Tuesday, May 31, 2016

මොකද කියන්නෙ?


ලඟදි ඇතිවෙච්ච ගංවතුර තත්ත්වයත් එක්ක බොහෝ සංවේදී අය අනික් අයගේ උදව්වට ආවා. ඒඅතරම 'මාක්ස්වාදීන්' එනම් ලකුණු දාගැනීමට බලා සිටින දේශපාලකයින්, රූපවාහිනී නාලිකා ආදියත් ඒගොල්ලන්ගෙ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.  අවස්ථාවාදීන් ඕනෑම තැනක ඉන්නවා. ඒවුණත් අපේ මිනිස්සුන්ගේ අනුන්ගේ දුකට සංවේදී බව නම් ඉතා ඉහලින් තිබුණා. ඇත්තටම මේ ගුණාංගය මේ රටේ දුප්පත් කම නැතිකිරීමට භාවිතා කරන්න බැරිද?   

හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයා ඇතිකරපු සමාජ සංවර්ධන ක්‍රමයක් තමයි ජනසවිය. මේක සමුර්ධි ආදී වෙනස් නම් වලින් තාමත් තියෙනවා. ඒ සහනාධාර ක්‍රමයේ විශේෂත්වයක් තමයි යම් ප්‍රමාණයක් පරිභෝජනයටත් තවත් කොටසක් ඉතිරිකිරීමටත් ලැබෙන එක. ඔය ඉතිරි කරන කොටස දැන් බිලියන ගාණක්. ඕක හොරා කන්න තමයි කට්ටියක් අට අර දිවිනැගුම පණත ගෙනාවෙ. ඒක අනුමත නොකළා කියන එක තමයි හිටපු අග විනිසුරු ශිරාණී බණ්ඩාරනායක මහත්මියට දේශාභියෝගය  ගෙනෙන්නත් හේතු වුණේ.

මේක හැම අතින්ම සාර්ථක ක්‍රමයක්ද කියන්න නම් මම දන්නෙ නැහැ. හැබැයි මේකෙන් සමෘර්ධි නිලධාරීන්ට වගේම ඡන්ද මගඩි කරපු අයටත් එක එක වාසි වුණා කියල කථාවල් තියෙනවා. ප්‍රේමදාස මහත්තයා ගෙනාපු තවත් මේවගේ දෙයක් තමයි කැපකරු මාපිය ක්‍රමය. මෙම ක්‍රමයේ වාසිය තමයි රජයට වියදමක් නැතිව අඩු ආදායම් පවුල් වල දරුවන්ට ආධාරයක් ලැබීම. 

ගංවතුර ආධාර ගැන හිතනකොට මේ දෙක ඒකාබද්ධ කරල හඳුන්වා දුන්නානම් හොඳ ඇති කියලා මට හිතුනා. ඒ කියන්නේ සමුර්ධි සහනාධාරය රජයෙන් නොදී යමක් කමක් ඇති අය දුප්පත් පවුලකට හෝ පවුල් කීපයකට මාස්පතා උදව් කරන ක්‍රමයක්. සමුර්ධි ආධාර වශයෙන් පවුලකට ලැබෙන්නේ රුපියල් 2,500/= වගේ මුදලක් කියන එක තමයි මගේ අදහස. ඇත්තටම පවුලකට මේවගේ මුදලකින් යැපෙන්න බැහැ. රජයටත් විශාල ලෙස මෙම මුදල වැඩි කරන්නත් බැහැ. ඒවුණාට වෙන පවුලකට රුපියල් 10,000/= වගේ ගාණකින් උදව් කරන්න පුළුවන් අය බොහෝ ගාණක් මේ රටේ ඉන්න පුළුවන්. සමාජයේ ඉහල ආදායම් ලබන සියයට විස්සට පුළුවන් ඔවුන්ගේ ආදායමෙන් සියයට දෙක තුනක් වියදම් කරල පවුල් දෙක තුනක් බලා ගන්න. එහෙම වුණානම් ඉහල සියයට විස්සට පහලම ස්ථර වල ඉන්න සියයට හතලිහක්ම බලා ගන්න පුළුවන්.

