනාපය දිය හැකි ක්‍රමයක්. මම හිතන්නේ මෙතෙක් පැවති ජනාධිපති චන්ද වලදී දෙවෙනි මනාපය ගණන් කිරීමක් සිදුවුණේ නැහැ. නමුත් තුන් කොන් සටනක් ලෙස පෙනී යන මෙවර ජනාධිපතිවරණයේදී මේ දෙවන මනාපය තීරණාත්මක සාධකයක් වෙන්න ඉඩ තියෙනවා.

ජනාධිපතිවරණයේදී ඉහත ජනමත සමීක්ෂණය අනුව චන්ද වැටීමක් සිදුවුවහොත්  වැඩි දෙනෙක් දෙවන මනාපය දෙන කෙනා ජනාධිපති වෙන්න පුළුවන්.

මෙම දෙවන මනාප ගණන කිරීමේ ක්‍රමය මට පැහැදිලි නැහැ. එක් කෙනෙක් මට කිව්ව හැටියට වැඩිම චන්ද ගත් දෙදෙනාට අනික් අයගෙන් දෙවන මනාප වැටිච්ච ඒවා උඩ දෙදෙනාට එකතු කිරීමෙන් තමයි ඒක වෙන්නේ කියලා. එහෙම නම් මගේ උපකල්පනය මේකයි. 

අනුර කුමාර දිසානායකට චන්දය දෙන අය වෙනම කට්ටියක් නිසා ඔවුන් වෙන කාටවත් දෙවෙනි මනාප දෙන එකක් නැහැ. ඒ එක්කම ඔහුගේ පක්ෂය අනික් පක්ෂ වල චන්ද දායකයන් අතර එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා ඔවුන්ට අන් අයගෙන් දෙවෙනි මනාප ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සහ සජිත්ට  හෝ පොහොට්ටුවට චන්දෙ දෙන අය අනුරට දෙවෙනි මනාපයක් දීමේ අවස්ථාව අඩුයි කියලයි මගේ උපකල්පනය. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සජිත්ට දෙවෙනි මනාපයක් දුන්නොත් බොහෝ විට සජිත් මෙයින් ජයග්‍රහණය කරන්න පුලුවන්.

ඒ ක්‍රමයට නැතුව හැමෝගෙම දෙවෙනි මනාප අපේක්ෂකයාට කෙලින්ම ලැබුණු චන්ද වලට එකතු කරනවනම්, රනිල්ට පොහොට්ටූවේ සහ සජබේ දෙවෙනි මනාප ලැබී ජයග්‍රහණය කරන්න පුළුවන්. හරියටම දෙවෙනි මනාප ගණන් කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.

කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයෙක් මේ දෙවෙනි මානප දීම ප්‍රවර්ධනය කරන එකක් නැහැ. එම නිසා තුන්වන පාර්ශව වලින් මෙවර මැතිවරණයේ දී දෙවන මනාපයේ වැදගත්කම ගැන චන්ද දායකයින් දැනුවත් කිරීමක් වෙයි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Saturday, January 6, 2024

18 ට වැඩි අයට බදු අංක (TIN) අනිවාර්‍ය කිරීම හෙලා දකිමු




අවුරුදු 18 ට වැඩි සියළු දෙනාටම Taxpayer Identification Number (TIN) අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ගැන චෝදනා කරන කථා සහ පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.බොහෝ විට දැක්කේ නොමඟ යැවීම්. බදු කියන්නේ වයස මත පදනම් වන දෙයක් නෙවෙයි. TIN අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ඔවුන්ට බදු ගෙවීම අනිවාර්‍යය කිරීමක් නොවේ. එසේ TIN අංකයක් ලබා ගන්නාවුන් බදු ගෙවීමකට යටත් වන්නේ ඔවුන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවූවොත් පමණමයි.

එහෙත් බැංකු ගිණුමක් විවෘත කිරීමකදී හෝ ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමකදී TIN අංකය ලබා දීම අනිවාර්‍යය වෙනවා. එලෙස එම අංකය ලබා ගත්තත් එම මිලදී ගැනීම කර ඇත්තේ බදු ගෙවූ අදායමකින් ලබා ගත් මුදලකින්ද ආදිය සොයා බැලීමට ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවෙනවා. 

