Monday, May 6, 2019

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?


නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි

පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම් ;

1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.


ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.

දහම අනුව බලනවා නම් මියගිය හෝ තුවාල වූ අය ඔවුන් විසින් කරන ලද කර්ම පලදීමකින්, ගෙනා අයුෂ ඉවරවීම නිසා, හෝ කර්ම පල අවසන් වීම නිසා තමයි ඔවුන්ට මේ විපත්තියට මුහුණ දීමට සිදුවුණේ. එහෙම බලනකොට ඉස්ලාම් අන්තවාදීන් සහ සිරිසේන ඇතුළු දේශපාලකයින් කර ඇත්තේ මේ අයගේ සිදුවීමට තිබූ මරණ සිදුවීමට පහසුකම් සැපයීමක් පමණයි.

මේ සිද්ධිය නොමැරුණු අපිට පෙන්නා දෙන දෙයක් තමයි කිසිවිටක  බලාපොරොත්තු නොවන අවස්ථාවක අපිටත් යන්න වෙන්න පුළුවන් කියන එක. බුදුදහම අනුව එහෙම යනකොට අවසාන චිත්තය තමයි ඊලඟ භවය ඇතිකිරීමට දායක වන්නේ. පාස්කු ඉරිදා මියගිය සමහර අය දේවස්ථානයක යාඤා කරමින් සිටින විට හෝ මනස බොහෝ තැන්පත් වූ අවස්ථාවක තමයි ඊලඟ භවයට ගියේ. හෝටල් වල ආහාර ගනිමින් සිටි අයත් සතුටින් හෝ අසතුටක් නැතිව ඉන්න අවස්ථාවක තමයි මෙය සිදුවුණේ. ගැරන්ටියක් නැතිවුණත් ඔවුන් බොහෝ විට හොඳ තැනක ඉපදීමට ඉඩ තියෙනවා. 

මේවා දකින අපි මෙවන් සිද්ධි ගැන කම්පා වීම සහ බෝම්බකරුවන් සමඟ හෝ දේශපාලකයින් සමඟ වෛරයක් ඇතිකරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ලෝභයටත් වඩා ද්වේශය තමයි බුදුදහමේ උගන්වන සැර වැඩිම වස. තරහක් හෝ ද්වේශයක් හිතේ තියෙන අවස්ථාවක අපිට ඊලඟ භවයට යන්න සිදුවුණොත් අපායකින් මෙහා නවතින්නේ නැහැ.

මෙවන් සිද්ධීන් ඉදිරියෙදිත් ඇතිවුණොත් ඒ ගැන තරහ ගැනීමේදී ඉහත කරුණ ගැණත් අවධානයෙන් ඉන්න තමයි මගේ ආරාධනය. නොදැනුවත්කම නිසා කල්ප ගණනක් අමාරුවේ නොවැටීමට අදහස් කරනවා නම් ටිකක් වෙලාව යොදවලා මේ ලිපිය කියවන්න. එයින් ප්‍රයෝජනයක් ගත්තොත් පාස්කු බෝම්බවලින් ඔබට හොඳක් වුණා කියල හිතන්න පුළුවන්.   
  


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

24 comments:

  1. අපරාදේ මිස් කර ගත්තේ!

    ReplyDelete
    Replies
    1. බෝම්බෙද? බෝම්බයක් හොයාගෙන යාම කියන්නේ සිය දිවි නසා ගැනීමක්. ඒවුණාට නොදැනුවත්ව බෝම්බෙකට අහුවී මිය යනවා නම් එය මිය යාමට හොඳම ක්‍රමයක් නම් තමයි. උදාහරණෙකට වතුරක ගිලුනොත් විනාඩි හතර පහක් බොහොම දුක් විඳිනවා මරණයට පෙර. ගින්නකට අහුවුණත් ඒක වේදනාකාරී මරණයක්. වයසට ගිහිල්ලා අවුරුදු ගණනක් ලෙඩ ඇඳේ ඉඳල මැරෙන එකත් හිතට සහ ගතට දෙකටම වේදනාකාරී. බෝම්බෙකට අහුවුණොත් මේ හිටිය මේ නැහැ. අතපය හෝ පෙනීම නැතිව ජීවත් නොවී බෝම්බෙකින් යන එක තමයි අඩුම වේදනාකාරී.

      Delete
  2. කාලෝචිත අදහසක් ඉයන්. බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රී කරුණා යන උතුම් ගුණාංග ගැන සිහිපත් කරමින මුදිතාවෙන් සහ උපේක්ෂාවෙන් යුක්තව මෙම සිද්ධි දෙස බලන විට ඔබ සඳහන් කරන ආකාරයට ඒ ගැන අවධානය යොමු කළ හැකියි. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කියමනත් මෙයටම යා කර ගත හැකියි. මියගිය සියල්ලෝම අඩු ආයුෂ ලබා උපන් අය ලෙසත් සැලකිය හැකියි. විශේෂයෙන්ම මේ ගැන සිත් යොමු කළ යුත්තේ වෛරී අදහස් දරන අන්තවාදී පිරිස් බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාවී මහත්මයා. ඔව් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එකත් අදාලයි. අන්තවාදීන් මේ ගැන සිතිය යුතු තමයි. ඒත් ඔවුන්ට ඒ සඳහා ගැලපෙන භවයක් ලැබිල නැහැ. බුදු දහම තියෙන ඇහෙන රටේ මිත්‍යා දෘශ්ඨිකව ඉපදිලා තියෙන අය. බුදු දහම තුල ඉපදුන අයට තමයි අන් අයගේ ක්‍රියා නිසා පාර වරද්ද නොගෙන නියම පාරෙ යන එක අදාල. අර ලින්ක් එක දීල තියෙන ලිපියත් කියවන්න.

