Friday, January 8, 2016

ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුද


ජනවාරි 8 විප්ලවයේ පියවරු බර ගණනකි. හැමෝම ඒ සඳහා ක්‍රෙඩිට් එක ගැනීමට උත්සාහ කරති. මම දන්නා කරුණු අනුව මෙම විප්ලවයේ වීරයා මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේය. පෙර ගමන්කරු  යුධ ජයග්‍රහණයෙන් පසු උමතුවූ රාජපක්ෂ වරුන්ගේ අපරාජිකත්වයට (invincibility) මුලින්ම අහියෝග කළ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්කයෙකු සොයාගැනීම සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පොදු එකඟතාවයකින් ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ තව දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මෑතකදී පිස්සු වැඩ කීපයක් නිසා මඩ කෑ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. අනෙක් පුද්ගලයා සිතාගත නොහැකි ආකාරයේ අවදානමක් ගෙන කටයුතු කල වැඩි දෙනෙක් නොදන්නා ආචාර්‍යය කපිල රණසිංහය. ඊට අමතරව ඔවුන්ගේ සහයට සහ එක්සත් ජාතික පක්ශය ඒ සමඟ සම්බන්ධිකරණය සඳහා කටයුතු කළ කොමර්ශල් බැංකුවේ හිටපු සභාපති දිනේශ් වීරක්කොඩිය. එමෙන්ම අන්තිම මොහොතේ ඇතිවූ ප්‍රශ්ණයක් විශිශ්ඨ ලෙස සමනය කල අතුරලියේ රතන හිමියන්ද මෛත්‍රීපාල මහතාට ශක්තියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැනද කිවයුතුමය.  

නොවැම්බර විසි එක් වැනි දිනෙන් පසුව තවත් විශාල ප්‍රමාණයක් වීරයන් බිහිවිය. බ්ලොග් කරුවන්, මුහුණු පොතේ ක්‍රියා කාරීන්, ගුටි කමින් පාරට බැසි කලා කරුවන්, සිවිල් සංවිධාන, පක්ශ ක්‍රියා කාරීන්, මේ සියළු දෙනාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ කොන්දට සහ නිර්භීත කමට පින්සිදුවන්නට ජනවාරි 9 දින සැනසුම් සුසුමක් හෙලූහ. 

Monday, January 4, 2016

මම කවුද ඩෝ ! - 2

මම කවුද ඩෝ? - 1පෝස්ට් එකට අදාල විස්තරය දාන්න අවසර. ඒ පෝස්ට් එකට ප්‍රතිචාර දක්වමු හැමෝටම ස්තූතියි. ඒගැන විස්තර පසුව. 

ජීවිත කාළයක් පුරා අපි ඔසවාගෙන යන බරක් බිමින් තියන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ පෝස්ට් එක. මේ බර බිමින් තියන්න පුළුවන් වුනොත් ඉස්සරහට ඔබගේ ජීවිත ගමන සැහැල්ලුවකින් ගෙනියන්න පුළුවන් වෙයි. කැමතිනම් උත්සාහ කරල බලන්න. 

"බබාට බඩගිනියි" එහෙම නැත්නම් "බබාට අරක ඕන" යනුවෙන් තමන්ට තුන්වන පාර්ශවයෙන් සඳහන් කරන දරුවන් ඔබ දැක තියෙනවාද? මේකට හේතුව කියල කියන්නෙ 'බබා' සහ 'මම' කියන්නේ එක් එක්කෙනෙක් කියන හැඟීම කුඩා දරුවෙකුට එන්නෙ වයස තුනක්  වගේ යනකොට නිසා. අපි හිතන්නේ බබාට තවම තමා කවුද යන්න තේරුමක් නැහැ කියල. සමහර අයගෙ අදහස නම් මේක භාෂා දැනීම ලැබෙනකන් වෙන දෙයක් කියල. 

