Friday, November 11, 2022

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු සහ දිළිඳු නොබෝසත්තු..!

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.11, ප.ව.5.40) ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරු” බුරුතු පිටින් කලඑළි බසිමින් සිටිති. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ බෞද්ධ ආගමික විශ්වාසය ලංකා සමාජය තුලට කොතෙක් කා වැදුනේ ද කීවොත් අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල මෙසේ සඳහනක් එයි.

“මේ ලක් හි නොබෝසත්තු නොරජ් වෙත්වැ”

මෙහි අර්ථය ‘බෝධිසත්වයෙක් නොවන කිසිවෙකු මේ රටේ රජ නොවිය යුතුය එසේත් නැත්නම් පරාර්ථයටම කැපනොවූ කිසිවෙක් මේ රටේ පාලකයා නොවිය යුතුය’ යන්නය. මේ නිසා බොහෝ රජවරු ස්වකීය නාමය ඉදිරියට ‘සිරි සඟබෝ’ යන ගෞරව නාමය එකතුකර ගැනිමට පුරුදු වූහ. මේ පරාර්ථය වෙනුවෙන් රාජ්‍ය කිරීම වර්තමානයට ගෙන එන්නේ 1956 දී ය.

“බෝසත් බණ්ඩාරනායක”

ඒ වසරේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයා වීමට උපතින්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානියෙක් වූ, සිංහල කියවීමට ලිවීමට නොදත්, ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක [සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ] ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඔහු 'වීරයා' හැටියට කරේ තබාගත්  පංච මහා බලවේගය [සඟ, වෙද, ගුරු, ගොවි. කම්කරු] මේ ක්‍රිස්තියානි බණ්ඩාරනායක “බෝසත් බණ්ඩාරනායක” නමින් නම් ගන්වා වෙස් ගැන්නුවේ ය. අනතුරුව ඔහු නූතන දියසේන කුමාරයා [දුකට පත් රටවැසියන් ඉන් මුදවා ගැනීමට එන වීරයෙක්] බව ප්‍රචාරය කළහ.

කෙසේ වෙතත් බෝසත් බණ්ඩාරනායක, 1959 සැප්තැම්බර් 25 වෙනිදා වෙඩි තබා මරා දමන්නේ ඉහත කී “පංච මහා බලවේගයේ”  පලමු බලවේගය වු සංඝ බලවේගයේ නායකයා හා ඔහුගේ අනුගාමිකයෙක් එකතුවීමෙන් ය.

'ලිබරල් බෝසත්තු'

ලංකාව බඳු බෞද්ධ රටක ණයට ගැනීමෙන් හෝ ආර්ථිකයේ උත්පාතයක් පවතින විට භික්ෂූහු රහතුන් බව කියන්නට පටන් ගනිති. බැතිමත්තු සෝවාන් හො වෙනත් මාර්ග ඵල ලබා ගැනීමට පොර කති. ආර්ථික අවපාතය නාසයට උඩින් යන විට ජිවිත කාලයම බඩ වඩා ගැනීමට යොමු වූ පෘතග්ජනයෝ බෝසත්තු බවට පත්වෙති.  රට හා එහි හාමතට වැටුණු ජනයා බේරා ගන්න දැන් දැන් 'අලුත් බෝසත්තු' වර්ගයක් එළියට බැස සිටිති. ඔවුහු 'ලිබරල් බෝසත්තු' ය. 

නම් හැටියට කීවොත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ “ලිබරල් දහම්” දෙසන මේ බෝසත්තු අතරේ කැපී පෙනෙන්නේ පැතුම් කර්නර්, රසික ජයකොඩි, රෝහාන් සමරජීව වැන්නවුන් ය.

