Friday, December 21, 2018

ඉන්දියාව සහ බහුතරය

මහින්ද සහ 'නීතීඥ' නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ

ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච සිද්ධි ගැන විවිධාකාර මත පළවෙලා තිබුණත් ඒකෙන් ඇත්තටම වුන දේ මට පේන විදිහට ලියන්න හිතුණා. ඒකට හේතුව වැඩි දෙනෙක් ගේ විග්‍රහ වල මේ සිද්ධීන් වලට යටින් තියෙන  geopolitics ගැන දක්වා   තිබෙන අඩු අවධානය.

කවුරු මොනව කිව්වත් ලංකාව වගේ ඉතා කුඩා, එමෙන්ම ඛනිජ තෙල් වැනි ලෝකයට වටිනා දේවල් නැති රටකට ලෝකයේ තනිවම ජීවත් වෙන්න බැහැ. සමහර අය දේශපාලන වේදිකාවල බටහිරට සිංහලෙන් බැන්නට, යුරෝපය, ඇමෙරිකාව, වගේ බටහිරට අවශ්‍ය නම් මාස දෙක තුනෙන් මේ රට ඉතියෝපියාවට එහා තත්ත්වයකට ඇද දාන එක සුලු දෙයක්. ඒකට එක හේතුවක් තමයි දැන් ඉතියෝපියාව  විශාල ලෙස දියුණුවෙමින් පැවතීම. තව වසර කීපෙකින් රටකට ඉතියෝපියාව වෙන් පල්ලෙහාට යන එක සුළු දෙයක් වෙයි.ඉතියෝපියාවේ ආශ්චර්‍යය ගැන නම් කියවන්නම වටිනවා. රටක් ගැන ආදරයක් තියෙන නායකයෙක් ලැබීම තමයි ඒකට හේතුව. ඒ අයගෙයි ලංකාව ආසියාවේ අච්චාරුව කරපු අයගෙයි වෙනස එතකොට වැටහෙයි.    

ලංකාව කරන නිශ්පාදන සියල්ලම වගේ මිලදී ගන්නේ යුරෝපය සහ ඇමෙරිකාව. 2015 වෙනස නොවී තව මාස කීපයක් ගියානම් ආර්ථික සම්භාධක වැටුනනම් අපිට ආදායමක් නැතිවෙනවා. ඕනනම් අපිව තව අවුරුදු කීපයක් චීනෙන් ණය අරගෙන අදින්න පුලුවන් වුණත්, ඉහත අපනයන වලට සම්බන්ධ රැකියා ඒ කියන්නේ තේ කර්මාන්තය, අපනයන මත්ස්‍ය කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය වගේ ඒවයේ නිරතවෙලා ඉන්න අයට රැකියා නොමැතිවීමෙන් රටේ විශාල ප්‍රශ්ණයක් ඇතිවෙන්න තිබුණා. ඊලඟට මුදල් අච්චු ගැසීමෙන් සහ අපනයන ආදායම් නැතිවීමෙන් මුගාබේගෙ සිම්බාබ්වේ එක තත්ත්වෙට වැටීමත්, term limits නැති නිසා මුගාබේ වගේම දශක ගණනක් හොර ඡන්ද වලින්ම  යැපෙන 'නායකයෙක්' සිටින අසමත් වූ දේශයක් වෙන්න ගොඩක් ඉඩ තිබුණ.

ජී.එස්.පී නැතිවීම නිසා අහිමි වෙච්ච රැකියා ප්‍රමාණය ලක්ෂයකට අධිකයි. ඇත්තටම බංගලාදේශය අපේ හිටපු ජනාධිපතිට ඉතා ලොකු ස්තූතියක් දිය යුතුයි. අපෙන් ගිලිහිච්ච ඇඟළුම් ඇණවුම් ඒ ගොල්ලන්ට ගියා. ඒ අයට වඩා ඉහල ප්‍රමිතියකින් ඇඟලුම් නිෂ්පාදනය කරපු නිසා කම්කරු වැටුප් වැඩි වුණත් මෙහෙ ආපු ගැණුම් කරුවො හිටිය. ලංකාවේ සමාගම් සහ සමහර ජේෂ්ඨ නිලධාරීන් මෙහෙ රැකියා නැති වෙනකොට එහෙ ගෙන්නගෙන ඔවුන් අද එම ප්‍රමිතීන් ලබා ගෙන තිබෙනවා. එම නිසා ජී.එස්.පී ආපහු ලැබුණත් ඉහල ප්‍රමිතීන් නිසා මෙහෙ ආව අය  දැන් මෙහේ එන්නෙ නැහැ. ඒ අය බංගලාදේශයෙන්ම ඒ නිශ්පාදන ලබා ගන්නවා. 

