Monday, June 20, 2016

පුරවැසි නිවේදනයයි

පුරවැසි නිවේදනයයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.19, ප.ව‍‍‍‍‍ 11.30) 2015 ජනවාරි 8 වැනි දා මේ රටේ සිදු වුණේ ඓතිහාසික වෙනසකි. එතෙක් පැවති ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ පවුල්වාදී පාලන තන්ත්‍රය පෙරලා යහපාලනික පරමාදර්ශය යටතේ නව ආණ්ඩුවක් එදා බලයට පත් කර ගැනුණි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයක් හමුදාමය වශයෙන් අවසානයක් කළ නායකයෙකු, එම හමුදාමය ජයග්‍රහණයෙන් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ එම රටේම ජනතාව විසින් පරාජය කරනු ලැබීම, එම නායකයා සහ ඔහුගේ පාලන තන්ත්‍රය කෙරෙහි පැවති ජනතා අප්‍රසාදය මොනවට පැහැදිලි කෙළේ ය.
ලංකාව එදා ලෝකයෙන් කොන් වී තිබුණි. අපේ ජාත්‍යන්තර මිතුරන් වුණේ, ප්‍රජාතන්ත්‍රවාදයට නිගරු කරන, මානව හිමිකම් අවඥාවෙන් බැහැර කරන, බලයේ රැඳී සිටීම සඳහා ඕනෑම මිලක් ගෙවීමට නොපසුබට නායකයන් පාලනය කළ රටවල් ය. අපේ රටේ පාලකයන් එදා ආදර්ශයට ගත්තේ එවන් රටවල නායකයන්වයි.
යාවජීව බලය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අත්තනෝමතිකව සංශෝධනය කර ගත් රටවල් අනුව එදා අපේ පාලකයා ද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් සදාකල් වැජඹීමට බැලී ය. ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චියට ගනිමින් ද, යුද්ධය තුළ විරසක ව සිටි ජනවාර්ගික ප්‍රජාවන් තවදුරටත් භේදභින්න කරමින් ද, එකිනෙකා කෙරෙහි වෛරය වැපිරවීමට ක්‍රියා කළා මිස, සියලූ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කරමින් එක්සත් ජාතියක් ගොඩනැගීමට, යුද්ධයෙන් පසුව පවා, එම ආණ්ඩුව කටයුතු කෙළේ නැත.
දූෂණය, භීෂණය සහ පවුල්වාදය එම පාලනයේ ත්‍රිමූර්තිය විය. ඒ ඔස්සේ, ප්‍රජාතන්ත්‍රවාදී සෑම ආයතනයක් ම දූෂ්‍ය කෙරුණි. පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කෙරුණි. පවුලේ සාමාජිකයන් අතේ නැටවෙන රූකඩයක් බවට අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණි. ඒකායන නායකයාගේ අණට අවනත, හීලෑ ආයතනයක් බවට අධිකරණය පත් කෙරුණි. කොටින්ම, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පැවතිය යුතු බල විභේදනය දියාරු කොට, ඒ සියල්ලට ඉහළින් තනි නායකයෙක් විරාජමාන විය.
මේ තත්ත්වය ඉදිරියේ විපක්ෂ සහ විකල්ප මතවාද සඳහා තිබූ අවකාශය ඇහිරුණි. මාධ්‍යකරුවෝ එක්කෝ ඝාතනය කෙරුණාහ. නැතහොත් පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවුණාහ. මාධ්‍ය ආයතනවලට ගිනි තැබුණි. නැතහොත් බෝම්බ ගසා විනාශ කරනු ලැබුණි. ලංකාව නිසැකවම ගමන් කරමින් සිටියේ ඒකාධිපති මාවතකයි.
