Monday, June 15, 2015

මගේ ආදර කථාව ගීතයකින්



පහු ගිය දිනවල අනික් බ්ලොග් කියවනකොට තේරිච්ච දෙයක් තමයි හැමෝගෙම හරිගිය නැති පරණ ප්‍රේම කථාවක් තියෙන බව. මගේ අනුමානය නම් අඩුම ගණනේ 60% කට විතර තමන් ආදරය කරපු කෙනාම විවාහ කරගන්න වෙන්නේ නැහැ. ඒ හැමෝටම වගේම මටත් ආදර කථාවක් තිබුණා. මට සිද්ද වුනේ දෙමව්පියන්ගේ බල කිරීම මත මගේ ආදරයට සමුදෙන්න. මට තනි තීරණයක් ගන්න කොන්ද පණ තිබුනේ නැති නිසා ඒ කාලේ හිටපු අපේ පොදු යාළුවෝ ඔක්කොම වගේ මගෙත් එක්ක තරහ උනා.


ඇය වෙන කෙනෙක් එක්ක විවාහ උනා විතරක් නෙමෙයි මට වෙඩිං එකට එන්නම ඕනෙ කියල ඉල්ලීමකුත් කළා. බොහොම අමාරුවෙන් හිත දැඩි කරගෙන මම එයාගේ වෙඩිං එකටත් ගියා. මම එයා බැඳපු කෙනා කලිනුත් දැනගෙන හිටියා. එයත් අපි දෙන්නා ගැන දන්නවා. ඒ හෝල් එකේ හිටපු ගොඩක් දෙනෙක් අපි ගැන දන්න අය නිසා ඒගොල්ලන්ගේ ප්‍රශ්නකිරීම් විමසිලි ඇස් වලට මූන් දීගෙන දිගටම ඉන්න මානසික තත්වයක් මට තිබුණෙ නැති නිසා ටික වෙලාවකින් මම එතනින් යන්න ගියා. විවාහයට පස්සේ එයාගේ හස්බන්ඩ් එක්ක එයා විදේශ රටකට ගියා. ෆේස් බූක්, ජංගම දුරකතන වගේ දේවල් ගැන හිතලවත් නොතිබුණ ඒ කාලේ විස්තර දැනගන්න ක්‍රමයක් තිබුනේ නැහැ. පසු කාලෙක විදේශ රටකදි මට ඒ ගොල්ලන්ව හම්බුවුනා. අදටත් ඒ ගොල්ලො ලංකාවට ආවම මට එම දෙපලම හම්බුවෙනවා . එයාගේ හස්බන්ඩ් ඒ අතින් හරි පරිණතයි. මමත් කිසිම දිනයක ඔහු මා කෙරෙහි ඇති විශ්වාශය බිඳින්න සූදානම් නැහැ.එයා ඉහල සැප සම්පත් සහිත ජීවිතයක් බටහිර රටක ගෙවන එක ගැනත් එයාගේ හස්බන්ඩ් එක්ක ඉතා සාමකාමී සහ මම හිතන විදිහට සතුටු ජීවිතයක් ගෙවන එක ගැන මට බොහොම සතුටුයි.

මීට අවුරුදු කීපයකට උඩදි මම ඒ ආදරය අලලා ගීතයක් ලිව්වා. විශාරද නවරත්න ගමගේ ඒකට සංගීතය නිර්‍මාණය කළා. 2011 දි විතර රනිල් මල්ලව ආරච්චි ලංකාවට ආපු කාලෙක ඒ සින්දුව ගායනා කලා. මේ සින්දුවට පස්සේ මම වෙන මාතෘකා යටතේ තව ගීත කිහිපයක් ලිව්වත් මගේ අත්දැකීමක් ගැන මම ලියපු එකම සින්දුව මේකයි. ඒවගේම වීඩියෝ එකක් කරපු මගේ එකම ගීතයත් මේකයි. මේකෙ රඟපාන්නේ බිමල් ජයකොඩි සහ රිතු ආකර්ශා යන නළු නිලියන් දෙදෙනා. ඔබට ඒ ගීතයේ රස විඳල ඒ ගැන අදහස දක්වන්න ආරාධනා කරනවා. මම ලියපු අනික් ගීතත් එකෙන් එක පසුව දාන්නම්.      


