Wednesday, November 2, 2016

අල්ලස් කොමිසම කටඋත්තරයක් ඉල්ලූවිට බුදු දහම අනතුරේ වැටෙන්නේ කෙසේද?



ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ රනිල් 
(Colombo telegraph) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් අද (02) දින පැවැති උත්සවයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්:
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ සංවිධායක ලෙස අද (02) දින පත්වීම් ලබනවා. කැලණිය එක්සත් ජාතික පක්ෂයට විශේෂ ආසනයක් බව කිව යුතුයි. කැලණිය ආසනය නියෝජනය කළ පළමු මන්ත්‍රීතුමා වන්නේ ඩී.බී. ජයතිලක මහතායි. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන කැලණිය ආසනය නියෝජනය කළා. අනෙක් පක්ෂයෙන් ආර්.බී. සේනානායක කැලණිය නියෝජනය කළා. ඉන්පසුව ආර්.එස්. පෙරේරා අවසන් වශයෙන් සිරිල් මැතිව් කැලණිය නියෝජනය කළා.


සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණියේ අපේ පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සංවිධාන රැසක ඉල්ලීම මතයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා බවට පත්වී තරග කළා. එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වටා විශාල රැල්ලක් ඇති වේවි යැයි බය නිසා අවසන් කාලයේදී එම මැතිවරණය වෙනත් මගක ගමන් කළා. විශාල බලපෑම් සිදු වුණා. එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ඡන්ද කාලවකවානුවේදී අතුරුදන් වුණා. එම මැතිවරණය එවැනි බලපෑම් වූ මැතිවරණයක් බව කිව යුතුයි. එම සිද්ධි පිළිබඳව දැන් අප ක්‍රමක්‍රමයෙන් විභාග කරමින් සිටිනවා. කොතරම් ප්‍රශ්න තිබුණත් සරත් ෆොන්සේකා මහතා අවසානයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා. අවසානයේ එතුමන් කාර්යාලයෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රණවිරුවන්ට සලකන්නේ නැතැයි රාජපක්ෂ රෙජිමය පවසන්නේ කුමන හේතුවක් නිසා දැයි මට නම් තේරෙන්නේ නැහැ. 
අප කිසිම රණවිරුවෙකු කකුලෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවේ නැහැ. වැරැදි තිබෙන අයට විරුද්ධව නඩු පවරනවා. සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම පිළිබඳව මා නවදිල්ලි නුවරදී එහි ඇමැතිවරයෙකු සමග පැවසූ විට ඒ ඇමැතිවරයා ඔලූවේ අතගසා ගත්තා. අපේ රටේ මෙවැනි දෙයක් කළා නම් ආණ්ඩුව කඩා වැටෙනවා යැයි ඔහු මා සමග පැවසුවා. පෙර ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඒ ආකාරයටයි. ලංකාවේ දේශපාලන පළිගැනීමක් පිළිබඳව පෙන්වීමට අවශ්‍ය නම් හොඳම අවස්ථාව සරත් ෆොන්සේකාගෙන් කළ පළිගැනීමයි. නමුත් දැන් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එතුමන් පාර්ලිමේන්තුවට රැගෙනවිත් වගකීමක් භාර දෙන්න අපට අවශ්‍යතාවය තිබුණා. එය අපේ යුතුකමක්.
මෙරට යහපාලනයක් ඇති කිරීමට, තරුණයන්ගේ ප්‍රශ්න විසඳීමට සරත් ෆොන්සේකා මහතාට කැපවීමක් තිබෙනවා. සැබෑ යහපාලනයක් ලෙස අප දැන් ආණ්ඩුව ගෙන යනවා.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එළිදැක්වුණු කෝප් වාර්තාව අපගේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි. මීට පෙර මේ අයුරින් පැහැදිලි තීරණයක් ලබාදුන් අවස්ථාවක් තිබේ යැයි කිසිවෙකුටත් කියන්නට බැහැ. මහ බැංකුව තිබෙන්නේ මගේ යටතේයි. මහ බැංකුව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. ග්‍රීක් බොන්ඩ් එක ගැන කිව්වා. පෞද්ගලිකව කොටස් දීමෙන් ලාභ ගැනීමක් ගැන කිව්වා. කොටස් වෙළෙඳපොළේ මගඩිය තිබුණා. මේ සියල්ල සලකා බැලූවා නම් එය විශාල වංචාවක්.
