Saturday, September 15, 2018

සිලෝන් ටකරන් බස් (CTB)

ලංගම ලාංජනය



තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක්
කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.

බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.

උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.


හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්‍රියාත්මක කලේ නැහැ.



අදටත් බටහිර සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල ජර්මාන් ටෙක් එකේ සුදුසකම් ලත් අය හොඳ රැකියා කරනවා. වාහන කියන්නේ හැම රටකම තියෙන දෙයක්. ඒ නිසා වාහන අළුත්වැඩියාව සහ රථවාහන ඉංජිනේරු වගේ සුදුසුකම් වලට ලෝකයේ හැම තැනම ඉල්ලුමක් තියෙනවා. විශාල ගුවන් යානා සමාගම් ගුවන් යානා කාර්මිකයින් බිහි කරන පාසැල් පිහිටුවා තියෙනවා වගේ යම්කිසි අයකිරීමකට මෝටර් වාහන ශිල්පය, අළුත්වැඩියා කිරීම, වගේ දේවල් වලට සුදුසුකම් ලබා දෙන ආයතනයක් ලංගම අයිතිය ඇති දෙයක් ලෙස පිහිටුවන්න තිබ්බා. විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෙලා ඩිප්ලෝමා, සහ උපාධි තත්වයට ශිශ්‍යයන්ට අවශ්‍ය පන්තිකාමර තාක්ෂණික දැනීම ලබා දී ලංගමේ ගරාජ වල පුහුණුව ලබාදෙන්න පුළුවන්. එවිට එක්තරා මට්ටමකට ඔවුන්ගේ සේවක වියදමත් අඩුවෙනවා. තිබෙන ගරාජ ප්‍රමාණය අනුව අඩුම ගාණේ අවුරුද්දකට 1,000 ක පිරිසක් පුහුණු කලා නම් එයින් ආදායමක්, වියදම් අඩුවීමක් වගේම ලෝකය පුරා එවන් රැකියාවලට පුහුණු ශ්‍රමිකයන් සපයන ලෝක ප්‍රසිද්ධ ආයතනයක් වෙන්න තිබ්බා. අඩුමට්ටමකින් පවත්වාගෙන ගිය ජර්මන් ටෙක් ආයතනයට අමතරව  ශිල්පීන් පුහුණු කිරීම පැත්තෙන් ඔවුන් තෝරාගත්තේ රියැදුරන් පුහුණු කිරීම විතරයි.


ඔවුන් ප්‍රවාහණය යන වචනය බස් යොදාගෙන මඟීන් ප්‍රවාහණය කිරීමට සීමා නොවුනානම් ඛනිජ තෙල් සංස්ථාව, ආහාර දෙපාර්තමේන්තුව, වගේ විශාල වාහන ප්‍රමාණයක් අයිති කරගෙන නඩත්තු කර රජයේ ආයතන වලට ප්‍රවාහණ සේවා සපයන ආයතනයක් වෙන්න තිබුණා. එම සංස්ථා වලට ලොරි සහ බවුසර් මඟින් ප්‍රවාහණ සේවා සපයන්නෙකු (Outsourcing Company) වුණානම් එම සේවා අඩු මිලකට සපයන්නත්, වෙන වෙනම නඩත්තු සේවා, අළුත්වැඩියා සේවා ලබා ගන්න එම සංස්ථා වලට ගිය වියදම බොහෝ ලෙස ඉතිරි කරන්නත් ලංගම ඉතා ලාභ දායී ප්‍රවාහණ සේවාවක් කරන්නත් ඉඩ තිබුණා. ඊට අමතරව පෞද්ගලික සමාගම් වලට, වෙලඳුන්ට, සංචාරක ක්ෂේත්‍රයේ සමාගම් වලට, විවිධ ප්‍රදේශවල නිශ්පාදනය කරන නිශ්පාදන සමාගම් වලට, තේවතු වලට, සිමෙන්ති ප්‍රවාහණය කරන්නන්ට විශ්වාසදායක ප්‍රවාහණ සේවා සපයන්නෙකු වුනානම් අද රට ගෙන්වා ඇති විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ප්‍රමාණය අඩු කරගන්න තිබුණා. කරන්න තිබුණේ එවන් වාහන ලංගම මඟින් ලබාගෙන එම සේවා අඩුමිලකට සැපයීමයි.

ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ඔබ දන්නවා. ඇත්තටම ලංගම වගේ සමාගමක් එලවලු සහ මාළු ගබඩා කල හැකි ශීතාගාර සහ ශීතකරණ සහිත වාහන පද්ධතියක් ඇතිකලානම් එමගින් විශාල ආදායමක් වගේම රටේ ආහර සංරක්ෂණයට විශාල සේවයක් කරන්න තිබුණා. ඒක යන Logistics කර්මාන්තයට අයිති දෙයක් කියල ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් එතනදිත් වෙන්නේ එළවලු නිශ්පාදකයා සහ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්නන් සහ පාරිභෝගිකයා අතර ප්‍රවාහණයක්. එම නිෂාපදන සිදුකරන ප්‍රදේශයේ ශීතාගාරයකට එම භණ්ඩ ලබාගෙන කොළඹ හෝ එම භාණ්ඩ බෙදාහරින හෝ අපනයනය කරන අය සිටින පළාතක ශීතාගාරයකට ගෙනවිත් අදාල පුද්ගලයාට එය භාරදීම ප්‍රවාහණයක් පමණයි. නමුත් ශීතාගර අයිතිය තමනට තබා ගැනීමන් එම ප්‍රවාහණ කර්මාන්තයේ එක්තරා මට්ටමක ඒකාධිකාරයක් ලබා ගන්න තිබුණා.

පෞද්ගලික බස් රථ හඳුන්වා දුන් අවස්ථාවේ ලංගමට විදේශ සමාගමක් සමඟ බස් රථ ලංකාවේ නිශ්පාදනයට එන්න තිබුණා. එහෙම කලානම් පෞද්ගලික බස් රථ ධාවකයින්ට ලංකාව පුරා ඇති ඩිපෝ ගරාජ වලින් සේවාව ලබා ගත හැකි බස් රථ වර්ගයක් විකිණීමෙන් සහ සේවා සැපයීමෙන් ඔවුන්ට විශාල ආදායමක් ලබා ගන්න තිබුණා.


ගමනාගමනය යන වචනයේ තේරුම භාණ්ඩ ප්‍රවාහණය හෝ ප්‍රාවහණ ක්ශේත්‍රයේ අධ්‍යාපනය ලබා දීම නෙවෙයි කියල අර්ථකථනය කලත් මඟී ප්‍රවාහණය කියන එකට කුළී රථ, සංචාරකයින් ගෙන යන රථ, කාර් රථ වගේ දේවල් අයිති වෙනවා. ඒවගේම හෙලිකොප්ටර්, බෝට්ටු සේවා වගේ දේවලුත් අයිති වෙනවා. එහෙම හිතනකොට ලංගම තමන්ගේ තිබුණ සන්නාමය, රටපුරා විහිදුණු  පහසුකම්,වගේ දේවල් බස් කර්මාන්තයකට පමණක් සීමා කිරීමෙන් ලංකාවේ විශාල  සේවාවන් සපයන, විශාල ප්‍රාමණයකට රැකියා සපයන, චීනයේ චයිනා හාබර් වගේ සමාගම වෙන්න තිබුණ අවස්ථාව මඟ හැරිය කියන එක පැහැදිලි වෙනවා ඇති.  එහෙම නොවී CTB කියන්නේ සිලෝන් ටකරන් බස් කියන අර්ථකථනය මතම ක්‍රියාත්මක වීමෙන් තමය් අද තියෙන ලංගම අපිට තියෙන්නෙ.

