Sunday, July 30, 2017

හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි



විව්ධ විරෝධතා සහ වර්ජන මධ්‍යයේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම අද අත්සන් කරන ලදී. මෙය හුදෙක් වරායක් බදු දීමක්ද අතිශයින් අවාසි සහගත ව්‍යාපාර ගණුදෙනුවකින් ගැලවී දකුණේ සහ නැගෙනහිර පළාතේ විශාල සංවර්ධනයක් ඇති කිරීමේ මඟක් ද යන්න උපායමාර්ගික ඥාණයක් නැති අයට වටහා ගැනීමට අපහසු වී ඇත.

හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කලයුතුව තිබිණි.

දකුණු මුහුදේ කොතරම් නැව් යාත්‍රා කලත් එම ප්‍රමාණයෙන් 1% වත් හම්බන්තොට වරායට අද්දවා ගැනීමට රටට හැකියාවක් නැත. මා දන්න තරමින් පසුගිය වසර 5 තුල නැව් 200 පමණ මෙහි පැමිණ ඇත. එයිනුත් සමහරක් කොළඹ වරායට එන වාහන නැව් එයට යවා ගැනීමෙන් කල දෙයකි. ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත. 

දකුණු පළාතේ සහ නැගෙනහිර පළාතේ කර්මාන්ත ශාලා ඇතිවීම අඩු වශයෙන් සිදුවන්නේ එම ප්‍රදේශ වල සිට කොළඹ වරාය හරහා අපනයනය කිරීමෙදී වැඩි වන පිරිවැය නිසාය. වරායක් තිබූ පමණින් අපනයනයන් හම්බන්තොටට නොයයි. එයට වෙලඳ නැව් පැමිණීමක් සිදුවෙන තෙක් එම පළාත්වල රැකියා ඇතිවීම කල් යනු ඇත. එය කුකුලාද බිත්තරේද පලමුවෙන් පැමිණෙන්නේ කියා බලා සිටීමකි.

ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් BOT ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත. එසේම එම කාලයේ නැව් ගෙන්වා ගන්නේ වරාය ක්‍රියාත්මක කරන අය (port operator) නිසා අද වන විට නැව් විශාල ප්‍රමාණයක් පැමිණෙන වරායක් වී තිබීමට ඉඩ තිබිණි. එම නිසාම දකුණු නැගෙනහිර ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් අද වන විට ඉදිවී රැකියා විශාල ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා තවත් විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නට ඉඩ තිබිණි. ණය අරගෙන අපි හැදූ නිසා නැව් ගෙන්නවා ගැනීමත් අපටම කිරීමට සිදුවිය. රැකියා ඇතිවීමක් සිදුවූවානම් දේශපාලන ගැත්තන් වරායේ වැඩ නැතිව රැකියා වලට ගැනීමක් පමණි.

අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ  . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් බිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.

මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය.

බදු කාලය

වරාය බදු දුන් කාලය එයට විරුද්ධ වන්නන්ගේ ප්‍රධානම සටන් පාඨයයි. පසුගිය රජය කාලයේ හම්බන්තොට වරාය හෙක්ටයාර් එකකට ඇමෙරිකානු ඩොලර් 35,000 කට චීන සමාගමකට පාලනය දීමට සැලසුමක් තිබිණි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට දීර්ඝ කාලීන බද්දකට දීමට වඩා හොඳයැයි බයි තර්ක ඉදිරිපත් වෙයි. හම්බන්තොට වරායට අයත් භූමිය ආසන්න වශයෙන් හෙක්ටයාර් 500 කි. ඒ අනුව වසරකට ආදායම ඩොලර් මිලියන 17.5 කි. හම්බන්තොට වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ඩොලර් මිලියන 1.2 ලෙසද එහි පොලිය 4% ලෙසද සිතුවොත් වසරක පොලිය ඩොලර් මිලියන 48 කි. එවිට කුලිය ලෙස ලැබෙන ඩොලර් මිල්යන 17.5 ක් ඩොලර් මිලියන 48 පොලියක් ගෙවීමට හැකිද? පොලියට අමතරව ගෙවිය යුතු ණය මුදල ගෙවන්නේ කෙසේද? එම ඉඩ ප්‍රමාණයම බද්දට දී ඩොලර් බිලියන 1.4 ක් ලබා ගැනීම වඩා නරක් වන්නේ කෙසේද? වසරකට ඩොලර් මිලියන 17.5 ලබාගෙන ඩොලර් බිලියන 1.2 ක ණය එසේම තිබියදී පොලිය වශයෙන් ඩොලර් මිලියන 48 ක් ගෙවනවාට වඩා ඩොලර් බිලියන 1.4 ක් ලබාගෙන ණය සහ පොලිය යන්න දෙකම නැති කරගැනීම වඩා හොඳය. එවන් විශාල මුදලක් ගෙවීමට නම් ඒ සඳහා ගැලපෙන කාලයකට බදු දිය යුතුය. උදාහරණයකට වසර 35 කට බදු දුන්නනම් ලැබෙන මුදල ඩොලර් මිලියන 200-300 අතර වන්නට පුළුවන. එවිට ඉතිරි මුදල් සඳහා ණය සහ පොලී ගෙවන්නේ කෙසේද?


