කලින් වෙන ආගමක් අදහන්නෙක් ලෙස ඉඳලා මෑත කාලෙක සිට බුදු දහම ඉගෙන ගන්න මට නම් හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක වචනයකින්වත් ප්‍රයෝජන ගන්න අය උපතින් බෞද්ධයන් අතර විරලයි කියලයි.
සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.
ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.
බුදු දහමේ තියෙන්නේ පරම සත්‍යය. ඒක කාගෙවත් බූදලයක් නෙවෙයි. ඒක ගෞතම බුදුහාමුදුරුවන්ගේ බූදලයකුත් නෙවෙයි. අවිද්‍යාවෙන් වැහිල තියෙන සත්‍යය පෘතග්ජන අයට පෙනෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ උදව්වක් හෝ මඟ පෙන්වීමක් නැතිව ඒක හොයාගන්න පුළුවන් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට පමණයි. එහෙම හොයාගත්තත් බුදු කෙනෙක් කරන්නේ තියෙන එහෙත් අන් අයට නොපෙනෙන දෙයක් හොයාගෙන අනික් අයට දේශණා කරන එක විත්‍රයි. ඒ වගේම අද වෙනකොට බුදු වරු 512,028 ක් පහල වෙලා තියෙනවා. බුද්ධ ධර්මය බුදු කෙනෙකුට අයිති නම් ඒක අයිති ඔය බුදුවරුන්ගෙන් කාටද?
එතකොට ඒ විදිහට සත්‍යය හොයාගෙන දේශනා කරපු අයගෙන් එක් කෙනෙක් පමණක් වෙන ගෞතම බුදුන්ගේ උපත ගැන හාස්‍යයට යමක් කීවම ඒක බුදු දහමට අගෞරවයක් වෙන්නේ කොහොමද? ඒක කියපු කෙනාගෙ දැනීම අනුව එහෙම එකක් කිව්වා කියලා සත්‍යය කියන එක වෙනස් වෙන්නේ නැහැ. අනික ධර්මය කියන්නේ අපිට එතෙර වෙන්න තියෙන පාරුවක් විතරයි. රහත් වෙනකොට ඒ ධර්ම රාගයත් නැතිවෙනවා. එහෙව් එකේ ධර්මයට නොව එය මේ කාලයේ දේශනා කරපු කෙනා ගැන මොනවහරි හරි හෝ වැරදි දෙයක් කිව්වා කියලා අනික් අය කලබල වෙන්නේ මොන පදනමක් උඩද?
ගෞතම බුදුන් වැඩ ඉන්න කාලෙත් දහමට මෙන්ම ගෞතම බුදුන්ටත් අපහාස කරපු අය හිටිය බව දන්නවනේ. ඒ කාලේ රටේ රජවරු කීපදෙනෙක්ම ගෞතම බුදුන්ගෙ ලඟම හිතවතුන් හෝ දායකයින්. බුදුන් කවදාවත් ඒ සම්බන්ධකම් යොදාගෙන අපහාස කරන අය හිරේ දාන්න ගියේ නැහැ. ඒකට හේතුව එතුමා බුදු බව ලබාගත්තේ ද්වේශය සහමුලින්ම නැති කරල නිසා.
උන්වහන්සේ කියල තියෙන්නේ අපිට අන් අය කියන, කරන හෝ නොකරන දේවල් ගැන ද්වේශයක් ගන්න එපා කියලයි. එහෙම කිව්වෙ ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පාපයක් නිසා සහ නියත වශයෙන්ම අපායට ඇදගෙන යන්න පුලුවන් නිසා.
එතකොට උන්වහන්සේගෙ පියා සහ උන්වහන්සේ සම්බන්ධ කරගෙන කියපු දෙයක් නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් යැයි කියාගන්නා සමහර ගිහියන් සහ පැවැදි අය සමාජයෙත් සමාජ මාධ්‍යවලත් වලත් ද්වේශයෙන් පුපුර පුපුරා අන් අයටත් ද්වේශය වපුරනවා කියල දැක්කනම් ගෞතම බුදුහාමුදුරුවෝ මොනව හිතයිද? කියපු සහ හිනා වෙච්ච මිනිස්සු අත් අඩංගුවට ගන්න, හිරේ දාන්න, කථා කරන අය උන්වහන්සේගේ අනුගාමිකයො කියල උන්වහන්සේ පිලිගනීද? මගේ අදහස මේ වගේ දේවල් දිහා බලල අහල ද්වේශයක් නොගෙන මෛත්‍රී කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ බෞද්ධයා. මේ ධර්මයේ අයිතියත් පිහිටත් එයාට පමණයි, අනික් අයට ඒගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ.