Monday, January 25, 2016

ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 1



බ්ලොග් කරුවන් ඔවුන්ගේ සමූහ යෝජනා ඉදිරිපත් කිරීමකදී සලකා බැලීම  ගැන  කොලඹ ගමයා බ්ලොග් අඩවියේ ගෙන ආ අදහසට සහය පිණිස මගේ යෝජනා වල පළමුවෙනි කොටස පහත දක්වමි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් 'දමි ප්‍රශ්ණය' ගැන පමණක් සලකා බැලිය යුතු එකක් නොවේ. වෙනත් සමාජීය අරමුණු පිලිබඳව යෝජනා ගැන සිතා බැලීමටත් දේශපාලකයින් සහ සමාජ පෙලඹවීම ක යුතුයැයි මම සිතමි.  එබැවින් මගේ යෝජනා වලින් එවන් අංශ ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

1. ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් දේශපාලන කලමණාකරණය ඉවත් කිරීම 

සියළුම පළාත් පාලන ආයතන වල කටයුතු සුපරීක්ශණයට දේශපාලකයන් නොමැති කොමිසමක් පත්කළ යුතුය. දියුණු රටවල මෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට කළමණාකරණ සුදුසුකම් හෝ පරිපාලන සේවයෙන් ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්කිරීම. නගර සභා සහ ප්‍රාදේශීය සභා වල සේවය තාක්ශණය භාවිතයෙන් කාර්යක්ශමව සහ මහජනයාට පහසුවන අයුරින් සහ ඉක්මනින් සපයා දීම මොහුගේ ප්‍රධාන වගකීම වේ.  මෙම තැනැත්තා දේශපාලකයෙකු නොවන බැවින් කාර්‍යාල කාලය ප්‍රදේශයේ කළයුතු කාර්‍යයන් වලට වැය කල හැකිවේ. සෑම සභාවක්ම ප්‍රදේශයේ සියළුම අදාල ප්‍රදේශ ආවරණය වන පරිදි අවුරුදු 10 ක සැලැස්මක් සකසා ප්‍රසිද්ධ කල යුතුය. එහි එක් එක් ප්‍රදේශවලට ජල සැපයුම, පාරවල් අලුත්වැඩියාව, කසල එකතු කිරීම,  ආදී සේවාවන් හඳුන්වාදෙන කාලය ඒ සඳහා යන වියදම ආදිය පෙර ඇස්තමේන්තු කර තිබීමෙන් ඒ පලාත්වල මහජනයා සභාවෙන් වෙන සේවාවන් ලැබෙන් දින ගැන දැනුවත් වේ

 තවද මෙම සභා වල පරිපාලනය දේශපාලක බලපෑමකින් තොරව සිදුවිය යුතුය. සින්ටෙක් වැනි රජයේ පරිගණක ආයතනයක් හරහා නගර සභා සහ ප්‍රාදේශීය සභා පරිපාලන මෘදුකාංග සාදා මෙම සභා වල සියලු කටයුතු සහ වියදම් මහජනයාට පොදු වෙබ් අඩවියක්  හරහා  ඕනෑම කෙනෙකුට දැකගන්නට සැලැස්වීම කළ යුතුය. සභාවේ සියළුම වැඩ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියේ මිල ගණන්  කැඳවා ටෙන්ඩරය දුන් සමාගම, මුදල අනික් ටෙන්ඩර් මිල ගණන් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ විය යුතුය. සභාවට අයත් සියළුම ඉඩම් සහ අනිකුත් වත්කම් ගැන විස්තරද එහි අඩංගු විය යුතුය. එම ඉඩම් ක්‍රීඩාපිටි ආදිය තණකොල කපා සහ පිරිසිඳුව තබා ගැනීමට කොන්ත්‍රාත් කරුවන් පත්කර එම විස්තර, මිල ගණන්, ඔවුන්ගෙන් බලාපොරොත්තුවන සේවාව සහ විය යුතු දිනය ආදිය වෙබ් අඩවියෙන් දැන ගත හැකි විය යුතුය. ඉඩ කඩම් වැනි වත්කම් කුලියට දීම සහ බදු දීම හෝ විකිණීම ආදිය කරන්නේනම් ඒ පිලිබඳව ශාක්ශ්‍යතා වාර්ථා ආදිය ප්‍රසිද්ධ කර, එබ් අඩවිය හරහා විනිවිද පෙනෙන ආකාරයෙන් සිදුකල යුතුය.  

මෙම ක්‍රමයෙන් දේශපාලකයින් නඩත්තු කිරීමට නගර සභා සහ ප්‍රදේශීය සභා වලට ලැබෙන ප්‍රතිපාදන සහ එකතු කරන බදු මුදල් යොදා ගැනීම අවශ්‍ය නොවේ.  පාර්ලිමේන්තුවටත්, පලාත් සභා වලටත් දේශපාලන පක්ෂ අනුව තේරෙන දේශපාලකයින් සිටින නිසා ප්‍රාදේශීය සභා, නගර සභා වලටත් දේශපාලන පක්ෂ අනුව දේශපාලකයින් තෝරා ගැනීම නවතා කලින් තිබුණ ආකාරයේ හිටපු විදුහල්පතීන්, සමාජ සේවකයින් වැනි නියෝජිතයින් කිහිප දෙනෙක් පමණක් තෝරා ගැනීම. පැමිණීමේ දීමනාවක් පමණක් ගෙවන්නේ නම් මුදල් වියදම් කර ප්‍රචාර කර මුදල් හොරකම් කරමින්, සභාවල වියදමින් විදේශ සංචාර වල යෙදෙමින්, දේශපාලන බලයෙන් අන් අයට අනදර කරමින්, සහ මහජන මුදලින් සමාජ තත්ත්වය, වාහන පර්මිට් පතන්නන් ඉදිරිපත් නොවනු ඇත. 


2. මහජන නියෝජිතයන් සම්භන්ධ කරුණු සිවිල් වැසියන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවකට පැවරීම 

දැනට පවතින මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරියට එන මන්ත්‍රීවරුන්ට අදාල නොවිය යුතුය. ඒ වෙනුවට ආර්ථික  දුෂ්කරතා වලට මුහුණපාන වයස අවුරුදු 65 ට වැඩි හිටපු මහජන නියෝජිතයන්ට පමණක් විශ්‍රාම වැටුපක් අයදුම් කල හැකි වනසේ වෙනස් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. මහජන නියෝජිතයන්ට කරන ගෙවීම් පහසුකම් ආදිය වෙනස් කරගැනීම් අනුමත කිරීම ඔවුන් විසින්ම කර ගැනීම කිසිසේත් සුදුසු ක්‍රමයක් නොවේ. මේ සඳහා සිවිල් සමාජයේ මේවා පිලිබඳ දැණුමැති නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කළ යුතුය. එසේ වැඩි කිරීමේ යෝජනා ලැබුණු පසු මහජන අදහස් විමසා ඉන් පසුව ඒ පිලිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔවුනට බලය දිය යුතුය. ඔවුන්ගේ නිර්දේශයක් නොමැතිව පහසුකම් අනුමත නොවිය යුතුය. වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මහජන නියෝජිතයන්ට විරුද්ධව නඩු පැවරීම, ඉදිරිපත්වූ වත්කම් ප්‍රකාශ ඔවුන්ගේ ආදායම ගැන සැසඳීම, විශමාචාර ක්‍රියා සම්භන්ධයෙන් චෝදනා ලබන අයට විරුද්ධව පරීක්ශණ කර චෝදනා ඉදිරිපත් කිරීමේ බලයත් සිවිල් පුරවැසියන්ගෙන් සමන්විත මෙවන් ස්වාධීන කමිටුවකට පැවරිය යුතුය. මෙවන් ක්‍රමයකින් දේශපාලන හේතුමත නඩු නොපැවරීම සහ එසේ කරන්නේ යැයි රජයකට චෝදනා එල්ල වීම නැවතිය හැක. මෙම ක්‍රමයෙන් මහජන නියෝජිතයින්ගේ විනය බොහෝ සෙයින් ඉහල යනු ඇත. 


3. දුප්පත්කම නැතිකිරීමේ සහනාධාර සහ අනිකුත් ව්‍යාපෘති ස්වාධීන කිරීම 

අද පවතින සමුර්ධි ව්‍යාපරය අමාත්‍යාශයක් හරහා නොව ස්වාධීන කොමිසමක් හරහා ක්‍රියාත්මක කල යුතුය. එවිට දේශපාලන හිතවත් කම් මත නොසුදුසු අයට සහනාධාර ලැබීමත් එම ඇඟිලි ගැසීම් අනුව සුදුසු අයට නොලැබීමත් යන දෙකම වීම ඇණ හිටිනු ඇත. මීට අමතරව මෙය සහනාධාර බෙදන ව්‍යාපාරයකට වඩා දුප්පත් කම අඩුකරන හෝ නැතිකරන ව්‍යාපාරයක් විය යුතුය. කොමිසමක් යටතේ නිශ්චිත අරමුණු සහ ලඟා විය යුතු කඩයිම් මෙම ව්‍යාපාරයට තිබිය යුතුය. රාජ්‍ය පරිපාලන, විදේශ රැකියා, උසස් අධ්‍යාපන වැනි අනික් රාජ්‍ය ආයතන සමඟ ක්‍රියා කරමින් මෙම කොමිසමට බොහෝ දේවල් කල හැක. සමුර්ධි පවුල් වල අයට උසස් අධ්‍යාපන සහ කාර්මික අධ්‍යාපනය සඳහා වෙන ආයතන හෝ දැනට පවතින ආයතන වලට තෝරාගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම ආදිය මඟින් එම පවුල් දුප්පත් කමින් මුදවා ගැනීම, රජයේ රැකියා ලබා දීමේදී සමුර්ධි පවුල් වලට කෝටා එකක් ලබා දීම, රජය හරහා ලැබෙන විදේශ රැකියා සඳහා සමුර්ධිලාභීන් වැඩි කොටසක් තෝරාගැනීම, කාර්මික අධ්‍යාපන ලැබූ සමුර්ධි පවුල් වල තරුණයන්ට කුඩා ව්‍යාපර පටන් ගැනීමට ණය දීම වැනි දේවල් කිරීමෙන් සමුර්ධි ලාභීන් ප්‍රමාණය කෙමෙන් අඩුකල යුතුය. එසේ අඩුකල යුතුවන්නේ මෙම පවුල් දුප්පත් කමින් කෙමෙන් නිදහස් කර ගැනීමෙනි.  

තවද බොහෝ සමුර්ධි වංචා සිතුවන්නේ ග්‍රාම සේවක වරුන් සහ සමුර්ධි  නියාමක වරුන් දැනුවත්වය. මගජන මුදල් එසේ අපරිහරණය කරන නිලධාරීන් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකළ යුතුය. මහජන මුදල් වංචා කරණ ලද අයකු ඉදිරියටත් එවන් තනතුරක තබා ගැනීම කිසිසේත් නොකළ යුතුය. තවද වංචාකාරී ලෙස මහජන මුදල් ලබා ගන්නන්ට එසේ ලබා ගත් මුදල මෙන් තුන් ගුණයක දඩයක් නියම කිරීමටත්, එම මුදල් අයකර ගැනීමට දේපල රාජ සන්තක කිරීමටත්, අවුරුදු 20 කාලයකට කිසිම සහනාධාරයක් සඳා ඉල්ලුම් කිරීම තහනම් කිරීමත් අනිවාර්‍යයෙන් කළ යුතුය. 


ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 2




43 comments:

  1. අද මන් කොහේ හරි කියෙව්වා සියලුම රාජ්‍ය ආයතන වලට එයාලගේ KPIs (Key Performances Indicators) හදල ඉදිරිපත් කරන්න කියල උපදෙස් දීලා තියෙනවා. ප්‍රයෝගිකව අපේ උන්දැලත් එක්ක මේක කරන්න අමාරු උනත් හොඳ ප්‍රවනතාවයක්. මාත් කැමතියි නර සභා ගම් සභා වගේ ඒවා රජයේ නිලධාරීන් යටතේ පමණක් ක්‍රියාත්මක වෙනවනම්.. හැබැයි නිලධාරිවාදය පාලනය කරන්නත් වෙනවා. එහෙම බැලුවම දේශපාලකයෝ නැතුවත් බෑ.

