Tuesday, January 26, 2016

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 2



ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 1

අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත් සමාජයේ තිබෙන විශාල ප්‍රශ්ණ සහගත අංශයක් වන අධ්‍යාපන ක්ශේත්‍රයේ වැඩි වියදමක් නොමැතිව කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන ලියන්නම්. මේවත් බ්ලොග් කරුවන් ඉල්ලන ඉල්ලීම් වලට ඇතුලත් කර ගත්තට පාඩුවක් නම් වෙන එකක් නැහැ.

පාසැල් වලට ළමුන් බඳවා ගැනීමට විනිවිද භාවයෙන් යුත් ක්‍රමයක්   

අද රටේ තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි පාසැල් වලට ළමයින් ඇතුලත් කරගැනීමේදී මුදල් නිසා සහ දැන ඇඳුණුම් කම් නිසා එවන් දේවල් අඩු අයට වෙන අසාධාරණය. මේ සඳහා තාක්ෂණයෙන් විසඳුමක් දීම අපි හිතනවාට වඩා පහසුයි. මෙම යෝජිත ක්‍රමය ආරම්භ කළ යුත්තේ ළමයාට අවුරුදු පහ පිරීමට ආසන්නයේ නොව අවුරුද්ද පිරෙන විටයි. මව්පියන් කළ යුත්තේ ළමයාගේ විස්තර සහ අයැදුම් කරන පාසැල් සහ පදිංචි ලිපිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කරුණ සඳහාම පිහියුවනු ලබන වෙබ් අඩවියකට ඇතුලත් කිරීමයි. අන්තර්ජාල පහසුකම් නැති අයට අදාල ප්‍රාදේශීය සභා කාර්‍යාල වල නොමිලේ සහ සුළු මුදලක් ගෙවා එය කරදීමට ඉදිරිපත්විය හැකි තරුණ ව්‍යවසායකයින් හරහා එසේ විස්තර ඇතුළු කල හැකිය. අදාල පාසැල් විසින් ඔවුන්ට ඇතුළුකර ගතහැකි ළමයින් සංඛ්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දිය යුතු අතර එම සංඛ්‍යාව අඩුම වශයෙම් පෙර වසරේ ඇතුලත් කරගත් සංඛ්‍යාවට සමාන හෝ වැඩි විය යුතුය. 

හැම අයැදුම් කරුවකුටම අංකයන් ලැබෙන අතර පටිගත කරන සහ ස්වාධීන අය නිරීක්ශණය කරන අහඹු තෝරාගැනීමේ ක්‍රමයක් (ලොතරැයි දිනුම් අදින ආකාරයේ යන්ත්‍රයකින්) එක් එක් පාසැලකට තොරාගන්නා සිසුන් නිර්ණය කළ හැක. එම තෝරාගැනීම් වෙබ් හරහා ප්‍රසිද්ධ කලවිට ඒවාට විරුද්ධතා දැක්වීමට කාලයක් දිය යුතුය. මෙහිදී බොරු ලිපිනයන් දීම සහ බොරුවට පැමිණිලි කිරීම යන දෙකම දඬුවම් ලැබිය යුතු වැරදි වනු ඇත. බොරු ලිපිනයක් දී ඇති අයකු හසු වුවහොත් එම දරුවා ලැබුණු පාසැලේ ලැයිස්තුවෙන් ඉවත් කර වෙනත් ඉඩ ඉතිරිවී තිබෙන පාසැලකට අනුයුක්ත කරනු ඇත. 

මෙසේ තෝරාගැනීම් ළමයින් අතර සුහදව හුවමාරු කරගත හැකි විය යුතුය. උදාහරණයකට ජාතික පාසැලක් ලැබුණු දුප්පත් දරුවකුගේ දෙමව්පියන් මුදලක් ලබාගෙන එය හුවමාරු කරගැනීම සිදුවිය හැක. මෙවිට එම මුදල් යන්නේ දුප්පත් පවුලකට මිස අතරමැදියෙකුට හෝ විදුහල්පතිවරයෙකුට නොවේ. වකුගඩු විකුණාත් මුදල් සොයන දුප්පතුන් සිටින විට මෙවන්නක් 'විකුණා' මුදල් ලබා ගැනීම වරදක් නොවන බව මගේ හැඟීමයි.  එසේ මාරු ලබා ගැනීමට කැමති අයට ඔවුන්ගේ ඉල්ලීම් අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළු කර හැකි වන අතර සුහද මාරු සඳහා දරුවන් දෙදෙනාගේම මව්පියන් අත්සන් කර එවන අයැදුම්පත් අමාත්‍යාංශයට එවීමෙන් ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගෙන එම මාරු ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රමයෙන් ළමයාට අවුරුදු 2 හෝ 3 පිරෙන විට ඔහුට ලැබෙන පාසැල තීරණය වන අතර අදාල පාසැල්ද තමන්ට ඇතුලත් වන ළමයි සංඛ්‍යාව ආදිය කලින් දැනගෙන සිටීමෙන් ඒ සඳහා සූදානම් විය හැක.

ඉල්ලුම්කාර දෙමව්පියන්ගේ ජංගම දුරකථන අංක හරහා අංකය, ළමයාට ලැබුණ පාසැල, සහ වෙනත් තොරතුරු ලබා දිය හැක. 

5 වසර ශිශ්‍යත්වයේදී වැඩිපුරම ලකුණු ලබන ළමයින් ගෙන් 30% ඉහල මට්ටමේ පාසැල් වලට යොමු කිරීමත්, අඩුම ලකුණු ලබන 30% පහල පාසැල් වලට යොමුකිරීමත්  බුද්ධිය අනුව අදාල පාසැල් වලට අනුයුක්ත වීම සිදුවේ. 

ටියුෂන් ප්‍රශ්ණයට විසඳුම

අධ්‍යාපන ක්ශේත්‍රයේ තිබෙන තවත් විශාලම ප්‍රශ්ණයක් තමයි ටියුෂන්. බොහොම මුදල් තියෙන අය ගෙදරටම ගෙන්නගෙන ටියුෂන් ගන්න අතර බොහෝ දෙනෙක් පොදු අමතර පන්ති වලට යනවා. දුප්පත්ම පාසැල්වල සහ පවුල් වල අයට මේක අමාරු දෙයක්. ඒවගේම නගර වල අයට හොඳ පන්ති තිබුණත් සමහර අයට ලොකු වියදමක් දරන්න වෙනවා ටියුෂන් පන්ති තියෙන නගර වලට එන්න. මේකට විසඳුමක් දෙන්න ක්‍රම දෙකක් යෝජනා කරන්න පුළුවන්.

පළමුවෙනි එක තමයි මීට පෙර වසරේ හෝ ඊටත් පෙර වසරේ දිස්ත්‍රික්කයක උසස් පෙල විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ගත්ත ලමයි යොදවාගෙන ඒ දිස්ත්‍රික්කයේ හැම පාසැලක්ම ආවරණය වෙන ලෙස පාසැලේම පාසැල් වෙලාවෙන් පසුව (සහ සති අන්ත වල ) අමතර පන්ති පැවැත්වීම. උදාහරණයට රසායන විද්‍යාවෙන් හොඳ ප්‍රතිඵල ගත්ත දිස්ත්‍රික්කයේ ලමයි 10 දෙනෙකුට පාසැල් 30 ක විතර පන්ති පවත්වන්න පුළුවන්. කුඩා පාසැල් වල අය ලඟ තියෙන ලොකු පාසැල් වලට ගෙන්වාගන්නත් පුලුවන්.  ඒ අයට යම්කිසි ගෙවීමක් අමාත්‍යාංශයෙන් ගෙවල මෙවැනි දෙයක් කළොත් දුප්පත් ලමයින්ට ලොකු සේවයක් වෙන්න පුළුවන්. 