එවැනි තීරණාත්මක මොහොතක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පෙරටු කොටගත් පොදු විපක්ෂය එදා සටනට පිවිසියේ ය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි ලංකාවේ ජාතික දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන බලවේග විසින් එම සටන මෙහෙයවනු ලැබිණ. ලංකා ඉතිහාසයේ ඊට පෙර නොවු විරූ ආකාරයේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් විසින් ඒ පොදු අපේක්ෂාවට සුජාත වටිනාකමක් පැවරීය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය“ සහ “පුරවැසි බලය“ ප්‍රධාන කොට ගත් සකල නිර්-පාක්ෂික සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය එහිදී කැපී පෙනුණි. 
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඉහත කී පක්ෂ-දේශපාලනික ව්‍යාපාර සහ නිර්-පාක්ෂික සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය එදා අපේක්ෂා කෙළේ කුමක් ද? මුලින් ම, හිටපු ජනාධිපතිවරයා පරාජය කැරැවීම යි. ඒ කුමක් සඳහා ද? ඔහු සහ ඔහුගේ පවුල ඇතුළු එදා පාලන තන්ත්‍රය නියෝජනය කළ වැඩවසම් දේශපාලනික සංස්කෘතිය සහ වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට යි. එය, හිටපු ජනාධිපතිවරයා පරාජය කැරැවීමෙන් පමණක් කළ නොහැකි බව අපි කවුරුත් දැන සිටියෙමු.
යහපාලන ආණ්ඩුව මේ වන විට වසර එක හමාරකට ආසන්න කාලයක් ගෙවා තිබේ.
එහිදී, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්ථානය යළි අත්පත් කර ගැනීමට අපි සමත් ව සිටිමු. ‘ජගත් සාම දර්ශකය‘ තුළ ශ්‍රී ලංකාව, ගිය වසරට සාපේක්ෂව, රටවල් 18 ක් අබිබවා අද වන විට ඉදිරියට පැමිණ සිටී. ඊට සමගාමී ව, ජාතික සංහිඳියාව අරභයා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබෙන අතර, ඒ අනුව සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලියක් ඉදිරියේ දී දියත් කිරීමට නියමිත ව ඇත. ඒ සියල්ල කැටි කර ගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මූලික පියවර මේ වන විට ගැනෙමින් තිබේ. 
මේ අතර, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ආරම්භක පියවරක් වශයෙන් ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල සීමා කෙරුණි. එක් පුද්ගලයෙකුට ජනාධිපති තනතුරට පත්වීමේ වාර ගණන දෙකකට සීමා කෙරුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතුව පැවති බලය අවම කෙරුණි. රාජ්‍යකරණය අනවශ්‍ය දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් වළක්වා ගනු වස්, ‘ව්‍යවස්ථා සභාවක්‘ ස්ථාපිත කොට, ‘ස්වාධීන කොමිෂන් සභා‘ පත්කෙරුණි. පැවති ආණ්ඩුව විසින් එක දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණි.