    අනික ටෙන්ඩරින්.. ප්‍රසිද්ද වෙන්දේසියේ දානවා වගේ සමහර ජොබ් ටෙන්ඩර් කරන්න බෑ නේද? විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් එහෙම..

    ReplyDelete
    Replies
    1. විදේශ රටක පලාත් පාලන ආයතනයක මගේ අත්දැකීම නම් පුළුවන් කියන එකයි. ප්‍රසිද්ධ කරන්නේ මුළු ව්‍යාපෘති වටිනාකම මිසක් ඉදිරිපත් වුණ ටෙන්ඩර් නෙමෙයි. කෙසේ වෙතත් තොරතුරු පණත යටතේ සම්පූර්ණ විස්තර ඉල්ලන්න ඉඩත් ඒවා ලබා දෙන්න පළාත් පාලන ආයතනයට වගකීමකුත් තියෙනවා. මෙහෙ තොරතුරු පණත තාම නැහැ. ස්තූතියි කමියෝ

      Delete
    2. ගිය සැරේ අපේ නෙලුම් යාය උලෙලදී කරු ජයසුරිය මහත්මයා ගෙන්වලා ඒක ගැන කියන්නම කියල තල්ලුවක් දෙන්න උත්සාහ කලා. තවම මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ පනතේ වටිනාකම.

      Delete
    3. ස්තූතියි අජිත්, කරූ ජයසූරිය මහත්මයට මේකෙ ලොකු වුවමනාවක් තියෙනවා. එතුමා පුද්ගලික මන්ත්‍රී පණතක් හැටියට මේක ඉදිරිපත්කලා පහුගිය පාණ්ඩුව :) කාලෙත්.

      Delete
  2. මමනම් කියන්නේ වෙන ලොකු දේවල් ඕනේ නැහැ...
    පළාත් සභා අහෝසි වෙන්න ඕනේ...
    ඉයන් කිව්වා වගේ නගර සභා ප්‍රාදේශිය සභා දේශපාලනයෙන් ව්‍යුක්ත වෙන්න ඕනේ...
    ජනපතිට අගමැතිට ඇරෙන්න අනිත් කිසිම එකෙකුට අමතර නිල වාහන දෙන්න නරකයි...
    පස්සෙන් නැටි වගේ එල්ලගෙන යන ආරක්ෂක වාහන නතර කරන්න ඕනේ...

    ///සභාවේ සියළුම වැඩ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියේ මිල ගණන් කැඳවා ටෙන්ඩරය දුන් සමාගම, මුදල අනික් ටෙන්ඩර් මිල ගණන් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ විය යුතුය.///

    මේවා ඉරිදා පොළ බදු දීපු ගාන, මස් කඩේ බදු දීපු ගණන් වගේ දේවල් වලට නම් ගැටළුවක් නැහැ...
    කමි ත් කිව්වා වගේ මේක පොඩ්ඩක් කන්ස්ට්‍රක්ෂන් වලදී අවුල්, ටෙන්ඩර් දාන පුද්ගලික ආයතන තමන්ගේ මිළ ගණන් හෙළි වීම හරහා ලොකු අවධානමකට ලක් වෙනවා...
    ව්‍යාපාර බිඳ වැටිම් පවා සිදුවෙන්න ඉඩ තියෙනවා කියල මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ව්‍යාපෘතියක කඩයිම් සහ ඒවා සම්පූර්ණ කළ යුතු දිනයන්, ව්‍යාපෘතියේ අවුට්කම් එක උදා අඩි 18 ක පළලින් යුතු කිලෝ මීටර් 3 ක මාර්ගය, අරක මේක (උඹලගේ ජාගන්) කර අවසන් කිරීම. සම්පූර්ණ වියදම මිලියන 5 වශයෙන්. එවිට අනෙක් ටෙන්ඩර් කරුවන් ඔවුන්ගේ ලංසුවට සාපේක්ෂව ටෙන්ඩරය ප්‍රධානය වෙච්ච මුදල දැනගන්නවා. බොහෝ විට එම ගණන අදත් සමහර ව්‍යාපෘති වල දක්වා තිබෙනවා. වෙනස තියෙන්නේ අද ඒ සඳහා ටෙන්ඩර් කැඳවූවාද ඒ සඳහා ඉල්ලුම් ඉරීමට අදහස් කරන සමාගම් හෝ පුද්ගලයන්ට සමාන අවස්ථාවක් හිමිවූවාද යන්න දන්නේ නැහැ. රහසේ කරන්න ගියාම වෙන්නේ අදාල පුද්ගලයින්ට වැඩිම ගාණ දෙන කෙනාට බරවීම. බොහොම ස්තූතියි ලොක්කා

