දුවල හති |
අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද?
පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික කාලයයි. ඒකෙන් පස්සෙ වෙන පාසැලක් ලැබුණොත් එතන ඉන්න ශිෂ්‍යත්වය සමත් වුණ අනික් අය දකින කොට තමන් උසස් කියල හිතපු සතුට ඉවරයි. ආයිමත් සාමාන්‍ය පෙළ විභාගෙ ලං වෙනකොට කලින් වෙච්ච දේ අමතකයි. OL ඒ 10 ක් ගත්තොත් ජීවිතේ එතනින් පස්සෙ ඔක්කොම හරි කියල හිතනවා.
උසස් පෙළ විභාගය, සරසවියට තේරුණාම, කෙල්ලෙක් දාගත්තම, ඩිග්‍රිය ඉවරවුනාම, රැකියාවක් ලැබුනම, විවාහවුණාම, ළමයෙක් ලැබුණම, ගෙයක් හදාගත්තම, වාහනයක් ගත්තම, ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල නුදුරින් තියෙන ඉල්ලක්කයක් දිහා බලාගෙන යන ගමනක් තමයි බොහෝ දෙනෙක් ගේ ජීවිතය. ඔබගේ ජීවිතයේ මේ වගේ කඩයිම් ගැන ඒවා ලබාගන්න පෙර හිතුවේ කොහොමද? අද ඒ පරණ ඉලක්ක ගැන අද හිතනකොටත් ඒවගේම වටිනාකමක් දැනෙනවද?
වාහනයක් තිබෙන හරි යම් තනතුරක් දරන කෙනෙක් වුණත් අළුත් මොඩල් එකේ, වඩා ලොකු වාහනයක් ගත්තම හෝ ඊලඟ ප්‍රමෝශන් එක ලැබුණම තමයි ජීවිතයේ හොයන සියළුම සතුට ලැබෙන්නේ කියල හිතෙනව. තවත් කට්ටියක් කොහොම හරි පිටරටකට සෙට් වුණොත් ඔක්කොම ප්‍රශ්ණ හරියයි කියල හිතනවා. අපිට තිබෙන ආතතිය, අතෘප්තිකර හැඟීම සහ තවත් විවිධ ලෙඩ රෝග වලට හේතුවත් මේ එකකින් පසු එකක් ලෙස ඉලක්ක හඹා යාමයි.
මේ නිසාම තමයි ලෝකයේ ඉහලම තත්ත්ව වල ඉන්න අයත් තව තවත් කවදාවත් සම්පූර්ණ නොවෙන සතුටක් හොයාගෙන තවම දුවන්නේ. මේව තමන්ගෙන් නවතින්නෙත් නැහැ. ළමයව අර ඉස්කෝලෙට දාගත්තොත් ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි කියල හිතල ඊලඟ පරම්පරාව ගැන පටන් ගන්න ඉලක්ක ඊටත් හපන්. ඒකට හේතුව එක්තරා වයසකින් පස්සේ අපිට ඕන ඉලක්ක වලට ළමයින් දුවන්නේ නැතිවුනාම එන ආතතිය. තමන්ට ලබා ගන්න ඕන ඉලක්ක ගැන තමන්ට යම්කිසි පාලනයක් තිබ්බත් අන් අය හරහා ලබා ගන්න බලාපොරොත්තු වෙන ඒවා අපට පාලනය කරන්න කොහොමත්ම බැහැ.
පොඩ්ඩක් මේක ගැන හිතුවොත් තේරෙයි, මේකෙන් වෙන්නේ කවදාවත්ම සතුටු නොවන එක කියලා. ඒ කියන්නේ අද තිබෙන දේවල් සහ ඉන්නා තත්ත්වය, සහ ජීවිතයේ ලඟාකරගත් දේවල් ගැන සතුටු නොවීම, කියල තේරුම ගැනීම වටිනවා. මේ දවස් වල ඔබ හඹා යන ඉලක්කය ලැබුණත් ටික දවසකින්ම ආයිමත් හිටපු තත්ත්වයටම වැටෙනවා කියල තේරෙනවනම්, ලැබෙන දෙයක් ලැබෙන වෙලාවක ලැබෙයි කියල ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවනම් එය සිදුකර, අද තත්ත්වය ගැන තෘප්තිමත් වෙන්න හිත හදාගන්න උත්සාහ කරමුද?
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
ඉලක්ක හඹා යාම හොඳයි. ඒ එක්කම මතක තියාගන්න වෙනවා 'ඉටුවුණු බලාපොරොත්තු' ලෙහෙසියෙන්ම අමතක වී යන බවත්. ආසාවෙන් බලාගෙන ඉඳලා ඉටුවුණු බලාපොරොත්තු 10 ක් ලියන්නයි, ඉටු නොවුණු බලාපොරොත්තු 10 ක් ලියන්නයි උත්සාහ කළොත් කෙනෙකුට මේක වටහාගන්න හරිම පහසුයි!
