Tuesday, April 30, 2019

මේක ලැබුණොත් නම් ඔක්කොම හරි

දුවල හති


අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද?    

පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික කාලයයි. ඒකෙන් පස්සෙ වෙන පාසැලක් ලැබුණොත් එතන ඉන්න ශිෂ්‍යත්වය සමත් වුණ අනික් අය දකින කොට තමන් උසස් කියල හිතපු සතුට ඉවරයි. ආයිමත් සාමාන්‍ය පෙළ විභාගෙ ලං වෙනකොට කලින් වෙච්ච දේ අමතකයි. OL ඒ 10 ක් ගත්තොත් ජීවිතේ එතනින් පස්සෙ ඔක්කොම හරි කියල හිතනවා. 

උසස් පෙළ විභාගය, සරසවියට තේරුණාම, කෙල්ලෙක් දාගත්තම,  ඩිග්‍රිය ඉවරවුනාම, රැකියාවක් ලැබුනම, විවාහවුණාම, ළමයෙක් ලැබුණම, ගෙයක් හදාගත්තම, වාහනයක් ගත්තම, ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල නුදුරින් තියෙන ඉල්ලක්කයක් දිහා බලාගෙන යන ගමනක් තමයි බොහෝ දෙනෙක් ගේ ජීවිතය.  ඔබගේ ජීවිතයේ මේ වගේ කඩයිම් ගැන ඒවා ලබාගන්න පෙර හිතුවේ කොහොමද? අද ඒ පරණ ඉලක්ක ගැන අද හිතනකොටත් ඒවගේම වටිනාකමක් දැනෙනවද?