මෙවන් ක්‍රමයක වාසි රජයෙන් දෙන සහනාධාර ක්‍රමයකට වඩා බොහොම වැඩියි . ආධාර ලබන පවුලේ අය කාර්මික සහ රැකියාවන් ලබා ගත හැකි අංශ වලට යොමු කිරීම, රැකියා සොයා දීම, ළමයින්ගේ අධ්‍යාපනයට මඟ පෙන්වීම, ගෙදර දොර වැඩිපුර ඇති බඩු හෝ ඇඳුම් ආදිය ලබා දීම, වගේම නිවාස අළුත්වැඩියා කරගැනීමට උදව් වීම වගේ කෙලින්ම කරන්න පුළුවන් දේවල් ගොඩක් ආධාර දෙන පවුලට තියෙනවා. ඒවගේම ආධාර ලබන පවුල ක්‍රම ක්‍රමයෙන් දියුණු කරවීමට පුළුවන්. ඒවගේම අසනීපයකදි වුණත් හරියාකාර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හා බෙහෙත් ලබා ගැනීම ආදිය දුප්පත් පවුල වලින් වෙන්නෙ නැහැ. ඒවගේ මඟ පෙන්වීම් උදව් කිරීම් ආදිය වුණත් ආධාර කරන පවුලෙන් ලැබෙන්න පුළුවන්. ඒවගේම ආධාර කරන පවුලේ අයට ලොකු සතුටක් ලබන්නත් පුළුවන්. මේවගේ වාසි රජයෙන් දෙන සහනාධාර ක්‍රමවලින් කොහෙත්ම ලබන්න බැහැ. ඒවගේම සහනාධාර අභාවිතය වුණත් මෙම ක්‍රමයෙන් අඩු වෙනවා. විශේෂම වාසිය තමයි රජයට කිසිම වියදමක් නැතිව දුප්පතුන් බලා කියා ගැනීමක් රටේ සිදුවීම. ලංකාව වගේ අනුකම්පාව බහුල ඒවගේම පින් කිරීමට කැමති අය බහුල රටක මේවගේ දෙයක් සාර්ථක වෙන්න තිබෙන ඉඩ වැඩියි. 

මෙහෙම දෙයක් රජය අනුග්‍රහයෙන් වීම ඉතා වැදගත්. ඒකට හේතුව තමයි යම්කිසි හේතුවක් නිසා ආධාර දෙන්නා ආධාරය නොදී හිටියොත් ඒවෙනුවට වෙන අයෙකු ආදේශ කරන්න හෝ එතකම් රජයෙන් ආධාරය දෙන්න පුළුවන්. අනික ළමා අපචාර, මයින් වැඩ කාරකමට ගැනීම වගේ අපහරණයන් ආධාර දෙන අය අතින් වීම පාලනය කිරීම රජය හරහා වෙනවානම් පාලනය කරන්න පුළුවන් වෙයි.

මේවගේ නිර්දේශපාලනික සමාජය විසින් කරන ක්‍රමයකින් මේරටේ දුප්පත් කම ටික ටික හරි අඩුවෙයි කියන එකතමයි මගේ විශ්වාශය. මේවගේ දෙයක් ප්‍රායෝගික වෙයිද? ප්‍රායෝගික වෙයි සහ ඒ වගේම ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවානම් අපි බ්ලොග් කරුවන්ගේ සාමූහික යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමුද?




46 comments:

  1. Good idea.. but for me ten thousand per month looks big ask... :( probably we are still within that lowest 40 percent..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා. අපට කල හැක්කේ අදහස ඉදිරිපත් කිරීම පමණයි. එවන් ක්‍රමයක් ඇතිකළහොත් දායක වීම තනි තනිව තීරණය කළ යුතු දෙයක්.

      Delete
  2. පවතින තත්ත්වය පිළිබඳ ඔබේ සංවේදී බව ඉතා ඉහළයි. අදහසත් වටිනවා ! ඒත් මෙවැනි ක්‍රමයක් අවසානයේ ඇතිවිය හැකි තත්ත්වයන් ගැන විමසිලිමත් විය යුතු බව සිතෙනවා මෙවැනි ක්‍රමයකින් අවසානයේ ප්‍රභූ පවුල්, ඔවුන්ගෙන් යැපෙන යටත් පවුල් සහ/හෝ ස්වාමිවරුන් දාසයන් විදිහට සමාජය බෙදී නොයාමට විධිවිධාන සැලසිය හැක්කේ කෙසේද ? සමෘධි ක්‍රමය යටතේත් ඈත ගම්වල සමෘධි නිලධාරියා යටතේ ඉන්න නිවට පිරිස් බවට පත්ව සිටින අය මා දැක තිබෙනවා. "සමුර්දිය" නොලැබී යාවිදැයි බිය නිසා සමෘධි නිලධාරියාගෙ නිවසේ බැල මෙහෙවරට යන පවුල් ද දක්නට හැකිවුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා. ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. රජය හරහා ක්‍රියාත්මක වන ක්‍රමයක යම්කිසි හේතුවක් නිසා දායක පවුල ආධාර කිරීම නැවැත්වුවහොහ් වෙන දායක පවුලක් ලැබෙන නිසා එලෙස under obligation වීම අඩු විය හැකියි. රජයෙන් ලැබෙන සමුර්ධි සහනාධාරයේ සමුර්ධි නියාමක ගෙවීම කපා හැරියොත් ඒවෙනුවට ආදේශකයක් නොමැති නිසා එලෙස වීම ඉතා වැඩියි.