      Delete
    2. පළාත්/ ප්‍රාදේශීය සභා සහ සමෘද්ධි ඉදිකිරිම් සඳහා ප්‍ර‍තිලාභීන්ගේ 50% ශ්‍රම දායකත්වය ලබා ගැනීම සහ පුංචි පුංචි කොන්ත්‍රාත්තු ප්‍ර‍ජා සංවිධාන වලට ලබා දීම ආරම්භයේ දී ඉතාමත්ම හොඳ ප්‍ර‍තිපල ලබාදුන්නත් මහින්ද ඒවා දූෂණ රජදහන් කළා. සියළුම ඉදිකිරීම් කොන්ත්‍ර‍ාත්තු අනුමත ආයතන හරහා පමණනක්ම ඉටුකිරීම සහ සියළු ඉදිකිරීම් අධීක්ෂණයට ව්‍යවස්තාපිත ආයතනයක් පිහිටුවා, ඉදිකිරීම් නිරීක්ෂණ වැඩ විශ්වවිද්‍යාල / තාක්ෂනික විද්‍යාල /පාසල් සිසුන් (දේශීය / විදේශීය)ලවා ඉටු කරවාගත හැකිනම් පැල්බැද ගත් දූෂිත ව්‍යුහයන් තුරන්කළ හැකි වනු ඇත.

      දූෂණ අවම කිරීම රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වෙලා නිසා, ව්‍යවස්තාවට මේ කරුණුත් ඇතුල් කරන්න වෙයි.

      Delete
    3. 100% ක් එකඟයි , ස්තූතියි ඇණයා

      Delete
  3. 1. අපි ගම් සභා ක්‍රමය හඳුන්වා දෙන්න ඉන්නේ හිටං

    2. කපපු වාහන පෝර්මිට් එකත් ආයෙත් දුන්නා හිටං

    3. සමෘධී කාරයෝ ඇමතිලට විරුද්ධව පිකටිං කරනවා හිටං. ඒවට හිටපු ජනාධිපතිත් එනවා හිටං

    මීට

    - සිරිසේන හිටං -

    ReplyDelete
    Replies
    1. එහෙම කරල අපි ඇස් කට වහන් ඉඳල හරියන්නෙත් නැහැ හිටං. 18 සංශෝධනයට අදහස් ඇහැව්වේ නෑ තමයි. මේකට ඔන්නොහෙ අපිත් දාල බලමු හිටං. ස්තූතියි මාතෙ

      Delete
  4. අපි කියන දේවල් අහයිද කියන එක ගැන නම් ලොකු සැකයක් තියෙනවා. ඒත් වෙනස් වෙන්න ඕනෙ වගේම වෙනස් නොවෙන්න ඕනෙ දේවල් බොහොමයක් දැන් තියෙන ව්‍යවස්තාව ඇතුලෙ තියෙනවා කියන එක නම් පැහැදිලී.
    මගෙ පුද්ගලික අදහස නම් ලංකාව වගේ රටකට විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියන එක. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒ උනත් සමහර දේවල් දකිනකොට වගේම ලංකාවෙ පාර්ලිමේන්තුව තුල ඉන්න පිරිසගෙ අදහස් එක්ක බලද්දි පාර්ලිමේන්තුවට බලය පැවරීමේ අවධානමක් නැද්ද කියන සැකයක් එනවා. වෙන්න ඕනෙ විධායකේ නැති කිරීමට වඩා ඒ බලය භාවිතා කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මගින් රටේ යහපත සඳහා වන තීරණ ගැනීමට යොමු වීම නොවේද කියන දේ හිතෙනවා.
    මම කොහොමවත් දේශපාලනය ගැන නොදන්න නිසා මේක වැරදි ඇති. අදහසක් පමණයි.