ඒ කොහොම වෙතත්, සමාගමකට උපායමාර්ගීය කළමණාකරණයේ ඇති වටිනාකම ඔබට වැටහෙනවනම් මගේ උත්සාහය සාර්ථකයි.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

24 comments:

  1. ඔබ කියන උපායමාර්ගීය කළමණාකරණයේ ඇති වටිනාකම තේරුම් ගන්න පුළුවන් දේශපාලඥයන් හා ඉන්න අයටත් දැනුමක් නැති නිසා වෙන්න ඇති තාමත් එකතැන පල්වෙමින් ඉදිරි දැක්මක් නැතිව ලංගමය දුවන්නේ. තව එකක් කියන්න ඔනේ. ජර්මන් ටෙක් නැත්නම් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පිහිටුවේ ලංගමයට අවශ්‍යය පුහුණු ශ‍්‍රමිකයින් ලබාගන්න තමයි. එත් ඒ පරමාර්ථයෙන් බැහැරවෙලා එකෙන් පිටවෙන සහතිකලත් පුහුණු ශ‍්‍රමිකයින් ලංගමයට බදවාගත්තේ නෑ. බදවාගත්තත් ගත්තේ සීමිත ගනනක් පමනයි. දේශපාලුවන්ගේ රැුකියා දෙන ස්ථානයක් බවට පත්කරපු නිසා මෙලෝ දෙයක් නොදන්නා මිනිස් ශරිර විතරක් ලංගමයේ ඩිපෝවල හිටියා. නුගත් මිනිස්සු බොහෝමයක් නිසා ලංගමයේ තත්වයත් බාලවුනා. ඒ නිසා ජර්මන් ටෙක් එකෙන් එලියට ආපු ශ‍්‍රමිකයින් බොහෝමයක් ලංගමයට බැදෙන්නේ නැතිව ඊට වඩා හොද සමාජ තත්වයක් තියෙන පිලිගැනිමක් ඇති රැුකියා ස්ථානයන් වලට ගියා උදාහරන වශයෙන් ඔස්ටෙ‍්‍රිලියාව කැනඩාව හා මැදපෙරදිග රටවල් වලටත් එයාර්ලංකා මැලිබන් ඩොක්යාඩ් ටුබැකෝ යුනිලිවර් වාගේ හොද වැටුප් ලැබෙන සමාගම් වලටත් ගියා. ලංගමේ තත්වය එන්න එන්නම කඩා වැටිමත් මේකට බල පෑවා. දැන් ජර්මන් ටෙක් එක ලංගමයට අයිති නෑ. මේක ලියන මාත් ආදි ජර්මානුවෙක් හා ලංගමේ ස්වර්ණ යුගයේ සේවය කල පියෙකුගේ පුතෙක් වශයෙන් ලංගමයට ආදරය කරන්නෙක්.

    ReplyDelete
    Replies
    1. අසංග බොහොම ස්තූතියි. අපි දේශපාලනයට ඇඟිල්ල දික් කරන තාක් අපිට මේකෙන් එළියට එන්න බැහැ. එහෙත් වෘත්තීය සමිති එහෙම නැත්නම් අනිකුත් සේවකයන්ටත් තමන් සහ දරුපවුල රකින ආයතනයක් දියුණු කරන්න මූලිකත්වය ගන්න පුළුවන්. එහෙම එන අදහස් සභාපතිගෙන් සභාපතිට, ඇමතිගෙන් ඇමතිට වෙනස් කරන්නත් බැරිවෙනවා. පඩිය, අතිකාල, වගේ දේවල් පමණක් ගැන නොව තම ආයතනයට ආදයම් වැඩි කරගන්න, ලාභ වැඩි කරගන්න උත්සාහ කරන සේවකයන් නිසා දියුණුවුන සමාගම් ලෝකයේ තියෙනවා. මේක කියවන අය තමන්ගේ අයතන වලින් සුළු වැඩිපුර වියදමඉන් කරන්න පුළුවන් අනිකුත් දේවල් ගැන හිතන්න යොමුවෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔන්න කරනවනම් වැඩ. එදා ඉදන්ම, ඉදිරි දැක්මක් ඇති දේශපාලන නායකත්වයක් noතිබුන එකේ විපාක තමා ඔය..

    ReplyDelete
    Replies
    1. නෑ සෙන්නා. මේවගේ අදහස් එන්න ඕන ඇතුලෙන්ම. සේවකයකින් එකතුවෙලා කරන ඉල්ලීම් වලින්. සේවකයින්ගේ අදහස් තමයි ඔවුන් බොක්කෙන්ම ක්‍රියාත්මක කරන්නේ. උඩින් එන දේවල් කරන්නේ නොකර බැරිකමට.

