Friday, August 14, 2015

වාහන පාවිච්චි කිරීමේදී අපිට වරදින තැන්



වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.



වාහන වල ප්‍රධාන විදුලි පහන් දැල්වීම

ගොඩක් වාහන පාවිච්චි කරන අය අඳුරු වැටිලත් ටික වෙලාවක් යනකම් වාහන වල ප්‍රධාන විදුලි පහන් දල්වන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ හිතනව ඇති තමන්ට ඉතා හොඳින් ඇස් පෙනෙනවා කියන එක ප්‍රදර්ශණය කරන්න ඒක හොඳ අවස්ථාවක් කියලා. ගොඩක් රටවල් ඉර උදාවෙන් පැය භාගයක් යනතුරුත් ඉර බැසයාමට පැය භාගයකට පෙර සිටත් වාහන වල විදුලි පහන් දැල්වීම අනිවාර්‍යයයි. ඒකට හේතුව අනික් වාහන වලට තමන්ගේ වාහනය පෙනීම මිසක් තමන්ට අනික් වාහන පෙනීම නොවන නිසයි. ගොම්මන් වෙලාවට පිටුපසින් එන විශේශයෙන් අඳුරු පාට වාහන ඉදිරියෙන් යන වාහනයට පෙනෙන්නේ නැහැ. ඔබ ප්‍රධාන විදුලි ලාම්පු දල්වා තිබුනොත් පසු පස බලන කන්නාඩිය හරහා ඔබගේ වාහනය ඉදිරියෙන් යන වාහනයේ රියැදුරාට පේනවා. මෝට බයිසිකල් වලට දවස පුරා ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන්න කියල මෑතකදී පොලිසියෙන් ඉල්ලීමක් කළා. ටික දවසක් යනකොට ඒක නැවතුනා. මෙතනදි වෙන්නෙත් මෝට බයිසිකල් සමහර විට අනික් රියැදුරන්ට නොපෙනීම වළක්වාගැනීම. කරුණාකර මේක ඔබගේ දන්නා අදුණන වාහන පාවිච්චි කරණ අයත් එක්කත් බෙදා ගන්න. මෙය කළොත් ආලෝකය අඩු අවස්ථාවල සිදුවන අනතුරු ගොඩක් වලක්වාගන්න පුලුවන් වෙයි.

හැසඩ් ලයිට් භාවිතය

ඔබගේ වාහනේ වමට හැරවීම සලකුණු කිරීමට සහ දකුණට හැරවීම සලකුණු කිරීමට සිග්නල් ලයිට් ඇත. ඊට අමතරව දෙපැත්තේම සිග්නල් ලයිට් එකවර පත්තු වීමට හැසඩ් ලයිඩ් එකක් තිබීමට පුළුවන. සමහර රියැදුරන් හතරමන් හන්දියකදී වමට හෝ දකුණට නොහරවා කෙළින් යන බව සඥා කිරීමට මෙම දෙපැත්තේම ලයිට් පත්තුවන හැසඩ් ලයිට් පාවිච්චි කරයි. එවැනි කිසිම පැත්තකට නොහරවා කෙළින් යන්නේ නම් කිසිම සඥා කිරීමක් භාවිතා නොකිරීම නිවැරදි ක්රවමයයි. හැසඩ් ලයිට් වාහනයට සවිකර ඇත්තේ ඔබ වාහනය අනතුරකට පත්වී නතර වූ විට හෝ ඔබ හදිසි ලෙඩකු රැගෙන යන අවස්ථාවක් අනිකුත් වාහන පාවිච්චි කරණ අයට දැන්වීමටයි.

අධිවේගී මාර්ග වලදී ධාවනය සහ ඉස්සර කිරීම

අධිවේගී මාර්ග ලංකාවට හඳුන්වාදී කාලයක් ගත උනත් ඒවා පාවිච්චි කරණ අන්දම ගැන රියැදුරන් දැනුවත් කිරීමක් එම මාර්ග භාර අධිකාරිය විසින් හෝ පොලිසිය විසින් තවමත් කරළ නැහැ කියලයි මම සිතන්නේ. විදේශ රටවල අධිවේගී මාර්ග පාවිච්චි කරල තියෙන අය මේ පිලිබඳව දැනුවත් උනත් මම මේ මාර්ගයක යන හැම වතාවකදිම වමේ මාර්ගය නිදහස්ව තිබුණත් දකුණු මාර්ගයේ ගමන් කිරීම, වෙට්ටු දමන ආකාරයෙන් ඉස්සර කිරීම සහ තරඟකාරී ලෙස පැදවීම දකින්නට ලැබෙනවා. ඔබ ඒ ගැන දැනුවත් නැත්නම් පහත කරුණු මතක තබාගන්න.

