![]() |
| ලංගම ලාංජනය |
තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක්
කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.
බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.
උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.
හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්රියාත්මක කලේ නැහැ.