    ReplyDelete
    Replies
    1. //විධායකේ නැති කිරීමට වඩා ඒ බලය භාවිතා කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම//
      උඹ කියන දේ ඇත්තක් තියෙනවා.

      Delete
  5. ඉයන්ගේ යෝජනාවන්ට මගේ ද එකඟත්වය පළවෙනවා. ඒ එක්කම නිලධාරීවාදය පාලනය කර ගැනීමට අවශ්‍ය උපක්‍රම මනාව සැලසී තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලන නායකත්වය නැතිව කොමිසමක් හරහා ය අංශයක් තිබෙන කොට යම්කිසි අසාධාරණ තීන්දුවකට එරෙහිව කොමිසමට පැමිණිලි කිරීමටද, කොමිසමේ අසාධාරණ තීන්දු වලට එරෙහිව උසාවියකටද පැමිණිලි කිරීමට හැකිවේ. ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
  6. ඉයන් උඹේ යෝජනා තැපෑලෙන් වුණත් යවන්නට හැකියි..... හොදම දේ නං තමන්ගේ යෝජනා තමන් විසින් ම දෙන්න....... මොකද බ්ලොග්කරුවන් හැටියට පොදු ඒකගතාවයන් හදා ගැනීමක් කරන්න හැකි වුණත් ඒ ඉතාම සීමිතා දේවල් ගානකට විතරක් වෙයි කියලා මට හිතෙනවා.... ඉතින් තමන්ගේ සියලුම යෝජනා තමන් විසින් යැවීම තමා සුදුසුම...... අපි පොදු ඒකගතාවයකට යන්න හැකි නම් වෙනමම උත්සහ ගනිමු.....

    ReplyDelete
    Replies
    1. මචං කුරුටු අපි බ්ලොග් කරුවන් ලෙස පොදුවේ දාන්න පුලුවන් තරමක් දාමු. මොකද තනියම ඉල්ලනවට වඩා බරක් දෙන්න පුලුවන් නිසා.

      Delete
    2. කුරුටු මගේ අදහසත් ඒකයි . තනියමත් යවන්න. නෙලුම් යාය හරි මොකක් හරි කියල කට්ටියක් මේවා ඉදිරිපත් කලාම බර වැඩියි. ඒගොල්ලන්ට අහක දාන්න බැහැ.

      Delete
  7. සමස්තය තමයි, අමන දේශපාලකයන් විසින් අවභාවිතයේ යොදවන බලතල කප්පාදු කොට, නීත්‍යානුකූල රාජ්‍ය ආයතන වෙත දෙමු කියන එක. ඒ ආයතන වලට, දේශපාලන හෙන්චයියන් නොවන, උගත්, බුද්ධිමත් පිරිසක් පත්කිරීමත් හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. පුරවැසියන් වශයෙන් මේ මේ දේවල් වෙන්න ඕන කියල කියන්න ක්‍රමයක් සහ අයිතියක් තියෙන්නත් ඕන නේද විචා. අද ඒ දේ නැති නිසා පත්වෙන අය ඒගොල්ලට ඕන දේ කරනවා.

      Delete
  8. තුන්වන යෝජනාව නම් අද හෙට උනත් කිසි අවුලක් නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ සහ ඉතාම ප්‍රයෝජනවත් යෝජනාවක්.
    දඬුවම් ක්‍රම (සුළු වැරදිකරුවන්,බාලවයස්කරුවන් අනිවාර්ය සමාජ සේවයට යෙදවීම.) වගේ දේවල් ගැනත් රජයේ අවධානය යොදවන්න පුළුවන් නම් අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මේ වගේ එකක් කොහොමද එකතු කරන්නේ. මම දැනට මගේ බ්ලොගයේ ව්‍යවස්ථා යෝජන කියල ලින්ක් එක දාන්නම්. ඊට පස්සේ බලමු පේජ් එකක් හදන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් මේ සඳහා ඔබ වෙනම පිටුවක් ආරම්භ කරන තුරු පමණයි මෙතන දාන්නේ.