තව ටික දිනකින් අදට විවෘතව ඇති බැංකු ගිණුම් වලටත් අයිති කරුවන්ගේ TIN අංකය ලබා දෙන ලෙසත් ඉල්ලාවි. වාහනවලට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී අංකය අනිවාර්‍යය වන බැවින් සියළුම වාහන හිමිකරුවන්ගේ වාහන අංකයක් සමඟ සම්බන්ධ කරාවි. ඉඩම් වල හිමි කරුවන්ටත් එසේ අංක ලබාදෙන ලෙස ඉල්ලීමට ඉඩ තියෙනවා. රජයේ අස්වැසුම/සමුර්ධි සහනාධාර ලබන අයගෙ අංකත් ලබාගෙන ඒවා බැංකු ශේශය සහ ඉඩම් අයිතිය වගේ එක්ක සැසඳුවම සහනාධාර හොරුත් අහුවෙයි. එසේ  වූවිට බදු පැහැර හරින /  සහනාධාර හොරාකන කෙනෙකුට කල හැකිවන්නේ එම මුදල් ගෙදර තියාගෙන වාහන සහ ඉඩම් හැර අන් දේවල් අත්පිට මුදලට පමණක් ලබා ගැනීමයි. 

ඊට පසු 1973 පමණ ලංකාවේ සහ 2015 ඉන්දියාවේ සිදුවුනාක් මෙන් අද භාවිතයේ ඇති නෝට්ටු අවලංගු කර නව නෝට්ටු වලට හුව මාරු කරගැනීමට සැලස්වූවොත් හංගගගෙන් සිටි මුදල් වලට වටිනාකමක් නැතිවේවි. ඒත් බය වෙන්න එපා. ගොඩක් හොර දේශපාලකයන්ගේ සල්ලිත් තියෙන්නේ සමහර විට නෝට්ටු වලින්. ඒ නිසා ඒක වෙන එකක් නැහැ. 

මෙම බදු අංක ක්‍රමය බොහෝ දියුණු රටවල තිබෙනවා. ඒ රටවල රැකියාවක් ලබා ගැනීමට, සිසුණයක් ලබා ගැනීමකට, ආදී සියල්ලන්ටම මෙම අංකය අවශ්‍යයි.

ගණනය කිරීම අනුව ලංකාවේ අවුරුදු 18 ට වඩා වයස ජනගහණයෙන් බදු ලිපිගොනුවක් තියෙන්නේ 2.5% ප්‍රමාණයකට. එතකොට ලංකාවේ තිබෙන පුද්ගලික වාහන සහ පුද්ගලික ඉඩම් සහ ගෙවල් අයිතිය ඇති ප්‍රමාණය ඒ 18 ට වැඩි ජනගහණයෙන් 2.5% ක් පමණක් සහ බදු රහිත ආදයම් ලබන හෝ ලැබූ රජයේ සේවකයන්ට  පමණක්ද?

නැහැ. එයින් පෙනෙන්නේ පුද්ගලික අංශයේ ලක්ෂ 12 ට වඩා පඩි ගන්නා අය සහ ව්‍යාපාර කර බදු ගෙවන අය 2.5% ක් හැර වත්කම් අයිති අන් සියළු දෙනාම ඔවුන්ගේ ආදායමට බදු නොගෙවන බව නොවේද? අන් රටවලත් බොහෝ කාලයකට පෙර සිට ක්‍රියාත්මක වෙන මෙම ක්‍රමයෙන් බදු ගෙවිය යුතු එහෙත් පැහැර හරින අය බදු දැලට හසු කරගැනීමෙන් අද වැඩි ප්‍රමාණයක් බදු ගෙවීමට සිදුවී ඇති අයගේ බර අඩුවීම නේද? 

