Monday, October 24, 2016

සත්ගුණවත් ව්‍යාපාරික

පෙර ලිපිය නිසා සති අන්තයේ මට හීන් බබා සීයා ගෙන් කෝල් එකක් ආව. එයා කියනව එයගේ චරිතය පාවිච්චි කරගෙන විකාර අදහස් මිනිස්සුන්ට දාන්න එපාය දානවනම් ඉඩම් වාහන නැති අයටත් කරන්න පුළුවන් දේවල් කියන්න කියලා. අනික අපේ හිතවත් D.G.M බස්සා පෝස්ට් එකක් දාල තියෙනව එයයි හීන් බබා සීයයි අතර සංවාදයක්. ඔන්න ඔය දේවල් නිසා සුළුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර ගැන මම දන්න විදිහට විස්තරයක් තමයි මේ. සුළුවෙන් කිව්වෙ ආරම්භය විතරයි හරියට කරගෙන ගියොත් කෝටිපතියෙක් වෙන්න බැරි වෙන්නේ නැහැ. අර හිත ඇත්නම් පත කුඩාද කියලත් කියල තියෙනවනෙ.

ඔක්කොටම ඉස්සෙල්ලා ව්‍යාපාරයක් සාර්ථක වෙන රහස් ටික කියල ඉන්නම්. කාට හරි පාවිච්චි කරන්න දෙයක් හදනකොට ඒක තමන්ට පාවිච්චි කරන්න හදනවා කියලා හිතලා හොඳටම හදන්න. කවදාවත් බාල බඩු, පරණ කෑම වගේ දේවල් විකුණන්න එපා. එවායේන් වෙන හානිය විශාලයි. ගොඩක් දෙනෙක් නැතිවෙන්නේ ඉක්මනින් ලාභ ගන්න බාල දේවල් විකුණන නිසා. හොඳ දෙයක් කරනකොට කට වචනෙන් ඉස්සරහට ගොඩක් බිස්නස් හැදෙනවා. ඒවගේම ආහාර නොවන දේවලට අවුරුද්දක වගකීමක් දෙන්න බය වෙන්න එපා. එතකොට පාරිභෝගිකයාට  බයක් නැතුව ගන්න පුළුවන්. ඒවගේම යමක් කැඩුණොත් ඉක්මනටම හදල දෙන්න. මේවා ඕනෑම ලොකු පොඩි ව්‍යාපාරයකට පොදුයි.

අළුතින්ම යමක් පටන් ගන්න ගොඩක් අය අධෛර්ය වෙන දෙයක් තමයි ඒගොල්ලන්ගේ වයස. ලෝක ව්‍යාප්ත KFC ජාලය ඇතිකල කර්නල් සෝන්ඩර්ස් ව්‍යාපාර ආරම්භ කලේ වයස 62 දී. ඒවගේම වයස 13 -16 කාලේ ව්‍යාපාර ආරම්භ කල අයත් ගොඩක් ඉන්නවා. ඒ අයගෙ විස්තර මෙතනින් බලන්න පුළුවන්. ඒක නිසා වයස, විවාහක/ අවිවාහක බව, ගැහැණු පිරිමි බව, දරුවන් සිටීම නොසිටීම වගේ කිසිම හේතුවල් අදාල කරගන්න එපා. අවශ්‍ය නොපසුබටනා අධිශ්ඨානය පමණමයි.  



අළුත්වැඩියා කරන වාහනයක්
ඉස්සෙල්ලම සිරාගෙ කාමරේ ලියන සිරා කමෙන්ට් එකක් දාල තිබුණ ඇන්ටික් ස්කූටර් බිස්නස් එකක් කරන්න හිතුණ කියල. දිනපතාම අළුත් වාහන ගෙන්නන නිසා දැන් අවුරුදු 20-25 පරණ වාහන ගෙවල් වල දිරනව. ඔබට වාහන ගැන උනන්දුවක් හෝ දැනීමක් තියෙනවනම් මේවයින් හොඳ ව්‍යාපාරයක් කරන්න පුළුවන්.  මේ වීඩියෝ එක බලන්න. car restoration කියල Youtube එකේ සර්ච් කරොත් හරි ඔබ කරන බලාපොරොත්තු වෙන වාහනය ගැන උදාහරණයකට Toyota Corolla 1992 restoration  කියල සර්ච් කරොත් ගොඩක් වීඩියෝ තියෙනවා ඉගෙනගන්න. ටින්කරින් සයිඩ් එක කරගන්න කෙනෙක් හොයාගෙන මේවගේ වාහන modify කරල ගත්තොත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. මෙකැනිකල් පැත්ත ගත්තොත් ඒවට ගැපෙන අළුත් එන්ජින් එකක්, ආදිය ලබා ගන්න එක එච්ච්චර අමාරු නැහැ. තියෙන එන්ජිම වුණත් අළුත් වැඩියා කරන්න පුළුවන්. බ්‍රේක් වගේ දේවල් අළුතින් දාල ගත්තම මේ වාහන තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේවගේ වාහනයක් විකුණන එකේ රහස නම් හොඳ පේන්ට් එක. එතනදි නම් ලෝභ නොවී දැන් අළුතින් දාල තියෙන හයි-එන්ඩ් පේන්ට් ශොප් එකකින් ඒක කරගන්න ඕන. කාර් එකක් ඒවගේ තැනක පේන්ට් කරන්න රුපියල් ලක්ෂයක් වගේ යනවා. හැබැයි ඒ පේන්ට් එක ලොකු ගාණක් වටිනාකමට එකතු කරනවා. සීට් කවර හුඩ් එක ආදිය නීට් එකට කරගන්න ඕන. මේවට නම් දැන් ගොඩක් තැන් තියෙනවා. ටේල් ලයිට් වගේ දේවල් වලට අළුත් චීනෙ හදන ලයිට් කවර් eBay එකේ තියෙනවා.

මේක මෝටර්සයිකල් වලට වගේම පුෂ් සයිකල් වලටත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පුෂ් සයිකල් වල තාක්ෂණය කාලෙකින් වෙනස්වෙලා නැතිනිසා ඒක වඩාත්ම ලේසියි. ගෙවල් වල විසිකරල දාල තියෙන පරණ බයිසිකල් කටු 100 ක් විතර හොයාගෙන එක පාරකට 5 හෝ 10 ක් මේවගේ මොඩිෆයි කරන්න පුළුවන්. ෆ්‍රේම් එක පේන්ට් කරලා ටයර්ස්, රිම්ස්, ස්පෝක්ස්, පෙඩල්ස්, එහෙම අළුතින්ම දාලා, සීට් එක කුශන් කරලා, බ්‍රේක් ටික අළුතින් දාලා මොඩර්න් හෙඩ් ලයිට් එකක් සහ රිෆ්ලෙක්ටර්ස් දාල අරගෙන අළුත් බයිසිකලේක ගාණට වඩා 30% අඩුවෙන් දෙන්න පුළුවන් නම්.  බයිසිකලේ තාක්ෂණය සිම්පල් නිසා මේකට එච්චර කාර්මික දැනීමක් නැතුව වුණත් කරන්න පුළුවන්.


සිතුවමක්
බ්ලොග් අවකාශෙ ගොඩක් සිත්තරුන් සහ සිත්තරාවියන් සිටිනවා. මේ අයට තමන්ගේ හැකියාව විනෝදාංශයකට සීමා නොවී ව්‍යාපාරයක් තත්ත්වයට ගෙන එන්න පුළුවන්. අද විශාල වශයෙන්  අළුත් නිවාස, සහ මහල් නිවාස ඉදිවෙනවා. ඒවාට මෙවන් නිමැවුම් වලට ඉල්ලුමක් තියෙනවා. ඒවා වෘත්තීය මට්ටමෙන් ඉදිරිපත් කිරීම එතරම් අපහසු නැහැ. කැන්වස් එකක හෝ වෙනත් මාධ්‍යයක අඳින පින්තූර ලස්සනට ෆ්‍රේම් කිරීම වැදගත්. greatbigcanvas.com වගේ මෙවන් පින්තූර ජාත්‍යන්තර අලෙවි කරන වෙබ් සයිට් එකකින් ගොඩක් මෙවන් ව්‍යාපාරයකට අදහස් ගන්න පුළුවන්. ඔක්කොම සිත්තරුන්ට ඔවුන්ගේ චිත්‍ර වෙලඳපොලට ඉදිරිපත් කරන්න අප අතරින්ම කෙනෙක් වෙබ් සයිට් එකක් ඇතිකරනවනම් පාරිභෝගිකයාටත් සිත්තරාටත් දෙන්නටම ලේසියි. නිවාස සම්බන්ධ දැන්වීම් යන වෙබ්සයිට් වල සහ හිට් ඇඩ් හරහා පාරිභෝගිකයන් සිත්තර වෙබ් සයිට් එකට යොමු කරන්න පුළුවන්. එතෙන්දි කැමති පින්තූර තෝරගන්න තමන් කැමති ෆ්‍රේම් එක තෝරගන්න අවස්ථාව තිබෙනවානම් වෙබ්සයිට් එක කරන  කෙනාටම වුණත් සිත්තරුන්ගෙන් පින්තූර ගෙන්වාගෙන ෆ්‍රේම් කරලා පාරිභෝගිකයාට  යවන්නත් පුළුවන්.