ReplyDeleteඔව් නිමල්. මිනිහෙකුට ඉලක්ක සහ බලාපොරොත්තු අවශ්‍යයයි. ලැබුණු දේවල් ගැන සතුටු නොවී හැමදාම ඉස්සරහ තියෙන බලාපොරොත්තුව ගැනම සිතීම තමයි අසතුටට මුල. බොහොම ස්තූතියි
Deleteහරි උබ ලිපියේ කියලා තීයේන කරුනු එක්ක එකගයි...ඒත් ජිවිතේ ජිවත් කරවන්නේ බාලාපොරොත්තු කියලා කාතාවක් තියනවා නේද
ReplyDeleteYes Menda. But .....
Deleteහ්ම්ම්.. ලද දෙයින් තෘප්තිමත් වීම. ඕක තමා ඉතින් අමාරුම දේ. උත්සාහ කරමු.
ReplyDeleteමේක ගැන මට හිතුනේ අහපු බණක් නිසා. බුදු හාමුදුරුවෝ මේ ගැන කියල තියෙනවා. recording එකක් හොයා ගන්න පුලුවන් වුණොත් දමන්නම්.
Delete“True happiness is to enjoy the present, without anxious dependence upon the future, not to amuse ourselves with either hopes or fears but to rest satisfied with what we have, which is sufficient, for he that is so wants nothing. The greatest blessings of mankind are within us and within our reach. A wise man is content with his lot, whatever it may be, without wishing for what he has not.”
ReplyDelete― Seneca
“As long as a woman can look ten years younger than her daughter, she is perfectly satisfied”
― Oscar Wilde
“As long as a woman can look ten years younger than her daughter, she is perfectly satisfied”
DeleteGood one. Thanks Pra Jay
මීට ළඟින් යන කවි පෙළක් මම ඉස්සර ලිව්වා. පහත ලින්ක් එකෙන් කියවා බලන්න කැමති නම්.
ReplyDeletehttps://devlindi.blogspot.com/2019/05/69.html
YES
Deleteලා රතු පාට අහසේ ඉර නිවෙන ගමන්
ගෙවිලා තවත් දිනයක් නිම වේය හෙමින්
කළුවර ඇවිත් බොඳ කර ලන තුරුම නුවන්
තනිවම බලා ඉමි ඈතක දෑස යොමන්
ඉඳහිට ඇසෙන පළගැටියන්ගේ රාවේ
සුව දෙන සුමුදු මද නල දසතින් පාවේ
සුදු මුදු රැසින් විසිතුරු ගෙන හැර පෑවේ
කිම අද පමා සඳ ඇයි තවමත් නාවේ
එක්තැන් නොවන සිතුවිලි රැස නැති මෙල්ල
අත් හැර නොයන වෙහෙසෙනි සිත කැළඹිල්ල
හමුවන රිසින් සසරෙහි වෙරළත වැල්ල
නිහඬව ගලා ගෙන යයි ජීවන රැල්ල
දිවි බර සිතෙහි අහලකවත් නැතිව ගෙවූ
ඉතිරුණ සැහැල්ලුව සිනහව දෝර ගැලූ
පාවෙන වළා රොදකට සිත දෙවෙනි නොවූ
සමනල වයස සුන්දර සිහිනෙකි ගෙවූ
යුතුකම් වගකීම් මත්තෙම හිස රැඳිලා
වියදම් පැත්ත නොදනිම අහසට නැගිලා
කලවම් වෙච්ච ලෝකෙක ගුණ දොස එතිලා
මිනිසත් කමේ පැහැපත් බව ඇත මැකිලා
සතුටින් සිටින අය දුටු විට අප දුකිනී
දුකකින් සිටින අය දුටු විට අප තුටිනී
සිතෙනා අයුරු සැසඳී නොදැනිම ඉතිනී
විමසමි සිතෙහි රූපය සිතුවිලි මතිනී
දින දින ශේෂ වී යන ජීවිත ගමනෙන්
අරුතක් සොයා ගනු වෙනුවට ලෝ දහමෙන්
දිව යති සැවොම එළියට යන මෙරු විලසින්
සැප යයි කියා ගත් මිරිඟුව පසු පස්සෙන්
පිපෙනා මලක මල් පෙත්තක සිරියාව
කුමටද විඳිනු බැරි දෙනෙතක හැකියාව
ගහ කොළ පරිසරය හා සංහිඳියාව
නැති තැන සැඟව යනු නිසැකය හැදියාව
දුවනා ලොවට එක් වී දිව යාම මිසක්
නැවතීමක් සොයා යන්නට නොහැකි කමක්
ඇති බව දැනෙයි නොදනිමි කල යුතුද කුමක්
නොපෙනේ පෙනෙන තෙක් මානේ ඊට මගක්
දරමින් දුකද සැප දෛවෙන් ලැබිය යුතූ
කුහුලින් යුතුව නොපැමිණි හෙට ගැනම සිතූ
ගෙවෙනා ජීවිතේ ඇති නැති රසින් යුතූ
සැනසුම කොතනදැයි තනිවම සිතිය යුතූ..?