      Delete
  3. උදව්වක් කරන එක වෙනම වැඩක්..... ඒත් දිගටම සහනාධාර දෙනව කියන්නෙ මිනිස්සු හිඟමනට පොළඹවනවා කියන එකයි .... කට්ටියට ඕනෙ මිනිස්සු හිගන්නො වෙන්න නං, රටට අබ සරණයි .... හැබැයි රටේ වැඩිපුර හිඟන්නො ඉන්නවනං මැතිවරණයකදි ලේසී ..!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මුද්දා. මෙතන අදහස අද රජයේ සහනාධාර මත ජීවත් වන අය ඔවුන්ගේ අද තත්ත්වය ඉහලට ගැනීම සහ හැකියාවක් ඇත්නම් රැකියාවන් සහ අධ්‍යාපන අවස්ථාවලට යොමු කර එයින් මුදවාගැනීම ගැනයි. එවැන්නක් සිදුවීමට රජය යටතේ ක්‍රියාත්මක වෙන ක්‍රමයකට වඩා දායක පවුල් හරහා ක්‍රියාත්මක වන ක්‍රමයකින් අවස්ථාව වැඩි වේයැයි මගේ හැඟීම

      Delete
    2. // උදව්වක් කරන එක වෙනම වැඩක්..... ඒත් දිගටම සහනාධාර දෙනව කියන්නෙ මිනිස්සු හිඟමනට පොළඹවනවා කියන එකයි .... කට්ටියට ඕනෙ මිනිස්සු හිගන්නො වෙන්න නං, රටට අබ සරණයි .... හැබැයි රටේ වැඩිපුර හිඟන්නො ඉන්නවනං මැතිවරණයකදි ලේසී ..!!!!!! //

      ඇනෝපිලස් තුමා ගේ වටිනා කතාවට කොන්දේසි විරහිතව සීයට සීයක් එකඟ වෙමි!

      Delete
  4. බඩගින්නේ සිටින කෙනෙකුට මාලුවෙක් දෙනවාට වඩා බිලිපිත්තක් දෙන එක දීර්ඝකාලීනයි, එමෙන්ම වහලුන් හිඟන්නන් , කම්මැලියන් බිහිවීම වලකිනවා. තාක්ශණික ආයතන, භාශා මධ්‍යස්තාන, ක්‍රීඩා මධ්‍යස්තාන ආදී ආයතන බිහිකිරීමට හා පවත්වාගෙනයාමට මේ ජනතාබලයන් යොදාගන්නේ නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාල්. අද පවතින සමුර්ධි ක්‍රමයෙන් මෙය සිදු නොවන නිසා තව කෙනෙකුට අතදීමේ ක්‍රමයෙන් එය සිදුවන්නට තිබෙන අවස්ථාව වැඩියි කියා සිතුණා.

      Delete
  5. වර්ල්ටඩ් වි්‍ශන් එක ඔය වැඩ සටහන ක්‍රියාත්මක කළා දැනුත් කරනවා කියා හිතනවා, එයාලාට මුදල් එව්වේ ජපානය වගේ රටවලින්, වර්ල්ඩි විශන් එක අදාල පවුලේ විස්තර ආපසු වාර්ථා කරා, එය කොතරම් සාර්තක වුනාද කියා මම දන්නේ නෑ, නමුත් රජය මඟින් කරනවාට වඩා යම් සංවිධානයක් හරහා කෙරෙනවානම් වඩා සාර්ථක වේයයි සිතනවා, විශේෂයෙන් දායක පවුල් වලටත් පාලන බලයක් ඇති ආයතනයක්.

    ReplyDelete
    Replies
    1. //රජය මඟින් කරනවාට වඩා යම් සංවිධානයක් හරහා කෙරෙනවානම් වඩා සාර්ථක වේයයි සිතනවා, විශේෂයෙන් දායක පවුල් වලටත් පාලන බලයක් ඇති ආයතනයක්.//

      බොහොම ස්තූතියි ඇණයා. එක පැත්තකින් ඇත්ත. ඒ වුණාට රජය සම්බන්ධයක් නැත්නම් රජයේ සහනාධාරයි මේකයි දෙකම ගන්න මිනිසුන් පෙලඹෙන්න පුළුවන්. ඒවගේම සමහර විට සොයා දෙන රැකියා එහෙම බාර නොගෙන ඉන්න පුළුවන් රජයේ සහනාධාර නැතිවෙයි කියන බයට.

      Delete
  6. මම හිතන්නේ මෙතන ඉයන් කියන්න හදන්නේ "ජනසවිය" ගැන නෙමෙයි. ප්‍රේමදාස මහත්තයා හඳුන්වා දුන් "කැපකරු මාපිය" කියන කන්සෙප්ට් එක. ඇත්තටම ඒක සාර්ථක එකක් උනා. මම පෞදගලිකව සහනාධාරා ක්‍රමයට විරුද්ධයි. ඒකයි අපේ රටවල් අදටත් විඳවන්නේ. සහනාධාර මානසිකත්වයක් සහිත සමාජයක් ගොඩනැගිලා තියෙන්නේ. අද වෛද්‍යවරුන් පවා ඉන්නේ සහනාධාර මානසිකත්වයක. එපමණක් නොව ස්වාධීන අභීත රැකියාවක් වන මාධ්‍යවේදීයා කියන පුද්ගලයා ඉන්නෙත් සහනාධාර මානසිකත්වයක්. එහෙම රටක ලේසියෙන් ගොඩ ගන්න බෑ. එහෙම මානසිකත්වයක ඉන්න උන්ට මම කැමතිත් නෑ.