උසස් පෙල හොඳම ප්‍රතිඵල ගන්න අය ගුරු වෘත්තියට නො ඒම නිසාත් ගුරුවරු උසස් පෙල ලියල ගොඩක් කාලයක් නිසාත් මෙම ළමයින්ට විභාගය සමත් වෙන්න ඕන දැනීම දෙන එක ටීචර්ලට වඩා පහසු වෙයි. මේ ටීචර්ලට වඩා ළමයි ලඟකදි විභාගයට මුහුණ දීල හොඳ ප්‍රතිඵල අරගෙන තියෙන නිසා ටියුෂන් වෙලඳුන්ට වඩා විභාග උපක්‍රම වගේ දේවල් සහ අදාල ගුරුවරු කවර් නොකරපු විභාගයට අවශ්‍ය දේවල් කවක් කිරීමෙන් උසස් පෙළ විභාග වලට ඉන්න සිසුන්ට වැදගත් සේවයක් කරන්න පුළුවන්.

 ජාතික පාසැල් අවට කුඩා පාසැල් ජාතික පාසැල් සමඟ ඒකාබද්ධ කිරීම 

ජාතික පාසැල් අවට (උදාහරණයකට කිලෝ මීටරයක් ඇතුලත තියෙන ) කුඩා පාසැල් ජාතික පාසැලේ අංශ ලෙස වෙනස් කිරීම. උදාහරණයකට කොට්ටාව ධර්මපාල විද්‍යාලය අවට කුඩා පාසැල් 'කොට්ටාව එකනමක්  විදුහල' සහ 'කොට්ටාව තවනමක් විදුහල' කියල දෙකක් තියෙනවනම් ඒ දෙක ධර්මපාල විද්‍යාලය 'X" පාර ශාඛාව (X Road Campus) වගේ. එවිට ඒ පාසැල් සියල්ල ධර්මපාල විද්‍යාලය යටතේ පාලනය විය හැකියි. කුඩා පාසැල් අංශ වලට උප විදුහල්පති වරු පත්කරල ප්‍රධාන විදුහලේ විදුහල්පති යටතේ පාලනය වන විශාල පාසැලක් කරන්න පුලුවන්.  

ඒවගේම ධර්මපාල විද්‍යාලයේ විද්‍යාගාර එහෙම තියෙනවනම් විද්‍යාගාර අවශ්‍ය විශයන් ධර්මපාල විද්‍යාලයේත් වානිජය වගේ විෂයන් එහෙම නැත්නම් ප්‍රාථමික පන්ති අනික් පාසැල් වලට මාරු කරන්න පුළුවන්. ඩෙස්ක් පුටු ආදිය වැඩිපුර තියෙන තැන් වලින් අඩු තැන්වලට, ගුරුවරු, ක්‍රීඩා පිට්ටනි ආදී පහසුකම් එම විද්‍යාල සමූහයටම පාවිච්චි කරන්න පුලුවන්. අද එම විද්‍යාලයේ සිසුන් 3,000 ක් ඉන්නවනම් ඒක සිසුන් 5,000 ක් වගේ වෙයි. ඒවගේම බාලාංශ පන්තිවලට ඒ විශාල ජාතික පාසැල් වලට බඳව ගන්න පුළුවන් ගාණත් වැඩිවෙයි. මේ විදිහට ටික ටික එකතු කරගෙන ගියාම ඔක්කොම ඉස්කෝල ටික ජාතික පාසැල් වෙයි. මේකෙ ලොකු වාසියක් තියෙනවා. උදාහරණයකට ධර්මපාල විද්‍යාලයේ තියෙන විද්‍යාගාර වගේ පහසුකම් ඒ විද්‍යාලයේ ඉන්න පොඩි ළමයින්ට වැඩක් නැහැ.  ලොකු ළමයි ඉන්න සමහර විද්‍යාල වලට විද්‍යාගාර නැහැ. අද ප්‍රවාහණය එහෙම ඔය පාසැල් ක්‍රමය පටන්ගත්තට වඩා ගොඩක් දියුණු නිසා ප්‍රධාන පාසැලක් කිලෝ මීටර් 5 - 6 වටේ තියෙන පොඩි පාසැල් කීපෙකින් සමන්විත වුනාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ.  

සියළුම උසස් අධ්‍යාපන අවස්ථා සාධාරණ ලෙස බෙදීම    

උසස් පෙලින් පසුව රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරෙණ සිසුන් ගෙන් යම් දැනීමක් ඇති දෙමව්පියන් හිතවතුන් සිටින අය රජයේ අනිකුත් උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල්වේ. මෙහිදී එතරම් දැණුම් තේරුම් නැති දෙමව්පියන්ගේ දරුවන්ට අසාධාරණයක් සිදුවේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලය,  ජර්මන් ටෙක් සහ අනිකුත් කාර්මික විද්‍යාල, දේශීය වෛද්‍ය විද්‍යාල, හෙද විද්‍යාල, ගුරු විද්‍යාල, එච්.එන්.ඩී.යී වැනි උසස් අධ්‍යාපන පාඨමාලා ආදී සියළුම රජයේ වියදමින් පවත්වාගෙන යන ආයතන වලට බඳවා ගැනීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්ව විද්‍යාල බඳවා ගැනීම් සමඟම සිදු කිරීමෙන් මෙය වළක්වා ගත හැක. උසස් පෙල සමත් සිසුන්ට අයැදුම් කල හැකි විශ්ව විද්‍යාල (උසස් අධ්‍යාපන ආයතන )  ලැයිස්තුවට මෙම ආයතන ඇතුලත් කිරීම එතරම් ප්‍රශ්ණ සහගත දෙයක් වීමට ඉඩ නැත. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම ලෙස නම් කිරීම කළ හැක. වඩාත් හොඳ විසඳුම නම් මෙම උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල වලට අනුබද්ධ කිරීමයි.

දුරස්ථ අධ්‍යාපනය

විද්‍යාගාර විෂයයන් නැති අංශ වල එනම් වානිජය, ගණකාධිකරණය, ආදී විෂයයන් වල උපාධි  විභාග සඳහා බාහිර අපේක්ෂකයන්ට පෙනී සිටීමට ඉඩ සැලසීම. අද පවතින තාක්ෂණ දියුණුව නිසා ඊමේල් මඟින් යූටියුබ් වීඩියෝ මඟින් දේශණ, සටහන් ලබා දීමෙන් විද්‍යාගාර පහසුකම් අවශ්‍ය නොවන අංශ වල දුරස්ථට ඉගෙනීමට අති විශාල සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට විශ්ව විද්‍යාල හැකියාව ඇත. දිනෙන් දින දියුණුවන ඉන්ටෙර්නෙට් පහසුකම් ආදිය ලංකාවේ පවතින මෙම ප්‍රධාන ප්‍රශ්ණයට විසඳුමක් ලෙස යොදාගත හැක. ලිඛිත පරීක්ෂණ වලින් සමත් වන දුරස්ථ සිසුන්ට, වයිවා පරීක්ශණයකින් සහ ප්‍රායෝගික පරීක්ශණයකින් පසුව එම උපාධියම ලබාදීමට නොහැකීවීමට කිසිම හේතුවක් නොදකිමි. මෙය සිසුන්ටද සමාජයටද වියදම් සහ අපහසුකම් අඩු ක්‍රමයක් වේ. සමහර විට ඡන්ද දෙදාහේ පසුගාමී පක්ශයේ ආධාරකරුවන් පමණක් මෙම ක්‍රමයට විරුද්ධ විය හැක.