මෙම කරුණු විභාග කරන්නට පෙර මා විසින් පත් කළ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනාවක් පැමිණියා. ඒ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවයි. මෙවැනි අවස්ථාවක රාජපක්‍ෂ රෙජිමය සිටියා නම් කරන්නේ කුමක්ද? සියලූම බලය යොදා චෝදනාව යටපත් කරනවා. සිමෙන්ති දමා වහනවා. ඒ ගැන කවුරුන් හෝ ප්‍රශ්න කළහොත් එක්නැලිගොඩ මෙන් උස්සා ගෙන ගොස් අතුරුන් කරනවා. එකළ නම් කිසිවෙකුත් ප්‍රශ්න අහන්නේ නැහැ. පළමුවෙන්ම අප කළේ යහපාලන ආණ්ඩුවක් ලෙස අපට තිබෙන චෝදනා පළමුවෙන්ම විභාග කිරීමයි. ඒ සඳහා මුලින්ම ගාමිණී පිටිපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මා විසින් පත් කළා. එම කමිටුවේ සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නීතිඥයන් යැයි එවිට පිරිසක් කෑගැසුවා. එම කමිටුව කීවේ කුමක්ද? යම්කිසි කාරණා තිබෙනවා. ඒ ගැන පරීක්‍ෂා කළ යුතු බවයි.
එම වාර්තා මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අතරතුර ඩියූ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටු පරීක්‍ෂණයක් ද ආරම්භ කර තිබුණා. ඒ අතරතුර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඉන්පසුව පැවැති මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට වැඩිම ආසන ගණන හිමිවුණා. අපට විශාල කොටසක් තිබුණා. ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ අවස්ථාව මාහට තිබුණා.
පසුගිය රජය මෙන්ම ඊට පෙර පැවැති රජය කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව මෙහිදී මතක් කර දිය යුතුයි. නමුත් අප එවැනි දෙයක් කළේ නැහැ. කෝප් කමිටුවේ සභාපති ධූරය ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දුන්නොත් මේ සියල්ල යට යනවා යැයි සමහරුන් පැවසුවා.
කෝප් කමිටුවේ සභාපති ලෙස විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදී අප සඳහන් කළා. සම්ප්‍රදාය එයයි. එය යහපාලනයේ කොටසක් බව කිව යුතුයි. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති ධූරය ඉල්ලූ විට සියලූ දෙනාටම පිළිගත හැකි සභාපතිවරයෙකු ලෙස පත් කරන ලෙස අප පැවසුවා. එහිදී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස තෝරා පත් කර ගත්තා. ඒ අනුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ද සොයා බලා අයවැයට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන බව හඳුන්නෙත්ති මහතා පැවසුවා. එය ඉතා හොඳ තීරණයක් බවත්, මෙවැනි දේ තවත් ඇදගෙන යාමෙන් පළක් නොවන බවත් මා පැවසුවා. ඒ අනුව බැඳුම්කර සිද්ධිය විභාගයට ගත්තා.
කෝප් කමිටුව රැස්වූ එක් අවස්ථාවකදී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවෙන් පිටව ගියා. එම අවස්ථාවේදී වෙනත් පුද්ගලයෙකු සභාපති ලෙස පත් කරන්නැයි සමහරුන් කිව්වා. සුනිල් හඳුන්නෙත්ති ගැන අපගේ විශ්වාසය තිබෙන බව එම අවස්ථාවේදී මා දැනුම් දුන්නා. ඉක්මනින් මේ කරුණ විභාග කොට පාර්ලිමේන්තුවට එක් වාර්තාවක් ලබා දෙන ලෙස ද මා දැනුම් දුන්නා. මෙම සිද්ධිය යට ගහන්න අවශ්‍යතාවයක් තිබුණා නම් සුනිල් හඳුන්නෙත්ති මහතා ගැන විශ්වාසයක් නැතැයි එම අවස්ථාවේදී අපට කියන්නට තිබුණා. එලෙස විශ්වාසයක් නැතිනම් සුනිල් හඳුන්නෙත්ති ඉවත් කොට වෙනත් සභාපතිවරයෙකු පත් කරන්න තිබුණා. නමුත් අප එවැනි දෙයක් කළේ නැහැ. මෙම විභාගය ඉක්මනින් අවසන් කිරීමේ වගකීම අප හඳුන්නෙත්ති මහතාට භාර කළා.
