Monday, November 21, 2016

ට්‍රම්ප් තුමා සමඟ නැගිටිමු

ට්‍රම්ප් මහතාගේ හිස පීරිමේ විලාසිතාව අනුගමනය කිරීමට උත්සාහ කරන අයෙක්

ගිය සතියේ පැවැත්වුණ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ගැන විවිධ අර්ථකථන සහ හුරේ දැමීම් පුවත්පත්වල, රූපවාහිනී නාලිකා තුල මෙන්ම බ්ලොග් තුලත් දක්නට ලැබුණා. බ්‍රෙක්සිට් ජයග්‍රහණය සහ මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය හේතුවක් ඇතිව හෝ නැතිව රාජපක්ෂවාදීන් අමන්දානන්දයට පත්වෙලා. මොවුන් ට්‍රම්ප් මහතාගේ ගේ ජයග්‍රහණය අනාගත රාජපක්ෂ ජයග්‍රහණයකට සමාන කරන්නේ ඇයිද යන්න නම් මට තේරෙන්නේ නැහැ. ඒ පහත දැක්වෙන හේතු නිසා. 

ට්‍රම්ප් යනු වෘත්තීය දේශපාලඥයෙක් නොවේ. ඔහු ව්‍යාපාරිකයෙක්. එක්තරා අන්දමකින් ව්‍යාපාරයක් පරිපාලනය කිරීම රටක් පරිපාලනය කිරීමට සමානයි. වියදම් අඩුකිරීම, ක්‍රියා දාම කාර්‍යක්ෂම කිරීම, එක් එක් අංශ වල සහ සමස්තයටම ලඟා විය යුතු ඉලක්ක කලින් තීරණය කර ඒවා කරා ලඟා වීමට සම්පත් මෙහෙයවීම, හදිසි අවස්ථාවලට මුහුණ දීම වැනි හැකියාවන් රටක් පාලනයේදී සාර්ථක නායකත්වයක් දීමට අවශ්‍යම දෙයක්.

පසුගිය කාලයේ රටෙන් සොරකම් කල මුදල්වලින් මිලදී ගත් ව්‍යාපාර සහ වත්කම් තිබුණත් රාජපක්ෂ පවුලේ දේශපාලනයට සම්බන්ධ කිසිවෙක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටිනවා හෝ සිට ඇත්දැයි මම දන්නේ නැහැ. චමල් හිටපු පොලිස් නිලධාරියෙක්, ගෝඨාභය හිටපු  හමුදා නිලධාරියෙක්, බැසිල්ට වෘත්තියක් තිබුණාදැයි දන්නේ නැහැ. මහින්ද, නාමල්, යෝශිත, අනික් සහෝදරයා ඔවුන්ගේ ක්ශෙත්‍ර වලට ආවේ දේශපාලන අනුහසින් හෙවත් සාමාන්‍ය ක්‍රමයට පිටින්. 

ඇමෙරිකාව දශක ගණනක් පවත්වාගෙන ආ වෙලඳ පොල ආර්ථික ක්‍රමයේ සමහර අංග රටේ වාසියට වෙනස් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වුණා. එම රටේ රැකියා උත්පාදනය, සෞඛ්‍ය ක්‍රමය වෙනස් කිරීම, විදේශයන්හී ප්‍රශ්ණ වලට අතපෙවීම අඩු කිරීම හෝ නැතිකිරීම,  සීතල යුද්ධයේ සතුරු පාර්ශව කෙරෙහි දක්වන ආකල්ප වෙනස්කිරීම ආදී  දේවලුත් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රම වල  තිබෙනවා. 

රාජපක්ෂ වරුන් පසුගිය දශකයේ කල කී දේවල් සමඟ මේ කිසිත් ගැලපෙන්නේ නැහැ. ආසියාවේ අච්චාරුව ආදී වචන සමඟ සෙල්ලම් කලත් ඔවුන්ට කිසිම දෙයක් ගැන කිසිම දර්ශණයක් හෝ සැලසුමක් තිබුණේ නැහැ. ලක්ෂ 7 ක් රජයේ සේවයට බඳවා ගැනීමට දර්ශණයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය දර්ශණයක් නොතිබීම පමණයි. රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ඇතිකිරීම වැනි දේවල් මේ අයවැයෙන් යෝජනා වී තිබුණත් පසුගිය රජයට එතෙක් පවත්වාගෙන ආ සෞඛ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීමට, ගුණාත්මක බාවය වැඩි කිරීමට හෝ අන් කවර දෙයක් ගැනවත් දර්ශණයක් තිබුණේ නැහැ. අප රටේ පැවැත්මට විවිධ ආකාරයෙන් අත පොවා ඇති සහ අනාගතයේදීත් විවිධ බලපෑම් කල හැකි ඉන්දියාව තුලනය කිරීමට ඔවුන් කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඔවුනට පෞද්ගලිකව වාසි සහගතවූ චීනයේ ව්‍යාප්තවාදයට පහසුකම් සලසන්නෙකු  පමණක් වීමට දේශපාලන ඥාණයක් හෝ විදේශ ප්‍රතිපත්තිය ගැන දර්ශණයක් ඇත්ව ක්‍රියා කිරීමක් නෙවෙයි. ඒ අනුව ට්‍රම්ප් මහතාගේ රැකියා, සෞඛ්‍ය, විදේශ ප්‍රතිපත්ති ගැන ඇති අවබෝධය සහ දර්ශණය රාජපක්ෂ වරුන්ට තිබුණේ නැතිබව පැහැදිලියි.