කඳුලක් නැංවූ, හැම මොහොතක් ගැන, අයදිමි ඔබෙන් කමා
පැරදුණු අප පෙම, ගැන මම ලතැවෙමි, පියවුණු දෙනෙත් තෙමා
දෙඅතක සිටියත්, හමුනොවුණත් අපි, නලළට නලළ තියා
සිහිනෙන් ඇවිදින්, මගෙ සිත පිරිමැද, සිප සනසන්න මෙමා


නොකැළල් කුළුඳුල්, ඔබෙ හද දිනුමට, මා හට ලැබුණි වරම්
යෞවනයේ ඇති, නොඉඳුල් සුන්දර, විඳිනට ලදිමි වරම්
පෝරුව මත හිඳ, සුලැඟිලි අල්ලා, හූයෙන් බැඳෙන තරම්
දෙවියනි ඇයි මා, හට නොමදුන්නේ, ඔබ හිමි වෙන්න වරම්


හැඟුමන් සිරවී, හදවත් ගොළු වුනු, දිවියෙම අඳුරු පැයේ
නෙතින් ගතින්  සමු, ගනිමින් නොහෙලූ, කඳුලක් තවම තියේ
සොඳුරු සෙනෙහසේ, සුමිහිරි මතකය, කිසිදා මැකී නොයේ   

මේලොව මා නෙලු , සුන්දරතම මල, ඇයි ගිලිහිලා ගියේ 

සංගීතය විශාරද නවරත්න ගමගේ 
ගායනය රනිල් මල්ලවාරච්චි 



26 comments:

  1. ඉඳලා හිටලා නේ ලියන්නේ...මාතලන්ගේ හරි අටම්ගෙ හරි සින්ඩියක ඇයි මේක එල්ලන්නේ නැත්තේ..අපි බලයි කියලද?
    ලඟදි දැක්කා මාතගේ පෝස්ට් එකක කමෙන්ට් කරල තිබ්බා..
    අද උපේක්ෂාගේ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකකට ඉයන්ගේ රිඇක්ෂන් දැකලයි බැලුවේ මේ කවුදැයි කියලා...
    සිංදුව පස්සේ අහන්න ඕනි..ඔෆිස් එකේ සිංදු අහලා ගුටිකන්න වෙයි...!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි chef-architect , 2009 ඉඳන් තියෙන් බ්ලොග් එකේ වැටිච්ච දෙවෙනි කමෙන්ට් එක. :) මම මාතලන්ට කියන්නම් එල්ලන්න කියලා. ඊට කලින් ටිකක් වැඩිපුර ලියන්න ඕන. නැවතත් ස්තූතිය.

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්, එතකොට එහෙමයි ඒක සිද්ද වුනේ නේද? රසබර වගේම අමිහිරි ප්‍රේම පුරාණයක් අපි කාටත් වගෙ තියනව ඉයන්....:(

    ReplyDelete
    Replies
    1. රවි බොහොම ස්තූතියි. මොනව කරන්නද? ඒ උනාට මතකය හරි මිහිරියි.

      Delete
  3. නැංවුන කදුලක , සුසුමක උනුසුම , නොදන්න ඔබෙ ලයේ
    කමා එපා මට , එපා යදින්නට , පෙම් සිතුවමත් meකේ
    එදා මගෙ සිත තලා පෙලන්නට හeකි උන ඔබෙ සෙනෙහේ
    හෙටත් එපා මට , හද රිද wuuවත් විදගමි මේ උරුමේ

    ළොවට පෙනෙන්නනට සිනහ නගන මම තවමත් අදුරු ලොවේ
    thaව හිනeහෙන්නන් ඔබත් daකින්නට එය නම් ඔබෙ සෙනෙහේ
    ඔහුය මගේ සදු ඔබයි මගේ හිරු , හිරු හිමි රeයට නොවේ
    ඔබෙන් deවුන හිත සeනසූවෙන් ඔහු , පතනෙමි සසර භවේ …


    Anu .. mata echchara liyanna nan be..

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි, මම මේක හදල ලියන්නද?

      Delete
    2. Ane aka ahanna deyak nemine ian... :) (Y)

      ..Anu..