1. ඔබගේ වාහනය ඉතා හොඳ කාර්මික තත්වයේ නැත්නම් අධිවේගී මාර්ගයකට ඇතුළු කරන්නට එපා. එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබගේ ජීවිතය , ඔබගේ වාහනය සහ තවත් ජීවිත කිහිපයක් අවධානමකට ලක් කිරීමකි. තවද අධිවේගී මාර්ගයේ වේග සීමාව පැය කිලෝ මීටර සියය නම් ඔබගේ වාහනයට හෝ ඔබට එතරම් වේගයකින් ධාවනය කිරීමට නොහැකිනම් අධිවේගී මාර්ගය පාවිච්චි කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබකරන්නේ පෙරමෙන් අනතුරකට අත වැනීමකි. සාමාන්‍ය මාර්ග වලදී ඉදිරි පස පමණක් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යය වුනත් අධිවේග මාර්ගයකදී සියලුම මඟීන් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යයෙන්ම කරන්න. තවද වාහනයේ ගෙන යා හැකි අනුමත් ගණනට වඩා ගෙනියන්න එපා. අවුරුදු පහකට අඩු දරුවෙක් යනවානම් ඔහුට හෝ ඇයට බූස්ටර් සීට් එකක් අනිවාර්‍යයෙන්ම පාවිච්චි කරන්න. කිසිම විටක කුඩා දරුවෙකු ඉදිරියේ හෝ පසුපස උකුල උඩ ගෙනියන්න එපා.

2 අධිවේගී මාර්ග යනු ඔබගේ රේස් කාර් පැදවීමේ හැකියාවන් උරගා බලන ස්ථානයක් නොවේ. ඒ සඳහා රේස් ට්‍රැක් එකක් සොයා ගත යුතුය. ඔබ ආර්ත්මාර්ථකාමී ලෙස අධිවේගී මාර්ගයක් පාවිච්චි කිරීම කිහිප දෙනෙකුගේම ජීවිත නැතිකිරීමට ගන්නා උත්සාහයක් වැනිය. එය හේතුව අධික වේගයන්වලදී වාහනය හැසිරෙන ආකාරය වෙනස්වීමත්, වැඩිපුරම සාමාන්‍ය මාර්ග පාවිච්චි කරන මිනිසකුගේ ප්‍රතික්‍රියා කාලය අදි වේගයකදී ප්‍රතික්‍රියා දැක්වීමට මදි වීමත්, මනසක් නැති යකඩ ගොඩක් වන වාහන වල ක්‍රියා විරහිතවීමක් හෝ අනිසි ක්‍රියාත්මක වීමක් හදිසියේ සිදුවීමට ඇති අවකාශයත් යන හේතුය.

3 ඔබ ඉදිරියෙන් යන වාහනය අධිවේගී මාර්ගයට අදාල වේග සීමාවේ ගමන් කරන්නේ නම් එය ඉස්සර කිරීමට යන්න එපා. ඔබ එම වාහනයට වඩා වේගයෙන් යාමට අදහස් කරන්නේ නම් ඔබ මාර්ගයට අදාල වේග සීමාව උල්ලංඝනය කල යුතු වීම එයට හේතුවයි. ඔබ වාහනයේ කෘස් කන්ට්‍රෝල් ඇත්නම් එය අධිවේගී මාර්ග භාවිතය එය ඉතා පිටුවහලක් වෙයි. කිසිවිටකත් මාර්ගයේ දක්වා ඇතිවේග සීමාවට වඩා පැය කිලෝ මීටර 5 කට වඩා වේගයෙන් යන්න එපා.

4 ඔබ ඉදිරියෙන් යන වාහනයක් ඉස්සර කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් ගමන් කළ යුත්තේ වම් පස තිබෙන මාර්ගයේ පමණකි. එවිට ඔබට පිටුපසින් එන වාහනයකට ඔබව ඉස්සර කර යායුතුනම් ඔවුනට දකුණු පස මාර්ගය භාවිතා කළ හැක.

5 ඔබගේ ප්‍රධාන විදුලි පහන් හයි බීම් දමා ඇත්නම් වෙනත් වාහනයක් ඔබ පසුකරණ අවස්ථාවේදීම ඒවා අඩු කරන්න. ඔබ එසේ නොකළොත් ඔහුගේ පසුකණ්නාඩියෙන් පෙනෙන ඔබගේ විදුලි පහන් වල එලිය නිසා ඔහුට ඉදිරිය නොපෙනී ගිය හොත් එම වාහනය සමඟ ඔබගේ වාහනයත් අනතුරකට භාජනය වීමට ඉඩ ඇත.