රටේ රැකියා ප්‍රමාණයට බලපාන ආර්ථික එකඟතා නැවත සලකා බැලීමට ට්‍රම්ප් මහතාගේ පොරොන්දුව හා සසඳන කල ඇත්තේ රටේ රැකියා ප්‍රමාණය දීර්ඝ කාලීනව විශාල වශයෙන් අඩුකර රාජපක්ෂවරුන්ගේ උද්දච්ච කම නිසා පමණක්ම අහිමි කරගත් ජී.එස්.පී ප්ලස් සහනයයි.

ට්‍රම්ප් මහතා මුස්ලිම් විරෝධී ආකල්ප ඇති අයෙක්. එය මැතිවරණේදී ඔහු පැහැදිලිවම ප්‍රකාශ කලා. ඔහුගේ එම විරෝධයට හේතු වූයේ මුස්ලිම් සම්භවයක් ඇති අය සිදු කල ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරය සහ අනිකුත් ප්‍රහාර සහ ISIS සංවිධානයේ  කටයුතු. මෙය හා සංසන්දනය කරන කල කෙලින්ම රජය හා ගැටුමකට මුස්ලිම් වරු ලංකාවේ ඉදිරිපත්වී නැහැ. එවන් ගැටුමක් ඇතික ගත්තේ දමිල බෙදුම්වාදීන් පමණයි. මුස්ලිම් වරුන් ලෝකය පුරා ගෙනයන ව්‍යාප්තවාදයට ලංකාවත් ගොදුරුවී තිබීම සත්‍යයක් වුවත් රාජපක්ෂවරුන් ගේ යටි අරමුණ වූයේ ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට  නොවේ. ඔහුට හෝ පවුලට ලාභයක් වනවා නම් රටට හෙණ ගැහුවත් ඔහුට ප්‍රශ්ණයක් වුණේ නැහැ. ශ්‍රීපාද අඩවියට ආසන්න ප්‍රදේශයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩම් දී ඇත්තේ ඔහුගේ පාලන කාලයේදී බව හෙළිවීමත්, විල්පත්තුවේ මුස්ලිම් ජනාවාස ඇතිකිරීම ආරම්භ වී ඇත්තේ එම කාලයේදී වීමත් මෙහිදී විෂේශයි. රාජපක්ෂවරුන්ගේ මුස්ලිම් විරෝධය නානසාර වැනි සිවුරු පොරවාගත් අය ලවා ආගම්වාදයක් පතුරා සිංහල ඡන්ද ලබා ගැනීමේ ක්‍රියාවලියක් පමණයි.

දශක තුනක් රටට ප්‍රශ්ණයක් වූ යුද්ධය නිම කිරීමට දර්ශණයක් නොතිබුණත් තම ආර්ත්මාර්ථකාමී අරමුණු නිසා හෝ එය වීම නම් රටට යහපතක් වුණා. එහෙත් දශක නමයක ප්‍රශ්ණයක් වූ ලංකාව බෙදා වෙනම දමිල රාජ්‍යක් සැදීමේ ව්‍යාපෘතියට ඔහුගේ ආර්ත්මාර්ථකාමය නිසා වාසි වුණා. පසුගිය දශක නමයේම බෙදුම්වාදීන් ගේ චෝදනා සහ රජය ඒවා ප්‍රතික්ෂේප  කිරීම් සහ පැහැදිලි කිරීම් වලට සීමා වී තිබූ වාර්ථා වලට අනාගතයේ කවදා හෝ පාවිච්චි කල හැකි එක්සත් ජාතීන් ගේ සංවිධානයේ අංශයකින් කෙරුණු පරීක්ෂණ වාර්ථාවක් ඇතිවීම එකක්. රජය වෙනස් වීම නිසා එහි සැර බාලවී තිබුණත් එසේ නොවුනානම් තව අවුරුදු 50 කින් හෝ එම කාලයේදී ඇත්තටම වූ දෙය නොදන්නා අයට ලොව පිළිගත් තුන්වන පාර්ශවයකින් සම්පාදනය වූ මෙම එ.ජා වාර්ථාව කඩා දැමීමට අපහසු සාක්ෂියක් වීමට තිබුණා. ලෝකයේ විවිධ අංශ, රජයයන්, සාමාන්‍ය මහජනයා, ඔවුන්ගේ මතයට නම්මවා ගැනීමට එම 'ස්වාධීන' ලෙස පෙනෙන වාර්ථාව දශක සහ ශත වර්ශ ගණනක් යොදා ගැනීමට ඉඩ තිබුණා. අභ්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීම නොසලකා හැර එම ඉල්ලීම සිංහල ජනයාගේ චන්ද ගැනීමට ඇමක් ලෙස පමණක් යොදා ගැනීම, ඒ වෙනුවට පත්කල එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ආදිය මෙම වාර්ථාව ඇතිවීමට එක හේතුවයි. ඔහුම පත්කල උගත්පාඩම් සහ සංහිඳියා කොමිසමේ රෙකමදාරු කල දේවල් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් වලක්වා ගත හැකිවූ රට බෙදීමට මුල්විය හැකි එක්සත් ජාතීන්ගේ සංවිධාන වල ක්‍රියා කාරී වීම් වෙන්නට ඉඩදී ඒවා මැතිවරණ දිනීමට පමණක් යොදාගත් කෙනෙකු ට්‍රම්ප් මහතා වැනි තම රට සහ ජාතිය ගැන හැඟීමක් හෝ දර්ශණයක් තිබුන අයෙක් ලෙස පෙන්වීමට කිසිසේත්ම බැහැ. 