බදු දුන් රට

අද ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ විශාලතම ධාරිතාවක් පාවිච්චි කරන්නේ චීනයයි. චීනයේ සිට සහ චීනය වෙත බටහිර, යුරෝපීය, සහ අප්‍රිකානු රටවල සිට කෙරෙන නැව් ගමනාගමනය සිදුවන්නේ ලංකාවේ දකුණු මුදුදේය. එම නිසා එම නැව් යම් ප්‍රමාණයක් සඳහා හම්බන්තොට වරාය යොදාගත හැක්කේ චීනයටයි. එමනිසා චීන සමාගමකට එය බදු දීම නිවැරදිය.

අක්කර 15,000 ආයෝජන කලාපය

මේ සඳහා ඉඩම් දීමට ඇති රජයේ සැලැස්මටත් රටේ දියුණුවට පෙර තමාගේ දියුණුව පතන අය විරුද්ධය. 1977 සිට අයෝජන කලාප කිහිපයක්ම අපි ඇතිකර ඇත. අයෝජන කලාපයක් ඇතිකිරීම යනු විශාල වියදම් අධික දෙයකි. ඒසඳහා බිම් සකස් කිරීම, මහා මාර්ග, ජල බැස යාම, මලපවාහන කටයුතු, විදුලිය සැපයීම ආදිය එම වියදම්ය. එසේ බිලියන ගණනක් වියදම් කල පසුවත් එහි අයෝජනය සඳහා ගෙන්වා ගැනීමට විශාල වෙහෙසක් සහ කාලයක් දැරීමට සිදුවේ. මෙය රජයේ නිලධාරීන්ට සහ ප්‍රාදේශීය දේශපාලකයින්ට නම් හොඳ පල්ලමකි. විදේශ වල අයෝජන ප්‍රවර්ධන සඳහා සවාරි යාමට අමතරව විවිධ අනුමැතීන් සඳහා ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. එවන් දේවල් සමඟ ලොව පුරා බිහිවී ඇති ආයෝජන කලාප සමඟ තරඟ කිරීමට හම්බන්තොට කලාපයට සිදුවේ. අද ලෝකයේ නිෂ්පාදන කර්මාන්තශාලා අතින් ඉදිරියෙන්ම සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. එවන් විශාල නිශ්පාදන කරන රටකට අයෝජන කලාපය ඇති කර එහි ආයෝජන ඇති කිරීමට භාරදීම හැම අතින්ම වාසි සහගත දෙයකි.

වරාය චීන සමාගමකට ඔවුන්ගේ වියදමින් ඉදිකිරීමට භාර නොදී ඉදිකිරීම් කොන්ත්‍රාත් හරහා ගසා කාමට ගොස් අසාර්ථක වරායක් ඇතිකිරීම වැනි දේකට නොගොස් නිදහස් වෙලඳ කලාපය ඇතිකිරීම සහ ඒවාට අයෝජන ගෙන ඒමේ අයිතිය ඔවුන්ටම දීමෙන් රජය කර ඇත්තේ ශීඝ්‍ර ලෙස රැකියා ඇතිකිරීමට හොඳ පියවරයි.

මේවාට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන වැඩ වර්ජන සංවිධානය කරන අයට නැගෙනහිර සහ දකුණේ රැකියා ඇතිකිරීමට හෝ රටට යහපතක් වන පරිදි විශාල වශයෙන් නැව් එන වරායක් ඇතිවීම අවශ්‍ය නොවේ. වරාය සහ අයෝජන කලාපය නිසා ඇතිවන්නේ ඍජු රැකියා මෙන් කිහිප ගුණයක වක්‍ර රැකියා ප්‍රමාණයක් ආහාර, නවාතැන්, ප්‍රවාහන, ද්‍රව්‍ය සැපයීම් ආදිය නිසා ඇතිවීම එම පළාත්වල කෘෂි භෝග ආදියට වැඩි මිලක් ලැබීම වැනි දේවල් ගැන ඔවුන්ට ඕනෑකමක් නැත. එවන් පුද්ගලයන්ගේ 'දේශප්‍රේමී' සටන් පාඨ වලට නම් සැමදා ඉල්ලුමක් තිබිය හැක.

