Tuesday, July 26, 2016

මොරගහකන්ද ව්‍යාපෘතියට සුභ පැතුම්

ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.26, පෙ.ව‍‍‍‍‍‍.8.45) 

“මාත් එක්ක තිබ්බ පුද්ගලික ප්‍රශ්නය වෙනම කාරණයක්. නමුත් රජරට ජනතාවගෙන් ඒකට පලිගත්තනම් ඒක වැරදියි“ ජනාධිපති මෛත්‍රී කීවේය.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ ප්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ඊයේ මොරගහකන්දේ දී පැවැත්විණ. 
දීර්ඝ කාලයක් මෙම ප්‍රදේශයට වැසි නොලැබ තිබුනද පිරිත් දේශනා මධ්‍යයේ සුබ හෝරාවේ දී ජනාධිපතිවරයාගේ දෑතින් නිදන් තැන්පත් කරද්දී එම ප්‍රදේශයට පමණක් වැසි ඇද හැලීම කාගේත් පුදුමයට කාරණයක් විය. නමුත් එය පුදුමයකට කාරණාවක් නොවුනේ ජනාධිපතිවරයාගේ කතාව අසද්දීය. එය එතරම්ම ශෝචනීය අතීතයකි. ඔහු මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කෙතරම් සටනක් කර තිබිනිදැයි හෙලිවෙද්දී එවැනි සටනක් ජයගන්නා අවස්ථාවක සොබා දහම වුව ආශිර්වාද කිරීම පුදුමයක් නොවන්නේම ය. 

ජනාධිපති මෛත්‍රී කළ දෛවෝපගත කතාව 
“මම ඉතාමත් සතුටු වෙනවා.රජරට ජනතාව ප්‍රමුඛ උතුරු නැඟෙනහිර ජනතාවට තීරණාත්මකව බලපාන පුළුල් ජාතික සංවර්ධන ව්‍යාපෘතියක සන්ධිස්ථානීය අවස්ථාවකට අද ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව. මම මෙය විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ දෛවෝපගත සිද්ධියක් විදියටයි.
අපේ අතිපූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මත අද අපිට ඉතාමත් සතුටින් මේ කාර්යය කරන්න පුළුවන්කම ලැබුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදය, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය ඉතා උතුම් දෙයක් විදිහටයි අපි සලකන්නේ.
ඔබ දන්නවා අප කුඩාකල සිට අසා තිබුණා මහවැලි ජලය උතුරට ගෙන යාම පිළිබඳ හඬ. 1930 දශකයේ, 40 දශකයේ සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වාමාංශික නායකයෙක් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ සිට එවකට සිටි රාජ්‍ය නායකයන්, දේශපාලන නායකයන්, මහවැලි ජලය උතුරට හැරවීම පිළිබඳව සාකච්ඡා කළා. මේ 30, 40 දශකයේ සිට කතා කරපු මහවැලිය උතුරට හැරවීමේ ව්‍යාපාරය මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ, ගොවි ජනතාව, ආර්ථික විශේෂඥයන් සහ පොදු ජනතාව අතරේ දශක 70ක පමණ කතාවක්. 1958 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා පළමු වරට අමෙරිකන් රජයේ අනුග්‍රහය ලබාගෙන මහවැලිය උතුරට හැරවීම පිළිබඳ පළමු ශක්‍යතා අධ්‍යයනය කර තිබුණා.
1970 ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජය යටතේ 70 පෙබරවාරි මාසයේ 28 වැනිදා එවකට මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සී. පී. සිල්වා මැතිතුමා ඇමැතිවරයා විදියට මේ රටේ පළමුවරට පොල්ගොල්ල අමුණ ඉදිකිරීම සඳහා මුල් ගල් තැබුවා. 70 දේශපාලන පෙරැළියත් සමඟ ඉන් මාස කිහිපයකට පසුව රජරට නායකයෙක් වූ මෛත්‍රීපාල ‍සේනානායක මැතිතුමා මහවැලි භාර ඇමැති ධූරයට පත්වුණා. පොල්ගොල්ල අමුණේ කටයුතු අවසන් කර 1976 ජනවාරි මාසයේ 08 වැනිදා පොල්ගොල්ලෙන් උතුරට මහවැලි ජලය හැරවීමේ පළමු කාර්ය ඉටුකළා. 