මේ සියල්ල අප තුළ නිහතමානී ආස්වාදයක් ඇති කරවයි.
එහෙත්, අවසානයේ දී ඒ සියල්ල ආපසු හැරවීමේ විභවයෙන් යුත් සිදුවීම් පෙළක් ද වර්තමාන ආණ්ඩුවේ කල්ක්‍රියාව තුළින් අපි නිරීක්ෂණය කරමු. දූෂණය සහ භීෂණය පිටුදැකීමේ ප්‍රථම ආයාසය විය යුත්තේ, අතීතයේ ඊට අදාළ සියල්ලන්, තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවීමයි. නීතියේ ආධිපත්‍යයක් සහ අධිකරණයේ ස්වාධීනත්වයක් ගැන අවංක ව කතා කළ හැක්කේ ද, පිරිසුදු දේශපාලන සංස්කෘතියක් සහිත අනාගතයකට සැබෑ ආදර්ශයක් සැපයිය හැක්කේ ද එවිට යි. දෙවැනුව, පසුගිය ආණ්ඩුවට එරෙහි ව එල්ල වූ අවකල් ක්‍රියාවන්ට දුරින් හෝ සමාන වන කිසි හැසිරීමක් වර්තමාන පාලකයන්ගෙන් රටට ප්‍රකට නොවිය යුතු ය.
එහෙත්, දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ අසීමිත ප්‍රමාදය සේ ම ඇතැම් දූෂිතයන් සහ අපරාධකරුවන් නිසි අධිකරණමය විමර්ශනයන්ට හසු කර නොගැනීම කෙරෙහි සෘජු ව බලපාන, දේශපාලනික හස්තයේ අදිසි අත පෙවීමක් අපට පෙනේ. ‘ශ්‍රී ලංකන්‘ ගුවන් සේවයේ අතීත කැරැට්ටුව ගැන වර්තමාන පාලකයන් දෙස්දෙවෙල් තියන අතරේ, ඒ ගැන සොයා බැලු විමර්ශන වාර්තා තවමත් හමස් පෙට්ටියක පුස්කයි. මේ වන විට, පොලිස් විමර්ශන අවසන් කොට, නීතිපති නිර්දේශ පවා ලබා දී ඇති ලිපිගොනු ගන්ධබ්බ තත්ත්වයකට පත් ව ඇත. පැවති ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය හැසිර වූ ඉහළ රාජ්‍ය නිලධාරීන් ජනාධිපති ලේකම්වරුන් වශයෙන් පත්කර ගැනීමෙන් පටන් ගෙන, කෝටි ගණනින් මහජන මුදල් අවභාවිත කළ දූෂිත රාජ්‍ය නිලධාරීන් ‘යහපාලන‘ ඇමතිවරුන්ගේ ලේකම්වරුන් සහ අතිරේක ලේකම්වරුන් වශයෙන් පත්කර ගැනීම දක්වා අප දුරදිග ගොස් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආසන සංවිධායකවරුන් වශයෙන් පත්කර ගැනීමේ සිට, ආගමේ නාමයෙන් අලි හොරුන් රැකබලා ගැනීම දක්වා අප දුරදිග ගොස් තිබේ. එක රැයකින් මහජන මුදල් ප්‍රකෝටි ගණනින් අපහරණය කෙරෙන බැඳුම්කර ජාවාරම්වලට තවමත් අපි ‘නීත්‍යනුකූල භාවයේ‘ කඩතුරාවක් සපයමින් සිටිමු.
මේ තත්ත්වය තුළ, රටේ අනාගතය හැසිරවීම දේශපාලනඥයන්ට පමණක් පවරා සිටීමේ හැකියාවක් පුරවැසියන්ට නැත. නිදහසේ පටන් පාලකයන් විසින් විටින් විට ජනතාව රැවටූ අතීත අත්දැකීම් ඇති අප, මේ අවස්ථාවේ අපේ හඬ අවදි කරවිය යුතු ව තිබේ. ඒ වගකීම අද අප පැහැර හැරියොත්, පෙරහැර ගිය පසු ව පාලකයන්ට දොස් පැවරීමේ අයිතියත් අප අහිමි කර ගත්තා වන්නේ ය.