කෝප් කමිටුවේ කාර්යය කරුණු සොයා වාර්තා කිරීම පමණයි. ඉන්පසුව ගත යුතු පියවර කුමක් දැයි පාර්ලිමේන්තුව තීරණය කරනවා. කෝප් වාර්තාවකින් හෝ වෙනයම් වාර්තාවකින් නඩු පවරන්න බැහැ. නඩු පවරන්නට හැකි දැයි සොයන ලෙස දැනුම්දීමට හැකියාව තිබෙනවා. දඩ ගසන්නට බැහැ. දඩ ගසන්නට හැකි දැයි නීතියෙන් යෝජනා කළ හැකියි. එහිදීත් ආණ්ඩුවේ පක්‍ෂවල විවිධ මත ගැටුම් තිබුණා. නමුත් අවසන් යෝජනා එකමුතුව දිය යුතුය යන එකඟතාව අප තුළ තිබුණා. නමුත් අවශ්‍ය නම් සමහර කාරණා ගැන විකල්ප අදහස් ලබාදිය හැකි බව අප පවසා තිබුණා. විශේෂයෙන්ම විගණකාධිපති වාර්තාව පිළිබඳව විග්‍රහ දෙකක් තිබුණා. එම කමිටුවෙන් විග්‍රහ දෙකම ඇතුළු කළා. තැන් කිහිපයකදී විගණකාධිපති වාර්තාව ගැන විග්‍රහ දෙකක් තිබෙනවා. නමුත් අවසානයේදී තිබෙන්නේ එකම නිර්දේශ බවත් කිව යුතුයි. එම නිර්දේශ ගැන කිසිවෙකුගේත් මත ගැටුමක් නැහැ.
අවසානයේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව මා එතුමාට ස්තුති කළා. එම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කොට උපදෙස් ලබා ගන්නා බව ද මා පැවසුවා. මට වෙනත් කරන්න දෙයක් නැහැ. කළ යුතු එකම දේ නීතිපති උපදෙස් ලබා ගැනීමයි. නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයත් පැවසුවා.
මෙම වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (01) සවස මා එම වාර්තාව නීතිපතිට යොමු කළා. මට ලබාදිය හැක්කේ මාළඟ තිබෙන වාර්තාව පමණයි. මා එය කළේ එම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේදී කියූ නිසයි. නැතිනම් අප සියලූදෙනා මෙම වාර්තාවට අතගසන්නේ ලබන 10 වැනිදා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවයි. මේ පිළිබඳව තවත් ලියවිලි අවශ්‍ය නම් කතානායකතුමාට කතා කොට ලබා ගන්නා ලෙස මා නීතිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව අප විසින් එතුමාගේ සති අන්තයත් නැති කර තිබෙනවා. ඒ වාර්තා සියල්ලම සති අන්තයේදී කියවන්නට සිදු වන නිසයි. ඒ අනුව සුදුසු පියවර ගැනීමට හැකියාව ලැබේවි.
අපගේ මූලික අරමුණ යහපාලනය ආරක්‍ෂා කිරීමයි. අප යහපාලනය ආරක්‍ෂා කරන්නේ ඇයි? නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් අප කැපවී සිටිනවා. කුමන හෝ කාරණයක් තිබේ නම් එය නීතියෙන් විසදිය යුතුයි. නිලධාරීන් ගැන මහ බැංකුවේ අධිපතිතුමා ගැන සොයා බැලිය යුතු යැයි දක්වා තිබෙනවා නම් එය සොයා බැලිය යුතුයි. එලෙස සොයා බලා නීතියත් උල්ලංඝණය වී තිබේ ද, උල්ලංඝණය වූයේ කුමන නීතිය ද යන්න තීරණය කළ යුතුයි. අප ඉතා ඉක්මනින් එල්ලවී ඇති චෝදනා විභාග කළා. ලංකාවේ මීට පෙර මෙවැනි දෙයක් සිදු වී නැහැ. අප නීතියේ ආධිපත්‍යයට ගරු කරන අයයි. අපට විරුද්ධව චෝදනා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. නීතියට සාධාරණ අයුරින් ක්‍රියාත්මක වන්නට ඉඩ දෙනවා. යහපාලනය ඉදිරියට ගෙන යනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික රජය නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කැපවී සිටිනවා.
ජාතික ආණ්ඩුව හැර වෙනත් කිසිදු පුද්ගලයකු නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් මෙවැනි ස්වාධීන තීරණ ගත්තාද? පසුගිය වසර 10 ඇතුළත මෙවැනි සාධාරණ පරීක්‍ෂණයක් සිදු වුණාද? අප නීතියේ ආධිපත්‍යයට අනුව වැඩ කළා. නමුත් සරත් ෆොන්සේකා මහතාට එකළ නීතියේ ආධිපත්‍යයක් තිබුණා ද? එතුමාට හිරගෙදර වෙනම කාමරයක් ලැබුණා. වෙනමුකුත් වුණේ නැහැ. යහපාලනයේ වෙනස එයයි. සරත් ෆොන්සේකාගේ සිද්ධියේදී නීතියේ ආධිපත්‍ය බිඳවැටුණා. මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී නීතියේ ආධිපත්‍ය රැකුණා.