මෙයින් කැපී පෙනෙන ඉතිහාසයක් තිබෙන්නේ ආචාර්ය උපාධියක් ද ඇති රෝහාන් සමරජීව ය. සමරජීව 1990 දශකයේ මැද පටන් ලංකාවේ විවෘත ආර්ථිකයට මානුෂීක මුහුනුවරක් දෙන්නට බලයට පත් වූ අනුප්‍රාප්තික වු ආණ්ඩුවල උපදේශකයෙකු  හා කළමණාකරුවෙකු හැටියට මේ විනාශයට හවුල් වූවෙකි.

ජනාන්දෝලන ගංවතුරෙන් මතු වූවෝ..

පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි. ඔහු මේ "ලිබරල් බෝසතාණන්" කෙනෙක් වන්නට පෙරුම් පුරද්දී මේ ජරා දොස්තර ප්‍රතිපත්තියට වචනයකින් හෝ විරුද්ධ වූ බවට වාර්තා නැත. මහජනයා හිතු මනාපේ ගසා කන පුද්ගලික වෙදකම පාලනය කිරීමට පක්ෂයව කට හොලවා නැත. නමුත් ඔහු හිටි අඩියේ ‘ගෑස්- තෙල් ජනාන්දෝලනයේ’ ගංවතුරේ පිහිනා බෝධිසත්වයෙක් වී ජනයා ගලවා ගැනීමට ලිබරල් දහම් දෙසමින් සිටින්නේ ය.

රසික ජයකොඩි පාසල් යද්දී තමාට ‘දේශපාලන හැඟීම්’ තිබුනු බව කියන්නේ ය. ඔහු ද මෙ ජනාන්දෝලන  ගංවතුරෙන් මතු වූවෙක් මිස රටක් හෝ ජනතාවක් ගලවා ගැනීමේ වෙනත් බෝධිසත්ව ඉතිහාසයක් නැත්තෙකි.

ලිබරල්ලු අමතක කරන විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය..

මේ තිදෙනා ප්‍රමුඛ ලිබරල් බෝසතුන් පිරිස පසුගිය වසර 74 පාලනයේ ‘ලිබරල් ආර්ථිකය’ නොතිබුණු බව පුන පුනා කියති. මේ කිසිවෙක් ලංකාව වසර 500 කට ආසන්න කාලයක් යුරෝපීය යටත් විජිතයක්ව පැවති බව නොකියන්නේ ය. එයින් සිදු වූ බලපෑම එක්කෝ නොදැන සිටින්නෝ ය. නැතිනම් පැරණි යටත් විජිත හිමියන්ගේ ‘ලිබරලය’ යටත් විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය සමඟ ගමන් කරන නිසා හිතාමතාම අමතක කරමින් සිටින්නේ ය.

බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබී වසර 5 ගෙවෙන්නට පෙර බංකොලොත් වෙමින් තිබූ රටක, හාමතට වැටුණු ජනයා 1953 අගෝස්තුවේ දී මාරාවේශයෙන් මහපාරවල්වල වාඩි ලා ගත්තේ ය. මේ අර්බුදය එන්නේ දෙවන ලෝක යුද්ධයේ නිරත වු බටහිර ධනවත් රටවල් ද ආර්ථික අහේනියෙන් පෙලෙන්නට ගැනීමත් සමඟ ය. 1956 වෙද්දී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනයටවත්  මුදල් නොතිබුනේ ය. 1953 සිට 1978 දක්වාම තිබුනේ සාගතය හා අහේනිය පැතිරෙමින් ය. 1978 සිට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව ණය ගැනීම ආරම්භ වුනේ ය. ඒ වන විට බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයේ පාඩු මකා ගෙන ය. ණය දෙන්න සැදී පැහැදී සිටියේ ය. ආර්ථිකය විවෘත කෙරුණේ ය. ළූණු ගෙඩියේ පටන් හිම සපත්තු දක්වා සියල්ල ආනයනය කෙරුණේ ය. 1983 වෙද්දී  ලිබරල් විවෘත ආර්ථිකය රට සිවිල් යුද්ධයක් කරා ගෙන ගියේ ය. ඉතින් එතැන් පටන් යුද්ධ කෙරුනේ ණයට ගනිමින් ය.