කෙසේ වෙතත් ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියට ජී.එස්.පී හෝ ආර්ථික සම්බාධක  සම්බන්ධයක් නැහැ. ඒ වුණාට බලය කොල්ල කෑමේ වෑයම අසාර්ථක වුණේ එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂතාවය හින්ඳ නම් නෙවෙයි. 113 ලබා ගැනීමට නම් මුස්ලිම් සහ දමිල පක්ෂවල සහය ලබා ගත යුතුමයි. ඉන්දියාවේ සහය නැතිව දමිල පක්ෂ වෙනස් වන්නේ නැහැ. එහෙනම් ඉන්දියාව දමිල පක්ෂ වලට මහින්දට එකතු වීමට ඉඩ නොදුන්නේ ඇයි? ඒකට හේතුව හොයන්න යුද්ධය කාලයට යන්න ඕන. 

බටහිර සහ අන් බලපෑම් වලට සාර්ථකව මුහුණ දීල යුද්ධය දින්න කියල එක කට්ටියක් තාමත් පාරම්බානව කියල දන්නවනෙ. යුද්ධය අවසන් කිරීමට විශාල වශයෙන් බලපාපු ජාත්‍යන්තර බලපෑම් නැවැත්තුවේ රාජපක්ෂවරුන් නොව ඉන්දියාවයි. ඉන්දියාවේ මතයට උඩින් චීනය හැර වෙන කිසිම රටක් ලංකාව ගැන තීරණ ගන්නේ නැහැ. ඊට අමතරව ලෝක සංවිධාන වලට ඉන්දියාවට විශාල ලෙස  බලපෑම් කරන්න පුළුවන්. යුද්ධය අවසාන කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර පසුබිම සම්පූර්ණයෙන්ම සකසා දීමට අමතරව නිර්ණාමිකව ඔත්තු සහ යම් යම් උපකරණ පවා ඉන්දියාවෙන් ලබා දුන්නා.  කොටින්ම ඉන්දියාව නොහිටින්න මේ රටේ යුද්ධය අවසන් වෙන්නේ නැහැ. 

වැඩිම දමිල ජනගහනයක් සිටින රට වශයෙන් දමිල ත්‍රස්තවාදී සංවිධානයක එරෙහිව කෙරෙන යුද්ධයකට ඔවුන් සහයෝගය දුන්නේ එල්.ටී.ටී.යී සංවිධානය ඉන්දියාවේ ග්‍රහණයෙන් ගිලිහී තිබීම නිසායි. එම සහයෝගය දීමට ඔවුන් නිසි බල බෙදීමක් කරන බවට හිටපු රජය පොරොන්දු වුණා.  රාජපක්ශවරුන්ට යුද්ධය පෙනුනේ එල්.ටී.ටී.යී එකේ තිබ්බ රත්තරං, විදේශීය මුදල් ඇතුළු අති විශාල ධනස්කන්ධය තමන්ගේ ගිණුම් වලට දාගන්න සහ යුද්ධය අවසාන කිරීමේ මහිමයෙන් සදාකල් බලයේ සිටින්න ඉඩ සලසා දෙන සිද්ධියක් වශයෙන් පමණමයි. ඒ නිසාම   යුද්ධය ඉවර වූ ගමන්ම ඉන්දියාවට පයින් ගසා පොරොන්දු අමතක කර තමන්ගේ පොකට්ටුවේ වාසියට අධික පොලියට ණය ලබාගෙන, ඔවුන්ට හේත්තුවීම සහ ඉන්දියාවට තර්ජනයක් විය හැකි දේවල් චීනය සමඟ කිරීම නිසා ඉන්දියාව රාජපක්ෂ වරුන් ගැන විස්වාසයක් නැහැ.   

Geopolitics ගැන අවම වැටහීමක් ඇති මෛත්‍රීපාල මහත්තයා නම් අහිගුණ්ඨිකයා නැතිව නටන්න හදපු නයා වගෙයි. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පස්සේ අනාගතෙයි රාජපක්ශ වරුන් නැවත බලය ඒමට අවස්ථාවක් තිබෙන නිසා සුබ්‍රමනියම් සාමි කරපු ඉල්ලීමට එකඟ වෙලා මෝඩි හමුවෙන්න අවස්ථාවක් ලබා දුන්න එක ඉන්දියාවේ සහයෝගය රාජපක්ෂවරුන්ට තිබෙන බව පෙන්නීමක් හෝ එහෙම නැත්නම් මෛත්‍රීපාල එහෙම සිතීමක් සිදුවුණා. මොකක් හරි සමුලුවකට සහභාගී වෙලා එහි එන සියළුම රාජ්‍ය නායකයින් එක්ක ඔබාමා ජනාධිපති එක්ක ගත්ත පිංතූරයක්, අපියි ඔබාමයි ෆුල් පෑල් කියන්න වගේ රට වටේ කටවුට් ගහපු කෙනාට මෝඩි එක්ක ඉන්න පත්තර වල ගිය පින්තූර වලින් මෛත්‍රීපාලට බලපෑමක් එල්ල කලා කිව්වොත් පුදුම වෙන්න දෙයකුත් නැහැ. 