කරුණාකර මෙය අන් අය සමඟ බෙදාගන්න. මෙතනින් ගත් බව කියන්න ඕන කමක් නැහැ.    


මතු සම්බන්ධයි    

54 comments:

  1. Ian- tuition ප්‍රශ්නෙට විසදුම් හොයන්න ගිහිල්ලා tuitionකාරයෝ ටික ඔලුවට එයි නේද උන්ගේ income නැතිවෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. ටියුශන් යන්න මග වියදම් සල්ලි හොයා ගන්න බැරි අය වෙනුවෙන් කියන්නත් එපැයි. බොහොම ස්තූතියි ඇනෝ

      Delete
  2. මම නම් දකින දෙයක් තමයි ඉයන් කුඩා පාසල් ජාතික පාසල් වලට එකතු කරන එක ක්‍රියාත්මක කලත්, ප්‍රාථමික පාසල් කියන දේ සෑම විටම වෙන්ව පිහිටන්න ඕනෙ කියන දේ. ඒක ජාත්‍යන්තරව පවා පිළිගන්න දෙයක් මං දන්න විදිහට. වැරදි නම් නිවැරදි කරන්න.
    මොකද කුඩා දරුවෙක් සෑම විටම අවට සමාජයෙන් තමයි ආදර්ශ අරගන්නෙ. ඌ එක වසරෙ ඉඳන්ම ඉස්කෝලෙ ඉන්න ලොකු ළමයිගෙ හැසිරීම දකිනවා නම් ඌ හැදෙන්න බලන්නෙත් ඒ විදිහට. ඒකෙන් වෙන්නෙ ළමයා කියන කෙනා නැති වෙන එක. පොඩි එකා පොඩි එකෙක් වගේ හැදෙන්න නම් ඌ පොඩි උන් ගොඩක ඉන්න වෙනවා නේද?
    පොඩි පාසල් ජාතික පාසලට එකතු වෙද්දි පාසල් වල ප්‍රාථමික අංශය වෙන් වෙනවා නම් සුදුසුයි කියන එක මං හිතනවා.

    ReplyDelete
    Replies
    1. yes, yes, ප්‍රාතමිකය වෙනම තියනකොට බුලිං එහෙම අඩුයි, ටොයිලට් එහෙම පිළිවෙළකට තියාගන්න පහසුයි, එත් පුංචි ඉස්කෝල වල පින්සිපොල්ලා හදන්නෙම ලොකු පංතිත් ඈදා ගන්න, ඒ විෂය බාහිර බර වැඩ වලට මරවන්න ලොකු කොල්ලො කෙල්ලො ඕන නිසා.

      Delete
    2. ප්‍රින්සිපල්ලා විතරක් නෙවෙයි ඇණේ දෙමව්පියන්ටත් ඕනෙ පොඩි ඉස්කෝලෙයි ලොකු ඉස්කෝලෙයි එකට ඈඳන්න. ඒත් උන් දන්නෙ නෑ ඒකෙන් පොඩි උන්ගෙ මනසට වෙන හානිය ගැන.

      Delete
    3. ප්‍රාථමික අංශ ඕනම පාසැලක වෙනම තමයි තියෙන්නෙ. ඒ වුනාට ප්‍රාථමික පාසැලට ළමයින් අරන් එන අම්මලත් එක්ක සෙට් වෙන උසස් පෙල ළමයි සිටිය මම හිටිය පාසැලේ :). බොහොම ස්තූතියි කැමා & ඇණයා

      Delete
    4. තාම ගමේ ගොඩේ ප්‍රාතමිකේ වෙනම තියෙන ඉස්කෝල තියෙන්නේ කීයෙන් කීයද මචං...

      Delete
  3. "අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත්......." යනුවෙන් ඔබ විසින් මුලදීම පෙන්වා දුන්නත් එය ව්‍යවස්ථා සංශෝධනයට කෙලින්ම සම්බන්ධ වැදගත් අංශයක් ලෙස සලකා අධ්‍යාපනය යන්න වැදගත්ම අංශයක් ලෙස අවධාරනය කරමින් බලගැන්විය යුත්තක් බව මගේ අදහසයි. පවතින ගැටළු දෙස බැලූ විට ඒවාට අතරගම පිළියම් යෙදවිම අසාර්ථක උත්සාහයක් විය හැි බව සිතන්නෙමි. රජයක් මූලිකවම සැලකිල්ල යොමු කළයුත් යුතු පළමු අංශය අධ්‍යාපනය යයි දෙවන අංශය ? එය ද අධ්‍යාපනයයි. තෙවන අංශය .....? එයද අධ්‍යාපනයයි. යනුවෙන් පැවසීම අන්තවාදී සිතවිල්ලක් බවට අදහස් පළවිය හැකියි. එහෙත් මම එම අන්තයේ තරව සිටින්නෙක් වන්නෙමි. ඔන්න මගේ යෝජනා කිපයක් අධයාපනය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිණිස පිළිගත් අධ්‍යාපනඥයන්ගෙන් සැදි පූර්ණ බලතල සහිත ජාතික අධ්‍යාපන කොමිසමක් පත් කළයුතුය. අධ්‍යාපන අමාත්‍යංශයක් තිබේනම් එහි හැම විටම ලේකම් වරයා විය යුත්තේ පිළිගත් අධ්‍යාපනඥයෙක් ලෙස සැලකෙන අයෙකි. ඔහු අවම වශයෙන් අධ්‍යාපනය සම්බන්ධ දර්ශනපති උපාධියක් ලැබූවකු විය යුතුය. පළාත් අධ්‍යාපන ලේකම් වරුන් හා අධ්‍යක්ෂවරුන් විය යුත්තේ ද අවම වශයෙන් අධයාපනපති උපාධියක්වත් සම්පූර්ණ කළ අයෙකු විය යුතුය. අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගන්නා සියල්ලන්ම අධ්‍යාපනපති උපාධිය සහිත අය විය යුතුය. බොහෝ ගුරුවරුන් අධ්‍යාපනය ගැන දැනසිටියත් දැනට සිටින අධ්‍යාපන පරිපාලකයන් දන්නේ සහ සලකන්නේද AR එක සහ FR එක ගැන පමණි. යන්න ගුරු ක්ෂේත්‍රෙයන් නැගෙන චෝදනාවකි. ඒ අනුව හැඩ ගැසෙී ඇති ගුරුවරයාද කාර්යාලයක ලපිකරුවකුගේ තත්වයට පත්ව ඇත. ඔවුන්ගේ ප්‍රධානම කටයුත්ත 7.30 ට පෙර පැමිණ බව සටහන් කිරීම සහ 1.30 ට පිටවීම සටහන් කිරීම සහ අද්‍යාපන කාර්යාලයට යැවිය යුතු වාර්තා ලිවීම බව ගුරුවරුන්ම පවසති. ළුන්ට ඉගැනවීම යනු බොහෝ දෙනකු කරනු ලබන අතිරේක කටයුත්තකි. ඇතැමෙකු යෙදෙන පුණ්‍ය කටයුත්තකි. එවැන්නක් ප්‍රධානීන්ගේ ඇගයීමට ලක් වන්නේ ඉතාම කලාතුරකිනි. පරිපාලකයන් විසින් අවංකව කරන ඇගයීමකට ඒවා කිසිදිනක ලක් නොවේ.