නිවසක නිෂ්පාදිත ජෑම් බෝතල් 
කල් තබා ගැත හැකි ආහාර නිෂ්පාදනයත් සෑහෙන්න ලාභ ගන්න පුළුවන් ඒවගේම ලොකු සතුටක් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. ජෑම් වර්ග, කෝඩියල් වර්ග, ආදිය නිෂ්පාදනය කරන හැටි ඉගෙනගන්න ගොඩක් වීඩියෝස් එකේ තියෙනවා. ඔබ ඉන්න පළාතේ තිබෙන පළතුරු වර්ග එකතු කොට මෙවන් ව්‍යාපාරයක් කරනවා නම් ඒවා වවන අයටත් ආදායමක් ලැබෙනවා. මේවගේ දේවල් විකුණගන්න සුපිරි වෙලඳ සැල් වලට යන එක නම් ටිකක් අමාරු වැඩක්. ඒකට හේතුව ඒ අය බලන්නේ මාස ගණනක ණයට බඩු ගන්න. එතකොට විකිණීමට ඒ මාධ්‍ය ගැන හිතනවා නම් ණය සපයන්න ලොකු මුදලක් යනවා. මේවගේ දේවල් වලට සංචාරක හෝටල් වල ඉල්ලුමක් තියෙනවා. උදාහරණයකට ලයිචීස් කියල   රඹුටන් ජාතියක බෝතල් කෑන් අපි පිටරටින් ගෙන්වනවා. අපේ රඹුටන් මේවගේ ඇසුරුමක ගන්න පුළුවන් නම් ඒකට රඹුටන් අවාරෙට හොඳ ඉල්ලුමක් තියෙයි.  මෙතෙන්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි අඩංගු ආහාර වර්ගය වගේම ඇසුරුමත් ඉතා ඉහල මට්ටමකින් තියෙන්න ඕන කියන එක. අද ලංකාවේ තිබෙන මුද්‍රණ තාක්ෂණය ඉතා ඉහලයි. මේවගේ ඒවා බෝතල් කරන මෙසිමක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් Alibaba එකෙන් ගෙන්වා ගන්නත් පුළුවන්. තමන්ගේම කියල බ්‍රෑන්ඩ් (වෙලඳ සන්නාමය) එකක් හදා ගන්න එක කොයිකටත් හොඳයි එතකොට එක ආහාර වර්ගයක් ජනප්‍රිය වුණොත් ඒ බ්‍රෑන්ඩ් එකෙන් වෙන ආහාර වර්ගයක් හරි වෙන දෙයක් හරි හඳුන්වා දෙන්න ලේසිවෙනවා.

විකිණීමට ඇති ඇඟළුම්
තවත් ඉහල ඉල්ලුමක් තියෙන දෙයක් තමයි ඇඟළුම්. ඔය NOLIMIT, House of Fashion වගේ කොම්පැණි කරන්නේ මොකක් හරි ඇඳුමක් පතොරමක් කරලා ඒක මහන්න දැනීම තියෙන අයට බෙදල දීලා ඇඳුම අනුව රුපියල් 500/= කට 1,000/= ක් වැනි ගාණකට මස්සලා ගන්න එක. ඒකට මොකක් හරි ලේබල් එකක් අලවලා ගත්තාම විකුණන්නේ රුපියල් 1500/= කර 3,000/= කට වගේ. මහරගම ස්ටේෂන් එක ගාවින් ගන්න රෙදි වලින් මේවගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. මහන්න ලේසි ඇඳුම් කීපයකින් මීඩියම් සයිස් ඒවා අරගෙන ඒවයින් පතරොම් සාදාගෙන  Large සයිස්  එකට ඊට වඩා 10% විතර වැඩියෙනුයි Small සයිස් එකට 10% විතර අඩුවෙනුයි පතොරොම් හදා ගත්තොත් ඊට පස්සේ තියෙන්නේ රෙදි අරගෙන මහන්න. ඒවා මුලදී වෙන පොඩි කඩවලට දාන්න පුළුවන්. හැබැයි ලාභ වැඩිම තමන්ම කඩයක් දාගත්තොත් තමයි. මේවා මහන්න ඕන විවිධ මෙෂින් ගැන අටමගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි.


වයස්ගත කාන්තාවක්
ටිකක් සල්ලි අතේ තියෙන කෙනෙකුටනම් තව හොඳ ව්‍යාපාර දෙකක් තියෙනවා. එකක් නම් පෞද්ගලික පාසැල්. තමන්ගේ ළමයින් වෙනුවෙන් දෙමව්පියන් වියදම් කරන්න කැමති නිසා ඉගෙනීම, ක්‍රීඩා, අනික් හැකියාවන් වැඩි කරන විදිහේ පරිපූර්ණ අධ්‍යාපනය ලබා දෙන හොඳම පුරවැසියන් බිහිකරන පාසැලක් දැම්මනම් තවමත් පිට පළාත් වල හොඳ ව්‍යාපාරයක්. අනික් ව්‍යාපාරය වැඩිහිටි නිවාස. අද ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් පිටරට ඉන්න එකේ ඉහලම මට්ටමේ විශ්වාසය දිනාගත හැකි වැඩිහිටි නිවාසයක් කියන්නේ හොඳ ව්‍යාපාරයක්. දැන් තාක්ෂණය අනුව දෙමව්පියන්ව 24/7 නිරීක්ෂණය කරන්න ඇති හැකියාව, ස්කයිප් හරහා හෝ ෆේස්ටයිම් හරහා නිතර දරුවන් සමඟ කථා කිරීමේ හැකියාව ආදිය සමඟ ඉතා ඉහල මට්ටමේ සාත්තුවක් සහිතව මේවගේ  ව්‍යාපාරයක් කරනව නම් ලොකු පිනකුත් එකතු වෙයි.




කෙටි කාලීන භෝග වගාවත් සාපේක්ෂව කුඩා කාලයක් සහ මුදලක් වැය කොට සැලකිය යුතු අතිරේක ආදායමක් ලබා ගත හැකි ව්‍යාපෘතියකි. තමන්ට අයිති ඉඩම් වල හෝ ඉඩම් කුලියට හෝ බද්දට ගෙන එලවළු වගා කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් දොස්තර කවිඳු පෝස්ට් එකක් ලියනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

අරූ මහත්මයා කමෙන්ට් එකක ලින්ක් එක දුන්න
දිල්ලි නගරයේ සමෝසා වෙලෙන්ඳා ගේ කථාවත්. කියවන්න. මෙය පරිවර්තනය කර ඇත්තේ නිදහස් සිතිවිලි බ්ලොගයේ රන්දිල්.


තව අදහස් ටිකක් පසුව ලිපියකින්.



----------------------------------------------------------------------------------------------------------------


කුරහන් මල්ලි ගෙ කමෙන්ට් එකෙන් ආපු අදහසක්. කුඩාවට හෝ ආරම්භ කරන්න හැකි ව්‍යාපාරයකට යෝජනාවක් හෝ යෝජනා කිහිපයක් තිබෙනවා නම් ඔබගේ පිටුවේ පෝස්ට් එකක් ලෙස දාන්න. සිංදු වැඩේ වගේ නොව එක්කෙනෙක් දෙන්නෙක් වත් අපි දාන යෝජනාවක් ක්‍රියාත්මක කරල ව්‍යාපාරිකයෙකු වුණොත් ඒත් ඇතිනෙ.



123 comments:

  1. ඉයන්, ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න හිතන කෙනෙකුට මතුවෙන මූලිකම ගැටළුව තමයි ප්‍රාග්ධනය සොයාගැනීම. මම දන්න බ්ලොග්කරුවන් කීපදෙනෙක්ම ඔය ප්‍රාග්ධනය කියන වචනෙන් අලුතෙන් ව්‍යාපාර පටන් ගැනීම නැවත්තුව අය..
    ඉයන්ගේ විෂයපථයේ තියෙන නිසා මේ පෝස්ට් එක කියවන අයට උදව්වක් හැටියට සුලුවෙන් ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය මූලික ධනය සොයාගන්නා සැටිත් විස්තර කලානම් හොඳයි...
    බැංකු ණය ලබාගැනීමේදී ස්ව්‍යං රැකියා කරන අයට ඇති පහසුකම් සහ එවන් ව්‍යාපාරයක් නීත්‍යානුකූල කරගතහැකි ආකාරයන්, ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවේන් වෙළදාම් බලපත්‍රයක් ලබාගැනීම වැනි දේවල් ගැනත් ලියන්න...ඒ එක්කම පටන් ගත්දා සිටම බදු ගෙවීම්, බලපත්‍ර අලුත්කරගැනීම්, සේවකයින් ඉන්නවා නම් කම්කරු නීතිරීති ආදිය ගැනත් දැනුවත් කල යුතුයි...!!

    ReplyDelete
    Replies
    1. කසාදෙ රෙජිස්ටර් කරන්න, වෙඩිං එක ගන්න, ළමයි හදන්න ඉස්සෙල්ල ගෑණියෙක් හොයා ගන්න එපැයි චෙෆා. මේකෙන් උනන්දුව ඇතිකරල ඊලඟට ඒවා දාන්නම්. මට ඔය ප්‍රාදේශීය සභා වල වැඩ ගැන දැනීමක් නැහැ. තමන්ගෙ ගෙදර ව්‍යාපාරයක් පටන් ගන්න ඕවා ඕන නැහැ. ටිකක් ලොකු වෙනකොට තමයි ඕවා ඕන වෙන්නේ. මුලදි කරන්න ඕන කරන්න ඕන අංශය හදාරන එකයි. ඒ ගැන යන වියදම්, අවශ්‍ය ආම්පන්න ගැන දැනීමක් ලබාගන්න එකයි. කොහොමද යමක් ලාභදායීව කරන්නෙ කියන එක ගැනත් පසුව පෝස්ට් එකක් දානම්. බොහොම ස්තූතියි චෙෆාකි.

      Delete
    2. මුල ඉදන්ම ඒවා කරන්න ඕන ඉයන් , නැත්තං ඇවිත් අල්ලං යනවා දඩනවා , කොටින්ම බැදපු මිරිස්කරල් පැකටේ කරල කඩයකටන්ඩත් බැ , වෙළද නාමයක් සහ ව්‍යපාරයක් රෙජිස්ටර් නොකර , ස්ව්‍යං රැකියා වලට ණය දීමනං බැංකුවලින් කරන්නෙම නැ.