මගේ පෞද්ගලික අදහස නම් ඔක්තෝබර් මාසෙට සති කීපෙකට කලින් රහස් ගිණුම් පවත්වාගෙන යන්න ඉඩ දෙන රටක් වල සී ශෙල්ස් වලට මෛත්‍රීපාල ගිහින් ආවේ එහෙ සිරි නරඹන්න විතරක්ම වෙන්න බැහැ කියන එකයි. එක්කො එහෙ ගිණුම් තිබෙන මෙහෙ කෙනෙක් ගෙන් හෝ වෙනත් රටකින් පොඩි උත්තේජනයකුත් ලැබුණ කියන එක තමයි මගේ හැඟීම. තමන්ගේ ලේකම් හරහා කරන්න ගිය දේ අතේ මාට්ටු වීම සහ තමන්ටයි ළමයින්ටයි විශ්‍රාම සැලසුමක් ඕන කියල තම කාල සීමාව අවසන් වෙන්න යන වෙලාවේ සිතීමත් එවන් දෙයක් වීමට පසුබිම සකස්වීමට බලපාන්න ඉඩ තියෙනව. මෙවන් දෙයක් සිදුවූ බව කියන්න කාටවත් සාක්ෂි නොතිබුණත් එම චාරිකාව සිදුවූ කාල සීමාව වැනි දේවල් එවන් උපකල්පනයකට ඉඩ සලසනව.    

සෙල්ලම් ගෙදරක පොඩි වුන් වගේ රෑ පානෙ දුවල අගමැති කම් දුන්නත් / ගත්තත් ලෝකය දුවන්නේ බැසිල්ගෙ කට්ටකම් , දෙන ගාන, ඇමතිකම් මත පමණක්ම නෙවෙයි කියල දැනෙනකොට තමයි රත්වුනේ.
සුළු පක්ෂ වල තීරණය සඳහා එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවේ කට්ටියත් තරඟයට විදේශ තානාපති වරුන්ගේ සහය පැතුව කියන එක රහසක් නෙවෙයි. ඒකට හේතුව එවන් දේවල් වෙන විදිහ ගැන දෙපැත්තටම හොඳ අවබෝධයක් තිබ්බ නිසා. වැඩේ අංජබබල් කියල දැනගත්තම හරක් ඇන්න සිල්ව මහත්මයාගෙ ලණුවක් කාල පාර්ලිමේන්තුව විසිරෙව්වෙ. ඒ සම්බන්ධ නඩුවෙදි  අර ගෝඨාභයගෙ නඩුවෙ තීරණ වගේ දේවල් නොවී වෙනත් තීරණයක් ආවේ ඇයි කියන එකනම් මටත් පුදුමයි.  

ඉන්දියාව, චීනය ඇතුළු ලෝකයේ බලවත් රටවල් වලින් ලංකාවේ සිදුවන දේශපාලන ක්‍රියා කාරකම් වලට තිබෙන බලපෑම  පසුගිය දින පනස් ගණනක වුනා වගේම 1940 ගණන් වල සිටම සිදුවුණා. එමෙන්ම විවිධ කාල වල ලංකාව බලවතුන්ගෙ බලල් අතකුත් වුණා. ඉතින් හොර අගමැතිට බහුතරය ගන්න බැරිවුණෙත් ඒ වගේ දෙයක් නිසයි.  ඒ කියන්නේ සුළු ජාතික පක්ෂ හොර අගමැතිගෙ දෑත් ශක්තිමත් කරන්න නොගියේ ඉන්දියාව ඇතුළු අනිකුත් විදේශ බලපෑම් නිසා.  ඉතින් එක අතකින් පඩිපෙලේ නීතීඥ ගම්මන්පිල කියන්නෙත් බොරුවක්ම නෙවෙයි.   


