Thursday, August 10, 2017

කෝදු, මිණුම් දඬු, ද්වේශය සහ පෞරුෂ විකෘති

වෙනස් හැඟීම් දක්වන එකම පුද්ගලයෙක්

කෝදු තියෙන්නේ මණින්න. අඩි කෝදුවේ අඟල් දොලහයි. සෙන්ටි මීටර් නම් 30 ක් විතර නේද? (සුවර් නැත). එතකොට අඟල්ද සෙන්ටි මීටර්ද කියන එක නොසලකා අඟල් 6 ක දිගක් මැනල එක්කෙනෙක් 6 කියල කිව්වොත් සහ අනික් එක්කෙනා 15 යි කියල කිව්වොත් 6 සහ 15 කියන්නෙ මොනවයින්ද කියල හොයල බලල ප්‍රශ්ණය විසඳගන්න පුළුවන්.

ලෝකේ ඕනෑම දෙයක් මණින්න ඔහොම මිණුම් දණ්ඩක් තියෙනව නම් මිනිස්සුන්ව තේරුම් ගන්න එක, ඒ අයගේ හැඟීම්, සහ තේරුම් ගන්න එක බොහොම පහසු වෙන්න තිබ්බා. ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. උදාහරණයකට දරුවන් සමඟ තිබෙන සම්බන්ධය ඔවුන්ව ඇති දැඩි කරන විදිහ එක පවුලකින් තව එකකට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් දරුවන් හදන විදිහ හරිද වැරදිද කියල සමහර අය කියන්නෙ මොන මිණුම් දණ්ඩෙන් මැනලද?  ඔව්. බොහොම අවස්ථාවල 'මෙහෙමයි ඒක වෙන්න ඕන' කියල අපි හිතන මිණුම් දණ්ඩෙන් මැනල. මේ වගේ මිණුම් දඬු නැති ප්‍රශ්ණය ප්‍රශ්ණ ඇති කරන තවත් අවස්ථාවක් තමයි අපේ මානුෂීය සම්බන්ධතා. යාළුවො අතර නම් අපේ මිණුම් දණ්ඩෙන් හරි යයි සිතන දේවලට වෙනස් දේවල් කරන යාළුවන්ගෙන් අයින් වෙන්න ලේසියි. අඹු සැමි සම්බන්ධතාවල නම් ඒක ලොකු ප්‍රශ්ණ ඇති කරන්න පුළුවන්. නෑදෑයන්ට උදව් කිරීමේදී, අසරණ අයට උදව් කිරීමේදී, දෙදෙනාගේම නොවන මිතුරන් ආශ්‍රය කිරීමේදී, ගෙදර වැඩපල බෙදා ගැනීමේදී, දරුවන් ඇති දැඩි කරන විදිහ තීරණය වීමේදී, දරුවන් සම්බන්ධ වෙන පෙම්වතුන්/පෙම්වතියන් ගැන ආදී වශයෙන් විශාල පරාසයක දේවල් වල අදහස් නොගැලපීම් කියල අපි වර්ගීකරණය කරන්නේ මේ මිණුම් දඬුවල තිබෙන වෙනස.

බඹා කෙටූ හැටි නැත්නම් දෙවියන් එක් කල දෙදෙනෙක් වගේ බණ කිව්වත් විවාහය කියන්නෙ බාහිර හේතු නිසා මිනිසා විසින් කෘතිමව හදා ගත්තු දෙයක්. ඒවගේ සම්බන්ධතා වැඩි දෙනෙකුට තියෙන නිසා සහ තවත් බොහෝ අය අනාගතයේදී ඒ වලේ වැටෙන නිසා මේ මිණුම් දඬු ගැන තේරුම් ගැනීම වැදගත්. දේශපාලකයින්, අපි සමඟ එකට වැඩ කරන අය එහෙම නැත්නම් අපේ ප්‍රධානියා වැනි අය කියන, කරන හැසිරෙන විදිය ගැන තේරුම් ගන්න අපහසුවක් දැනී තිබෙනවා නම් ඒ ගැනත් කියන්න තියෙන්නේ තම සහකාරිය/ සහකාරයා ගැන කියපු දේමයි. ඔවුන්ගේ හැසිරීම ඔබට තරහවක් ඇති කරනවනම් ඒ අයගේ වෙනම් කම් ගැන තේරුම් ගත්තොත් ඔවුන්ව වටහාගන්න පහසු වෙයි.