      Delete
  4. කිසිම අවබෝධයක් නෑ වගේනේ ආගමික පුනරුධය වෙනුවෙන් ඒකාලේ ලංගමයෙන් සිදුකල සේවය ගැන, ලංකාවේ ලොකුම පොසොන් තොරන් ගැහුවේ ලංගමයෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක බල්ලගෙ වැඩේ බූරුව කිරීමක් නෙ. හෙහ් හෙහ්. ආගමික පුනරුදය ගැන උනන්දු නම් ආගමික පූජකවරු , ස්වාමීන් වහන්සේලා 1000 ක් පමණ රස්සාවට ගන්නත් පුළුවන් වෙයි.

      Delete
  5. එදා වේල ගැන විතරක් ඉන්න මිනිස්සු ඉන්නකම් මොනම ආයතනයක්වත් ඉස්සරහට ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Ow. ඔවුන්ට නොවැටහෙන දේ තමයි වෙනත් සේවා සපයාගෙන ගියානම් ඔවුන්ටත් එදා වේල හොඳ වෙනවා. අර ඩිප්ලෝම, උපාධි දෙක කරමය කලානම් ඔවුන්ගේ දරුවන්ටත් හොඳ වෙනවා.

      Delete
  6. නියම ලිපියක්....ආයතන කලමනාකරුවෙකුට වැදගත් ලිපියක්

    ReplyDelete
  7. ලංගමයට වෘත්තීය පුහුණු ආයතනයක් තිබීමේ අවශ්‍යතාවය ගැන ඔබගේ ලිපියේ තිබුන සඳහනට "කොලොම්පුරේ" පිළිතුරු ලියා තියන නිසා මම ඒ ගැන වැඩි යමක් කියන්නේ නැහැ. නමුත් ජර්මන් ටෙක් එකෙන් වසරකට 150-200 පිරිසක් හා වේරහැරින්/ බොරැල්ලෙන් (ඒවායේත් ලංගම පුහුණු ආයතන තිබුනා)තව පිරිසක් ලංගමයට බැඳෙන කොට සෑම මැතිවරණයකින්ම පසුව දහස් ගණනක් ""පාප්ප බාල්දි උස්සපු "" දේශපාලන හෙංචයියන් ලංගමයට ඇතුල් කිරීමත්, බෝල්ට් එකක හා නට් එකක වෙනස ඔවුන් නොදන්නවා උනත් ඔවුනට තිබුන දේශපාලන බලය නිසා ඔවුන් "පඩි ගැනීම" හැර වෙන රාජකාරියක් නොකිරීම ලංගමය වලපල්ලට ගෙන යාමට හේතු උනා.
    ලංගමයෙන් පිට ආයතන වල වාහන නඩත්තුව, අලුත්වැඩියාව ලංගමයට අයිති කර්මාන්ත ශාලා වලදී සිදු කල හැකිව තිබුන බව ඔබ සඳහන් කර තිබුනා. ඇත්තටම ඒ ආකාරයේ කටයුතු 80 දශකයේ අග දක්වාම සිදු උනා. එයින් ලංගමය අති විශාල ආදායමක් ලැබුවා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ හා ඊට සම්බන්ධ ආයතන වල වාහන, පොලිසියේ වාහන , හමුදාවේ වාහන වේරහැරදී ත් හමුදාවේ වාහන පමණක් නොව යුධ උපකරණ පවා මැදවච්චියේදීත් අලුත් වැඩියා කළා. මේ ලැයිස්තුවට තව බොහෝ රාජ්‍ය ආයතන හා ලංගම කර්මාන්ත ශාලා එකතු විය යුතුයි. අවාසනාවට, ඒවාට එම රාජ්‍ය ආයතන වලම ප්‍රවාහන හෝ ඉංජිනේරු අංශ වල ලොකු ලොක්කන්ගෙන් ලැබුනේ සහයෝගයක් නොව, විරෝධයකුයි. ඒකට හේතුව එම අලුත්වැඩියාවන් 100% වගකීමක් ඇතුව ඉතාම ඉහල ප්‍රමිතියකට ලංගමය මගින් සිදු කලත් එයින් එම ආයතන වල ප්‍රවාහන අංශය බාර නිලධාරීන්ට සතයකවත් කොමිස් මුදලක් නොලැබීමත්, එම අලුත්වැඩියා ව පුද්ගලික ආයතනකින් කරගත්තොත් අඩුම වශයෙන් 10% ඔවුනට අත යටින් ලැබෙන නිසාත්ය.
    මාගේ මතකය නිවැරදි නම් කිසිම ඉංජිනේරු දැනුමක් නැති දොස්තර ගාමිණී විජේසේකර හා රාජ්‍ය පරිපාලනයේ අමර හේවා මද්දුම මහතුන්(අනිල් මුණසිංහ මහතා හා සමාන කරනවා නොවේ ) ලංගමය ගොඩ ගැනීමට යම් උත්සාහයක් දැරුවා . එයිනුත් දොස්තර විජේසේකර මහතා එකල මසක පාඩුව ලක්ෂ 16 සිට 9 දක්වා අඩු කර ගැනීමට(මතකය නිවැරදි නම්) සමත් වූ බවත්, පළාත් නමයකට කඩා ඒ ඒ එක් පලාතට සභාපතිවරයෙක්, සාමාන්‍යාධිකාරවරයෙක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයක වියදම ලංගමයට ඔරොත්තු නොදෙන බවත්, එසේ කොටස් වලට කැඩීමට පෙර ලංගමය මෙතරම් පාඩු නොලැබූ බවත් කරුණු කාරනා සහිතව රජයට පෙන්වා දී එම පළාත් පරිපාලනය අහෝසි කර පෙර පරිදි පරිපාලනය නාරාහේන්පිට මුලස්තානයෙන් පමණක් සිදු කිරීමට අවසර පැතුවා. නමුත් එවක ප්‍රවාහන ඇමති වූ මොහොමඩ් මහතාගේ මුස්ලිම් (මා මෙතන ජාතිවාදියෙක් ලෙස නොසලකන්න, ඇත්ත සිද්ධිය ඒ හැටියට ලියමි) බැටෑලියන් එකක්ම එකල පළාත් නමයේම ඉහලම තනතුරු දරමින් සිටීමේ හේතුවෙන්, ලංගමය රැකගැනීම නොව ඔහුගේ ජාතිකයන්ගේ වරප්‍රසාදලාභී රැකියා රැකගැනීම උක්ත උනා. ඒ අනුව මොහොමඩ් මහතාගේ නිර්දේශය අනුව ජේ ආර් විසින් විජේසේකර මහතාව ලංගමයෙන් ඉවත් කර විදේශ රැකියා කාර්යාංශයට පත් කළා. The rest is history .