      Delete
    3. ඕව ඔක්කොම ලේසියෙන් කරගන්න ක්‍රමයක් ට්‍රාන්සිල්වේනියා ගේ බ්ලොග් එකේ තියෙනවා.

      Delete
    4. ඕනම අළුත් දෙයක් පටන් ගන්න ඕන ගෙදරම. මුළින්ම කඩ කාමර වලට සල්ලි යටකළාම හිර වෙනවා. කඩ කාමරයක නඩත්තුව කුලිය, විදුලිය, බදු වගේ දේවල් එකතුවට වගේ දෙතුන් ගුණයක් වත් ලාභයක් ලැබෙනකොට තමයි ඒ ලෙවල් එකට යන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා වැඩේ අසාර්ථක වුණොත් හිරවෙනවා. ඒ වගේ ලොකුවට කරන කාලෙක ඔය බදු ගෙවිලි ආදිය පටන් ගන්න පුළුවන්.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. ට්‍රාන්සිල්වේනියා ගේ බ්ලොග් එකේ ලිපියේ ලින්ක් එකක් දෙන්නකො බලන්න.
      මම කට්ටියට කියල දුන්න සතයක්වත් වියදම් නොකර ලාභ උපයන ක්‍රමයක්. සාර්ථක උනු කිහිප දෙනෙක් ඉන්නව. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕනෙ.

      Delete
  2. සිතුවම් කළාවට පොඩි හැකියාවක් තියෙන එකේ දෙවෙනි කාරණය ගැන ටිකක් හිතන්න ඕනෙ. ස්තූතියි ඉයන් අදහසට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කලා කාරයෙක්ට එම අංශයෙන් සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට සුභ පැතුම්.

      Delete
  3. ස ර ස තුමාත් ලොකු වුනාම ඉස්පිටිතාලයක් ම දාන්නයි හිතන් ඉන්නේ හිටන්!

    ReplyDelete
    Replies
    1. එය සාර්ථක වේවා යැයි පතනවා සාරස තුමා. මමත් හිතාගෙන ඉන්නෙ නාකි වෙලා දත් ඔක්කොම වැටුනම සාරස තුමාගේ ඉස්පිරිතාලෙ වෝඩ් වෙන්න.

      Delete
  4. මාත් හිතන් ඉන්නේ සකලබරලයා පලවා හැරලා ඒ බිසිනස් එක අල්ලගන්න කියලයි හිටං.. හැක්

    ReplyDelete
    Replies
    1. වෙන අයගෙ බිස්නස් දැහැගන්නෙ මොකටද දේශෝ. ෆේස්බුක් එකට වඩා අල්ලල යන්න කියල ආස් බුක් (Arse Book) කියල එකක් දැම්මනන් හොඳට දියුණු වෙයි.

      Delete
    2. දේසක තුමා ගේ Arse එක 2020 වෙනකම් fully book කියලා පත්තරේ තිබ්බා හිටන්!

      Delete
    3. ////දේසක තුමා ගේ Arse එක 2020 වෙනකම් fully book කියලා පත්තරේ තිබ්බා හිටන්!////

      පොඩ්ඩක් බුකින්ග්ස් එහාට මෙහාට කරගන්න බැරිවෙයිද ඊට ඉස්සෙල්ලා. මූ හොඳ ව්‍යාපාරිකයෙක් වගේ ඔච්චර බුකින්ග්ස් තියෙන්නේ. ආස් එකේ චාන්ස් එක තමයි දේශෝ.

      Delete
    4. ඒක නම් මෙයා කරයි

      Delete
  5. මට හිතෙන්නේ මේකත් සින්දු 10 වගේ රැල්ලක් වෙයි ඉයන්. කොහොම උනත් හොඳ උත්සාහයක්. අපි බලමු කී දෙනෙක් පොඩියට හරි ව්‍යාපාරයක් පටන් ගනීද කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරහන්. එක්කෙනෙක් හරි ගොඩ ගියොත් හරි.

      Delete
  6. සෑහෙන්න හොද අදහස් ටිකක් වගේම උනන්දු කරවීමකක්. මම හිතන්නේ කීප දෙනෙක් හරි මේක ප්‍රයෝජනයට ගනීවි කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිනේශ්

      Delete
  7. හොඳ දිරිමත් කිරීමක්!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක කියවන්න. රසවත් සමෝසා එකක්.
      දිල්ලි නගරයේ සමෝසා වෙළෙන්දා

      Delete
    2. මේ කථාව පරිවර්ථනය කරල තියෙන්නෙ අපේ රන්දිල් මැඩම්නෙ.

      Delete
  8. යකඩෝ, හිනා ගිහිල්ලා පණ යන්නෙ කමෙන්ට් කියවලා නෙව? :)

    මම මේ අදහස් වලට කැමතියි. සරල, සුළුවෙන් පටන් ගනහැකි දේවල්. සමෝසා වෙළෙන්දා ගැන කතාවත් කියෙව්වා. මම දැක්කා ඩොකියුමෙන්ට්‍රි එකක්, බලපිටියෙ කොස්ගොඩ පවුලක් ජාඩි සහ රතුබත් අවන්හලක් දාලා. දැන් එයාලා ජාඩි පැකට් කරලා රට පටවනවා.

    //හොඳටම හදන්න. කවදාවත් බාල බඩු, පරණ කෑම වගේ දේවල් විකුණන්න එපා. එවායේන් වෙන හානිය විශාලයි. ගොඩක් දෙනෙක් නැතිවෙන්නේ ඉක්මනින් ලාභ ගන්න බාල දේවල් විකුණන නිසා. හොඳ දෙයක් කරනකොට කට වචනෙන් ඉස්සරහට ගොඩක් බිස්නස් හැදෙනවා.//

    මම කාළයක් මැදපෙරදිග වැඩකලා. එහෙදි හොයාගෙන ගිහිල්ලා ගන්න දෙකක් තමා ලිංගුස් සහ දිවුල් ජැම්. දැන් ලිංගුස් හොයාගන්න බැරි නිසා විකල්ප වලට මාරු වුනා. දුවුක් ජෑම් එකේ කොලිටිට දැන් අන්තිමයි. වාසනාවට අලුතින් ආරම්භකරපු බ්‍රෑන්ඩ් එකක හොඳ දිවුල් ජෑම් එනවා.බඩු හොඳ නම් පාරිභෝගිකයා හොයාගෙන ගිහිල්ලා ගන්නවා.

    මේ ලිපිය දැක්කාම , පරණ අදහසක් අළු ගසා දාලා ආයෙ ආවා හිටං. කවදාහරි දවසක පැංසොං අරගෙන ඇවිල්ලා සිතල පලාතක ගොයියෙක් වෙන්න :)

    ReplyDelete
    Replies
    1. බස්සෝ......එලිෆන්ට් හවුස් ලින්ගුස් නම් තාම තියෙනවා නේද...රට පටවනවද මන්දා.. දිවුල්ගනේ ගේ අලුත් බ්‍රෑන්ඩ් එක මොකක්ද. මමත් දිවුල්ගුනේට කැමතියි.

      Delete
    2. එලිෆන්ට් හවුස් ලින්ගුස් ඩුබායි වලට නං ආවා. අපේ සාවියට එන්නෙ නෑ. ස්මෝක්ඩ් සොසේජස්, පෝලිෂ් සොසේජස් තමා විකල්ප. මතක විදිහට KVC කියලා අලුත් බ්‍රෑන්ඩ් එකක් තියනවා, නුගේගොඩ පැත්තෙ හදන, අලුත් හින්දද මන්දා ඒකෙ කොලිටි එක හොඳයි

      Delete
    3. බස්සා KVC පටන් ගත්තේ DSI සමූහ ව්‍යාපාරය කරන රාජපක්ෂ පවුල. පසුව විකුණා දැම්මා.

      Delete
    4. බස්සා, ඔබට පෙන්ශන් ගොස් අනාගතේ ඉඩම් වගා කිරීමේ අදහසක් තියෙනවානම් ණයක් හරහා හරි ඉඩම මිලදී ගැණීම දැන්ම කරන්න. සල්ලි වලට ලැබෙන පොලී වලට වඩා ඉඩම් මිල ඉහල යනවා. එම නිසා අත තිබෙන මුදල් සහ බැන්කු ණයක් හරහා හෝ ඉඩම ඉක්මනින්ම මිලදී ගන්න. ඔබ එන තෙක් වගාවට බද්දට දෙන්න.

      Delete
  9. ඉයන්ගේ අදහස් වලින් කෙනෙක් ඉදිරියට යන්න හිතුවත් ඇති.. තමන්ට ඉදිරියට යන්න හැකි දේ හොයාගෙන මුල ඉඳන් පිළිවෙලට කරන එක තමා වඩා හොඳ ව්‍යාපාරයක් කරනවා නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතූ

      Delete
  10. අනිවා ...මම මේ දවස් වල වැඩ කරන්නේ රෙදි සාප්පු ජාලයක ප්‍රදාන කාරයාලේ විස්වාස කරන්න රුපියල් 400 ට එයාලට එන ඇගලුම එයාලා සාප්පුවට දන්නේ 1090/= ට කොහමද ලාබෙ?
    එයාලට ඇගලුම් සපයන අය ඒ ඇදුම් ගන්නේ ලොකු ඇගලුම් කර්මාන්ත ශාලා වලින් පිට රට යවලා ඉතුරු වෙන ඇදුම් එහම නැත්නම් පොඩි පොඩි වැරදි තියන ඒවා එයාල ඒවා ගන්නේ බොහම අඩුවට ..
    මමත් මේ දවස් වල පොඩි කොක්කක් ගහන්න හදන්නේ ...හරි ගියොත් "සත් ගුණවත් මහා ඇගලුම් වියාපාරික එල ද බ්‍රා මෙන්ඩ"

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් මෙන්ඩා

      Delete
    2. පාන්දර හතරට විතර මහරගමට ලොරි වලින් නිමි ඇඳුම් ගෙනත් කිලෝ ගානට විකුණන්නෙ.