මිණුම් දඬු වෙනස් වීම නිසා ඇතිවෙන අවසාන ප්‍රතිඵලය තමයි ද්වේශය. අපි හරි යැයි විස්වාශ කරන දෙයට වෙනස් දෙයක් ස්වාමියා, බිරිඳ, බොස්, එකට වැඩ කරන අය කරකොට අපිට ඒ ගැන තරහවක් හෝ ක්‍රෝධයක් ඇතිවෙනවා. ඒ ගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ හරි යැයි හිතන දේ මිස මම හරි යැයි හිතන දේ නෙවෙයි කියල තේරුම් ගන්න එක කල යුතුයි. ද්වේශය කියන්නේ අපේ ජීවිතය එහෙම පිටින්ම කුණු ගොඩක් කරන්න පුළුවන් දෙයක්. බුදු දහමට අනුව සංසාරයම අච්චාරුවක් කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා මේ ද්වේශය වැඩි පුරම ඇතිකරන හැමටම පොදු සම්මත නැති එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් මිණුම් දඬු ගැන සිතීම, වටහා ගැනීමට උත්සාහ කිරීම හැමෝටම බොහොම යහපතක් වෙන දෙයක් වේවි.  

අපි එක් එක්කෙනාගේ වෙනස් වූ හැසිරීම් රටාවල් වලට බලපාන පෞරුෂ විකෘති

කිසිම වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයක් නැති මගේ මතය නම් පුද්ගලයන්ගේ උපතින්. පවුල් වටපිටාවෙන්, සමාජයෙන්, සහ අත්දැකීම් නිසා ඇතිවෙන පෞරුෂ විකෘති එක් එක් අයගේ මිණුම් දඬු හෝ අපි හරි යැයි හිතන විදිහ හැදෙන්න බලපානව කියන එක. මේ පෞරුෂ විකෘති ජාතිත් කීපයක් තියෙනව. අපි හැමෝටම ඒවයින් පොඩ්ඩ පොඩ්ඩ තියෙන්න පුළුවන්.  ඒ කියන්නේ අපි හැමෝටම මේවයින් කීපයක් 10% හෝ 30% ආදී වශයෙන් තිබෙන්න පුළුවන්. එලෙස අඩු වශයෙන් පවතික පෞරුෂ විකෘති වලින් අපිට හෝ අන් අයට වෙන හානිය ටිකක් අඩු වුණත් කාටහරි මොකක් හරි එක විකෘතියක් හෝ දෙකක් වැඩිපුර තියෙනවනම් තමයි ඒක අන් අයට හෝ අපිටම කරදරයක් හෝ හිරිහැරයක් වෙන තත්ත්වෙකට බලපාන්නේ. ඒ ගැන වටහා ගැනීමෙන් පසු ඊලඟට වටහා ගන්න තියෙන දේ තමයි සමහර පෞරුෂ විකෘතීන් ඖෂධ භාවිතයෙන් තාවකාලික යටපත් කරන්න හැකියාවක් තිබුණත් ඒවා සම්පූර්ණයෙන්ම හොඳවීමක් නැහැ කියන එකයි. (මේ ගැන දන්නා වෛද්‍යවයෙකුගේ නිවැරදි කිරීමට යටත්ව)

අපි වටහා ගත යුතු අනික් වැදගත්ම දේ තමයි මේ පෞරුෂ විකෘති වලින් සමහරකින් පෙලෙන අය කිසිම අවස්ථාවක ඔවුන් එසේ විකෘතියකින් පෙලෙනවා යැයි විශ්වාස නොකිරීම සහ ඒ බව ඔවුන්ට ඒත්තු ගැන්වීමේ නොහැකියාව. ඒවගේම සමහර විකෘති තිබෙන අයට ඒවා තිබෙනවා යන්න කවදාවත් තේරුම් යන්නේ නැහැ. එය දැනගන්නේ මේවා ගැන දැනුවත් වී ඇති ඔවුන්ව ආශ්‍රය කරන අයටයි.

ඒ නිසා බොහෝ විට ඖෂධ මඟින් තාවකාලිකව යටපත් කරගැනීමට පෙළඹෙන්නේ තමන් යම් පෞරුෂ විකෘතියකින් පෙලෙනවායැයි තමන්ම තේරුම් ගන්නා සුළු ප්‍රමාණයක් විතරයි.  ඒ නිසා තමන්ගේම ප්‍රයෝජනයට මේවා ගැන අවබෝධයක් ලබා ගන්න එක වැදගත් වුණත් මේවා යොදාගනිමින් ඔබ දන්නා අයට රෝග විනිශ්චය දෙන්නවත් ඔවුන්ව පහත් කර සලකන්නවත් පාච්චල් කිරීමටවත් භාවිතා කිරීම නම් කල හැක්කේ මහා මෝඩයෙකුටම පමණයි. එයට එක හේතුවක් වන්නේ අපි හැමෝටම මෙවා අඩු වැඩි වශයෙන් තිබීමත් ඒවා වැඩිපුර තියෙන අය ඉන්නවා නම් ඒවා ඔවුන් තම කැමැත්තෙන් ඇතිකරගත් ඒවා නොවීමත් නිසාමයි. මේ ගැන අවබෝධයක් ලබාගත්තායින් පසුව ඔබ දන්නා අයකුට එවන් විකෘතිතාවයක් තිබෙනවා යැයි ඔබ සිතනවානම් ඔවුන්ව මානසික වෛද්‍යවරයෙක් වෙත යාමට එකඟකරවාගෙන ඒ ගැන ක්‍රියා කිරීම නම් එම තැනැත්තාටත් ඔබටත් කරගත හැකි ලොකු සේවයක්.

