Monday, March 20, 2023

අවුරුදු 75 විනාසය කල අයම රට ගලවාගන්න ඒම


සමාජවාදී වෙනුසුවෙලාවේ අද තත්ත්වය

හැත්තෑ පස් වසරක් සිටි දේශපාලකයින් අසමත් වූ නිසා ජවිපෙට බලය දෙමු යන්න අද ඇසෙන තර්කයක්. පහුගිය හැත්තෑ පස් වසරේ මොකද වුණේ කියන එක නොසිතා 2019 වුනා වගේ රැල්ලට ආවඩන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. පහුගිය හැත්තෑ පස් වසරේ වුන ප්‍රධාන ආර්ථික සහ සමාජීය හානි සහ එය වුන ආකාරය ගැනයි මේ සටහන. 

1948 නිදහස ලැබීමෙන් පස්සේ ලංකාව කියන්නේ බොහෝ ආසියානු රටවලට වඩා දියුණු රටක්. ඒක වෙනස්වෙන්න බලපාපු දේවල් බොහොමයක ආරම්භය 1951 සහ 1956 කියන්න පුළුවන්.

1. 1951 බණ්ඩාරණායක ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනකම් අපේ රටේ භාෂාව සහ ජාතිය පදනම් වූ දේශපාලන පක්ෂ තිබුණෙ නැහැ. එවකට තිබුණේ දේශපාලන ක්‍රම මත පදනම් වූ දේශපාලන පක්ෂ. එක්සත් ජාතික පක්ෂය ධනවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කල අතර සමසමාජ පක්ෂය වාමාංශික ආර්ථික ක්‍රමයක් විස්වාශ කලා. මෙවන් බෙදීමක් තමයි ලෝකයේ අනික් රටවලත් තිබුණෙ. නායකත්වය ප්‍රශ්ණයක් මත එජාපයෙන් වෙන්වුන බණ්ඩාරණායක වාමාංශික වුනා පමණක් නෙවෙයි ඒමඟින් පමණක් බලය ගන්න බැරි නිසා මහ ජාතිය වූ සිංහලයන් ගේ ජාතිකත්වය අවුස්සන දේවල් කලා. පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුව ආදිය නිසා රටේ සිටි අනිකුත් ජාතිකයන් වූ දෙමල සහ බර්ගර් ජාතිකයින් කොන් වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුනා. ඒවගේ සිංහලය විකුණල බලයට ආවම ජාතිවාදී දේවල් මෙන්ම ආර්ථිකයට විනාශ කාරී දේවල් එනම් වරාය, ප්‍රවාහණය ආදී දේවල් ජනසතු කිරීමටත් පටන් ගත්තා.

2. දෙවන හානිය වුනෙත් මේකාලෙම තමයි. 1947 නිදහස ලබපු ඉන්දියාව වාමාංශික ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කලත් ලංකාවේ තිබුණේ ධනවාදී ක්‍රමය. 1956 බලය ගත්ත බණ්ඩාරනායක ඉන්දියාවේ ඉල්ලීමට එංගලන්තය සමඟ තිබූ ආරක්ෂණ එකඟතාවය අහෝසිකලා. එම එකඟතාවය අනුව ලංකාවට ආක්‍රමණයක් ආවොත් එංගලන්තය ලංකාව ආරක්ෂාවට හමුදා යෙදවිය හැකි ක්‍රමය අයින් කලා. එමඟින් ඉන්දියාට කලාපේ බලය බන්දේසියක තබල බාර දෙන්න බණ්ඩාරණායක ක්‍රියා කලා. ඒවගේම කටුණායක තිබුණු ඇමෙරිකානු ගුවන් හමුදා ඛන්ඩයත් පිටමන් කලා. මෙය නොවන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවය නිර්මාණය කල දෙමල ත්‍රස්තවාදය රටට මෙතරම් හානියක් වෙන නොවන තත්ත්වයකට පාලනය කරන්න හැකිවෙනවා.  

3. තුන්වන හානිය කලේ 1960 පත්වුණ සිරිමා බණ්ඩාරණායක රජය. ඔවුනුත් ඉන්දියාව සහ වාමාංශික කඳවුර සතුටු කිරීමට ලංකාවේ තිබුණ තෙල් සමාගම් ජනසතු කලා. ඒවා ජනසතු කරල තමයි අද රටට විශාල හානියක් කල ඛනිජ තෙල් සංසථාව ඇතිකලේ. ඒ විතරක් නෙවෙයි තවත් ආර්ථික අංශ කීපයක්ම එලෙස ජනසතුවට ලක්වුණා. රක්ෂණ සමාගම් පවරාගෙන රක්ශණ සංස්ථාව ඇතිකිරීම වගේ දේවල්. ඒවායින් වුනේ දේශපාලන හිතවතුන්ට රැකියා දෙන්න එම ව්‍යාපාර නාස්තිකරල දැම්මා. 