2003 දී සිදුවූ dafur අර්බුධය මුල් කරගෙන එ.ජා මානව හිමිකම් කොමිසමෙ පරීක්ෂණ හරහා වෙන්වී වෙනම රටක් වූ දකුණු සුඩානය ඇතිවීමට බලපෑ එ.ජා පරීක්ෂණ, යුධ අපරාධ චෝදනා, බෙදුම්වාදීන්ට තිබූ බටහිර රටවල සහය ආදිය ඒ අයුරින්ම ඇතිවන්නට සහ වැඩෙන්නට  ඉඩදී රාජපක්ෂ වරුන් බලා සිටීම ශ්‍රී ලංකාවේ සහ සිංහල ජාතියේ හතුරෙක්ගෙන් පමණක් බලාපොරොත්තුවිය හැකි ක්‍රියාවන්ය. 2015 දී සිදුවූ වෙනස නොවන්නට එම මාර්තු මාසයේ පැවැත්වූ එ.ජා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන්නට තිබූ වාර්ථාවෙන් පටන්ගෙන  ඉදිරි අවුරුදු 10 කින්, 30 කින්, හෝ 50 කින් හෝ රට දෙකඩ වීමක් කරා ගමන් ආරම්භ වීමට තිබුණු බව නොරහසකි. නව රජය පත්වීමෙන් බටහිර රටවල සහය ශ්‍රී ලංකාවට ලබාගෙන එම බෙදුම්වාදීන් අතරමං කිරීම, එ.ජා මානව හිමිකම් කොමිසමේ වාර්ථාව හානි අඩුම වාර්ථාවක් කිරීම සහ එම වාර්ථාව හරහා බෙදුම්වාදීන් බලාපොරොත්තුවූ ආර්ථික සම්භාධක, සුඩානයේ මෙන්  ජනමත විචාරණ ආදිය ඇතිවීමේ අවදානම නැත්තටම නැතිකිරීම නොවන්නට අද රට පැවතීමට ඉඩ තිබුණේ යුද්ධය අවසන නොවී තිබුණානම් වඩා හොඳ යැයි අපට හිතන්නට වන තත්ත්වයකය.

2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටත් පෙරම ජීවිත සහ වාසස්ථාන  අහිමිවූවන්ට ලැබුණු සහන මුදල් හොරා කෑමට දීන උත්සාහයක් ගත් සහ රටේ හමුදා සහ සිවිල් වැසියන් ඝාතනය කරමින් සිටි ත්‍රස්තවාදීන්ට මුදල් දී කල  න්ද මගඩියකින් බලය හොරාගත් රාජපක්ෂ වරුන්ගේ  හැසිරීම සමඟ සසඳන කල ස්වෝත්සාහයයෙන් ධනවතකු වූ ට්‍රම්ප් මහතා රටේ ඔහු දකින රටේ ප්‍රශ්ණ විසඳීමට විවිධ චෝදනා, අපහාස කිරීම් වලට දොරටු විවෘත කරවා ගණිමින් ඉදිරියට පැමිණීම සහ ජයග්‍රහණය කිරීම එකිනෙකට සංසන්දනය  කල නොහැකි දෙකකි. 

සාරාංශය වන්නේ ට්‍රම්ප් මහතා ගේ මුස්ලිම් විරෝධය සහ ජාතිකවාදී අදහස් වලට හේතුව එම කරුණු ඇමෙරිකාවේ ආරක්ෂාව සහ ඇමෙරිකානුවන්ගේ  රැකියා රැකගැනීම සඳහා බවත්, රාජපක්ෂ වරුන්ගේ මුස්ලිම් විරෝධය හා බොරු ජාතිකත්වය සිංහල ජනයා මුලා කර බලය රැකගැනීම/ නැවත ලබා ගැනීම සඳාහාම පමණක් බවත් යන කරුණයි.

ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් ව්‍යාපාරික හෝ අනික් අංශ වලින් ජයගත් පහසුකම් සහ වැටුප්/විශ්‍රාම වැටුප් ප්‍රතික්ෂේප කරන අධ්‍යාපනය, සෞඛ්‍ය, ණය බර, දුප්පත්කම ආදී දේවල් නව දැක්මකින් විසඳීමට උත්සාහ කල හැකි අය දේශපාලනය පැමිණීමට උත්ප්‍රේරකයක් වුවහොත් නම් ඇත්තෙන්ම සතුටුවිය හැකියි.

44 comments:

  1. බුරහස්පතින්දා
    බුරම්පි
    ගිරිගෝරිස් ආකාරයට
    අපි ටරම්ප් කියා ඔහුට සිංහලෙන් කියමු.