    ඔය කැපකරු මාපිය ක්‍රමය ඊට වඩා වෙනස්. මොකෝ අද රනිල් වික්‍රමසිංහ රජය, (මේවා මෛත්‍රිලා හීනෙන්වත් හිතන්නේ නෑ) සිසු ණය යෝජනා ක්‍රම සඳහා පෞදගලික මූල්‍ය සමාගම් වල දායකත්වයත් ලබා ගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම "ලැප්ටොප්" ප්‍රොජෙක්ට් එක. මේවා ඉතා ඉහළින් අගය කළ යුතු වැඩ. එතකොට සිසුන් තුල ඔවුන් යම් වගකීමක් සහිත පිරිසක් බවට මානසිකත්වයක් හැදෙනවා. ඔවුනුත් මේ රටට ණය කාරයෝ කියන මාන්සිකත්වය නොව, ප්‍රායෝගිකවම එහෙම කරලා තියෙනවා.

    කැපකරු මාපිය ක්‍රමයේ තිබුන එක වැරැද්දක් තමයි ප්‍රතිලාභී දරුවන් කෙලිනම් දායක දෙමාපියන් හා සම්බන්ධ කිරීම. විශේෂයෙන් ඔවුන්ට වඳින්න පුදන්න සැලැස්වීම. මෙන්න මේ ගෝතිර්ක ගති හැර දාලා. රජය ධානපතියන් හා ප්‍රතිලාභීන් අතර පාළමක් වෙනවා නම්. (විනිවිදභාවයක් සහිතවා ඒ කියන්නේ තමන් කාටද ආධාර කරන්නේ කියන දේ දැනගන්න තිබුනාම ඇති. වැඳුම් පිදුම් අවශ්‍ය නෑ) මේක ඉතාම වැදගත් ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේම කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මේකට මදර් තෙරේසාගේ පින්තූරේ අයින් කරලා ප්‍රේමදාස මහත්තයගෙ පොටෝ එකක් දැම්මා නම් බොහොම වටිනවා. මොකෝ මදර් තෙරේසා ගැන දැන ළෝකයේ තියෙන්නේ හොඳ නමක් නෙමෙයි.

      Delete
    2. //මොකෝ මදර් තෙරේසා ගැන දැන ළෝකයේ තියෙන්නේ හොඳ නමක් නෙමෙයි. //

      ස ර ස තුමා එම යෝජනාව සෙකන්ඩ් කරමි!

      Delete
    3. බොහොම ස්තූතියි මාතෙ. උඹ මේක හොඳයි යැයි කීම ඉතාමත් වටිනවා.බොහොම ස්තූතියි මාතෙ.

      මාතෙ /සාරස තෙරේසා මව්තුමිය ගැන ලෝකයේ නරක හැඟීමක් තිබෙන බව මම දැනගෙන හිටියේ නැහැ. පින්තූරේ වෙනස් කලා.

      Delete
    4. Ian-I too was going to comment about Mother Theresa's photo which you had earlier. Now that Mathalan and Sarasa have pointed it out, it's good. I have heard many 'stories' that she is not the compassionate person she was perceived to be. See one link below.

      http://www.salon.com/2016/01/03/the_wests_big_lie_about_mother_teresa_her_glorification_of_suffering_instead_of_relieving_it_has_had_little_impact_on_her_glowing_reputation/

      Delete
  7. හරියට ඉන්කම් ටැක්ස් අයකරල දුප්පත් අයටත් වදින වැට් වගේ ඉන්ඩිරෙක්ට් භාණ්ඩ බදු අඩුකරනවනම් ඔය තරම් සහනාධාර අවශ්‍යවෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. බඩු කොච්චර අඩු කලත් දවසට රුපියල් 100 ක් හොයා ගන්න බැරි අය තවත් ඉන්න පුළුවන් නේද ප්‍රා?

      Delete
  8. කොහොමත් බෙදා හදා ගන්න පුරුදු පුහුනු වෙන එක සමාජයකට බොහෝම වැඩ දායී දෙයක්..අපි අතින් ගිලිහිලා ගිහින් තියෙන ඒ වගේ වටිනාකම් ආපහු සමාජගත කරන්න ඕනි...
    සංවිධානාත්මකව කරන්න කලියෙන් ගෙදරින් පටන් ගන්න වනං සාර්ථක වෙයි කියල මට හිතෙන්නේ..අර එක සැරයක් ඉයන් කිව්වා වගේ පොර වෙන්න හරි දේශපාලන ලාභ බලාගෙන හරි කරල නං වැඩක් නෑ...
    කැපකරු මාපිය ක්‍රමය අපේ ආදියේ ඉඳන් ස්වබාවිකව තිබුන දෙයක්..ඉස්සර තම ලඟම නැදෑයොන්ගෙ ලමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට දන්න කියන තියෙන නෑදෑයින්ගෙන් ඇති තරම් උදව් උපකාර ලැබුන බැව් මම නම් අත්දැකීමෙන්ම දන්න දෙයක්..
    අර ශාන්තගේ චිත්‍ර පංතියෙන් වෙන දේ වගෙ සද්කාර්‍යයන්ට උදව් කලාම තව ටික කාලයක් යනකොට ඔය අත පාන ගතිය අපෙන් ඈත්වෙනව කියල මට හිතෙන්න..
    සමහර විට IMF එක කියන දේවල්ද දන්නෙත් නෑ මේ ඉයන් අපිට හෙමීට පොවන්නේ..!