ඒ නිසා එන්න අපි ඔක්කොම මේ 18 ට වැඩි අයට අංක අනිවාර්‍යය කිරීමට විරුද්ධ වෙමු. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, December 17, 2023

කල දෙයින් සතුටුවීම

අන්තවාදීව හිතන / ක්‍රියාකරන සුළුතරයක් හැරුනම බොහෝ දෙනෙක් කැමතියි හොඳ දේවල් කරන්න. වැඩකරන තැන, සමාජයේදී, වගේම පවුල තුලත් හොඳ දෙයක් කරන්න බොහෝ දෙනෙක් සිතනවා සහ උත්සාහ ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හොඳ දෙයක් කලාම අපිට එන සතුටක් නිසාද? බොහෝවිට උත්තරය 'ඔව්' කියන එකයි. ඔබ ගැනම හිතා බලා මීලඟ ප්‍රශ්ණෙට උත්තරය ඔබටම දීගන්න. ඒ සතුට එන්නේ ඔබ හොඳ වැඩක් කල නිසාමද එහෙම නැත්නම් ඔබ කල හොඳ වැඩය ගැන යමෙක් ප්‍රසංශා කලොත්ද? තව විදිහකින් ඇහුවොත් ඔබ සේවය කරන තැන කල හොඳ දේ ගැන කිසිම කෙනෙක් කිසිම අගැයීමක් නොකලොත් ඔබට ඒ ගැන කණගාටුවක් ඇතිවෙනවද? එහෙම කණගාටුවක් ඇතිවෙනව නම් ඔබ සතුටුවෙන්නේ කල හොඳ වැඩේ ගැන නොව ඒ ගැන ලැබෙන අගැයීම් හෝ ප්‍රසංශා ගැන නේද?

මෙහෙම පටන්ගත්තෙ පරණ 2015 පෝස්ට් එකක් ප්‍රතිචක්‍රීකරණය කරන්න ප්‍රවේශයක්

ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. 

Monday, November 27, 2023

මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු

මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය


පොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ  කථාව බෙදාගන්නවා.  වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.

මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා (facilitator) ගැන වීමයි. 

කුඩා කාලයේ එක තැනක ඉඳගෙන පාඩම් කරන ගතියක් මට තිබුණේ නැහැ. පන්තියේ උගන්නන දේ තර්කානුකූලව මතක තිබීමේ ශක්තියක් ඒ කාලේ තිබ්බා. (දැන් නම් ඒක පොඩ්ඩක්වත් නැහැ ). ඒ නිසා මම කිසිම විභාගයකට පාඩම් කලේ නැහැ. ඒත් පන්තියේ විභාගවලින් 2-5 අතර ස්ථාන ගන්න එක මට සුළු දෙයක් වුණා. වත්සලා වගේම මමත් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වුනා. ඒක එතරම් ලොකු දෙයක් නොවෙන්නේ ඒ කාලයේ  5 වසර  ශිෂ්‍යත්ව විභාග ලිව්වේ ටික දෙනෙක් පමණක් වීමයි. ඒත් 7 වසර වන විට ඒක ජනප්‍රිය වෙලා පාසැලෙන් ඒකට පෙනී සිටීම අනිවාර්‍යය වුනා. ඒකෙන් සමත් වෙච්ච අතලොස්ස අතරට යන්න මට පුළුවන් වුනා. (එකල අදියර දෙකකින් පැවැත්වූ  7 වසර ශිෂ්‍යත්ව  විභාගය පසුකාලයක අහෝසි වුනා)

මගේ පාඩම් නොකර විභාග කිරීමේ ගතිය හොඳින් දත් දෙමව්පියන් 9 වසර අවසානයේදී පෙනී සිටීමට සිදුවූ (ඔව් ඒ කාලේ NCGE/HNCE කියල අලුත් ක්‍රමය නිසා එම NCGE විභාගය පැවැත්වූයේ 9 වසර අවසානයේදී ) විභාගයේ විෂයයන් දෙකක් අතර මැද තිබූ නිවාඩු දවසේ ඔවුන්ට සහභාගී වීමට තිබූ ටිකක් දුර ගමනකට මාවත් සහභාගී කරගත්තා. ඒත් ඒ විභාගයෙනුත් හොඳින් සමත් වීම මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. 

Sunday, November 19, 2023

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු

ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට අවසර. 

කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්.  . ඒ උනාට  අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

Monday, November 6, 2023

මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම




අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. 

මේ ගැන මගේ මතය.

පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට  25.00 දක්වා   තියෙන්නේ.

 ඇමෙරිකාවේදී අනුර කරන වැරදි වචන භාවිතය නොවන්නට බොහෝ දෙනෙක් මෙය ඔහුගේම අදහසක් බව විස්වාස කිරීමට ඉඩ තිබිණි. 