    ReplyDelete
    Replies
    1. ට්‍රම්පිසිඤ්ඤෝ කියල දාමුද? බ්‍රම්පිසිඤ්ඤෝ වගේ. ස්තූතියි රසික

      Delete
    2. සාමාන්‍ය ක්‍රමයට අපි එයාට ට්‍රම්පයිය කියමු. ( ට්‍රම්ප් +අයිය )

      Delete
    3. තුරුම්පුසිඤ්ඤෝ

      Delete
  2. ඇත්ත , ට්‍ර්ම්ප් වියාපරිකයෙක් නිසා ඔහුට රටක් පාලනය කිරීමට අවශ්‍ය සුදුසු කමක් ඇති බව මගෙත් අදහසයි..
    ගොඩක් වෙලාවට ඇගලුම් කර්මාන්ත ශාලාවල safety officer, maintenance officer කෙනෙක් විදිහට අපි ත්‍රිවිද හමුදා වල හිටපු අයට අවස්ථාව දෙනවා මොකද එයාලට ඒ පිළිබද වැඩි හැකියාවක් තිබෙන බව සහ සාර්ථක වෙන බව දැකලා තියෙනවා ..
    මහින්ද මහත්තයා ට්‍ර්ම්ප්ට සමාන කිරීම නම් හරියට
    ගූයි තක්කාලි
    හාලුයි චිසුයි
    බෝල්ට් ඇනෙයි කඩලයි
    වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති දෙයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා, එකඟයි

      Delete
  3. මම ට්‍රම්ප්ට කැමැත්තක් නෑ, ඊටත් වඩා හිලරිට කැමති නෑ , හිලරි කියන්නෙ මාන්නාධික, බලයට කෑදර , කටේ දිවේ නොගෑවී බොරු කියන්නියක්.
    සමාන කරනව නම් හිලරි වැඩිය සමාන මහින්දට. ට්‍රම්ප් , සමහර දේ අතින් රනිල්ට සමානයි - හඬ මිස නෑ වැඩ.

    ReplyDelete
    Replies
    1. //ඊටත් වඩා හිලරිට කැමති නෑ //

      //හිලරි වැඩිය සමාන මහින්දට//

      ++++++++++++++ ස්තූතියි බස්සා

      Delete
  4. දැන් හමුදා කුමන්ත්‍රණයකින් හරි ආයේ රට කන්න එන්න හදන්නේ..

    හෙරලිත් මේ ජාතියේම බඩුවක්.. මළ පෙරේතියෙක්.. සල්ලිම තමයි.. වෙන මක්කද ඉතින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතෙ. මීලඟ පෝස්ට් එක ඒක ගැන.

      Delete
  5. මගේ කෙමෙන්ට් එකට තව දෙයක් එකතු කරන්නද? (මම දේශපාලනය හරි ඕන මගුලක් ගලපන්නේ මම ආදරය කරන දෙයත් එක්ක )
    අපේ පැක්ටරි වල ඉන්න සමහර කලමනකරුවරු හිතාගෙන ඉන්නේ උන්ට වැඩිය පොරවල් නැහැ කියලා උන් නැති උන දවසක ආයතනය වහන්න වෙයි කියලා..එහම හිතලා ඔලුව ඉදිම්මොගෙන අඩි 2ක3ක් උඩින් යන්නේ ..පහල කිසිම නිලදරියෙක්ගේ වටිනාකමක් නැහැ , ආයතනයේ සම්පත් පොරට ඕන විදිහට පාවිචි කරනවා ..ඔහම ඉදලා සබාපති එක්ක හරි කලමනාකර අදක්ෂ්ක එක්ක ඇරගෙන පෝර ටෝක් එකක් දුන්නහම අයිතිකරෝයෝ හිතනවා.."මොන $$%&& ද මුට දෙකට නමෙනවට වැඩිය හොදයි මේක වහලා දානවා " කියලා අරුව කනෙන් ඇදලා එලියට දානවා ..පොරත් ඉතින් ඌට පන්දම් අල්ලන හෙන්චියෝ ටිකට පෝර ටෝක් දීලා ("බලමු මම නැතුව මේක කොහමද කරන්නේ කියලා )යනවා ...ඊට පස්සේ පහල ඉන්න නිලදාරී වෙනදට වඩා හොදට වැඩේ ඇදගෙන යනවා,,ඇයි අරු ඉන්නකොට මේකේ පොරවල් වෙලා හිටියේ වැඩ බැරි පන්දම් කාරයෝ ටිකක් නිසා...ආයතනය වෙනදට වඩා ලබයි, හොදයි අරු රස්සාවක් නැතුව චාටර් කකා එළියේ ඉදලා ඇතුලේ ඉන්න හෙන්චියන්ට කියලා ලෙඩ අදින්න බලනවා ..එතොකොට තමයි අර ඇතුලේ ඉන්න එවුන්ට මර බය දැන්නෙනේ ඇයි දන්නවනේ මු ඉන්න කලේ කරපු උන දේවල් එතොකොට අර පන්දම් කාරයන්ට කනට දෙකක් ගහලා කියනවා "ඉන්නවනම් හොදින් වැඩ කරගෙන හිටපන් තොපේ ලොක්කා වගේ අපි #රි වැඩ කරන්නේ නැහැ අපිට ඕනේ මේක රැක ගෙන අපේ රස්සාවත් රැක ගන්න ..හැබැයි ආයමත් අර පරණ සෙල්ලම් දාන්න හැදුවොත් තොපිත් මරලා තොපේ ලොක්කත් මරාගෙන අපිත් මැරෙනවා ..කියලා .
    නියම හරිය කියන්නේ අර එළියේ ඉන්න ලොක්කට දවසක අඩියක් ගහන්න එන්න කියලා කන අතගාල කියනවා "සර් ..මේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අපිට දැන් ඔයා ආයතනය ලොක්කා නෙමයි ඒක නිසා වැඩිය දගලලා අපිට කෙලින්න හැදුවොත් අපි නරක මිනිස්සු කියන්න එපා කියලා..වැඩේ ඉවරයි..
    කාලයක් යනකොට ආරංචි වෙනවා අර ලොක්කා රස්සාවක් නැතුව චාටර් වෙනවා කියලා ..හැබැයි තැන තැන බොරු කයිවාරු කිය කිය යනවලු ..
    ඇත්ත සිද්දියක්