එදා අපේ පාක්‍ෂිකයින් පාරට බැස්සා ජීවිත, දේපොළ නැති කර ගත්තා. ඔවුනට තවමත් වන්දි ගෙවන්නට නොහැකි වී තිබෙනවා. නීතියේ ආධිපත්‍ය අප විසින් රකින බැවින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයට කිසිදු බයකින් තොරව වන්දි ලබාදීමට හැකියාව තිබෙනවා. අප සොරකම් කළා නම් එවැනි දෙයක් කරන්නට බැහැ.
අනාගතයේ රටත් එවැනි උසස් තත්ත්වයකට ගෙන යා යුතුයි. කෝප් වාර්තාව නිකුත් වූ පසුව කෑගහන පිරිස ගැන මා පුදුමයට පත් වනවා. එලෙස කහගහන සමහර අයට විරුද්ධව චෝදනා තිබෙනවා. සමහරුන් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අයයි. බැඳුම්කර සිද්ධිය යනු ලෝකයේ ලොකුම හොරකම යැයි මොවුන් කියනවා. තමන්ට විරුද්ධව ඇති නඩු දේශපාලන පළිගැනීම් යැයි පවසනවා. හොරාට වෙන කියන්නට ඇත්තේ මොනවාද? මොවුන් කෑගහන්නේ නිරුවත වසාගන්නයි.
මෙලෙස කෑගහන පිරිස මට විරුද්ධවත්, අල්ලස් කොමිසමට ගියාලූ. අල්ලස් කොමිසම මට කටඋත්තරයක් ලබා දෙන්නැයි පැවසුවොත් කිසිදු පැකිලීමකින් තොරව ගොස් කටඋත්තර ලබා දෙනවා. මම මිනිසුන් ගෙනැවිත් අල්ලස් කොමිසම ඉදිරිපිට කෑගහන්නේ නැහැ. බුද්ධාගම අනතුරේ, ජාතිය අනතුරේ යනුවෙන් කෑ ගහන්නේත් නැහැ. අල්ලස් කොමිසම කටඋත්තරයක් ඉල්ලූවිට බුදු දහම අනතුරේ වැටෙන්නේ කෙසේද?
මේ හොරකම් සියල්ල පිළිබඳ පරීක්‍ෂණ අප ඉදිරියට ගෙන යනවා. ඒ ගැන හොයනවා. සොරකම් කළ අයට දඬුවම් දෙනවා. චෝදනා ගැන පරීක්‍ෂණ කිරීම එක් පැත්තකට පමණක් සීමා නොකරන බව අප ඔප්පු කර පෙන්නුවා. අප හැමවිටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපගේ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දවස් කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඉන්නට සිදු වුණා. අප කිසිවෙකුත් ඒවාට අතගසා වෙනස් කළේ නැහැ. රාජපක්‍ෂ රෙජිමය හැසුරුණේ මේ ආකාරයට ද?
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මා විසින් ලබන සතියේදී මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කැදවා තිබෙනවා. ග්‍රීක් බොන්ඩ් සිද්ධිය ඇතුළු සියලූම දේ විභාග කොට ඒ කරුණු සියල්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවෙන් ඒ ගැන ඉදිරි පරීක්‍ෂණ සිදු කෙරෙනවා ඇති. ඒ පරීක්‍ෂණ ඒ අයුරින්ම ඉදිරියට සිදු කෙරෙනවා.
දැන් අපේ කාලය යෙදවිය යුත්තේ අයවැය ඉදිරිපත් කළ පසුව යහපාලන රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. සංවර්ධනය මෙන්ම රැකියා උත්පාදනය ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා. අධ්‍යාපනය දියුණු කළ යුතුයි. නැව් නැති වරායට නැව් ගෙන්වා ගත යුතුයි. ගුවන් යානා නැති ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගත යුතුයි. ඒ අනුව අප අලූත් ක්‍රමවේදයකට අනුව වැඩසටහන් ආරම්භ කරනවා. බස්නාහිර මහනගරය ඉදිකිරීම, වයඹ කර්මාන්ත පුරයක් කිරීම, මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම, හෝටල ඉදිකිරීම, විදේශ ආයෝජකයින් මෙහි ගෙනවිත් රැකියා උත්පාදනය කිරීම ආදී විශාල වැඩකටයුතු රාශියක් අප හමුවේ තිබෙනවා. මේ සියලූ වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැක්කේ නීතියේ ආධිපත්‍ය රැකුණොත් පමණයි. නීතියේ ආධිපත්‍ය සුරැකී ඇති බව අප දැන් ලෝකයටම පෙන්වා දී තිබෙනවා. ඒ නිසා කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ. නීතියේ ආධිපත්‍ය සුරැකීම වෙනුවෙන් අප බොහෝ දුක්වින්දා. ඒ දුක් විඳීමේ ප්‍රතිපල දැන් අප ඉදිරියේ තියෙනවා. දුක් විදිමින් අප ආරක්‍ෂා කර ගත් නීතියේ ආධිපත්‍යය ඉදිරියටත් සුරකිනවා.