    ReplyDelete
    Replies
    1. කොහොමත් බෙදා හදා ගන්න පුරුදු පුහුනු වෙන එක සමාජයකට බොහෝම වැඩ දායී දෙයක්..අපි අතින් ගිලිහිලා ගිහින් තියෙන ඒ වගේ වටිනාකම් ආපහු සමාජගත කරන්න ඕනි...

      බොහොම ස්තූතියි චෙෆා

      //සමහර විට IMF එක කියන දේවල්ද දන්නෙත් නෑ මේ ඉයන් අපිට හෙමීට පොවන්නේ..!//

      කියන්න බෑ නේද?

      Delete
  9. මේක මගෙ අදහස ඉයන්. මෙහෙමයි, කරදරයක් වුණු වෙලාවක මෙයාකාර එකමුතුවක්, උදව් පදව් තිබුණට මිනිස්සු මේ වගේ වැඩකට එකතු වෙන්නෑ සහ කැමති වෙන්නෑ. කීප දෙනෙක් එකඟ වෙන්න පුලුවනි. ඒ වුණත් මට හිතෙන්නෙ දිගුකාලීනව මිනිස්සු ඒකෙ රැඳිල ඉන්නෙකක් නෑ. කොච්චර මානුෂිකයි, සමාජවාදී කිව්වත් මිනිස් හිතේ තියෙනව කැපිල පේන්න, අනිත් කෙනාට වඩා හොඳ ජීවන තත්වෙකින් එයාට වඩා උඩින් ඉන්න. ඒක හොඳාකාරවම පෙනුනනෙ ජෝං බාසාගෙ කතාවෙන්. එයාගෙ එකම සුදුසුකම දේශපාලකයෙක් වීම, එහෙමයි කියල එයාට හැම අතින්ම හොඳ ජීවිතයක් තියෙන්න ඕනෙ. අනිත් අය ඒකට උවමනා තත්ව හදල දෙන්නත් ඕනෙ. ඒකනෙ කිව්වෙ එයාලට පාරට බහින්නවත් බෑලු නුසුදුසු මිනිස්සු කාර් ගන්න නිසා, ඒ නිසා එයාලගෙ වරප්‍රසාද රැකගන්න ඒව අනිත් මිනිස්සුන්ගෙන් ඈත් කරනව, affordability නැති කරනව. මේක තමයි බහුතරයකගෙ මතේ ඉයන්. මේ වගේ දැක්මක් පෙනේ අකුලගත්තු නයා වගේ මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ තියෙනව. ඒ නිසා මේක ප්‍රැක්ටිකල් නෑ මං කියන්නෙ. කලුවර තියෙන හින්දනෙ පහනෙ එලිය දිලිසෙන්නෙ... ජීවන තත්වෙ පල්ලැහිං තියෙද්දි තමයි ටිකක් උඩින් ඉන්න මිනිස්සු බැබලෙන්නෙ... ඒක වෙනස් කරගන්න මිනිස්සු උත්සහ කරන්නෑ ඉයන්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස පොදු දෙයක් වෙන්න පුළුවන් ලේ.හී. සල්ලි කාරයන්ගෙන් 10% වත් ව්‍යුහගතව ඇතිකරපු ක්‍රමයක් හරහා මෙවන් දෙයක් කොටසකට හරි යහපතක් වෙයි නේද?

      Delete
    2. ඒක හරි.. මං කියන්නෑ හැමෝම එක වගේ කියල. කැමති අයත් ඕනෙ තරම් ඇති...ඔබේ අදහස වටිනව කෝම වුණත්.. එයාකාර සහකම්පනයක් තියෙන මිනිස්සු අපි අතරෙ ඉන්නව කියල දැනුනු එකත් වටිනව

      Delete
    3. බොහොම ස්තූතියි ලේ.හී

      Delete
  10. මේ ලෑන් සීය කියන කතාව සමහර පල්ලි ආශ්‍රිතව නම් ක්‍රියාත්මක වෙනවා මම දන්න හැටියට.නිතර නිතර මැදිහත්වීම් කරලා අදාල පවුල ගොඩ දාන්න ඇති හැකි පවුලක් කටයුතු කරනවා දෙවියන්ගෙ නාමෙන්.
    අපට තියෙන්නෙ මනුශ්‍යත්වයේ නාමෙන් ඒ දේ කරන්න..නමුත් නිසි ප්‍රායෝගුක ක්‍රමවේදයක් ඇතුලෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //අපට තියෙන්නෙ මනුශ්‍යත්වයේ නාමෙන් ඒ දේ කරන්න..නමුත් නිසි ප්‍රායෝගුක ක්‍රමවේදයක් ඇතුලෙ//

      එකඟයි

      Delete
  11. මිනිස්සුන්ට දිගින් දිගටම සහනාධාර දීම මාත් අනුමත කරන්නෙ නෑ. ඒ වගේ අයගෙ ජීවන තත්වය නගා හිටුවල ස්වයං රැකියාවකට වගේ යම් ආදායම් මාර්ගයකට යොමු කරල ඊට පස්සෙ තමා විසින්ම තම වියදම් හොයාගන්න තත්වෙකට පත්කරන්න වැඩ පිළිවෙලක් තියෙනවනං හොඳයි. හැබැයි ඒකත් සෑහෙන්න ඒ පවුල් ගැන මොනිටර් කරන ගමන් කරන්න ඕන වැඩක්. එහෙම නැත්තං වෙන්නෙ දෙන සල්ලි වලින් කසිප්පු ගහන එක තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න රජයෙන් දෙන ආධාරයකින් එහෙම වෙන්න පුළුවන් වුණත් කෙලින්ම දායකයෙකු දෙන ක්‍රමයකදී ඒකෙ යම්කිසි පාලනයක් එන්න පුළුවන් නේද?

