Sunday, January 3, 2016

මං කවුද ඩෝ ???


කවුරුවත් සාමාන්‍යයෙන් මෙහෙම අහන්නේ නැහැ. බොහෝ වෙලාවට ඇහෙන්නේ උඹ කවුද ඩෝ?, එහෙම නැත්නම් අර තරුණ බබලත් උදවිය අත් දෙකේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකට තියාගෙන දෙපැත්තට කරකව කරකව තොදොල්වෙවී "කවුද අනේ ඔයා"? කිය අහන එක. අපි අනික් අය කවුද කියල ඇහුවට අපි, අපි කවුද කියල අහන්නෙ කලාතුරකින්. වෙනසකටත් එක්කල හිතල බලන්න ඒ ප්‍රශ්ණෙට අපි මොකද්ද දෙන උත්තරේ කියල. පොඩ්ඩක් නැවතිලා තීරණය කරන්න කවුරුහරි අපෙන් ඒ ප්‍රශ්ණය ඇහුවොත් මොකද්ද හිතට එන උත්තරේ කියල. 

හරිද? හිතුවද?  

99%ක් ම මේ ප්‍රශ්ණෙට දෙන උත්තරේට ඇතුලත් වෙන්නේ මේ වගේ දේවල් නේද? නම, ඉන්න පලාත, උගත් පාසැල හෝ විශ්ව විද්‍යාලයය, වයස, ස්වාමි පුරුෂයාගේ භාර්‍යාවගේ එහෙම නැත්නම් ආදරවන්තයාගේ  හෝ ආදරවන්තිය සමඟ සම්බන්ධතාවය, සමිති සමාගම් වල තනතුරු හෝ සාමාජිකත්වය , පවුලේ විස්තර, පැලැන්තිය , පියාගේ හෝ ඔබගේ ප්‍රසිද්ධ ඥාතියෙකුගේ සම්බන්ධතාවය, කරන ව්‍යාපාරය , හදාරන පාඨමාලාව, රැකියාව කරන ස්ථානය, අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම ,වෘත්තිය, රැකියාවේ තනතුර, වගේ දේවල් සම්බන්ධ කරගෙන නේද? 

ඔබට හැකියාවක් තියෙනවද මේ වගේ දේවල් පාවිච්චි නොකර ඔබ කව්ද? යන ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න?

මේ පෝස්ට් එකේ ඉතිරි කොටස ඔබගේ පිළිතුරු ලැබුණු පසුව. ඊලඟ පෝස්ට් එකට පෙර මම කියන්න යන අදහසට අනුව ලැබෙන හොඳම පිළිතුරට රුපියල් 5,000 ක ත්‍යාගයක් හිමිවෙනවා. එකකට වැඩි හරි උත්තර තිබුණොත් ත්‍යාගය පළමුවෙනි හරි උත්තරේට මින් භාගයකුත් ඉතිරිය අනික් හරි උත්තර අතර බෙදී යනවා. 




Thursday, December 31, 2015

අමුතුම වසරකට සමුදෙමි



2015 කියන්නේ ගොඩක් වෙනස්කම් අළුත් අත්දැකීම් වලට මුහුණ දුන් වසරක්. සමහර අය එකඟ නොවුනත් රටේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්වීම ඉතාම හොඳ ආරම්භයක් වසරට ලබා දුන්නා. ඒ වෙනස තව ගොඩක් දුර යන්න ඇතිබව වෙච්ච සමහර දේවලින් පැහැදිලියි. සමහර වෙනස් කම් සිදු කර ගන්න මමත් පෞද්ගලිකව උත්සාහ ගන්නවා.

දෙවෙනි වෙනස තමයි අවුරුදු 12 කට පසුව පළමු වරට තනිව ජීවත් වන්නට සිදුවීම. පහුගිය අවුරුදු දොලහේ මා සමඟ සිටි පුතා උසස් අධ්‍යාපනයට විදේශ ගත වුනා.  ඒකත් එක්තරා විදිහක සහනයක්. ඔහු වෙන්වී යාම ඉතා සුළු හෝ හිඩැසක් ඇති කරත් මනස ගොඩක් දුරට නිදහස් වුනා.  ඒ නිදහසත් එක්ක 2009 විතර ඉඳන් තිබිච්ච බ්ලොග් එකත් දුහුවිලි පිහදාල ගත්තා. 