    ReplyDelete
    Replies
    1. වෙන රස්සා වලට යන්න නොහැකි අය ගුරුවරු වෙනකන් මෙම ප්‍රශ්ණ විසඳෙන්නේ නැහැ.

      Delete
    2. Anonymous මේ කරුණු සමග මම එකග නොවෙමි, එයට ප්‍රධාන හේතුව වනුයේ පරිපාලනය යනු වෙනම විශයක්වන බැවින් සහ අධ්‍යපනයේ සිටින සේවකයින් පාලනය කිරීම සදහා අධ්‍යාපනය පිලිබදව දැනුමක් සහිත නිලධාරින් සිටිමට වඩා අවශ්‍යවන්නේ පරිපාලනය පිලිබද දැනුමක් සහිත නිලධාරින් පිරිසක් වීමය. දැනට අධ්‍යපන පරිපාලනයේ යෙදෙන නිලධාරින්ගේ බොහෝ අඩුපාඩු ඇත. (උදා - ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් හෝ උසස්වීමක් ලබා ගැනීමට බොහෝ ප්‍රමාදයන් සිදුවේ) ඒවා පරිපාලන හා කළමනාකරණ දුර්වලතාවයන්ය. අධ්‍යපනපති උපාධිධාරින් හෝ අධ්‍යපනය පිලිබද දර්ශනපති උපාධි ලැබුවන් පරිපාලනය කිරිමෙන් එවැනි ගැටලු වැලකිමට විශේෂ දායකත්වයක් ලැබෙන්නේ නැත.

      තවද මම දන්නා පරිදි අධ්‍යාපන පරිපාලන සේවයේ විශයන් අනුව වෙන වෙනම විශය පරිපාලනයට නිලධාරින් කොටසක් සිටියි. ඔවුන්ගේ කාර්යයන් පිලිබදව මම නොදනිමි. මම සිතන පරිදි විෂය මාලාවන් සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර සැකසීම හා විභාග පැවැත්වීම අධික්ෂණය කිරීම, එම විෂයට අදාල ගුරුවරුන්ට පුහුණු පාඨමාලා සැකසීම, පුහුණු කිරීම් අධික්ෂනය කිරීම මෙම විෂය අධ්‍යාපන පරිපාලකයින්ට අදාලවිය හැකිය. ඔවුන් විෂය දැනුමට අමතරව (උදා - ගණිතය පිලිබදව සිටින අධ්‍යාපන පරිපාලකයින්, ගණිතය පිලිබද විෂය දැනුමට අමතරව) අධයාපනපති උපාධියක් ලබා තිබීම හොදය.

      Delete
  4. IAN, // අද පවතින තාක්ෂණ දියුණුව නිසා ඊමේල් මඟින් යූටියුබ් වීඩියෝ මඟින් දේශණ, සටහන් ලබා දීමෙන් විද්‍යාගාර පහසුකම් අවශ්‍ය නොවන අංශ වල දුරස්ථට ඉගෙනීමට අති විශාල සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට විශ්ව විද්‍යාල හැකියාව ඇත.//
    මේ තියෙන්නේ උදාහරන https://www.youtube.com/user/khanacademy/videos

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ලැප් එකක් ගහගන්න ප්ලග් එකක් තියන පංති කාමර ඇත්තේ ඉතාම ස්වල්පයක්, ඒත් බොහොමයක සෙන්ට්‍ර‍ල් එනවුන්ස් සිස්ටම්ස් තියනවා, දැන් දැන් පංතිකාමර වල CCTV කැමරාත් හයි කරනවා, ගුරුවරයෙක් ලැප් එකක් උපකාරයෙන් උගන්නවානම් අනෙත් ගුරුවරුන්ගෙන් කෙනෙහිලි බොහොමයි.

      Delete
    2. පරිඝණක සහ ඉන්ටනෙට් ආශ්‍රයෙන් උසස් අධ්‍යාපනය දුරස්ථව දෙන්න පුලුවන් වෙන එක ගැන තියෙන අවධානනය මදි. උසස් අධ්‍යාපන අවස්ථා අඩු රටකට ඒක ඕනෙමයි

      Delete
  5. විෂයමාලා සංවර්ධනය, විභාග පැවැත්වීම, විභාග මට්ටම්, ගුරු පුහුණුව, තව ගොඩක් තියනවා අධ්‍යාපන විෂයය යටතේ.

    ReplyDelete
    Replies
    1. ගුණාත්මක තාවය වර්ධනයට ඔබ කියන ඒවා අදාලයි විචා. මම ගත්තේ ප්‍රධානම වියවුල් තිබෙන අධ්‍යාපනයේ අංශ

      Delete
  6. ඉයන් මම හිතන්නේ ප්‍ර‍ධාන පාසල් වර්ග තුනක් තිබුනාම ඇති, පළමුවැන්න ජනගහනයට සමානුපාතිකව පිහිටි සාමාන්‍ය පාසල්, නිශ්චිත භූමි වර්ග ප්‍ර‍මාණයක ජීවත්වන සියළු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම එම පාසල් වලට බාරයි, දෙවැන්න සුවිශේෂ දක්ෂතා සහිත සිසුන්ට සඳහා අධි ශ්‍රේණියේ පාසල්, මෙම පාසල් වලට තරඟ විභාග වලින් පමණක් සිසුන් බඳවාගැනිම සුසුසුයි, මෙම පාසල් වලට තේරෙන ආර්තික අපහසුකම් ඇති සියල්ලට පූර්ණ ශිෂත්ව රජය මඟින් ලබාදීම ඉතා වැදගත්, ආදිශීෂ්‍ය හෝ පාසලට ඇති සමිප භාවය මත මෙම පාසල් වලට සිසුන් ඇතුලු නොකළයුත්යයි මම සිතනවා. තුන් වැන්න පෞද්ගලික පාසල්, දැනට ප්‍ර‍සිද්ධ සුපිරි පාසල් පෞද්ගලික පාසල් බවට පත් කිරීම සුදුසු බවයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳම හොඳ අදහස් ටිකක්. කරන්න එරෙහි වෙන අය ගොඩක් ඉඳී. ස්තූතියි ඇණයා

      Delete
  7. කවුරුන් මොන යෝජනා ගෙනාවත් අපේ රටේ සත්‍ය වශයෙන් සිදුවෙමින් පවතින්නේ සියලුම රජයේ පාසල් (යෙස්.. ඉන්ක්ලූඩින් සෝ කෝල්ඩ් සුපිරි පාසැල්) ශීග්‍රව පරිහානිය යන අතර ජාත්‍යන්තර පාසල් ඉදිරියට පැමිනීමයි!

    ReplyDelete
    Replies
    1. එක්තරා දුරකට හරි, සාර ස

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි සෙනරත් මහත්මයා

      Delete
  9. ඉයන් දැනට ඔයා විතරයි මේක ලියන්නේ. බොහොම ස්තුතියි. මම ආකෘ පරණවිතානගේ ලිපියත් මෙතනටම ඇතුලත් කරනවා.
    මෙතන බලන්න. ඇණය හා ප්‍රදීප් මංගල ලියු කොමෙන්ට් නුත් ඇතුලත් කල. නව ව්‍යවස්ථාව කියල. මෙතැනින අපට ඔක්කොම එක තැනක් ගොනු කරලා පස්සේ ලියවිල්ලක් හදන්න පුළුවන්.
    http://nelumyaya.com/?p=5105

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්.

      Delete
  10. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕන කියන තැනයි මම නම් ඉන්නේ...

    උසස් පෙළ සමත් දරුවන් යොදාගෙන ටියුෂන් දීම දැනටත් කෙරෙනවා පෞදගලික මට්ටමෙන්.. හොඳ යෝජනාවක්..

    මොන ක්‍රමයකින් හරි දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුමයි. ඒ වගේම පිලිපීනයේ වගේ හැම එකාටම වගේ මොකක් හෝ ඩිප්ලෝමා එකක් දෙන්න උත්සාහ කරන්න ඕන..

    ඒ වගේම ජපානය, ඊශ්‍රායලය වගේ විභාග ක්‍රර්ම නැති අගය කිරීම් සහිත, ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රම හඳුන්වා දිය යුතුයි..

    කොටින්ම අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි...

    කී දෙනෙක් ඉන්නවද ඒ ලෙවල් පන්තියේ කරපු ස්බ්ජෙක්ට් වලට අදාල රස්සාවල් කරන...

    ReplyDelete
    Replies
    1. මාතෙ අද ලංකාවේ සිසුන් මුහුණ දෙන එකම බුද්ධි පරීක්ශණය 5 ශිශ්‍යත්වයයි. අනික් විභාග ඔක්කොම (ගණිතමය ඒ වා හැර ) කට පාඩම් කිරීමේ දක්ශතාවය මණින ඒවා. ඒ අතින් බුද්ධිමත් ළමයින් කලින් තෝරාගෙන හොඳ පාසැල් වලට යොමු කිරීම මෙයින් වෙනවා. ඒවගේම කුඩා කාලයේදී මණස මෙහෙයවීමට පැත්තකට යොමුවෙනවා මේ නිසා. උසස් පෙළට පසුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට වෙන අධ්‍යාපනය අතින් රටවල වගේ බුද්ධි පරීක්ශණ ක්‍රමය හඳුන්වා දෙනවා නම් හොඳයි. හොඳට බැලුවොත් උසස් පෙල හොඳ ලකුණු ගන්නේ නගරබද පාසැල් වලින් වුනාට ශිශ්‍යත්වයෙන් හොඳ ලකුණු ගන්නේ ගම්බද පාසැල්. ශිශ්‍යත්වය නිසාම නගරබද පාසැල් වලට එන අය නිසා මේක වෙනව කියල කෙනෙකුට කියන්න පුලුවන් වුනත් ඒක එහෙමම නෙවෙයි. පොඩි ඔවර් ලැප් එකක් වුණත් බුද්ධියෙන් උසස් පෙල ගොඩ යන්න අමාරුයි විශේශයෙන්ම ජීව විද්‍යා විශයන්ගෙන්. ඒක නිසා ඔබේ අදහස පොඩ්ඩක් රී-කන්සිඩර් කරන මෙන් ඉල්ලා සිටිමි,

      Delete
    2. මේකට කියන්නේ අම්මාවරුන්ගේ විභාගය කියලා...

      මේ නිසා දරුවන් විඳින දුක ඉයන් දන්නවා නම් මේ ගැන කතා කරන්නෙවත් නෑ... ඒ දුක අහන්න ඕන දරුවන්ගෙන්.. දරුවන්ගේ ළමා කාළය සංපූර්ණයෙන් උල්ලංගනය කරන්නේ මේ විභාගයෙන්..

      මම අනන්ත දැකලා තියෙනවා පොඩි දරුවෝ මහ රෑ ගෙවල් වල යන.. පන්ති ගිහිල්ලා.. සති අන්තයේ නිවාඩුව වත් ඔවුන්ට ලැබෙන්නේ නෑ..

      දෙමාපියන් කෙරේ වෛර බැඳගන්න මුල් වෙන්නේ මේ විභාගයයි..

      Delete
    3. එක ළමයෙක් කියුවලු විභාගේට ලියුවේ ඕනවට එපාවට කියල , මොකද ඇහුවහම අම්මත් එක්ක තරහට සෙල්ලං කරන්ඩ නොදෙනවට , අනේ අපේ උන්දැත් අපේ ලොකු එකිට දෙන වදයක් පන්ති හැටහුට හමාරකට දාල

      Delete
    4. මේක නැතිකරොත් ඉහල බුද්ධියක් ඇති දුප්පත් ලමයින් ඒ පාසැල්වලම ඉඳියි.

      Delete
  11. අධ්‍යාපන ක්ෂේත්‍රය කියන්නේ රටක ප්‍රධානතම ක්ෂේත්‍රයක්.එවැනි අංශයක් ගැන නොසලකා හැර තිබීම කනගාටුවට කරුණක්.කොහොම උනත් කටපාඩම් කරන ගිරව් හදන අධ්‍යාපන ක්‍රමවේදය නම් වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කටපාඩම වෙනුවට බුද්ධියට තැනදීම දියුණු රටවල කරන ක්‍රමය. SAT, GMAT, UMAT ඒව

      Delete
  12. බොහොම වටිනා යෝජනා කිහිපයක්. අපේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි කියන එක මම නම් ඉස්සර ඉඳන්ම අදහන දෙයක්. අපේ රටේ අද තිබෙන බොහෝ ප්‍රශ්න වලට විසඳුම වෙනස් අධ්‍යාපන ක්‍රමයක් මගින් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය. අධ්‍යාපනයට මීට වඩා ප්‍රායෝගිකව හිතුවොත් ලොකු වියදම් නැතිව ගොඩක් දුර ගෙනියන්න පුලුවන්. විරැකියාව, මැද පෙරදිගට යන වහල් සේවකයින්, දුප්පත්කම වගේ ඔක්කොම ප්‍රශ්ණ විසඳන්න අධ්‍යාපනය හරි හස්ස ගත්තොත් පුලුවන්.

      Delete
  13. මචං වැදගත් අධ්‍යාපනික අංශයේ යෝජනා කීපයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු

      Delete
  14. ඉයන්ගේ ව්‍යවස්ථා යෝජනා ගැන ලියවෙච්චි ලිපි දෙකම කියෙව්වා.ඒ අතරින් මේ අධ්‍යාපනය ගැන කරලා තියෙන යෝජනා අතරේ එකඟ විය හැකි හා නොහැකි යෝජනා තිබෙනවා.මේ අධ්‍යාපනය ගැන මගෙත් යෝජනා කිහිපයක් තියෙනවා.ඉඩක් ලද විගස ලියන්නම්.අජිත් අයියාට පුළුවන් වේවිනේ මේ ටික ඔක්කොම එකම තැනකට ගන්න හිටං.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මෙතනට එකතු කරනවා. කොමෙන්ට් වල ඉඳන්.
      http://nelumyaya.com/?cat=19

      Delete
  15. බොහොමත්ම වැදගත් ලිපියක්. අනාගතයට හොද ආයෝජකයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  16. යොජනාවන් සාකච්ජා කිරීම සදහා භාජනය වන්නේනම් හොදයැයි සිතමි. එහෙත් මේවායේ මම දකින දුර්වලතාවයන් බොහෝමයක් ඇත.