අද අත්සන් කල ගිවිසුමෙන් සිදුවන්නේ හුදෙක් මුදල් ගරා ගැනීමට ණය ලබාගෙන පිහිණුම් තටාකයක් ඉදිකර රට හිරකර තිබූ උගුලකින් එය ගලවාගෙන ඒමඟින් විශාල ලෙස රැකියා ඇතිකර දකුණ සංවර්ධනය සඳහා අවාසියක් වාසියකට හරවා ගැනීමකි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

22 comments:

  1. //අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ වෙයි . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් මිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි.//???

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි බක්කරේ. නිවැරදි කලා. USD බිලියන 1.2

      Delete
  2. රට විකිණීමට උඩ ගෙඩි දෙන ඉයන් ලින්තොට වැන්නන් ළිඳ ළඟක් ලඟදී කබරගොයෙක් කත්වා...

    ReplyDelete
    Replies
    1. කබරගොයොත් දන්නවා කරපු වැඩෙන් රටට වෙන යහපත. ඒක නිසා ශේප්. ස්තූතියි මාතේ.

      Delete
  3. //මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය.
    //

    මෙරජය වගේ අක්ර්යක්ෂම රජයකට දෙන්න පුළුවන් හොදම විසදුම තමයි මේ. එක නිසා මේක හොදයි

    හැබැයි,

    // ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත. //

    ඉයන් ඔබ මෙහෙම බලන්න හිතන්න හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදල තෙල් ගබඩා සහ විදේශීය නැව් වලට තෙල් දෙන්න පහසුකම් සැදුවනම් කොච්චර ලාබයක් ලබන්න පුලුවන්ද කියල ගණනය කලානම් වටිනවා.

    මේ පිරිපහදුවට විශාල වියදමක් යයි මේ මුදල සම්පාදනය කිරීමට.

    01. අර්ජුන ඇලෝසියස් ගේ පර්පටුවල් සමාගමෙන් නඩු දමා අයකර ගන්න පුළුවන්, ඔබ කියයි උවමනා නීති නැහැයි කියල, ඉතින් කරන්න ඕනේ නීති ගෙනල්ල ක්‍රියාත්මක කරන්න (මතකනේ සේපාල එකනායකට දඩුවම් කලේ අතීතයට බලපැවැත්වෙන ලෙස ගෙනාපු නීති වලින් නේ ) ඉතින් එදා මාම කරපු නීති සංසෝදනය බෑනාට කරන්න පුළුවන්.

    02. මහින්ද පාරවල් සැදීමෙන් ඩොලර් බිලියන 5 පමණ මුදලක් ගත්ත කියනවනේ, ඉතින් ලොක්ක කෝ තක්ෂණික විගණනය දැන් වසර 2.5 උනානේ ඉතින් ඒ මංකොල්ල කාපු මුදල් ගෙන්න පුළුවන්.

    03. ඔබට මතකද K P ලග ඩොලර් කොටිගණනින් තිබුන කිව්වා ඉතින් කෝ එම මුදල් එකතු කිරීමට වැඩපිළිවලක්?

    ඉහත ආකාර 3 එකතු වෙන මුදල හම්බන්තොට තෙල් පිරිපහදුව ලේසියෙන් ම හදන්න හැකි වෙයි.

    කොහොම උනත් මේ වරාය චීනෙට දීම වැදගත් මොකද හරිහමන් තීරණක් ගන්න බැරි සෙවල ආණ්ඩුවකට මෙවැනි ක්‍රමයකින් චිනට මේක ගියහම චීන විශාල ආර්ථික ක්‍රියාවලික් පටන් ගනී මේ ක්‍රියාවලියේ විශාලත්වය අනුව ශ්‍රී ලංකාවට සැලකියයුතු මුදලක් ලැබෙයි.

    ඔබ කියනවා වගේ මේක නිකන් තියාගෙන ණය මුදලයි පොලියයි ගෙවනවාට වඩා මේක ඉතා වාසිදායකයි.