ජනවාරි 8 පැතූ යහපාලනය මේකද? මහජන සභාව
ජුනි 21 වැනිදා සවස 3ට, කොළඹ පුරහල, මහජන පුස්තකාල ශාලාවේදී.

29 comments:

  1. //ජනවාරි 8 පැතූ යහපාලනය මේකද? //

    එසේය මහරජ!

    ඔබ මීට වඩා දෙයක් පැතුවානම්, වරද ඔබ සතු ය.
    වැළි මිරිකා තෙල් ගත නොහැකිය!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සාරස තුමා

      Delete
    2. ගෙල සිඳ ගනිමුද?

      Delete
    3. // ගෙල සිඳ ගනිමුද? //

      නැත්නම් සිල් බිඳ ගනිමුද?

      Delete
  2. මචෝ,
    මේ ලිපි මට මෙලෝ රහක් නැහැ. ලිපියේ තියන කාරණා එක්ක එකග වෙනවද නැද්ද කියන ඒක ගැන නෙමයි මම කතා කරන්නේ... මේ කරුණු කාරණා එකතු කරගෙන උබ අලුතෙන් ලිව්වනම් මේ ලිපිය මිට වඩා බොක්කට වදින්න ලියන්න තිබුණා. ඉයන් ලියනවා දකින්නයි අපි කැමති. උබ ලියන කරුණු එක්ක එකග නැත්නම් අපි රණ්ඩු වෙමු බැනගමු එත් හිත යටින් උබගේ ලියවිල්ලට කැමති

    ReplyDelete
  3. ආණ්ඩුවට කඩේ යන බොරු ලිපි එක එක තැනින් ගෙඩි පිටින් ගෙනැත් මෙකේ දාන්නේ කුලියටද ?

    ReplyDelete
    Replies
    1. ඒ කතව වැරදි ඇනෝ, අපි කවුරුත් උපුටා ගැනීම් කරනවා. අපි කවුරුත් කැමති අකමැති දේවල් තියනවා

      Delete
  4. මේකයි ඉයන්. කියල තියෙන එව්වයෙන් සෑහෙන තරමකට එකග වෙන්ට පුළුවනි. එත් අර්ජුනලා දෙන්නම කරන පිස්සු වැඩත් පොදු විපක්ෂෙන් තව කට්ටිය කඩාගන්න හදන එකත් අලුත්ගමගේල කමිටු වලට දාගන්න දේවල් දිහත් මේ උදවිය යහපාලන කියන ලේබල් එක ගහගෙන සිල් අරන් වගේ බලාගෙන ඉන්න විදිය දැක්කහමනම් තුක් නොදකින් කියල කියැවෙනවා. හැමදාම මිනිස්සු කලේ ඉන්නවට වඩා හොඳ කෙනෙක් තෝරන එක? දෙන ඉතින් ඊළඟට ගෙන්න ඉන්නෙ කවුද කියල හිතන්ටත් කලින් මුන් කොහෙන් මේ රට ඉවරකරයිද කියල සාදාරන සැකයක් නැතුවත් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. රට ඉවර කරන එක නම් නොකරන බව මට විශ්වාසයි. ඔබ කියපු අනික් ඒවලට මම එකඟයි. බොහොමත්ම ස්තූතියි ටිලාන්

      Delete
  5. යහපාලන බුවාලා හැමදාම කන්කෙඳිරි ගානවා හොරු දුශිතයෝ ඇල්ලුවේ නැහැ කියලා, කොහෙද ඇල්ලුවේ නැත්තේ. ඒ දවස් වල ඔයාලම චෝදනා කරපු බහුතරයක් දැන් අල්ලගෙන මැති ඇමති කං දීල යන්න නොදීම හිර කරගෙන ඉන්නේ...
    ඒ මදිවට කෝටි ගණන් වල වාහන අරගෙන දෙන්න හොරෙන්ම සල්ලි පාස් කරගෙනත් තියෙන්නේ...
    බොරුවට අත් හිටෙව්වා කිව්වට සල්ලි පාස් කරලත් ඉවරනේ ඉයන්. ඒකනේ ඇත්ත...

    මැක්කාගේ කතාව වගේ දවස ගානේ මහින්දලට බැන්නාය කියල මේ වැරදි වහගන්න බැහැ, තමන් යනවා කියපු ගමන් යන්න ආණ්ඩුව උනන්දු කරවන්න...
    ඇමතිලට වාහන ගෙන්නන කතාව වගේ යහපාලන ගේම් ගැනත් ලියන්න...
    ආණ්ඩුවට මොකක්හරි වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒවා ගැනත් ලියන්න...

    ඒ වගේම කොච්චර අයිසින් දැම්මත් ගූ බෙට්ටක ගඳ වහන්න බැහැ කියන දේත් අමතක කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. //මැක්කාගේ කතාව වගේ දවස ගානේ මහින්දලට බැන්නාය කියල මේ වැරදි වහගන්න බැහැ, //
      එකඟයි ලොක්කෝ

      Delete
    2. ///තමන් යනවා කියපු ගමන් යන්න ආණ්ඩුව උනන්දු කරවන්න...///
      මෙහෙම කිව්වේ ඇත්තටම ඔබට එහෙම කුඩා හෝ හැකියාවක් ඇතැයි විශ්වාස කරන නිසා...

      Delete
    3. ලොක්ක කිව්වම විශ්වාස කරපන් ජනවාරි 8 ට කලින් නම් එහෙම පොඩි හැකියාවක් තිබුනා. ජනවාරි 9 දා සිට එහෙම හැකියාවක් නැහැ.

      Delete
  6. 2015 ජුනි මාසෙ ලියැවුණු අදහසක්... එදත් මගේ යෝජනාව වුණේ පුරවැසියන් විදියට ආණ්ඩුවවට බලපෑම් කළ යුතු බව... පුරවැසි බලය කණ්ඩායම ඒ වෙනුවෙන් පෙරට එන එක ඉතා වැදගත්... දෙතුන් වතාවක්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබුණු බලාපොරොත්තු ගිලිහුණ බව ඇත්ත. නමුත් නිහඬව සිටීම විසඳුමක් නෙවෙයි කියලයි මමත් හිතන්නෙ...

    මැතිඳ !!!!
    අමතකව ඇති හැඩ ය..
    දැන් ඔබට,
    පොදු අරමුණක් උදෙසා
    පොදු ජන අප විසින්
    සිහසුන වෙත ඔසවා තැබූ
    පොදු අපේක්ෂකයා බව
    ඔබ අපේ........

    නිල් කොල රතු ලොවක
    කෙණෙහිලිකම් වින්ද
    නිදහස් නිවහල්
    දේදුනු පැහැ ලොවක
    සිහිනය පොදි බැන්ද
    පොදු ජනතාව අපි...

    වියරු ඒකාධිපති
    රෙජීම පයට පෑගී
    තැලී පොඩිවී මරණාසන්න
    එකොළොස්වෙනි පැයේ දී
    බොහෝ වැර වෑයමෙන්
    පණ ගලවා ගෙන
    එල්ලෙන්න අත්වැලක්
    සෙවූ සමයක
    පිදුරු ගහක් වීද ඔබ....

    දෙව්දත්, ආලවක
    කේවට්ට පරපුරක
    උරුමය රකින්නට
    පාවා දෙනු කෙලෙස ඔබ
    සුවහසක් සිහින
    අප සැම පොදි බැන්ද
    යහපත් රටක් ගැන

    පැහැපත් හෙටක් ගැන...

    http://tharurasi.blogspot.com/2015/06/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඔබ ඒකාලේ ලියපු දේම තමයි පරක්කුවෙලා හරි පුරවැසි බලකාය කරන්න හදන්නේ. කට වහගෙන හිටියොත් වැරදි පාරේ ගොඩක් දුර ගියොත් ආයිත් අදින්නම බැරිවෙනවා. බොහොම ස්තූතියි තරුරසී.

      Delete
  7. ලංකාවෙ චන්දෙ දියයුත්තේ ඒ අවස්ථාවේ වඩාත්ම අකමැති පාර්ශවය පරාජය කිරීමට පමණි. ඉන්පසුව එන චන්දයේදී ආයිත් බලනවා දැන් අකමැතිම එකා මොකාද කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රා එහෙම තමයි කොහොමත් ලංකාවෙ ඡන්දෙ දෙන්නෙ නේද?

      Delete
    2. අකමැති එවුන් පරද්දන්නට ඡන්දය දෙන්නේ "නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය" යනු කුමක්දැයි නොදත් නූගත් බුද්ධිහීන මනෝවිකෘතිකයෝය.

      මූලිකවශයෙන් ගතහොත් "ඡන්දය ප්‍රකාශකිරීම" යනු තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්රමයක් මිස එක එකාට අකමැති එවුන්, ඩයල් එක අප්සෙට් එවුන්ට වෙන මොකෙක්ට හරි ඡන්දය දෙන්නෝ මන්දබුද්ධිකයෝය. ඔවුන්ට එරෙහිව ඡන්ද අයිතිය නොදීම වඩාත් සුදුසු අතර දීමෙන් කිසිදු වැඩක්ද නොවේ.

      ඡන්දය සෘණාත්මකව නොව ධනාත්මකව භාවිත කලයුතුය. ඉන්න එකාට අකමැතියි කියා මොකෙක් හෝ ගෝතයකුට ඡන්දය දීමෙන් ඌ කලින් එකාට හපන් විය හැකිය. නැතිනම් වත්මන් අන්ත අසාර්ථක යහපාලන රෙජීමය මෙන් තිබුණාටත් වඩා රට දැඩි අර්බුදයකට ගෙන යන ව්‍යසනයක් විය හැකිය.

      Delete
    3. // එක එකාට අකමැති එවුන්, ඩයල් එක අප්සෙට් එවුන්ට වෙන මොකෙක්ට හරි ඡන්දය දෙන්නෝ මන්දබුද්ධිකයෝය. //

      බොලේ හැබෑට...
      මෙච්චර කල් චන්දේ පාවිච්චි කොල ආකාරය බලනකොට ස ර ස තුමා මන්ද බුද්දිකයෙක් බව පෙන්වා දුන්නාට ඔබට ඉස්තූතියි ඇණෝ!

      Delete
    4. @ ඇනෝ. ඕවා වචන හරඹ විතරයි. රනිල් කොටිත් එක්ක එකඟතාවයක් තියෙනවා කියන මහින්ද/ජවිපෙ චෝදනාවට රැවටිලා 2005 දී මහින්දට ඡන්දය දුන්න ගොඩක් අය ඉන්නව. එකඟතාවය තිබ්බෙ කාටද කියල පාසෙ එලි වුණත් 1970-2005 දක්වා දැනෙන කිසිම දෙයක් කරල නැති කෙනෙකුට සමහරු චන්දෙ දුනෙන් රනිල්ට තිබුණ අකමැත්තට.

      ඔය ලොකු වචන මොකක් පාවිච්චි ල්කලත් ලංකාවේ චන්ද හැමදාම පැවතී ඇත්තේ අනෙක් පාර්ශවයේ වැරදි කීමන් මිස තමන්ගේ සැලසුම් කීමෙන් නොවේ. ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ අනෙකාට අකමැති කර එම චන්දය තාමාගේ පැත්තට හරවා ගැනීමට

      Delete
    5. මංද බුද්ධික? ඔබද බුද්ධික?

      Delete
  8. 2015 බලපෙරළිය හරහා එක්තරා හොරකල්ලියක් එළවා දමා තවත් හොර කල්ලියකට බලය මාරුකර තමන්ට වරප්‍රසාද වරදාන ලබාගැනීමට කටයුතු කල සිවිල් සංවිධාන නමැති අන්ත දූශිත කල්ලිවල තවත් එක් ප්‍රෝඩාකාරී ගොන් පාට් එකක්. මටනම් දැන් මේව ඇතිවෙලා ඉයන්.

    හැබැයි බොරුවට මධ්‍යස්ථ වෙස්ගත් මේ දූශිත හොර කල්ලි කණ්ඩායම් විසින් තමන් රවටා තමන් සමඟ රටද තම දරු මුනුබුරන්ගේ අනාගතය ද පතුළ නොපෙනෙන අගාධයකට විසි කර ඇති බව රටත් සමඟ වේගයෙන් ප්‍රපාතයට ඇදී යමින් වුව ජනතාව අවබෝධ කර ගෙන තිබිණි. එහෙයින් 2015 අගෝස්තු වල ජවිපෙ ලවා විපක්ෂය හයිජැක් කිරීමේ මෙහෙයුම අසාර්ථක විය. ආසන තිහට හතළිහට ගණන් හැදූ ජවිපෙ ආසන 4 (+2) ට සීමා කිරීමට ජනතාව තීන්දු කළ හෙයිනි.

    දැන් කල්ලිය නැවත වටයකින් කුරුමානම් අල්ලන්නේ විපක්ෂය හයිජැක් කිරීමටමය. ආණ්ඩුවේ ජනතා විරෝධි දේශද්‍රෝහි වැඩපිළිවෙළ හමුවේ සීග්‍ර ලෙස ආණ්ඩුවෙන් ඈත් වන ජනතාව විපක්ෂ බලවේග සමඟ එක් වනු වළකා ඔවුන් සඳහා දේශපාලන අවතැන් කඳවුරක් තැනීම මේ මෙහෙයුමේ එකම අරමුණයි. එවිට ආණ්ඩුවට යහතින් තව කලක් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් යෝජිත නව ව්‍යවස්ථාව ඔස්සේ බුදු දහමට හිමි නෛතික ප්‍රමුඛත්වය අහිමි කර සමලිංගික ෆෙඩරල් රාජ්‍යයක් තැනිය හැකි ය. ඉන් ඔබ්බට උතුරුකරේ දකුණු ආසියාවේ ඊශ්‍රායලය හැදීම සහ එකල්හි දකුණේ පලස්තීනය නිර්මාණය වනු ඇත.

    එසේ නොමැතිව මේ කල්ලිය සැබවින්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයෙන් යහපාලනය පැතුවේ නම් ඔවුන් මේ රටේ මෑත කාලීන ඉතිහාසය පවා නොදත් දිළිඳු දේශපාලන විඥානයක් හිමි අසරණයෝ ටිකකි. උඳු වපරා මුං පැතූ, දිඹුල් ගහෙන් මල් පැතූ, ගණිකාවකගෙන් කුමරි බඹසර පැතූ තවමත් කණා බල්ලන් ගහන මේ පිරිස කළ යුත්තේ රටට මඟ කීමට පෙර තමන් නිසි මඟ සොයා ගැනීමය.

    ඔවුන් තමන් රැවටූ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුය. ආණ්ඩුවේ ද්‍රෝහී ක්‍රියාවලට රටට දැනෙන ලෙස නිසි බරින් එරෙහි විය යුතුය. අසාධාරණ වැට් බදු නැංවීමට, විකාර ලෙස වාහන බදු නැංවීමට, පාසල් නිල ඇඳුම් කප්පාදුවට, රටේ ජාතික ආරක්ෂාව විනාශ කිරීමට, එට්කා ගිවිසුම හරහා රට ඉන්දීය කොලනියක් කිරීමට, මහබංකු වංචාවට, මැති ඇමතිලාගේ සුපිරි වාහන මේනියාවට, හොරු දූෂිත යැයි හංවඩු ගැසූ අයට මැති ඇමතිකම් සහ සංවිධායක ධූර ලබා දීමට අවංකව එරෙහි වී නැගීසිටිය යුතුය.

    එහෙත් ඊට එරෙහිව නඟන්නේ ජාමේ බේරා ගැනීමට බලු කෙඳිරිල්ලක් පමණි. ඒ කිසිවක් නොකර මෙදා මේ අය කිරීමට සැරසෙන්‍නේ රට විශාලා මහනුවරක් බවට පත්ව ඇති යුගයක බොරු චෝදනා නඟමින් සියල්ලට පසුගිය දූශිත රාජපක්ෂ රෙජීමය පමනක් වගකිවයුතු බවට බනිමින් ජනතා අැසට වැලි ගසා නියමින් සහ අනියමින් ආණ්ඩුව රැකීමටය. ඒ ජනතා ද්‍රෝහි මෙහෙයුම පරාජය කළ යුතුව ඇත. රට දැය සමය නාමයෙන් දවල් වැටුණු වළේ රෑ නොවැටිය යුතුමය.