මගේ අදහස නම් බබා හිතන විදිහ හරි. ඊට පස්සේ අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් එක්ක බබාත් තමනුත් ඒ පොඩි ඇඟේ ඉන්න කෙනා බවට හිතා ගන්නවා. එහෙම උනායින් පස්සේ එම හැඟීම ගලවාගන්න හරිම අමාරුයි. දරුවා ටිකක් ලොකු වෙනකොට තව ගොඩක් දේවල් ගැන ඔහුට හැඟීම් එනව එහෙම නැත්නම් දෙමව්පියන් බලෙන්ම දෙනව. ඉපදෙන කොටම දෙන වාසගම් වලින් එම දරුවා එක පවුලක හෝ පැලැන්තියක සහ කුලයක කෙනෙක් වෙනව. ඊට පස්සේ යන පාසැල නිසා (රාජකීය විද්‍යාලයය, ආනන්ද විද්‍යාලයය ආදී වශයෙන්) අනික් දරුවන්ට සාපේක්ෂව දරුවා යම් තත්ත්වයක් (මානයක්) හිතට ගන්නව. සමහරවිට අනික් දරුවන් පයින් හෝ පොදු ප්‍රවාහන සේවා වලින් පාසැල් එනකොට මේ දරුවා පාසැල් යන්නේ පියාගේ මෝටර් රථයෙන්.  පාසැලේ අනික් අය සිංහලෙන් කථා කරන විට මෙම  දරුවාට ඉංග්‍රීසියෙන් කථා කරන්න තියෙන හැකියාව සහ ඒකට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන කොට එතනත් මාන්නයක් ඇතිවෙනවා.

Sunday, January 3, 2016

මං කවුද ඩෝ ???


කවුරුවත් සාමාන්‍යයෙන් මෙහෙම අහන්නේ නැහැ. බොහෝ වෙලාවට ඇහෙන්නේ උඹ කවුද ඩෝ?, එහෙම නැත්නම් අර තරුණ බබලත් උදවිය අත් දෙකේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකට තියාගෙන දෙපැත්තට කරකව කරකව තොදොල්වෙවී "කවුද අනේ ඔයා"? කිය අහන එක. අපි අනික් අය කවුද කියල ඇහුවට අපි, අපි කවුද කියල අහන්නෙ කලාතුරකින්. වෙනසකටත් එක්කල හිතල බලන්න ඒ ප්‍රශ්ණෙට අපි මොකද්ද දෙන උත්තරේ කියල. පොඩ්ඩක් නැවතිලා තීරණය කරන්න කවුරුහරි අපෙන් ඒ ප්‍රශ්ණය ඇහුවොත් මොකද්ද හිතට එන උත්තරේ කියල. 

හරිද? හිතුවද?  

99%ක් ම මේ ප්‍රශ්ණෙට දෙන උත්තරේට ඇතුලත් වෙන්නේ මේ වගේ දේවල් නේද? නම, ඉන්න පලාත, උගත් පාසැල හෝ විශ්ව විද්‍යාලයය, වයස, ස්වාමි පුරුෂයාගේ භාර්‍යාවගේ එහෙම නැත්නම් ආදරවන්තයාගේ  හෝ ආදරවන්තිය සමඟ සම්බන්ධතාවය, සමිති සමාගම් වල තනතුරු හෝ සාමාජිකත්වය පවුලේ විස්තර, පැලැන්තිය , පියාගේ හෝ ඔබගේ ප්‍රසිද්ධ ඥාතියෙකුගේ සම්බන්ධතාවය, කරන ව්‍යාපාරය , හදාරන පාඨමාලාව, රැකියාව කරන ස්ථානය, අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම ,වෘත්තිය, රැකියාවේ තනතුර, වගේ දේවල් සම්බන්ධ කරගෙන නේද? 

ඔබට හැකියාවක් තියෙනවද මේ වගේ දේවල් පාවිච්චි නොකර ඔබ කව්ද? යන ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න?

මේ පෝස්ට් එකේ ඉතිරි කොටස ඔබගේ පිළිතුරු ලැබුණු පසුව. ඊලඟ පෝස්ට් එකට පෙර මම කියන්න යන අදහසට අනුව ලැබෙන හොඳම පිළිතුරට රුපියල් 5,000 ක ත්‍යාගයක් හිමිවෙනවා. එකකට වැඩි හරි උත්තර තිබුණොත් ත්‍යාගය පළමුවෙනි හරි උත්තරේට මින් භාගයකුත් ඉතිරිය අනික් හරි උත්තර අතර බෙදී යනවා.