නොබෝසත් දිළිඳු ජනයාට 'ලිබරල් නිවන' විකිණීමට..

දැන් මේ ලිබරල් බෝසත්තු එක් වටයකින් කෙළවුණු විවෘත ලිබරල් ආර්ථිකය යලිත් මේ නොබෝ සතුන් ආර්ථික කතරෙන් එතෙර කිරිමට විකුණමින් සිටිති. මොවුන් දෙවැනි වන්නේ පසුගිය කාලයේ මාර්ග ඵල විකුණු රහතුන්ටම පමණි. මන්ද මේ නොබෝසත් දිළිඳු ජනයාට තවත් වටයක් "ලිබරල් නිවන" විකීනීමට මොවුන් සමත් වූවහොත් මේ රට තවත් වටයකින් එක තැන කැරකෙනු ඇත. සමහර විට එය අවුරුදු 74 නොව 174 ක් වීමටත් ඉඩ ඇත.

-නන්දන වීරරත්න




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

7 comments:

  1. //පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි.// මේක ලියන කියවන මිනිස්සු තමන්ගෙ බොස් වැරදි වැඩක් කරද්දි, තමන්ගෙ ලෝයලිටීස් (ආදි ශිෂ්‍ය සන්ගම්, නෑයො, යාලුවො ) වැරදි වැඩක් කරද්දි විරැද්ද වෙනවද, එහෙම උනානම් රටට හෙණ ගහන්නෙ නෑ. ඒ මනුස්සයට ගහන්න ඊට වඩා හොඳ පොයින්ට් එකක් හොයා ගන්න නන්දන. එහෙම බැලුවොත් අහවලා අහවල් කැත වැඩේ කරන අහවල් සන්ගමයේ (ආදි ශිෂ්‍ය සන්ගම්, ලිඳ ලඟ සන්ගම්, පන්සල් දායක සභා බ්ලා බ්ලා බ්ලා ) සාමාජිකයෙකි කියල සියලු දෙනාටම ගේම දෙත හැකි.

    ReplyDelete
    Replies
    1. මේක ලියන කියවන මිනිස්සු තමන්ගෙ බොස් වැරදි වැඩක් කරද්දි, තමන්ගෙ ලෝයලිටීස් (ආදි ශිෂ්‍ය සන්ගම්, නෑයො, යාලුවො ) වැරදි වැඩක් කරද්දි විරැද්ද නොවුනා කියා කර්නර්ගේ වැඩවල වැරදි දැකීම තහනම් උනේ කවදාද කොහේද, කොහොමද?

      Delete
    2. @ anonymous 5.17 AM

      දන්න විදිහට ඔය පැතුම් කර්නර් කියලා කියන්නේ බැසිල් රාජපක්ෂ කපුටාස් ගේ පිල්ලියක්, අරගලය අල කරන්න මුව එව්වේ බැසිල් එවෙලේ තරුණ තරුණියන් ඔහුව එතැනින් එළියට එළවා දමා කුමන්ත්‍රණයට එරෙහිව කටයුතු කළ නමුත් පස්සෙ කාලෙක ආපහු අරගලය තුල බලවත් වුණා

      රාජපක්ෂ කල්ලියේ දැන් පෙරමුණු පහකින් ආණ්ඩුවේ ද සහය ඇතුව විවිධාකාර කල්ලී කණ්ඩායම් හරහා බලය දිගටම අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය කුමන්ත්‍රණකාරී බලවේග මෙහෙයවන බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා අප මේවා නුවණින් සලකා බලා ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන

      Delete
  2. ආවෙමි
    කියෙව්වෙමි
    කියන දේ ගැන
    තවම සිතනෙමි!

    ReplyDelete
  3. හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete