මේ ලිපිය ලියන්නේ මාතලන්ගේ බ්ලොග් එකේ වුන සංවාදයක් පදනම්ව. මෙම ලිපියේ සඳහන් වන ප්‍රතිශත එක්තරා සමීක්ෂණයකින් ලබා ගත්ත ඒවා. මෙම සමීක්ෂණ කල කණ්ඩායම 2015 අගෝස්තු මැතිවරණයේ එජාපයට ආසන 107 ක් ලැබෙන බව කීවා. ඇත්තටම ආසන 107 ලැබුණා. කොහොම වුණත් මට එම පාර්ශවය නම් කරන්න බැහැ. ඒ නිසා බොරුවක් කියල හිතන අය එහෙම හිතාගන්න.
යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. එම නිසා මහින්ද නැවත බලයට එනවා කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් කියනවා යහපාලන ආණ්ඩුව තවමත් ජනප්‍රියයි කියලා. විවිධ හේතු නිසා ආණ්ඩුවේ ජනප්‍රිය භාවය පිරිහිලා තිබෙන බව සත්‍යයක්. ඊට වඩා එක්සත් ජාතික පක්ෂය ගැන තිබූ ජන ප්‍රසාදයේ පිරිහීමක් ඇතිවී තිබෙනවා කිව්වොත් එය වඩා නිවැරදියි. ප්‍රතිඵල අනුව නම් පෙනී යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් යම් ප්‍රමාණයක් මෛත්‍රීට ආකර්ෂණය වීමක්. රනිල්, මහින්ද සහ මෛත්‍රී යන තිදෙනාගෙන් වඩාත්ම ජන ආකර්ෂණය තිබෙන්නේ මෛත්‍රීට. එය 30% කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක්. දෙවෙනි ස්ථානය රනිල්ට ලැබිලා. එය 20% කට මඳක් වැඩි ප්‍රමාණයක්. මෙම ප්‍රමාණය කැපුවත් කොල වර්ගයේ අය විය යුතුයි. වැට් වැඩි කිරීම වැනි රනිල් ප්‍රමුඛ පාර්ශවය ගෙනෙන සමහර ජනප්‍රියතාවයෙන් අඩු යෝජනා මෛත්‍රී විසින් නිශේධනය කිරීම සමහර විට එජාපයෙන් මෛත්‍රී පැත්තට යන්න හේතුවක් වෙන්න පුළුවන්. මම හිතන අනික් හේතුව නම් මෑත කාලයේදී මහින්ද සමඟ සසඳන කල රනිල් ගේ කථිකත්වය විශාල වර්ධනයක් පෙන්නුම් කලත් ඔහුගේ කථිකත්වය හා සසඳන කල මෛත්‍රී ගව් ගණනක් ඉදිරියෙන් වීමයි. එය එසේ වෙතත් සිදුවී ඇත්තේ මෛත්‍රී-රනිල් එකතුව මැතිවරණය පැවැත්වූ කාලයට වඩා තරමක් ඉදිරියට යාම. ඒ අනුව බලන කල යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මොනවා වුණත් මෙම දෙදෙනා එකතුව සිටින තැන පරාද කිරීම අපහසු දෙයක් වෙනවා.