Thursday, September 29, 2022

ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews)

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.9.45) රටේ රාළ ජවිපෙ ගැන ලියපු පහුගිය ලිපිවලින් දිගටම කිව්වේ ජවිපෙට දැන් නිශ්චිත න්‍යායික ස්ථාවරයක් වගේම සංවිධාන මඟපෙන්වීමක් නෑ කියලයි. ඔය මොකක් හරි කියවන එකක් ඇති. රටේ රාළ ඒකට කියන්නේ වැඩවසම් සමාජවාදය කියලා. ඇත්තටම දැන් ජවිපෙ ගොඩක් දුරට සමාන රාජපක්ෂලාට. ඒ කියන්නේ වැඩවසම් ධනවාදයට. බලන්න දෙගොල්ලන්ටම තියෙන්නේ වහසි බස් දෙඩවීම, පුරසාරම් දෙඩවීම, පම්පෝරි ගහන එක විතරයි. අන්ත දෙකක ඉඳන් පම්පෝරි ගහන හින්දා සමහරුන්ට අරකට විකල්පය මේක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැතිව අනුරගේ ජවිපෙන්වත් මහින්දගේ පොහොට්ටුවෙන්වත් මේ රටේ ප්‍රශ්නවලට උත්තරයක් නෑ. රටට සිද්ධ වෙච්චි යහපතකුත් නෑ. එහෙම එකක් තියනවා නම් හොයලා කියන්න.

අනුර දැන් වීරප්පන් වගේ..

මේ දවස්වල ජවිපෙ පට්ට සටන්කාමී වෙලා. පහුගිය දවසක කරපු ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියෙන් පස්සේ, ඒ වගේම හඳුනෙත්තිගේ අකුරැස්ස ජාතික ජන බලවේගයේ ආසන සභාවෙන් පස්සේ, අනුර කුමාර හරියට වීරප්පන් වගේ වෙලා. අනුර දැන් කොච්චර සටන්කාමීද කියනවා නං මේ අනුර කුමාරමද කියලත් හිතෙනවා. අනුර ළඟදී මෙහෙමත් කිව්වා " මතක තියාගන්න දෙවන ජනතා නැගිටීම එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය හා මෙහෙයවීම යටතේ " කියලා. 88/89 යේ ඉඳන් ජවිපෙ තෝරපු හැම සටනකින්ම පෞද්ගලික බය නිසාම පැනලා ගිය අනුරට එක අතකින් එහෙම කියන්න හරි ගටක් ආපු එක ගැන නං සතුටුයි. හැබැයි අනුරගේ ඒ කතාවෙන් රටේ රාළ දිගටම ජවිපෙ ගැන කියපු එක කතාවක් ඔප්පු වෙලා තියනවා. දෙවෙනි අරගලය එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් නං පළවෙනි අරගලය ආවේ කාගේ නායකත්වයෙන්ද? ඒකට මොකද උනේ? කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම එහෙනම් කියන්න තියෙන්නෙ දෙවෙනි අරගලය වෙනුවෙන් ජවිපෙ පලවෙනි අරගලය පාවා දුන්නා කියලා.

ජවිපෙ අරගලය හයි ජැක් කරන්න බැරි වුනාම අල කළා.. 

ජවිපෙ අරගලය සම්බන්ධව පලවෙනි මොහොතේ ඉඳන්ම හිටියේ ඒකට ජනතාව නොයා යුතුයි කියන ස්ථාවරයේ. මිරිහානෙන් අරගලය පටන් ගත්ත අප්‍රියෙල් තුන් වෙනිදා ඉස්සෙල්ලා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලයි. ලාල් කාන්ත ඒක පැහැදිලිවම කිව්වා. අනුර ටිල්වින් ඩබලත් ඒකම කිව්වා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගූණ ජනතා විරෝධය ජවිපෙට එහෙම කියලා නවත්තන්න බැරි උනා. ජනතාව සටන්කාමීව අරගලයට ආවා. ඒක නතර කරන්න බැරි බව දැක්ක ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සා. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එක. ඒක බැරි වෙනකොට අරගලය අල කරන්න ජවිපෙ මැදිහත් උනා. රටේ රාළත් පිලිගන්නවා ජවිපෙ තරුණ සංගමය, කාන්තා සංගමය, කලා සංගමය අරගල භූමියේ හිටියා කියලා. හැබැයි එයාලා වැඩ කළේ නිර්පාක්ෂික කාලසටහනට අනුව නෙවෙයි ජවිපෙ කාලසටහනට අනුවයි. ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වක් දුන්නේ නෑ. හැබැයි සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය උනාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලැජ්ජාව මකාගන්න ජූලි 10 වෙනිදා දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයින් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මෙහෙව්වා.