හැසිරීම් ගැන යම් නීති රීති පද්ධතියක් තිබෙන පාසැලේ සහ පවුලේ හැදී වැඩී සමාජයට ඇතුල් වන විට මේවා ගැන අවබෝධයක් නැති කම නිසා තරුණ අය බොහෝ විට සමාජය සමඟ හෝ පුද්ගලයන් සමඟ ප්‍රශ්ණ ඇතිකර ගන්නවා. ඇත්තටම විවිධ පෞරුෂ විකෘතිතා ගැන පාසැල් කාලයේදීම හැඳින්වීමක් වත් දරුවන්ට ලැබෙනවානම් ඒ අයට සමාජයේ හමුවන අයව තේරුම් ගන්න පහසුවෙනවා. ඔබට තරුණ වයසේ දරුවන් සිටිනවානම් මේවා ගැන ඔවුන් දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.  විශේශයෙන්ම විවාහයකට වැනි දේකට කුලය, නිලය, වත්කම හෝ පොරොන්ඳම් බලනවාටත් වඩා ඔවුන්ව අධ්‍යනය කරල ඔවුන් වෙන සමාජ වල හැසිරෙන ආකාරය ගැන  දන්න අයගෙන්  හොයාගෙන හරි විශාල පෞරුෂ විකෘති තියෙන අයව මඟහරින්න පුළුවන් නම් ඒකෙන් නම් යහපතක් වෙයි. 

පෞරුෂ විකෘතීන් ලැයිස්තුව

Paranoid Personality Disorder - අන් අයව සහ හැම දේම සැකකරන ස්වභාවය. වැරදීම් සහ පරාජයන් ගැන අධි සංවේදීතාවය, තරහවන් දීර්ඝ කාලයක් මතක තබා ගෙන ඒවා ගැන ක්‍රියා කිරීම, අන් අයගේ මිතුරු ක්‍රියාත් සතුරු දේවල් ලෙස සැක කිරීම, සමාජ සම්මතයින්ට එහා ගිය අයිතියක් තමන්ට ඇතැයි සිතීම, තමන්ගේ සහකරු /සහකාරියව සැක කිරීම, තන් ගැන ඇති අධිතක්සේරුව, තමන්ගේ ජීවිතයේ සහ අවට ලෝකයේ බොහෝ දේවල් කුමන්ත්‍රණ නිසා සිදුවන දේ යැයි සැක කිරීම.  

 Schizoid Personality Disorder- අන් අයට සහ සමාජයට අඩු ප්‍රතිචාර දැක්වීම, අන් අය ගැන ධනාත්මක හෝ ඍණාත්මක හැඟීම දැක්වීමේ නොහැකියාව, තනි වීමට ඇති කැමැත්ත, කිට්ටු මිතුරන් අඩුකම සහ එවන් මිතුදම් වලට ඇති අකමැත්ත, ප්‍රසංශාවට හෝ විවේචනයට සංවේදී නොවීම, සමාජ සම්මුතීන් නොසැලකා හැරීම, තමන් ගැනම හෝ මනඃකල්පිත දේවල් ගැන ඇති දැඩි උනන්දුව. 

Schizotypal Personality Disorder - අවස්ථාවට නොගැලපෙන හැසිරීම් හෝ ඒ ගැන නොතැකීම, අසම්මත හෝ සම්ප්‍රදායට නොගැලපෙන හැසිරීම්, අන් අය සමඟ ඇති අඩු සම්බන්ධතා, මැජික් හෝ ආශ්චර්‍යයන් ගැන ඇති විශ්වාසය, සැක කරන ස්වභාවය, තේරුම් ගත නොහැකි සිතිවිලි සහ තේරුම් ගැනීමකින් තොරවූ අධිවිස්තරාත්මක සහ සකේතාත්මක කථාව, බාහිර උත්තේජනයකින් තොරව ඉඳහිට දැනෙන හෝ පෙනෙන මායා සහ අභූත ශබ්ධ.