1977 ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වීමත් සමඟම එවකට රජයේ සංවර්ධන වැඩසටහන් අතර ප්‍රමුඛ සංවර්ධන කාර්යය ලෙස හඳුන්වා තිබුණේ මේ රටේ යෝධ බහුකාර්ය ව්‍යාපාරය වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. ගාමිණි දිසානායක මහතා මේ යෝධ බහුකාර්ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා. මේ මහවැලි ව්‍යාපාරය පටන් ගත්තා. පංච මහා ජලාශ තුළ විශේෂයෙන්ම එවකට ආණ්ඩුව බලාපොරොත්තු වුණේ ප්‍රමුඛත්වය දුන්නේ මේ රටේ විදුලි බල උත්පාදනය සඳහා. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය විදුලිය උත්පාදනය මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමයේ ප්‍රමුඛ ඉලක්කය බවට පත්වුණා. ඒ වගේම නුවරඑළිය, මහනුවර ප්‍රමුඛව ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරය යටතේ පවුල් එක්ලක්ෂ විසිපන්දාහකට වැඩි ප්‍රමාණයක් අලුතින් පදිංචි වුණා.
ගාමිණි දිසානායක මහතාගේ සිහිනයක් වෙලා තිබුණා මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරයත්. මොරගහකන්ද - කළුගඟ පිළිබඳ පළමු සක්‍යතා අධ්‍යයනය කළේ 1973, 74 මෛත්‍රීපාල සේනානායක අමාත්‍යතුමායි. ගාමිණි දිසානායක ඇමැතිතුමා 1984, 85 කාලයේ මොරගහකන්ද පිළිබඳව දෙවැනි ශක්‍යතා අධ්‍යයනය කරනු ලැබුවා. 1998, 99 වර්ෂවලදී මහවැලි ඇමැතිවරයා විදිහට මම මොරගහකන්ද කළුගඟ පිළිබඳව තුන්වන ශක්‍යතා අධ්‍යයනය කරනු ලැබුවා.
ගාමිණි දිසානායක මහතාගේත්, මගේත් කාලසීමාවල කරන ලද ශක්‍යතා අධ්‍යයන පදනම් කරගෙන තමයි විශේෂයෙන්ම මේ සිහිනය සැබෑ කිරීම පිළිබඳව කටයුතු ඉදිරියට අරගෙන ආවේ.
කුඩා කාලයේ සිට අපට අත්දැකීම් තිබෙනවා. අපේ ගම්මානවල ජලය ඉල්ලලා ගොවි ජනතාව මොන තරම් ගැටුම්වලට මුහුණ දෙනවාද කියලා. අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය විතරක් නෙවේ. බොහෝවිට ලංකාවේ වියළි ප්‍රදේශවල අපේ ගොවි ජනතාවගේ කඳුළුත් සමඟ ගොවියා ඉල්ලන ජලය ලබාදීමට නොහැකිවන අවස්ථාවලදී එක් පැත්තකින් ජල කළමනාකරණයේ අඩුපාඩු, තවත් පැත්තකින් වරින්වර ඇතිවන නියඟ, කාලගුණික සහ දේශගුණික තත්ත්වය මේවා සමඟ අපේ ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
ගොවීන් කියලා කියන්නේ මේ රටේ සැප විදින ගොවීන් නොවේ. මුළු ජීවිත කාලය තුළම කඳුළු හෙළන ගොවීන්. ලෝකයේ සංවර්ධනය වූ රටවල ගොවීන් ලෙස හඳුන්වන්නේ විශාල වශයෙන් ඉඩම් තිබෙන අය. අපේ ගොවි ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තිබෙන බාධා අතරේ ප්‍රධාන කාරණයක් තමයි අපේ රටේ ‍ගොවීන්ට තිබෙන්නේ ඉතාම සුළු ඉඩම් ප්‍රමාණයක්.
ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න වැඩියි. ණය බර වැඩියි මේ ප්‍රශ්න තුළ ගොවි ආර්ථිකය බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවියා සැමවිටම ඉල්ලන්නේ වගා කරන්නට භූමියක්. භූමියට අවශ්‍ය ජලය, ඊට අවශ්‍ය පොහොර, භූමියත්, ජලයත්, පොහොරත් කලට වේලාවට සකස් කර ගැනීමට රජයෙන් පහසුකම් දෙනවා නම් ගොවියාගේ වෙනත් ප්‍රාර්ථනා නැහැ.
කවුරු ආණ්ඩු කළත්, මොන පාලකයා සිටියත් ගොවි ජනතාව නිදහසේ සිය කටයුතු කරනවා. ජලය ටික වෙලාවට ලැබෙනවා නම්, පොහොර ටික වෙලාවට ලැබෙනවනම්, තමන්ගේ වී ප්‍රමුඛ නිෂ්පාදන අලෙවි කිරීමට හොඳ මිලක් තිබෙනවානම්,
මම කෘෂිකර්ම ඇමැති වශයෙන් ඉන්න කාලයේ ‘අපි වවමු - රට නඟමු’ වැඩසටහනත් එක්ක විශේෂයෙන්ම තමුන්නාන්සේලා දන්නවා. මේ රටේ කෘෂි ආර්ථිකයේ ගොවි ආර්ථිකයේ වෙනස්කම් රාශියක් අපිට කරන්න පුළුවන්කම ලැබුණා. මේ මොරගහකන්ද, කළු ගඟ ජලාශය පිළිබඳව දේශපාලන වේදිකාවල නිතර කතා කළා. පසුගිය අවුරුදු 50ට වැඩි කාලයක්. සෑම මැතිවරණයකදීම සියලු පක්ෂවල මැතිවරණ පොරොන්දුවක් බවට පත්වෙලා තිබුණා. අපි කුඩා කාලයේ ඉඳලා මහවැලිය, උතුරට හැරවීමේ කතාවත් එක්ක මොරගහකන්ද - කළුගඟ පිළිබඳව අහලා තිබුණා. නමුත් ඒ එක් එක් ආණ්ඩුවලට මේ කාර්යය කෙසේ හෝ අතපසු වුණා. රජරට ජනතාව ප්‍රමුඛ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට මෙය අත්‍යවශ්‍ය වුවමනාවක් වුණා.