21 comments:

  1. රණවිරුවන්ටයි, සංඝයින්ටයි බාරදීලා ඔය ආයතන වහලා දාන්න තමයි වෙන්නේ. හිටපු නේවි කමාන්ඩර්ස්ලා ගැන මෛත්‍රීට ඔච්චර අමාරු මොකද දන්නේ නැහැ. මේ තුදෙනාම ඇවන්ගාඩ් එකෙන් නේවි එකට දුන් කොමිස් අඩු කරමින්, ඉන් පසු රිටයර් වෙලා ඇවන්ගාඩ් එකටම මාස් පඩියට වැඩ කරපු හැටි අනුර කුමාර නම් හොඳට පැහැදිලි කරා.

    නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් තමයි මේවා.

    ReplyDelete
  2. මෛත්‍රී ගේම් ගැසීම නවත්තලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වෙන්න ඕන.
    අනුර අයියා කියන විදියට රටේ රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. //රටේ රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ//

      ඒකනේ 88/89 ඒගොල්ලො හමුදාවල අයයි හාමුදුරුවරුයි මැරුවෙ.

      Delete
    2. කොච්චි මිරිස්ට ලියන්න ගිය දෙයක් පැටලිලා වගේ. රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ නැහැ.

      Delete
    3. ඉයන්....89 ගැන කතා කරොත් ඔය හැමෝගෙම අතේ ලේ. අද ආවා හදපු කට්ටිය ගැන මතක් වෙනකොට එදා ප්‍රා හදපු කට්ටිය මතක් වෙන්නේ නැතුව ඇති. ආවා හදපු අය ගැන රාජිතලා කරන ප්‍රකාශ සුපුරුදු ආවා ගියා ටෝක්ස් නොවී, විමර්ශනය කරන්න ඕන. කැබිනට් ප්‍රකාශකයෙක් කියන්නේ, නිකම්ම නිකම් රාජිත නෙමේ.

      Delete
  3. "නැව් නැති වරාය"

    heh

    ReplyDelete
  4. අරුණට තේරෙන්නේ නැත්ද මන්දා හිටපු නේවි කමාන්ඩර්ස්ලා ගැන මෛත්‍රීට ඔච්චර අමාරු මොකද කියලා.
    මෛත්‍රීට විතරක් නෙවේ මටත් හරි හිතට අමාරුයි.
    පව් නැද්ද අප්පා, ටයි කෝට් ඇඳලා, අර මැඩල් ඔක්කොම අමාරුවෙන් ගහගෙන උසාවිවල රස්තියාදුවෙනකොට.
    කොහොමට රැස්පොට් එකෙන් හිටපු ලොක්කොද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙඩ්ල්ස්වලට මුවාවෙලා ජරාව කනකොට ඔහොම වෙයි කියලා හිතෙන්නේ නැතුව ඇති. සහගහන අපරාධ. දක්කන්න තියෙන්නේ දක්කන්න විරුද්ධ එවුන් එක්කම.

      Delete
  5. නීතියේ ආධිපත්‍යයට අනුව වැඩ කරලා වැරදි කරුවන්ට දඬුවම් දුන්නා නම් හරියට හරි එහෙමනම් යහපාලනය රැකෙනවා දිගටම..

    ReplyDelete
  6. Yes, agree we only need Ranil and UNP (do not need anyone who served this country in the past) we live happily ever after. Looks like when people get politics in their head they lose IQ.

    ReplyDelete
  7. කට උත්තර ගන්ට කතා කලහම බුද්දාගම අනතුරේ වැටෙන්නෙ කොහොමද? රනිල් ගෙන් අහන්ට ලැබුන හොඳම ටෝක් එක. 😂😂😂.

    එයා මොනව කිව්වත් මයිත්‍රී මොනව කිව්වත් ඔය ඩබලම කොරන දෙයක් නෑ ඉයන්. ඒක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ///එයා මොනව කිව්වත් මයිත්‍රී මොනව කිව්වත් ඔය ඩබලම කොරන දෙයක් නෑ ඉයන්. ඒක තමයි ඇත්ත.///
      ++++++++++++++++++++++++

      Delete
    2. ටෙන්ඩර් කථා නොකර කොහෙ හරි තියෙන බෝක්කුවක් පාරක් හදන්න ගැත්තෙකුට දෙන එකෙයි, පරිසර සහ සාක්ෂ්‍යතා වාර්ථා හදල කර්මාන්ත පුරයක් ඇති කරන එකෙයි වෙනස් කම් දෙකක් තියෙනවා. එකක් පටන්ගෙන අවසාන කරන්න යන කාලය දෙවෙනි එකේ වැඩියි. අනික එයින් වෙන වාසියත් දීර්ඝ කාලීනයි ඒවගේම විශාල පිරිසකට වාසියි. කටුනායක නිදහස් වෙලඳ කාලාපෙ සම්පූර්ණ කරන්න අවුරුදු 3 ක් විතර ගියා ඒ වුණාට හදල දැන් අවුරුදු 36 ක් වුණත් තාමත් රැකියා, අපනයන ඒක නිසා වෙනවා.

      Delete
    3. ඉයන්. දැනට මේ රජයට අවුරුදු දෙකක් විතර. මේ රටේ ජනාදිපති අගමැති ඉන්නෙ කලින් රජයට දෙස් දෙවොල් තිය තිය නිවුස් වලට මාද්‍ය සංදර්ශන වලට මූන ඔබන්න සහ ලෝකෙ වටේ සවාරි ගිහින් විදේශ නායකයින් සමග ෆොටෝ ගහල ලංකාවට ඇවිත් හරි අපිට අරක ලැබෙනව මේක ලැබෙනව කියල කියන්ට විතරයි.

      දැන් ඔබ කියන විදිහට කොමිස් කුට්ටි එහාට මෙහාට යන්නෙත් නැතිනම් කෝ ඔය කියන සංවර්දනය යහපාලනය?

      අනික රටේ බහුතරයක් ජනතාවට වැඩක් නැහැ බැඳුම්කර ගනුදෙනුව ගැන. විපක්ෂය හෝ ඒකාබද්දය ගැන.

      පහුගිය ආණ්ඩුව යවල මෙයාලව ගෙන්න ගත්තේ හැම මිනිහටම කාර් එකක් ගන්නවත් නෙමෙයි.

      කාටවත් නය නොවී තමන් හම්බ කරන දෙයින් කාල බීල සන්තෝසෙන් ජිවත් වෙන්ට.