Antisocial Personality Disorder- සමාජ සම්මුතීන්ට සහ නීති වලට විරුද්ධව නිතර ක්‍රියා කිරීම, නිතර බොරු කීම සහ අන් අයව නොමඟ යැවීම, තම වාසිය හෝ සංතෝශය වෙනුවෙන් අනුන්ව නොමඟ යැවීම හෝ ගසා කෑම, හිතෙන හිතෙන දේ කිරීම හෙවත් ඉදිරිය සැලසුම් කිරීමට ඇති නොහැකියාව, ඉක්මණින් තරහ යාම ගුටි බැට හුවමාරුව, අන් අයගේ ආරක්ෂාව ගැන නොතැකීම, නිතර වගකීම් විරහිතව හැසිරීම සහ ස්ථාවර ක්‍රමයක් නොමැතිකම, ණය නොගෙවීම සහ මුදල්මය වගකීම් පැහැරහැරීම, තමා නිසා අන් අයට සිදුවන කරදර, පාඩු ගැන කිසිවක් නොතැකීම.    

Boarderline Personality Disorder- සත්‍ය හෝ මවාගත් තනි කිරීමක් 'වැලැක්වීමට' හෝ 'මුහුණදීමට' ඇති සූදානම, එකම දෙ ගැන අන්ත දෙකක සිට මත දැක්වීම, හදිසි හෝ භයානක හැසිරීම් රටා, යම් අවස්ථාවන්ට නොගැලපෙන හෝ අවශ්‍ය නොවන තරමට සංවේදීවීම හෝ ප්‍රතික්‍රියා කිරීම, ශක්තිමත් නොවන හෝ පිළිවෙලක් නොමැති මානුෂික සම්බන්ධතා, ස්වහානිකර හැසිරීම්, මෙයට සමගාමී අධික කෝපය, විශාධිය, බිය, සහ මත්ද්‍රව්‍ය අභාවිතය.

Histrionic Personality Disorder - ප්‍රදර්ශණකාමී හැසිරීම, නිතර අන් අයගේ අගය කිරීම හෝ අනුමත කිරීම බලාපොරොත්තුවීම, අන් අයගේ විවේචනයට ඇති  අධිසංවේදීතාවයක් දැක්වීම, තමන්ගේ පෞරුත්වය ගැන ඇති අධිවිශ්වාසය සහ වෙනස්වීමට ඇති අකමැත්ත, තන්ගේ ඇති ශාරීරික දුර්වලතාවයක් හෝ අංගවිකලතාවයක් අන් අයගේ අවධානය වැඩියෙන් ලබා ගැනීම සඳහා අභාවිත කිරීම, අන් අයගේ අවධානය ලබා ගැනීමට නිතර උත්සාහ කිරීම, බලාපොරොත්තු කඩවීම හෝ පිළිගැනීම ප්‍රමාද වීම් පිළිගැනීමට අපහසු වීම, තමන්ගේ මානුෂික සම්බන්ධතා තිබෙනවාට වඩා තීව්‍ර ඒවා බව විස්වාස කිරීම, හදිසි තීරණ ගැනීම, තමන්ගේ පරාජයන් හෝ බලාපොරොත්තු කඩවීම වල වැරැද්ද අනුන්ට පැටවීම, තමන්ව මුරුංගා අත්තේ තබන අයගේ අදහස් වලට එකඟවීම.

Narcissistic Personality Disorder - තමන්ගේ ඇති සහ ඇති යැයි ඔවුන්  සිතන හැකියාවන්, දක්ෂතා නිසා තමන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨ යැයි ඇති විස්වාසය, තමන්ගේ බලය ජයග්‍රහණ, ඥාණවන්ත බව, ශාරීරික පෙනුම ආදිය ගැන ඇති විශාල අයුතු අධිතක්සේරුව, තමන් විශේෂිත පුද්ගලයෙකු අන් අයට වඩා ඉහලින් සිටින තැනැත්තෙකු, සමාජයේ ඉහලම අය සහ ඉහලම ස්ථර සමඟ හැසිරෙන්නෙකු, යැයි ඇති අයුතු විශ්වාසය, අන් අයගේ ගෞරවය නිතර අපේක්ෂා කිරීම, සමාජයේ සහ ඇසුරු කරන්නගෙන් විශේෂිත සැලකිලි බලාපොරොත්තුවීම, තමන්ගේ අරමුණු මුදුන්පත් කරගැනීමට අන් අයව සූරා කෑම, අන් අයගේ අවශ්‍යතා, හැඟීම, බලාපොරොත්තු ගැන තේරුම් ගැනීමට ඇති නොහැකියාව, අන් අය ගැන ඇති දැවෙන ඉරිසියාව සහ අන් අයද තමන්ට ඉරිසියා කරතැයි විස්වාස කිරීම, උත්කර්ෂවත්කමක් සහ උඩඟුබවක් පෙන්වන හැසිරීම් රටා. 