4. රටට වුන දෙවන අවාසියට වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂය. එහෙම නැත්නම් 1965-70 කාලයේ තිබුණ නායකත්ව කඹ ඇදීම. 1965 සිංගප්පූරුව විවෘත ආර්ථිකය හරහා විශාල වශයෙන් විදේශ අයෝජන ලබාගන්න කොට ඒක දැකපු ලංකාවේ මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන ඒකම ලංකාවේ ඇතිකරන්න උත්සාහ කලා. එම යෝජනාව පාර්ලිමේන්තුවට නොව එජාප ක්‍රියාකාරී කමිටුවට ගෙන්නගෙන ඒක පරාජය කරන්න එහි බහුතරය හිමිව තිබූ ඩඩ්ලි හිතවාදීන් ක්‍රියා කලා. එහෙම නොවන්න සිංගප්පූරුවට පසු අනිකුත් ආසියානු ටයිගර් ආර්ථික 3  වුන හොංකොං, දකුණු කොරියාව, සහ තායිවානය වගේ රටවලට  කලින් දෙවෙනියට ආයෝජන අරගෙන විශාල වශයෙන් දියුණු වෙන්න තිබ්බ අවස්ථාව රටට අහිමි වුනා.       


5. 1970 දී වුනේ තවත් අකරතැබ්බයක්. ඒ අවුරුද්දේ තිබ්බ මහ මැතිවරණයෙන් චන්ද 1,892,525 ගත්ත එක්සත් ජාතික පක්ෂයට ආසන සුළු ගණනකුත් ඊට අඩුවෙන් චන්ද 1,839,979 ක් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ආසන ගණනක් දිනුවා. ඒ ආණ්ඩුව ජනසතු නොකල කර්මාන්තයක් නොමැති තරම්. රටේ විශාලතම විදේශ විනිමය ඉපයූ වතු ජනසතු කලා. ඒවගේම හොඳින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඉඩම් විශාල ලෙස පවරාගනිමින් ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කලා. එවා පාලනය කරන්න දේශපාලන අතවැසියන් ගෙන් සමන්විත ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජනවසම/JEDB )   සහ රාජ්‍ය වතු සංස්ථාව (SLSPC) ඇතිකරල වතු ආර්ථිකය කාබාසිනියා කිරීම ආරම්භ කලා. කොටින්ම කොහු ලණු කර්මාන්තයත් ජනසතු කරල හණ සංස්ථාවක් ඇති කලා. මේ ප්‍රතිපත්ති නිසා විශාල විදේශ ආයෝජන සිංගප්පූරුව ප්‍රමුඛ ටයිගර් ආර්ථික වලට යනකොට ලංකාවට කිසිම කෙනෙක් ආවේ නැහැ.      


6. හයවන හානිය තමයි 1971 කැරැල්ල. විශාල තරුණ පිරිසකගේ ජීවිත හානියට වඩා දෙයක් මේ කැරැල්ල නිසා වුනා. ඒතමයි දෙමල ත්‍රස්තවාදයට මූලික බීජය සැපයීම. ජනතා විමුක්ති පෙරමුණ යාපනය බන්ධනාගාරය කැඩීම ආදිය තමයි දෙමල අන්තවාදීන්ට ත්‍රස්තවාදී මාවතකට යන්න මූලික අදහස ලැබුණේ.

   
7. 1972 දී තමයි මේ රටට විශාලතම හානි වලින් එකක් ඇතිවුනේ. ඒ ලංකාව ජනරජයක් කිරීම. මේකත් ඉන්දියාව සහ වාමාංශික කඳවුරේ ඉල්ලීමක්. 1970 සිරිමා බලය ගත්තේ ජනරජයක් කරනව කියල නෙවෙයි. ඩඩ්ලි ආණ්ඩුව නොමිලේ දුන්න හාල් සේරු දෙකෙන් එකක් කපා හැරීමට විරුද්ධව හඳෙන් හාල් ගෙනත් දෙනව කියලයි. ජනරජයක් වෙන්න ඉස්සෙල්ල සුළු ජාතීන්ට තිබ්බ එක ආරක්ෂාවක් තමයි රටේ නඩු තීන්දුවකට විරුද්ධව එංගලන්තයේ ප්‍රීවි කවුන්සිලයට අභියාචනා කිරීමට තිබ්බ හැකියාව. ඒක ඕනම ජාතියක අයෙකුට රටේ උසාවි වලින් අසාධාරණයක් වෙනවනම් ස්වාධීන එංගලන්ත උසාවියට යන්න පුලුවන් වීම. එහෙම හැකියාවක් තිබ්බ නම් ජේආර් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන වගේම රට කාබාසිනියා කල 18 සහ 20 සංශෝධන වගේ දේවල් ගේන්න අවස්ථාවාදී බල ලෝභී දේශපාලකයන්ට හැකි වෙන්නේ නැහැ. ඒ වගේම සරත් ෆොන්සේකා සිරගත කලා වගේ විරුද්ධවාදීන් සිරගත කිරීම් වලටත් ඉඩ තිබුණේ නැහැ. 

