-විසල් කරුණාරත්න විසිනි-
(ලංකා ඊ නිව්ස් -2016.සැප්.12, පෙ.ව.6.30) ඒ 1989 වසරේ අවසන් කාර්තුවේ දවසක්. ඒ වන විට කැරැල්ල මුළුමණින්ම වගේ මැඩ පවත්වා තිබුණත් රට සාමාන්‍ය අතට පත් වී තිබුනේ නැහැ. එවකට විසි ගණන් වල සිටි අපි කිහිප දෙනෙක් කොල්ලුපිටියේ දුප්පත් ක්ලබ් එකක බෝතලයක් වටේ රොක් වී සිටිය. කණ්ඩායම අතරේ සඳරුවන්, මංජුල, කල්‍යා, සිරිමල්, සරත් සහ කාෂ්‍යප හිටිය වගේ මතකයි. වැඩේට ස්පොන්සර් කෙළේ අලජ්ඡි සුනිල්. ඌ ඉන්ෂුරන්ස් එකේ පියන් කෙනෙක්. එය දෙපැත්තෙන් තාප්ප සහිත, වා කවුළු නැති තැනක්. දුමෙන් පොට් එක වැසී තිබුණ. දෙපැත්තේ අලවා තිබූ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විවිධ ෆොටෝ, ක්ලබ් එකේ අයිතිකාරයා තද ප්‍රේමදාස වාදියෙක් බව කියා පෑවා.
තැන හෝ නොතැන අපගේ සැලකිල්ලට එතරම් ලක් වූයේ නැහැ. අපි මහ හඩින් සහ සුපුරුදු ලෙස දේශපාලන සංවාදයක නිරත වී සිටියා. වැඩි දෙනෙක් කැරැල්ලට ප්‍රථම ජවිපෙන් ඉවත් වී නව ප්‍රවනතාවය සමග හිඳ, එකවිට ප්‍රේමදාස රජයෙන් සහ ජවිපෙන් තර්ජන තිබූ එවුන්. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, නව සමසමාජ පක්ෂය, මහජන පක්ෂය ආදී යේ දේශපාලන රස්තියාදුවේ ගිය එවුන්. උතුරේ සහ දකුණේ වෙන වෙනම විප්ලව දෙකක් කර, ඒවා නැවත ඒකාබද්ධ කර ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාණ්ඩුවක් සැදීමට යෝජනා කළ එවුන් ද සිටිය. අවට මේස වල සිටි එවුන්ට අපගේ සංවාදය එතරම් ගණනක් නැති වුනත් ක්ලබ් එකේ හිමිකරුට එය එතරම් දිරෙව්වෙ නැහැ. වරක් දෙවරක් පමණ අප අසලට පැමිණි අයිතිකරු ‘මල්ලී දේශපාලනේ කතා කලාට කමක් නැහැ ජනාධිපතිතුමාට බනින්න එපා’ යැයි අවවාද කළා. අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. දිගටම ප්‍රේමදාසව පතුරු ගැසුව. මලේ උපරිමයට ගිය අයිතිකාරයා එකවරම අප වෙත කඩා පැන සිරිමල් ගේ කොලරයෙන් ඇද ඌව එලියටම ඇද දැම්මා. අනෙක් එවුන් ෂේප් එකේ එළියට එන අතරේ අලජ්ජියා ඉතිරි කොටය සහ බයිට් එක ඔතා ගෙන එන්න තරම් තීක්ෂණ වුන.