    ReplyDelete
    Replies
    1. //කාලයක් යනකොට ආරංචි වෙනවා අර ලොක්කා රස්සාවක් නැතුව චාටර් වෙනවා කියලා ..හැබැයි තැන තැන බොරු කයිවාරු කිය කිය යනවලු .//

      ස්තූතියි මෙන්ඩා. සමානකම් බොහෝයි

      Delete
    2. ඕකනම් ඇත්තම කතාවක්. මාත් අහල තියනවා හොරණ පැත්තේ ගාමන්ට් එකක් ඔය වගේ කතාවක්

      Delete
  6. සමහර කරැණුවලට එකඟයි. සමහර දේවල් පිළිබඳ තවත් වරක්, දෙවරක් සිතිය යුතුය. සමහර දේට එකඟ නෑ. කොහොම උනත් ඉයන් ලියන දේවල්වලට මම කැමතියි. ඒ අපිට යමක් හිතන්න පුලුවන් වෙන විදිහට ලියන නිසා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස ලියුවා පමණයි RR. ජනවාරි 8 වෙනස නොවුණානම් ඉන්දියාව, බටහිරට ලංවී සිටි බෙදුම්වාදීන් සහ එ.ජා මානව හිමිකම් කමිටුව හරහා වෙන්නේ කුමක් දැයි සිතා බලන්න. දකුණු සුඩානය ඇතිකිරීම, කොසොවෝ රාජ්‍ය ඇතිකිරීම වුණේ කෙසේ දැයි සොයා බලන්න. අගය කිරීමට බොහොමත්ම ස්තූතියි.

      Delete
  7. ඉයන් තුමෝ,

    මම පසුගිය යහපාලනයට චන්දය දීපු කෙනෙක් මුලින්ම එක කියන්න ඕනේ.
    නමුත් ඔබකියන //දශක තුනක් රටට ප්‍රශ්ණයක් වූ යුද්ධය නිම කිරීමට දර්ශණයක් නොතිබුණත් //
    කියන කියමනම වැරදියි මහින්ද මොනවා නොකලත් දර්ශනයක් ඇතුව යුද්දය කළා එක සිදුඋනේ ගොටබය නිසා වෙන්න ඇති
    කොහොම උනත් යුද්දය අවසන් කිරීමට ඔහුට දර්ශනයක් තිබුන, රනිල් ටත් ඔහු සිටි පාක්ෂිකයන්ටත් මේ දර්ශනය තිබුනේ නෑ J R ට පොඩි තර්ජනයයි රජිව් දැම්මේ සාම සාකච්චා පටන්ගත්ත.

    මහින්දට මේ වගේ බලපෑම් පැමිණියේ යුරෝපයෙනුත් බටහිරත් යන අංශ දෙකෙනුයි නමුත් ඔහු නොසැලී මුහුණ දුන්න.

    දැන් මේ රාජපක්ෂ පවුල කරපු සොරකම් ගැන බැලුවොත්, වර්තමාන රජය බලයට පැමිණ වසර 2 කට ආසන්න වෙමින් තියනවා කෝ කවුරුත් වැරදිකරුව උනා.

    ඔහු සොරකම් කළා කියමුකෝ නමුත් ඔහු අතිවිශාල සන්වර්දනයක් කළා නමුත් බදුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව මහින්ද කාලයේ සිදුකල සියලු වංචාවලට සමාන වෙමින් තියනවා. ඔබ ආර්ථික විද්‍යාව දන්නා නිසා තේරෙනවා ඇති මේ බදුම්කර ගනුදෙනුව විනිමය අනුපාතයට පවා බලපා ඇතිබව දැන් යහපාලන රජයෙත් රාජපක්ෂ රජයේත් මමදකින වෙනස කිව්වොත්

    01. රාජපක්ෂ රජය සොරකම් කරමින් සංවර්දනය කළා යහපාලනය සොරකම් නම් කරනවා නමුත් සන්වර්දනයක් නෑ
    02 රාජපක්ෂ රජය සමයේදී කතාකිරිමේත් අදහස් ප්‍රකාශ කිරීමේත් නිදහස සිමා උනා යහපාලන රජයේ නම් කතාකිරීමේ නිදහස යම්පමන තියනවා (මෙය ඉදිරි කාලයේ නැතිවෙන්න ඉඩතියනවා, ඔවුන්ට එකවර මෙය නැතිකළ නොහැකියි එහම කලොත් එකවර රාජපක්ෂ රජයේ දුර්වලතා පමණක් ඇති රජයක් බවට පත්වෙනවා)
    03 හර්ෂ දිසිලවා වැනි උගතුන් ට අන්තර්ජාතික ව PAYPAL වැනි සේවාවන් ශ්‍රී ලංකාවට ගෙනඒමට හැකි වෙතයි සිතුවත් ඔහුව විහිලු කාරයෙක් කර තිබෙනවා ගොටාබය කරපු වැඩවලින් (සාදනිය ) තවම 0.5 ක් වත් හර්ෂට කරන්න පුළුවන් වෙලා තියනවද ?

