Sunday, November 16, 2025

ඉල් (ill) මහ විරුවන්

පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා



පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන්  මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.

එහි දැමූ මගේ කමෙන්ට් එක 


පැරා මේ ලිපිය මාව 88/89 කාලයට අරගෙන ගියා. ඒ කාලයේ කෙලින්ම යූඑන්පී දේශපාලනයට සම්බන්ධවී සිටි නිසා ඔබ කියන ඛේදවාචකය අනිත් පැත්තෙන් අත්වින්දා. අදටත් සතුටුවිය හැකි එකම දෙය මම සම්බන්ධ වූ ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරීන් ගැන දැනෙගෙන සිටියත් මම සම්බන්ධ කණ්ඩායම ඒ එක් කෙනෙක් වත් හමුදාවට අල්ලා දීමට ක්‍රියා කලේ නැහැ. ඒනිසා ඔවුන්ට අප කණ්ඩායම ගැන යම් පැහැදීමක් තිබුණා කියා මම විස්වාශ කලා. ඒත් මම සම්බන්ධවී සිටි දේශපාලකයා හදිස්සියෙම ජවිපෙ විසින් මරා දැම්මා. ඉන් පසුව මා දේශපාලනිකව ආශ්‍රය කල කීප දෙනෙක්ටත් ඒ ඉරණම අත්වුණා. ඒ අයගේ පවුල් වල අයත් නොවිඳිනා දුක් වින්දා. ජවිපෙ ක්‍රියාකාරීන් සහ අනිත් කඳවුරේ අය තම තමන්ගේ කඳවුරු වලට සම්බන්ධ වුනේ කැමැත්තෙන්මයි. නමුත් මගේ දෙමව්පියන් ඇතුළු දෙපැත්තේම අයගේ දෙමව්පියන් නාහෙට නාහන දරුවන් නිසා විඳි දුක් අපමණයි. සමහර දිනවල රෑ 4ට මම ගෙදර එනකන් මගේ දෙමව්පියන් කන්නෙත් නැහැ. අද දරුවන් සිටින මට  අදමෙන් ජංගම දුරකථන නොතිබූ යුගයක අපි ගෙදර එනතෙක් ඇහින් දකින තෙක් දිනපතාම ඔවුන් විඳි දුක පැහැදිලිවම තේරෙනවා. ඔබගේ පියාට නිවන් සුව. 



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.





Sunday, November 9, 2025

විශ්මයජනක අයවැය

රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා



කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.

ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.

ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි. 

රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.

1. රට තුල උසස් අධ්‍යාපන අවස්ථා හෝ ආයතන මදි කමින් ඇතිවී ඇති ප්‍රශ්ණ. එනම් තාක්ෂණික උගතුන් රට තුල බිහිවීම සීමා සහිත බැවින් තාක්ෂණික ශ්‍රමය අවශ්‍ය වන අයෝජන රටට නොපැමිණීම. එම අවස්ථා නොමැති කමින් ත්‍රිරෝධ රථ ව්‍යාපාර සහ මැද පෙරදිග රැකියා වල නාස්තිවන තරුණ ජීවිත.

2. ඉහත හේතුව නිසාම වසරක් පාසා උසස් අධ්‍යාපනය සඳහා රටින් පිටවන ඩොලර් බිලියනයට අධික විදේශ විනිමය ප්‍රමාණය සහ බංග්ලදේශය වැනි කලින් නොදියුණු රටවලුත් උසස් අධ්‍යාපනට විදේශ සිසුන් ගෙන්වාගෙන විදේශ විනිමය ඉපයීම මෙහි ඇති කිරීමට  නොහැකිවීම. 

3. ඉහත ප්‍රශ්ණය නිසාම මුදල් ඇති අයගේ දරුවන් උසස් අධ්‍යාපන ලබා ගැනීම සහ දුප්පතුන්ගේ ඊලඟ පරම්පරාවත් දුප්පත් වීම. බොහෝ රටවල මෙන් අධ්‍යාපන ආයතන සහ පවුලේ ආදායම අනුව ලබා දිය හැකි සිසුණය ක්‍රමයක් යෝජනා කල හැකිව තිබුණා.

4. රජයේ වියදම් වසරින් වසර වැඩිවීම සහ රජයේ වියදම් අඩුකිරීමට සැලසුමක් හෝ අවශ්‍යතාවයක් නොමැතිකම.

Friday, November 7, 2025

ජනාධිපතිතුමා රටට කර ඇති සේවය




අද අය වැය කථාවෙදී මුදල් ඇමති සහ ජනාධිපති තුමා කියා සිටියා බංකොලොත් රටක් ගොඩ ගැනීමට අඩුම වශයෙන් වසර 10 ක් ගත වෙන බවත් එහෙත් ඔහුට එය මාස දොලහකින් කල හැකි වූ බවත්. මේ අදහස ගැන ෆේස්බුක් එකේ කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනා. ඒවායින්  කීප දෙනෙක්ම කියා තිබුනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ දියුණුවට විශාල වැඩ කොටසක් කර ඇති බවත්, එයින් රට බංකොලොත් බාවයෙන් මුදා ගැනීම ගැන පමණක් සඳහන් කිරීම ඔහුගේ නිහතමානිත්වය පිලිඹිබු කරන බවත්ය. ඔවුන් එම පෝස්ට් වල දක්වා ඇති පරිදි ගරු අනුර කුමාර ජනාධිපති තුමා රටට කර ඇති කාර්‍යභාර්ය අඩංගු ලැයිස්තුව මෙහෙමලු.