    ReplyDelete
    Replies
    1. සෑම්, බොහොම ස්තූතියි. වාහන අතිවිශාල ගණනක් පෞද්ගලික සමාගම්, පෞද්ගලික වෙලඳුන්, සහ සාමාන්‍ය මිනිසුන් අතර තියෙනවා. ලංගම සතුව පහසුකම් සහිත විශාල ගරාජ සංඛ්‍යාවක් සහ පුහුණු ශ්‍රමිකයින් සිටිනවා. ඒ නිසා රජයේ වාහන අළුත්වැඩියා නොලැබුණත් ලංගම සන්නාමය යොදාගෙන අළුත් වැඩියා සේවා ව්‍යාපාරයක් කරන්න පුළුවන්.

      ඒවගේම රජයේ ආයතන සහයෝගය නොලැබුණත් ලොරි, සහ අනිකුත් විශේශිත භාණ්ඩ/මඟී ප්‍රවාහණ වාහන යොදාගෙන පෞද්ගලික සමාගම් වලට සේවා සපයන්නෙකු වෙන්න පුළුවන්.

      මේවගේ දෙයක් සාර්ථක වෙන්න නම් ඒ අදහස් සේවකයින් අතරින්ම එන්න ඕන. වෘත්තීය සංගම් වැනි සේවක එකමුතු වලට තමන්ගේ පොකට්ටුව ගැන කථා කරන අතර එක දවසක් සමාගම තව ව්‍යාප්ත කරන්නෙ කොහොමද කියල හිතන්න පුළුවන් නේද?