Friday, August 12, 2022

පොරොන්දුවක් කඩ කිරීම

ගලක් උඩ හිරවුනු ඔරුවක් හබල් ගාන අනුර කුමාර



මට කාලෙකින් පස්සෙ මාලිමාවේ සහෝදරයෙක් හම්බුවුණා. ඒකාලෙ නිතර හම්බු වුනාට දැන් එහෙම මුණ ගැහැන්නෙ නැති එකෙක්. දැන් අනුර කුමාර මහත්තය එහෙම රටේ ප්‍රශ්ණ විසඳන විදිහ ගැන විස්තරයක් කියන්නෙ නැති නිසා මට හිතුන මෙයාගෙන් වත් අහල බලන්න.

මම :- කොහොමද බං කාලෙකින්.?

මාලිමා මාමා :-  හරි බිසී මචං. ඉක්මනට මැතිවරණයක් ඉල්ල ගන්න තමයි ට්‍රයි එක. මේ පාර අපි ගොඩ.

මම :- ඈ බං දැන් උඹල බලයට ආවොත් කොහොමද පෙට්‍රල් ගාණ අඩුකරන්නෙ?

මාලිමා මාමා :- ඒක සුළු දෙයක්නෙ අර රුසියාව ඩොලර් 35 ට බැරල් එකක් දෙන්න කැමතියිනෙ, අපි ඒ ගොල්ලන්ගෙන් ගන්නවා.

මම :- ඇයි බං මේ ආණ්ඩුවට ඕක කරන්න බැරි?

මාලිමා මාමා :-  ඒකනේ බං මේ රනිලයයි පෙට්‍රෝලියම් එකයි පගාව ගන්න තමයි වෙන රටවලින් තෙල් ගන්නෙ.

මම :- ඉතින් ඇයි රුසියාව ඩොලර් 35 ට විකුණන්නෙ, වෙන රටවල ඩොලර් 95 ක් වෙනකොට?

මාලිමා මාමා :- මේකනෙ බං දැන් රුසියාවට තෙල් විකුණගන්න බැහැ. සම්බාධක දාල තියෙන නිසා. ඒ වුණාට අපිට ඒකෙ ප්‍රශ්ණයක් නැහැ. 

මම :- ඉතින් බං සම්බාධක තියෙන රටකින් අපි තෙල් ගත්තම අපිට ප්‍රශ්ණයක් නැත්ද?

මාලිමා මාමා :- උඹ එහෙනං වැඩේ  දැනගෙන මාව අමාරුවේ දාන්න නේද ඔය ප්‍රශ්ණ අහන්නෙ?

මම :- ඇයි එහෙම ගත්තම මොකද වෙන්නේ? දන්නෙ නැති නිසයි අහන්නෙ.

මාලිමා මාමා :- රුසියාවෙන් තෙල් ගත්තම බටහිර රටවලින් සම්බාධක කැඩුව කියල අපෙන් ගන්න බඩු ගන්නේ නැතිවෙනව. එතකොට මහ විසාල ගාණක් ඩොලර් රටට නැතිවෙනව. එතකොට දැන් තරමටවත් කන්න ගේන්න බැරිවෙනවා. හොඳම එක තියෙන්නේ අපේ බඩු බටහිර රටවලට යවන්න බැරි වුණාම මෙහෙ රස්සාවල් නැතිවෙනවා. ඒකත් අපිට හොඳයිනෙ චන්දෙ ගන්න.

මම :- ඉතින් බටහිරට එපානම් අපේ බඩු වෙන රටවලට යවන්න බැරිද?

මාලිමා මාමා :- චීනෙ වගේ රටවල් අපේ බඩු මොනවත් ගන්නෙ නැහැ බං. සියයට 80 ක් විතර අපේ බඩු ගන්නෙ ඇමෙරිකාවයි යුරෝපෙයි. ඒ රටවල් තමයි රුසියාවට සම්බාධක දාල තියෙන්නෙ. රුසියාවත් එක්ක ගනුදෙනු කරන රටවලට ඒ රටවලට බඩු අපනයනය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් කිසිම දෙයක් බටහිර රටවල් ගන්නෙ නැහැ. වෙන රටවලට අපෙන් බඩු ගන්න දෙන්නෙත් නැහැ. 