6 ඔබ ඉදිරියෙන් යන වාහනය සහ ඔබ අතර තත්පර දෙකක දුරක් සැමවිටම තබාගන්න. මෙය අවශ්‍ය වන්නේ ඉදිරියෙන් යන වාහන හදිසියේ වේගය අඩුකළොත් ඔබට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඇතිතරම් වෙලාවක් ලබා ගැනීමටයි. මෙම තත්පර දෙක මණින ක්‍රමය නම් ඔබ ඉදිරියෙන් යන වාහනය මාර්ගයේ ඇති නිශ්චල කණුවක් පසුකර පසුව ඔබ එම කණුව පසුකිරීමට යන කාලය අතර ඔබට -වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් , වන් තවුසන්ඩ් ටූ -කීමට කාලය ඇත්නම් යැයි පිලිගැනේ. එසේත් නැත්නම් -වන් මිසිසිපි ,  ටූ මිසිසිපි- යන්න සිතින් කියා බලන්න. එය කියා අවසන් වීමට පෙර ඔබ එම නිස්චල කණුව පසුකළොත් ඔබ වාහනය සහ එම වාහනයට ඇති පරතරය මදිය.


7 ඔබ ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට අදහස් කරන්නේ නම් දකුණට සිග්නල් දමා තත්පර තුනක් යනතෙක් වම් මාර්ගයේම ගමන් කරන්න. එවිට ඔබේ පසුපසින් එන වාහනයට ඔබ ඉස්සර කරන්නට යනවා යන අදහස සංනිවේදනය වීමට කාළයක් ලැබේ. තත්පර තුන මැනීමට කළින් මෙන් -මිසිසිපි වන්, මිසිසිපි ටූ, මිසිස්පි ත්‍රී- යැයි ගනන් කල හැක. ටික දිනක් යනවිට මෙම කාල මැනීම එසේ නොකියාම ඔබට දැනීමට පුහුණු වේවි. අදාල කාළයේදී ඔබට පිටුපසින් දකුණු මාර්ගයේ වාහනයක් ඔබව ඉස්සර කිරීමට පැමිණෙනවාදැයි දැක ගැනීමට කාලය ඇතිවේ. එසේ වාහනයක් පැමිණෙනවානම් කිසිදිනෙක එම වාහනයට කළින් ඔබගේ ඉස්සර කිරීම කරන්නට උත්සාහ කරන්නට එපා. එසේ කිරීමට යාම විශාල රිය අනතුරකට අතවැනීමකි. ඔබගේ දකුණු මාර්ගයේ වාහන නොමැතිනම් තත්පර තුනක් සිග්නල් කළ පසු ඔබගේ වාහනය දකුණු මාර්ගයට ගෙන ඉස්සර කරන්න. එසේ කරන අතර ඔබගේ දකුණට සිග්නල් දීම නවත්වන්න. මෙතැන් සිට ඔබ ඉස්සර කල වාහනයේ ඉදිරිපස, රාත්‍රී කාළයේදී නම් ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පු දෙකම ඔබහේ පසුපස බලන කන්නාඩියෙන් පෙනෙනතෙක් ඔබ දැන් සිටින දකුණු මාර්ගයේම ඉදිරියට යන්න. ඔබ පසුකළ වාහනයේ ඉදිරිපස පෙනුනු පසු වමට සිග්නල් කරන්න. එසේ සිග්නල් කර තත්පර තුනක් ගත උන පසුව පමණක් ඔබගේ වාහනය වම් මාර්ගයට ගන්න.

8 ඔබගේ වාහනය යම්කිසි කාර්මික දෝශයකට පත්වී නැවතුනහොත් එය හැකිතරම් වමට ගෙන පාරේ වැඩිපුර ඉඩ ඇත්නම් එසී අයින් කර වාහනයේම සිටින්න. ඔබගේ වාහනයේ හැසඩ් ලයිට් දල්වන්න.

ඔබ මෙම උපදෙස් අනුගමනය කරන්නේ නම් ආරක්ෂාකාරී ලෙස වේගයෙන් ඔබගේ ගමනාන්තය කරා පැමිණීමට හැකිවනු ඇත.

12 comments:

  1. වාව්! පස්ට පෝස්ට් එකක්..වාහන සම්බන්දයෙන් වන තවත් පෝස්ට් කිහිපයක් ඉදිරිපත්කල හැකිනම් අගයකොට සලකමි.

    ReplyDelete
    Replies
    1. අනේ මචං මම එහෙමට කියලා වාහන ගැන දන්නේ නැහැ. මට පෙනිච්ච දේවල් ටිකක් ලියුවේ. බොහොමත්ම ස්තූතියි පැමිණියාට.

      Delete
  2. ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියී....

    ReplyDelete
    Replies
    1. යශ්‍යන්ත බොහොමත්ම ස්තූතියි පැමිණියාට

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මම චෙක් කරල බලන්නම්.

      Delete
  4. මේකට මම පස්සේ දවසක කමෙන්ට් කරා

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තමයි රීපෝස්ට් කලේ.

      Delete