1989 මම පාර්ලිමේන්තුවට පත්වෙලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහටත්, මේ ගැන එවකට ආණ්ඩුවට නිතර පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් කළා. 1994 පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇවිල්ලා මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා බවට පත්වෙලා විශේෂයෙන්ම එදා සීසීබී ආයතනයේ සභාපතිවරයා විදිහට සිටි මේ රටේ පමණක් නොවේ .ලෝකයේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වූ ආචාර්ය එන්. එස්. කුලසිංහ මැතිතුමා එදා මට කිව්වා ඇමැතිතුමා අපි කොහොම හරි මොරගහකන්ද කරමු කියලා.
1994 වසරේ කුලසිංහ මහතා ඇතුළු ඉංජිනේරුවරුන් පිරිසක් සමඟ මේ ප්‍රදේශයේ මහ කැලෑවේ අපි ඇවිද්දා. එතුමා විවිධ ස්ථානවලට අපි එක්කරගෙන ගිහිල්ලා පෙන්නුවා. මේ ස්ථානයේ තමයි අපිට වේලි හදන්න තිබෙන්නේ, මේ තැන්වල තමයි ජලය එක්රැස් වෙන්නේ. මේ තැන්වලින් තමයි ජලය නිකුත් කරන්න වෙන්නේ කියලා. මම විශේෂයෙන්ම එතුමා ප්‍රමුඛ මේ රටේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කටයුතු කළ සහ මඟපෙන්වූ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන් ප්‍රමුඛ තාක්ෂණික නිලධාරින් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
1994 ජනාධිපතිවරණය වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව විදිහට පොළොන්නරුවට ඇවිල්ලා එතුමිය මගෙන් ඇහුවා. අලුත් ආණ්ඩුවක් හදලා මොනවද පළමුව කළ යුත්තේ කියලා. මම එතුමියට කිව්වා අපි කළ යුතු පළමු දේ තමයි රජරට ජනතාවගේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම. ඒ නිසා මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරය අපි අනිවාර්යයෙන් කළ යුතුයි කියලා. එතුමිය මැතිවරණ වේදිකාවේ කතා කරලා කිව්වා අපි ආණ්ඩුව ගත්ත ගමන් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරය කරනවා කියලා.