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි. ඔබ ඇත්තටම එක පැත්තකින් හරි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තිබ්බ සැලසුම තමයි දියකඩනයක් සහ තෙල් පිරිපහදුවක් පමණක් පළමු අදියරේ ඉදිකිරීම. එහෙම කරලා එන නැව් සංඛ්‍යාව අනුව ඉතිරි ඉදිකිරීම් කරන්න. ඒවුණාට වුණේ ඩොලර් බිලියන එකකට වඩා ගාණක ණයකට රට හිරවීම. මේ ප්‍රශ්ණය දිහා බලන්න ඕන අද තිබෙන තත්ත්වයේ ඉඳලා. රජය හෝ ඕනෑම කෙනෙක් ව්‍යාපාරයක් කරන කොට එම ව්‍යාපාරයෙන් එන මුදල් ප්‍රවාහයෙන් ණය සහ පොලී ගෙවිය හැකිද යන්න බැලිය යුතුයි. ඇමෙරිකානු ඩොලර් බිලියන් 1.2 ක් කියන්නේ රුපියල් බිල්යන 47 කින් පමණ රටේ පොලී ගෙවීම අඩුවෙනවා. ණය ප්‍රශ්ණෙත් ගෙවිය මෙම වරායට ගෙවිය යුතු ණය ප්‍රමාණයත් ගත්තම මෙම කාලය හා ක්‍රමය ගැලපෙනවා.

      Delete
    2. පාරේ යන වාහන වගේ ලඟ තැනින් නැව් තෙල් ගහන්නේ නෑ. තෙල් මිල සහ වෙනත් සේවා අනුවයි නැව් එන්නේ . පිරිපහදු හැදුවත් අපිට පුළුවන්ද ලෝක තෙල් මිල සමඟ තරඟකාරී මිලකට සිංගප්පුරුව වගේ තෙල් දෙන්න ? අපේ අකාර්ක්‍ෂම සෙවකයොත් එක්ක මොන ලෝකේ එක්කද තරඟ කරන්නේ ?

      Delete
    3. ඔබ හරි. මම කිව්වේ කලින් තිබූ සැලසුම් ගැනයි. මේ වරාය BOT ක්‍රමයට චීනෙට හදන්න දුන්නනම් රට ණය නොකර කරන්න තිබ්බ. ඒවගේම චීනය ක්‍රියාත්මක කරන වරායක් වුණානම් අද මෙලහකට නැව් විශාල ප්‍රමානයක් එන වරායක් වෙලා. අනිල් ඔප්ශන් එක තමයි දියකඩනය සහ තෙල් පිරිපහදුව. තෙල් පිරිපහදුව බන්කරින් වලට වඩා වෙනස්. බොර තෙල් ගෙනල්ල පිරිසිඳු කිරීමක් වෙනවා. දියකඩනයක් ඇති නිසා වෙලඳ නැව් පැමිණියානම් ඊලඟ අදියරට යන්න තිබ්බා. දියකඩනයක් සහිත වරායක් ආශ්‍රිත භූමිය විවිධ නිෂ්පාදන ව්‍යාපාර වලට බදු දෙන්න තිබ්බා. එය අසාර්ථක වී නැව් නොපැමිණියානම් එයට ගිය වියදම අවම නිසා අද වගේ බදු දුන්නත් අවුරුදු 20-30 කට බදු දෙන්න තිබ්බා. මෙතන වුණේ උපරිමය කිරීමයි. ඒකත් ගසා කෑම් ඇතුළුව. එතකොට ඒක නිසයි ඩොලර් බිලියනයකට එහා ණයක් ආවේ.

      Delete
    4. serendipity,

      මුලින්ම ඔබ ලෝක සිතියමක් අරගෙන ශ්‍රී ලංකාව තියෙන්නේ කොහෙද සින්ගප්පුරුව තියෙන්නේ කොහෙද කියල බලන්න ඊට පස්සේ කරුනාකර දැනගන්න සිංගප්පුරුවේ තෙල් නිපදවන්නේ නැතිබව. සිංගප්පුරුවට යන හැම තෙල් බින්දුවම යන්නේ ශ්‍රී ලංකාව පසුකර බව කරුණාවෙන් දැනගන්න.

      ඔබ කියනවනම් ශ්‍රී ලංකාවට වඩා වැඩි පිරිවැයක් දරමින් වැඩි දුරක් ගොස් අඩු මුදලට තෙල් දෙන්න පුළුවන් කියල ඔබ ආර්ථික විද්‍යාව අනුව නෙමෙයි කතා කරන්නේ.