    විවුර්ත මනසිකින් බැලුවොත් මහින්දගේ කාල වකවානුවේ තිබුන දියුණුව නැතිවී ඇති අතර ඔහුගේ කාලයේ තිබු වංචා කිපගුනයකින් වැඩිවී තියනවා වෙනස සාමාන්‍ය මහජනයට මෙය වැටහෙන්නේ නෑ මොකද මේ සොරකම කරන්නේ ඉංග්‍රීසියෙන් ටයි කොට් ඇදගෙන.

    මහින්දගේ කාලයේ සාමාන්‍ය ජනයට පෙන්න තමයි සොරකම මැරකම කලේ හරියට මර්වින් සිල්වා මිනිහෙක් ගසක බැඳ වගේ, එහෙම කිව්වට මේ ආණ්ඩුවත් ඒවා නොකරනවම නෙමෙයි නේ ඉයන් තුමෝ, මතකනේ හිරුනිකා නාගාගේ ඩිෆෙන්ඩර් සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. නොදකින් විතරක් බ්ලොග් බ්ලොග් කාරයින්ටත්ව බෝ වෙලා "තුමා" ලෙඩේ.
      අර සාරස බූරුවා තමයි ඕක බෝ කෙරුවෙ හිටන්

      Delete
    2. බොහොම ස්තූතියි ලංකා සිතුවිලි. ඔබගේ කමෙන්ට් එකට උත්තර දෙන්න පෝස්ට් එකක්ම ලියන්න වෙනවා. කරුණු දෙකකට පමණක් උත්තර දෙන්නම්. සටන් විරාමය හරහා හැම අතින්ම හිරවී සිටි නිසා තමයි 2005 මැතිවරණය වර්ජනයට එල්.ටී.ටී.ය ක්‍රියා කලේ. මහින්දට යුද්ධ කිරීමට දර්ශණයක් තබා සැලසුමක් වත් තිබුණේ නැහැ. ඔහු ටිරාන් අලස් හරහා මුදල් ලබා දෙමේ සහ බලයට පත්වූ පසු මහජන මුදලින් එල්ටීටීයට කප්පම් ගෙවමින් සිටියේ. බිම් බෝම්බ, පැති බෝම්බ වලින් සාමන්‍ය වැසියන් සහ හමුදා සාමාජිකයින් මැරෙන විටත් ඔහු සහ පවුල බේරා ගැනීමට මුදල් ගෙවමින් සිටියේ. එල්ටීටීයේ අනාගත ආරක්ෂාව පතා සරත් ෆොන්සේකට බෝම්බට්ය තිබීම සහ ඝාතනය කිරීමට නොව මහින්දව තව ටිකක් හිර කිරීමට ගෝඨාභයට බෝම්බ තිබීම, මාවිල් ආරුව වැසීමේදී සිහල උරුමය සහ තවත් ජාතික සංවිධාන තල්ලුව තමයි ඔහුව යුද්ධයට තල්ලු කලේ. යුද්ධය කිරීම සහ අවසන් කිරීමේ දර්ශණය සහ සැලසුම් සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා නිලධාරීන්ගේ. සම්බන්ධිකරන සහහ ගෝඨාභයගේ.

      පාලනයක් වෙනස්වූ මැතිවරණයකදී ඊලඟ රජය කරන වැඩ අවසන් වීමෙන් ඒ ගැන මහජනයා දැන ගැනීමට කලක් ගත වෙනවා. උදාහරණ බොහොමයි. කටුනායක නිදහස් වෙලඳ කලාප ඇතිවී රැකියා උත්පාදනය වීමට පටන් ගත්තේ 1980 පමණ. 1977 රජය බලයට පත්වී අවුරුදු තුනකින්. ප්‍රේමදාස පාලනය කලින් පාලනයේම දිගුවක්. එමකාලයේ ඔහු කල නිවාස සංවර්ධනය දිගටම ක්‍රියාත්මාක් වීම ආදිය නිසා වැඩ වල වෙනසක් දැනුනේ නැහැ. දකුණු අධිවේගය ආදී වැඩ පටන් ගත්තේ චන්ද්‍රිකා ගේ පාලනයේ මැද. ඇමති / අගමැති වශයෙන් කිසිවක් නොකල මහින්ද එම පක්ශයේම පාලනයකින් පසු බලය ලබා ගත්තත් 2008 වන තෙක් කිසිවක් සිදුවුණේ නැහැ. 2007-2009 කාලයේ යුද්ධය. ඊට පසු දකුණු අධිවේගය ආදී කලින් ආණ්ඩු පටන් ගත් ඒවා අවසන් වීම. ඉන් ඔපසු සිදුවූයේ නම් කිස්ම වැඩක් නැති ව්‍යාපෘති. වරාය, ගුවන් තොටුපල, සූරිය වැව ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ආදිය. වඩා විසිබිලිටි එක තිබූ සුළු මාර්ග සංවර්ධනය වුණේ ඔහුගේ අනුගාමිකයින්ට රජයේ මුදල් ලබා දීමට. මාර්ග සංවර්ධනය සඳහා තරමක් ඉක්මනින් යොමුවීමට බැසිල් හරහා කලින් මහාමාර්ග ඇමති ලෙස කරගෙන ආ ව්‍යාපෘති බලපෑවා. අවුරුදු 10 ක පාලනයේ අවසාන කාලය නව පාලනයක මුල් කාලය සමඟ සංසන්දනය කිරීමෙන් ඔබගේ මේ කරුණු ගැණ වැටහීමේ ප්‍රමාණය ගැන පැහැදිලිවුණා.