නමුත් එතුමියගේ කාලය තුළ මෙය කරගන්න අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවට ආපු වෙලාවේ මගෙන් ඇහුවා අපි ආණ්ඩුවක් හදලා ජනාධිපතිවරයා විදිහට පත්වුණාට පස්සේ මොනවද මේ ප්‍රදේශයට කරන්න ඕනෑ කියලා. මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වා , කළ යුතු පළමු දේ තමයි සර්.මොරගහකන්ද - කළුගඟ කියලා. එතුමා ඒ වෙලාවෙත් රැස්වීමේ ප්‍රකාශයක් කළා .අපි බලයට පත්වෙලා මේක කරනවා කියලා.
2005 අපි අලුත් ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ මම අවුරුදු දෙකක් බලාගෙන හිටියා. මේ කාර්යය ඉටුවුණේ නැහැ. මම ඒ වෙලාවේ ආණ්ඩුවට තදින් බල කළා .අපි මේක දීර්ඝ කාලයක් කියනවා. රජරට ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් මේක. මේ ප්‍රශ්නය විසඳන්න ඕන. මේ යෝධ ව්‍යාපෘතිය අපි කරන්න ඕනෑ. මේක හැම ආණ්ඩුවක්ම අතපසු කෙරුවා කියලා. අවසානයේ මගේ බේරිල්ලක් නැතිකමට මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එහෙමනම් පටන් ගන්න වෙන්නෙ සල්ලි නැතුව කියලා. මම කිව්වා කමක් නැහැ සර් සල්ලි නැතුව පටන් ගම්මු. පටන් ගත්තට පස්සේ අපි සල්ලි හොයා ගමු කියලා. ඒ අනුව තමයි 2007 ජනවාරි මාසයේ 25 වෙනිදා විශාල උත්සවයක් තියලා විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ස්වභාවික ගලක සමරු ඵළකය හදලා විවෘත කරලා වැඩ පටන් ගත්තේ.
2007 ජනවාරි 25 වෙනිදා මේ ව්‍යාපාරයට මුල් ගල් තියලා උත්සවයක් තියලා මහා බලාපොරොත්තු ඇතිව පටන් ගත්ත මේ යෝධ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ කදුළු පිසදමන්න, ඒ අවට අනෙක් ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කරන්න, ජාතික ආර්ථිකය පුළුල් කරන්න .මේ රටේ ශක්තිමත් යෝධ ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තත් ජනවාරි 25 වෙනිදා, එතකොට මම මහවැලිය බාර ඇමැති. ඊට දවස් දෙකකට පස්සේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ආවා. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයට කලින් දවසේ මට කිව්වා මහවැලි විෂය ඔබෙන් අයින් කරනවා කියලා.
මම කිව්වා දැන් දවස් දෙකකට කලින් මේ යෝධ ව්‍යාපෘතියේ වැඩ පටන් අරගෙන, මහවැලිය මගෙන් අයින් කරනවා නම් පටන් ගත්ත වැඩට මොකද වෙන්නේ කියලා. මේක රජරට ජනතාවගේ බලාපොරොත්තුව, මේ ව්‍යාපෘතිය මා කෙසේ හෝ කළ යුතුයි කියලා. මගේ දැඩි ඉල්ලීම මත මගෙන් ඉවත් කළ අමාත්‍යංශය පැය 48කට පස්සේ නැවත ලැබුණා. ළඟ හිටපු බැසිල් රාජපක්ෂට කිව්වා ඔන්න ඒක දීලා දානවා කියලා.
ජනවාරි 28 වැනිදා නැවත ගැසට් කළා. මට මහවැලිය, නමුත් අවුරුදු 5ක් යනකන් සල්ලි දුන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය කරන්න. මම 2007 මෙතන වැඩ පටන් අරගෙන මට අමාත්‍යංශය ආපහු ගැසට් කළාට පස්සේ මම ජපන් ජයිකා සමාගමත් එක්ක කතා කළා .ජයිකා ආයතනය කැමති වුණා සල්ලි දෙන්න. එය ප්‍රතික්ෂේප කළා ඉහළින්. ඊට පස්සේ චීන රජය සමඟ මම කතා කළා. ඒ ආයතනවලින් එකඟතාව පළ කළා. නමුත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් මේ යෝජනා පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. අවුරුදු 5ක් මේ ව්‍යාපෘතිය කෙරුණේ නැහැ. 2007 ජනවාරි 25 වැඩ පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 වසරේ.ඒක මම මතක් කරන්න ඕනෑ .
2012 අවසන් කරන්න තිබ්බ මේ වැඩේ 2018 ට කල් ගියේ අවුරුදු 5කට වැඩි කාලයක් මේ ව්‍යාපෘතිය කරන්න මුදල් නොලැබුණු නිසයි. ‍මම පැහැදිලිව කියනවා තමුන්නාන්සේලා මේ පිළිබඳව වරදවා තේරුම්ගන්න එපා. මාත් එක්ක තිබ්බ පුද්ගලික ප්‍රශ්නය වෙනම කාරණයක්. නමුත් රජරට ජනතාවගෙන් ඒකට පලිගත්තනම් ඒක වැරදියි කියලයි මම කියන්නේ.