      Delete
  12. දිවංගත ජනපති ප්‍රේමදාස නිර්මාණය කල කැපකරු මාපිය ක්‍රමය තිබුනේ අදායමක් ලබගතනොහැකි පූර්ණ කාලීනව පාසල් අධ්‍යාපනයට යොමු වුන දරුවන් වෙනුවෙන්. අධ්‍යාපනය යනු සමාජයේ ප්‍රගමනයට කෙරෙන අනාගත ආයෝජනයක් නිසා පූර්ණකාලීන අධ්‍යාපනයට කැපවුණු දරුවන් වෙනුවෙන් එසේ ආධාරයක් කිරීම ඉතා වටිනා ක්‍රියාවක්. නමුත්, යම් නිෂ්පාදනයක් හෝ සේවයක් කිරීමෙන් මුදල් උපයාගත හැකි රෝගී හෝ/සහ වයෝවෘද්ධ නොවන කිසිදු අයෙකුට සාමාන්‍ය තත්වයන් යටතේදී පුද්ගලික මුදලින් ආධාර කිරීම නොකලයුත්තක් බවයි මගේ පුද්ගලික ස්ථාවරය. මහන්සියෙන් උපයා ගන්නා මුදල් සාමාන්‍ය අවස්ථාවක සිටින පවුලකට නිකම්ම දීම යුතු යයි මම හිතන්නේ නෑ.

    ඉහල අදායම් තිබෙන අය පහල අදායම් තිබෙන පවුල් වලට උදවු කල යුත්තේ මුදල් ආධාර කිරීමෙන් බව මම නම් සිතන්නේ නැහැ. ඉහල අදායම් තිබෙන අය කලයුත්තේ රට තුල නිෂ්පාදන සහ සේවා රැකියා අවස්ථා ඇතිකිරීම මගින් පහල අදායම් ඇති අයට යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සදහා දායකවී එමගින් මුදලක් උපාය ගැනීමේ අවස්ථා ඇති කිරීම හෝ එසේ කිරීමට අවශ්‍ය සහයෝගය දීමයි. ඔවුන් රටේ ආර්ථිකයට දායකවන්නේ එවිටයි. ගංවතුර යනු සාමාන්‍ය නොවන හදිසි අවස්ථාවක් පමණයි. ඒ අවස්ථාවේ ක්‍රියාත්මකන වන සුවිශේෂී අකාරය සාමාන්‍ය අවස්ථාවකට කොහෙත්ම නොගැලපෙන බවයි මම සිතන්නේ. එය එසේ කිරීමට උත්සහ කිරීමත් රටකට ඉතා අහිතකර බවයි මම හිතන්නේ.

    නීතිවිරෝධී ජාවාරම්වලින් සහ දේශපාලනික දුෂණ වලින් විශාල ධනයක් උපයාගත් අය මෙසේ පහල ආදායම් ලබන විශාල ප්‍රමාණයකට මුදල් ආධාර ලබාදෙනවා මම දැක තිබේ. එසේ කරන්නේ ඔවුන්ගේ පැවත්මට අවශ්‍ය කරන පහල ආදායම් ලබන කොටස එසේම දිගටම පවත්වාගෙනයාමට බව ඒ පිලිබඳ ක්ෂේස්ත්රවල ප්‍රවීනයන් පවසන අබව මම අසා තිබේ.

    අනෙක් අතට දැනටත් රටේ මිනිස්සු මේ ආකාරයට විශාල පවුල් ප්‍රමාණයක් නඩත්තු කරන බවයි මම හිතන්නේ. ඒ සමහර අංශවල අතිශය අතිරික්තව සිටින කිසිදු සේවාවක් නොකරන රාජ්‍ය සේවකයන් යම් ප්‍රමාණයක් සහ රටට හා ප්‍රදේශයට කිසිදු පලක් නැති දේශපාලකයන්ගේ පවුල් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමෙන්.

    දරුවන්ගේ අධ්‍යාපනයට, රැකියා අවස්ථා සොයගැනීමට සහ රෝගී තත්වවලට උදවු කිරීමට ඔබ කරන යෝජනාව නම් ඉතාම වටිනා බවයි මම සිතන්නේ.

    ReplyDelete
    Replies
    1. //දරුවන්ගේ අධ්‍යාපනයට, රැකියා අවස්ථා සොයගැනීමට සහ රෝගී තත්වවලට උදවු කිරීමට ඔබ කරන යෝජනාව නම් ඉතාම වටිනා බවයි මම සිතන්නේ.//

      බොහොම ස්තූතියි කෙන්කියුෂා. ඒවගේම දුප්පත්කමින් ගොඩගන්නත් ඒක හේතුවෙන්න පුළුවන්.