    ජනතාව වෙනම සංවිධානය වී මේ සියලුම කාලකණ්ණි තක්කඩි හොරුන් නිසි තැන්වලට එලවා දැමිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. මහින්ද ගේ සාදාරන හොර කල්ලිය නැවත බලයට ගෙන එමු!
      ජයවේවා!

      Delete
    2. ලස්සනට ලියල තියෙනවා. ස්තූතියි ඇනෝ.

      Delete
  9. මේ විරෝධතා දිහා අපි බලන්න ඕනෙ ඔලුවෙන්... ඒහෙම බලද්දි තමා තේරෙන්නෙ මේ පිරිස ආයෙත් ට්‍රයි කරන්නෙ අපිව අන්දන්න කියල.. යහපාලනේ මර පාලනේ වෙනකොට මේ කඩේ ගිය පිරිසට තමයි ඉස්සරලම ඇගිල්ල දික් වෙන්නෙ ඔවුන්ගෙ රෙදි ගැලවීගෙන එනකොට ඒ පිරිස ට්‍රයි කරන්නෙ අපිට කියල ආයෙත් අන්දගන්න.

    මේ විරෝධතා නිකන් සොබනේට කරන ඒව විතරයි නැතිනම් ආණ්ඩුවේම න්‍යාය පත්‍රයේ කොටසක්... මේ පිරිස කරන්නෙ විරොධතා එනකොට අපිත් ඒවට විරුද්ධයි කියල නිකන් වක්‍රව ආණ්ඩුව ආයෙත් ගොඩ දාන්න හදන එක.. මේ පිරිස කරන විවේචන නිකන් සිල්ලර චරිත අල්ලන මහ එවුන්ගෙ පැටිකරිය බේරන නිකන් ප්‍රදර්ශණශීලී සන්දර්ශන විතරයි.. මම කිව්වට බල්න්නකො මහ බැංකුවේ අධිපතිට මේ පිරිස කරන විවේචනේ නවතින්නෙ අන්තිමට මේ පිරිසගෙ ආශිර්වාදයෙන්ම ආයෙත් ඒ පුද්ගලයම පත් කරලයි...

    මේ කඩේ ගිය නඩේ කරන්නෙ අපට මහල දෙනව තොපි ඇදගනිල්ල කියල ඉතින් අපි උන් කියන විදිහට ඇදගන්න ඕනෑ....

    ReplyDelete
  10. False flag operation

    //මේ විරෝධතා නිකන් සොබනේට කරන ඒව විතරයි නැතිනම් ආණ්ඩුවේම න්‍යාය පත්‍රයේ කොටසක්..//

    A false flag operation is an operation conducted by one party or government and made to appear as though it were sponsored by another party or government. The term (although not the tactic) has its origins in the traditions of "honourable" naval warfare, where ships were required to sail under their own national flag in order that they could be identified. As people learned that being a sneaky bastard was much more fun much more effective than playing by the rules, ships began sailing under "false" colours, i.e. flying their enemy's flag in order to get close to their enemy, before swapping to their true colours and opening fire

    ReplyDelete
  11. ඉයන්වාදී සටහනක් ඕනෑ කර තිබේ.

    සත්‍යය සත්‍යය යනුවෙන් කෙනෙකු මොර ගාමින් සිටියදී සත්‍යයද සාපේක්ෂ යයි කිසිවෙකු කීය. එනමුදු සත්‍යය සාපේක්ෂ නැත . අසත්‍යය සත්‍යය හා සංගත බන්ධන වලින් බැඳීමට තැත් දරන කල මොර ගෑමෙන්ද ඵලක් නැත .

    ReplyDelete