    පළමු දෙයනම් සියලු දෙනාට සමානව අධ්‍යාපනයට ප්‍රවිශ්ඨවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමය. මේ සදහා සියලුම ප්‍රදේශ වල පාසැල් අනුව ගම්මාන කිහිපයක් එක් කරමින් යම් කලාපයක් නිර්මාණය කිරීම හරහා එම ප්‍රදේශයේ පාසැල් එක් අධිකාරියක් මගින් පාලනයවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම (ඔබ යෝජනාකර ඇති පරිදි) සුදුසු බව මම සිතමි. තවද එම ප්‍රධාන පාසල හරහා ඒවායේ අනු පාසැල් සහ ඒවාට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන දීවා සුරකුම් මධ්‍යස්ථාන (මුදල් අයකර)ඇතිකිරීමද යම් තරමකට දෙමාපියන්ට තම දරුවන් කුඩා පාසැල් වලට ඇතුලත් කිරීමට පෙළඹවිය හැකිය.
    මෙම කලාප අනුව ගුරුවරුන් බදවා ගැනීම් සිදුකිරීම මගින් (යම් නිශ්චිත කාලයක් එම කලාපයේ සේවය කරන පරිදි- දැනටද අනුමත බදවා ගැනීමේ ක්‍රමය මෙයට අනුරූපිය) එම කලාප වල ගුරු හිගය නැති කිරීම. එවැනි නිශ්චිත කාලයකට ගුරුවරුන් යම් කලාපයකට හෝ පාසැලකට බදවා ගැනීම මගින් අනවශ්‍ය ලෙස මාරුවීම් සදහා බලපෑම් කරනු නොලබෙනු ඇත.
    එමෙන්ම මෙම කලාප අනුව ප්‍රධාන පාසැලේ අවශ්‍ය සියලුම පහසුකම් (විද්‍යාගාර, පුස්තකාල, ක්‍රිඩා, ....) වැඩි දියුණු කිරීම. ඒ අනුව සෑම පුද්ගලයකුටම අවම වශයෙන් කි.මී. 10ක සීමාවක් තුලවත් හැකි සෑම ප්‍රදේශයකම මෙවැනි එක් පාසැලක් නිර්මාණය කිරීම.

    සෑම වාරයක් අවසානයේම සියලුම ගුරුවරුන් ආවරණය වන පරිදි අවම වශයෙන් එක් සතියක කාලයක්වත් පුහුණුවක් ලබාදීම. එයට අමතරව සෑම ගුරුවරයකුටම වසර 3කට වරක්වත් වන පරිදි එක් මසක නේවාසික ගුරු පුහුණුවක් ලබා දීම.

    ජාතික පාසැල් ඉවත් කරමින් සියලුම පාසැල්වල පාලනය පළාත් අධිකාරියට ලබාදීම. ගුරුවරුන් , විදුහල්පති වරුන් බදවා ගැනීම පමණක් රේඛිය අමාත්‍යාංශයෙන් සිදුකිරීම,

    ටියුෂන් සදහා විසදුම් ලබාදීම සදහා ඔබ විසින් කර ඇති යෝජනා සුදුසු නොවනබව මාගේ හැගිමය. (සාමාන්‍යෙයන් උ.පෙ. ඉහලින්ම සමත්වන ශිෂ්‍යයින් මෙවැනි කටයුතු වලට යොදා ගැනීම සුදුසු නොවේ ඔවුක්ට විශය දැනුම සහ භාවිතාකල හැකි උපාය පිලිබදව දැනුම තිබුනද ඉගැන්වීම යනු වෙනම කලාවක් සහ විශයක්ය)

    පාසැල්වලට ඇතුලත් කීරීම සදහා යෝජනාකර ඇති ක්‍රමවේදය සුදුසු නැත. දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ යම් අඩුපාඩු ඇත. ඒ මගින් වංචාවන් සිදුවේ. මෙලෙස සිදුවී ඇත්තේ සමහර පාසැල්වලට පමණක් පහසුකම් සහ ගුරුවරුන් සිටින බැවිනි. පාසැල් අතර පරතරය අවම කිරීම සදහා ක්‍රියා මාර්ග ගැනීම මේ සදහා හොද විසදුමක් ලෙස මම දකිමි. ඒ අනුව තරගකාරිත්වය අවම කල හැකිය.

    පසුගාමී පක්ශයේ ආධාරකරුවන් පමණක් නොව ඔබගේ යෝජනා සදහා රනිල් ඇතුලු එක්සත් ජාතික පාක්ෂිකයින්ද, ආධාරකරුවන්ද විරුද්ධවීමට ඉඩ ඇත.


    තවද සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පහසුකම් වැඩි පාසැල් රජය විසින් සකස්කර එම පාසැල් වල පරිපාලනය සංවර්ධන සමිතියකින් සිදු කිරීම සුදුසුය (මෙම සංවර්ධන සමිති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධික්ෂණය කල යුතුය). දැනට සෑම නගරයකම ඇති අවම එක් ප්‍රධාන පාසලක් මේ ආකාරයට සකස් කල හැකිය. අවශ්‍යනම් නියාමන වැඩසටහනක් ලෙස පාසැල් කිහිපයක් පමණක් තොරාගත හැකිය. ඒ අනුව 1 වසරේ සහ 6 වසරේ සිට මෙම පාසැල් වැඩි දියුණු කල හැකිය. අවශ්‍යනම් ශිෂ්‍යත්ව විභාගයෙන් යම් ප්‍රතිශතයකට නොමිලේ මෙම පාසැල්වල අධ්‍යපනය ලබාදිය හැකිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රදීප්. හොඳ යෝජනා ගොඩක්.