      නායක්ත්වයට බැනීම පොදු දෙයක්. හැම සේවයකාටම තමන් ගේ දරු පවුල් රක්ෂා කරන ආයතනය ගැන ආදරයක් කැක්කුමක් තියෙනවනම් මේව කරන එක සුළුදේවල්.

      Delete
  8. තමන් වැඩකරන ආයතනය ගැන, තමන්ගෙ රස්සාව ගැන නොහිතන සේවකයො ඉන්න තැනක ඔය වගේ දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. එහෙම හැඟීමක් සේවකයෙකුට ඇතිවෙන්නෙ නියමිත සුදුසුකම් මත තමන් ඒ ආයතනයට බඳවාගැනුනොත් මිසක් පන්දං අල්ලල සේවයට බැඳීමෙන් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Praසන්ன. සුදුසුකම් වලට වඩා වටින්නේ ආකල්පය. මෙපමන සේවක සංඛ්‍යාවක් සිටින තැනක එක් කෙනෙකුට මෙවන් දේවලට නායකත්වය දෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් සහයෝගය දෙයි.

      Delete
  9. // ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා.// මම කල්පනා කලේ මම ආණ්ඩුව ගත්තම ඉයන්ට ප්‍රවාහනය භාර දෙනවද නැත්නම් සමුපකාරේ භර දෙනවද කියල. - හොඳ ලිපියක් මහත්මයා

    ReplyDelete
  10. ලංගමය විතරක් නෙමේ ඕනෑම රජයේ ආයතනයක් නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අනවශ්‍ය සේවක අතිරික්තය.රජය කියන කම්පනිය රටේ හැමෝටම රස්සා දීලා දුවවන්න හදන නිසා වෙන්නේ රට කඩා වැටීමයි.ලංගමයවිතරක් නෙමේ ගොඩක් රජයේ ආයතන හරි ලාභයක් නොලබන්න ප්‍රධානම හේතුවක් වෙන්නෙත් එකමයි.

    ReplyDelete
  11. තට්ට මහත්තයගෙ පෝස්ට් එකට මං ලිව්වා බස් එක දෙකට වැඩිය බස් සමාගම් තියනවනම් හොඳයි කියල. ගොවිතැනටත් අදාලයි. ගොවියෝ එකතුවෙලා කරනව නම් හොඳයි නේද?

    ReplyDelete
  12. මේ අලකලංචිමාලයේ මේ ලිපියට මා දැක්වූ අදහස :

    අපට නැත්තෙ පෙර දැක්මක්. එකිනෙක සමීප වූ සේවාවන් ඒකාබද්ධ කරල සම්පත් වලින් උපරිම පල ගන්න පුළුවන් බව තේරෙන මොළ සුදුසු තැන නැතිවීම ගැටළුවක්. නුසුදුසු දේසපාලු අලයන් එම තැන ගත් විට අවැසි දේ සිදු නොවන එක පුදුමයක් නෙමෙයි.

    අපේ රටවල රැකියා උත්පාදනය කියන්නෙ අනවශ්‍ය විදිහට හෙන්චයියන් රිංගවීමෙන් ඔලු ගණන ඉහළ දැමීම මිස තිරසාරව දැරිය හැකි ලෙස නව අවස්ථා ඇතිකිරීම නෙමෙයි