ඒ නිසා මේ ව්‍යාපෘතියේ කටයුතු විශාල වශයෙන් ප්‍රමාද වුණා. මේ අමාත්‍යංශය වෙනස් කරලා මට සෞඛ්‍ය අමාත්‍යංශය භාර දුන්නා. නිමල් සිරිපාල ද සිල්වා මහතා මහවැලි භාර ඇමැතිවරයා විදිහට පත්වුණා. එතුමා පත්වෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි මේ ව්‍යාපෘතියට සල්ලි ලබා ගත්තේ. විශේෂයෙන්ම මේ පිළිබඳ නිතර අපි ආණ්ඩුවේ කතා කරන නිසා. ‍ඒක නොකර බැරි තත්ත්වයකට පත්වුණා. ඒක තමයි ඇත්ත කතාව.
ඊට පස්සේ මේ ව්‍යාපෘතියේ කටයුතු කරගෙන එනකොට පසුගිය වසරේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව මා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත්තට පස්සේ මාව බලයට පත්කිරීමට මූලික වු දේශපාලන පක්ෂ, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සංවිධාන ආයතන 49ක නායකයෝ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ආණ්ඩුවේ බලතල බෙදා ගැනීම පිළිබඳ තිබූ සාකච්ඡාවේදී අගමැතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් මගෙන් ඇහුවා ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා ධුරයට අමතරව මොන විදිහේ අමාත්‍යංශයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මම එකවරම කිව්වේ මම මහවැලි අමාත්‍යංශය කරන්න කැමැතියි .මොරගහකන්ද සිහිනය මට සැබෑ කරගන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මම මේ අමාත්‍යංශයට නැවත වතාවක් පත්වුණේ.

මම ඒකයි කිව්වේ මේක දෛවෝපගත මගේ ඉරණමක් එක්ක ඇතිවුණ වාසනාවන්ත සිදුවීමක් කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම රජරට ජනතාව ප්‍රමුඛ උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාතේ ජනතාවගේ දුක් කදුළු පිසින්න, පානීය ජල ප්‍රශ්න විසඳන්න. කෘෂිකර්මයට බලපාන ජල හිඟය අවසන් කරන්න මේ රටේ ක්‍රියාත්මක යෝධ සංවර්ධන ව්‍යාපෘතිය නිසා.අද තමුන්නාන්සේලා අපි සෑම කෙනෙක්ම එක්වෙලා මේ උතුම් කාර්යයට දායකත්වය දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාව තුළ මේ කටයුතු තව තවත් කාර්යක්ෂම කරලා ඉතාම ඉක්මනින් මෙහි අවසානයක් දැකලා මේ ජලය නිකුත් කිරීමේ කාර්යය කරන්නට.
අනුරාධපුර, පොළොන්නරුව විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්නය මේ ව්‍යාපෘතියේ අවසන් වීමෙන් තමයි විස‍ඳෙන්නේ. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය ගත්තහම, ලග්ගල, පල්ලේගම, දඹුල්ල පළාත්වල කෘෂිකර්ම ජල හිඟය අවසන් වෙනවා. පානීය ජල ගැටලුව අවසන් වෙනවා. ඒ වගේම උතුරු ප‍්‍රදේශයට මේ තුළ විශාල බලපෑමක් තිබෙනවා. මේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් මෙම යෝධ ව්‍යාපෘතිය තුළ සිදුවෙනවා.
පරාක්‍රම සමුද්‍රයට වඩා විශාල ජල කඳක් මේ ව්‍යාපෘතිය තුළ තිබෙනවා කියලා ප්‍රකාශ කෙරුණා. පරාක්‍රම සමුද්‍රය අපේ ඓතිහාසික උතුම් මහා ජල කඳක්. පරාක්‍රම සමුද්‍රය, ගල් විහාරය, තිවංක පිළිමය මම උදේ සවස දුටු දර්ශන. ඒක නිසා පොළොන්නරුවේ සොළොස්මස්ථාන සමඟ පරාක්‍රම සමුද්‍රයේ ජල ක‍ඳේ සුළඟින් නැහැවුණු පරිසරයක හැදුණු වැඩුණු මම අද ජනාධිපතිවරයා වුණත් මම කියනවා මම මගේ තාත්තා එක්ක කුඹුරට බැහැලා නඟුල අල්ලපු කෙනෙක් කියලා ජීවන අරගලය සඳහා.




ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගේ හෘදසාක්ෂිය මම හඳුනනවා. ගොවි ජනතාවගේ සිතුම් පැතුම් හඳුනනවා. තමුන්නාන්සේලාට තිබෙන ප්‍රශ්න මොනවද කියලා හඳුනනවා. අපි අලුත් ආණ්ඩුවක් විදියට අලුත් සැලසුම් හදලා රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහො‍ර හඳුන්වලා දීලා නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට මේ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාව සෞඛ්‍යසම්පන්න ජාතියක් බවට පත්කිරීමට අලුත් ආණ්ඩුවක් විදියට පුළුල් කාර්යයක් කරගෙන යනවා.
අපේ රජය සඳහා තිබෙන නොයෙක් අභියෝග පිළිබඳ ඇතැමුන් අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්න ඕන අලුත් ජනාධිපතිව‍රයෙක් විදියට මම පත්වෙලා අවුරුදු එක හමාරයි තවම ගතවෙලා තිබෙන්නේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වෙලා ලබන මාසයට තමයි අවුරුද්දක් සම්පූර්ණ වෙන්නේ. අලුත් ආණ්ඩුවක් විදියට අපි කරගෙන යන වැඩ කුමන අභියෝග ආවත් අපි සාර්ථක කරනවා. මේ ආණ්ඩුව ශක්තිමත් කරමින් ඉදිරි අවුරුදු 05 කාලයේ මේ රටේ සංවර්ධනය සඳහා මොන විදියේ අභියෝග ආවත් අපි කැපවෙනවා කියන එක ඉතාම පැහැදිලිවම කියන්න ඕන.
මේ රටේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ථ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් ශක්තිමත් ආර්ථිකයක්, සමෘද්ධිමත් රටක්, හෙට උපදින දරුවනට වාසනාවන්ත දේශයක් ගොඩනැඟීම සඳහායි මේ උතුම් කාර්යයේ අද අපි සියලුදෙනා එක්වෙලා නිරත වෙන්නේ. මේ කටයුතු සඳහා විශාල කැපකිරීඹක් කරන අපේ ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඒ වගේම චීනයෙන් පැමිණ සිටින ආයතන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගේ මේ සඳහා අනුග්‍රහය දක්වන සියලු ආයතන වෙත මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.“

34 comments:

  1. මොරගහකන්ද ජලාශයේ දියකදෙන් වගාබිම් සරුවන තුරු අපිත් සතුටින් බලා ඉන්නෙමු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ව්‍යාපෘතියේ වතුරින් වගා බිම් තෙත් වනදා ගොවි සිතේ ඇතිවන සතුට ලාංකිකයො හැටියට අපිටත් දැනෙයි. බොහොම ස්තූතියි දුමින්ද

      Delete
  2. අපේ හිටපු රජතුමා මේ ගැන මොනවද කියන්නෙ බලමු.
    ලංකාවෙ ජරා දේශපාලනය ගැන හොද උදාහරණයක් මේ කතාව ඇතුලෙ තියනව. දෙවෙනි පෙල නායකයන්ට ඉස්මතු වීමට ඉඩ නොදීම පක්ෂ දෙකේම පොදු ලක්ෂනයක්

    ReplyDelete
    Replies
    1. මහවැලි අමාත්‍යාංශය මල්ලිට දෙන්න සිරිසේන විරුද්ධ වෙච්ච එකට වග කියන්න ඕන ගොවියෝ තමයි කියල එතුම කියයිද කම්මලේ?

      Delete
    2. අපෙ හාන්දුන්නේ , මම ඔය මොරගහකන්ද ජලාශෙ අපේ බැසිල් ඇමතිතුමා දාල කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමයක් යටතේ දුප්පත් ගොවි ජනතාවට වතුර ටිකක් දෙන්න යනකොට ගොවි ස්ංවිධාන හරහා මට බලපෑම් කරල ඇමති කම ගත්ත අය තමයි මේව නවත්තගෙන හිටියෙ, දැන් මහා උත්සව තියල ඕව කලාට රා.....ජ පක්ෂල කරපු දේවල් කවදාවත් නැතිකරන්න බෑ අපේ හාන්දුනේ.....

      ලොකු හාමුදුරුවො :- පොඩි නම ඕං ඕවට තමයි කියන්නෙ දිඨ්ට ධම්ම වේදනීය කර්මය මෙලොවදීම පටිසන් දෙනව කියල .