      Delete
    2. ඉයන්,

      මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මැරෙන අවස්ථාවේ තියන මුලික සිතුවිල්ල ඊලග මොහොතේ කන්යාවියන් 72 සමග යහන් ගතවීම නිසා මම හිතන්නේ ඔවුන් උනත් ඉයන් ගේ දෙසනාවට අනුව එච්චර නරක තැනක යන එකක් නෑ මොකද මෙතන දෙව්ශය වඩා ඇත්තේ රාගය නිසා.

      Delete
    3. ලංකා සිතුවිලි. ඔවුන්ගේ මුස්ලිම් නොවන අය ගැන වෛරයක් තියෙනවා. එම වෛරය නැති කෙනෙකුට කන්‍යාවියන් 144 ක් ගන්නවත් තව කෙනෙක්ව මරන්න බැහැ. අනික ප්‍රාණගාතයෙන් පසු හොඳ තැනකට යන්න හැකියාවක් ගැන අසා නැහැ.

      Delete
    4. ඉයන්,

      ඔබ දැක්කද අර පල්ලියට ආපු ත්‍රස්තවාදියා කුඩා දැරියගේ හිස අතගානවා, මම නම් මෙතන දකින්නේ අමු මෝහයයි.
      මෙහිදී අප සිතිය යුතුයි අවංකව මෙවැනි අපරාධ වලට අකමැති මුස්ලිම් ජාතිකයෙක් බැරි වෙලාවත් දැන සිටියානම් මෙවැනි දෙයක් සිදු කරන්න යන බව ඔබ හිතනවද ඔහු ආරක්ෂක අංශ දැනුවත් කරයි කියල ?

      ඔබ ඉතා ආගම භක්තිය ඇති මුසල්මානුවගේ මනස දෙස මදක් බලන්න ඔහුගේ කුරානයේ මෙහෙම කියල තියනවා

      https://quran.com/9/5

      And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.

      මේ අනුව ඔහු මෙවැනි සියදිවි නාසාගනිමක් කරන මිනිසෙක් ඔහුගේ ආගමට අනුව වීරයෙක්, මෙවැනි වීරයෙක් පාවා දෙන මිනිසා ඉස්ලාම් දහමට අනුව ද්‍රෝහියෙක්, මෙනිසා යම් විදියකින් ඔබ හිතන අවංක මිනිසෙක් ආරක්ෂක අංශ දැනුවත් කරයි නම් ඔහුගේ ආගමට අනුව මානසිකව පත්වන තත්වය ගැන මදක් සිතන්න.

      Delete
    5. ලංකා සිතිවිලි. මම ඇත්තටම ඒ අය කරන හෝ නොකරන දේ ගැන දන්නේ නැහැ. මම ලියා තියෙන්නේ බුදුදහමේ කියන අනුව සසරින් මිදෙන්න අදහස් කරන කෙනෙක් මේ වගේ සිද්ධීන්ට මුහුණ දියයුතු විදිහ පමණයි.

      Delete
  3. බොහොම හොඳ මාතෘකාවක් ඉයන්. අපි යමු අවුරුදු 20ක් පල්ලෙහට අපි ඔක්කොම බෞද්දයන් විදිහට. නිකමට හිතන්න අවුරුදු විස්සකට කලින් මේ හාමුදුරුවන් දේශනා කල දර්මය. සියල්ලම නැසෙන සුළුලි. ඒ දවස්වල අපිට අන්තර්ජාලය නැහැ. යුද්දෙ විතරයි. අපි සිංහල උනත් මුස්ලිම් උනත් දෙමල උනත් ඒක එච්චරම අවුලක් උනේ නැහැ. ඒ වකවානුවේ හාමුරුදුවන්ට කියල මාලිගා තිබ්බෙ නැහැ. මම හිතන්නෙ අස්ගිරියේ ඉන්න ඇති උත්තමයන්ට උනත් එච්චර (දැන් වගේ) මහලොකු රෙස්පෙක්ට් එකක් තිබ්බෙ නැහැ. ඔක්කොම එක වගේ ධර්මය දේශනා කළා. හැබැයි ඒ දවස්වල අත් හැරීම දේශනා කලේ පොතේ විදිහට.