      Delete
    2. ප්‍රධාන උප නගරයක පාසැලක් දියුණු කිරීම පිළිබද යෝජනා(අවම වශයෙන් එක් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක පාසැල් 3ක් - ආසන්න වශයෙන් ලංකාවේ පාසැල් 1000 ක් පමණ - එක් අවස්ථාවක ලංකාවපුරා ක්‍රියාත්මක කල නොහැකිනම් සෑම දිස්ත්‍රික්කයකම අවම පාසලක් වන පරිදි පළමු අදියර ලෙස)

      1. ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් කලාප කිහිපයකට (මාර්ග පහසුකම් පිලිබදව සැලකීමට ලක්කර - මෙවැනි අවස්ථාවකදි ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ 2ක හෝ කිහිපයක කොටස් එක් කලාපයකට ඇතුලත්විය හැක.) බෙදා වෙන්කරවා ගැනීම. මෙහිදි එම කලාපයේ දැනට දියුණු කිරීමේ විභවයක් ඇති පාසල් තොරාගෙන එම පාසල කේන්ද්‍රය ලෙස ගැනීම (නවොද්‍යා පාසැල් ලෙස මෙවැනි බෙදිමක් දැනටමත් කර ඇත)

      2. එම පාසල සමග වන 11 ශ්‍රේණිය දක්වා වන පාසැල් කිහිපයක් සහ ප්‍රථමික අංශ කිහිපයක් (දැනට තිබෙන පාසැල්ම) ඒකාබද්ධ කිරීම (නිවරදිම සංඛ්‍යා ලේඛන මා සතුව නොමැති අතර සාමාන්‍යයෙන් පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45 පමණ වන බැවින් මෙවැනි එක් කලාපයක සකස්කරන ඒකාබද්ධ පාසලේ උපරිම ළමයි සංඛ්‍යාව 4000ක් පමණ විය හැකිය)

      3. මෙම පාසැල් ඒකාබද්ධවන පරිදි සහ පාසැලට ප්‍රවිශ්ඨවිය හැකි මාර්ග ආවරණයවන පරිදි පාසැල් ළමුන් ප්‍රවාහනය කලහැකි ප්‍රවාහන සැලැස්මක් සකස්කිරීම. (මෙය මුදල් ගෙවා ලබාගත හැකි පහසුකමක් විය යුතුය - නොමිලේ ලබාදීම අවශ්‍ය නැත)

      4. සාමාන්‍ය එක් වසරකට පන්ති 10ක් වන පරිදි කලාපයේම පාසැල් සදහා පන්ති කාළසටහන් ප්‍රධාන පාසල මගින් සකස් කිරීම සහ එම ප්‍රධාන පාසල මගින් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය ඒ ඒ පාසැල් අනුව අනුයුක්ත කිරීම. ඒ අනුව සමහර ගුරුවරුන්ට ආසන්න පාසැල් දෙකක සේවය කිරීමට සිදුවිය හැකිය. (දැනට පවතින ක්‍රමවේදය අනුව 6 වසරේ සිට 11 වසර දක්වා වන පන්ති 6හී ළමුන් 50ක් (එක් පන්තියක ළමුන් 10ට අඩු සංඛ්‍යාවක්) සිටින පාසලකට සහ ළමුන් 250 (එක් පන්තියක ළමුන් 40ට වැඩි සංඛ්‍යාවක්)සිටින පාසලකට අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් සමානය එබැවින් බොහෝවිට ළමුන් අඩු පාසැල්වල සිටින ගුරුවරුන් ප්‍රමාණය අඩුවේ) පාසැල් ඒකාබද්ධ කිරීම මගින් ගුරුවරුන්ගේ ශ්‍රමය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකිවන අතරම සෑම ළමයකුටම එම විශයට අදාල ප්‍රවිනත්වයක් ඇති ගුරුවරයෙකුගෙන් අධ්‍යපනය ලැබිය හැකිය.

      5. මෙම ප්‍රධාන පාසලේ 6වන වසරේ සිට අවම වශයෙන් එක් පන්තියක්වත් විෂය සියල්ල හෝ කිහිපයක්වත් ඉංග්‍රිසි භාෂාවෙන් ඉගැන්වීම් කටයුතු කිරීම. මේ සදහා වැඩි ළමුන් ප්‍රමාණයක් අවස්ථාව ඉල්ලා සිටිනම් ළමුන් තොරා ගැනිම 5 වසරේ පොදු පරික්ෂණයක් මගින් (දැනට තිබෙන ශිෂ්‍යත්වයෙන්) තොරාගැනීම සිදුකිරීම

      6. මෙම ඒකාබද්ධ කලාපය සදහා ගුරුවරුන් බදවා ගැනීමේදිම අවම වසර 05 කාලයක් සදහා බදවා ගැනීම සහ අවුරුදු 05කට පසු අවශ්‍යතාවය අනුව මාරුවීම සදහා ඉඩ ලබාදීම සහ ඇතිවන පුරප්පාඩු අනුව සෑම වර්ෂයකම ගුරුවරුන් බදවා ගැනීම. (උදා 2017 වර්ෂයට අදාල මාරුවීම් මණ්ඩල 2016 වර්ෂයේ මුල් කාර්තුවේදි රුස්වී මාරුවිම් සිදුකිරීම සහ ඒ අනුව අභියාචන සලකා 2016 වර්ෂයේ ජුනිවනවිට මාරුවිම් ප්‍රසිද්ධ කිරීම, ඒ අනුව පුරප්පාඩු ඇතිවන පාසැල් සදහා දෙසැම්බර් මාසය වනවිට බදවා ගැනීම් සිදුකර අවසන් කිරීම (බදවා ගැනීම් සිදුකරනු ලබන්නේ විද්‍යාපිඨ සහ උපාධිධාරින්ගෙන් පමණි, මෙම කොටස් දෙකෙන්ම ප්‍රමාණවත් පිරිසක් නොමැති විටදි වෙනත් පළාතකින් මෙම තනතුරු සදහා අවම වසර 10ක් සේවය කිරීමට කැමති පුද්ගලයින් බදවාගත හැකිය)


      6. අවම වශයෙන් මෙම ප්‍රධාන පාසලේ හෝ දිවා සුරකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. සහ ඒ අවට ගුරුවරුන් සදහා සහන කුලී පදනම මත නිවස සකස්කර දීම (මේ සදහා අවශ්‍යතාවය අනුව මහල් නිවාස කිහිපයක් සකස් කර හැකිය). තවද ප්‍රධාන පාසලේ විද්‍යාගාර, පුස්තකාල අනුබද්ධ පාසැල්වල සිසුන්ටද අවශ්‍යතාවය අනුව කලින් වෙන්කරවාගෙන භාවිතා කිරීම සදහා අවස්ථාව ලබාදීම සහ පුස්ථකාලය පාසැල් කාලයෙන් පසු යම් නිශ්චිත වෙලාවක් (ප.ව. 5.00)දක්වා විවෘතව තැබීම.

      Delete
    3. වැදගත් අදහස් , බොහොම ස්තූතියි ප්‍රදීප්

      Delete
  17. paasal joint kireemanam ethaamath hondha adahasak.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත් මහත්මයා

      Delete
  18. ඉස්කෝල විතරක්ම නෙමෙයි සිලබස් එකේ උනත් වෙනස් වෙන්න ඕන තැන්, අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කම් ගැන එහෙමත් තව පෝස්ට් එකකින් කතා කරාවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඩිනේශ් හදා ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේකෙ බලල තියෙන්නෙ අද තියෙන පහාවට ළමයි ඇතුලත් කිරීම ආදිය විසඳන සාධාරණ විනිවිද පෙනෙන ක්‍රමයක්.