      Delete
  13. සෑම රාජ්‍යයකම පාහේ මහජනතාව වෙනුවෙන් යම් යම් කාලීන සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරුමයක් නොවෙයි. නමුත්, මට හිතෙනවා, දකුණු ආසියාතික රටවල් බොහොමයක මහජනතාව සිතනවා, තමන්ගෙන් කිසිදු ආකාරයක දායකත්වයක් නොදී, රජයෙන් සියලු සුබසාධක කටයුතු තමන්වෙත ලබාගැනීම, යම්කිසි ආකාරයක වරප්‍රසාදයක් කියා. මෙන්න මේ තත්වය පිලිබඳව, යථාර්ථය වටහාගැනීම සඳහා, ජන විඥ්ඥානය වැඩි දියුණු කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. බොහොම ස්තූතියි විචාරක තුමනි

      Delete
  14. ඔය ඉයන් කියන ජාතියේ මුදල් හදල් තියෙන අයට එකතුවෙලා පුලුවන් නම් නිශ්පාදන ක්‍රියාවලියට දායකවන කර්මාන්ත ශාලා, ගොවිපල වගේ දේවල්වලට යම් ආයෝජනයක් කරලා කමියුනිටි ප්‍රොජෙක්ට්ස් වැනි ව්‍යාපෘති හරහා එවැනි අවශ්‍යතා ඇති පවුල්වලට රැකියා අවස්තා හෝ ආදායම් මාර්ග හදන්න ...අන්න එතැනදි යම් පලදායිකත්වයක් අපේක්ෂා කර හැකියි. නැත්නම් නැවතත් අලුත් වටයකින් යැපෙන්නන්ගේ යුගයක් බිහිවෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුණ . ඔබ කියන දේ සමාජවාදී රටවල රජයේ ප්‍රාග්ධනය යොදවා ක්‍රියාත්මක කර අසාර්ථක වුණ ක්‍රමයක් නේද? අනික ලංකාවේ තිබෙන එක් පැත්තක් ගත් කම්කරු නීති අනුව රැකියා ලබාදීමේ අරමුනින්ම රැකියා දුන්නොත් එය සාර්ථක වෙන්නේ නැහැ. මම කියන්නේ දායකයන් ආධාර ලබන්නන්ව යම්කිසි තාක්ෂණික හැකියාවල් ලබා ගැනීම සඳහා යොමුකර ඔවුන් දන්න තැන්වල එවන් තාක්ෂණික දැනීම ඇති අයට ඇති ඇබෑර්තු වලට යොමු කරවීම. උදාහරණයකට රියැදුරු පුහුණුව ලබා දී රියැදුරු රැකියාවකට යොමු කිරීමෙන් එක පවුලක් සහනාධාර මත යැපීමෙන් බේරාගත හැකියි.

      Delete
    2. නැහැ ඉයන් මම කියන්නේ රජයේ මුදල් නෙමේ. ඔබ කියන 10000 වැනි මුදලක් පවුලකට වියදම් කරන්න පුලුවන් අයගේ එකතුවක් මගින් ග්‍රාමීයව හැදෙන වැඩපිලිවෙලක්.

      Delete
  15. මිනිස්සුන්ගේ යැපුම් මානසිකත්වය ඉවත් වෙන්න ඕනේ.එකට කරන්න ඕනේ ඒ මිනිසුන්ව ආර්ථිකමය වශයෙන් සවි ගැන්වීම.එක කරන්න පුළුවන් රටේ රැකියා උත්පාදනය කිරීමෙන්,නිතිය,සමාජ සාධාරණත්වය වැනි දේ සවිමත්ව තිබිම එකට රුකුලක්.සහනාධර මත යැපෙන්නේ පුරුදු වුනාම එක නැතුව බැරි වෙනවා.දැන් පේනවානේ පොහොර සහනාධාරය නැතුව බැහැ කියලා ගොවි උද්ගෝෂණ තියෙන හැටි.

    ReplyDelete
    Replies
    1. රැකියා උත්පාදනය කරන ගමන් ඒ රැකියා ලබා ගැනීමට තාක්ෂණික දැනීම ලබා දීමත් කල යුතුයි. මේකෙ දෙපැත්තක් තියෙනවා. අවශ්‍ය තාක්ශණික දැනීම ඇති අය අඩු නම් එවන් අය අවශ්‍ය ආයෝජන එන්නේ නැහැ. ඉන්දියාවට මෘදුකාංග නිපැයුම් ආයෝජන වැඩිපුර ලැබෙන්න හේතුව ඒකයි. අඩු වියදමකින් මෘදුකාංග ඉංජිනේරුවන් ලබා ගැනීමේ හැකියාව. ලංකාවේ බොහොම සුළු ප්‍රමාණයක් පමනක් පුහුණු වන නිසා ඔවුන්ගේ වියදම ඉන්දියාවට වඩා වැඩියි.