      Delete
  10. ඔයාගේ බ්ලොගය මගේ www.blogpower.info සින්ඩිය ටත් එකතු කලා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත් ලොකු දෙයක්

      Delete
  11. දුප්පත්කම නැතිකිරීමේ සහනාධාර සහ අනිකුත් ව්‍යාපෘති ස්වාධීන කිරීම +++++++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Dr. රුවන්

      Delete
  12. තුන් වෙනි එක ගැන නං අවුලක් දැනෙනව...
    ඔය රෙද්දෙ සහනාධාර හින්ද තමා මුං කම්මැලි අල වෙලා ඉන්නෙ ඒ වෙනුවට ඒව අධෛර්යමත් කරන වැඩ පිළිවෙලක් හදල (එහෙමම නෙවී) උංට තනියෙං හරි නැගිටින විදියට පරිපූර්ණ නීති රාමුවක් ඇතුලෙ වැඩසටහනක් පටං ගත්ත ං වටිනව කියල හිතෙනව..
    ඒ කීවෙ මේකයි ණය හෝ වෙන දෙන ලබ්බක් නිකං දීල අත පිහිදගන්නවට වඩා උංව මෝටිවේට් කරන එකයි ඒ ව්‍යාපාර සම්බන්ධව නිතරම උදව් කරන එකයි ඇර අර දීපු සහනාධාරය හෝ ණය ලබා ගැනීමටත් ක්‍රියා කරන්න ඕන ඒ විතරක් නෙවී යම් කිසි කාලවකවානුවක් වෙනකං අර පටං ගත්ත දේවල් ගැන අවධානයක් දෙන්න ඕන...
    සල්ලි නිකං නාස්ති කරන උංට මොකක් හරි පනිෂදෙන්නත් ඕන
    නැත්තං දෙනවට ගන්නව පස්සෙ බජව් දාල විනාස කරනව
    ඒ කරන්නෙ නොදැනුවත් කමටත් වඩා තුප්පහි කමට ඔය සමහර රාජ්‍ය නිලධාරිනුත් එක එක ගං කබරයන්ට ඕව ගන්න ඇරල කොමිස් ගන්නව

    ReplyDelete
    Replies
    1. මෙම සහනාධාර ක්‍රමය දැනත් තියෙන එකක්. ඒක ස්වාධීන කිරීම සහ දුප්පතුන්ට සහනාධාර දීමට අමතරව හැම අවුරුද්දකම කොටසක් වත් ඒකෙන් ගොඩගන්න කියන එකයි යෝජනාව.

      Delete
  13. ඉතාම වැදගත් යෝජනා ටිකක්.කරගන්න පුලුවන් උනොත් ගොඩ..
    උත්සාහයට ජය වේවා!

    ReplyDelete
  14. මොන මගුලක් හරි කරල දේසපාලුවො ප්‍රමාණාත්මකව අඩු කරන්න බැරිද? ප්‍රාදේශීය සබා, පලාත් සබා පාර්ලිමේන්තු........ තවත් ගාණ වැඩිවෙයිද?

    උන්ගෙ ගුණාත්මකබව වැඩි කරන්න බෑ, උන්ව වඳ කරන්න බෑ. ඉතින් ඩෙන්ගු මදුරුවො වගේ බෝවෙන එක නවත්වල ඉන්න ගාණත් අඩු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. පලාත් සභා අයින් කරන්න අමාරුයි. පාර්ලිමේන්තුව අයින් කරන්න බැහැ. එකම දේ කරන්න පුළුවන් ප්‍රාදේශීය සභා සහ නගර සභා වල දේශපාලකයෝ අඩු / නැති කිරීම. අඩුම වශයෙන් කාර් පර්මිට්, ආරක්ශකයො, වාහන, ඉන්දන වගේ වියදම් නැති කිරීම. ස්තූතියි ප්‍රාජේ

      Delete
  15. නොතේරෙන දේට නං මං ඇවිත් මොනා හරි කියනවා. හැක්.. කෝමද ලින්තොට මල්ලි ඉතිං..