Avoidant Personality Disorder - විවේචනය සහ ප්‍රතික්ෂේපවීම ගැන ඇති අධි සංවේදීතාවය, සමාජයෙන් තනිවීම තමාම සකස්කරගැනීම, අන් පුද්ගලයන් සමඟ කිට්ටු ආශ්‍රයක් බලාපොරොත්තු වූවත් සමාජය සමඟ ගැටීමේදී දක්වන බිය සහ අධික ලැජ්ජාශීලී බව, වේදනාකාරී හෝ අප්‍රසන්න අත්දැකීම් නිසා ශාරීරික සම්බන්ධතා මඟහැරීම, තමන් ගැන සෑහීමකට පත්නොවීම, ආත්ම විශ්වාසයේ විශාල අඩුවක් හෝ නැතිවීම, තමන්ට ශාරීරික හානියක් කරගැනීමට සිතීම, අන් අයව අවිස්වාශ කිරීම, තමන්ගේ පෙනුම ආදිය ගැන නිතර බියෙන් සිතීම සහ කරදරවීම, අන් අය සමඟ වන ගැටුම් වලදී තමන්ට වරද පටවා ගැනීම,  අන් අය ඔවුන්ගේ ආශ්‍රය ප්‍රියකලත් තමන් තනිවූ අයකු යැයි සිතීම, ඇත්ත තත්වයෙන් මිදීම සඳහා මායකාරී සිතිවිලි වල නිමග්න වීම. 

 Dependent Personality Disorder- අඩුම තරමින් මේ දේවලින් හතරක් ඇති අය. 1. තමන්ගේ ජීවිතයේ වැදග්ත්ම තීරණ ගැනීමට අන් අයට පැවරීම, 2. තමන්ගේ වුවමනා එපාකම් නොව තමන් රඳාපවතින අයගේ බලපෑම සහ ඕනෑ එපාකම් වලට මුල්තැන දීම, 3. අත්‍යවශ්‍යම දෙයක් වුණත් අන් අයකුගෙන් යමක් ඉල්ලා සිටීමට ඇති නොහැකියාව, 4. තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට නොහැකිවේ යැයි සිතා තනි වීමට ඇති අස්ථාන බිය, 5. තමන් රඳාපවතින අය තමන්ව හැරදා යෑමක් ගැන ඇත් අස්ථාන බිය සහ එසේ වුවහොත් තමන්ගේ අවශ්‍යතා තනිවම සිදුකරගැනීමට සිදුවේ යැයි බිය වීම, 6. අන් අයගේ උපදේශ හෝ සහතික කිරීම නොමැතිව එදිනෙදා තීරණ වත් ගැනීමට ඇති අඩු හැකියාව.

Obsessive-compulsive Disorder - යමක් කිරීමේදී එම කාර්‍යයේ අවසාන අරමුණට වඩා එය කිරීම සඳහා අදාල නීති, සිරිත් විරිත්, ලැයිස්තු සහ සංවිධානයට මුල්තැන දීම, යම් කාර්‍යයක් අවසාන කිරීමට වඩා තමන්ගේ ඉහල ප්‍රමිති සහ එය හොඳින්ම කිරීමට මුල්තැන දීම, විවේකය සහ සතුටුවීම සම්පූර්ණයෙන්ම අමතක කර වැඩ සඳහා පමණක්ම යෙදීම, සිරිත් විරිත් පුරුදු ආදියෙන් යම්තරමක් හෝ බැහැරවීම ප්‍රතික්ෂේප කරමින් සැම දෙයක් ගැනම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, පරණවූ සහ දැන් ප්‍රයෝජනයක් නැති  දේවල් බැහැර කිරීමට නොහැකිවීම, තමන් කියන පරිදිම හෝ බලාපොරොත්තු වන පරිදිම යමක් සිදුවන බවට 100% ක විශ්වාසයක් නැත්නම් අන් අය ලවා එම කාර්‍ය කරගැනීමට පසුබටවීම, මුදල් යනු අඩුම තරමින් වියදම් කොට සියල්ලම පාහේ අනාගත ව්‍යසනයකට ඉතුරු කරගත යුතු දෙයක් යැයි සිතීම. අධික මුරණ්ඩු බව.

මේකේ තියෙන්නේ මේ විකෘති ගැන ඉතා කුඩා සාරාංශයක් පමණයි. දී ඇති ලින්ක් හරහා යාමෙන් විකිපීඩියා වලින් එක් එක් විකෘතිය ගැන දීර්ඝ විස්තර දැනගන්න පුළුවන්.