බ්ලොග් එකක් කිව්වට මේක වැඩි දෙනෙක් කියෙව්වේ නැහැ. මේකේ ප්‍රධාන කර්තව්‍ය වුනේ පුවත්පත් වලට ලියූ ලිපි වල සොෆ්ට් පිටපත් සංරක්ශණය. අවුරුදු හයටම තිබ්බේ එක කමෙන්ට් එකද කොහෙද. අර ගොඩනැඟිලි උයන්නා හෙවත්  චෙෆාකි කමෙන්ට් එකකින් සින්ඩිකේට් වලට දාන්න කියපු නිසා එක පාරටම වැඩිදෙනෙක් කියවන බව තේරුණා. ඒ නිසා රවී, අපූර්වි, නෙලුම්යායේ අජිත්, විචාරක, පොඩ්ඩි,  හැලපේ, ඉකොනොමැට්ටා, උපේක්ෂා, හංසි, මෙතූ, පත්තර මල්ලි, රසිකලොජි, රාජ්, කුරුටු, වර්ණ, ඩ්‍රැකී, දේශක, මනෝ මන්දිර,  මිත්‍රවර්ණ, බණ්ඩා, Dude, Praසන්ன, විදානේ මනොජ්, අම්බලන්ගොඩ, මහේෂ්, වැනි ප්‍රවීනයන් සයිබරයේ හඳුනාගන්නට හැකි වුණා. 

ඒවගේම චෙෆාකි, මාතලන්, ඉවාන්, අටම්, සජ්ජා, ලොකුපුතා, ප්‍රාජේ, මෙන්ඩා, බස්සි, කමියා, 
, කැමා ඇනෝප්ලීස්, නලින්, කම්මල (1) , කම්මල (2), කටුස්සා, ගස්ලබ්බා  වැනි බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේ හමුවෙන්නත් අවස්ථාව ලැබුණා. (මෙතනින් ප්‍රාජේ මම බොහෝ කලක් හඳුනන කෙනෙක් වුනත් ඔහු බ්ලොග් අවකාශයේ සිටින බව දැනගෙන සිටියේ නැහැ). එම නිසා එක්තරා වයස් පරතරයක සහ වෘත්තීන් කිහිපහයකට සීම වී තිබූ මගේ මිතුරන් ප්‍රමාණය මෙම වසරේදී වඩාත් පුළුල් වුනා. 

මේ වෙනස්කම් නිසා 2015 මට අමුතුම ඒවගේම සතුටට පත් වසරක් වුනා. මගේ 2015 වසර වර්ණවත් කල ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ සියලු දෙනාටම තෘප්තිමත් 2016 වසරක් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 

ඉයන්

Thursday, December 24, 2015

රනිල්ගේ බොරු

රනිල්ගේ බොරු



කමියාගේ ඉල්ලීමක් ඉටුකරන්න කියල හිතුන. ඉල්ලල නාගන්න වෙයිද කියලත් හිතුන. ඒවුනාට මේ යහපාලනය පොරොන්දු වුන රනිල් කරන දේවල් ගැන නොකියත් බැහැ. පටන් ගමු ඥාති සංග්‍රහයෙන්ම. මොකද යහපාලනේ පටන්ගත්තෙත් ඒකෙන් නිසා. සිරිසේන සහෝදරයා අධ්‍යාපන, දුප්පත්කම නැතිකිරීම, කෘශිකර්මය වගේ සබ්ජෙක්ට් එකකට බැස්ස නම් ප්‍රශ්ණයක් නැහැ. බැස්සෙ ටෙලිකොම් එකට. එතන හොද්ද බොරයි කියල කවුරුත් දන්නවනෙ. ඒවගේ උතුම් ආදර්ශයක් දුන්න ගමන් අලියගෙන් දිනපු අර්ජුන මහත්තයත් එයාගෙ අයියව දැම්මෙ අර රටට ඕන තැනකට එහෙම නෙමෙයි. කෙලින්ම වරායට. ඔන්න යහපාලනේ විරුද්ධ වෙච්ච ඥාති සංග්‍රහය. රනිල්ගෙ බොරුව ඒවයෙන් ඔප්පු වෙනව නේද? .