මම :- ඉතින් බං එතකොට ලංකාව ඉවරටම ඉවරයිනෙ?

මාලිමා මාමා :-  ඔව් බං ඒක නිසයි රුසියාවෙන් ගන්නෙ නැත්තෙ. ඒක ඔය අනික් මෝඩ මිනිස්සු දන්නෙ නැහැනෙ. රනිල ඩොලර් හොරා කනව කියල කියන්න හොඳ චාන්ස් එක. ඒකයි අපි කියන්නෙ.

මම :- ඇයි ඉතින් රනිල ඒක නොකියන්නෙ?

මාලිමා මාමා :- ඒ උගේ හැටිනෙ බං. දැන් අපි බටලන්ද ගැන කියවනකොට, ඌ සද්ද නැතුව ඉන්නව. ඌ හැමදාම පැරදුනේ ඕක නිසයි. ඌ හිතන්නෙ මිනිස්සු ඇත්ත දැනගන්න මොලේ තියෙන්න ඕන කියල. මිනිසුන්ට මොලේ තිබ්බ නම් ගෝටාභයට රැවටෙයිද? ඉතින් මුන් කවදාවත් රුසියන් තෙල් ගන්න බැරි හේතුව මිනිසුන්ට කියන්නෙ නැහැ.
 

Wednesday, August 10, 2022

(ජවිපෙ) අරගලය ගොයින් හෝම්




දින 125ක් පුරා ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් වන බව එහි සංවිධායකයෝ කියා සිටියහ.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාළු මුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ එම ස්ථානයෙන් ඉවත් වුවද අරගලය අවසන් නොවන බවයි.

භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවත් ඇය සඳහන් කළාය.

අරගලය අවසන් කරන බව සඳහන් කරමින් ජන සුනාමියක් ලෙස කොළඹට පැමිණෙන්නැයි විවිධ සංවිධාන වලින් ඉල්ලා සිටිය ද එසේ ජනතාවක් අද ගාළු මුවදොර පිටියට රැස් වූයේ නැත.  (LankaCnews)



ෆොන්සේකා කියපු සෙනඟත් නෑ ෆොන්සේකාත් නෑ 


අද අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.

සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුනද ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ කිසිදු තැනක ලඟ මේ වන විට සැලකිය යුතු මට්ටමේපිරිසක් රැස්වී නැත.

මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ දිනයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.

මේ අතර අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙන් ගාලු මුවදොර හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි. (LankaCNews)


සටහන


මම අප්‍රේල් 30 දින සිට ආරම්භ වුණ නිර්පාක්ෂික අරගලයට සහය දැක්වූවෙමි. මැයි 9 අරගලයට පහර දීම හේතුවෙන් මහින්දට ඉල්ලා අස්වන්නට සිදුවීම සහ පක්ෂ පාට නොබලා ජූලි 9 දින එක්වූ මහජනයා නිසා ගෝඨාභය ඉල්ලා අස්වීම රටට හොඳ බව මගේ අදහසයි. කලින් අරගල සම්ච්චල් කර එයට ඇති ජනප්‍රියත්වය දුටුකල එය පැහැරගත් සහ රාජපක්ෂවරුන් අස්වීමේ ක්‍රෙඩිට් එක බලෙන් ලබාගෙන තිබෙන ජවිපෙ සහ අන්තරය ඔවුන්ට අවශ්‍ය දේ දෙනතුරු අරගලය දිගැස්සවීමට උත්සාහ කිරීමට මම නොකැමතිය. එමෙන්ම ඔවුන්ගේ විදේශීය ජාලයන් උපයෝගී කරගෙන මුල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේ ඔවුන්ට බලය ලබා ගැනීමට එයින් අවාසියක් වන බැවිනි. මහජනයා කොමපණ කරද වින්ඳත් එය ඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ. 


අවුරුදු 74 ක රට වලපල්ලට යාමක් ගැන ඔවුන් කියයි. ධම්මික පෙරේරා මහතා කීපරිදි වසරකට ඩොලර් බිලියන දෙකක් පිටරටවල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් රට වියදම් කරයි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකිරීමට ඔවුන් ක්‍රියාකල නිසා අද මුදලින්  ඩොලර් බිලියන 60 ක් පමණ රට පටවා ඇත. රටේ මුළු ණය ප්‍රමාණය ඩො. බිලියන 55 කි.  එමනිසා රට වැටී ඇති තත්ත්වයට ජවිපෙත් විශාල වශයෙන් වගකිව යුතුය. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.