      සේවකයෝ අක්ර්යක්ෂමයි කියන දේ උනත් ඇත්ත නෙමෙයි, ආණ්ඩුවට උවමනානම් දැඩි නීති දමල සේවකයන් බදවාගන්න පුළුවන් ඔබ දන්නවා ඇති ආයෝජන කලාප වල වෙනම නීති ඇති බව, මෙනිසා අප ලෝක මට්ටමේ ඇගලුම් සදහා තරග කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

      ඉයන් කියන දේ සම්පුර්ණ ඇත්ත මොකද මහින්දට ගසා කන්න ඕනේ නිසා තමයි මේ වියප්පෘතිය මෙහම කලේ නමුත් මේ වරයා තමයි මහින්දගේ කාලේ කල විශාලම ආයෝජනය. මේ ගැන මහින්ද බලයේ සිටින කාලෙත් මම කිව්වා දැනුත් කියනවා.

      Delete
    5. තරඟකාරී වෙළෙඳපොළක් තියෙන්න නිෂ්පාදකයෙක් වෙන්න උවමනා නෑ .

      Delete
    6. කවුද කිව්වේ නිෂ්පාදකයෙක් වෙන්න ඕනේ කියල මගේ තර්කය උනේ, සිංගප්පුරුව කියන්නේ අපට වඩා දුරින් තියන රටක් ශ්‍රී ලංකාව පසුකරයි සිංගප්පුරුවට තෙල් ගෙන යන්නේ, මුලික පිරිවැය බැලුවොත් මේ තෙල් ශ්‍රී ලංකාවට යන පිරිවැයට වඩා වැඩි පිරිවැයක් දරල තමයි සිංගප්පුරුව තම රටට ගෙන එන්නේ නමුත් ඔබ කියනවනම් අපට ඔවුන් සමග තරග කරන්න බෑ කියල එය විහිළුවක්, ශ්‍රී ලංකාවට උවමනා කරන්නේ නිසි ආයෝජන ප්‍රවර්දන කලාපයක් සහ එම කලාපයට ආදාල විශේෂ නීතියි. එහෙම උනා නම් අපට පුළුවන් ඔවුන් සමග තරග කරන්න.

      Delete
  4. පළමුව වරාය
    දෙවෙනුව රැකියාව....!!!

    ReplyDelete
    Replies
    1. තෙවනුව ගෙදර. ස්තූතියි රසික

      Delete
  5. මත්තල කවුරුවත් ගනීද? ඒක ඔය තියන විදිහ ලොකු පාඩුවක් නේද?අඩු ගණනේ ස්කේල් ඩවුන් කරලාවත් කාටවත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද ඒක?

    ReplyDelete
    Replies
    1. UPS or DHL වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ගත්තොත් මිසක්. ප්‍රාදේශීය ගුවන් සේවයකට වුණත් ටිකක් හොඳයි, ට්‍රාන්සිට් ගුවන් තොටුපොලක් වශයෙන්.

      Delete
  6. මේ ලිපියට ලබාගත් සංඛාලේඛන පිලිබඳ හොඳටම ෂුවර්ද ?

    ReplyDelete
    Replies
    1. මීට වෙනස් සංඛ්‍යා ඔබ දන්නවා නම් කියන්න. ස්තූතියි සුදීක

      Delete
  7. මම වගේ ආර්ථික විද්‍යා මැට්ටන්ට තේරෙන විදියට මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද ඉයන් මහතාණෙනි, ඔබට ?

    1. මේ ගණුදෙනුවෙන් ලැබෙන මුදලින්, වරායට ගත්ත ණයන් කොපමන ප්‍රතිශතයක් ගෙවන්න පුළුවන්ද ?
    2. මේ බදු මුදල අපට එකවර ලැබෙනවද ?
    3. මේකෙන් අපේ සමස්ථ ණය ප්‍රතිශතයෙන් කොපමණ ප්‍රමාණයක් අඩු වෙනවද ?
    4. මේ ලැබෙන මුදල, වියදම් කලේ මොන විදිහටද කියලා අපට දැන ගන්න පුළුවන්ද ? (අයවැයේ ඒක මොන විදිහට සටහන් වෙයි ද )

    ReplyDelete
  8. නොද්ද්දාන්න කරුණු ගැන දැනුවත් උනා

    ReplyDelete
  9. එම ගිවිසුම සිහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනටම පරිවර්තනය කර ඇත. එහි සංශෝධිත පිටපත මේ දිනවල් නැවත සකස් කරගෙන යමින් පවතී. ඒ අනුව ඕනෑම භාෂාවකින් එම ගිවිසුම කියවීමේ හැකියාව ඇත.
    විචාරක දියණිය

    ReplyDelete