      Delete
    3. අනු මට මේක ඊමේල් කරන්න. මේක ඔයාගෙම නිර්මාණයක් කියලත් සටහන් කරන්න. email address : lankan.ian@gmail.com
      dot between lankan and ian

      Delete
  4. ලස්සන පද පෙළකින් අවසන් වෙලා තියෙනවා
    //මේලොව මා නෙලු , සුන්දරතම මල, ඇයි ගිලිහිලා ගියේ//
    ගීතයත් රූප රචනාවත් දෙකම බැලුවා
    ඇත්තටම ලස්සනයි සරලයි
    ජයවේ ඉයන්!

    ReplyDelete
  5. මෙන්න හැරවුම් ලක්ෂය..
    පලවෙනි කමෙන්ට් එක චෙෆාගෙන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චෙෆා කියනකන් මට ඔය සින්ඩි කථාව දැනගෙන හිටියේ නැහැ. උඹ හරියටම හරි මෙන්ඩා ඒ කමෙන්ට් එක තමයි හැරවුම් ලක්ශය.

      Delete
  6. //පැරදුණු අප පෙම, ගැන මම ලතැවෙමි, පියවුණු දෙනෙත් තෙමා//
    මේකයි ලෑන්.. මුළු ගීතයේම මම ආසම වචන ටික තමයි /පියවුනු දෙනෙත් තෙමා/ කියන වචන ටික.ඒක ලියවෙන්න නම් දැනිලම තියෙන්න ඕනෙ.ගස්ලබ්බව සෑහෙන සංවේදී කරා ඔන්න ඔය වචන තුන විතරක් එකතු වෙලා.අනිත් ඒවා ගැන මොනව කියන්නද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්. ඔව් ඒක අත්දැකීමක්

      Delete
  7. ඒ අහිමි වීමද දන්නෑනෙ ඔයාව සංවේදී ලියන්නෙක් කළේ...ඈ සතුටින් ඉන්න එකම ඇතිනෙ, එයත් පරණ මතක වලිං හිත කොනිත්තගෙන ඉඳහිට මේ වගේ කවි කුරුටුගානව ඇති. උඩ කොමෙන්ටුවක තිබුණ වගේ, ඔපීතියෙ තින්දු බලන්න බෑ, පත්තෙ බලන්නංකො.

    ReplyDelete
    Replies
    1. //ඒ අහිමි වීමද දන්නෑනෙ ඔයාව සංවේදී ලියන්නෙක් කළේ.//
      මේ ගීතයට කලින් මම ගීත ලියල තිබුණෙ නැහැ. ඒක නිසා ලේ.හී කියන එක හරි

      Delete
  8. ඉයන්ගේ පද රචනා මා මෙයට පෙරත් අසා රස විඳ තිබුනත් මේ පද පේළියේ අමුතුම මිහිරක් දුටුවා.
    ගීතය පසුව අහන්නම් ඉයන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  9. මේ පද රචනාව පුදුම ලස්සනක්. අන්තිම පේළිය ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. හැබැයි සින්දුව අහද්දි කියවනකොට දැනුන ලස්සන දැනුනෙ නෑ. වීඩියෝවත් එහෙමයි

      Delete
    2. බොහොම ස්තූතියි සඳ වියමන්. ඔබේ අදහසට මමත් එකඟයි.

      Delete
  10. පද පේළි හරි ලස්සනයි ඉයන්.ඉයන්ට හිතිලා නැද්ද ගිලිහෙන දේවල් නිසා ඊට වඩා හොඳ දේ ලැබෙනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. ජිවිතේ බහුතරයක් ඇත්තේ අහිමි වීම් ඉයන්...ඔබ මගේ පොස්ට් එකේ තිබුන ගීතයට (2) ඒ තරම් ඇලුම් කිරීම පුදුමයක් නෙවේ...

      ඔබේ පද රචනය නම් බොහොම අපුරුයි...සංවේදියි...නමුත් තනුවෙන් එයට සාධාරණයක් වෙලා නැහැ වගේ දැනෙනවා...

      Delete
    2. ඔව් පොකුරු , ඒ ගීතය ගොඩක් ගැලපෙනවා. බොහොම ස්තූතියි.

      Delete
  11. පදගෙත්තමටත් ගීතයටත් හිතගියා. සරලයි, ආදරය පිරිල, විරහව සුමුදුවට ආලේප කරල. කිති කැවෙන ගතියකුත් තියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාල්

      Delete