මේ 1972 ජනරජ ව්‍යවස්ථාව බෙදුම්වාදයේ මුල කිව්වට සමහර විට ඔබ එකඟ වෙන එකක් නැහැ. 1970 වෙනකන් උතුරු නැහෙනහිරත් බොහෝ විට හිටියේ එජාප හෝ ශ්‍රිලනිප මන්ත්‍රීන්. 1947 සිට තිබූ සමස්ථ ලංකා දමිල කොන්ග්‍රසය සහ එයින් කැඩී ඇතිවූ ෆෙඩරල් පක්ෂය තිබ්බත් ඔවුන්ට තිබුණේ ඉතාම සුළු නියෝජනයක්. 1972 ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල නිසා තමයි 1972 මැයි 4 දින ටී.යූ.එල්.එෆ් එහෙම නැත්නම් අමිර්තලිංගම් ප්‍රමුඛ අනික් සුළු දෙමල පක්ෂ එකතුවී බෙදුමවාදී පක්ෂය ඇතිකලේ. 1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාව සම්මත වෙන්න දවස් 18 කට පෙර මේ සිද්ධිය වීම අහම්බයක් නෙවෙයි.      

8. 1977 දී විවෘත ආර්ථික ක්‍රමය හරහා සාමාන්‍ය දියුණුවක් ආවත් 1965 දී විවෘත කලානම් තායිවානය,දකුණු කොරියාව, තායිලන්තය වගේ රටවලට ගිය ඉලෙට්‍රොනික භාණ්ඩ නිශ්පාදන අයෝජන ආවෙ නැහැ. ආවෙ වැඩිපුරම බටහිර වෙලඳපොලවල්වලට ඇඟළුම් නිශ්පාදන ආයෝජන. ඒ වුණත් ඒවයින් විශාල රැකියා ප්‍රමාණයක් සමඟ විදේශ විනිමයත් ලැබුණා. අදටත් රටට කන්න දෙන කඩිනම් මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් වුනේ ඒ කාලෙ. 

විවෘත ආර්ථික ක්‍රමය නිසා සහ රජයේ බටහිර ගැති කම නිසා 1991 වෙනකම් සවෘත ආර්ථිකයක් තිබ්බ ඉන්දියාව ඉතා කුඩා ලෙස සංවිධානය වෙමින් තිබ්බ EPRLF, EROS, PLOTE, LTTE, & EPDP වගේ සංවිධාන වලට ආයුධ සහ පුහුණුව සපයල උතුරේ යුද්ධය ඇතිකලේ ලංකාව අකර්මන්‍ය කරන්න. එතකොට පහුගිය අවුරුදු හැත්තැපහේ දියුණුවට ලොකුම බාධකය වුණේ මේ යුද්ධය 

9. එහෙම හොඳින් යනකොට ජවිපෙ ත්‍රස්ථවාදයක් පටන් ගත්තා. රජයේ රැකියාවක් කල පමණින් හෝ රූපවාහිණි නාලිකාවක ප්‍රවෘත්ති කියූ පලියට ඝාතනය කරන තමට සහ බොහෝ රාජ්‍ය දේපල ගිණි තියමින් මාහා විනාශයක් කරා රට ගෙනිච්චේ පහුගිය අවුරුදු 75 ගැන කියන ජවිපෙ. ඒකාලේ දවසක් ඇර දවසක් රට වැසීම නිසා මේ රට දාල ගිය විදෙස් ආයෝජකයන් අති විශාලයි.  මේ ගැන කලින් ලියපු පෝස්ට් එකක් මෙතන තියෙනවා.

රටේ ණය ප්‍රමාණය ඉහල යාමට විශාලම හේතුවක් තමයි විදේශ අධ්‍යාපනයට රටේ ඩොලර් වියදම් වීම. මේකට වග කියන්න ඕන තනිකරම ජවිපෙ. වසරකට 350,000 ක පමණ ප්‍රමාණයක් සාමාන්‍ය පෙල විභාගය කරනවා. එයින් 200,000 ක් පමණ උසස් පෙල විභාගය කරනවා. රටේ තියෙන විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගත හැක්කේ 25000 ක් පමණයි. 1980 ගණන් වල ඒ ගණන 5000 ක් විතර. සමාජවාදය ඉස්මුදුණේ තියාගෙන හිටපු රුසියාව සහ චීනයත් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලත් මේ විනාස කාරයන්ට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ලොකු ප්‍රශ්ණයක් වුනා. 1989 උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සිට සයිටම් පවරා ගැනීම දක්වා ගිහින් ලෝකේ පෞද්ගලික විශ්ව විද්‍යාල නැති රටවල් අතලොස්සෙන් එකක් බවට රට පත්කලා. ඒකෙන් වුණේ වසරකට ඩොලර් බිලියන් 2 ක පමණ මුදල් ප්‍රමාණයක් පිටරට යාම. පහුගිය අවුරුදු 30 ක මෙහෙම පිටරට ගිය මුදල් ප්‍රමාණයක් ඩොලර් බිලියන 60 ක් පමණ. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55 යි. 