      Delete
    3. මට මේ කමෙන්ට් දැක්කාම හිතෙනවා, මරා විතරද හොරා කියලා. හොරකම , දැන් අපේ සමාජ සම්මතයක් වෙලා. හොරා කෑවට කමක් නෑ, වැඩක් කරනව නං කියන තැනට ඇවිල්ලා. සරසා කියන්නෙ ඇත්ත, අපි පිලිගන්නවා මරා හොරා කියල, ඒත් උඹල පිලිගන්න කැමති නෑ මුනුත් හොරු කියල. රට වැසියොත් හොරු. ව්‍යාපාරිකයොත් හොරු. ආණ්ඩුවෙ රස්සා හොයන එව්වොත් හොරු, අධිකරණයෙත් හොරු, පොලෝසියෙත් හොරු. මේක හොරාගෙ අම්මගෙන් පේන අහන රටක්.

      අපි ඔක්කොම හොඳ හොරු, ඔක්කොම වැසියෝ
      තුන් සිංහලයම නෑඳෑයෝ

      Delete
    4. හොරා කාලා හරි රට වැඩක් ඇති ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති කිරීම සහ සුදු අලි ව්‍යාපෘති කිරීම යනු දෙකක්. මුල් එකේදී කාලයක් යනකොට ඒ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වලින් ණයවල් ගෙවෙනවා. මහවැලි ව්‍යාපරයේ කොමිස් ගැන කතා තිබුණා. එම ව්‍යාපෘතියේ වියදම වසර 15 ක් වගේ ඇතුලත ගෙවා නිමකලා. අදටත් විශාල් වී අස්වනු එන්නේ ඒ නිසා. ඒ දෙකේ වෙනස තේරුම් ගැනීම වැදගත්. ස්තූතියි බස්සා.

      Delete
    5. Ian, If MR didn't have a vision on war why did he appoint SF as a commander of Army? SK (who had about 1 more year to his retirement) would have been the ideal man to carry on with peace.

      Delete
    6. Thank you Ano. The close friendship MR and GR had with him before MR came to power may have played a role. They were drinking buddies. MR also obtained a loan of 600 K from SF for election activities. Hence MR/GR may have had an obligation. Also it is usual to appoint someone whom one had a close association as the head of the Army. This appointment cannot prove that he had a vision for the war. No doubt SF had a vision to end the war. If MR was for the war he had enough and more opportunities to recommence the war. This did not happen until Mavil Aru. Even at that point it was the Hela Urumaya and the JVP who pushed for it. MR was totally against it and was paying kappam to LTTE.

      On the other hand SF had for sometime a clear strategy to finish the war. If some other commander was appointed it would not have ended in the way it ended. Not even kobbakaduwa who was considered a brilliant strategist.

      Delete
    7. @ DGMB

      +++++++++++++++++++++++++++

      Delete
  8. රාජපක්ෂට තිබුණු දර්ශනය සිංහල බහුට්ගරයේ කැමැත්ත දිනාගැනීම.
    ඒ නිසා සුළුතරය අමතක කළා.
    දෙමළ මිනිස්සු මරාදාල සිංහලයො අතරෙ යුද්ධෙ ඉවරකරපු වීරයා වුණා.
    සිංහල ජාතිවාදය අවුස්සලා ඒ ජාතිවාදය නියෝජනය කරන නායකය වුණා.

    ReplyDelete
    Replies
    1. //රාජපක්ෂට තිබුණු දර්ශනය සිංහල බහුට්ගරයේ කැමැත්ත දිනාගැනීම. //

      මම හිතන්නේ ඔහුට තිබුණ එකක් දර්ශණය සිංහල බහුතරය නොමග යැවීමේ , රැවටීමේ දර්ශණයයි. එය ඉතා සාර්ථක වුණා.

      එ.ජා තීරණ මැතිවරණ පැවැත්වීමට යොදා ගැනීම, මුස්ලිම් විරෝධය ආදී සියල්ල යොදාගත්තේ ඒ සඳහා.

      Delete
  9. මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නෙත් කපටියෙක් ජාතිවාදය මතු කරලා ඇමරිකන් කාරයොන්ගේ චන්ද ටික ගත්ත. හැබැයි බයියො වගේ සංස්කෘතික මැඩියෝ නෙවෙයි උන්.

    ReplyDelete
    Replies
    1. මෙම වීඩියෝ එක බලන්න. ඔබ අදහස වෙනස් කරගන්නා බව විශ්වාසයි.

      Delete
  10. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ජනවාරි 8 ජයග්‍රහයට සමානයි කියල කිවුවෙ යහපාලක ජොකියෙක් වෙච්ච රාජිතනෙ.

    ReplyDelete
  11. // AnonymousNovember 21, 2016 at 10:21 AM
    නොදකින් විතරක් බ්ලොග් බ්ලොග් කාරයින්ටත්ව බෝ වෙලා "තුමා" ලෙඩේ.
    අර සාරස බූරුවා තමයි ඕක බෝ කෙරුවෙ හිටන් //

    සා ර ස බූරුවා?
    එව්වා කොහෙද....