      Delete
  16. සමුර්ධි වගේ දේවල් වලින් දුප්පත් මිනිස්සුන්ට එහෙමට වැඩක් වෙන්නේ නැ . ඔය කැරට් අලේ ( කැරල් අලයක් කියන්ඩත් බැ අල කෑල්ලක් ) පෙන්නල එක එක දේශපාලන අරමුණු වෙනුවෙන් යොමුකරගැනිම තමයි වෙන්නේ ,

    නිවාස සංවර්ධන අදිකාරියෙන් දෙනවා අඩුආදායම් ලාභි නිවාස ණය ආධාරය කියල එකක් , රුපියල් 50000 ක් දීලා තුන් ගුණයකට ලංවෙච්ච මුදලක් රුපියල් 560 ක වාරික වශයෙන් අය කරගන්නා , වාරික ගෙවීමට ලබා දීලා තියන කාලයට කලින් එකවාරිකයක් රුපියල් දෙතුන්දාහක් ගෙවපු අයටත්

    ‘‘ කවද ගෙව්වත් හරියන්නේ නැ ...කලින් ගෙව්වා කියල අඩු වෙන්නේ නැ .... පරක්කු කලොත් දඩ මුදලක් එකතු වෙනවා .....මේ ඉක්මනට ණය මුදල ගෙවලා ඉවරකලා වාගේ ඔය පොලී හැත්ත පන්දාහත් ගෙවන්ඩ ‘‘

    කියල තමයි අසරන මිනිස්සුන්ට ඒ ඔපිසියේ උත්තයෝ උත්තමාවියෝ කියන්නේ

    වීරවංශ ගොයියා නිවාස ඇමති කාලේ කියුවා ඔය අඩු ආදායං නිවාස නය කපා හැරලා අයකිරීම් නවත්වනවා කියල . හැබැයි ඔය ඔෆිසියේ අය එහෙම එකක් දන්නෙත් නැලු .

    ඒ කතාවෙන් පස්සේ ණය ගෙවන එක නවත්තපු අයට අවුරුදු දෙකකට විතර පස්සේ ලියුම් එවනවා , ....මෙච්චර හිගවාරික තියනවා ....ඒ මුදලයි....නොගෙවපු කාලේට එකතු උන දඩ වැල් පොලියයි එකපාර ගෙවන්ඩ කියල ....ඊලගට ගෙදරට එවනවා ග්‍රමසේවකලව ....නය අය කරගන්ඩ බල කොරන්ඩ ..එන්න ඔහොමයි රාජ්‍ය ආයතන පොඩි මිනිස්සුන්ට සලකන්නේ ....මහ පරිමාන විය්‍යාපාරිකයන්ගේ නය බොල් නය විදිහට කපා හරිනවා ඒ අවු අස්සේ ....

    බැංකුවකට ගියත් ඔය සෙතේම තමා ගේ කෑල්ලක් හදාගන්ඩ ඇපකාරයෝ දහ දාහක් ඇරං ආවත් නිවාස ණයක් දෙන්නේ නැ , ඒ බැංකුවේ එකවුන්ට් එකක් තිබ්බත් , හැබැයි සල්ලි කාරයන්ඩ කතා කරල ලොන් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ අටම් මේ ඔක්කොම මහින්ද මහත්තයා නැති නිසානෙ. හෙහ් හෙහ්. විහිළුවට සර්. බොහොම ස්තූතියි

      Delete
  17. මොනව කියන්නද අප්පා.. ( මාතෘකාවට උත්තරේ)

    දිගට දිගට ලියන්න දේවල් තියෙනවා. නමුත් කෙටියෙන් කිව්වොත් ආධාර ලෙස ලබාදීම එතරම් සුදුසු , දීර්ඝ කාලින විසඳුමක් නෙවෙයි. එය වැඩිපුරම අනර්ථය තමයි සිද්ධ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි. බොහොම ස්තූතියි උපේක්ෂා

      Delete
    2. ඔබගේ බ්ලොග් අඩවියට ඒමට අවසර ගැනීමට සිදුවී ඇත්තේ ඇයි?

      Delete
  18. ආධාර නම් ඇතිවෙන්න එකතු උනා...බෙදපු ක්‍ර‍මවේදයේ තමයි අවුලක් තියෙන්නෙ. මගේ අදහස හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබද යම් ස්ථිර ක්‍ර‍මවේදයක් සකසන්න කාලය ඇවිත්.

    ReplyDelete
  19. ඉයන් මං හිතන්නෙ සහනාධාර ක්‍රම සැකසෙන්න ඕන එදිනෙදා අවශයතා දිගින් දිගට සපුරනවට වඩා කුමන් හෝ අනාගත ඉලක්කයක් පදනම් කරගෙන ස්වාධීනව එම අවශයතා සපුරාගනිමට හැකි වෙන.. නැත්නම් අර කිව්වත් වගෙ හිගන්නො ටිකක් බිහි වේවි නිකන් ඉඳල පිනට කන, ඒ හරහා තමන්ගෙ අවශයතා විතරක් කර ගන්න බලන.

    ReplyDelete
  20. ඇත්තටම හිතන්න වට්න අදහසක්

    ReplyDelete
  21. ඇත්තටම හිතන්න වට්න අදහසක්

    ReplyDelete