රටේ දේශීය වෙලඳපොල කුඩා නිසා ලොකු රටවල් වල වගේ විශාල අපනයන කර්මාන්ත හදා ගන්න ලංකාවට බැරිවුණත් රටේ ළමයින්ට උසස් අධ්‍යාපනය දෙන එක අපිට කරගන්න තිබුණා. ඒවගේම බංගලා දේශය වගේ රටවලට බොහොම කලින් තමයි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් 1979 දී ආරම්භ කලේ. අද ඒ රටවල් ඩොලර් බිලියන ගාණක් උසස් අධ්‍යාපනය විකුණලා හොයනවා. මේ රටේ කාලගුණය, මුහුදු වෙරල සහ ස්වාභාවික සෞන්දර්‍යය විකුණලා සංචාරකයින් ගෙන්වා ගන්නවා වගේ සිය ගුණයක් ආදායමක් විදෙස් සිසුන් උසස් අධ්‍යාපනයට ගෙන්වා ගත්තානම් හොයන්න තිබුණා.  අඩුම ගාණෙ වසරකට ඩොලර් බිලියන දෙක තුනක විදේශ විනිමය හොයාගන්නව වෙනුවට වසරකට ඩොලර් බිලියන දෙකක් අධ්‍යාපනයට විදේශ රටවලට යාමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ජවිපෙ.

10. 1989 JVP කැරැල්ල මර්ධනය කරන්න රජය ගත්ත ක්‍රියා මාර්ග නිසා තමයි 1994 චන්ද්‍රිකා දිණුවේ. එයා කලේ ජේආර් ගෙනාපු වැඩ වර්ජනය තහනම් කල තිබුණ නිදහස් වෙලඳ කලාපයේ වැඩ වර්ජන කරන්න ඉඩ දුන් එක. ඒකෙන් විදේශ ආයෝජන වලට තිබ්බ ආකර්ශණය නැතිවෙලා ගියා. 

11.2001 සටන් විරාමයට පසේ ලංකාවට ආධාර දෙන රටවල් රනිල් ගේ රජයේ රීගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ඩොලර් බිලියන 4.5 ක සහනදායී ආධාරයක් අනුමත කලා. එය ආවානම් රටේ දියුණුව ඇතිවී බල ව්‍යාපෘතිය අඩපණ වෙනා දුටු ජවිපෙ සහ චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරියා. මේ ක්‍රියාවේ ජවිපෙ සහභාගීත්වය ගැන අජිත් පැරකුම් මහතා ලියා තිබුණා.

12. 2005 දී ජවිපෙ මහින්දව බලයට ගෙනාවා. ඒකෙන් එක හොඳක් වුනා. ඒ යුද්ධය අවසන් වීම. ඊලඟට මහින්ද 2009 සිට කල දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ආධාර දෙන රටවලින් සහ ලෝක බැංකුවෙන් සහනදායී පොලියට දෙන දීර්ඝ කාලීන ණය වෙනුවට චීනයෙන් 8% වැනි ගිණි පොලියට කිසිම දායමක් නොලබන වරායවල්, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන, හරක් ලගින අඩි 100 පාරවල් හදමින් 2009 තිබ්බ විදේශ ණය ප්‍රමාණය 2015 වෙනවිට දෙගුණයක් කලා.

එතකොට නිදහසින් පසු අවුරුදු 75 දී මේරට කඩා වැටෙන්න විශාලතම දායකත්වය සපයල තියෙන්නෙ ජවිපෙ, මහින්ද ගේ 2009-2015 පාලනය, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 සහ 1970 කල සමාජවාදය පදනම් වූ ජනසතු කිරීම් කියන එක බොහොම පැහැදිලියි. 

දැන් ජවිපෙම මේක ආපහු හරවන්න සමාජවාදය ගේන්න බලය ඉල්ලනවා. මේරටේ මෝඩ මිනිස්සු ආර්ථික, දේශපාලන සහ ඉතිහාස දැනුම නැති නිසා රට කියුබාවක් හෝ වෙනුසුවෙලාවක් කරන්න ජවිපෙට චන්දෙ දෙන්න ගොඩක් ඉඩ තියෙනවා. 