1) ලංකාවට නිදහස ලබා දුන්නේ මෙතුමා.
2) විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙත් මෙතුමා
3) නිදහස් අධ්යාපනය ලබා දුන්නේත් මෙතුමා
4) නිදහස් සෞඛ්ය සේවා ලබා දුන්නේත් මෙතුමා
5) වෘත්තීය කාර්මික විද්යාල හඳුන්වා දුන්නේ මෙතුමා.
6) අපේ රටේ විශ්වවිද්යාල ප්රමාණය වැඩිකර දුන්නේ මෙතුමා.
7) පිරිවෙන අධ්යාපනය ක්රමය හඳුන්වා දුන්නේ මෙතුමා.
😎 බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කිරීම මේතුමා.
9) මත්තල ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කරේ මෙතුමා.
10) කොළඹ සහ මත්තල වරාය නිර්මාණය කිරීම මේතුමා.
11). සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්යා පීඨය නිර්මාණය කළේ මෙතුමා.
12) මහපොළ ශිෂ්යත්ව වැඩසටහන නිර්මාණය කෙරෙ මෙතුමා.
13) STF ( පොලිස් විශේෂ බලකාය) නිර්මාණය කළේත් මෙතුමා.
14) විවෘත විශ්වවිද්යාලය නිර්මාණය කළේත් මෙතුමා.
15) මහවැලි ව්යාපාරය නිර්මාණය කිරීම මෙතුමා .
16) ගල්ඔය ව්යාපාරය නිර්මාණය කළෙත් මෙතුමා.
17) වික්ටෝරියා / මහවැලි/ රන්දෙණිගල/ රන්ටැඹේ/ උඩවලව/වෙහෙරගල/ මොරගහකන්ද/ සේනානායක සමුද්රය/ වැනි මහා ජලාශ ව්යාපෘති නිර්මාණය කරේ මෙතුමා.
18) 30 අවුරුදු කිරුළු යුද්ධය නිමා කෙරෙත් මෙතුමා.
19) අධිවේග නිර්මාණ මෙතුමාගේමයි.
20) ත්රිපිටකය ලෝක උරුමයක් කෙරේ මෙතුමා.
21) සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් කෙරේ මෙතුමා.
22). 1818 ජාතික නිදහස් සටනේ අපගේ මුතුන් මිත්තන් ජාතික වීරයන් වශයෙන් ගැසට් පත්රයකින් නම් කෙරේ මෙතුමා.

Saturday, November 1, 2025

පක්ෂ වාසි නොතකා මත්ද්‍රව්‍ය භාවිතය අඩුකරමු





රටින් මත්ද්‍රව්‍ය නැති කිරීමට අළුත් වැඩ පිළිවෙලක් ගැන අසන්නට ලැබෙයි. බොහෝ රටවල මෙන්ම වැඩි කථාවක් යොමුවන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සහ බෙදා හරින්නන් ගැනය. වසර කීපයකට පෙර පිලිපීනයේ ගෙන්වන්නන් සහ පාවිච්චි කරන්නන් ඝාතනය කිරීමෙන් මෙම උවදුර නැති කිරීමට උත්සාහයක් ගන්න ලදී. එමෙන්ම සෑම දියුණු නොදියුණු රටකම මෙම උවදුර නැතිකිරීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම භාවිතා කරමින් පැවතුනත් ඒ කිසිම රටක එම උවදුර  සාර්ථක ලෙස පාලනය වීමක් දකින්නට නොලැබෙයි.

මගේ අදහස නම් මෙම උවදුර දීර්ඝ කාලීනව නැතිකිරීමට සාර්ථක ක්‍රමයක් තවමත් කිසිම රටක ක්‍රියාත්මක වී නොමැති බවය. බොහෝ රටවල මෙන් ලංකාවේද අද කථා කරන ක්‍රමයේ පාලක පක්ශයට ලකුණු දමා ගැනීම හැර විශාල වශයෙන් භාවිතය අඩු කිරීමක් ගැන උපායමාර්ගීක අධ්‍යයනයක් නැති බව මගේ හැඟීමයි.

එය පාලනය කිරීමට අවංක උවමනාවක් ඇත්නම් අවධානය යොමු කලයුතු වන්නේ සමාජයේ කොටස් දෙකක් එරෙහිය.

වඩාත් වැදගත් කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත නොකරන එහෙත් අනාගතයේ ඒවාට ගොදුරු විය හැකි අය වෙතයි. වයස 12-15 කාලයේ පාසැල් තුලදීම ඒ පිලිබඳව දැනුම ලබා දීම ඉතා පහසුවෙන් කල හැක. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනීම සහ දක්ශතා කිසිවක්ම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වීම එක ක්‍රමයකි. අනික නම සිසුන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය වලට පෙලඹීමට වැඩි ඉඩක් ඇති ඉගෙනීමට නොහැකියාව ඇති ලමුන්, දෙමව්පියන් ගෙන් අවශ්‍ය ආදරය නොලැබෙන ලමුන්, මානසික රෝග ලක්ෂණ පෙන්වන ලමුන් හදුනාගෙන සහ ඔවුන්ට අවශ්‍ය චිකිත්සාවන් ලබා දීමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය වලට පමණක් නොව අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවම කරගත හැක.