      පාදිලි තුමා : - අවුරුද්දකට සැරයක්වත් පාපොච්චාරණය කරන්න ඕනෙ කියල සියන්ති නෝන කියල දීල තියෙන්නෙ

      Delete
    3. නියම කමෙන්ට් එක මචං. ඇත්තටම ගොන් රජා ඕක ඔහොමම කියන්න බැරි නෑ.

      Delete
  3. මේ කතාව සහතික ඇත්ත... ඕකට උත්තර මහින්ද ගාව තියා චන්ද්‍රිකා ගාව වත් නෑ... ඒ තියා ප්‍රේමදාසත් ඕකට වග කියන්න ඕන... කාළකන්නි පක්ෂ බේද විතරක් නෙමෙයි මේ රටේ කරුමය... බල තන්හාව... ලංකාවේ මෙතෙක් නොදුටු සුන්දරම දර්ශණය සහිත පරිසරය අපට ළඟදීම බලා ගන්න ලැබෙයි...

    අනික සිරිසේන මහත්තයා ලෝබ නැතිව ප්‍රතිලාභී පවුල් වලට සලකලා තියෙන බවත් සහතික ඇත්ත.. ඒ මිනිස්සු පුදුම සතුටකින් ඉන්නේ... සංවර්ධනය කියන්නේ මේ දේවල් වලටයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතෙ. සමහර අයගෙ තිබ්බ ගෙවල් සහ අළුත් ගෙවල් දකින කොට හරි සතුටුයි.

      Delete
  4. ඉයන්තුමා අනුගමනය කොරමින් ස ර ස තුමා ද ලන්කා ඊ නිවුස් කසල ගොඩෙන් කුනු අහුලමු!


    පොලිස්පති කෝලම..! මොරගහකන්දේ දී ජනාධිපති ඉදිරියේ රඟ දැක්වූ වගයි..!!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.26, පෙ.ව‍‍‍‍‍‍.8.15) යන යන තැන හඬමින්, පොලිස් කොල්ලන්ගේ බඩට ගසමින්, පස්සා පැත්ත මිරිකමින්ද, දේශන වලදී ස්ත්‍රී ලිංග ඇඟිලි වලින් පෙන්වමින් දෙපිට කැපෙන කතා කියමින් ද, පොලිස්පතිවරයෙකුට තරම් නොවන අන්දමින් මෙන්ම, නොතිත් ප්‍රචාරක කාමයෙන්ද පෙලීම නිසා “පොලිස්පති කෝලමක්“ බවට පත්ව සිටින ලංකාවේ පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී ද කෝලමෙක් බවට පත්වූ බව අතිශය ශෝකයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.

    ReplyDelete
    Replies
    1. රිලා නැටුං වලටනෙ අපේ පොලිසිය පුරුදු කරල තිබ්බෙ,, තාමත් පරණ පුරුද්දට නැටවෙනව ඇති. තව ටික දොහකින් හරියයි සරස තුමෝ

      Delete
    2. බොහොම ස්තූති සාරස. වැරදි වැඩ ගොන් වැඩ වලට අපේ කිසිම සහයෝගයක් නැහැ. හොඳ වැඩ හොඳයි. ගොන් වැඩ ගොන්. හැම දේටම හොඳයි කියන පැත්තෙ නෙමෙයි අපි. ඒ නිසා බොහොම ස්තූතියි ඔබතුමාට.

      Delete
  5. බොරු සාගරේ ගැලුවොත්, ගල් අඟුරු වංචාව සුදු වන රටක් මෙහි වෙත්..! ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගැන අර්ථකථන දෙන්න නියෝජ්‍ය සොලිසිටර්ට බලයක් නෑ..!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.26, පෙ.ව‍‍‍‍‍‍.6.00) නීති විරෝධී අන්දමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් සම්බන්ධයෙන් නීතීපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් නමැත්තා අර්ථකථනයක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් 24 Sunday Times පුවත්පතේ වාර්තාවක් පළ වී ඇති අතර ඊට අදාල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ ලිපිය මේ සමග පහතින් පළකර ඇත

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Wow...
      nice vocabulary....

      Must be a JVPen :)

      Delete
    3. Thank you Sa rasa. මේ ආණ්ඩුවේ හොර වැඩ කරපු එකෙක්වත් FCID ගෙනිච්ච දාට තමයි මම යහපාලනය ගැන ඉහලින්ම සතුටුවෙන්නෙ.