      දැන් බලනකොට වැට් බදු වැඩි කරන්නෙත් ජිවන වියදම් වැඩි කරල අදායම් හොයන්න බලන්නෙත් පොඩි මිනිහාගේ බෙල්ල මිරිකල.

      කෝ එතකොට හොයල ගන්නව කියපු කම්බ හොරුන්ගෙ සල්ලි?

      මොකද මයිත්‍රී මහත්තයට රාජ්‍ය තාන්ත්‍රික ලියුමක් රහසේවත් ලියගන්ට බැරි?

      ඔය හැමදේටම උත්තරය පොඩ්ඩක් ඉන්න. ෆයිල් ටික නීතිපති ළඟ ආයෝජන හෙට එනව ජනතාවට පටි තද කොරගන්ට වෙන්නෙ ටික කාලයකට කියන ගොන් පැරසිටමෝල් ටයිප් උත්තර නෙමෙයි.

      ඇත්ත කියන්නෙ මේ දෙන්න රට කැඳ හැලියක් කරල ඉවරයි. දෙන්න දෙපැත්තට වෙලා දෙවිදිහකට එකම කාර් එකෙන් ගමනක් යන්ට හදනව.

      රනිල් කෙසේ වෙතත් මයිත්‍රී මහත්තයානම් ඊයේ පෙරේද ඉඳල TV එකේ මහා පොරක් වගේ අතපය වීසි කොර කොර කියන දේවල් මොනවද කියල සමහරක්විට ඒ මහත්තයම දන්නෙ නැතිව ඇති.

      කොහොම උනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඉයන් මහත්තයෝ, රනිල් මහත්තය (හොඳම දේශපාලන කපටිය) කෙසේ වෙතත් හෙට අනිද්ද මයිත්‍රී මහත්තයානම් ඉල්ලන් කනව. දැනටමත් ඉල්ලං කාල තියෙන්නෙ. ඒත් ලජ්ජාවට ඒක පෙන්නන්නෙ නෑ හිටං 😂😂😂

      Delete
  8. හැම එකාම කියන්නෙ රනිල් පොන්නයෙක් කියලා නේ. අඩු ගානේ මෙහෙම ටෝකක්කත් දුන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
  9. මහජන මුදල් ගසාකෑ කවර හෝ දේශපාලඥයෙක් නීතියෙන් වැරදිකරු වී දඬුවම් ලැබූ අවස්ථාවක් වේ නම් දන්නා අයෙක් පෙන්වා දෙන්න.

    ReplyDelete
  10. ඔය බයිලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා......එපා වෙලා තියෙන්නෙ දැන්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඒක ඇත්ත. විදුලි පුටුව ගැනයි, යුද්ධෙ දින්න එක ගැනයි සුදු අලි ව්‍යාපෘති ගැනයි පම්පෝරියත් එපා වෙලා. ගාණ කපාගෙන පාර කාපට් කිරීම රට සංවර්ධනය කියල හිතන අයට අළුතින් පක්ෂයක්ම හදනවලු නේද?

      Delete
  11. බුදු දහමට කොයිතරම් අනතුරුද දැන් කාලෙ

    එෆ්සීඅයිඩී, අල්ලස්කොමිසං වගේ දේවල්, ඒ ඇරෙන්නඅලි අම්මව මරලා අලි පැටව් කැලෙන් අල්ලගෙන ඇවිත් වනජීවී පොත් වෙනස්කරලා පෙරහරේ ගෙනියන්න බැරිවුන එකෙන්ම කොයිතරම් අනතුරක් නිර්මල බුදු දහමට වුනාද නේ

    ReplyDelete
  12. හොර අලි උන්නාන්සේ, ආලවක උන්නාන්සේ, ඉත්තෑ උන්නාන්සේ, තව ඔය ඉන්න උන්නාන්සේලා ඔක්කොටම තමතමන්ගේ නිකාය බැගින් හදාගන්න දුන්නානම් බුද්දාගම රැකෙනවා ටොප් එකට.

    ReplyDelete
  13. මේවා ඉතින් ඔක්කොම එක එක්කෙනාගේ බයිලා තමා. මුහුණු මාරු වෙමින් එකම වචන සෙට් එකක් පිට වෙනවා.

    ReplyDelete