      Delete
  11. ප්ලෑන් එකක් නැතුව පටන් ගන්න කොයි ව්‍යාපාරෙත් වැඩිකල් පවතින්නෙ නෑ. ලංකාවේ ව්‍යාපාර වලින් 50% ක් විතර පලවෙනි අවුරුදු තුන ඇතුලෙ වැහෙනවා කියලා කියනවා. අනික අලුතින් පටන් ගන්න ව්‍යාපාර ගත්තහම 15% වඩා අඩු ප්‍රමාණයක් තමයි හරි උපදෙස් අරගෙන ව්‍යාපාර පටන් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Kandyan . ඔව් ඒකේ ඇත්තක් තියෙනවා. Failing to plan is planning to fail කියනවනෙ. බ්ලොග් කරුවෙක් යමක් පටන් ගන්නවා නම් සඳහා උපදෙස් නොමිලේම ලබා දෙන්න පුලුවන්. ඒ ගැනත් අනාගතයේදී ලියන්නම්.

      Delete
    2. නියමයි. මමත් පොඩි වැඩක් පටන් අරගෙන තියෙන්නෙ. ආරම්භ කරල දවස් 120ක් වගේ. 32% විතර profitable.
      මගෙ ක්‍රමේ ගැන මම ලිව්ව. ඒක කියවල 3,4 දෙනෙක් සතියක් ඇතුළත ලාභ ලබල තිබ්බ. (සතයක්වත් වියදමක් නැතිව)
      එහෙම කණ්ඩායමක් එකතු කරගෙන මම පොඩි ටීම් එකකුත් හැදුව. ඔයාගෙත් උපදෙස් වටීවි.

      Delete
  12. මෙන්න ප්‍රශ්න ටිකක්.
    ටී ශර්ට් එහෙම මහලා තොග කඩ වලට දාන්න පුළුවන්.හැබැයි එයාල ගන්නෙ ණයට.බඩු ඉල්ලන්නෙ කුණු කොල්ලෙට නිසා හොඳ කොලිටියකින් බඩු දෙන්න අමාරුයි.
    සල්ලි දෙන්නෙ කොටස් කීපයකට.පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒ ටිකත් ගන්න ඕනෙ.එතකොට රෝල හිරවෙන්න අවස්ථා වැඩියි.
    චෙක් වලින් පරිස්සමට ගණුදෙණු කරන්නෙ කොහොමද?
    ව්‍යාපාර ලියාපදිංචිය වෙන්න ඕනෙ කොහොමද?
    එක්ස්පෝට් බිස්නස් (සුළු පරිමාණ.) වලට තියන අවස්ථා කොහොමද?

    මේක නම් දෙයියො දුන්න වගේ පෝස්ට් එකක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕනෑම ව්‍යාපාරයකට තිබෙන ප්‍රධාන කර්තව්‍යන් දෙකක් නම් තම නිශ්පාදනය පාරිභෝගිකයාට ලබා දීම සහ මුදල් ලබා ගැනීම. අද අන්තර් ජාලය නිසා අළුත් විකිණීමේ මාධ්‍ය ඇතිවී තිබෙනවා. ඒවායේ මේ කියන ප්‍රශ්ණ අඩුයි.

      Delete
    2. ගස් ලබ්බෝ මට කෝල් එකක් දීපන්

      Delete
    3. ඇඳුම් නම් ඉක්මන් එකේ වගේ දාල විකුණන්න හරි, තමන්ම විකුණන්න හරි පුළුවන් නම් තමා හොඳ. මහන එකාට පොඩි ලාභයයි, කඩේට පට්ට ලාභයි.

      Delete
    4. මෙණ්ඩෝ... ගස්ලබ්බිත් ගෙදර එනකන්ම හිටියෙ උඹට කතා කරන්න.හිටහං නොම්බරේ හොයං කෝල් එකක් දෙඤ්ඤං.
      @මාධව
      හ්ම්ම්.. ඔව්.ඔන්ලයින් පාරිභෝගිකයෙක් සැටිස් වෙන මට්ටමේ දෙයක් දෙන්න තරම් ආයෝජනයකට යන්න ෆීල්ඩ් එකේ පත්තියන් වෙන්නත් ඕන ටිකක් නේද? නැහ් නං අතරමං. ඔයාගෙ ලිපිය මකල දාලනෙ... අපරාදෙ
      ජයවේවා..!!

      Delete
    5. Post eka delete karala, members only blog ekaka dala tiyenne.

      Delete
  13. ම්.ම්.ම්.ම්.ම්.ම් හොඳ අදහස් ටිකක්. රස්සාවල් හොයා ගන්න ඉතිං හුඟක් අමාරු නෙ කවදත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නි.සි

      Delete
  14. //තවත් ඉහල ඉල්ලුමක් තියෙන දෙයක් තමයි ඇඟළුම්. ඔය NOLIMIT, House of Fashion වගේ කොම්පැණි කරන්නේ මොකක් හරි ඇඳුමක් පතොරමක් කරලා ඒක මහන්න දැනීම තියෙන අයට බෙදල දීලා ඇඳුම අනුව රුපියල් 500/= කට 1,000/= ක් වැනි ගාණකට මස්සලා ගන්න එක. ඒකට මොකක් හරි ලේබල් එකක් අලවලා ගත්තාම විකුණන්නේ රුපියල් 1500/= කර 3,000/= කට වගේ. මහරගම ස්ටේෂන් එක ගාවින් ගන්න රෙදි වලින් මේවගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. //
    මේවා ලියන්න ලේසියි ඉයන්. කරන්න අමාරුයි.
    මම කෙනකුට ප්‍රාග්ධනය දීලා (ලොකු ගානක් ) මැෂින් 7-8 දාල එය පටන් ගත්ත මේක. කිහිප දෙනෙකුට රස්සත් දීල. බැංකු නයකුත් ලැබුන. මෙන්න ඒ මනුස්සයට වෙච්ච දේ
    1. මහින්ද ආණ්ඩුවේ කලේ EU ජිපිඑස් නැවැත්තුව නිසා සමහර ඇඳුම් ගන්න කොම්පැනි වැටුන. ගත්ත ස්ටොක් අඩුගානට දෙන්න වුණා .
    2.සබ් කන්ට්‍රක්ට් දෙන එකා ලොකු කොම්පැනි වලින් මහපු කොන්ට්‍රක්ට් වලට දීපු සල්ලි අරන් ඩුබායි කොහෙද මාරු වුණා .
    3. ගාන බේරා ගන්න මහපු ඇඳුම් තමාගේම ෂොප් එකක විකුනන්න ගත්ත. වැඩේ සරු වෙනකොට සිංහල මුදලාලි කෙනෙක් අල්ලපු කඩවල් දෙක මුස්ලිම් දෙන්නෙකුට දුන්න ඒ වගේම ෂොප් දෙකක් දාන්න . (මේ මුස්ලිම් අයට විරුධ්දව නෙමේ ලිව්වේ) අරුන් කතා වෙලා ගාණ බැස්සුවා. අරක වැටුන.
    4. මැෂින් ටික විකුණලා දාල පොර දැන් නිකන් ඉන්නවා.
    කොහෙද වැරදුනේ?

    ReplyDelete
    Replies
    1. මම දෙසරයක් බිස්නස් කලා. දෙපාරම අතේ තිබුන සල්ලි ටිකට කෙල උනා. ඒත් මම ණයට ගත්ත තැන්වලට තාම ගෙවනවා. තැන්පත් කරපු ඒවට එහෙන් කෙල උනා. ආයෙත් පොඩියට එකක් පටන් ගත්තා. පාතාලෙන් ඇවිත් කිව්ව, එක්කො ඕක නවත්තපන් නැත්නම් බොරැල්ලෙ යන්න ලෑස්ති වෙයන් කියලා. ඒ පාර රස්සාවක් කලා ඒකට එකට කන බොන උන් කෙලියා. ඒත් ඉතින් ඔළුව උස්සගෙන කොහොම හරි ඉන්නවා. කොහොමත් නිශ්පදන කර්මාන්ත තමයි හොඳ.....

      Delete
    2. බොහොම ස්තූතියි අජිත් & මාතෙ. ඕනම පාරක මේවගේ වල ගොඩැලි තියෙනවා. ඒවා ගැන හිත හිතා ගමනක් නොයා ඉන්නත් පුළුවනි. පටන් ගත්ත හැම බිස්නස් එකටම වෙනවනම් අද ලංකාවෙ බිස්නස් කරන අය ඉන්න බැහැනෙ. බිස්නස් එකක් පටන් ගන්න තීරණය කලාම ඇතුලෙන් පිටින් එන්න පුළුවන් ප්‍රශ්ණ ගැනත් කලින්ම හිතල ඒගැනත් උපායමාර්ග ලෑස්තිවෙලා ඉන්න ඕන.

      මේ පෝස්ට් එකේ උත්සාහය පළමුවෙනි තල්ලුව දෙන්න පමණයි. කවුරු හරි මේක උත්සාහ කරනවනම් ඔය කියල තියෙන ඒවට කලින් සූදානම් වෙලා කලයුතු දේවල් ගැන කියන්නම්.