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

17 comments:

  1. ඔය ගැන මමත් මුල සිටම නිරීක්ෂණය කළා. ගේම් එක සම්පූර්ණයෙන්ම ඉවර නැති නිසා මා දකින ඇතැම් සියුම් කරුණු ගැන ලියනවද නැද්ද කියා දෙගිඩියාවෙනුයි තවමත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබට මීට වඩා විස්තර සහ තර්ක ඇති. සුදුසු කාලෙක ලියන්න. ස්තූතියි ඉකොන්

      Delete
  2. ඉයන්, පොඩ්ඩක් හාබර් එක පැත්තට හොට දාල බලන්න එහෙ හරි ට්‍රෆික්ලුනේ, රුසියාවෙන් 3ක් ආවලු, ඉන්දියාවනුත් පොඩි පහේ එකක් ආවලු, අද ඇමරිකන් කාරයොත් ආවලු, තකහනියක් ඔයි ඔක්කොමල එන්නේ නත්තල් පාටි වලටමද?

    ReplyDelete
    Replies
    1. ඇණයා, නත්තල් පාටි? හෙහ් හෙහ්. මම හිතන්නෙ අර මෙජස්ටික් සිටි එක වගේ හොරට කෙල්ලො කොල්ලො හම්බවෙන ස්පොට් එකක් වගේද දන්නෙ නැහැ. ඔය නෞකා වලට විවිධාකාර චාරිත්‍ර තියෙනවා නේද? ඒ ගැන දන්න කෙනෙක් ගෙන් අහන්න ඕන.

      Delete
    2. එහෙමත් එකක් වෙලාද ඇණයෝ

      Delete
  3. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ඔබේ අදහස් දැක්වීම හා එකඟයි....

    /ඒ වුණාට බලය කොල්ල කෑමේ වෑයම අසාර්ථක වුණේ එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂතාවය හින්ඳ නම් නෙවෙයි./

    එජාපයේ හෝ ජවිපෙ දක්ෂතාවය හින්ද පමණක් නම් නෙවෙයි...කියල ලිව්ව නම් වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ...

    Thanks Ian...insightful writing...:)

    ReplyDelete
    Replies
    1. රවී හරි ඇති. හොර අගමැත්තා බහුතරය හදා ගත්තනම්;

      1. පාර්ලිමේන්තුව කල් දන්නෙ නැහැ. එහෙම නම් උපරිමාධිකරණයට කල් දැමීමට එරෙහිව නඩුවක් ගොණු වෙන්නේ නැහැ.

      2. හොර අගමැත්තාට විස්වාසය නොමැති යෝජනා සම්මත පාර්ලිමේන්තුන්වේ සම්මත වෙන්නේ නැහැ. එම නිසා වැඩ තහනම් කල අභියාචනාධිකරණයේ තීරණයට අදාල නඩුව ගොණුවෙන්නෙත් නැහැ.

      ඒ අනුව එජාපෙ සහ ජවිපෙ මොනව කලත් කුමන්ත්‍රණය සාර්ථක වෙනවා. බහුතරය හදා ගැනීමට නොහැකිවීම තමයි කුමන්ත්‍රණ අසාර්ථ වීමට මුල.

      වැරදිලාවත් මුස්ලිම් සහ / හෝ දමිල මන්ත්‍රී වරුන් ගේ සහයෝගය හොර අගමැත්තාට ලැබුණනම් එජාපයෙන් ගන්න වෙන්නේ දෙතුන් දෙනයි. එම නිසා තමයි තීරණාත්මක සාධකය වන ඉන්දියාවේ සහ අනිකුත් රටවල ක්‍රියා මාර්ග.

      Delete
  5. අධිමානයෙන් පෙළෙන අපේ ඇත්තන්ගේ ඇස් මෙවන් ලිපිවලට යොමු වේවා!

    ReplyDelete

  6. Lithuania is a small country, so our contribution would not be that large. We are not afraid of our responsibility. We receive 25 percent of our national budget from the European Union. We understand the value of solidarity.

    - Dalia Grybauskaite

    ReplyDelete
  7. මේකේ කරුණු තාර්කිකව පිළිගතහැකියි. එහෙම කියන්නේ නිසි සාක්ෂි සාධක නැති නිසා. හැබැයි ඔබ මෙය ඔබේ පක්ෂය ඒත්තු නොයන ලෙස ලිවුවා නම් වඩාත් සාර්ථකයි. යුද්ධයේදී ඉන්දීය සහය තිබුණ බවනම් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. පුරුද්ද අරින්න බැහැනෙ බං

      Delete
  8. මොකක් හෝ හේතුවකින් ඔබේ ලිපිය කියවන්න උනේ අද...ඔබේ අදහස් සමග එකගයි...මම කට්ටකාඩුවට ලිපියක් ලියමින් ඉන්නවා චීන මකරා එක්ක එක්කහු වෙලා බටහිර පෙරමුනේ යුද්දෙට ගිය (කු)මාරයා ගැන. අදහස නම් මීට අති සමානයි...

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය කියවන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

      Delete