ඔබට හෝ ඔබ හොඳින්ම දන්නා කෙනෙකුට  මෙවන් පෞරුෂ විකෘති අඩු වැඩි වශයෙන් හෝ තිබෙනවාදැයි දැන ගැනීමට අන්තර්ජාලයේ කල හැකි ප්‍රශ්ණ උත්තර සයිට් තිබෙනවා. personality disorder test යන වචන ටික සර්ච් කරලා එකක් හොයාගන්න පුළුවන්. අර තමන්ගේ නීතීඥයාට හෝ වෛද්‍යවරයාට බොරු කරන්න එපා කියන්න වගේ ඒ අහන ප්‍රශ්ණ වලට සත්‍ය වශයෙන්ම උත්තර දුන්නොත් තමයි තරම්ක් හරි නිගමනයක් ගන්න පුළුවන්.  ඒවායින් දල අදහසක් ගන්නවා විනා ඒ ගැන ස්ථීර දෙයක් දැන ගැනීමට හෝ රෝග විනිශ්චයකට නම් ඒ ගැන පළපුරුදු මානසික වෛද්‍යවරයෙක් සමඟ සාකච්චා කිරීම තමයි කළයුතු හොඳම දෙය.





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

36 comments:

  1. ඔය Disorder කිහිපයක තිබෙන රෝග ලක්ෂණ වලින් කොටස් ටිකක සම්මිශ‍්‍රණයක් එක පුද්ගලයෙකුට වැලදෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. අසංග මචං මම මානසික වෛද්‍යවරයෙක් නෙවෙයි. මම මානසික ලෙඩෙක් විතරමයි. මම හිතන විදිහට නම් මෙවා සුළු මට්ටමෙන් අප සාමාන්‍යයයි හිතන හැමෝටම තියෙනවා. ඕනෑම දෙයක් තමන්ට හෝ අන් අයට හානිකර මට්ටමට ආවා තමයි ප්‍රශ්ණය. 100% ක් ම මේවා ඔක්කොම නැති එක්කෙනෙක්වත් නැතුව ඇති කියන එක තමයි මගේ අදහස.

      Delete
  2. පාට පාටින් සිහින ලොව තුළ චරිත ටික කෙරුවත් කොපී
    කාට කාටත් විකෘතී නම් තියෙන බව පිළිගමු අපී
    ඊට සරිලන පිළියමක් ගෙන සිටියොතින් දිවියම හැපී
    තාට තුති දෙමි ඉයන් නුඹහට ලියා තැබුවට මෙම ලිපී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී. උඹට කවි පිළිතුරක් දෙන්න බැරි වෙන විදිහේ පෝස්ට් එකක් දානම බැරිවෙයි කාටවත් . හෙහ් හෙහ්

      Delete
  3. අප වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට මේ තත්වයන් අඩු වැඩි වසයෙන් තියෙනවා. වෙනස සමහරුන්ගේ ලේසියෙන් හඳුනාගත්තාහැකි සමහරුන්ගේ සැඟවිලා තියෙන්නේ.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක දියණිය. අපි හැමෝටම මේවා තියෙනවා. මම හිතන්නේ ඒවා නැති එක්කෙනෙක්වත් නැහැ කියලා. උදාහරණයකට Narcissistic Personality Disorder තියෙන අය ඔවුන්ගේ දැලේ අපි හිරවෙනන්කන් ඔවුන් ඒගති ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අනික් සමහර ඒවා ඔවුන් සඟවාගෙන හිටියට ඔවුන්ගේ ගති, හැසිරීම් වලින් අනික් අයට පේනවා. අපි දකින එම හැසිරීම් මොන හේතුවක් නිසා වෙනවද කියල උපකල්පනයන් ඇති කරගැනීමට මේවා ගැන දැනගෙන සිටීම ප්‍රමාණවත්. එවිට ඔවුන් කරන නොකරන දේවල් නිසා අපි හිත් අමාරු හදා ගැනීම වලක්වගන්න පුළුවන්.

      Delete
  4. අපොයි, එකක් ඇර අනෙක්ව සේරම පදමට තියනවනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඇණයා. මට නම් මේ ඔක්කොම තියෙනවා.