      Delete
    3. ගස් ගේ කමෙන්ට් එකේ කිව්වා වාගේ අන්තර් ජාලය හරහා නිෂ්පාදන විකිණීමට හැකි තැන් තිබෙනවා. එම මාධ්‍ය වල මේ වගේ ප්‍රශ්ණ අඩුයි. වෙන රටවලත් Craiglist, ebay වගේ දේවල් නිසා සුළු ව්‍යාපාරිකයො විශාල ප්‍රමාණයක් ඇතිවෙලා තියෙනවා.

      Delete
    4. මේවා ලිව්වේ ඒ වගේ දේත් වෙන්න පුලුවන් සහ එහෙම උනා කියලා වැටෙන්න නරකයි කියන දේ පෙන්වන්න. ඒ වගේම හැමෝටම ව්‍යාපාරිකයෝ වෙන්න බෑ කියන එක පෙන්වන්න. ඕනම දේකට වෙලාවයි වාසනාවත් තියෙන්න ඕන. අපි අවුරුදු ගනන් දන්න මිනිස්සු කොච්චර උත්සාහ කලත් එතනම ඉන්නෙත්, අද ඊයේ පටන් ගට්ග්ත අය නම්බර් වන් පොරවල් වෙන්නෙත් ඒ හේතුවෙන්. කොහොම හරි මොන ජාතියකින් හෝ ස්වාධීනව ජීවත් වෙන එකයි කරන්න ඕන.

      Delete
    5. බොහොම ස්තූතියි මාතෙ.

      Delete
    6. නැහැ ලංකාවේ ඔය බිස්නස් වලට අන්නන එක නතර කරන්න ඕනේ ඉයන්. නැත්නම් ඒ වගේම දරුණු වෙන්න ඕනේ. ඕක ඔයා ලියන්නේ නැහැනේ.

      Delete
    7. දියුණු රටවල් වල බිස්නස් එක්ක මුලින් පටන් අරන් තැනකට ගේන්න කවුරුත් බාධා කරන්නේ නැහැ. තරඟකාරිත්වය විතරයි තියෙන්නේ.

      Delete
    8. මෙතනට අදාලද මන්දා....ලංකාවේ උදවිය පිටරටවලදි සාර්තක ව්‍යාපාරිකයෝ වෙන්නේ මේ බාධක නැති නිසා වෙන්න ඇති. මට කියවන්න ලැබුනා එංගලන්තේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක් වෙන ඩෙස්මන්ඩ් ගුණවර්ධන ගැන. පොඩ්ඩක් ගූග්ල් සර්ච් එකක් දාලා බලන්න. ප්‍රකෝටිපතියෙක්. අපේම රටේ කෙනෙක් වෙච්ච සුබාශ්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් බිස්නස් එක වගේ බ්ලැක් ස්පොට්ස් අහන්නත් නැහැ.

      Delete
    9. අජිත් ලංකාවේ සමාජයේ ඔය වගේ ගොඩක් වැරදි තියෙනවා. ඒවා බිස්නස් ලෝකයට, දේශපාලන ලෝකයට, රැකියා ස්ථානවලට ඕන එකකට පොදුයි. ඒවා හැදෙන දවස කවදද මම දන්නෙ නැහැ. අපි ඒ සමාජයේම කොටස් හැටියට ඒවා අවොයිඩ් කරගෙන හරි මුහුණ දීගෙන හරි ඉදිරියට එන්න ඕන. මම හිතන්නේ ඕන කෙනෙකුට ඔප්ශන්ස් දෙකක් තියෙනවා. එකක් තමන්ගෙන් බාහිර දේවල් (සමාජය , රට ) නිසා මම යමක් නොකරනව කියල ඉන්න එක. අනික තමන්ගේ අභ්‍යන්තර ශක්තීන් ගැන විශ්වාසය තියල ඉදිරියට යන එක. ඔය දෙකෙන් අපේ තොරාගැනීම අනුව පරාජය සහ ජයග්‍රහණය වගේම අසාර්ථකත්වය සහ සාර්ථකත්වය යන වෙනස තීරණය වෙයි.

      Delete
    10. අරුණ , බොහොම ස්තූතියි. විදේශ වල සහ ලංකාවේ සාර්ථක වූ අය සහ අසාර්ථක වූ අය සිටිනවා. මම ඉන්න ක්ශේත්‍රය නිසා මේ දෙපැත්තටම ගිය ලංකාවේ අය විවිධ අවස්ථාවල හමුවෙලා තියෙනවා. අසාර්ථක වීම් වලට වැඩි පුරම හේතු වෙලා තියෙන්නේ මුදල් පාලනය හරියාකාරව සිදුනොවීම, වැඩි ලාභ තකා නිෂ්පාදනයේ තත්ත්වය බාල කිරීම, ව්‍යාපරයේ මුදල් එළියට ගෙන වෙන අත්හදා බැලීම වලට යෙදවීම, තාක්ෂණයේ වෙනස් වීම් ගැන නොසැලකිලිමත්වීම හෝ වැරදි තාක්ෂණික තීරණ ගැනීම, අධික ලෙස ණයට දීම සහ අසාර්ථක ණය පාලනය, ව්‍යාපාරයක මුල් කාලවල අධීක්ශණය දුර්වල වීම වගේ දේවල්. ව්‍යාපාරයක් ඉහලට යනකොට ව්‍යාපාර පරිපාලන දැනුම ලබා ගැනීමට මැලි වීම සහ නියමාකාර අධ්‍යාපනයක් නොමැතිව පවුලේ අය සම්බන්ධ කර ගැනීම වගේ දේවල් මේවට බලපානවා.

      Delete
  15. අන්න කුරහන් හේනේ තව ලෝකල් බිස්නස් එකක් ගැන ලිපියක් දාලා....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් රසික මම දැක්කා. ඒක තමයි මොන ලෙඩ ආවත් වැටෙන්නෙ නැති බිස්නස් එක.

      Delete
  16. අපි ඔක්කොම එකතු වෙලා පර්පෙචුවල් ට්‍රෙශරීස් වගේ ප්‍රඉමරි ඩීලශිප් එකක් පටන් ගනිමුද හිටන්?

    විසි දෙනෙක් හිටියනම් ඇති... ලාබෙ මාස දහ හතරට බිලියන් 10.1ක් හිටන්!

    ReplyDelete
    Replies
    1. පොඩි සිල්ලර සල්ලි මොකටද සාරස කොටි එනවා කියල බලය ගමුකො. ට්‍රිලියන් ගණන් හොයන්න පුළුවන්නෙ.

      Delete
    2. වැඩක් නෑ ඉයන්, අර තියෙනවැයි කිව්වා බිලියන් 18 තාම නෑ.

      Delete
    3. ඒතමයි Joseph බලේ ගත්තොත් ඔව හොයන්න අමාරු වෙන්න හංගන එක මහ දෙයක් නෙවෙයි. තාම මකෝස් හොරාගත්තු සල්ලි වලින් 5% වත් හොයාගෙන නැහැලුනෙ.

      Delete
  17. කොහොම උනත් ඉයන් කාටහරි හිතට ශක්තියක් එන ලිපියක්.

    මමත් කිහිප සැරයක්ම ව්‍යාපාරයක් පොඩියට පටන්ගන්ට ගියත් මගේ හොඳම යාලුවට ඔය ආයෝජන මණ්ඩලය කෙල වලා ආයෙත් ඌ ස්වීඩනයට ගියේ තුක් නොදකින් කියල. ඔය එක එක දෙපාර්තමේන්තු කියල තිබ්බට උන් රට ඉඳල ඇවිත් රටේ දෙයක් ආයෝජනය කලහම උන් හිතන්නේ ආයෝජකයෝ නත්තල් පප්පල කියල. මුන් රජයෙන් වැඩ නොකර පඩි ගත්තට මුන් දන්නෙ නෑ මැද පෙරදිග උනත් මිනිස්සු අමාරුවෙන්. ඒක නිසා හම්බු කල දේ අමාරුවෙන් ඉතුරු කරන් ඉන්නව.

    මගේ අම්මත් ගාල්ලේ ඇඳුම් කඩයක් කලා. වැඩට 5, 6 දෙනෙක් අරගෙන.ඉතින් වැරදුනේ නම් නැහැ. ඒත් වැඩ ඉගෙනගෙන ඊට වඩා ලොකු දෙයක් කිරීමේ පරම චේතනාවෙන් සේවකයන් මාරු උනා. ස්වයං රැකියා කියල පොඩි පොඩි ණය ත් ලබුන්නතිවම නොවෙයි.

    පස්සේ එයාගෙම සහජ හැකියාවෙන් පැච් වර්ක් ක්නිටින්ග් වලින් ලංකාවේ නමක් දිනාගත්තට පස්සේ නම් ප්‍රදර්ශන වලට අරදනා ලැබුන. අතින් කයිට් කරන් ප්‍රදර්ශන කළා.

    සම්මාන ලැබුනට පස්සෙනම් රාජ්‍ය ආයතන වල ඉල්ලීමට සාම්පල් දුන්නත් ඒ සාම්පල් ආයතනවල හිතවතුන්ට දීල ඒ විදිහටම ඔර්ඩර් අරන් අම්මට කියන්නේ ඔයාගේ සාම්පල් සිලෙක්ට් උනේ නෑ කියල. සමහරක් සාම්පල් නැවත ලැබුනෙත් නැහැ.

    ඒත් පසුනොබටින උත්සාහය නිසා අම්ම ගේ කලා කටයුතු වලට "ඔඩෙල්" , "කණ්ඩලම හොටෙල්" වගේ ආයතන මිලදී ගැනීම් වගේම වටිනාකමට හොඳ ගෙවීමකුත් කලා.