    ReplyDelete
  13. මම කියන්න හිටපු ගොඩක් දේවල් සෑම් සහ අසංග කියලා තියනවා. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඉගෙන ගත්ත සහ කෙටිකලක් ලංගම වැඩ කරපු කෙනෙක් හැටියට මොනවා හරි කියන එක හොඳයි කියලා හිතනවා. ලංගම කෑවේ දේසපාලුවො .සෑම් කියල තියනවා වගේ පෝස්ටර් ගහපු කම්කරුවා ජන්දෙන් පස්සේ ෆෝමන් හැටියට උසස්වීමක් අරගෙන ඇවිත් ඩිපෝ එකේ ඉන්න ලොක්කා වෙන්න යනවා.එතකොට එතකල් වැඩ කරපු මිනිහටත් වැඩ කිරීම එපා වෙනවා. 77 ජන්දෙන් පස්සේ ඔය වගේ පන්දම් අල්ලලා ෆෝමන් වෙච්ච එවුන්ට කිව්වේ කොල ෆෝමන්ලා කියලා. මෙලෝ දෙයක් දන්නේ නැති එවුන්ට පත්වීම් දෙනවා පුහුනු කාර්මික කියලා.උන් අත ගහන ඒවා කනවා. ඒවයෙ පාඩුවත් එකතු වෙනවා.වැඩ කර පඩි ගන්න එවුන් ඕන තරම් හිටියා.ඔක්කොම හෙන්චයියෝ.මොහොමඩ්ගේ කාලේ තමයි ලංගම විනාස වුනේ. වේරහැර ලංගම මධ්‍යම වැඩපල විකුනලා වහල දාපු කරපු අපරාදෙ මිල කරන්න බෑ. ඕන කමක් තියනවානම් ඉයන් ඕබේ යෝජනා තවමත් ක්‍රියාත්මක කරන්න පුලුවන්.කාටද එහෙම ඕනකමක් තියෙන්නෙ? අපි පොඩි කාලේ ලංගම විතරක් තිබුන කාලේ සලස්වපු සේවය දැන් කෝ?

    ඔබ ජර්මන් ටෙක් එක ගැන සඳහන් කරල තියන නිසා එ ගැනත් යමක් කියන්නම්. ඇත්තටම ටෙක් එක පිහි‍ටුවීමේ ප්‍රධාන අරමුන ලංගමට අවශය කරන කාර්මිකයින් පුහුනු කිරීම.දැන් ක‍ටුබැද්දේ තියන ටෙක් එක ඩිසයින් කරල තිබුනේ එක අවුරුද්දකට 150 ක් ට .එතකොට අවුරුදු හතරේ ලමයි එක්ක 600 ඉන්නවා.ඔය 600න් අවසාන අවුරුද්දේ අය ඉන්නේ බොහෝ වෙලාවට ඒ අයව On the job training වලට අනුයුක්ත කරල තිබුන ඩිපෝ වල. ඔය 150 ටික ටික වැඩි කරලා දැ 600 ක් ගන්නවා එක අවුරුද්දක .නමුත පහසුකම් ඒ තරම් වැඩි වෙලා නෑ. ඒ නිසා යම් යම් ප්‍රශ්න තියනවා.

    මට පේන හැටියට ටෙක් එක ලංගමෙන් අයින් කරපු එක හොඳ දෙයක්. ටෙක් එක නවීන තාක්ශනය සමග ඉදිරියට යා යුතුයි. එහෙම නැතිනම් ඉගෙන ගන්න ලමයින්ගේ දැනීම යාවත්කාලීන වෙන්නේ නෑ. ලංගමට ඒ දේවල් කරන්න සල්ලි නෑ. නමුත් දැන් තියන අමාත්‍යංශය යටතේ නවීන තාක්ශනික උපකරන, ඉගැන්වීමට අවශය උපකරන, Most modern tarining modules ගන්න ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ නිසා ඉගෙන ගන්න ලමයි නවීන තාක්ශනයට බය නෑ. ඒ වගේම සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට අද ලෝකයේ තාක්ශනයට අවශය කරන පාටමාලා පටන් අරගෙනතියනවා උදා Mechatronics and Robotics. ආදි සිසුන් විශේශයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉන්න අය ඒ අය ලබාගන්නා නව දැනීම ටෙක් එකේ ගුරුවරුන්ට ලබා දෙනවා.

    කියන්න සතු‍ටුම දේ මේකයි. ඉගෙන ගන්න ලමයි කිසිම කෙනෙක් දැන් ලංගමට යන්නේ නෑ මම හිතන්නේ. ඒ ලමයින්ට වඩා හොඳ වැ‍ටුපකට හොඳ ‍රැකියා ලබාගන්න පුලුවන් වෙනත් ආයතන වල. දැන් බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතන වලින් ඉල්ලීම් කරනවා මේ අවුරුද්දේ පිටවෙන කන්ඩායමෙන් අපට මේ මේ ප්‍රමානයක් ඕන කියලා.ඒ කියන්නේ ලමයි ‍රැකියා හොයනවා වෙනුවට ‍රැකියා ඒ ලමයින්ව හොයාගෙන එනවා.