මගේ අදහස නම් මොවුනට  රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති  බවයි . මේ ලෝකයේ තව රටවල් 180 ක් පමණ ඇති නිසා අන් රටවලත් රජයෙන් කර්මාන්ත කිරීම, නිශ්පාදනයට අත ගැසීම, වැනි දේවල් කරනවාදැයි දැන ගැනීමට අවස්ථා ඇත. රජයක වගකීම නීති සම්පාදනය පමණක් බවත් රැකියා දීම. පාරවල් හැදීම, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන හැදීම, මිනිරන් පැටවීම රජයක වගකීම නොවන බවත් නොවැටහෙන දේශපාලකයිනුත් ජනතාවකුත් සිටින තෙක් මේ මෝඩ රට පස්සට යාම නැවැත්විය නොහැකිවනු ඇත.   

රජයක වගකීම නිශ්පාදනය නෙවෙයි. නිශ්පාදනය. අගය එකතුකිරීම වැනි දේවල් ගැන ප්‍රතිපත්ති තීරණ අරගෙන පෞද්ගලික අංශයට ඒ දේවල් කිරීමට අවශ්‍ය පසුබිම සහ නීති සම්පාදනය පමණයි. 

මගේ අදහස නම් අනාගත රජයක් විසින් මිනිසුන්ට ඇත්ත කථා කර කල යුතු දේවල් මේවායි.


1. විදේශ විනිමය ඉතුරු කිරීම

(අ ) අද රටෙන් විදේශ විනිමය වියදම් වෙන විදේශ අධ්‍යාපනය වෙනුවට, වසරකට අඩුම වශයෙන් සිසුන් 50,000 ක් ඇතුලත් කරගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල 25 ක් ඇරඹීම. මේ අළුත් විශ්ව විද්‍යාල රටේ ප්‍රමුඛම විශ්ව විද්‍යාල වන කොළඹ, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස අවුරුදු 10 ක කාලයට සම්බන්ධ කලයුතුය. එම පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් පෙනී සිටිය යුත්තේ එසේ අනුබද්ධ කල විශ්ව විද්‍යාලයේ විභාග වලටය. එම සිසුන්ටත් එම ප්‍රධාන විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනැමිය යුතුය. විභාග සඳහා, විද්‍යාගාර පාවිච්චිය උදෙසා, සහ සුපරීක්ෂණය උදෙසා රජයේ විශ්ව විද්‍යාලය මුදල් අය කල යුතුය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා ආචාර්‍ය වරුන්ගේ ප්‍රමිතිය, විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් එකතු කිරීම, අයකරන මුදල්, ආදිය අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය කලයුතුය. මීට අමතරව මෙම විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම බුද්ධි පරීක්ෂණ හරහා කලයුතුය. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිසුණය බැංකුවක් බවට පත්කොට එක්තරා ආදායම් (හෝ වත්කම්) මට්ටමකින් පහල අයට සිසුණය ලබා දිය යුතුය. රැකියාවක් ලැබුණු පසු අද අර්ථසාධක අරමුදලට යවන කොටස සිසුණය ගෙවීමට යොදාගත යුතුය.   

       මේ ක්‍රමයෙන් මුදල් ඇති අය විදේශ අධ්‍යාපනයට යොමු වන එක නතර නොවුනත්, ණය වී විදේශ අධ්‍යාපනයට යන අයටත්, එසේ ණයවී හෝ මුදල් හොයා ගැනීමට නොහැකි අය ත්‍රිරෝද රථ වල සහ ගෘහ සේවිකා රැකියාවලට යන එක වත් අඩු විය හැක. වසර කිහිපයකදී විදේශ සිසුන් ආකර්ශණය කර ගැනීම මඟින් අඩුම වශයෙන් වසරකට ඩොලර් බිලියනයක් වත් රට අද්දා ගැනීමට හැකිවනු ඇත. 

(ආ ) සිංගපූරුවේ මෙන් වසරකට ආනයන කල හැකි වාහන ප්‍රමාණය සීමා කලයුතුය. ඒසඳහා ආනයන බලපත් අන්තර්ජාලය හරහා වෙන්දේසි කලයුතුය. 