    ReplyDelete
  16. අංක 1 දැනට තියෙනවා කියල මම හිතන් හිටියේ. ඒ කියන්නේ පළාත් සභා හරහා මේ විධිහට වෙනවා කියල. දේශපාලකයෝ අයින් කරන්න කියන එක හොඳයි.
    2, 3 ට මමත් එකඟයි. (කරන්න පුලුවන්නම්)

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ අඩුකරන්න ඔප්ෂන් 2ක් යෝජනා කරමි;

      1. පුංචි බලවත් මධ්‍යම රජයක් (පලාතකින් නියෝජිතයෝ 5ක්)+ අංග සම්පූර්ණ පලාත් සභා ( ජන අනුපාත අනුව නියෝජනය වෙන)+ පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා(ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

      2. සෙනේට් එකක් + සර්ව සම්පූර්ණ මධ්‍යම රජයක් (දැන් තියන එකට වඩා තරමක් අන්ජබජල්) + පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා (ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

      ගමක ජනවර්ග /කුල/ ආගම් කීපයක ජනයා එක්ව වාසයකරයි නම්, එම ගමට යෙදවූ බදු මුදල් වලින් ලබන ප්‍ර‍තිලාභ ජන අනුපාතයන්ට සමානපාතව යෙදවී ඇති බවට ගම් සභාවේ විධායක නිළධාරී තැන වගවිය යුතුය.

      මුල් ගල් / විවෘත කිරීම් වැනි දේශපාලනික උත්සව නැත, ආගමික චාරිත්‍ර‍ අවශ්‍ය නම් ප්‍ර‍තිලාභීන් ඒ සඳහා මුදල් යෙදවිය යුතුයි.

      cont...

      Delete
    2. දේශපාලකයින් නොවන අයගෙන් සමන්විත සෙනේට් සභාවක් හොඳම විසදුමක්. ලංකාවේ 1972 වෙනකම් මේක තිබ්බ.

      Delete
    3. contd...

      මහජන නියෝජිතයන් සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම් සීමාවක් අවශ්‍ය නැත, නමුත් වසර 5 වැඩි කාලයක නොකැලැල් ස්වෙච්ඡා සේවා ඉතිහාසයක් (නායකත්ව) තිබීම අත්‍යවශයයි සිතමි, පිළිගත් වෘත්තීය සභාවක විධායක තනතුරක් දරාතිබීම ඒ හා සමාන සුදුසු කමක් ලෙස සැලකිය හැකි යයි සිතමි. වසර 15ක් තුල යම් දූෂණයකට / අපරාධයකට වරදකරු වී තිබීම අපේක්ෂකත්වයට නොසුදුසු කමකි.

      Delete
  17. mewage dewal athulath unoth...
    pradeshiya nagara palaath parliament kiyana aayathana sadhaha aduma A/L wath kara thibeema.
    kisima aayathanayaka manthree kenekuta pakse maaru kireemata nohakiweema.

    MP or ministers lage pvt secretarylata pawaa wisayata adhaalawa degreeyak thibeema.

    ethakota ethin nonatai puthatai duwatai wenath sambandakam thiyan enna ayatai degreeyak nathnam nikam padi kanna othanata enna baruwa yanawa. :D

    ReplyDelete
  18. යෝජනා ටික නම් ඇත්තටම වටිනව ඉයන් අයියා. ඒත් මේ දේවල් ක්‍රියාත්මක වේවිද නැද්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ඇත්තටම ඉයන් අයියා මේ ටික හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් වුනොත් ලංකාවෙ වංචා දූශණ අවම කරගෙන ක්‍රමවේදයකට අනුව සම්පත් කළමනාකරණය කර ගැනීම පහසු වේවි..

    ReplyDelete