    මේක කිව්වට තරහා වෙන්න එපා කවුරුවත් .ජර්මන් ටෙක් එකේ ඉගෙනගත්ත ලමයි කවදාවත් පෙලපාලි යනවා දැකලා තියනවද අපිට ‍රැකියා ලබා දියව් කියලා?

    ReplyDelete
  14. ඉතා හොඳ ලිපියක් ඉයන්.
    ඔය 'ලංකා ටකරන් බස්' කියන අන්වර්ථ නාමය ආවෙත්, ලංගමය පටන් ගත් කාලෙම බස් රතු පාටින් පේන්ට් නොකර තහඩු පාටටම ('ටකරන් පාටටම') තිබුණු නිසයි.
    ලංඟම කඩාවැටීමට බලපා ඇති හේතු රාශියක් තිබෙනවා. ඒ සියල්ලම වාගේ කාගේත් අදහස් වලදී කියවිලා තිබෙනවා. දේශපාලන බලපෑම්, කළමනාකරණ දුර්වලතා, ඉහල සිටින බොහෝ අය තාක්ෂණය ගැන නොදැනීම, සේවක අතිරික්තය, ලැබියයුතු ආදායමෙන් කොටසක් නොලැබී යාමට හැකි මං අසුරා නොතිබීම, නියමිත වෙලාවට නඩත්තු නොකිරීම වැනි සුව කළ හැකි රෝග කිහිපයකින් ලංගමය පෙළෙනවා. සේවකයින්ගේ ආකල්ප වෙනස් නොකර මේවා සුව කරන්නට බැහැ. ඉහල සිටින බොහෝ අයට තමන්ගේ දුර්වලතා නිසා සේවක ආකල්ප යථා තත්ත්වයට පත් කරන්නටත් බැහැ. පෞද්ගලික අංශයත් සමග 'සුහද' තරඟකාරී බවක් ඇති කිරීමට ගතහැකි පියවර කොතෙකුත් තිබෙනවා. ඒ උනත් එවැනි නිර්භීත පියවර ගෙන කටයුතු කිරීමට එඩිතර දක්ෂයින් අද අපට නොමැති බවද, එසේ සිටින අයට වුවද පිටකොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීමට ශක්තියක් නැති බවද නොවේද විශාලතම ගැටලුව ?

    ReplyDelete
  15. ලන්ගමේ දැන් තියෙන බස් ටික ඔක්කොම අයින් කරලා තියෙන අනිත් සම්පත් ටික, ඉඩම්, යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි හා පුහුණු ශ්‍රමිකයින් විදියට ගත්තම මහා හුඟයි. හරියට කළමනාකරණය කරලා වැඩක් කරන මිනිහෙකුට දෙනවනම් අදටත් ලංගම ගොඩ දාන්න පුළුවන්..කතා දෙකක් නෑ.

    එළකිරි පොස්ට් එක!

    ReplyDelete
  16. ඉයන්තුමා මීලඟ ජනාධිපති කරමු. ජයවේවා!

    ReplyDelete
  17. ඉයන් ඔබේ ලිපිය හැම පැත්තක්ම ආවරණය කරනවා . ලංගමට තිබු සම්පත් සහ ශක්‍යතාව නැතිකලේ දේශපාලන බලයෙන් ආ ඒවායේ අගය නොදත් අයයි . මම ලෝකයේ තවත් කොනක ඉන්න නිසා මට ගොඩක් දේ පේනවා . ඒත් මම ඒවා ලිව්වොත් මට එන්න පුළුවන් ප්‍රතිචාර අතරේ ඉස්සරහින්ම තියේවි . ලංකාවෙන් ගිහින් මහ ලොකුවට කථා කරනවා කියල . ලංකාවේ දක්ෂතා සහ සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීමයි ගැටළුව . සම්පත් ආකරයක් වුණු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කොච්චර වැඩ කරන්න පුලුවන්ද ?

    ReplyDelete