    දැන්නම් ඔය හැමදෙයක්ම නවත්තල පෞද්ගලික ආයතනයක ඇගළුම් වලට මැණික් සහ රන් එකතු කරලා කරන අලුත් කලාත්මක ඒකකයක වැඩ කරනවා.

    ලංකාවෙනම් අම්මගේ අත්දැකීම් අනුවනම් කොච්චර දක්ෂතා තිබ්බත් මිනිහෙක්ට තමන්ගේ දක්ෂතාවෙන් ඉදිරියට යන එකනම් බොහොම අමාරුයි.

    ලංකා සිතිවිලි ත් ඉන්ටනෙට් ඊ බිස්නස් ගැන ලියල තිබ්බ මතකයි. ඒත් මේ රජය යටතේත් පේ පෑල් ලැබෙනව කියන්නේ සුදු අලියෙක්.

    ස්තුතියි ඉයන්.

    සුභ දවසක්. 👊🏽

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටිලාන්. රජයට භාණ්ඩ සැපයීම, වෙන වෙල්ඳ ආයතන හරහා භාණ්ඩ විකිණීම වගේ දේවල් ඔය වගේ කුරුවල් තමයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙන මාර්ග ඇරිලා තියෙනවා. අන්තර් ජාලය හරහා අවසාන පාරිභෝගිකයාත් නිෂ්පාදකයා හෝ විකුණන් තැනැත්තාත් කෙළින්ම සම්බන්ධ වෙලා. අද ගොඩක් දෙනෙක් වාහන හොයන්නේ ikman හරහා.ඉඩම් ගන්නේ විකුණන්නේ lankapropertyweb හරහා. තව ඒවගේ තැන් කීපයක් තියෙනවා. ටිකක් උත්සාහ කළොත් තමන්ටත් ඒවගේ දේවල් හදාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් යමක් ඉස්සෙල්ලම හොයන්නේ අන්තර් ජාලෙ. කිසිම බිස්නස් එකක් රෝස මල් අතුරපු පාරක මුල ඉඳලම යන්න ලැබෙන්නේ නැහැ. නොපසුබටනා උත්සාහය අවශ්‍යයයි. එහෙම අය ඕන තරම් ඇති කියල මටනම් හිතෙන්නේ.

      Delete
    2. ඇත්තටම කියනවනම් ඉයන් මටත් ලොකු ආසාවක් තියෙනවා අනුන්ට කබුරනවට වඩා මගේම කියල මොනවහරි පටන්ගන්ට.

      ඒත් සල්ලි හොල්ලන්නෙ නැතිව ඉන්නව මොකක්ද කරන්ට පුළුවන් කියල. ස්තුතියි.

      Delete
  18. ව්‍යවසායකයන් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය ප්‍රාග්ධනය. එහෙම හිතන්න වෙන්නෙ තමුන් ස්මාර්ට් නැත්නම්. ස්ටාර්ට් ෆ්‍රොම් ද ස්ක්‍රැච්... කොච්චියාගේ කන්සෙප්ට් එක නම් ඒක. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අද කිසිම ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. අන්තර්ජාලය සහිත ස්මාර්ට් ෆෝන් එකක් වැඩිත් එක්ක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොච්චි. 100% එකඟයි. නැති දේවල් ගැන හිත හිතා ඉන්නෙ නැතුව තියෙන දේකින් මොකක් හරි කරල ඉස්සරහට ආවොත් ලොකු වැඩවලට ප්‍රාග්ධනය හදා ගන්න පුළුවන්. ලාබෙන් කොටසක් දෙන්න වගේ ක්‍රමේකට ඉඩම් තියෙන කෙනෙක්ගෙන් ඉඩම් කෑල්ලක් ඉල්ලගෙන කරන්න පුළුවන් දේවල් අනන්තයි.

      Delete
  19. බොහොම වටිනා උපදෙස් සංග්‍රහයක්. හිතලා මතලා වැඩ කරන කෙනෙකුට බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා.

      Delete
  20. හ්ම්.................. එහෙනං අපිටත් දැන් අමතර වැඩක් කරන්න වෙයි වගේ..... ඉයන්ගේ ව්‍යාපාරික අදහස් වලට ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු. වැඩිපුර තිබෙන වෙලාවක් ඵලදායීව යොදාගත්තොත් අමතර ආදායමක් පිං අතේ වැඩ වලට හරි යොදන්න පුළුවන්නෙ.

      Delete
  21. මට නම් බැරිම වැඩක් තමයි ස්වයංරැකියා, කරන්න උනන්දුව ,සල්ලි ,හැකියාව තියෙන අයට වුණත් අපේ රටේ තියෙන මහා අමුතු වටපිටාව එක්ක දෙයක් කරගෙන යන්න දියුණු වෙන්න හරි අමාරුයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොම ස්තූතියි ඔමායා

      Delete
  22. මට අදහසක් තිබෙනවා රටට ආපු දවස "ඩ්‍රයිවර් සර්විස්" එකක් පටන්ගන්න. ජපානේ පොඩි නගරවල එසේ තිබෙනවා. සාද හෝ කලබ් වලට ගිහින් ඇල්කොහොල් බොන අයට ඇමතුමක් දී රියදුරෙක් ගෙන්වා ගත හැකියි. අපේ රථය පිටුපසින් එක කුඩා රථයකින් නැවත රියදුරා රැගෙන යනවා. ලංකාවේ නම් මෝටර් සයිකලයක් ත්‍රීවීලරයක් වුනත් යොදාගන්න පුළුවන් ඒ වැඩේට.

    ලංකාවේ මෙවැනි එකකට එන ගැටළු තමයි බොහොම විනයවත් අතිශය විශ්වාසවන්ත වෘතීයමය රියදුරු මහත්වරු හෝ මහත්මීන් සොයාගැනීම. අනෙක සැලකියයුතු පිරිසක් බීමතින් සිටියදී කලහකාරී විය හැකි වීමෙන් රියදුරන්ට ඇතිවිය හැකි ගැටළු. අනෙක වාහනයක වටිනාකම බොහොම ඉහල නිසා වටිනා වාහන වෙනත් රියදුරන්ට පැදවීමට වාහන හිමිකරුවෝ කැමති වේද කියන එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්කියුශා දැන් Uber වගේ දේවල් තියෙන නිසා සහ පොලිසිය බොන අය අල්ලන නිසා ගොඩක් දෙනෙක් ඒක පාවිච්චි කරනවා.

      Delete
  23. තවත් අදහසක් තමයි ඉහළපෙලේ වෘත්තිකයන්ට මංගල යෝජනා සම්බන්ධ කළහැකි ජාලගත සේවයක් ඇතිකිරීම. ඉහල පෙලේ වෘත්තිකයන්ට මංගල යෝජනා සොයන එක කොයිතරම් අමාරුද කියන එක ඒ වැඩේට සම්බන්ධ වෙලා තිබෙන අය දන්නවා ඇති.

    සමහර කපු මහත්තුරු ඉංජිනේරු මහත්තයෙක් කියල එක්කගෙන එන්නේ තාක්ෂණ නිලදාරී මහත්තුරු. දේශීය විදේශීය වෘතීන ගැන හසල දැනුමක් තිබෙන විශ්‍රාමිකයෙක්ට වුනත් මෙවැනි සේවයක් කරන්න පුළුවන් බවයි මට හිතෙන්නේ. ඉහලට ඉගෙනගෙන සුදුසු විවාහ සොයාගන්න බැරිව ඉන්න අයට හොද කෙනෙක් සොයාගන්න උදව් කරන එකක් සැහෙන සතුටකුත් ලබන්න පුළුවන් වැඩක්. මෙවැනි දෙයකුත් අත්හදාබලන්න මට අසාවක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. විහිළුවට දැම්මද දන්නෙ නැහැ. ඒ වුණාට මේක හොඳ අදහසක් වෙයි. ඒකාලේ වෙනකොට යෝජනා වලින් විවාහ වෙන එක කොහොම වෙතත් විවාහ වෙන එකම නැති වෙලා තියෙයිද දන්නෙ නැහැ.

      Delete
    2. විහිලුවට නෙවෙයි කිවේ. ඉහලට ඉගෙන ගතිපු ඥාති සහෝදරියන්ට මංගල යෝජනා සොයන වැඩ වලට මං සම්බන්ධ වෙලා තිබෙන නිසා දන්නවා ඒ වැඩේ කොයිතරම් කරදරකාරී අමාරු එකක්ද කියන එක. :D

      ඔය පත්තරයක් බැලුවම පේනවා නේ ඉහලටම ඉගෙනගත් අය දැන්වීම් දමල තිබෙන තරම්. අනික නීතියෙන් වෙන්වුන අය ගොඩක්ම ඉන්නවා ඉහලම වෘත්තිකයන්. ඒ ගැන තිබෙන ආකල්ප ඉතින් ඉයන් දන්නවනේ. මේ අයට නැවත සතුටින් ජීවත් වෙන්න පුළුවන් උදව්වක් කරන එක ලොකු සේවයක් කල හැකි ව්‍යාපාරයක්. තනිව ජීවත් වීමට හෝ විවාහනොවී ජීවත් වීමට තරම් අපේ රටේ තත්වය සියවසකදීවත් විවෘත්ත වෙන්නේ නැති බවයි මගේ අනුමානය.

      වගකීමෙන් වගේම මිනිස්සුන්ට උදව් කිරීමේ සැබෑ වුවමනාවකින් කරනවා නම් මෙය ඉතා පහසුවෙන් ඉහල ලාභ ගන්න පුළුවන් වැඩක්.

      කසාද බදින්න සුදුසු කෙනෙක් සොයාගන්න බැරිව කල වයස පහුවීගෙන යන කෙනෙක්ට ඒවගේ උදව්වක් කරලා අත්දැකීම් තිබෙනවා නම් ඔබ එයින් ලැබෙන සතුට දන්නවා ඇති.