      Delete
  6. දෙවෙනි පෙළ නායකත්වයක් ඉස්මතු වෙයි කියා සංවර්ධන කටයුත්තක් පමා කිරීම හේතුවෙන් මෙතෙක් වන්දි ගෙව්වේ අහිංසක ගොවි ජනතාවයි. ඉදිරියටවත් මේ තත්වය වෙනස් වේදැයි බලමු.

    ReplyDelete
    Replies
    1. //දෙවෙනි පෙළ නායකත්වයක් ඉස්මතු වෙයි කියා සංවර්ධන කටයුත්තක් පමා කිරීම හේතුවෙන් මෙතෙක් වන්දි ගෙව්වේ අහිංසක ගොවි ජනතාවයි.//

      ශක්තිමත් දෙවන පෙලක් ගොඩ නංවන්න ජේ ආර් වගේ ආත්ම විශ්වාසය තියෙන කෙනෙක් වෙන්න ඕන. ප්‍රේමදාස මේක කලෙත් නැහැ.

      Delete
  7. රටට අත්‍යාවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති විශාල ණය ප්‍රමාණයක් අරගෙන ඉක්මනින් හදනව වගේ වැඩ කරන්නෙ නැතුව මේ වගේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන වැඩක් කරන එක තමයි රටක දියුණුවට බලපාන්නෙ. මහවැලිය වගේ මේකෙනුත් සෑහෙන ප්‍රයෝජනයක් අත්වෙයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. //රටට අත්‍යාවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති විශාල ණය ප්‍රමාණයක් අරගෙන ඉක්මනින් හදනව වගේ වැඩ කරන්නෙ නැතුව මේ වගේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන වැඩක් කරන එක තමයි රටක දියුණුවට බලපාන්ne//

      ++++++++++++++++ prasa thank you

      Delete
  8. නියමිත පිලිවෙලට කලාවට ලතාවට ප්‍රොජෙක්ට් එක සාර්ථකව නිම කරන්න අවස්ථාව ලැබේවා..! සුභ පැතුම්.!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න කියල තමයි හිතන්න ඕන. ගොවියො කීදෙනෙක් සතුටු වෙයිද?

      Delete
  9. ඔක්කොමත් හරි.. නිදන් වස්තු ගොන් පාට් ජාතික මට්ටමෙන්ත උඩ දාන එක තමයි දිරවන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. නැවතී තිබුණ වැඩ සටහන නැවත ආරන්භ කිරීමත්, චාරිත්‍රානුකූලව කෙරෙන නිදන් තැන්පත් කිරීමත් කියන ඒවා සාධාරණ ප්‍රචාර නේද කමියෝ?

      Delete
  10. ටිකෙන් ටික හරි අවම පහසුකම් ඇති අයටත් යමක් වෙනව නම් ජිවත් විම පහසු කරන්න මොන තරන් දෙයක් ද ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත චතූ. බොහොම ස්තූතියි

      Delete
  11. ශිහ්, කිසිම ඈස්චර්යයක් නෑනෙ. කිරි බවුසර් දාල පිරෙව්වෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සිරාවට අර ජැකා බැරිනං අලුත් පරපුරේ කට්ටිය දාල හරි කෝටි ගානක නැටුමක් නැටෙව්වෙ නැත්තං නිකං කිසි ගතියක් නෑ නෑ වගේ ....

      Delete
  12. පැමිණියෙමි. කියවීමි. දේශපාලන දැනුම බිංදුව නිසා වරිගෙ රැකගැනීමේ අරමුණින් නොදන්න දෙමළෙට අත නොදා ඉමි.. හිකිස්

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ ලේ හී. පැමිණියාටත් සටහනටත් බොහොම ස්තූතියි.

      Delete
  13. 1960 දශකයේ මැද භාගයේදී, අපි පාසල් සිසුන් ලෙස, මහවැලි ව්‍යාපාරය ගැන ඉගෙනගත්තා. පස්සේ කාලයේදී, මහවැලි ප්‍රදේශවල ආරක්ෂාව භාරව ක්‍රියාකලා. දැන් අපි විශ්‍රාම ගියත්, මහවැලි ව්‍යාපාරයට අදාල කොටස් තවමත් කෙරෙනවා. මැරෙන්නට පෙර මේ සියල්ල අවසන්වනු දකින්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදිහට මේක මහවැලි ව්‍යාපාරයේ අවසාන ව්‍යාපෘතිය. ඔබගේ පැතුම ඉෂ්ඨ වේවා.

      Delete