      Delete
  5. සිරා ලිපියක් නේ ඉයන්. ඔය කාවවත් විශ්වාස නොකරන ගතිය නම් මටත් තියනවා. මම හිතන්නේ ඒකනම් විල්ල තියෙන්නේ ළඟින්ම හිටපු යහළුවෝ, නෑදෑයෝ වගේ අය කරන ලද යම් යම් ක්‍රියා නිසා. එතකොට් ඒ කියන්නේ "අනුන්ට වරද පැටවීම" එහෙම නොකර හිටියොත් ඒ කියන්නේ "තමට වරද පැටව ගැනීමක්" හේ හේ :)

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තූතියි. මේ වගේ හැසිරීම් එන්න අපිට සමාජයෙන්, පවුලෙන්, පාසැලෙන් ලැබෙන අත්දැකීම බලපානවා කියලා මම හිතනවා.

      අනුන්ට වරද පටවනවා හෝ තමන් වරද පටවා ගන්නවා කියල හිතන්නෙ නැතුව වැරදිකාරයාට වරද පටවනවා කියන එක තමයි සාධාරණ. ඒ වුණාට කවුද විනිස්චයකාරයා. කෙනෙක් සම්බන්ධ ප්‍රශ්ණයකදී එයාටම විනිස්චය දෙන්න පුළුවන්ද? ඊට වඩා හොඳයිනේද කවුද වැරදි කියල නොහොයා මොකද්ද වැරදි කියලා බලලා ඒක හැදුවම.

      Delete
    2. //කවුද වැරදි කියල නොහොයා මොකද්ද වැරදි කියලා බලලා ඒක හැදුවම.// ලයිෆ් එක සෑහෙන්න ඊසි වෙනවා එහෙම හිටියොත්

      Delete
  6. “One person's craziness is another person's reality.”
    ― Tim Burton

    “To recognize one's own insanity is, of course, the arising of sanity, the beginning of healing and transcendence.”
    ― Eckhart Tolle

    ReplyDelete
    Replies
    1. Trying to find sane people in the world is a symptom of intense insanity
      - Ian Linthota

      Delete
  7. මට නං ඔය කියන කිසිම පිස්සු ගතියක් නෑ. අනිත් සේරටම ඔය එක එක ගති තියේ කියල නං දන්නවා.. ඔව් ඉදගෙන තමා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දේශක, හරියටම හරි. මගෙත් අදහස ඒකමයි. ඔය තියෙන විකෘති වගේ දේවල් තියෙන්නෙ මම හැර ලෝකෙ ඉන්න අනික් හැමෝටම තමයි. මම විතරයි ප්‍රකෘති. ඊට සාපේක්ෂව මට වෙනස් හැම කෙනෙක්ම විකෘති.

      Delete
  8. ඉයන් ඔබගේ පොස්ට් එකට සමාන්තරව වගේ මෙවැනි ලක්ෂණ තිබෙන මගේ මිතුරෙකු ගැන විස්තරයක් දින කිහිපයකට පෙර මගේ ලිපියක සඳහන් කළා. ඔබත් එයට ප්‍රතිවචනයක් (comment) දමා තිබුනා. ඔබගේ විශ්ලේෂණය අනුව මගේ එම ම්තුරාට ඇත්තේ Borderline personality disorder ගණයේ ජන්ම ලක්ෂණයක්ද?

    ReplyDelete
    Replies
    1. දයාවී මහත්මයා, Borderline personality disorder ගැන දීල තියන ලින්ක් එකෙන් ගිහින් ඒක ගැන වැඩි දුර කියවලා ඔබම ඒ ගැන තීරණය කල යුතුයි. ඒකට හේතුව මම මානසික වෛද්‍ය විද්‍යාව හදාරා නැති නිසා ඒක මට නිශ්චිත දෙයක් කියන්න බැරිවීම. මගේ උත්සාහය සමාජයේ අපි හමුවන අය ගැන දැනගන්න ඒදේවල් ගැන කියවන්න උනන්දුවක් ඇති කිරීම පමණමයි. ඔබට බොහොම ස්තූතියි

      Delete
  9. හම්මට.. ඔක්කොගෙන්ම ටික ටික තියෙනවා නේ.. :))