      Delete
  19. මට එකඟ වෙන් බැරි තැන මෙතන විතරයි.
    //මෙසේ තෝරාගැනීම් ළමයින් අතර සුහදව හුවමාරු කරගත හැකි විය යුතුය. උදාහරණයකට ජාතික පාසැලක් ලැබුණු දුප්පත් දරුවකුගේ දෙමව්පියන් මුදලක් ලබාගෙන එය හුවමාරු කරගැනීම සිදුවිය හැක. මෙවිට එම මුදල් යන්නේ දුප්පත් පවුලකට මිස අතරමැදියෙකුට හෝ විදුහල්පතිවරයෙකුට නොවේ. එසේ මාරු ලබා ගැනීමට කැමති අයට ඔවුන්ගේ ඉල්ලීම් අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළු කර හැකි වන අතර සුහද මාරු සඳහා දරුවන් දෙදෙනාගේම මව්පියන් අත්සන් කර එවන අයැදුම්පත් අමාත්‍යාංශයට එවීමෙන් ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගෙන එම මාරු ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රමයෙන් ළමයාට අවුරුදු 2 හෝ 3 පිරෙන විට ඔහුට ලැබෙන පාසැල තීරණය වන අතර අදාල පාසැල්ද තමන්ට ඇතුලත් වන ළමයි සංඛ්‍යාව ආදිය කලින් දැනගෙන සිටීමෙන් ඒ සඳහා සූදානම් විය හැක.//
    මුදලක් ගැනීම? මේ ස්ථානය ලැබෙන්නේ නොමිලයේය. ඉන්පසු එය විකිණීම නොකළ යුතු දෙයකි. සුහදව හුවමාරු කර ගත්තාට කමක් නැත.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ අපි විරුද්ධ විය යුත්තේ තොරා ගැනීමේ ක්‍රමයට නෙමෙයි මෙවැනි තොරා ගැනිමේ ක්‍රමයක් යෝජනා කිරීමට සිදුවී ඇති හේතුවටයි. ළමයෙක්ව හොද පාසැලකට දමා ගැනීමට දෙමව්පියන් මහන්සි වෙන්නේ සමහර පාසැල් පමණක් හොදවී තිබෙන නිසා.

      මම යෝජනා කරන්නේ පාසැල් අතර තියෙන අසමානතාවය නැති කිරීමට කටයුතු කිරීම තමයි මේ සදහා තියෙන හොදම යෝජනාව.(මවැනි යෝජනා සදහා Ian සහ රනිල් ඇතුලු UNP යද, අනෙත් පාලකයින්ද විරුද්ධයි, සියලු පාසැල්වලට දැනට ඇති හොදම පාසැල්වල පහසුකම් දෙනවාට හා ඒවායේ ගුරු පුරප්පාඩු පුරවනවාට පසුගාමි පක්ෂවල ආධාරකරුවන්නම් විරුද්ධ නොවනු ඇත) .

      Delete
    2. ඉස්කෝල වල සම පහසුමක් කියන එකට විරුද්ධ වෙන්න මම කුහකයෙක් නෙමෙයි. නමුත් මේක කරන්න බැරි දෙයක්. රෝහල් සහ ඉස්කොලෙ ගත්තම දොස්තරලයි ගුරුවරුයි බලන්නේ පුලුවන් තරම් අඩු කාලයක් දුෂ්කර හෝ පොඩි ඉස්කෝල වල ඉඳලා පුළුවන් තරම් ඉක්මනින් නගරෙට එන්න. ඒගොල්ලන්ට වරදක් කියන්න බැහැ මොකද ඒගොල්ල කැමති තමන්ගේ දරුවන් සමඟ ඉන්න එහෙම නැත්නම් හොඳ නගරෙක ජීවත් වෙන්න. ඒක යූ එන් පී ප්‍රශ්ණයක් නෙමෙයි සමාජ ප්‍රශ්ණයක්. එතකොට යමක් නොකර ඉන්නවද වෙන විසඳුමක් හොයා ගන්නවද කියන එක අපිට හිතන්න වෙනවා.

      Delete
    3. අජිත්, එහෙම කිව්වෙ ඒ සඳහා විනිවිද පෙනෙන ක්‍රමයක් හදාගන්න. නැත්නම් වකුගඩු කේස් එක වගේ තමයි. සල්ලි ගන්න බැහැ නීතියෙන්, ඉතින් කට්ටිය 'දානෙ' දෙනවා. ඇත්ත් තත්ත්වය පොඩි ගාණක් දෙන පුද්ගලයාට වැඩි ගාණ අතරමැදියාට. එලිපිට එනකොට වැඩිම ඉල්ලුමට. ඒ මුදල් ඔක්කොම දෙන පුද්ගලයාට.

      Delete
    4. ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ කි.මී. 10ක් ඇතුලත උප නගරයක් තියෙනව. මම කියන්නේ සියලුම ගම්වල බැරිනම් මේ ප්‍රධාන උපනගරවල පාසැල්වල පහසුකම්වත් වැඩි දියුණු කල යුතුයි.

      දැනටමත් බොහෝ දෙනා උත්සහ කරන්නේ ප්‍රධාන නගරවල තියෙන පාසැල් වලට ළමුන් ඇතුලත්කර ගැනීමට, උප නගරවල පාසැල් හොදින් දියුණු වුවහොත් ගුරුවරුන් සහ ළමුන් ප්‍රධාන නගරවලට එන්න උත්සහ කරන්නේ නැහැ. ඒ වගේම යම් පාසලක් සදහා නිශ්චිත කාලයකට ගුරුවරුන් බදවා ගැනීම මගින් පාසැල්වල ඇතිවන ගුරු පුරප්පාඩු අවම කරන්න පුලුවන්. (ඒ අනුව පාසැලට පැමිණෙන ගුරුවරයා කලින්ම දන්නව තමන් එම පාසැලේ සිටිය යුතු අවම කාලය)

      දැනට මම දන්න තරමටනම් අධ්‍යපන අමාත්‍යාංශය සතුව නැහැ එක් එක් පාසලට අවශ්‍ය විෂයන් අනුව ගුරුවරු ප්‍රමාණය. එලෙස අනුමැතියක් ලබාගෙන නැහැ කිසිදු ආයතනයකින්. එහෙම තියෙද්දි UNP අධ්‍යාපන ඇමති විදුහල්පති වරුන්ව මාරු කරමින් ඉන්නව, ඒ වගේම ඔහු කැමති නැහැ පළාත්වලට ලබාදී ඇති අධ්‍යාපන බලතලවත් එම පළාත් සභා ක්‍රියාත්මක කරනවට (පළාත් සභා UNP නොවන නිසා ඕක තමයි ඔබගේ පක්ෂයේ තත්වය.)

      Delete
    5. බොහොම ස්තූතියි ප්‍රදීප්

      Delete
  20. කමෙන්ට් එක මේකට අදාලව නෙමෙයි.ඉල්ලීමක්.බණ්ඩාරනායක ඝාතනය ගැන වගේම සිරිමාවෝ කාලේ සිද්දවුන හමුදා කුමන්ත්‍රණයගැන ලිපි පෙලක් ලියන්න.ඕවාගැන හැම තැනම තියෙන්නේ එකම දේ.තමනේ ආයතනයට අවස්තාවක් නොදුන්න නිසා රටක අගමැතිවරයෙක් ඝාතනය කිරීම තරමක් අභව්‍යයි නේද?අනික් අතට කැලණි පංසලේ ප්‍රධාන දායිකාව තමන්ගේ සියළුම දේපළ ක්‍රිස්තියානි සභාවට ලියල දෙන්න තරම් හමුදා කුමන්ත්‍රනයේ බලපෑම මොකද්ද කියන එක වගේ දේවල් මගේ සිගිති මොළේට වදදෙනවා.වෙලාවක් ලැබුනොත් ඔය කාරනාගැන හැම තැනම තියන විස්තරවලට වඩා දෙයක් ලියන්න.

    ReplyDelete