      Delete
    3. බොහොම ස්තූතියි කෙන්කියුශා පැහැදිලි කිරීමට. ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙන බව පැහැදිලියි.

      Delete
    4. මට හිතෙන්නේ කෙන්කුයුෂා ඔබ මේ කියලා තියන අයට කසාඳ බඳින්න අය හොයන සේවාවකට වඩා ගැලපෙන්නේ එතෙක් කල් සමාජිය ඇසුරෙන් ඇත් වීම නිසා නොලැබුනු අත්දැකිම් නිසා ඇති වෙලා තියන අනිසි අතුරු පල හදා ගන්න වැඩ පිලිවෙලක් හැදුවොත් හොඳඉ කියලා..

      ඔබ අත්දැකිමෙන් දන්නවා ඇතිනේ මේ වගේ ඉහලට ඉගෙන ගත් සමාජ ඇසුරෙන් ඇත් වී ඇති අය බොහෝ විට වැඩ කරන්නේ රොබෝලා වගේ..ගොඩක් ඒකපාර්ශවීයයි.. හොස්ස ලඟින් මැසා යන්න බැ. අනුන් කියන දේකට නැමෙන්නෙ නැ. තමන්ට හුරුපුරුදු තනිව ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමය දිගටම කරන්න යනවා.. දෙදෙනෙක් එකට යන්න ඔන විදිහ මේ වගේ දිඟු කාලිනව ඉගෙන ගන්න වැඩ වලට විතරක් තනිව යොමු වීම නිසාම තේරුන් අරන් නැ. ඒ දේ එක පාරට තේරුන් ගන්න තරන් සරල ඩේකුත් නෙමේ..

      එහෙම සමාජිය ඇසුරකට යන විදිහ ලබදෙන සේවාවක් ඇති කලොත් සමහර විට තමන්ටම තමන් එක්ක ඉන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න මාර්ගයක් හැදෙවී මම හිතන්නේ...

      Delete
    5. නිම්නි.......මුන් මේ කතා කරන්නේ බිස්නස් ප්‍රොජෙක්ට්ස්...උඹ ළමයා කතාකරන්නේ විකුනගන්න බැරි වැලියුස්. නිම්නි, වැලියුස් වලට වැලියු එකක් නැහැ. නිම්නි බිස්නස් එහෙම නම් පටන් ගන්න එපා...අමු ෆේලියර් එකක් වෙයි. (හිනා වෙන්න ලිව්වේ )

      Delete
    6. But I think Aruna.. its a good opportunity .. not to tackle straight to the point.. but in a creative way...touching underline problems with a coat of sugar..how to find a partner.. how to ..x how to be fun... how to ....

      Delete
    7. තව දෙයක් .. දැක්ක ගමන් සබඳකම් පටන් අරන් රවටලා තමන්ට ඕන දේ කර ගන්න අයගේ දැනුම ධනාත්මක වැඩකට භාවිතා කරන්නත් පුලුවන්.. :) :) ( inspired by how to loose a guy in 10 days film )

      Delete
    8. අරුණ , චතූ බොහොම ස්තූතියි. අරුණ කියනව වගේ චතූ කියන්නේ සමාජයේ හෝ සමාජයේ කොටසක ඇති ප්‍රශ්ණ විසඳීම ව්‍යාපාරයක් කරගන්න. ඒක දැනුත් නොකෙරෙනවම නෙවෙයි. ඔය Motivational programs සහ Therapy කරන බිස්නස් ටිකක් ඒවගේ. අනික් පැත්ත තමයි සමාජය වෙනස් කිරීම පැත්තක තියලා ඒ සමාජයේ තියෙන අවස්ථා (oppotunities) තමන්ගේ ඇති දක්ෂතා (strengths( යොදාගෙන ඒකෙන් ලාභයක් ලබා ගන්න එක. ඒක කරන කොට සමාජය මඟින් ඇතිවිය හැකි ප්‍රශ්ණ (threats) සහ අසාර්ථකත්වයට මුහුණ දෙන ආකාරයක් තමන්ගේ ඇති දුර්වලතා (weaknesses) වලින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි. (SWOT).

      Delete
    9. මගේ රස්සාව ඉතින් කොහොමත් බිස්නස් නේ අරුණ. මාර්කට් කරන්න පුළුවන් දේ අපි හදන්නේ. මාර්කට් කරන බැරි වුනදාට තවත් අලුත් ෆැන්සි ෆීචර් එකක් එකතු කරලා ආයේ මාර්කට් කරනවා. බිස්නස් වලටත් සදාචාරාත්මක සීමාවක් තියෙනවා. විශ්විද්‍යාල පර්යේෂණ ඒකකයක් නිසා අපි ඉන්නේ ඒ සීමාවෙන් සෑහෙන ගොඩක්ම මෙහා.

      වැලියුස් කියන්නෙත් ඉතා ඉහල මාර්කට් වැලියු එකක් තියෙන පරෙස්සමෙන් කරනවා නම් හොදට මාර්කට් කරන්න පුළුවන් දේවල් අරුණ. හැබැයි ඍජුව මුදල් හුවමාරුව මත පදනම් වෙන බිස්නස් වල නෙවෙයි. වැලියුස් මාර්කට් වෙන්නේ මුදල් වලට වඩා බොහොම වටිනා දේවල් හුවමාරුවෙන ජීවිතේ බිස්නස් වලදී. වෘතීයමය භාවයෙන් ඉහලට යන්න යන්න වැලියුස් වල මාර්කට් වැලියු එක වැඩි වෙනවා කියන එකයි මගේ අදහස. අරුණ මට වඩා ගොඩක් ජීවිත අත්දැකීම් තිබෙන පරිණත කෙනෙක් නිසා ඔබ එය වටහාගෙන ඇති කියල මම හිතන්නේ

      Delete
    10. හීන දකින්නී, සමාජීය ඇසුර මිනිස්සුන්ට ලබාදෙන්න නම් ඒක අවශ්‍යයි කියල මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. ඔබ කියන විදියේ දැනුමක් ගන්න පිරිසක් හැදිලා නෑ. ඔබ ඔය කියන දැනුම බොහෝ දෙනෙකුට ඉතින් බලෙන් තමයි දෙන්න වෙන්නේ.

      සමහර අධ්‍යාපන ආයතන වලින් වුවමනාවෙන්ම හදන්නේ තමුන් සියලු කෙශ්ස්ත්‍ර වල දැනුමින් ජීවිත දර්ශනයෙන් පරිපූර්ණ ලෝකයේ මධ්‍ය ලක්ෂය තමුන් කියල හිතන මිනිස්සු. තමුන්ගේ දුර්වල කම් නොපිළිගන්නා මිනිස්සුන්ට ඒවාගෙන් මිදෙන්න කියල දෙන්න කාටවත් බෑ.

      මං මුලින් කිවේ ඒ තරම් ඉහල සංකල්පයක් ගැන නෙවෙයි. හරි හැටි තොරතුරු සම්බන්දීකරනය කරගැනීමට තිබෙන බාධාව මගහැරිලා විශ්වාසදායක දැනුවත් පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යා හැකි සේවා වෙළදාමක් ගැන. සාමාන්‍ය ගමේ වගේ වැඩ කරන කපු මහත්තුරුන්ට සහ මංගල සේවා වලට එවැනි යෝජනා හසුරුවන්න අපහසුයි කියන එකට විකල්පය බිස්නස් එකක් තමයි මං යෝජනා කලේ.

      Delete
    11. කෙන්කියුෂා ඉහල ප්‍රමිතියකින් නිෂ්පාදනයක් කරන්න කැමැත්ත සහ හැකියාව තියෙන කෙනෙකුට ගැලපෙන්නේ FMCG කියන සයිඩ් එක. ඒ කියන්නේ අද පාරිභෝගිකයාට හොඳ නිෂ්පාදනයක් දුන්නොත් හෙට, නැත්නම් මේ සුමානෙ, මේ මාසෙම තව එකක් ගන්න වගේ නිෂ්පාදන. ඔබ හිතන බිස්නස් එකේ වැඩි දෙනෙක් මාස් පතා වත් බඳින්නෙ නැති නිසා රිපීට් බිස්නස් හරි අඩුයි. අනික මෙය සම්බන්ධකිරීමක් පමණක් වුණත් සම්බන්ධ වෙන දෙන්නකෙ තියෙන ශාරීරික, මානසික, හැන්ගිච්ච ගැටළු ඇද කුද ඔබට හදන්නත් බැහැ. ඒ වුණාට ඒවටත් 'වගකියන්න' වෙන්නෙ ඔබට. ඒවගේම ඒගොලන්ගෙ වෙන ප්‍රශ්ණයක් නිසා අප්සෙට් ගියත් කපුවා තමයි වැරදි. අනික පටන් ගැනීමේ සිට එක transaction එකක් ක්ලෝස් කරන්න සෑහෙන්න වෙලාවක් සහ ශ්‍රමයක් යනවා. ටික කාලයක් යනකොට එපා වෙන්න තියෙන ඉඩ තමයි වැඩි.

      Delete
    12. මගුල්තුලා බිස්නස් එකට දැනට හැදුනු රාමුවක් තියෙනවා ඉයන්. ඒ රාමුව සම්පූර්ණයෙන් කණපිට හරවල ගන්න ගියොත් ඔබ කියන ගැටළු එනවා වගේම ලිහා ගන්න බැරි හොදි පැකට් එන්නත් පුළුවන්. හිර වෙන තැන ලිහාගන්න පුළුවන් විදියට රාමුව පොඩ්ඩක් එහා මෙහා කරගන්න එක තමයි සේවා වෙළදමේදී ලේසි. ඔය සිහින දකින්නී කියන තැනට අපිට යන්න බැරි වෙන්නත් එක හේතුවක් තමයි ඔබ ඔය කියන්නේ.