    මිනිස්සුත් එක්ක වැඩ කරනකොටනම් මගේ මිනුම් දණ්ඩ 'මම' ම තමයි .. මම මේ දේ කරොත්, මට මෙහෙම උනොත් කියන දේ ඔටොමැටිකලි ඔලුවෙ ප්‍රොසෙස් වෙලා රිසල්ට් එක දෙනව මෙහෙම කරපං කියල.. ඒක ගොඩක් සාර්ථක නැති උනාට ගැටුම් අඩුයි. මගේ රස්සාවටත් හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමී, උඹට පාලනයක් ඇති අයගේ හැසිරීම පාලනය කරන්න උඹට පුළුවන් බව ඇත්ත. පාලනය කරන්න බැරි අය ඒකියන්නේ උඹේ බොසා, සම තත්ත්වයේ ඉන්න අනික් අයගේ හැසිරීම් උඹට පාලනය කරන්න බැහැ. ඒ අයගේ හැසිරීම් උඹ හරි යැයි හිතන හැසිරීම් වලට වඩා වෙනස් නම් ඒකට හේතුව තමයි ඒ අයගේ හරි-වැරදි මිණුම් දණ්ඩ උඹේ එකෙන් වෙනස් වීම. ඒක තේරුම් අරගෙන ඒ අයගේ හැසිරීම් නිසා හිත් රිදවා ගැනීම් , තරහ යෑම් අඩු කරගන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  10. "Histrionic Personality Disorder - ප්‍රදර්ශණකාමී හැසිරීම" මන් අකමැතිම ජාතියක් සාමාන්‍යයෙන් මන් හිතන්නෙ ඕක අපි සාමාන්‍යයෙන් කැටයම් කාරයෙක්, මාර ඇඩ් කාරයෙක් වගේ කියන ඒවට සමානයි ඔය රෝගය

    ReplyDelete
    Replies
    1. රස්ති ස්තූතියි. ගොඩක් වෙලාවට දේශපාලන නායකයින්ගේ, සාර්ථක ව්‍යාපාරිකයන්ගේ, ප්‍රසිද්ධ කලා කරුවන්ගේ මේවයින් සමහර විකෘති (Eg. NPD) වැඩිපුර තිබෙනවා කියා මා කියවා තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ පෞරුෂයේ ඇති එම විකෘතියම තමයි අන් අය යටපත් කරගෙන එම තත්ත්වයට ඔවුන් ලඟා වන්නටත් මූලිකම හේතුව. එම ඉහල ස්ථාන කරා ආවම ඒ සමඟම ලැබෙන ප්‍රසිද්ධිය, ප්‍රසංශා ආදිය ඔවුන්ගේ විකෘතිය තවදුරටත් reinforce කිරීමටත් බලපානවා.

      Delete
  11. මම හිතන්නේ ඔය කියන ඒවගෙන් දෙක තුනක් මටත් තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔබ තනි නැහැ උදය. මටත් තියෙනවා. ඒක ගැන දැනුවත් වී ඒ දුර්වලතාවය මගේ අන් අය සම්බන්ධ කටයුතුවලදී හානියක් නොවෙන්න යටපත් කරගැනීමට උත්සාහ කරනවා. එච්චරයි කරන්න පුළුවන්.

      Delete
  12. අප්පච්චියෙ මටත් බෙහෙත් ගන්ඩ වෙයිද

    ReplyDelete
    Replies
    1. උඹට බෙහෙත් දෙන්නත් පුළුවන් වෙයි . හැක්

      Delete
    2. කවුද බං මේ හැන්ඩි පොර , පින්තුරෙකුත් එක්ක ඇනෝ කෙනෙක්

      Delete
    3. ඇනෝයි කරන්නෙ නැති ඇනෝ කෙනෙක්

      Delete
  13. ඇත්තටම මේක නම් අපි අවට ඉන්න හැම මනුස්සෙයෙක්ගේම කතන්දරයක් වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්ගාත. ඔව් අපි හැමෝගෙම. වෙනස තියෙන්නේ ඒවයේ තියෙන විවිධ මට්ටම්. ඒව විකෘති කියල තේරුම් අරගෙන වෙනස් විදිහට හැසිරෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඒත් ඒව සම්පූර්ණයන්ම නැතිවෙයිද කියන එක නම් දන්නෙ නැහැ.

      Delete
  14. වැදගත් ලිපියක් ඉයන්. අඩු වැඩි වශයෙන් හැම මනුස්සයෙක්ටම මානසික දුර්වලතා තියෙනවා කියලා මමත් හිතනවා. සමහර වෙලාවට ලියලා තියෙන සමහර කරුණු සමහර වෙලාවට යම් යම් අවස්තාවලදී අපිට අදාල වෙනවා.

    දැනුවත් කිරිම ගැන ස්තුතී ඉයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රාව. ප්‍රයෝජනයක් වුණානම් සතුටක්

      Delete
  15. බලාන යද්දි සැට් එකටම පිස්සුනේ .....

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොටම නේද සබරේ? අපිට විතරක් නැතුව හැමෝටම එකවගේ පිස්සු වීමත් එක්තරා සහනයක් :)

      Delete
  16. මානසික රෝග කියන්නේ ලංකාවේ වැඩි වශයෙන් කතා කරන්න ඕනා මාතෘකාවක්.. ඉතින් මෙවැනි ලිපි ලියන එකට ඔබට හුඟක් ස්තූතියි..

    ReplyDelete