පූරුවෙ වාසනාවකට මගේ දරුවන්ට දියුණු රටක පුරවැසි බව තියෙනවා. මටත් අවශ්‍ය වෙලාවක ගිහින් එක්තරා රටක පදිංචි වෙන්න හැකියාව තියෙනවා. එහෙම හැකියාවක් නැති අය අර කියුබාවෙන් සහ වෙනුසුවෙලාවෙන් සරණාගතයන් යනවා වගේවත් යන්න වෙන තත්ත්වයක් ඇති කරගන්න ජවිපෙ බලය ගේන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

28 comments:

  1. වික්‍රමසිංහ මහත්තයාගේ බටේ ඉයන් ගේ කටේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ ඒක නිසා තමයි මේක ලිව්වේ. ඔයා හරි ජේ වී පී එක රටට කිසිම හානියක් කරල නැහැ.

      Delete
  2. පැත්තකින් තියා, අදහන අපේ මත
    හිතන්නට ගොඩක් දේවල් ලියා ඇත
    කියෙව්වට මොකුත් වරදක් වෙනුත් නැත
    ලියමු ඉයන්, ඇත්තම මතු වෙනව ඇත!

    ReplyDelete
  3. Do we have to vote for UNP again.... lol..

    ReplyDelete
  4. බොහොම දේවල් සටහන් වෙලා තියනවා. ජේවීපී එක බලයෙ නොහිටියට මේ රට මෙතැනට ගේන්න සෑහෙන්න බරක් ඇදලා තියනවා. 1978 ව්‍යවස්තාවෙන් ඇඑතිවුන විනාශය ගැන හිතාමතාම යටපත් කරලද? ඡන්දෙ දිනන්න කරන්න ඕනා අති විශාලා වියදම පියව ගන්න 78න් පස්සෙ දේශපාලකයන් මහාපරිමානයෙන් කොමිස් මත යැපීම වර්තමාන දූෂණයෙ තිබිරි ගෙය. 225 ක අති විශාල පාර්ලිමේන්තුව, හැත්ත බුරුත්ත නඩත්තුවට යන වියදම, පලාත් සභා සුදු අලි, යුද්ධය වවාගෙන කෑම UNP එකෙ දායකත්වයෙන් බිඳක්...අරූ හොඳයි, මූ නරකයි කියන්න බෑ.. හැමෝම අඩු වැඩි වශයෙන් මේ රට විනාශ කරන්න දායක වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජනරජ ව්‍යවස්ථාවෙයි, 1978 ව්‍යවස්ථාවෙනුයි සාමන්‍ය ජනජීවිතයට දේශපාලන කාවැද්දුනා. ඒකෙන් විශාල හානියක් වුනා. කොමිස් වලට හැමතැනම වැඩ වෙනවා. උදාහරණයකට කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් කොමිස් ගන්න ඇති. ඒවුනාට ඒවා රටට වාසියක් වුන ව්‍යාපෘති. අදටත් හාල් නිෂ්පාදනය වෙන්නේ ඒකෙන්. ඒත් කොමිස් සඳහා පමණක්ම කල මහින්ද ගේ ව්‍යාපෘති වලින් තමයි විශාලම් හානිය වුනේ. ඒවයින් ආදයමක් නොලැබුණත් ණය ගෙවන්න වෙන නිසා.

      Delete
  5. ජේවීපී එකවත් නොතිබුනා නම්,මුන් රටේ ගස් ටිකත් කපල,මිනිස්සුත් මරල,කාන්තාරයක් කරල දානව.

    ReplyDelete
  6. ඒ වගේම කියන්න ඕනෙ අද මේ රටට කෙළින ඩයස්පෝරාවෙ කොමියුනිස්ට් බඩු ගැනත්. මැල්කම් ස්විට්සර්ලන්තෙ ඉඳන්, අර රැසියන් ඩිග්‍රි තියෙන බ්‍රේන් වොෂ් වෙච්ට එන්ගලන්තෙ ඉන්ජිනේරව කොළඹ ගවයයි කැනඩාවෙ ඩොකයි ඇතුළු කොමියුනිසම් ප්‍රමෝට් කරන හක්කෙ කොමියුනිසම් බොක්කෙ කැපිටලිසම් අපතයො ටික.

    ReplyDelete
  7. අමතක වෙලා නැත්නම් බලෙන් අමතක කරපු කාරනා කිහිපයක් තියනව.
    ජේ ආර් බ්‍රිගේඩියර් වීරතුංග යාපනේට යවල කොල්ලෝ වෙරළේ මරා දාපු එක. , 1983 දෙමල සංහාරය කරන්න ඉඩ දීපු එක. රජයේ වැරැද්ද බොරු චෝදනා යටතේ ජවිපෙට පටවල් පක්ෂයා තහනම් කරලා කොල්ලන් ව නීති විරෝධී දෙහ්ස්පලනයට යොමු කරපු එක. කෙලවෙනකොට ප්‍රේමදාස මහත්තයට රට භාර දීල අත හෝද ගත්ත එක.
    //දැන් ජවිපෙම මේක ආපහු හරවන්න සමාජවාදය ගේන්න බලය ඉල්ලනවා.// ජවිපෙ කියනවනේ (අඩුම ගානේ නායකයෝ ) සමාජවාදයක් ගේන්නේ නැහැ කියල. ඒක මිස් වුනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අනිත් ලියපු අංක වලට අඩු වැඩි වශයෙන් එකඟයි

      Delete
    2. ඔව්. ඒකට හේතුව ඉන්දියාව ඇතිකල බෙදුම්වාදී ත්‍රස්තවාදය. ත්‍රස්තවාදයක් තියෙනකොට රජයයන් ඒවා මර්ධනය කරන්න විවිධ දේවල් කරනවා. ඒවයින් සමහර අය අනවශ්‍ය මිනී මැරුම් කරනවා. උදාහරණයකට සූරියකන්ද. ඒවා විකුණලා තමයි අනික් අය බලයට ආවේ. ප්‍රේමදාස / රන්ජන් විජෙරත්න ජේවීපී එක මර්ධනය කල එකත් මහින්ද/ගෝටා/ෆොන්සේකා එල්ටීටිය මර්ධනය කරපු එකත් මම වරදක් දකින්නේ නැහැ. ඕන දේක collateral damages තියෙනවා. ඒ දේවල් රට අද තියෙන ත්ත්වයට හේතුවක් වුනාද කියන එකයි වැදගත්.

      Delete
  8. පාන ලියපු එකක් මතක් වුනා -ඉන්දියාව සමග නැගිටිමු https://kolambagamaya.blogspot.com/2018/02/blog-post_12.html

    ReplyDelete
  9. දේශපාලන නායකයින්ට වැඳගෙන ඉන්න එක සහ/ හෝ යල්පැන ගිය සමාජවාදී ස්ලෝගන්වලට ආදරය
    ශ්‍රීලාංකික බහුතර අනන්‍යතාවයට අයත් එකක්ද මංද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැමදේම නිකම් ගන්න ඕන මානසිකත්වය සහ ඒකට ගැලපෙන හැම දේම ජනසතු කරල රජයේ රස්සා දෙන වාමාංශික දේශපාලනය තමයි හේතුව.

      Delete
  10. කරුණු අංක 7 ටිකක්‍යි මතබේදාත්මකයි.. අනික්වාට නම් දෙකක් නෑ එකඟයි

    ReplyDelete
    Replies
    1. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පරිපාලන සේවයේ බලය අඩුවීම සිදුවිය. රාජ්‍ය 'පාලනයෙන්' ඔවුන්ගේ අත්පත් කරගත් බලය හීන වන බව ඔවුන්ට වැටහුණේ එම ව්‍යවස්ථාවේ දල පිටපත් දුටු විටයි. ආක්‍රමනශීලී බෙදුම්වාදය නැවතත් කරලියට එන්නේ මෙවිටයි. එනම් වෙනම රාජ්‍යක් ඉල්ලීමේ පළමු පියවරයි. ජනරජ ව්‍යවස්ථාව ලංකා පාර්ලිමේන්තුවේ සම්මත්වූයේ 1972 මැයි මස 22 දාය. එම ව්‍යවස්ථාව විවාද කරන කාලේම එනම් 1972 මැයි මස 4 දා දෙමළ එක්සත් පෙරමුණ (Tamil United Front) නමින් පක්ශයක් පිහිටුවා ගන්න ලදී. 1976 දී ෆෙඩරල් පක්ෂයද මෙම පෙරමුණට එකතුවීමෙන් පසු එක දෙමල එක්සත් විමුක්ති පෙරමුණ (Tamil United Liberation Front) ලෙස නම් වෙනස් කරන ලදී. එහි ප්‍රධානම අරමුණ වූයේ ලංකාව දෙකඩ කොට වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි.ලංකාව බෙදීම පිලිබඳ වඩුක්කොඩේ ප්‍රකාශය එළිදැවූවේ මීට සමගාමීව 1976 මැයි මස 14 දාය.

      බෙදුම්වාදීන්ගේ අරමුණ දමිල ජනයාගේ යහ පැවැත්ම නොව රටක බලය අල්ල ගැනීම යන බවට හොඳ සාක්ශියක් වන්නේ 1970-1977 කාළය උතුරේ ජනයාට ආර්ථික අතින් ඉතා වාසිදායක කාලයකදී මෙම දේවල් සිදුවීමයි. එම කාළයේ රටේ තිබුණු සවෘත ආර්ථික ක්‍රමයේ ඉහලම ප්‍රතිලාභ උතුරුකරයේ ජනයා භුක්ති වින්ඳහ. එවකට ළූණු, අල, මිරිස්. එලවළු ආදිය ආනයනය කිරීම තහනම් කාළයක් වූ බැවින් වැඩිපුරම කෘෂිකර්මාන්තයේ යෙදුනු ඔවුන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් උදාවී තිබිණි. එම කාලයේ මුදල් ගැවසීම සහ ඉතිරිකිරීම අතින් සහ භාණ්ඩ වෙලඳාම අතින් යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ කොලඹට කරට කර තත්ත්වයක සිටි බව එවකට සිටි බැංකු කරුවන් ආදීන් සාක්ශි දරණු ඇත.



      ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා
      උතුරුකරයේ පහල ස්ථර වල ජනයාට අසාධාරණයක් සිදුවූයේ එහි තිබූ දැඩි කුලවාදය නිසාය. පහත් කුලවල අයට සමහර හින්දු දේවස්ථාන වලට පය තැබීම තහනම් විය. උසස් සහ පහත් කුල සමාජයේ සියළුම අංශ බිලිගෙන තිබිණි. පෙර ලිපියේ සඳහන් කල පරිදි රාමසාමි මහතා ඉන්දියාවෙන් වෙන්වී වෙනම දෙමල රාජ්‍යයක් සාදා ගැනීමට උත්සාහ කිරීමට එක හේතුවක් වූයේද කුලවාදයයි. ඊට පසු කාළයක සන්නද්ධ සංවිධාන වල සාමාජිකයින් වූයේද සමාජයේ පහල ස්ථර වල තරුණයින්ය. සියළුම ජන කොට්ඨාශ වල දුප්පතුන්ට තිබෙණ ප්‍රශ්ණ දමිල දුප්පතුන්ටද පොදු දෙයක් වුන මුත් ඔවුන්ගේ ප්‍රශ්ණ වලට හේතුව ජාතිය මත මදනම් වූ වෙනස් කම් කිරීමක් නිසා ඇති වූ ඒවා නොවීය. බෙදීම සඳහා සන්නද්ධවීම ඇරඹෙන්නේද මේ කාලයේදීමය. කොලඹ පදනම් වූ දේශපාලන පක්ෂවල උතුරේ ප්‍රධානීන් විවිධ ක්‍රම මඟින් මර්ධනය කිරීම ආරම්භවී තිබිණි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් එවකට ඔහුගේ ගෝලයෙකු වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ලවා එවකට යාපනය නගරාධිපති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරවූයේ 1975 ජූලි 27 දිනය. මෙය ශ්‍රී ලංකා බෙදුම්වාදයේ පලමුවෙණි මිනිස් බිල්ල ලෙස සැලකේ.

      Delete
  11. // 1970 සිරිමා බලය ගත්තේ ජනරජයක් කරනව කියල නෙවෙයි. ඩඩ්ලි ආණ්ඩුව නොමිලේ දුන්න හාල් සේරු දෙකෙන් එකක් කපා හැරීමට විරුද්ධව හඳෙන් හාල් ගෙනත් දෙනව කියලයි...//

    අහා, ණයට කෑමේ ආරම්භය. අහල තියන විදිහට, 70 වෙදී අපට නඩත්තු කරගන්න හැකියාවක්වත්, දැණුමක්වත් , ඕනකමක්වත් නැති දෑවැන්ත සීනී, තුනී ලෑලි, ටයර් කර්මාන්තශාලා ගෙනා බවත්. මෙහෙන් පැන්නූ "අධිරාජ්‍යවාදී" කොම්පැණි පිහිටෙන් සිංගප්පූරුව ගොඩගිය බවත් අසා ඇත.

    ReplyDelete
    Replies
    1. අපිට විදේශ විනිමය හොයන්න හැකි අධ්‍යාපනය වගේ දේවල් නොකර, හැමදේම රටේම නිෂ්පාදනය කරන වාමාංශික චින්තනය තමයි ඔය තුනීලැලි වගේ අයෝජන ගෙනාවේ. බොහෝ ඒවා වාමාංශික රටවලින් ලැබුණු ප්‍රධාන. ඒවා රජයේ ව්‍යාපෘති නොකර පෞද්ගලික අංශයට අයෝජන කරන්න අවස්ථාව දුන්නනම් කාර්යක්ෂමව නිෂ්පාදනයක් වෙනවා. ඒවෙනුවට ඒවා දුවන්න රජයෙන් මුදල් දෙන ඒවා තමයි ආවේ.

      Delete
    2. හඳෙන් හාල් දෙන්න ආවට කලේ නම් හාල් සේරුවක් අරගෙන පාරෙ යන එක තහනම් කල එක. හාල් පොල්ල කියල එකක් ඒකාලේ තිබුණා. මාසෙකට පවුලකට සීනි කිලෝ එකයි.