(ඇ) රටට ආනයන කරන දේවල් විශ්ලේශණය කර සරුංගල්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වැනි අන්‍යවශ්‍ය ආනයන තහනම් කිරීම.    

Saturday, November 4, 2023

ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි)



ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

මෙම ලිපිය 2016 නොවැම්බර් මස පල කරන ලද ලිපියක් නැවත පළ කිරීමක් බව සලකන්න.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්. 

Saturday, October 28, 2023

ශනිදා දහයට මමත් ලියන හේතුව

කස්ත්‍රෝ දියුණු කල කියුබාව


මීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව. 

ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.

මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට මහත්තය කිව්වම ලියන්න පටන් ගත්තේ එයාව හොඳින් තියා ගන්න එක ශරීර සෞඛ්‍යට හොඳ නිසා. නෑ එය දොස්තර කෙනෙක් නෙවෙයි.ඒ වුනාට හොඳින් තියාගත්තොත් අනාගතයට හොඳ නිසා.

අර කියුබාවේ විප්ලවේ වෙලාවෙ වෙච්ච දේවල් දන්න නිසා තමයි එහෙම කිව්වේ. 1953 දි පටන්ගත්ත විප්ලවය ඉවරවුනේ 1959 ජනවාරි 1. ෆිඩෙල් කස්ත්‍රෝට බලය ගන්න හැකියාව ලැබුණ එක විශේශ හේතුවක් තමයි බැටිස්ටා පාලනයේ තිබ්බ ගසා කෑම්. අද රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්ණෙට, තාක්ෂනික උගතුන් අඩු නිසා තාක්ෂණික අයෝජන නොඑන එකට 1979 ඉඳන් ජවිපෙ ගෙනගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න නොදීම බලපෑවට ඒව හංගගෙන රැස්වීම් 25,000 ක විතර කථා කරන්න සෑහෙන හොරකම් සහ නාස්ති රාජපක්ෂල කරල තියෙනවනෙ. ඉතින් ඕව කිය කිය ඉන්නව ඇර ජවිපෙ බලය අරගෙන රැකියා ඇති කරන විදිහ වත් විදේශ විනිමය හොයන විදිහ වත් ගැන කට හොල්ලන්නෙ නැහැනෙ. 

කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි.  එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය  හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය.  අවුරුදු 73 කට පස්සෙත් රට එතනමයි එහෙ තාම පාවිච්චි කරන්නෙත් 1959 ඉස්සෙල්ල ගෙන්නපු වාහන. ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. ඒ අයට ඕනනම් ජවිපෙ කියන නිෂ්පාදන ආර්ථිකය වගේ කල සීනි හරි වෙන දෙයක් හදල වෙන ඕනම රටකට අරින්න පුලුවන්. කොහොම හරි කස්තෝගෙ නිෂ්පාදන ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු නම් පෝලිමක ගිහිල්ල දෙන දෙයක් කාල ඉන්නව.

ඒ වගේ කස්ත්‍රෝ ආපු ගමන් කරපු එක දෙයක් තමයි ඇමෙරිකානු ආයෝජන ඔක්කොම ජනසතු කරපු එක. එහෙම කරල කියනව ඇමෙරිකානු සමාගම් වලට කියුබාව එක්ක ගනු දෙනු කරන්න බැරිවෙන්න සම්බාධක දාපු එක නිසාලු ඒගොල්ලො එක තැන.

 ජවිපෙ ඇවිල්ලත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩම් වල වවන්න කොලඹ ඉන්න විප්ලවේට විරුද්ධ අය තමයි යවනව කියන්නෙ. ජවිපෙ බලයට ආවම ඒ ගොල්ලන්ගෙ බොරු ගැනම පෝස්ට් ලියන එකෙක් විදිහට මාවත් ගාල් කඳවුරකට Concentration camp) අරිනවම තමයි.

ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මට තට්ට මහත්තයාගේ සපෝට් එකක් ඕන වෙන්නේ. යාළු කමට ගාල් කඳවුරෙන් පැනගන්න උදව්වක් නොකර ඉන්න එක නැහැ. 

ඒ නිසා හැම සෙනසුරාදම පෝස්ට් එකක් දානව. 






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.