    දැන් අපි බලමු අවුරුදු 20කට පස්සෙ. දැන් කියන්නෙ උබල ඔක්කොම අත ඇරපන්. ඕව බොරු අරක මේක. දේශපාලකයන්ට කඩේ යන සංගරත්නය. හැබැයි අපිට හැමදෙයම අත අරින්න කියල මේ හැම සංගරත්නයම තම තමාට උවමනා විදිහද මාලිගා හදන් බන කියනව. අපි සිංහල මුස්ලිම් දෙමල කියල ගහ මරාගන්නව.

    ඒ උදවිය (සංඝරත්නය) තම තමන්ගෙ දේශපාලන ව්‍යාපාර ලස්සනට කරගෙන යනව. මෙතන දහමක් නැහැ. වයිර්යය විතරයි.

    දැන් අපි කොහෙද? අපේ ආගම කොහෙද? නිකමට හිතන්න මේ දේවල් පන්සල් වලට උනානං අපේ බෞද්ද ජනතාවගේ හැසිරීම..??

    නමුත් මේ දේ උනේ කිතුණුවන්ට. අති උතුම් කාදිනල් තුමා කොහෙද? එයා මොනවද කරන්නෙ? එතුමා කොහොමද තමන්ගෙ ආගමික ජනතාව පාලනය කරන්නෙ..??

    මම මගේ ආගම අතඇරල ගොඩක් කල් ඉයන්. ආගම මට අදාලම නැහැ. රටත්..?? මට අදාලම නැහැ.

    ඒත් ..?? මගේ දෙමව්පියන්, මිත්‍රයන් මම ඉපදුන හැදුන වැඩුන මම හම්බකරගත්ත දේවල් තියෙන නිසා විතරක් මට අවුලක් තියෙනව කියල දැනෙනව.

    නැත්නං ඔය රෙද්දෙ "ඉන්දියන් සාගරේ මුතු ඇටයෙන්" ලැබෙන ලබ්බක් නැහැ ඉයන් තුමෝ...

    🙈

    ReplyDelete
    Replies
    1. ටික්කා බොහොම ස්තූතියි. අපිට අන් අයව පාලනය කරන්න බැහැ. ඒ අය කරන දේවලින් ඒ අය ඔවුන්ගේ සසර හදා ගනියි. ඔවුන් කරන දේවල් නිසා අපි අපේ පාර වරද්දගන්න එක මෝඩ කමක්. ඒවා ගැන තරහක් ගන්න එපා. එය හොඳ නැත්තේ ඔබටමයි. පුළුවන් නම් ලින්ක් එකේ තියෙන ටිකක් දිග ලිපිය කියවන්න.

      Delete
    2. ඉයන් තුමෝ. හපෝ මම තරහ ගන්නෙ නැහැ. මම අබෞද්ද කියල බෞද්ද ආගමට කිසිම නිගාවක් කරන්නෙත් නැහැ. ඒත් මම ජීවත් වෙන්නෙ බෞද්ද ආගමේ කෝ එක එක්ක. හොරකං, ජඩ වැඩ, සූදුව, දුරාචාරය, මත්ද්‍රව්‍ය, කේලම්, ඔය හැම දෙයක්ම මගේ දැනුමකින් තොරව මම කරන්නෙ නැහැ. අන්තිමට කියන්න තියෙන්නෙ "දර්මයේ හැසිරෙන්නා දර්මයෙන් රැකෙන බවය". ස්තුතියි ඉයන්. ලින්ක් එකේ විස්තරේ හෙට කෝච්චියේ යනගමන් බලන්න සේව් කළා. සුභ දවසක් ඔබට.

      Delete
    3. Thanks Tikka. Hope you read that post.

      Delete
  4. ඉයන් බොහොම පින් ඔබට. දිනපතා වුවත් කියවීමට සුදුසු දිගු ලිපියේ වටිනාකම කියා නිමකළ නොහැකියි මට නම්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. ඔබට පින් සිදුවෙනවා එය කියවීම නිසා සහ බෙදා ගැනීම නිසා. ඔබ පමණක්ම එය කියෙව්වත් මේ බ්ලොග් එකේ 175,000 ක් දෙනා කියවපු එකට වඩා ප්‍රයෝජනයක් වෙනවා.

      Delete
  5. “I imagine one of the reasons people cling to their hates so stubbornly is because they sense, once hate is gone, they will be forced to deal with pain.”
    ― James Baldwin

    ReplyDelete
  6. //ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.//

    +++++++++++

    ReplyDelete
  7. හිත නිවන කතා! තරහෙන්, ද්වේශයෙන්, මෝහයෙන් දැවෙන බව දැනෙන නිසා හැකි උපරිමයෙන් වෙර දරනවා හිත නිවා ගැනීමට. ඒකට මේ පෝස්ටුවත්, ඒකෙ ලින්ක් එකෙන් ගියාම හමුවන ලිපියත් මහඟු අත්වැලක්. බොහොම පින්, ඉයන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිමල්. එතන කමෙන්ට් එකකුත් දාල තියෙනවා දැක්කා. ඒකට මගේ පිළිතුරත් කියවන්න

      Delete
  8. කර්ම විපාක

    ReplyDelete