      ලංකාවේ කළහැකි නිෂ්පාදනයකට යනවා නම් වලට දැනට මගේ ප්‍රියතම එක coconut shell activated carbon.

      Delete
    13. කෙන්කියුෂා මම නිම්නයක ඉඳන් දකින සිහින වලට යන්න ලේසි නැ.. ඔබත් , අරුනත් , ඉයනුත් කියන දේවල් එකට කැටි කරලා ටිකෙන් ටික ඉදිරියට යන්න පාරක් හදන්න පුලුවන් මම හිතන්නේ..

      කෙන්කියුෂා අර ඔබ කිව්ව විදිහේ මධ්‍ය ලක්ෂය තමන් කියලා හිතා ඉන්න අයට කසාඳයකට යන්න බැරි තරමට හොඳයි.. නැත්නම් අන්තිමේ දුක් විඳින්නේ දරුවෝ.. (ලැබුනොත්..) අනේ මන්දා...

      Delete
    14. සිත් අමනාපයන්ට මුල තමන්ගේ කන්ට්‍රෝල් එකේ නැති අරමුණු සම්බන්ධයෙන් හීන දැකීමය.

      Delete
    15. හීන දැක්කට නෙමේ ඉයන්.. ඒ දකින හීන හැබැ කරගන්න බලාපොරොත්තු උනොත් තමයි හිත රිදෙන්නේ..

      Disappointment = expectation ÷ reality.

      Expectaions = 0 ,.....

      Delete
    16. ඔය මැත්ස් කරපු අයගෙ දෙයක් තමයි හැඟීම් සමීකරණයකට දාන එක. හෙහ් හෙහ්

      Examples

      Love/attention i deserve = Love / attention I give X 1,000 etc.

      Delete
    17. I didn't do maths.. only for O/L s Iyan.. :) :) that one I just saw when I googled...

      Delete
    18. I recall once you mentioned about coding. So assumed u were from AL maths stream.

      Delete
    19. Yes Iyan.. I learned coding from the course I mentioned in my last post after A/L s.

      Delete
  24. හොඳ ලිපියක් ඉයන්.
    ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාරයක් පටන්ගන්නවනං අනිවාර්යෙන් ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බවයි මගේ හැඟීම. ඒක වැඩි වියදමක් යන්නෙ නැතුව ප්‍රා.ලේ. කාර්යාලයෙන් කරගන්න පුලුවන්. කල් ගියොත් පසුගිය අවුරුදු වලටත් දඩ අය කරනව. අනික බැංකුවකින් ලෝන් එකක් දාගන්නත් ව්‍යාපාරය ලියාපදිංචි කරල තියෙන එක අනිවාර්යයි.
    මගේ අදහසනම් තමං හරියාකාරව නොදන්න කිසිම දෙයක් ගෝලයො දම්මල විතරක් කරන්න හිතාගෙන පටන් ගන්න නරකයි. මොකද උං ටික කාලයක් වැඩ පුරුදු වෙලා ඊට වැඩිය පඩි ගෙවන තැනකට ගියොත් වැඩේ එතනම වැටෙනව වගේම තමං ඒ ව්‍යාපාරය ගැන නොදන්නවනං ගෝලයින්ට වංචා කරන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Praසන්ன. ව්‍යාපරය පිලිබඳව ගන්න අවබෝධය මත සාර්ථකත්වය තීරණය වෙනවා කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි. අද අන්තර්ජාලයේ විශේෂයෙන්ම වල ඕනෑම නිෂ්පාදනයක් ගැන අවශ්‍යකරන ඔක්කොම විස්තර ලබා ගන්න පුළුවන්.

      Delete
    2. තේ බිස්නස් ලාබයි කියල අවුරුදු ගානක් රස්සාව කරල අයින් වෙද්දි හම්බවෙන සල්ලි වලින් තේ තොගයක් අරගන්න එන අය අපිට හම්බවෙනව, අපි කියන්නෙ තේ කිලෝ 50 අරන් පටන් ගන්න කියල, නොදන්න කෙනෙක් තේ ගන්නව කියන්නෙ , නොදන්න කෙනෙක් මැණික් ගන්නව වගේ.

      Delete
    3. කම්මල වෙලාවක් තියෙනවනම් තේ බිස්නස් එක ගැන පෝස්ට් එකක් ලියල දෙන්න අපේ බ්ලොග් එකක පබ්ලිශ් කරපු. නැත්ත්න සල්ලි සල්ලි කියල බලන්නෙන් නැතුව බ්ලොග් එකක් අරිමු.

      Delete
    4. අනිවාර්යයෙන්ම ලියමු.

      Delete
  25. හොද වගේම වටිනා ලිපියක්. පරණ කාර් විකුනන වැඩේනම් මම කාලයක් කලා. නරක නෑ වැඩේ , කවුරුහරි ඒ වැඩේ කරන්න උනන්දුනම් කියන්ඩ තියෙන්නෙ කවදාවත් පාඩු නොවන බිස්නස් එකක් කියල තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කම්මල. ඕක සයිඩ් එකෙන් කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක් නිසා ආයිමත් කරන්න. වැඩි ගාණක් හම්බුවුණ දවසක අපිට බෝතලයක් වත් හිස් කරන්න බැරිය.

      Delete
    2. ආයෙත් පටන් ගන්න හිතුන තමයි මේ පෝස්ට් එක දැක්කම. ලගදිම ගහමුකො බෝතලයක්

      Delete
    3. පටන් ගනින් කම්මලේ. ikaman or carmudi එකේ දාගත්තම ඇඩ් වියදමකුත් නැහැ. පලමුවෙනි කාර් එක විකුණපු දාට මගේ ගානේ පාටිය.

      Delete
    4. ikman එකේ දැන් කාර් වලට ෆ්‍රී ඇඩ් දාන්න දෙන්නේ නැහැ, සල්ලි ගන්නවා...

      Delete
    5. මම දැනගෙන හිටියෙ නැහැ. මම හිතුවේ කාර් සේල් කට්ටිය විතරයි ගෙවන්න ඕන කියලා.

      Delete
    6. ඔව්. මාත් මේ ලඟදි එකක් දාන්න ගිහිල්ල 900 ක් ඉල්ලුව.

      Delete
    7. ඊයේ පෙරේද තමයි උන් ඒ වැඩේ පටන් ගත්තේ...
      දැන් ඒ වෙනුවට ෆ්‍රී ඇඩ් දාන්න පුළුවන් ikmanlink.lk එකේ...

      Delete
  26. නියම ලිපියක්.මගෙ ඇග ඇතුලෙ තිබුන මොකද්ද එකක් ආවදිවුණා වගෙ..නියමයි....

    ReplyDelete
    Replies
    1. ඔබට ඇතිවූ හැඟීම සාර්ථක ව්‍යාපාරයක් ස්ථාපිත වන තෙක්ම පවතීවා යයි පතමි. ඔබට සුභ පැතුම්.

      Delete
  27. අගනා දිරිමත් කිරීමක්. ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහස්

      Delete
  28. ව්‍යාපාරයක් පොඩියෙන් හරි පටන් ගන්න හයියක් දෙන වටින ලියවිල්ලක් ඉයන් මේ. ඇත්තටම කිව්වොත් මම ගෘහණියක් හැටියට හඳුන්වන්න කැමති කෙනෙක්. නමුත් ඇත්තටම වැඩි වෙහෙසක් නොගෙන ගෙදරම ඉගෙන සැලකිය යුතු මුදලක් උපයනවා මමත්. ඒ යහපත් වචන පාවිච්චි කරලා. පොඩි දරුවන්ට කතා පුහුණු කරවලා. අවශ්‍යවෙන්නේ ඉවසිලිවන්තකමයි විෂය ගැන දැනුමයි විතරමයි. ඉතිං අළුතෙන් දෙයක් පටන්ගන්න ආයෝජනය කරන්නේ කොහොමද කියලා හිතන කෙනෙකුටත් මගේ අදහස වැදගත් වේවි.

    ස්තුතී ඉයන් නැ බැ කියල හිතන්න පෙළඹෙන හිදිහේ ලිවීමකට වඩා මේ වගේ හිතන්න වටින දෙයක් අපි අතරට ගෙනාවට.

    ReplyDelete
  29. හරිම වටින ලිපියක්. මමත් මේ දවස් වල පොඩි බිස්නස් එකකට අත ගහල ඉන්නෙ. තව අලුත්ම අදහස් ටිකකුත් හොයනව. ඒ අතරෙ, මම පොඩි කණ්ඩායමක් එකතු කරගෙන ඉන්නව, එයාලටත් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න උදව්, උපදෙස් ලබා දෙන ගමන් එයාලවත් උඩට ගන්න උදව් කරන්න. ඔයාගෙ අදහස් තිකත් හරිම වටිනව. ඔයාගෙන් සහයක් ගන්නත් පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. දෙයක් තව එකතු කරන්නම්. මම මගෙ බිස්නස් එක ආරම්භ කරපු විදිහත් එක්ක කියල පොඩි පෝස්ට් එකක් දාල, ඒක කියවපු කිහිප දෙනෙක්ම දින කිහිපයක්, සතියක් ඇතුළත හොඳ ලාභත් ලබා ගත්ත.
      මම කියල දුන්න සතයක්වත් වියදම් කරන්නෙ නැතිව බිස්නස් එක ආරම්භ කරන හැටි හා ඒ ලැබෙන ලාභයෙන් හරියට ව්‍යාපාරය ආරම්භ කරන හැටි.

      Delete
  30. මටත් තියනව අදහස් කිහිපයක්ම, ඒත් ආසයි බයයි :)

    ReplyDelete