      Delete
    3. ඉයන් අන්කල් මගේ කොමෙන්ට් එක අයින් කරලා නේ තැචර් ගැන කියපු 😀

      Delete
  12. හොඳට හිතල බලල ලියල තියෙන පෝස්ට් එකක් ඉයන් බොහොම ස්තුතියි ඇතැම් කරුණු කාරණා වලට මමත් එකඟයි මේ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්න, මේ දවස්වල ලංකාවේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක් (free market economy) ඇතිකිරීම එක පැත්තකින් බලවත් සුළු පිරිසක් ඒකාධිපති තීන්දු තීරණ ගැනීමේ හැකියාවන් යොදවමින් සහ ඒ හා සමගාමීව රටපුරාම දක්ෂිණාංශික ධනවාදී සමාජ ක්‍රමයක් පිළිබඳ මතවාදය ආකර්ෂණීය කැම්පේන් එකක් හරහා දැඩිව ව්‍යාප්ත කිරීම යන ක්‍රම දෙකම එකවිට කිරීමෙන් පමණක් කළ හැකි බවයි මම හිතන්නේ, දැනටමත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මේවන විට ලංකාවේ ආණ්ඩුව (සහ ආර්ථික ප්‍රතිපත්ති) මෙහෙයවන පිරිස් ලංකාවේ එම දෙකම එකට ක්‍රියාත්මක කරන නිසා (සහ ඉයන්ලත් එම මතවාදී කැම්පේන් එකේ කටයුතු කරන නිසා) මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. රනිල් නන්දලාල් වැනි එම මෙහෙයුමේ නියෝජිතයන් මේ වනවිට සාර්ථක ලෙස මෙහෙයුම් කරගෙන යන බව පේනවා.

    නමුත් මීට අදාළ දේශපාලනික නායකත්වය ගැන කතා කළොත් ඔබගෙන් පිලිතුරක් අපේක්ෂාවෙන් මන් මේ ප්‍රශ්නය ඔබට යොමුකරන්නෙ.

    අපි කුඩා කාලයේ 1990 දශකයෙ සිටම ලාංකික දේශපාලනය දිහා බැලුවොත් ප්‍රධාන දේශපාලන මොළ දෙකක් ලන්කාවේ ඉන්නව කියල පේනව ඒ ප්‍රෙමදාස පිටිපස්සෙ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා පිටිපස්සෙ මහින්ද රාජපක්‍ෂ, පසුව මහින්ද රාජපක්ෂ ඍජුව දේශපාලනික නායකත්වය අතට ගත් අතර ඊට පස්සේ ඔහුගේ දේශපාලන බලය පරාජයට පත් කරමින් නැවතත් ඔහුගේ ප්‍රතිවාදියා මෛත්‍රී පිටිපස්සෙ රනිල් බලයට පත් වූ අතර නැවතත් එය මාරු කළේ ගොටාභය පිටිපස්සෙ මහින්ද විදියට.. දැන් රනිල් විදේශීය විශේෂඥ සහාය යොදා ගෙන ඔහු මීට කලින් මැළි වූ දෙය වන ඍජුවම දේශපාලන නායකත්වය ලබා දෙනවා.

    නමුත් 2021 වසරෙන් වගේ පස්සෙ සිට මේ දක්වා ගත්තොත් දැන් මහින්ද කායික වශයෙන් අතිශය දුර්වල තැනක ඉන්න නිසා මින් ඉදිරියට ලන්කාවේ දේශපාලනය one man show එකක් වේවිද?

    එහෙම නොවෙනවනම් රනිල්ගෙ තීක්‍ෂණ දේශපාලන බුද්ධියට අභියෝග කරන්න පුලුවන් වෙන කෙනෙක් ඉන්නවද?

    විපක්ෂ දහරාව අතුලෙ ඉන්න සජිත් , අනුර කුමාර වගේ අයට නම් රනිල්ගෙ කිට්ටුවට වත් එන්න තරම් දේශපාලන පරිචිතයක් අති කියල මට දැනෙන්නෙ නැති නිසයි මන් මේ පරශ්නය ඔබගෙන්ම අහන්න හිතුනෙ? මොකද ඔවුන් ගෙන් අනුර දැනටමත් මෙහෙයවන්නේ රනිල් (බැසිල්ලා හරහා) කියලා පේනවා, සජිත්ගේ පිටුපස සිටින අයත් රනිලට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි මෙහෙයවන්න ලේසියෙන්ම පුළුවන්නේ, යම් තරමකින් චම්පික රණවකට හැකියාව ඇතත් ඔහු දේශපාලනික ගේම් වලට එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි, මංගල සමරවීර වගේ කෙනෙක් හිටියා නම් මේ ගේම් එක බාරගන්න තිබුණා, නමුත් දැන් ඔහුත් නෑනේ, ඒ නිසා මේ ගැන සරලව සහ දීර්ඝ වශයෙන් කරුණු සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. ඔබට පුළුවන් වෙයි ද මේ ගැන පැහැදිලි කිරීමක් කරන පෝස්ට් එකක් දාන්න?

    ReplyDelete