ඇත්ත...
ReplyDeleteහැබැයි කවුරුවත් ඔය කියන දිවිල්ල සහමුලින්ම නතර කරල නෑ. එකිනෙකාට සාපේක්ෂව පුළුවන්තරම් අඩුවෙන් කරන උදවිය, අනික් අයට වඩා සැනසිල්ලක් ලබනව.
Deleteහිතුවොත් නතර කරන්න පුළුවන් කියල තමයි බුදු බනේ තියෙන්නේ. ස්තූතියි ඩ්‍රැකී
Deleteඉයන්, ඔබ ඉතා හොඳින් විස්තර කර තිබෙන්නේ පරම සත්‍යයක්. බුදු බණෙහි බොහෝ තැන් වල පහදා දී තිබෙන්නේ මේ සියල්ල තෘෂ්ණාව නිසා දිගින් දිගට යන බවයි. මා හිතන්නේ මබ සඳහන් කර තිබෙන ඕනෑම අවස්ථාවකදී අත්හැරීම ආරම්භ කල හැකියි. එසේ කළ විට සිතට සැහැල්ලුවක් දැනෙනවා. ලෞකික ජීවිතය ගත කරන රැකියාවන් කළ අයට අඩුම ගණනේ විශ්‍රාම ගිය පසුවවත් අත හැරීම පුරුදු පුහුණු කළ හැකි නොවේද ?
ReplyDeleteදයාවී මහත්මයා. අත්හැරීමට කලින් පුරුදු කලයුතු දෙයක් ලෙසයි මම දකින්නෙ. අනවශ්‍ය ලෙස ජීවිතයට ඉලක්ක එක් කර ගැනීම සහ ඒවා පසුපස යෑම නිසා තමයි අනවශ්‍ය ආතතිය, තරහ යාම, සහ ඒවගේම ඉලක්කය ලඟ කරගන්න බැරිවුණොත් එන දුක ඇතිවන්නේ.
Deleteදුවනවාද ඇවිදිනවාද කියලා හිතාගන්න බෑ සමහරවිට දන ගානවා වෙන්නත් පුලුවන්. මොකට මෙහෙම දුවන්නේ කියලත් හිතෙනවා. විටෙක හතිත් දැනෙනවා. දිවිල්ල නතර කරන්න කියන උදවියත් අපිට වඩා හයියෙන් දුවනවා. එත් ජිවිතය හමාර නෑ.
ReplyDeleteබුදු හාමුදුරුවෝ අංගුලිමාලට කිව්වෙ මම නැවතිලා ඔබ නවතින්න කියලා. අනික් අය දුවපුදෙන්. අපි නවතින්න උත්සාහ කරමු.
Deleteඕනෑවට වැඩි හය්යෙන් දුවන්න ගියොත් නම් හති වැටෙනවා ඉක්මණටම . ඒත් ඉලක්ක ජීවිතය ජීවත් කරනවා . අමාරුවෙන් හරි ඒක සමබර කරගන්නයි ඕන කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteබොහොම ස්තූතියි අනුරුද්ධ. ඔව් ඉලක්ක ජීවිතය ජීවත් කරනවා යන්න හරි. ගැටළුව එන්නේ එක් ඉලක්කයක් සපුරාගත් පසු ඒ පිළිබඳව නොසෑහී හෝ එය ගැන සතුටුවීම පසෙක දමා ඊලඟ ඉලක්කය පසු පස හඹා යාමයි. ඒවිට ජීවිතේ වැඩි කාලයක් ගෙවී යන්නේ තවම නොලැබුණු යමක් පසු පස යාමෙන්.
Deleteඅපි එක පාරක් නිල්දන්ඩාහින්නේ මළ ගෙදරක ගියා. පහුවදා උදේ කෑම රෙඩි වෙනකන් කන්න්දක් නැග්ගා. මුදුනට තව මිනිත්තුවෙන් යන්න පුළුවන් වගේ පෙනුණා. එතැනට ගියාම නැවතත් එහෙම දුරක් පේනවා. මේ වගේ දහ-දොළොස් වතාවක් ගියාම, තවත් කොටසක් යන්න තියෙනවා. අන්තිමට ගමන අත ඇරියා. සමහරවිට සිරිපා කරුණා කරවීමෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ දෙයම වෙන්න පුළුවන්.
ReplyDeleteසන්තුෂ්ටිය ජීවිත පැවැත්මක් කරගත යුතුයි කියා තමයි බුදුදහමේ කියැවෙන්නේ. අරමුණුවලට සන්තුෂ්ටිය කොටු නොකර සම්මා සතියෙන් - එළැඹ සිටි සිහියෙන් මේ මොහොත තුළ ජීවත් වෙන කෙනා හැම මොහොතකම ඉන්නේ සතුටින්!
ReplyDelete