    හොඳහිතින්, සා ර ස බූරු තුමා කියලා වෙනස් කොරන්න හිටන්!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සාරස තුමා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. //ඊට වැඩිය හොඳ නැද්ද ගූ රස කියලා හරි නමම පාවිච්චි කළා නම්. //


      ගූ රස තුමා කියන නම නරක නැද්ද හිටන්?

      කොහොම වුනත් ඔයි ඇනෝ තුමා නම් dung beetle කෙනෙක්... එයාලට තමා කෙනෙක් දාන කක්කි රස වැටෙන්නේ...! ඔහෙත් සා ර ස තුමා ගේ ඒවා රසයි කියන්නේ ඒකනේ හිටන්!

      Delete
  12. යුරෝපා සංගමයෙන් එකසත් රාජධානිය ඉවත්වීමත් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයත් "අන්තවාදයේ"ජයක් ලෙස හිතන අයත් ඉන්නවා.කොහොමත් ඒ ජයග්‍රහණ දෙක නිසා ලෝකය යම් තරමකින් හෝ කිසියම් අන්තවාදී බවකට සමීප වෙන බවක් පෙන්වා තියෙනවා.යම් විදියකින් "හිලරි"දින්නොත් එක මහින්ද ඇතුලු ඒකාබද්ධ නඩයේ පරාජයක් වෙනවාද කියන එක ගැන පැහැදිලි නැහැ.

    විල්පත්තුවේ කැලෑ කැපීම ඒ කාලේ පටන් ගත්තා කියලා තවමත් කරන්න ඉඩ දී බලා සිටීම යහපාලනය නෙමේ.එදා පටන් ගත්තු නානසාරලා ගේ රඟපෑම් තවමත්ඉවර නොවීම යහපාලනය නෙමේ.රටේ නිතිය හරියට මෙව්වාට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ///විල්පත්තුවේ කැලෑ කැපීම ඒ කාලේ පටන් ගත්තා කියලා තවමත් කරන්න ඉඩ දී බලා සිටීම යහපාලනය නෙමේ.එදා පටන් ගත්තු නානසාරලා ගේ රඟපෑම් තවමත්ඉවර නොවීම යහපාලනය නෙමේ.රටේ නිතිය හරියට මෙව්වාට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඕන.///

      ++++++++++++++++++++++
      මෙන්න නියම ටොයි කමෙන්ට් එකක්, හැට් ඕෆ් මචං...
      කලින් උන් හොරා කාපු නිසා මුන් කෑවට කමක් නැහැ කියල හිතන ටොයියෝ කියල හිතාගෙන ඉන්න ටොයිස්ලට වඩා උඹ සෑහෙන ඉදිරියෙන්...

      Delete
  13. බයියන් ට්‍රම්ප් ට කඩේ යාම තුලම ඔවුන් ගේ දේශපාලනය ගැන ඇති දැනුමේ තරම පෙනේ..
    ඉතින් ඔවුන් රාජපස්සලාට කඩේ යාමේ කවර අරුමයක්ද

    ReplyDelete
  14. බයියන් ට්‍රම්ප් ට කඩේ යාම තුලම ඔවුන් ගේ දේශපාලනය ගැන ඇති දැනුමේ තරම පෙනේ..
    ඉතින් ඔවුන් රාජපස්සලාට කඩේ යාමේ කවර අරුමයක්ද

    ReplyDelete
  15. ඇමරිකාව කියන්නෙ සුපර් මාකට් එකක් නම්,ලංකාව හරියට,ගමක තියෙන තේ කඩයක් වගෙයි.ඇමරිකාව කොහොම හරි ඉස්සරහට යනව.මුන්ට මේ තේ කඩේ හරියට කලමනාකරනය කරගන්න බැහැ.කොහෙ හරි රටකට පහසුවෙන් වීසා ලැබෙනව නම් ලංකාවෙ ඉතුරු වෙන්නෙ වයසක අයයි.ලෙඩ්ඩුයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත. ස්තූතියි ඇනෝ

      Delete
  16. ට්‍රම්ප් ව්‍යාපාරික ලෝකයේ ඇද වැටිච්ච වෙලාවලුත් තිබෙනචා. මේ ලිපිය ට්‍රම්පට පක්ෂව් අලියපු එකක්ද නැති එකක්ද කියල හිතා ගන්න බහ. මට නම් ට්‍රම්ප් ව විශ්වාස කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප්ට පක්ෂව නෙමෙයි, ඔහුගේ අදහස් ගෝටාභය - මරා ගේ ජාතිවාදී අදහස් සමඟ සමාන කරන එක ගැන ලියපු එකක්. ස්තූතියි අජිත්

      Delete
  17. මරු සෙට් එක. මරා ජනාධිපතිවෙලා ඇවිත් හම්බකරා. ට්‍රම්ප් සල්ලි හම්බකරන් ඇවිත් ජනාධිපති වුනා. මට නම් පේන්නේ ඒ වෙනස. බද්ධේ එකාලා ට්‍රම්ප්ගේ සද්දේ ලංකාවට ගලපගන්නේ මොන පදනමකින්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ට්‍රම්ප් කියනවා නයිජල් ෆරාජ්ව බ්‍රිතාන්‍ය තානාපති විදිහට එහෙට එවන්නලු. ලංකාවේ තානාපතිට යවන්නේ කාවද....අම්පිටියේ සුමනව යෝජනා කරමු.

    ReplyDelete